විදෙස් ටෙලිනාට්‍ය සිංහල දෙබසින් යුක්තව ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ජාතික රූපවාහිනිය මගින් බොහෝ කලක සිට කරගෙන එනු ලබන යහපත් කාර්යයකි. එමගින් බොහෝ විදෙස් ටෙලිනාට්‍ය රස විඳීමට අවස්ථාව හිමි වේ. ඔවුන් ප්‍රේක්ෂකයා වෙත මුළින්ම සිංහල දෙබසින් රසවත් කරමින් ඉදිරිපත් කළේ සුප්‍රකට ජපාන ටෙලි නාට්‍යයක් වන ‛ඔෂින්’ ය. ඉන් අනතුරුව ‛සුජාත දියණි’, ‛අභීත දියණි’, ‛මායාවරුන්ගේ ලෝකය’, ‛අත්තටු නෑ - ඒත් එයා ඉගිළෙයි’, ‛ඉසිවර වෙදැදුරු’ හා ‛යහපත් මහරජ’ යන ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා හමුවේ දිග හැරියේය. මේවා අප සියලු දෙනා ජීවත්වන ආසියානු කලාපයට අයත් කොරියානු, චීන හා ජපාන නිර්මාණයන් විය. ජාතික රූපවාහිනිය මගින් පසුගිය පෙරවාරි 10 වැනිදා සිට තවත් අපූරු කොරියානු ටෙලි නිර්මාණයක් අප ආලින්දයේ දිගහරින්නට පටන් ගත්තේය. ඒ ඔබ කවුරුත් මේ වන විටත් නරඹන ‛සිරිමැටි සිත්තරාවි’ ය. අප අද තබන්නට බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳ කෙටි සටහනකි.
‛සිරිමැටි සිත්තරාවි’ යන සිංහල නමින් අප හඳුනන මෙහි කොරියානු නාමය ‛බුලු යෝසින් ජොන්ග් - යි’ වන අතර එය ඉංගිරිසි බසින් හැඳින්වෙන්නේ ‛ගිනි දෙවඟන’ යන අරුතැති ‛ගොඩස් ඔෆ් ෆයර්’ (Goddess of Fire) නමිනි. මෙය ද සත්‍ය කතා පුවතක් මත ගොඩනැගුණු ඓතිහාසික ටෙලි නාට්‍යයකි. හැටේ දශකයේ සිට කොරියානු රූපවාහිනි නාලිකා ඔස්සේ ඓතිහාසික ටෙලිනාට්‍යවලට අතිශය ප්‍රේක්ෂක ජනාදරයක් හිමි වීම එහි මෙවැනි ටෙලිනාට්‍ය වැඩි වශයෙන් නිර්මාණය වීමට හේතුවී ඇති බව පෙනෙන්නට තිබේ. 16 වැනි සියවසෙහි කොරියාවේ සිටි ඓතිහාසික චරිතයක් වන ‛බෙක් පා-සුන්’ නම් දිරිය කාන්තාවගේ ජීවිත කතාව මේ ඔස්සේ දිගහැරේ. ඇය කොරියාවේ ජෝසොන් රජ පෙළපත පැවති සමයේ ජීවත් වූ කුඹල් ශිල්පිනියකි. එමෙන්ම ඇය සැළකෙන්නේ එරට බිහි වූ මුල්ම කුඹල් ශිල්පිනිය ද ලෙසිනි. ඇය හුදෙක් සාමාන්‍ය කුඹල් ශිල්පිනියක් ද නොව මැටි බඳුන් මත, විශේෂයෙන් සෙරමික් මැටියෙන් නිෂ්පාදනය කෙරෙන පෝසිලේන් බඳුන් මත අලංකාර සිතුවම් නිර්මාණයට අති දක්ෂතාවයක් පෙන්නුම් කළ කාන්තාවක වූවාය. වර්තමානයේ ද කොරියාවේ කුඹල් කර්මාන්තය තුළ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඇගේ ශෛලියයි.
