පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 10, 2014

දරුවන්ගෙන් මාධ්‍යය අසන මෝඩ ප්‍රශ්න - Stupid Questions asked by media from the Children


මාධ්‍යවේදියකු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඔහු පවසන කරුණු ප්‍රේක්ෂකයා, ශ්‍රාවකයා සහ පාඨකයා එලෙසින්ම විශ්වාසකරන බැවින් තමා පවසන දෙය නිවැරදි හා තර්කානුකූල විය යුතුය. එමෙන්ම තමා පවසන කරුණුවලට යම් පදනමක් තිබිය යුතුය. නමුත් වර්තමානයේ විවිධ මාධ්‍යයන් දෙස බැලීමේදී පෙනී යන්නේ ජනතාව අතරට නිවැරදි හා තාර්කික කරුණු සහිතව යම් පණිවිඩයක් ගෙන යන්නට සමත්ව ඇත්තේ ස්වල්ප දෙනෙකු පමණක් බවය. සෙසු බොහෝ දෙනෙකුට සිය කාර්යය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති බව පෙනේ. මාධ්‍ය ඔස්සේ අප අසන, දකින හා කියවන තොරුතුරුවලින් ඒ බව මනාව පැහැදිලි වේ. එවැන්නකට හොඳම උදාහරණයක් සහිත සිදුවීමක් මෑතකදී දකින්නට හැකිවිය. ඒ පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමගය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම යනු මාධ්‍යයන්ට සිය ප්‍රවෘත්ති කාලසීමාව ආවරණය කරගැනීම සඳහා කදිම අවස්ථාවකි. ඔවුහු එය සමස්ත ලංකා මට්ටමින් සිදුකරති. මෙහි වරදක් නැත. ශිෂ්‍යත්ව හපනුන්ගේ දක්ෂතාවයන් මුලු රටකටම දැකබලාගන්නට මෙහිදී අවස්ථාව සැළසෙන අතර ඔවුන් සිය විභාගය සදහා සූදානම් වූ ආකාරය පිළිබඳ ඉදිරි වසරවලදී, විශේෂයෙන් ආසන්නයෙන්ම එළැඹෙන වසරේදී ශිෂ්‍යත්වයට පෙනී සිටින්නට සූදානම්වන දරුවන්ට යම් අවබෝධයක් හා ආදර්ශයක් ලබාගන්නට පුලුවන. ශිෂ්‍යත්ව විභාගයෙන් සාමාන්‍යයෙන් ලැබෙන වරප්‍රසාද වන්නේ තමන් කැමති ඕනෑම ජාතික පාසලකට ඇතුළුවීමේ අවස්ථාව සහ ශිෂ්‍යාධාර වුව ද, වැඩිම ලකුණු ලබාගතහොත් රූපවාහිනි ප්‍රවෘත්ති සහ වෙනත් වැඩසටහන් ඔස්සේ තමාට විශේෂ වරප්‍රසාද ලබාගැනීමට හැකි බව ද දරුවන් තුළ හැඟීමක් ඇතිවෙමින් තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත්වීමත් සමග ක්‍රියාත්මක වූ මාධ්‍ය තමාට සුපුරුදු පරිදි ශිෂ්‍යත්ව හපනුන් සොයා ගොස් ඔවුන් පිළිබඳ තොරතුරු ජනතාව ඉදිරියේ තබන්නට ක්‍රියා කළහ. අනාගතයේ තමන් කරන්නට කැමති රැකියාව පිළිබඳ අසන්නට ද ඔවුන් ඒ අවස්ථාවේ අමතක කළේ නැත. බැලූ බැල්මට මෙය එතරම් සැළකිල්ලට ගත යුතු කරුණක් නොවුනද ළමා මනෝවිද්‍යාවට අනුව නම් එවැනි ප්‍රශ්නයක් මාධ්‍යයක් මගින් ඇසීම යනු නොසැළකිය හැකි කරුණක් නොවේ. දෙමාපියන්, වැඩිහිටියන් තම දරුමුණුපුරන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසීම පිළිබඳ එතරම් සිතන්නට දෙයක් නැත. එය සාමාන්‍යයෙන් දරුවකුගෙන් සුරතලයට අසනු ලබන්නක් පමණි. නමුත් ප්‍රසිද්ධ මාධ්‍යයකින් එවැන්නක් ඇසීමේදී එය මුලු මහත් ප්‍රේක්ෂක සමූහයාම දකින අතර සියලු දෙනාගේම සිතේ ඒ දරුවාගේ අනාගතය පිළිබඳ ක්ෂණික චිත්‍රයක් මැවේ. ඔවුන් සිතන්නේ දරුවා එම අවස්ථාවේදී පවසන වෘත්තිකයා බවට පත්විය යුතුය යන්නය. මෙය බොහෝ විට සමාජයේ පවතින සුප්‍රකට වෘත්තීන් වන වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී වැනි ඒවා විය හැකිය.  මෙසේ අසන පැනයට දරුවා පිළිතුරු දෙන්නේ මේ කිසිවක පිළිබඳ වැටහීමකින් නොවේ. ඔවුන්ට මෙම වෘත්තීන් පිළිබඳ ඉඟි ලැබෙන්නේ සිය දෙමාපියන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙනි. හෝ නමුත් ළමා මනෝ විද්‍යාවට අනුව ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රශන අසා දරුවන් අපහසුවට ලක් නොකළ යුතු දෙයකි. දෙමපියන් වැඩිහිටයන් මෙවැන්නක් සුරතලයට ඇසුවද, මාධ්‍යකින් අසන්නේ එවැනි සුරතල් අදහසකින් නොවේ. මේ පිළිබඳ අපට මනෝ විද්‍යාත්මකව විමසා බැලිය හැකිය.

