පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, October 19, 2014

ගැලැක්සි එනිකෝල් එකට සයන්ෆොක්ස් කිට්කැට් රොම් එකක් - Kitkat ROM (Cyanfox) for Samsung Galaxy Anycall - M110S



මේ වෙන කොට සැම්සුන් ගැලැක්සි S 8 එකත් ළඟදිම එන්න නියමිත බවට ආරංචි ලැබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ 7 වැනි, ඒ කියන්නේ අලුත්ම සංස්කරණය වන නුගා එකත් ඇවිත්. ඉතිං පරණ ගැලැක්සි ඒවට දැන් තැනක් නැහැ. ඒත් මා ළග තියෙන්නෙත් පරණ එකක්. වැඩිදෙනෙක් දන්නෙත් නැති, සමහරු ගණන් ගන්නෙත් නැති කොරියන් එනිකෝල් S  එකක්. මේ වර්ගයේ දුරකතන තියෙන අය අපේ රටේ වගේම ලෝකෙ වටෙත් සෑහෙන්න ඉන්න බව ඇන්ඩ්‍රොයිඩ් ෆෝරම්වලට ගියාම පේනවා. බොහෝ දෙනෙක් මේ වගේ ෆෝරම්වලට යන්නේ කස්ටම් රොම් වගේ දේවල් , ඇන්ඩ්‍රොයිඩ් දුරකතන ගැන ගැටලු මතුවුණාම ඒවාට විසඳුම් හොයාගන්න, අලුත් දුරකතන පුවත් වගේ දේවල් හොයාගන්න තමයි. මගේ එනිකෝල් දුරකතනය අරන් දැන් අවුරුදු එකහමාරක් විතර ඇති. මේ අවුරුද්දේ මුල ඉඳන් මම මේකට එක එක කස්ටම් රොම් දාන්න පටන් ගත්තා. කස්ටම් රොම් නිතර හොයන කොට මේ වගේ පරණ දුරකතනවලට  දාන්න පුලුවන් විදියේ කිට්කැට් රොම් දෙකක් ජෙලිබීන් රොම් දෙක තුනක්, මියු කියන චීන රොම් එහෙම හම්බ වුණා. ඒ අතරේ ගින්ජර්බ්‍රෙඩ් රොම් නම් සෑහෙන්න හම්බ වුණා. ඒ හැම එකක්ම මම දාලා බලලා තියෙන්නේ.  



මේ දුරකතනයට තියෙන කිට්කැට් රොම්වලින් ප්‍රසිද්ධම එක තමයි Resurrection_Remix කියන එක. ඒක හැම අතින්ම හොදයි. හැබැයි රින්ග්ටෝන් වැඩ කරන්නේ නැහැ. ශබ්දය පටිගත වෙන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට තමයි මට තව කිට්කැට් රොම් එකක් හම්බ වුණේ. ඒකේ නම Cyanfox  මේකේ රින්ග්ටෝන් වැඩකරනවා, ශබ්දයත් පටිගත වෙනවා. හරිම වේගවත්. හිරවෙන්නේ නැහැ. ඉතිං මේ වගේ පරණ ෆෝන් තියෙන කස්ටම් රොම් දාන්න දන්න අයට මම මේ මම හොයාගත්ත රොම් එක ගැන කියන්න හිතුවා. මම මේක බ්ලොග් සටහනක් විදියට ලියන්නේ මේ රොම් එක ගැන සිංහලෙන් ලියපු කිසිම පෝස්ට් එකක් මම තවම දැකපු නැති නිසා. වැඩි කතා නැතුව වැඩේට බහිමු. 



මේකට ඕන කරන ගොනු මෙන්න මේවා තමයි. Download උඩ ක්ලික් කරලා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේ ලින්ක් එකෙන් Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip, M110S_EFSBackupTool.zip, m110s-EFS_Backup-recovery.tar, m110s-format-system.zip, m110s-installation-recovery.tar කියන ගොනු ටික ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. අනෙක් ඒවා අදාළ ගොනු මත ක්ලික් කිරීමෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.




1) Odin3 v1.7.exe


3) M110S_EFSBackupTool.zip
4) m110s-installation-recovery.tar

5) m110s-format-system.zip

6) Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip

7. pa_gapps-modular-pico-4.4.4-20141011-signed.zip

gapps ඩවුන්ලෝඩ් කිරීමේදී ඔබ පිවිසෙන පිටුව ඉංග්‍රීසි බසින් දිස් නොවන නිසා එහි 37.38MB යන්න මත ක්ලික් කොට එය ඩවුන්ලෝඩ් කරගන්න.


ඉහත ගොනුවලින් 


M110S_EFSBackupTool.zip

m110s-format-system.zip

Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip

pa_gapps-modular-pico-4.4.4-20141011-signed.zip


කියන ගොනු ටික ඔබේ ජංගම දුරකතනයේ SD කාඩ් එකේ ඔබ කැමති නමකින් ෆෝල්ඩරයක් සාදා එයට කොපි කරගන්න ඕන. 


කස්ටම් රොම් දාන්න දන්න අයට මේ වගේ වැඩකට අවශ්‍ය අතිරේක අවශ්‍යතා ගැන කියන්න නම් ඕන නැහැ. ඒත් මම වැදගත් කරුණු ටිකක් සඳහන් කරන්නම්. 




1. ජංගම දුරකතනය 80%ක්වත් ආරෝපණය වෙලා තියෙන්න ඕන.

2. සැම්සුන් දුරකතනවලට අවශ්‍ය ධාවක (Drivers) පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕන.

3. Download Mode, Recovery Mode ගැන දැනගන්න ඕන.

4. Recovery Mode එකෙන් තමන්ගේ දැන් තියෙන රොම් එකේ උපස්ථයක් (Backup) අරගන්න ඕන. මොකද ගැටලුවක් උනොත් පරණ රොම් එකම දාගන්න පුලුවන් නිසා. 


වැදගත්ම දේ තමයි මේ වැඩේ නිවැරදිව කළේ නැත්නම් ඔබේ ජංගම දුරකතනය ගඩොලක්’ (Brick) වෙන්න පුලුවන් කියන එක. ගඩොල ආයෙමත් දුරකතනයක් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන්. බැරිවෙන්නත් පුලුවන්. ඒ නිසා මේ වැඩේ අවදානමකුත් තියෙනවා. පරිස්සමින්, හරියට කළොත් හොඳ වේගවත්, ලස්සන කිට්කැට් රොම් එකක් මේ වගේ පරණ ජංගම දුරකතනයකට දාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. 