බෙක් පා-සුන් කුඹල් කර්මාන්තය කෙරෙහි දක්වන දක්ෂතාවය නිසාම ඇය එහි රාජකිීය පවුලේ නිල කුඹල් ශිල්පිනිය ලෙස පත්කරනු ලැබිණි. ඇය එහිදී ජෝසොන් රජ පෙළපතේ පස්වැනි රජු බවට පසුකාලයේ පත්වන ‛ග්වන්හේ’ කුමරු සමඟ පෙමින් බැඳේ. නමුත් ඔහුට ඇය හිමි කරගන්නට ලැබෙන්නේ නැත. ඒ වන විට ඇගේ කීර්තිනාමය කොරියාවේ පමණක් නොව ආසන්න රටවල ද පැතිර ගොස් තිබිණි. ඒ නිසාම කොරියාව ආක්‍රමණය කළ ජපන් හමුදාව විසින් වර්ෂ 1592 දී ඇය සිය ග්‍රහණයට අත්පත් කොට ගත්තේය. ඒ නොදැනුවත්ව නොව හිතාමතාම කළ සිදුකළ ක්‍රියාවකි. ඇය ජපානයට රැගෙන යන අතර ඇගේ කුඹල් ජීවිතයේ ඉතිරි අවධිය ඇරඹෙන්නේ ඉන් පසුවය. ජපාන අධිරාජයකු වූ ‛ටොයොටොමි හිදෙයෝෂි’ ගේ සමයේ ඇය ජපාන කුඹල් කර්මාන්තයට බොහෝ ශිල්ප ක්‍රම දායාද කළාය. ඇය ජපානය තුළ අතිශය ගෞරවනීය චරිතයක් බවට පත් වූ අතර අදටත් එහි ‛ආර්ටියා’ පළාතේ ඇය වෙනුවෙන් පිහිටුවූ දේවාලයක් පවතී.
මෙහි ඓතිහාසික චරිතය බෙක් පා-සුන් වුව ද ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය ‛යූ ජන්ග්’ වේ. යූ ජන්ග් ගේ ළමාවිය නිරූපණය කරනුයේ ‛ජින් ජී - හී’ වන අතර ඉන්පසු චරිතයට අවතීර්ණ වන්නේ ‛මූන් ගෙන් - යන්ග්’ ය.
මෙය සිංහල බසින් හඳුන්වනු ලබන නම පිළිබඳව ද යමක් විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ ‛සිරිමැටි’ යන්නය. ‛සිරිමැටි’ යන්න අපගේ එදිනෙදා වදන්කෝෂයේ දක්නට නොලැබෙන්නකි. සැබැවින්ම මෙය සිංහල බසට අලුත් වචනයකි. මෙහි සිංහල දෙබස් අධ්‍යක්ෂක ජාතික රූපවාහිනියේ අතුල රන්සිරිලාල් මහතා පවසන්නේ එම වචනය ලබාගෙන ඇත්තේ ටයිටස් තොටවත්තයන්ගේ වැඩිමල් සොයුරු ඊලියන් ද සිල්වා මහතා සම්පාදනය කරනු ලැබූ ‛හෙළ සිත්යුරු වදන් කෝෂය’ නම් ග්‍රන්ථයෙනි. කොරියාව, චීනය, ජපානය වැනි රටවල කුඹල් කර්මාන්තය අප රටට වඩා වෙනස් වන අතර ඔවුන් අතර ජනප්‍රියව ඇත්තේ සෙරමික් මැට්ටයි. ‛සෙරමික්’ යන්න සඳහා එම ශබ්දකෝෂයේ සඳහන්ව ඇත්තේ ‛සිරිමැටි’ යන්න බැවින් ද, එයට වඩා සුදුසු නමක් නොමැති බැවින් ද මෙම ටෙලිනාට්‍යයේ සිංහල නිෂ්පාදනය සඳහා ‛සිරිමැටි සිත්තරාවි’ යන්න යොදා ගත් බව අතුල රන්සිරිලාල් මහතා සඳහන් කළේය.
ක්වොන් ස්වෝන් - ක්‍යු සහ ලී සෝ-යූන් විසින් ලියා පාර්ක් සුන්ග්-සූ සහ ජුන්ග් ඩේ-යූන්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි කොරියානු නිෂ්පාදනය මිනිත්තු 60 ක ධාවන කාලයක් සහිත කොටස් 32කින් යුක්තව 2013 වසරේදී කොරියාවේ මුන්හ්වා නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණි.
බොහෝ විදෙස් ටෙලි නිර්මාණ සඳහා එහි මුල් පසුබිම් සංගීත ඛණ්ඩ යොදාගනු ලැබූවත්, සිංහල දෙබසින් නිර්මාණය කළ ‛සිරිමැටි සිත්තරාවි’ සඳහා අප රටේ ජන සංගීතය යොදාගෙන තිබීම ද විශේෂත්වයකි. එහි සංගීත රචනය සහන් රන්වල විසින් සිදු කොට ඇති අතර තේමා ගිතය ගැයෙන්නේ ප්‍රවීණ ගායිකා නන්දා පතිරණ විසිනි.
කරුණාරත්න අමරසිංහ, කමල් දේශප්‍රිය, රෝහණ සිරිවර්ධණ, ග්‍රේස් තෙන්නකෝන්, නිමල් ජයසිංහ ආදී ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි ශිල්පීන් රැසක් ද නව පරපුරේ හඬකැවීමේ ශිල්පීන් රැසක් ද මේ සඳහා දායකත්වය සපයයි.