පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, March 28, 2016

අම්මෝ පුදුම රස්නයක්නේ තියෙන්නේ!


සෑහෙන කලකට පසු අප දැඩි උණුසුම් කාලගුණ තත්වයකට නතුව ඇති බව ඔබ අප කව්රුත් දන්නවා. පසුගිය දිනවල කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 පමණ දක්වා ඉහළ ගොස් තිබූ බව පෙනෙන්නට තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ලබන අප්‍රේල් මැද පමණ වන තෙක් මෙම තත්වය පැවතිය හැකි බවයි. ඇතැම් විට එය වෙනස් වන්නට පුළුවන්. එය යහපත් අතට වෙනස් වී වැසි වැටෙන්නට පටන් ගත්තොත් ගැටලුවක් වන්නේ නැහැ. නමුත් මෙම උණුස්ම් තත්වය දිගින් දිගටම පැවතියහොත් එය යම් යම් ගැටලු තත්වයන් ඇති කරන්නට හේතු විය හැකියි. සෙල්සියස් අංශක 34 යනු මිනිසකුට කෙටි කාලයක් තුළ ගැටලුවක් නොමැතිව දරාගත හැකි උෂ්ණත්වයක් වුවත් දීර්ඝ වේලාවක් තිස්සේ මෙම උෂ්ණත්වයට නිරාවරණය වී සිටීමට හැකියවක් නැහැ.  ඇතැම් ක්‍රීඩා උත්සව පවා කල් දමන්නට බලධාරීන් තීරණය කොට ඇත්තේ මේ නිසා වන්නට පුළුවන්. මේ සියලු කරුණු නිසා උණුසුම් කාලගුණ තත්වය ගැන යම් දැනුවත්වීමක් ලබාගැනීම ප්‍රයෝජනවත් වේවි. 

මාර්තු අප්‍රේල් කියන්නේ සාමාන්‍යයෙන් උණුසුමින් වැඩි මාස දෙකක්. අපේ රටට ඉහළින් සූර්යයා ඍජුවම ස්ථාන ගත වන්නේ මාර්තු මාසයේදී. මේ නිසා සෑම වසරකම මේ කාලය උණුසුමින් වැඩියි. මේ අවුරුද්දේ එය තරමක් දැඩිවී තිබෙන බවයි පෙනෙන්නේ. කෙසේ වෙතත් අධික උණුසුමට නිරාවරණය වීම නිසා මරණයට පත්වන තරම් උණුසුම් තත්වයක් අප රටෙන් වාර්තා නොවෙන තරම්.  නමුත් ඉන්දියාවෙන් එවැනි තත්වයන් නිතරම පාහේ වාර්තා වෙනවා. අප රට එවැනි අධික උෂ්ණ්වයක් ඇතිවිය හැකි කලාපයේ පිහිටියත්, මහ සයුරින් වට වී තිබීම නිසා උෂ්ණත්වය එතරම් ඉහළ යා නොදී පාලනය වී තිබෙනවා.  කොහොම වුණත් මෙවැනි උණුසුම් කාලයකදී යම් කරුණු ගැන අප වඩාත් සැළකිලිමත් විය යුතුයි. 

උණුසුම් කාලගුණ තත්වයක් පවතිද්දී අප සිරුරේ ඇති ජල සාන්ද්‍රණය අඩුවන්නට ඇති හැකියාව ඉහළයි. එළිමහනක නිතර ගමන් බිමන් යන්නට සිදුවනවා නම් මේ ගැන වඩාත් සැළකිලිමත් විය යුතු වෙනවා. උණුසුම් කාලගුණික තත්වයක් නිසා බොහෝ දෙනෙක් මරණයට පවා පත්වන්නේ මේ ආකාරයෙන් ජල සාන්ද්‍රණය අඩු වී විජලන තත්වයට පත් වීම නිසයි. ඒ නිසා නිතර යහමින් ජලය පානය කරන්නට මතක තබා ගත යුතුයි. 