දැන් මේ පියවර අනුගමනය කරන්න. 


1. දුරකතනය ක්‍රියාවිරහිත කරලා Home Key එක ඔබාගෙන දුරකතනය ක්‍රියාත්මක කරන්න. එතකොට Download Mode එකට එනවා. දැන් Odin එකෙන් 412newkrn.tar  එක ෆ්ලෑෂ් කරගන්න. තත්පර කිහිපයකින් ෆ්ලෑෂ් වෙනවා. ඊට පස්සේ රිස්ටාර්ට් වෙලා ආයෙම පුරුදු විදිහට දුරකතනය ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්. නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැතිව හිරවෙලා වගේ තියෙන්නත් පුලුවන්. මොකක් වුණත් බැටරිය ගළවලා හරි දුරකතනය ඕෆ් කරලා Volume Down, Home Key තද කරගෙන දුරකතනය ඕන කරන්න. 


2. දැන් එන්නේ Recovery Mode එකට. මෙතැනින් ඔබට ඔබේ දැන් පවතින රොම් එකේ උපස්ථයක් ගන්න පුලුවන්. ඉන් පසුව wipe data/factory reset සහ wipe cache partition කරගන්න. ඊට පස්සේ  Install Zip ගිහින් M110S_EFSBackupTool.zip  ඉන්ස්ටෝල්  කරගන්න. දැන් go back ගිහින් reboot කරගන්න.


3. ඊළඟට ජංගම දුරකතනය ඕෆ් කරලා Download Mode එකට යන්න. ඊට පස්සේ ඔඩින් එකෙන්  m110s-installation-recovery.tar ෆ්ලෑෂ් කරගන්න. දැන් ඉබේම  Recovery Mode එකට යයි. එහෙම ගියේ නැත්නම් Recovery Mode යන්න.


4. දැන් Recovery Mode එකේ තමයි ඔබ ඉන්නේ. ඊට පස්සේ Install Zip ගිහින් m110s-format-system.zip    ඉන්ස්ටෝල් කරගන්න. 


5.දැන් මෙතනම ඉඳන් Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip ඉන්ස්ටෝල් කරගන්න. මේක තමයි රොම් එක. ඊට පස්සේ reboot දෙන්න එපා. Go Back ගිහින් එතැනින් advance යන්න. එතන තියෙන power off කියන එක දෙන්න.


6. දැන් බැටරිය ගළවලා දාගෙන  එහෙම  ආයෙම Download Mode ගිහින් 412newkrn.tar  ෆ්ලෑෂ් කරගන්න. 


7. දැන් බැටරිය ගලවලා දාගෙන Recovery Mode යන්න.  ගිහින් ආයම වතාවක් මේ රොම් එක, ඒ කියන්නේ Cyanfox_FLYUI_KK_4.4.2_M110S_cyhmay.zip එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ෆෝන් එක On වෙනවා.On වෙන්න දෙන්න. පළවෙනි වතාව නිසා ටිකක් වෙලා යයි. බය වෙන්න එපා. දැන් මොනවත් කරන්න එපා. ආයෙත් Recovery Mode යන්න.


8. ඊට පස්සේ pa_gapps-modular-pico-4.4.4-20141011-signed.zip ඉන්ස්ටොල් කරගෙන Reboot කරගන්න. 





දැන් හරි. දැන් රිබූට් කරන්න. ඔන්න දැන් පරණ එනිකෝල් එකේ කිට්කැට් තියෙනවා. මේ පෝස්ට් එකේ තැනින් තැන දාලා තියෙන්නේ මගේ දුරකතනයේ කිට්කැට් තියෙන විදිහ. මම මේට සිංහල දැම්මා. ඒකයි සිංහලෙන් තියෙන්නේ. සිංහල දාගන්න හැටි මම හිතන්නේ හැමෝම දන්නවා. ඒ ගැන ලියැවුණු බ්ලොග් පෝස්ට් ඕන තරම් හොයාගන්නත් පුලුවන්. 
  
මගේ ෆෝන් එකේ මේ පෙනුම තියෙන්නේ මම Go Launcher සහ Go Themes Install කළ නිසයි.


ඔන්න මම හොයාගත්ත දේ හැමෝටම කිව්වා. ප්‍රශ්නයක් ඇත්නම් කතා කරමු.

සම්බන්ධිත ලිපි
ගැලක්සි එනිකෝල් (M110S) එකට සයිනජන්මොඩ් 11 රොම් එකක් දාමු

Wednesday, October 15, 2014

ගිලන්බාරේ සහලක්ෂණය යනු කුමක්ද? - What is Guillain–Barré syndrome - GBS



මෙවර, එනම් 2014 වසරේ ශිෂ්‍යත්ව හපනුන් අතර සිටි එක් සුවිශේෂී සිසුවකු වූයේ මානෙත් සඳගිරි බණ්ඩාර නම් දරුවාය. ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186ක් ලබා ගෙන විසුහලේ ප්‍රථමයා මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ 25 වැනියා ද බවට පත් වූයේය. නමුත් මෙයට වඩා ලකුණු ලබාගත් පහේ හපනුන් සිටියදී සඳගිරිගේ පමණක් ඇති විශේෂත්වය කුමක්දැයි යමෙකුට සිතෙන්නට පුලුවන. සැබැවින්ම ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු අත පය හතර ඇතුළුව මුළු සිරරම අප්‍රාණිකව මාස 5 කට අධික කාලයක් යහන්ගත රෝගියෙකුව සිටි බැවිනි. ඔහුගේ තිබූ අධිෂ්ඨානය සහ දෙමාපියන්ගේ, වෛද්‍යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ උනන්දුව හා කැපවීම නිසා සඳගිරිට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට මෙවැනි හපන්කමක් කරන්නට හැකියාවක් ලැබිණි. සැබවින්ම ඔහු ගිලන්ව සිටියේ විශේෂිත රෝගී තත්වයකිනි. එය හඳුන්වනු ලබන්නේ ගිලන්බාරේ සහලක්ෂණය’ (Guillain–Barré syndrome - GBS )   යනුවෙනි. මෙය වාර්ෂිකව පුද්ගලයන් ලක්ෂයකට 1 - 2 දක්වා පිරිසකට වැළඳෙන තරම් දුර්ලභ ගණයේ රෝගයක් වුව ද නොසැළකිය හැක්කක් ද නොවේ. එය පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත් වන්නේ එබැවිනි.

