පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 30, 2014

සතුන්ටත් අපට වගේ හිතන්න පුලුවන්ද? - Can Animals Think Like us?

අයර්නි පෙපරබර්ග් සහ ඇලෙක්ස්


මෑතක් වන තුරුම බටහිර වැසියන්ගේ ආගමික විශ්වාසය වුයේ සතුන් යනු මනුෂ්‍ය පුත්‍රයාගේ ප්‍රයෝජනය උදෙසා දෙවියන් විසින් මවන ලද්දක් විදිහටයි. මිනිසාගේ ප්‍රයෝජනය විදිහට මෙතැනදී වැඩි වශයෙන්ම කියැවෙන්නේ ආහාර පිණිස යන තේරුමින්. නමුත් පටු ආගමික රාමුවෙන් මිදී වඩාත් නිදහස් ලෙස සිතන්නට හුරුවීමෙන් පසු මිනිසුන් මේ අදහස එලෙසින්ම පිළිගන්නට කැමැත්තක් දැක්වූයේ නැහැ. සතුන්ටත් මිනිසුන්ට සේම මේ මිහිතලයේ සම උරුමයක් ඇති බව පිළිගන්නට ඔවුන්ට සිදුවුණා. නමුත් අතීතයේ සිටම සතුන් පිළිබඳ පෙරදිග වැසියන්ගේ ආකල්පය මීට හාත්පසින්ම වෙනස් වුණා. බුදුන් වහන්සේ පවා දේශනා කළේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියායි. මිහිඳු මා හිමියන් එක අවස්ථාවක පවසා තිබුණේ මේ මිහිතලය මිනිසාට පමණක් නොව සියලු සතුන්ගේ සම උරුමයක් ඇති බවයි. මේ අදහස දැන් බටහිර ලෝකයේ බහුතරයක් පිළිගෙන තිබෙනවා. අපේ පන්සිය පනස් ජාතක පොතේ බෝසතාණන් වහන්සේ සත්ව කූලවල ඉපදී බුද්ධිමත්ව ක්‍රියා කළ අවස්ථාවන් අපට ගොඩක් දකින්න ලැබෙනවා. ඒ ඇතැම් කතාවල මිනිසුන්ට වඩා තිරිසන් සතුන් උතුම් බව ඔප්පු වුණු අවස්ථා බොහොමයි.

මනැසින් උසස් යන අරුත ඇතිව මිනිසායන වදන අපට හිමිව තිබුණත් මිනිසුන් අතර නොමිනිස්කම් ඇති අයවලුන් ඕනෑ තරම් දකින්නට පුලුවන්.  වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇතවගේ ගීත ලියැවෙන්නට හේතුවත් මේ වගේ නොමිනිස්කම් ඇති මිනිසුන් නිසයි. මිනිසා තිරිසන් සතෙකු සේ හැසිරෙන අවස්ථා අපට නිතර විවිධ මාධ්‍ය ඔස්සේද අසන්නට ලැබෙනවා. නමුත් අප වැඩිපුර කතා නොකළත්, අසන්නට නොලැබුණත් මේ සඳහන් කළ කාරණයේ අනෙක් පැත්ත සිදුවන අවස්ථා මේ ලෝකයේ ඕනෑ තරම් දැකගන්නට පුලුවන්. අනෙක් පැත්ත කියා අදහස් කළේ තිරිසන් සතුන් ළඟ ඇති උතුම් ගතිගුණ ගැනයි. අපට එවැනි සිදුවීම් වැඩිපුර අසන්නට අවස්ථාවක් නැත්තේ ඇතැම් විට මාධ්‍ය ඒවාට එතරම් ප්‍රසිද්ධියක් ලබානොදෙන නිසා වන්නටත් පුලුවන්. නමුත් සතුන් අතරින් ප්‍රකටවන උතුම් ගතිගුණ ගැන තොරතුරු අතීතයේ වාගේම වර්තමානයේදීත් අපට සොයාගන්න පුලුවන්. පනාමුරේ ඇත් රාජා ගැන කතාව සමහරවිට ඔබ දන්නවා ඇති. තමන්ගේ රන්චුව වෙනුවෙන් ජීවිතේ පූජා කළ ඒ කතාව අදටත් අමතකවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හාම්පුතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ, හාම්පුතා හදිසි අනතුරුවලින් බේරාගත්, හාම්පුතාට සිදුවුණු අනතුරු ක්ෂණිකව අන් අයට දැන්වූ සුනඛයන් ආදී සතුන් පිළිබඳව ලොව නන්දෙසින් තොරතුරු ලැබෙමින් තිබෙනවා.

සත්තුන්ට මේ වගේ උතුම් ගතිගුණ පිහිටන්නේ ඔවුන් අපි හිතනවාට වඩා, දන්නවාට වඩා ඉහළ බුද්ධි මට්ටමක ඉන්න නිසයි. මේ ගැන අවබෝධයක් නැති නිසයි අපි හුඟ දෙනෙක් අතින් සතුන්ට හිංසා පීඩා සිද්ධ වෙන්නේ. සතුන් ගැන අතීතයේදී සංවේදීව නොබලපු බටහිර රටවල් අද ආසියානු අපටත් වඩා සතුන් ගැන සිතන්න පටන් අරන්. සතුන්ටත් අපට වගේම හැඟීම් දැනීම් තියෙන බව ඔප්පු කරලා පෙන්වන්න පර්යේෂණ පවත්වන්නෙත් ඔවුන්මයි.

