පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 10, 2014

නොබෙල් සම්මානයෙන් පුදනු ලැබූ මරණය පෙනි පෙනී අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ - මලාලා - Malala who fought against the Taliban terrorists for the sake of education and won Nobel price



පාකිස්ථාන අධ්‍යාපන ක්‍රියාකාරිනියක වූ මලාල යුසාෆ්සායි සහ ඉන්දියානු ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වූ කයිලාෂ් සත්‍යාර්ථි 2014-10-10 වැනිදා නොබෙල් සම්මානයෙන් පිදුම් ලද අතර ඔවුන් දෙදෙනාට ස්ටර්ලිං පවුම් 690,000 මුදලක් හිමිවිය. මේ සටහන මොවුන් දෙදෙනා අතරින් තලේබාන් අන්තවාදීන්ට එරෙහිව සිය හඬ අවදි කළ මලාලා වෙනුවෙනි.

පාකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට මායිම්ව පවතින ස්වාත් නිම්නය යනු නිතර දෙවේලේ ලෝක ජනමාධ්‍යයන් ඔස්සේ කියැවෙන නමකි. එයට හේතුව වී ඇත්තේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වූ තලේබාන්වරු මෙහි සිය අණසක පතුරුවා ඇති බැවිනි. ඔවුන් විසින් සිදු කෙරෙන ත්‍රස්ත ක්‍රියාවන් පිළිබඳ ලෝක ජනමාධ්‍යයන්ගේ ඇස නිරතුරු යොමු වෙයි.  තලේබාන්වරු මෙහි අණසක පතුරුවා හැර ඇති බැවින් ඔවුන් එහි ක්‍රියාත්මක කරන්නට සැරසෙන්නේ අන්තවාදී නීති පද්ධතියකි. ඔවුන්ගේ නීතියේ හැටියට කාන්තාවනට සමතැන හෝ නිසි තැන නැත. ඇත්තේ පහත්ම ස්ථානයකි. ඔවුනට පාසල් යන්නට ද තහනම්ය. අපේ කතාව ආරම්භවන්නේ එතැනිනි.


මේ ස්වාත් නිම්නයේ මින්ගෝරා නගරය පවතින්නේ පාකිස්ථානු පාලනයට යටත්ව වුවද පැතිර පවතින්නේ අන්තවාදී තලේබාන් නීතියයි. තලේබාන්වරු මෙහි සියලු දරුවන්ට  පාසල තහනම්කොට තිබිණි. 1997 ජූලි 12 වැනිදා මේ නගරයේ උපන් මලාලා යුසාෆ්සායි ට ද අත්වූයේ ඒ ඉරණමම ය. ඔවුහු මලාලා ට ද පාසල් යාම තහනම් කළහ. එතැනින්ද නොනැවතුණු ඔවුහු පාසල් විනාශ කරන්නට ද පටන් ගත්හ. තලේබාන් අන්තවාදීන් මෙයට හේතුව ලෙස පැවසූයේ රජයේ හමුදාවන් පාසල්වල සිට තමන්ට ප්‍රහාර එල්ල කරනා බැවින් ඒවා තවදුරටත් පාසල් නොවනා බවය. මලාලා ඔවුනගේ නීතිය පිළිගන්නට කැමති වූ බවත් පෙනුනේ නැත. ඇයට 11 - 12 හැවිරිදි වියෙහි පසුවූ එය වසර 2009 පමණ විය. ඇය බීබීසී ආයතනය විසින් පවත්වාගෙන ගිය බ්ලොග් අවියකට සිය ඉරණම පිළිබඳ විස්තර කරමින් දිනපොතක් ලියන්නට පටන් ගත්තේය. ඇය එහි නිතර සඳහන් කළේ අන්තවාදී තලේබාන්වරු ස්වාත් නිම්නය ඔවුනගේ පාලනයට නතුකරගැනීමට උත්සාහ දරමින් සිටින බව හා කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තමන් නගනා හඬයි. මෙහි ප්‍රතිඵලක් ලෙස නිව්යෝර්ක් ටයිම්ස් ආයතනය මලාලාගේ ජීවිතය අළලා වාර්තා වැඩසටහනක් ද සකස් කළේය. ඉන් අනතුරුව ඇය පිළිබඳ ලෝකයම කතා කරන්නට පටන් ගත්තේය. ඇයට විවිධ ජාත්‍යන්තර මාධ්‍යවලින් සම්මුඛ සාකච්ඡා සඳහා ද කැඳවීම් ලැබිණි. ඇයව ජාත්‍යන්තර ළමා සාම තිළිණය වෙනුවෙන් ද යෝජනා විණි.