ගිලන්බාරේ සහලක්ෂණය යනු කුමක්ද?

මෙය සිරුරේ පර්යන්ත ස්නායු පද්ධතිය ආබාධයකට ලක්වීමෙන් ඇතිවන රෝග තත්වයක් ලෙස විස්තර කළ හැකිය. මෙහිදී සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් පර්යන්ත ස්නායු පද්ධතියට සිදුකරන පහරදීමකි. මෙම රෝගය පහල වූ තැනැත්තාට මුළින්ම කකුල් අප්‍රාණික බව මෙන්ම කකුල් හිරිවැටෙන ස්වභාවය ද දැනෙයි. එමෙන්ම සිරුරේ දෙපසේම එක සමාන තත්වයෙන්  මෙම රෝග ලක්ෂණ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙයි. රෝගය උග්‍රවත්ම ඇතැම් මාංශ පේශී කෙසේවත් භාවිත කරන්නට නොහැකි තත්වයට පත් වෙයි. අවසානයේ සම්පූර්ණයෙන්ම සිරුර අප්‍රාණික වන අතර අංශභාග තත්වයට ද පත්විය හැකිය. මෙය ස්වසනය අඩපණවීම, රුධිර පීඩනය හෝ හෘද ස්පන්ධන වේගය ඉහළ යාම වැනි හදිසි වෛද්‍ය ප්‍රතිකාර නිතර අවශ්‍ය තත්වයකට පත්කරන රෝගයක් බැවින් ජීවිත තර්ජන පවා එල්ලවිය හැකිය.  මෙයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ රෝගීන් ද ලෝකයේ බොහෝ ස්ථානවලින් හමුවේ. ඇතැම් රෝගීහු ප්‍රතිකාර ගැනීමෙන් පසුව සුළු දුර්වලතා සහිතව වුව ද සාමාන්‍ය ජීවිත ගතකරති.

මෙම රෝගය පිළිබඳ මුළින්ම තොරතුරක් හමුවන්නේ 1859 වසරෙනි. ඒ පිළිබඳ විස්තර කොට ඇත්තේ ප්‍රංශ වෛද්‍යවරයකු වූ ජේන් ලැන්ඩ්‍රිවිසිනි. වර්ෂ 1916 දී ජෝර්ජස් ගිලන්, ජේන් ඇලෙක්සැන්ඩර් බාරේ සහ ආන්ද්‍රේ ස්ට්‍රොල් යන වෛද්‍යවරුන් තිදෙනා විසින් මෙම රෝගය වැළඳුණු සෙබලුන් දෙදෙනෙකුව හඳුනාගනු ලැබිණි. ඔවුන් දුටුවේ මෙම සෙබලුන්ගේ ෂුෂුම්නාවේ ද්‍රව ප්‍රෝටීන් නිෂ්පාදනය අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති ආකාරයයි. මෙය අප ගිලන් බාරේ සහලක්ෂණයයැයි කෙටියෙන් හඳුන්වනු ලැබුවදමෙහි නියම නාමය සකස් වී ඇත්තේ ලැන්ඩ්‍රි - ගිලන් - බාරේ සහලක්ෂණයයනුවෙනි. එම නාමය තුළ මෙම රෝගය ලොවට හෙළිකිරීමට දායක වූ වෛද්‍යවරු තිදෙනෙකුගේ නම් ඇතුළත්ය.  

මෙය වැළඳිය හැක්කේ කාටද?

ඕනෑම වයස් සීමාවක පසුවන අයෙකු ගැහැනු පිරිමි භේදයකින් තොරව මෙම රෝගයට ගොදුරු විය හැකිය. කලින් සඳහන් කළා සේ මෙය ඉති විරල ගණයේ රෝගයකි. මුල්ම රෝග ලක්ෂණ පහළ වී දින කිහිපයක් ඇතුළත රෝගය වැළඳිය හැකිය. රෝග ලක්ෂණ ඇතිවී මුල් සති දෙක තුළ සිරුර සම්පූර්ණයෙන්ම අප්‍රාණික වන්නට පුලුවන. තෙවැනි සතිය වන විට රෝගීන්ගෙන් සියයට 90ක්ම උපරිම දුර්වල තත්වයට පත්වේ.

මෙම රෝග තත්වය ඇතිවන්නට හේතුව කුමක්ද?

එයට හරිහැටි හේතුවක් සඳහන් කළ නොහැකිය. විද්‍යාඥයින් දැනට සොයාගෙන ඇති ආකාරයට මෙහිදී සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් ශරීරයට පහරදීමකි. මෙය හඳුන්වනු ලබන්නේ ස්වයං ප්‍රතිශක්ති රෝගයක්ලෙසිනි. සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පහර දෙන්නේ බාහිරින් හෝ ආක්‍රමණශීලී ලෙස සිරුරට ඇතුළුවන බැක්ටීරියා, වෛරස් වැනි ජීවී කොටස්වලට පමණි. ගිලන් බාරේ සහලක්ෂණයේදී ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් පර්යන්ත ස්නායු පද්ධතියේ අක්සනයන්axons - අක්සනයන් යනු දීර්ඝ ස්නායු සෛල විශේෂයක් වන අතර ඒවා ස්නායු සංඥා රැගෙන යයි) හෙවත් ආවේග වාහකවල ආරක්ෂිත වැස්ම වූ මයලින්කොපු විනාශ කරන්නට පටන්ගනියි. ස්නායු සංඥාවල වේගය වැඩිකරන්නේ මයලින් කොපුවලින් වන අතර සංඥා ඉතා දුරකට සම්ප්‍රේණය කරන්නට මේවා උපයෝගී වෙයි.