ළමා මනෝවිද්‍යාව සම්බන්ධව ලොව වඩාත්ම ප්‍රකටව සිටින ප්‍රංශ ජාතික මනෝවිද්‍යාඥයකු වන ෂෝන් පියාජේ දරුවකුගේ වර්ධනය අවධීන් කිහිපයකට බෙදා දක්වා තිබේ.

1. සංවේදී චාලක අවධිය (Sensorimotor stage)
2. පූර්ව ක්‍රියාකාරී අවධිය (Preoperational Stage)
3. වාස්තවික ක්‍රියාකාරී අවධිය (Concrete operational stage)
4. විධිමත් ක්‍රියාකාරී අවධිය (Formal operational stage)

මෙම අවධීන් අතුරින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුදැරියන් අයත්වන්නේ වාස්තවික ක්‍රියාකාරීඅවධියටය. එනම් වයස අවුරුදු 7 - 11 අතර සමයයි. මෙම අවධියේ දරුවන්ගේ හැකියාවන් මෙසේ පෙළගැන්විය හැකිය.

1. තමන්ගේ සිතුවිලි සහ අනුන්ගේ සිතුවිලි වෙන්කොට හඳුනැගැනීමේ හැකියාව.

2. සංඛ්‍යා, ප්‍රමාණය හා බර වැනි දේ මත පදනම්ව යම් යම් දේ වර්ගීකරණය කිරීමේ හැකියාව.

3. වස්තූන් සහ සිදුවීම් පිළිබඳ යම්තාක් දුරකට තාර්කිකව සිතීමේ හැකියාව.

4. එකතුකිරීම සහ අඩුකිරීම පිළිබඳ ඉහළ දක්ෂතාවය.