ඇය තලේබාන්වරුන්ට එරෙහිව නිතර සිය අදහස් ප්‍රකාශ කළාය. එහි ප්‍රතිඵලය වූයේ ඇය ඔවුනගේ මරණ ලැයිස්තුවට එක්වීමය. හිටපු පාකිස්ථානු ගුවන් හමුදා නිලධරයකු වූ තලේබාන් නායකයා වරෙක පැවසූයේ සිය මරණ ලැයිස්තුවට ඇයව බලයෙන් එක්කිරීමට සිදුවූ බවය.

2012 ඔක්තෝබර් 9 වැනිදා ඇය සිය යෙහෙළියන් කිහිප දෙනෙකු සමග පාසලේ සිට නිවස දක්වා බසයෙන් පැමිණෙමින් සිටියාය. එතැනට පැමැණි තුවක්කුකරුවකු ඇසුවේ

මෙතැනින් මලාලා කියන්නේ කවුද? කිව්වේ නැත්නම් උඹලා ඔක්කොටම වෙඩි තියනවා  

කියාය. කෙසේ මුත් ඔවුනට මලාලා කවුදැයි හඳුනාගන්නට හැකි විය. තලේබාන් අන්තවාදීන් විසින් මලාලා ගේ හිසට සහ ගෙලට වෙඩි දෙකක් තබනු ලැබිණි. ඇගේ යෙහෙළියන් දෙදෙනා ද වෙඩි ප්‍රහාරයට ලක්වුවද එතරම් අසාධ්‍ය තත්වය පසු නොවූයෙන් ඇසින් දුටු දේ පවසන්නට ඔවුහු යහපත් සිහියෙන් පසුවූහ.


මලාලාගේ තත්වය ඉතා බරපතළ විය. මුල් දින කිහිපය ඇය පසුවූයේ සිහිසුන්වය. නමුත් කිහිප දිනකට පසු ඇගේ තත්වය මඳක් යහපත් අතට හැරිණි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව එක්සත් රාජධානියේ බර්මින්හැමි හි පිහිටි ක්වීන් එලිසබෙත් රෝහලට රැගෙන යනු ලැබිණි. 2012 ඔක්තෝබර් 12 වැනිදා ඉස්ලාමීය ආගමික නායකයන් 50 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් එක්ව මලාලා ඝාතනය කිරීමට තැත්කළ පිරිසට එරෙහිව ආගමික ප්‍රකාශයක් නිකුත් කෙරිණි. නමුත් එයින් ඔවුන් සසළ වූ බවක් පෙනෙන්ට තිබුණේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ඔවුන් මලාලා සහ ඇගේ පියා ඝාතනය කිරීම සඳහා අළුතින් සැළසුම් සකස් කරනා බැව් ප්‍රකාශ කිරීමය.


මලාලාගේ ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ලෝක ජනමාධ්‍ය ද මේ පිළිබඳ දැඩිව කතා කරන්නට පටන් ගත්තේය. ජර්මානු මාධ්‍යයක්  වූ Deutsche Welle ප්‍රකාශ කොට සිටියේ ලෝකයේ ප්‍රකටතම තරුණිය බවට මලාලා පත්ව සිටිනා බවය. ගෝලීය අධ්‍යාපනය උදෙසා වූ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරෙහි කැඳවුම්කරු වූ එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍ය ගෝර්ඩන් බ්‍රවුන් පෙත්සමක් දියත් කළේ මලාලා වන මම ඉල්ලා සිටින්නේ වසර 2015 වන විට ලොව සියලු දැරියන් පාසල් යායුතු බවයි යන තේමා පාඨය ද සමගිනි. 2013 අප්‍රේල් 29 වැනිදා ටයිම් සඟරාවේ කවරයේ කතාව ද වෙන්වී තිබුණේ ඇය වෙනුවෙනි. එහි සඳහන් කොට තිබුණේ ලෝකයේ ප්‍රබලතම පුද්ගලයින් පනස් දෙනාගෙන් එක් තැනැත්තියක් ඇය බවය. සියලු දරුවන්ට අධ්‍යාපන අයිතිය ලබාදිය යුතු බවට ඇය එක්සත් ජාතීන්ගෙන් සමුළුව අමතමින් ද වරෙක පැවසූවාය.