පර්යන්ත ස්නායු පද්ධතියේ මයලින් කොපුවලට හානි සිදුවීම හෝ ඒවා අඩපණ වීම නිසා සිදුවන්නේ ස්නායුවලට වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් සංඥා සම්ප්‍රේණය කරන්නට නොහැකි තත්වයකට පත්වීමය. මොලයෙන් ලැබෙන සංඥාවලට ප්‍රතිචාර දක්වන්නට මාංශ පේශීන්වලට නොහැකිවන්නේ මේ හේතුව නිසාය. එමෙන්ම සිරුරේ අනෙක් ස්ථානවලින් මොලයට ලැබෙන සංවේදන සංඥාවන් ද මේ නිසා දුර්වල තත්වයකට පත් වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සියලු සංවේදයන් දුර්වල තත්වයකට පත්වීමය. මොලයට ලැබෙන්නේ ද අක්‍රමවත් හෝ වැරදි සංඥාවන්ය. එය ඇතැම්වට රෝගියාට දැනෙන්නේ කිතිකැවීමක් හෝ හිරිවැටීමක් ලෙසින් විය හැකිය. එයට හේතුව අත පය වැනි සිරුරේ ස්නායූ ඉතා දීර්ඝව පැතිරී ඇති ස්ථානවලින් ලැබෙන සංඥා දුර්වල වීමය.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙසේ හැසිරීමට වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් හේතුවිය හැකි අතර එහි ප්‍රතිපලයක් ලෙස සිදුවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවල ස්වභාවය වෙනස් වීමය. එවිට සිරුරේ ඇති සෛල එයට පෙනෙන්නේ ආගන්තුක ඒවා හැටියටය. එය ස්නායු පද්ධතියට පහර දෙන්නට පටන් ගන්නේ ඒ නිසාය. එමෙන්ම වෛරස් ආසාදනය නිසා ආගන්තුක සෛල හා සිරුරේ පවතින සෛල අතර වෙනස හඳුනාගැනමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇති හැකියාව පහළ වැටීම හෝ නැතිව යාම සිදුවේ. එය මයලින් කොපුවලට  පහර දෙන්නට පටන්ගන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.  

මෙයට ප්‍රතිකර කළ යුත්තේ කෙසේද?

මෙම රෝගය සඳහා දැනට හඳුනාගත් ප්‍රතිකාරයක් තිබේ. එමෙන්ම රෝගයේ දරුණු බව අවම කරන ප්‍රතිකාර ද ඇති අතර එමගින් රෝගියාගේ සුවවීමේ වේගය ශීඝ්‍ර කරගත හැකිය. මේ සඳහා දැනට ලෝකයේ සිදුකෙරෙන ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය වන්නේ සිරුරේ ඇති රුධිර ප්ලාස්මාව මාරු කිරීමය. මෙහිදී සිදුවන්නේ සිරුරේ රුධිරය සම්පූර්ණයෙන්ම ඉවත් කොට එය ප්‍රතිසැකසීමකට ලක්කිරීමය. එහිදී රතු හා සුදු රුධිර සෛල, ප්ලාස්මාව හෙවත් රුධිරයේ ඇති ද්‍රව කොටසින් වෙන් වේ. පසුව එම රුධිරය ප්ලාස්මාව රහිතව යළි සිරුරට ඇතූළු තෙරේ. අය සිරුරට ඇතුළු කළ සැනින් සිරුර විසින් ඉතා ඉක්මණින් නව රුධිර ප්ලාස්මාවක් නිපදවාගැනීම සිදුකරයි. මෙසේ රුධිර ප්ලාස්මාව මාරු කිරීම නිසා මෙම රෝගය සුවකළ හැක්කේ කෙසේද යන්න විද්‍යාඥයන් තවමත් හරිහැටි අවබෝධකොටගෙන නැත. නමුත් මෙම ප්‍රතිකාර ක්‍රමය නිසා ගිලන් බාරේ සහලක්ෂණයේ ඇති බරපතල බව සැළකිය යුතු මට්ටමින් අඩුවේ. ඇතැම්විට එයට හේතුව රුධිර ප්ලාසමාවේ තිබූ ස්නායුවලට හානිකරන සුළු ප්‍රතිදේහ සහ අනෙකුත් ප්‍රතිශක්තිකරණ සෛල කොටස් ඉවත්වීම නිසාවන්නට ද පුලුවන.

එමෙන්ම ඉමියුනොග්ලොබියුලින්’(immunoglobulin) නමැති ප්‍රතිදේහය සිරුරට ලබාදීම මගින් ද මෙම රෝගයේ බලපෑම සෑහෙන දුරකට පාලනය කළ හැකිය.


අප නැවත සඳගිරිගේ කතාව දෙසට අවධානය යොමුකළ හොත් ඔහුට ප්‍රතිකාර ලබාදී තිබුණේ රිජ්වේ ආර්යා ළමා රෝහලිනි. මුළින්ම ඇවිදගැනීමට පවා නොහැකිව සිටි ඔහු සෑහෙන සුවකයකට පත්ව ශිෂ්‍යත්ව විභායට යහපත් මානසික තත්වයෙන් මුහුණ දී තිබේ. එබැවින් අප රටෙහි මෙයට ප්‍රතිකරාර නැතැයි කියා කිසිවකු බියට පත්විය යුතු නැත. කලට වේලාවට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම තුළින් මෙම රෝගයේ බලපෑමෙන් අතමිදෙන්නට හැකිවනු ඇත. 

මානසික විහිතිය - Mental Set


අප කිසියම් ගැටලුවක් විසඳීමේදී අතීතයේ එයම හෝ එයට සමාන ගැටලු විසඳීම සඳහා යොදාගත් ක්‍රමයක් අනුගමනය කිරීමට ඇති ප්‍රවණතාවය මෙසේ හඳුන්වනු ලබයි. බොහෝ අවස්ථාවලදී මෙය ඉකමණ් විසඳුම් සඳහා උපයෝගී වේ. නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම උපක්‍රමය යම් ගැටලුවක් වෙතට ප්‍රවේශවීමට ඇති නව ක්‍රමෝපායයන්ට බාධා කරයි. 