උණුසුම් කාලගුණ තත්වයක් පවතිද්දී සිරුරට හොඳින් වාතාශ්‍රය ලැබෙන ඇඳුම් ඇඳිය යුතු බව සාමාන්‍යයෙන් අප සිතුවත් එහි එතරම් නිවැරදි බවක් නැහැ. අප උණුසුම් තත්වයෙන් ආවරණය වී ඇති ස්ථානයක සිටිනවා නම් මේ කරුණ සත්‍ය විය හැකි නමුත් එළිමහනේ ඇවිදින්නට යනවා එය සත්‍ය වන්නේ නැහැ. කාන්තාරවල ජීවත්වන පුද්ලයන් පිළිබඳ ඡායාරූප, වාර්තා වැඩසටහන් ආදිය ඔබ දැක ඇත්නම් මේ ගැන යම් අදහසක් ඔබ තුළ ඇති වන්නට පුළුවන්. ඔවුන් කෙතරම් උණුසුම් තත්වයක් යටතේ සිටිය ද සිය සිරුර ඇඳුම් කිහිපයකින් ආවරණය කරගෙන සිටින බව දකින්නට පුළුවන්. අරාබිකරයේ වෙසෙන ගැහැනු හා පිරිමි ද මෙවැනි ඇඳුම්වලින් සැරසී සිටින බව අප කවුරුත් දන්නා දෙයක්. අප රටේ වෙසෙන මුස්ලිම් කාන්තාවන් සිය සිරුර මුළුමනින්ම වැසෙන සේ අඳින ඇඳුම ද මේ ආකාරයට දැඩි උණුසුමක් පවතින අරාබිකරයේ ආභාෂයෙන් නිර්මාණය කරගත්තක්. මේ නිසා උණුසුම් කාලයක එළිමහනක සිටියනවා නම් වඩාත් සුදුසු වන්නේ  වාතාශ්‍රය ලැබෙන සේ ඇඳිය හැකි සැහැල්ලු ඇඳුම් නොව සිරුර හොඳින් ආවරණය වන සේ ඇඳිය හැකි ඇඳුම් බව දැන් ඔබට අවබෝධ වන්නට ඇති. අප සිරුර දැඩි උණුසුමට නිරාවරණය වුවහොත්  සම පිළිස්සී යාමත් අප විජලන තත්වයට පත්වීමත් ඇති වෙනවා. නමුත් සිරුර දැඩිව ආවරණය කරගෙන සිටිය හොත් සම පිළිස්සෙන්නේ නැහැ. මෙසේ සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන සිටින විට අවට වාතයේ පවතින උෂ්ණතවයට වඩා අප සිරුරේ උෂ්ණත්වය ඉහළ යනවා. එහිදී සිරුරෙන් පිටවන දහඩිය පිටතට ගළා නොයාමක් සිදුවන අතර සිරුර සිසිල්වීමක් සිදුවෙනවා. 

මේ නිසා ඔබට එළිමහනේ වැඩි වේලාවක් ගතකරන්නට යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් වඩාත් සුදුසු ක්‍රමය වන්නේ සිරුර හොඳින් ආවරය වන සේ ඇඳුම් ඇඳීමයි. එය තරමක් උණුසුම් යැයි දැනුනත්, බොහෝ ගැටලුවලින් ඔබට ආරක්ෂාවන්නට එය උදව්වෙනවා. 

මෙයට අමතරව ඔබ නිවසේ සිටිනවා නම් මෙම උණුසුම් කාලගුණ තත්වය සමහන් කරගැනීමට කළ යුතු සරල පියවර කිහිපයක් ද සඳහන් කළ හැකියි. 

ඔබ හිරු එළියෙන් ආවරණය වූ ස්ථානයක සිටී නම් පමණක් සැහැල්ලු ඇඳුම් අඳින්න. හොඳින් ආවරණය වූ ඇඳුම් ඇඳිය යුත්තේ එළිමහනේ දීර්ඝ වේලාවක් සිටිනවා නම් පමණයි. 

නිවස හැකි තාක් සිසිල්ව තබාගන්නට උත්සාහ කරන්න. සියලු කවුළු පියන් පත් විවෘත කොට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට කටයුතු යොදාගන්න. රාත්‍රියේදී කවුළු විවෘතව තැබීම ආරක්ෂිත නම් අනිවාර්යයනේ එසේ කරන්න. එවිට නිවස සෑහෙන දුරකට හෝ සිසිල්ව තබාගන්නට පුළුවන්. 