මලාලාගේ පියා වන සියාඋද්දින් යුසාප්සායි ද අධ්‍යාපනයේ සැබෑ වටිනාකම හඳුනන්නෙකි. කිවියකු හා අධ්‍යාපනික ක්‍රියාකාරී පුද්ගලයකු ඔහු මෙම පළාතේ පාසල් දාමයක් පවත්වාගන යන්නෙකි.


මෙම ඝාතන ප්‍රයත්නයෙන් කිහිප දිනකට පසු මලාලාගේ ඝාතනකරු ලෙස හඳුනාගත් අයෙකු පාකිස්ථානු හමුදාව මගින් ඝාතනය කරනු ලැබිණි. ඔහු රසායන විද්‍යා උපාධි අපේක්ෂක ශිෂ්‍යයකු බවට ද හෙළිවී තිබේ.


තලේබාන් අන්තවාදීන්ගේ මෙම ක්‍රියාව පිළිබඳ මුළු ලෝකයම සිය පිළිකුළ ප්‍රකාශ කරද්දී මෙම සිදුවීම පිළිබඳ වෙනත් කතාවක් ද ඇසේ. ඔවුන් පවසන්නේ බීබීසී බ්ලොග් අඩවියට මලලා නමින් මෙම සිදුවීම් සටහන් කළේ ඇය නොව වෙනත් අයකු බවය. ඒවා ලියා තිබූ ශෛලියට අනුව මේවා මලාලා විසින් ලියන්නට ඇති ඉඩකඩ අඩු බව පෙනෙන බැව් ඔවුහු පවසති. බටහිර ජාතීන් ස්වාත් නිම්නයේ පවතින ත්‍රස්තවාදය පිළිබඳ පවසන්නට එහිම පුද්ගලයකු යොදාගත් අවස්ථාවක් ලෙස ඇතැමුන් මෙය හඳුන්වති. ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපන අයිතිය තලේබාන්වරුන් විසින් අහිමිකොට ඇති බැව් සැබෑවකි. නමුත් මධ්‍යස්ථව මේ දෙස බලන්නන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ, නේටෝ වේ ගුවන් ප්‍රහාර මගින් ත්‍රස්තවාදීන් නොවන කාන්තාවන් හා දරුදැරියන් සෑහෙන ගණනක් මිය ගොස් ඇති බව හා මිය යමින් සිටිනා බවය. නමුත් ඔවුන් පිළිබඳ බටහිර මාධ්‍යයන් කතා කරන්නේ නැත. නමුත් ඔවුහු මලාලා පිළිබඳ කතා කරති. ඇයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශනවලට ද ඉඩකඩ සළසා දී තිබේ. ඇය එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම සඳහා සකස් කළ දේශනය ද ඇය විසින් රචනා කරන ලද්දක් නොව එය බටහිරයන්ගේ න්‍යාය පත්‍ර තහවුරුවන අයුරුන් සකස් කරන ලද්දක් බවට ද මත පළවෙමින් පවතී.


සැබැවින්ම අප මලාලා පිළිබඳව ශෝක විය යුතුය. ඇයට අත්වූ ඉරණම අන් අයකුට අත් නොවිය යුතු බවට ප්‍රාර්ථනා කළ යුතුය. එමෙන්ම ඇය නොබෙල් සම්මානයෙන් පුදනු ලැබීම පිළිබඳ සතුටු විය යුතුය. ස්වාත් නිම්නයේ පමණක් නොව සමස්ථ ලෝකයේම දරුදැරියන්ට අධ්‍යාපනය ලබන්නට අවස්ථාව හිමිකරදීමට කටයුතු කළ යුතුය. එපමණක් නොව යුද්ධයට මැදි වූ මෙවැනි රටවල් තුළ බටහිර රටවල් ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝව මගින් කෙරෙන අහිංසක මිනිස් ඝාතන පිළිබඳව ද කතා කළ යුතුය. මලාලා ඇතුළු සියළු දරුවන්ට සාමය උදාවන්නේ එවිටය.


2 comments:

  1. හොඳ පෝස්ටුවක් නිරන්ජන් !

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න