මේ ආකාරයට අතීතයේ දී සාර්ථක වූ විසඳුම් සඳහා යොමුවීමට ඇති ප්‍රවණතාවය මානසික විහිතිය යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම මානසික විහිතීන් ඇතැම් අවස්ථාවලදී තද තීරණ ගැනීමට හේතුවන අතර ගැටලු විසඳීමේ ක්‍රියාවලිය කෙරෙහි දුෂ්කරතාවයන් ඇති කරන්නට ද හේතු වෙයි. අප මුහුණ දෙන ගැටලු සඳහා අතීතයේ ලද අත්දැකීම් ඇසුරින් ලබාදෙන විසඳුම් උපයෝගී කරගත හැකි වුව ද , වර්තමානයේ අප මුහුණ දී ඇති ගැටලුවට අලුත් හෝ නිර්මාණශීලී විසඳුමක් ලබාදීමට එය බාධාවක් වේ. 

උදාහරණ 

ඔබේ යතුරු පැදිය පණගැන්වීමේ ගැටලුවක් පැන නැගි අතර, අතීතයේ එක් අවස්ථාවක මෙසේ වූ විට එයට හේතුව වශයෙන් ඔබ සොයාගත්තේ එහි ස්පාර්ක් ප්ලගයේ දෝෂයක් තිබ බවය. එබැවින් නැවතත් එසේ පණගැන්වීමේ ගැටලුවක් පැන නැගි විට ඔබ කරන්නේ ස්පාර්ක් ප්ලගය පිරිසිදු කොට සවිකිරීමෙන් පසුව නැවත එය පණගැන්වීමට උත්සාහ කිරීමය. නමුත් මෙවර එම ක්‍රමය සාර්ථකවන්නේ නැත. ඔබ එය කාර්මිකයකු වෙතට රැගෙන යන අතර ඔහු සොයාගන්නේ යතුරුපැදියේ මැකින්ටෝ උපකරණයට ජලය කාන්දුවී ඇති බවය. ඔබේ මානසික විහිතිය නිසා ස්පාර්ක් ප්ලගය හැරුණු විට වෙනත් දෝෂයක් ගැන සිතන්නට ඔබට ඉඩක් නොලැබීම මෙයට හේතුවය. 

Sunday, October 12, 2014

“අනාගතයේ අනුරාධපුරය මුළු ලෝකයේම ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වන්නත් පුලුවන්” - Anuradhapura will be spiritual centre of the world




අනාගතයේ අනුරාධපුරය මුළු ලෝකයේම ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වන්නත් පුලුවන්

- මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි 


දහවලටත්අද්භූත රූප මැවෙන අනුරපුර ආරාමික වන පෙත’ (මෙහි බ්ලොග් සටහන මෙතැනින් කියවන්න පුලුවන්) යන මැයෙන් 2014-09-28 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධව සුවිසල් ජන අවධානයක් යොමුව තිබේ. ඉන් පැවසුණේ දිවා කාලයේදී පවා යෝගාවචර භික්ෂූන් වහන්සේලාගේ රූප මැවී පෙනෙන්නේ යැයි පැවසෙන  අනුරාධපුර ඇතුළු නුවරට ඔබ්බෙන් පිහිටි පැරණි පබ්බත විහාරාරාම සංකීර්ණයක නටබුන් ද සහිත වනපෙතක් පිළිබඳවය. පුරාණ විජයාරාමය නමින් හැඳින්වෙන මෙම ආරාමික වන පෙත පිහිටා ඇත්තේ අනුරාධපුර සමාධි පිළිමය, කුට්ටම් පොකුණ අද්දරින් වැටී ඇති ගල්පාලම පාරේ කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන රණවිරු ඉන්දික අනුරමාවතේය. හයවැනි හෝ හත්වැනි සියවස්වලට අයත් පංචාවාස ආරාම සංකීර්ණයක් වන මෙම භූමියේ වනගහනය අතරින් දහවල් කාලයේදී පවා භික්ෂූන් වහන්සේලාගේ රූප මැවී එක්වරම නොපෙනී යන බවට ආරංචි පැතිර තිබිණ. එමෙන්ම මේ ආකාරයට භික්ෂූන් වහන්සේලාගේ රූප දර්ශනය වූ පුද්ගලයන්ට පෙර නොවූ විරූ ආකාරයේ කායික හා මානසික සුවයක් ලැබෙන බවට ද ආරංචි පැතිර තිබිණ. මේ පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා විවිධ විද්වතුන් අදාල ආරාමික පරිශ්‍රයට ගොස් ඇති අතර අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණෝ ද ඒ අතරේ වෙති. මේ ඒ සම්බන්ධව උන්වහන්සේ සමඟ පවත්වනු ලබන සාකච්ඡාවකි. 


මෙම විජයාරාම ආරාමික සංකීර්ණයේ මැවී පෙනෙන්නේ යැයි පැවසෙන භික්ෂූ රූප පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? 


එයට පිළිතුරු දීමට පෙර එහි මෑත ඉතිහාසය පිළිබඳ යම් හැඳින්වීමක් කළ යුතුයි. පසුගිය කාලය පුරාම වනයෙන් වැසී තිබුණු මෙය කිසිවකුගේ අවධානයට ලක් නොවුණු උතුම් ආධ්‍යාත්මික ස්ථානයක්. නමුත් ඒ කාලයේදී මෙම වනපෙත  අවට ගැමියන් තුළ එම ස්ථානය පිළිබඳ ගුප්ත භීතියක් හටගෙන තිබුණා. එයට හේතුව එම වනපෙත තුළ වලිගයක් සහිත අද්භූත මිනිසකුගේ රූපයක් දර්ශනයවීම බවයි ගැමියන් ප්‍රකාශ කොට සිටියේ. ඒ නිසාම ගල්පාලම ප්‍රධාන මාර්ගයේ සිට ගැමියන්ගේ හේන් කුඹුරු දක්වා යාමේදී එම වනපෙත පසුකළ  යුතු වුවත් අඩුම තරමින් ඔවුන් මේ වනපෙත මැදින් අඩිපාරක්වත් තනාගෙන තිබුණේ නැහැ. එයට හේතුව මෙය පිළිබඳව ඔවුන් තුළ තිබූ ගුප්ත භීතියම වන්නට පුලුවන්. මෙම වනපෙත මගහැරෙන අයුරින් කවාකර අන්දමට ඔවුන් සිය හේන් කුඹුරු කරා ගමන්කිරීම සඳහා අඩිපාරක් තනාගන තිබුණා. අඩුම තරමේ දරකෑල්ලක් සොයා ගෙන කාන්තාවන් පවා මෙම වනපෙතට පිවිස තිබුණේ නැති බව ගැමියන් පවසනවා. 


