පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, October 7, 2014

විදෙස් අධ්‍යාපන ආයතනයකින් උපාධියක් බලාපොරොත්තු වන ඔබට - For you, hope to obtain a degree from a Foreign University



කලකට පෙර සරසවි අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යම් කිසි පුද්ගලයකු අනිවාර්යයෙන්ම රජයේ සරසවියකට ඇතුළු විය යුතු තත්වයක් තිබිණි. නමුත් වර්තමානයේ එසේ නොවේ. මේ වන විට අප රටෙහි විවිධ උපාධි පිරිනමන පෞද්ගලික ආයතන බොහොමයක් පවතී. පෞද්ගලික සරසවි පිහිටුවීම නොකළ යුතු යැයි කෙතරම් උද්ඝෝෂණ සිදු වුව ද වර්තමානයේ දක්නට ඇති මෙවැනි උපාධි පිරිනමන ආයතන දෙස බැලීමේදී එම උද්ඝෝෂණවලින් පලක් සිදුවී නැති බැව් පෙනේ. කලකට පෙර University of Colombo යනුවෙන් සෙවීමක් කළ විට ලැබුණු එකම ප්‍රතිඵලය වූයේ කොළඹ සරසවිය වුව ද අද එසේ නොවේ. ගූගල් වෙව් අඩවිය ඔස්සේ සෙවීමක් කළ විට කොළඹ නගරයේ පමණක් පිහිටුවා ඇති මෙවැනි පෞද්ගලික සරසවි පිළිබඳ බොහෝ තොරතුරු සොයාගත හැකිය. මෙසේ පෞද්ගලික මට්ටමින් උපාධි පිරිනමන ආයතන පිළිබඳ යම් යම් චෝදනා ඇති බව සැබෑ මුත්, උසස් පෙළ විභාගය සමත්ව රජයේ සරසවියකට ඇතුළු වන්නට වරම් නොලබන සිසු දරුදැරියෝ බොහොමයක් මෙවැනි පෞද්ගලික ආයතනවලට ඇතුළු වී යම් යම් උපාධි හිමිකොටගෙන උසස් රැකියාවන් ලබාගැනීම මෑතක සිට දක්නට ඇති ප්‍රවණතාවයකි. එබැවින් රජයේ සරසවි සඳහා සුදුසුකම් නොලබන දරුදැරියන්ගේ අනාගතය ආලෝකවත් කරගැනීමට මෙවැනි ආයතනවලින් පිටුවහලක් ලැබෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි. ඒ පිළිබඳ කතා බහ කිරීම සුදුසු යැයි සිතුනේ එබැවිනි.

අප රටේම බිහි වූ යම් යම් පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතන සහ විදෙස් රටවලට අයත් සරසවිවල මෙරට පිහිටුවා ඇති ශාඛාවලින් උපාධි පිරිනැමීම මෑතක සිට වර්ධණය වෙමින් පවතින බැව් පෙනේ. ඇතැම් අවස්ථාවලදී මෙරට සරසවිවල අධ්‍යාපනය ලබනවාට වඩා වාසි සහගත තත්වයන් මෙරට පිහිටුවා ඇති විදෙස් රටක සරසවියක අධ්‍යාපනය ලබාගැනීමෙන් හිමිකරගැනීමට පුලුවන. මේ කිසිවක නොමිලයේ පිරිනැමෙන්නේ නැති බව සත්‍යයක් මුත්, මෙවැනි ඇතැම් ආයතනවලින් ඒවායේ නොමිලයේ අධ්‍යපානය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනමන අවස්ථාවන්ද දක්නට ලැබේ. එබැවින් එවැනි අවස්ථාවන් පිළිබඳ විමසිලිමත්ව සිටීම ද වැදගත් කරුණකි.

එක්සත් රජධානිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලට අයත් සරසවිවල ශාඛාවන් අප රටේ පිහිටුවා තිබේ. විදේශගතවී එම සරසවිවල අධ්‍යාපනය ලබනවාට වඩා ඉතා අඩු වියදමකින් මෙම සරසවි ආයතනවලින් උපාධියක් හිමිකරගැනීමට යමෙකුට හැකියාවක් පවතී. නමුත් ඔබ එවැනි ආයතනයකින් උපාධි පාඨමාළාවක් හැදෑරීම සඳහා ඉල්ලුම් කරන්නට බලාපොරොත්තුවන්නේ නම් සැළකිය යුතු විශේෂ කරුණක් තිබේ. ඒ මෙම ආයතන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා තිබේද යන්න පිළිබඳවය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ මෙසේ අනුමැතිය ලබාලත් දේශයී හා විදේශී අයතනවල විස්තර සඳහන් කොට තිබේ. එයට අනුව පහත ආයතන පිළිබඳව මෙහි සඳහන් කළ හැකිය.