අධික ලෙස උණුසුම් තත්වයක් පවතින විට අව්වේ නිතර ගමන් බිමන් නොගියත් යම් යම් අයට සමේ රෝග තත්වයන් ඇති විය හැකියි. මේ නිසා ඒවා ගැන සැළකිලිමත්වීමත්, ඒ සඳහා නිසි පියවර ගැනීමත් කළ යුතු වෙනවා. 

නිවස හෝ කාර්යාලය තුළ ඔබ සිටියත් විජලන තත්වය ඇති විය හැකි නිසා නිතර ජලය පානය කිරීම ගැන දැඩි සැළකිල්ලක් දැක්විය යුතු වෙනවා. මෙවැනි කාලයකදී වෙහෙස, කෑම අරුචිය, කරකැවිල්ල, කහ පැහැයෙන් මුත්‍ර පිටවීම වැනි ලක්ෂණ ඇති විය හැකියි. මේවා බොහොමයකට හේතුව වන්නේ සිරුරේ ජල සාන්ද්‍රණය අඩුවීමයි. 

මේ කරුණු ගැන ඔබ සැළකිල්ලක් දක්වන්නේ නම් මේ පවතින උණුසුම් කාලගුණ තත්වය ගැටලුවක් නොවී පසුකරන්නට ඔබට හැකි වේවි. 

Sunday, March 27, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 11 කොටස - New Gadgets for New World Part 11

හොර වැඩ කරනවාට නියම ගැජට් එකක්











ගෙදර කවුරු හරි ඕන නැති වැඩක් කරනවා නම් ඒ ගැන බොහෝ විට මුළින්ම හෝදිසි කරන්න පටන් ගන්නේ අම්මා. අම්මට හොරෙන් ඕන නැති වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ඒත් අද කාලේ තියෙන කාර්ය බහුල ජීවිතේ එක්ක අම්මලාට මේ වැඩේට කාලය යොදවන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මෙන්න මේ අපූරු ගැජට් එක හදන්න ඕන කියලා කාට හරි හිතෙන්න ඇත්තේ. මේකේ නම සෙන්.සේ මදර්’ (Sen.se Mother). මේ සමඟ, ඕනෑම තැනක රැඳවිය හැකිපුංචි විස්කෝතුවක ප්‍රමාණයේ චලන සංවේදී උපකරණ කිහිපයකුත් තිබෙනවා. ප්‍රධාන උපකරණය සමඟ මේ චලන සංවේදී විස්කෝතුඅපට අවශ්‍ය තරමට මිලදී ගන්න පුළුවන්. අම්මා වැඩක නිරත වෙලා ඉන්න අතරේ පවුලේ සියලු දෙනාගේම වැඩකටයුතු පහසුවෙන් හොයා බලන්න මේ ගැජට් එක උපකාරී වෙනවා.  මුළින්ම මෙහි ප්‍රධාන උපකරණය නිවසේ අන්තර්ජාල රවුටරය හා සම්බන්ධ කොට මේ සමඟ ලබා දී ඇති චලන සංවේදී විස්කෝතු කිහිපය ප්‍රධාන උපකරණයට හඳුන්වා දිය යුතු වෙනවා. එය ඉතා පහසු ක්‍රියාවලියක් වගේම කරන ආකාරය මේ සමඟ ඇති උපදෙස් පත්‍රිකාවේ තිබෙනවා. අවශ්‍ය නම් යූ ටියුබ් වීඩියෝවක් මගින් බලාගන්නත් පුළුවන්. ඔන්න දැන් ඔත්තුකාරයෝ ටික වැඩේට ලෑස්තියි. පුතා වෙලාවට පාසලට යන්න පිටත් වුණාද, හොර පාරවල්වල ගියාද, හරියටම වෙලාවට පාසලට ආවද, පාසල ඉවර වෙලා වෙන ගමන් යන්නේ නැතිව ගෙදර ආවද කියන එක හැම දෙයම දැන් අම්මාට තමන්ගේ දුරකතනයෙන්, ටැබ් එකෙන් හෝ අයි පෑඩ් එකෙන් බලාගන්න පුළුවන්. මේ චලන සංවේදී විස්කෝතු සෙන්.සේ මදර්ප්‍රධාන උපකරණය හා ජංගම දුරකතන ජාලයක් හරහා සම්බන්ධ වෙන ආකාරයටයි සකසා තියෙන්නේ. ඒ නිසා අදාළ චලන සංවේදී විස්කෝතු යම් චලනයකට පත්වෙන විට ඒ සියල්ල ප්‍රධාන උපකරණයට දත්ත ලෙස සම්ප්‍රේෂණය වෙනවා. ඒ වගේම මේ විස්කෝතු තිබෙන ස්ථානය ජීපීඑස් තාක්ෂණය ඔස්සේ දැනගත හැකියි. ඒ නිසා දරුවා පාසල් යන ආකාරය සියල්ල එහි සටහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ උපකරණය පවතින ස්ථානයේ උෂ්ණත්වය පවා මෙයින් දැනගත හැකියි. තව වැඩ බොහෝ කරගන්නට හැකියාව ඇති මෙහි මිල ඇමරිකානු ඩොලර් 299යි. රුපියල් නම් 43,000ක් විතර වෙනවා. 