එසේනම් ස්වාමීන් වහන්ස මෙහි අද තත්වය මොන වගේද?
 

අපට දැනගන්නට ලැබුණු ආකාරයට 2014 වර්ෂයේ ජනවාරි 10 වැනිදා මෙම අගනා ඉපැරණි විහාරාරාම සංකීර්ණය තුළ  පුරාවිද්‍යාත්මක  ගවේෂණ ආරම්භ කොට තිබෙනවා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්. මේ අවට ඇති කැලෑ එළිකොටඑම භූමියේ යටි කැලය ඉවත්කොට මෙම ආරාමික සංකීර්ණය සංරක්ෂණය කිරීම සඳහා මූලික පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා බරපැන දරා ඇත්තේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයයි. ලැබී ඇති තොරතුරුවලට අනුව මෙසේ කැලෑ එළිකිරීමෙන් පසුවයි මෙම ආරාමික සංකීර්ණය තුළින් ඉහත සඳහන් විෂමාකාර රූප වෙනුවට භික්ෂූන් වහන්සේලාගේ රූප මැවී පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ. 


කුමක්ද එම වෙනසට හේතුව


අතීතයේ මෙම විහාරාරම සංකීර්ණය වනයෙන් වැසී අනාරක්ෂිතව පැවැති කාලයේ එය අමනුෂ්‍යයන්ගේ වාස භවනක්ව තිබෙන්නට ඇති. නමුත් එවැනි පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු පවා ශාසනික වශයෙන් සළකන විට උතුම් පින්කම්. එනිසා ඉන්පසු  එයට සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම යොමු වුණා වන්නට ද පුලුවන්. දැනට එම පුරාවිද්‍යා පුදබිමේ සිදුවන ශාසනික පුනර්ජීවය හේතුවෙන් අතීතයේ මෙම පබ්බත විහාරයේ් වැඩසිටි නිර්වාණාවබෝධය නොලැබූ, එහෙත් උතුම් ආධ්‍යාත්මික තත්වයන්ට පත් භික්ෂූන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නැවත මෙම වන පෙත කෙරෙහි යොමුවුණා වන්නටත් පුලුවන්. එසේ සිදුවීමට ඇති හැකියාව ධර්මානුකූලවත් විස්තර කළ හැකියි. 


එසේ නම් ස්වාමිනී මේවා අද්භූත රූප ලෙස කොටසකට පමණක් පෙනෙන්නේ ඇයි


බෞද්ධ සූත්‍ර දේශනාවල සහ විමානවත්ථු’ ‛‛පේතවත්ථුවැනි බෞද්ධ කෘතීන්වල පැහැදිලිවම සඳහන් වන ආකාරයට මෙවන් භවිකයන් සතුව ඇත්තේ සුක්ෂම රූප. ඒවා පියවි මිනිස් ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට අවශ්‍ය නම් මිනිසුන්ට පෙනෙන සේ යම් ඕලාරික රූප මවාගන්නටත් හැකියාව තිබෙනවා. එය ද බුදුදහමින් සනාථවන්නක්. මේ අනුව මෙම භික්ෂූන් වහන්සේලාගේ රූප මෙම වන පෙත තුළදී කිහිප දෙනෙකුට හෝ පෙනෙන්නට ඇති. 


අප තුළ ඇති එවැනි ආගමික විශ්වාස අනුව අප ලිං මැඩියන්වශයෙන් හඳුන්වන පිරිසකුත් සමාජයේ සිටිනවා. 


ඔය ළිං මැඩි කතාවට මුල්වන්නේ සංස්කෘතයේ එන කූපමණ්ඩුක න්‍යායනම් සංකල්පයයි. කූපමණ්ඩුක න්‍යාය යනු තමන් දන්නා දේට වඩා දෙයක් මේ ලෝකයේම නැතැයි සිතීමයි. ඒ අනුව එක් විද්‍යාවකින් පමණක් ජනිතවන සීමිත දැනුමකින් සමස්ත විශ්වයම නිරීක්ෂණය කරන්නට යාම තමයි කූපමණ්ඩුක න්‍යායහෙවත් ළිංමැඩි පිළිවෙතයනුවෙන් හැඳින්විය යුත්තේ. 


නමුත් ස්වාමීන් වහන්ස, නවීන මනෝ විද්‍යාවට අනුව මෙම දර්ශන හැඳින්වෙන්නේ දෘෂ්ටි මායා (Illusions) සහ මනෝ භ්‍රාන්ති (Hallucinations) යනුවෙනුයි. ඒ නවීන මනෝ  විද්‍යාත්මක මතය පිළිබඳව ඔබ වහන්සේ දරණ ආකල්පය කුමක්ද


නවීන මනෝ විද්‍යාත්මක මත මා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහි යම් යම් සාධනීය කරුණු තිබෙනවා. නමුත් නවීන මනෝ විද්‍යාව පමණක් පරමාදර්ශයක් ලෙස අප සළකාගත යුතු නැහැ. 


ස්වාමීන් වහන්ස එයට හේතුව කුමක්ද


නවීන විද්‍යාවේ නියමනයන් සහ නියතයන්  නිරතුරුවම වෙනස් වෙනවා. කලක් සත්‍යය යැයි, යථාර්ථය යැයි සිතා සිටි දෙය නැතහොත් පරම සත්‍යයක් යැයි සිතා සිටි දෙය නැවත නැවත එසේ නොවේ යැයි එම විද්‍යාවෙන්ම පැවසෙනවා. ඒ අනුව නවීන විද්‍යාව පරම සත්‍යයක් ලෙස පිළිගත යුතු නැහැ. නමුත් බුදු දහම එලෙස කාලයෙන් කාලයට වෙනස්වන්නක් නොවේ. එය සනාතන ධර්මයක්. 


නමුත් ස්වාමීන් වහන්ස, නවීන විද්‍යාව අද වන විට ලෝකයේ  ඉහළම තැනකට පත්ව තිබෙනවා. 