දේශීය ආයතන

කාර්මික විද්‍යාල, මිනුම්දෝරු ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය(SLIIT), ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ධීවර සහ නාවික ඉංජිනේරු ශිල්පය පිළිබඳ ජාතික ආයතනය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, ඇක්වයිනාස් විද්‍යාලය, ජාතික ව්‍යාපාර කලමනාකරන ආයතනය (NIBM), තාක්ෂණවේදය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියානු ආයතනය (SAITM), ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ ජාතික ආයතනය (NSBM), කොළඹ ජාත්‍යන්තර නාවික සහ ඉංජිනේරු විද්‍යාලය (CINEC), ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය, වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය සහ සනස උසස් අධ්‍යාපන ආයතනය.

විදේශීය ආයතන

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිර්දේශ කොට ඇති ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩල සරසවිවලින් වාර්ෂිකව නිකුත් කෙරෙන ලැයිස්තුව (Commonwealth Universities Yearbook) සහ ජාත්‍යන්තර සරසවි අත්පොත (International Handbook of Universities) පරීක්ෂාකිරීමෙන් අප රට තුළ හිඳිමින් විදෙස් රටක සරසවියක අධ්‍යාපනය ලබාගැනීම සඳහා සුදුසු ආයතනයක් හඳුනාගත හැකිය. http://www.ugc.ac.lk/en/universities-and-institutes/recognized-foreign-universities.html යන්න ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවසීමෙන් මෙම ලැයිස්තු ඔබට පරීක්ෂාකිරීමට පහසුකම් පවතී.

එමෙන්ම විදෙස් රටකට අයත් මෙවැනි උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලැබීමට යමෙකු අපෙක්ෂා කරන්නේ නම් සැළකිය යුතු කරුණු කිහිපයක් ද වේ.

1. සරසවි ශ්‍රේණිගත වීම - World University Ranking යනුවෙන් අන්තර්ජාල සෙවුමක් සිදු කළ විට ඔබ උපාධියක් ලබාගන්නට අපේක්ෂා කරන සරසවියේ ශ්‍රේණිය සොයාගත හැකිය. එය පහළ ශ්‍රේණියක පවතින්නේ නම් ඔබේ තීරණය පිළිබඳ නැවත වරක් සිතා බැලීම සුදුසුය.

2. එම ආයතනවලින් ලබාදෙන අධ්‍යාපනයේ ඇති ගුණාත්මක භාවය. UNESCO handbook of universities වෙතින් මේ පිළිබඳව තොරතුරු ලබාගත හැකිය. http://www.whed.net/home.php යන වෙබ් අඩවිය තුළින් මෙම පහසුකම ලබාගැනීමට හැකිය.

3. අධ්‍යාපනය ලබාදෙන්නවුන් කවුරුන්ද යන වග. මේවායේ දේශකවරුන්ගේ සුදුසුකම් පිළිබඳ මෙයින් අදහස් වේ. බොහෝ විට දේශීයව පිහිටුවා ඇති විදෙස් රටවල සරසවි සඳහා දේශීයව මෙන්ම විදේශියව ද සම්පත් දායකයන් යොදාගනු ලැබේ.

4. මෙම සරසවිවල ඇති පහසුකම්


පුස්තකාල පහසුකම්, සම්පත් මධ්‍යස්ථාන, අධ්‍යයන කටයුතු සඳහා වෙන්කළ ස්ථාන, යවත්කාලීන තාක්ෂණයෙන් යුක්ත පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම්, අනෙකුත් විද්‍යාගාර, සියලු පහසුකම් සහිත දේශන ශාලා, වැනි දේ පිළිබඳ අවධානය යොමුකළ යුතුය. ඇතැම් ආයතන විසින් උපාධි ලබාදෙන බව සඳහන් කළ ද ඒවායෙන් මෙවැනි කිසිදු පහසුකම්ක් ලබා නොදෙන අවස්ථාවන් ද දක්නට ලැබේ. එබැවින් ඔබ වැය කරන මුදලට සරිලන සියලු පහසුකම් සහිත විශ්වසනීය ආයතනයකින් උපාධියක් ලබාලැනීම ඔබලේ අනාගතය නිසැක ලෙසම සුරක්ෂිත කරන්නක් වනු නිසැකය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න