වැඩිහිටියන් මෙන් සිතන්නට කැමති වුව ද ඔවුන්ගේ තාර්කික බුද්ධිය මේ වන විටත් වැඩී නැත. මේ අවධියේ පසුවන දරුවකුගෙන් A ට වඩා B විශාල යැයි ද, B, C ට වඩා විශාල යැයි ද කිවහොත් එය පහසුවෙන් අවබෝධ කොට ගනී. නමුත් A, C ට වඩා විශාලදැයි ඇසුවහොත් එයට පිළිතුරු දෙන්නට තරමක් දුෂ්කර වනු ඇත. ඔවුනට එවැනි සංකීර්ණ කරුණු පිළිබඳ අවබෝධ කරගැනීමට දුෂ්කරය. තාර්කිකව දීර්ඝ ලෙස සිතන්නට තරම් ඔවුන්ගේ බුද්ධිය වර්ධණයවී නොමැති අතර, ඒ නිසාම අනාගතය පිළිබඳ පුරෝකථන කිරීමට ද හැකියාවක් නැත. එසේම ඔවුන් ලෝකය පිළිබඳ අවබෝධය ලබාගන්නේ තමාගේ බුද්ධියෙන් නොව වැඩිහිටියන් ඔවුනට ලබාදෙන දැනුම අනුවය. තමා කවුරුන් වන්නට කැමතිදැයි මෙම අවධියේ පසුවන දරුවකුගේ ඇසූවිට ඔවුන් එයට යම් පිළිතුරක් ලබාදෙන්නේ තමාගේ හැකියාවන් පිළිබඳ මනා අවබෝධයෙන් යුක්තව අනාගතය පිළිබඳ තාර්කිකව සිතා නොව බාහිර ලෝකයෙන් ඇසෙන දකින දෙය අනුවය. ඔවුනට නිතර ඇසෙන්නේ සමාජයේ පවතින ප්‍රසිද්ධ වෘත්තීන් පමණි. නමුත් ලෝකය පුළුල්ව ගතහොත් එහි වෘත්තීන් බොහොමයක් තිබේ. නමුත් මේවා පිළිබඳ දරුවන්ට අවබෝධයක් නැත. ඇතැම්විට කුඩා වියේදී තමා අනාගතයේ වෛද්‍යවරයෙකුබවට පත්වන්නේ යැයි පැවසූ දරුවා තමාගේ හැකියාවන්, අවස්ථාවන් පිළිබඳ අවබෝධය ලැබීමත් සමඟ වෙනත් වෘත්තියක් පිළිබඳ අවධානය යොමුකරන අවස්ථා ඕනෑ තරම් තිබේ. එක් සත්‍ය අත්දැකීමක් මෙහිදී සඳහන් කරන්නට හැකිය. මේ දරුවා ශිෂ්‍යත්වයෙන් සමත්ව ජනප්‍රිය පාසලකට ඇතුළුවූ අතර දෙමාපියන්ගේ දැඩි පෙරැත්තය නිසා උසස් පෙළ සඳහා තෝරාගත්තේ ජීව විද්‍යා විෂය ධාරාවන්ය. නමුත් ඔහු ජීවවිද්‍යාව හැදෑරුවේ වසරක් පමණි. ඔහුට ඒ පිළිබඳ උනන්දුවක් නොතිබුණු අතර දෙමාපියන්ගේ කීම නොඅසා විදුහල්පතිතුමාගේ අනුමැතිය ඇතිව කලා විෂය ධාරාවන් හදාරන්නට පටන් ගත්තේය. ඔහු එයින් සරසවි වරම් ලබාගත් අතර මේ වන විට සරසවි ඇදුරෙක් සේම දක්ෂ කවියෙකි. යමු හෙයකින් ඔහු කුඩා සමයේදී හිස මත පටවන ලද වෛද්‍ය වෘත්තිය උදෙසා ජීව විද්‍යා විෂය ධාරාව ඔස්සේ ඉගෙනුම ලැබුවේ නම් උනන්දුව අඩුකම නිසා ඔහුගේ ඉරණම වෙනස් වන්නට තිබිණි.


එබැවින් මාධ්‍ය ඔස්සේ මෙවැනි දේ දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීමේදී දෙමාපියන් ද දරුවාගේ අනාගත වෘත්තිය මෙයම වනු ඇතැයි අපේක්ෂා කරනු ඇත. එමෙන්ම එය දරුවාට අනවශ්‍ය බරක් ද වනු ඇත. මාධ්‍යකරුවන් ලෙස දරුවන් සමඟ කටයුතු කිරීමේදී විශේෂයෙන් බාහිර කරුණු පිළිබඳ අවබෝධයෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි පැවසිය යුත්තේ එබැවිනි.

2 comments:

  1. ඇත්ත කථාව..... ලංකාවේ මාධ්‍යකරුවන් නොමැත..... ඇත්තේ මාධය ආයතන ටිකක් පමණි... ඒ අය කුරුල්ලන් වැනිය.... සුරංගනාවියන් වැනිය... අතකොළුය...පතොලය.... බණ්ඩක්කා වැනිය...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම අගය කරනවා. ඇත්තටම අපේ රටේ තියෙන්නේ විචාරයෙන් තොර බුද්ධි හීන මාධ්‍ය කලාවක්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න