නමුත් නවීන විද්‍යාවේ ඇති සංවාදාත්මක කරුණු අපේ ජන සමාජයට අවශෝෂණය වන්නේ නැහැ. නවීන විද්‍යාවත් මෙවැනි ආධ්‍යාත්මික කරුණු පිළිබඳව විශේෂ අවධානයකින් පසුවන බව අප රටේ බොහෝ දෙනෙකු පිළිගන්නේත් නැහැ. අපේ රටේ බොහොමයක් දෙනා නවීන විද්‍යාව ලෙස තවමත් පිළිගන්නේ මීට සියවස් හෝ දශක කිහිපයකට පෙර කළ සොයාගැනීම්. නමුත් අද ලෝක තත්වය ඊට ඉඳුරාම වෙනස්. 


ඒ සඳහා නිදසුනක් ඉදිරිපත් කළ හැකිද


රොබට් ලන්සානමැති ඇමෙරිකානු වෛද්‍යවරයා 2007 වසරේදී නවීන විද්‍යාව සම්බන්ධව ඉතා වැදගත් පෙරළිකාර න්‍යායක් ඉදිරිපත් කළා. එය නූතන විද්‍යාත්මක චින්තනය උඩුයටිකුරු කිරීමක්. එය හැඳින්වෙන්නේ ජීව කේන්ද්‍රවාදය’ (Biocentrism) නමින්. එය අද වන විට ලෝකයේ ප්‍රබල කතා බහකට ලක්වෙමින් තිබෙනවා. නමුත් අවාසනාවකට අපේ රටේ කිසිවකුත් මෙම වෛද්‍යවරයාගේ නව න්‍යාය පිළිබඳව දැනුවත් වී නැහැ. 


ස්වාමීන් වහන්ස ඒ න්‍යාය ගැන කෙටියෙන් පැහැදිලිකරන්න පුලුවන්ද


නවීන විද්‍යාවෙන් මෙතෙක් තහවුරු වී ඇත්තේ ලෝකයේ ජීවය (Organism) හටගෙන පසුව එයට ශක්තියක් (Energy) ආරෝපණය වූ බවයි. නමුත් වෛද්‍ය ලන්සාගේ සොයාගැනීමට අනුව ජීවය හටගෙන ඇත්තේ මේ විශ්වයේ පවත්නා ශක්ති පදාර්ථයන් නිසයි. මෙය නවීන විද්‍යාවේ උඩුයටිකුරුකිරීමක් යැයි සැළකෙන්නේ ඒ නිසයි. 


මෙම න්‍යාය ලෝකයේ බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්වූ බව ඔබ වහන්සේ තහවුරු කරන්නේ කෙසේද


ලෝකයට සැළකිය යුතු බලපෑමක් කළ හැකි පුද්ගලයන්  සිය දෙනා’ (TIME 100: The MostInfluential People in the World in 2014) කවුරුන්ද යන්න පිළිබඳව 2014 වසරේදී ලෝක ප්‍රකට ටයිම්සඟරාව සමීක්ෂණයක් කළා. ඒ් සිය දෙනා අතරට මේ වෛද්‍යවරයාත් එක්වී සිටිනවා. ඒ අනුව අපේ රටේ කෙසේ වෙතත් ඔහුගේ මේ නව සංකල්පය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුවෙමින් පවතින බවට එයම කදිම නිදසුනක්. ඔහු මේ නව සංකල්පය යටතේ පවතින විශ්වය හඳුන්වන්නේ ජීවකේන්ද්‍රීය විශ්වය’ (Biocentric universe) යනුවෙන්. 


ඔහු එම න්‍යාය ඉදිරිපත් කිරීමට යොදාගෙන ඇති මූලාශ්‍ර මොනවාද? 


භෞතික විද්‍යාවට අයත් ක්වන්ටම් න්‍යාය සහ වෙනත් විද්‍යාත්මක සාධක ඔහු මේ සඳහා යොදාගෙන තිබෙනවා. ඒ වගේම කිසියම් කරුණක් සම්බන්ධයෙන් විමසා බැලීමේදී එකම විෂයක් ඔස්සේ පමණක් කරුණු ගෙනහැර දැක්වීම අසාර්ථක බව ඔහු අවධාරණය කරනවා. උදාහරණයක් ලෙස මෙම අනුරාධපුර ආරාමික වන අරණ පිළිබඳ සිදුවීමේදී මනෝ විද්‍යාත්මකව පමණක් කරුණු ගෙනහැර දැක්වීම මේ අනුව ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය ලන්සාගේ මෙම අලුත් න්‍යාය සියල්ල පිළිබඳ න්‍යාය’ (Theory of Everything) නමින් හැඳින්වෙනවා. ඒ කියන්නේ යම් සිදුවීමක් සම්බන්ධව නිගමනයක් ලබාදීමේදී සෑම කරුණක් පිළිබඳවම සමෝධානය කළ යුතුය යන්නයි. ඔහු බෞද්ධයකු නොවුණත් මෙය බුදු දහම සමඟ සියයට සියයක්ම එකඟයි. ලෝකයේ ජීවය ඇතිවීමෙන් පසුව එයට ශක්තියක් එකතුවූයේ යැයි පැවසෙන විද්‍යාත්මක සිද්ධාන්තයට වඩා බුදු දහම සමීප වන්නේ වෛද්‍ය ලන්සා ඉදිරිපත් කළ මෙම නව න්‍යායටයි.  ලෝකයේ පැවැත්ම හේතු-ඵල සබැඳියාවක් මත සිදුවන බවයි බුදු දහමේ මූලික ඉගැන්වීම. සත්ත්වයාගේ පැවැත්මට තෘෂ්ණාව පාදක වන බව දීඝ නිකායේ අග්ගඤ්ඤ ආදී සූත්‍රවලින් ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා. ඒ අනුව විශ්ව ශක්තිය යනුවෙන් අප පොදුවේ ව්‍යවහාර කරන ශක්තීන්’,  අනාගතයේදී කොටස් වශයෙන් බෙදා වෙන්කරගැනීමට හැකිවෙතැයි අපට සිතිය හැකියි. ඒ අනුව ඒවා ධර්මානුකූලව ද සැසඳිය හැකි බව ඉතා පැහැදිලි කරුණක්. මෙම සංසිද්ධීන් සුළුකොට නොතැකිය යුතු බවට සිතිය හැකි තවත් සාධක තිබෙනවා. 