අතීතයේ පටන්ම සතුන්ගේ විවිධ මානසික හැකියාවන් ගැන මිනිසුන් දැන සිටියත් මේ ගැන දිගින් දිගට හොයන්න පටන්ගත්තේ චාර්ල්ස් ඩාවින්ගේ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුවයි.

වර්ෂ 1977 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවුණු අයර්නි පෙපර්බර්ග් අපූරු පර්යේෂණයක් කළා. සතුන්ටත් මිනිසුන්ට වගේ හිතන්න පතන්න පුලුවන් කියලා බටහිර බොහෝ දෙනෙක් මේ කාලය වනවිටවත් විශ්වාස කළේ නැහැ. ඇය අවුරුද්දක පමණ වුණු  අප්‍රිකානු අලු ගිරවෙක් හුරතලයට හදන්න පන්ගත්තා. ඇය මේ අලුගිරවාට ඇලෙක්ස් කියලා නමකුත් තැබුවා. ඇය මේ ගිරවා තමන්ගේ පර්යේෂණාගාරයට අරගෙන ගිහින් ඉංග්‍රීසි භාෂාවේ විවිධ ශබ්ද නගන හැටි පුරුදුකරන්න පටන්ගත්තා. ගිරවට කතා කරන්න පුලුවන් වුණොත් එයා මේ ලෝකේ දේවල් ගැන හිතන හැටි විස්තර කරයි කියලා මට හිතුණාඅයර්නි එහෙම කිවවා. අයර්නි ගිරවත් එක්ක කතා කරන්න පටන්ගත්තා. සතුන්ටත් මිනිසුන්ට වගේ සිතන්න පුලුවන් කියලා මේ අවස්ථාව වෙනකල්වත් විද්‍යාඥයෝ දැනගෙන හිටියේ නැහැ. ඔවුන් සිතුවේ සතුන් කියන්නේ හිතක් පපුවක් නැති ජීවීන් පිරිසක් කියලා පමණයි.  එහෙම වුණත් හැම සතෙක්ම හුදෙක් භෞතික වස්තුවක් කියල හිතන අය හැරුණාම, සුරතලයට සතුන් හදන්න පුරුදුවෙලා ඉන්න අය නම් සමහරවිට එහෙම හිතන්නේ නැතිවෙන්නත් පුලුවන්. ඔබේ නිවසේ බලුපැටියාට කෑම දෙනකොට ඌ කෘතඥ පූර්වකව වල්ගය වනන්නේ වලිගය වැනීම ජානමය පුරුද්දක් නිසා නෙවෙයි. ඕනෑම සුනඛයෙකුට අවබෝධයක් තිබෙනවා තමන්ට ආදරේ කරන්නේ කවුද කියන එක. ඒ වෙනුවෙන් කෘතඥතාවය පළකරන්නේ ඔවුන් තුළ යම්කිසි අවබෝධයක්, බුද්ධි මට්ටමක් ඇති නිසයි.

අයර්නිගේ සුරතල් ගිරවා, ඇලෙස්ක් වැඩිකාලයක් යන්නට මත්තෙන් හොඳට කතාකරන්න පටන්ගත්තා. නමුත් හුඟ දෙනෙක් කිව්වේ මේක තේරුමක් නැති වැඩක් කියලයි. අයර්නි ටික දවසක් යනකොට ඇලෙක්ස්ට තව ගිරව් යාලුවෝ දෙන්නෙක් ගෙනත් දුන්නා. දවසක් අයර්නි, ඇලෙක්ස්ව නාට්‍යයක් බලන්න අරගෙන ගියා. මේ වෙනකොට ඇලෙක්ස් සෑහෙන්න වචන හුරු පුරුදු වෙලයි තිබුණේ. මේ නාට්‍යය බලලා ආවට පස්සේ තමයි හොඳම දේ සිද්ධ වුණේ. ඇලෙක්ස් තමන්ගේ යාලුවෝ දෙන්නට අර නරඹපු නාට්‍යයේ මතක තිබුණු කොටස් රඟපාලා පෙන්නුවා. ගිරවෙක් වගේ කුඩා සතෙකුට එවැනි දෙයක් මතකයේ තබාගෙන කරන්නට යම්කිසි බුද්ධියක් තිබිය යුතුමයි. එසේ නොමැතිව මෙවැනි දේවල් සිදුකරන්න බැහැ.

අප අපගේ බුද්ධි ඵලය ගැන කතා කරනවා. නමුත් සු්නගේ එවැනි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් නවීන පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ සෑම සතෙකුටම යම්කිසි ප්‍රමාණයකින් බුද්ධි ඵලයක් ඇති බවයි.

තමන්ගේ වර්ගයාට යම්කිසි කරදරයක් සිදුවූ විට සිංහයන්ට පවා පහර දෙන්නට පසුබට නොවන ගවයන් වර්ග පිළිබඳ වාර්තා චිත්‍රපට අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඔවුන්ට මේ අවබෝධය ලැබෙන්නේ ජානමය පුරුද්දට වඩා අදාළ තත්වය පිළිබඳව ක්ෂණිකව ලැබෙන අවබෝධයත්, ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්නත් ගැන ව්‍යවහාර බුද්ධියක් පවතින නිසයි.


සතුන් කියන්නේ බුද්ධියක් නැති, සිතන්නට නොහැකි කොට්ඨාශයක් ලෙස ඔබ සිතා සිටියා නම් එය වෙනස් කරගන්නට මෙය හොඳම අවස්ථාවක්. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න