ඒ මොනවාද


ශ්‍රී ලංකාවේ විසූ ලෝකයේ කීර්තිමත්ම ලේඛකයකු වන ආතර් සී ක්ලාර්ක් සූරීන් 1957 වසරේ ලියා පළකළ ගැඹුරු මුහුද’ (Deep Range) කෘතියේ විසි දෙවැනි සියවසේ අනුරාධපුරයේ වෙසෙන ලෝක පූජිත මහා නාහිමි කෙනෙකු පිළිබඳව සඳහන් වෙනවා. මුළු ලෝකයේම ආධ්‍යාත්මික පාලනය තමන් වහන්සේ යටතට ගන්නා උන් වහන්සේ ස්කොට්ලන්ත ජාතිකයෙක්. බුදු සසුනේ දරුණු පරිහාණි යුගයකින් පසුව බුද්ධාගමනම් ආගම යටපත් වී බෞද්ධ දර්ශනය ඉස්මතුවන බවටත් එය අනුරාධපුරය මුල්කොටගෙන ලෝකයේම ව්‍යාප්තවන බවටත් ආතර් සී ක්ලාර්ක් සූරීන් එම කෘතියෙන් අනාවැකි පළ කරනවා. 


නමුත් ඉන්පසුව ලියූ කෘතිවලින් ආතර් සී ක්ලාර්ක් එම මතයෙන් බැහැර වී සිටි බව පෙනෙනවා නේද


ආතර් සී ක්ලාර්ක් වයස අවුරුදු 80දී, එනම් 1997 දී ලියූ අවසන් චාරිකාව’ (The Final Odyssey) නවකතාවෙන් ඔහු අවධාරණය කරන්නේ වසර 3001 වන විට මෙලොවින් ශූද්ධ වූ ග්‍රන්ථනමින් හැඳන්වෙන ආගමික ග්‍රන්ථ ඒ ආගමික මත පතුරුවන පූජකයන් සහ ඔවුන්ගේ ආගමික ස්ථාන සියල්ල අභාවයට යන බවයි. නමුත් බුදු දහම හුදු ආගමක් නොවන නිසා ඒ ඛේදවාචකයට නතුවන්නේ නැහැ. 


බුදු දහම ආගමක් නොවන බවට ඉදිරිපත් කළ හැකි කරුණු මොනවාද? 


පසුකාලීන තත්වය විමසා බලන විට බුදුදහම තුළින් ආගමක් පැන නැගුණු බව ඇත්ත. නමුත් මූලික බුදුදහමේ ඇත්තේ හුදු දාර්ශනික පදනමක් පමණයි. ලොව කිසිදු ආගමික ශාස්තෘවරයෙක් තමන්ගේ දේශනාව එක්වරම පිළිගන්නට එපා යැයි ප්‍රකාශය කොට නැහැ. යමෙකු එවැනි ප්‍රකාශයක් කළහොත් ඒ නියත වශයෙන්ම දාර්ශනිකයෙන්ම විය යුතුයි. නමුත් මජ්ජිම නිකායේ චූලයමක වග්ගයේ වීමංසකසූත්‍රයෙහි තථාගතයන් දෙසු පමණින්ම වුවත් කරුණු නොවිමසා තමන් වහන්සේගේ දහම පිළිගත යුතු නැතැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. 


ආතර් සී ක්ලාර්ක් විද්‍යා ලේඛකයකු වූ පමණින් ඔහුගේ ප්‍රබන්ධයකින් කියැවුණු එවැනි පුවතක් යථාර්ථයක් බවට පත්වේයැයි සිතිය හැකිද? 


ප්‍රංශ ජාතික කාල් යුන්ග් (Carl Jung) කියන්නේ ලෝක පූජිත මනෝ විද්‍යාඥයෙක්. ඒ වගේම මහා ප්‍රඥාවන්තයෙක්. 1944 වසරේ ඔහු මාරක අනතුරකට පත්වී මරණාසන්න අත්දැකීම්යැයි සැළකනෙ අත්දැකීමට මුහුණ දුන්නා. එහිදී ඔහු දැක ඇත්තේ තමන් පෘථිවි ගෝලයෙන් ඔබ්බෙහි දීප්තිමත්  ස්ථානයක සිටින බවයි. අභ්‍යවකාශ ගමන් ඇරඹී නොතිබූ මේ යුගයේ පෘථිවි ගෝලයේ ස්වභාවය පියවි ඇසින් දැකගැනීමට කිසිවකුට හෝ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් කාල් යුන්ග් තම මරණාසන්න අත්දැකීම තුළින් එය ප්‍රකෘතියක් සේ දැකගත්තා. එහිදී ඔහු පවසන්නේ තමන් මුළින්ම දුටුවේ ශ්‍රී ලංකාව බවයි. එසේම අප රටේ පිබිදෙන ආධ්‍යාත්මවාදය පිළිබඳවත් ඔහු තම මරණාසන්න අත්දැකීමෙන් පසක්කොටගෙන තිබෙනවා. ඒ අනුව අනන්ත අපරිමාණ විශ්වය හා මිහිතලය යා කෙරෙන පෘථිවියේ එළිපත්ත ලෙස ඔහු තම කෘතියක් මගින් ශ්‍රී ලංකාව හඳුන්වා තිබෙනවා. මෙවන් පසුබිමක් හමුවේ විජයාරම ආරාමික වනපෙත තුළින් මතුවන මෙම සංසිද්ධීන් ශ්‍රී ලංකාව මුල්කොට අනාගතයේ ඇතිවන එවැනි ආධ්‍යාත්මික විප්ලවයක පෙර ලකුණු වන්නටත් පුලුවන්. මේ සියලු කරුණු සලකා බැලූ විට අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව මතු අනාගතයේදී මුළු ලෝකයේම අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය විය හැකියි. එහෙත් එසේ සිදුවන්නේ මුළු ලෝකය පුරා හටගන්නා ආධ්‍යාත්මික විප්ලවයකින් පසුව බවත් පැවසිය යුතුයි. 

මෙයට සම්බන්ධ පෙර ලිපිය
 දහවලටත් අද්භූත රූප මැවී පෙනෙන අනුරපුර ආරාමික වන පෙත