ඕනෑම දුරකතන ජාලයකින් පණිවිඩයක් යවන්න 






ජංගම දුරකතන කොයි තරම් ප්‍රයෝජන වුණත් ප්‍රධාන නගරවලින් ඈත්වෙනවත් එක්කම පැන නගින ගැටලුව තමයි සංඥා දුර්වල වීම. විශේෂයෙන් කඳුකර පළාත්වල ඇතැම් තැන්වලට සංඥා ඇත්තේම නැහැ. සමහර අවස්ථාවලදී යම් යම් ජංගම දුරකතන ජාලවලට පමණක් සංඥා තිබෙනවා. නමුත් තමන්ගේ දුරකතනය සම්බන්ධ වී තිබෙන්නේ ඒ ජාලය සමඟ නොවෙයි නම් ගැටලුවක් මතු වෙනවා. කොහොම වුණත් ඒ කොතැනක කුමන ජාලයක සංඥා තිබුණත් ගැටලුවකින් තොරව තමන්ගේ හිතවතකුට පණිවිඩයක් යවාගන්න පුළුවන් නම් ඒක ලොකු සහනයක්. අන්න ඒ කටයුත්ත වෙනුවෙන් තමයි ඩෙල්රෝම් ඉන්රීච් එක්ප්ලෝරර්’ (Delorme inReach Explorer) නිපදවා තිබෙන්නේ. මෙය ඒරියලයක් සහිත කුඩා ජංගම දුරකතනයක් හා සමානයි. එය ඕනෑම ජංගම දුරකතන ජාලයක් ඔස්සේ මේ හා සමාන තවත් උපකරණයකට පණිවිඩ යැවීමට හැකි ආකාරයටක සකස්කොට තිබෙනවා. ඒ වගේම මෙහි ජීපීඑස් උපකරණයක් ඇති නිසා අදාළ උපකරණය පවතින ස්ථානය ගැන දැනගන්නටත් පුළුවන්. යම් කිසි දුෂ්කර පළාතක කුමක් හෝ අනතුරකට පත්ව සිටිනවා නම් හදිසි ඇමතුම් ඒකකයකට එක් බොත්තමක් පමණක් එබීමෙන් ඒ බව දැනුම් දෙන්නටත් පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 479.95 (රු. 70,000ක්) විතර වෙනවා. 








පහසුවෙන් ගෙන යා හැකි ලැප්ටොප් චාර්ජරයක් 








අද කාලේ බොහෝ දෙනෙක් ළඟ තියෙන්නේ පුද්ගල පරිගණකවලට වඩා ලැප්ටොප් පරිගණකයි. ලැප්ටොප් එක කොහොම හරි බෑග් එකක් ඔබාගෙනයන්න පුළුවන් වුණත් ඒක චාර්ජ් කරගන්න තියෙන චාර්ජරය දාගන්න ගියාම තමයි එපා වෙන්නේ. දිග වයර් එකක් එකක් තරමක ලොකු පෙට්ටි කෑල්ලක් වගේ එන චාර්ජර් එක එහෙන් මෙහෙන් නවලා දාගන්නත් බැහැ. තවත් කුඩා ප්‍රමාණයෙන් මේක හදන්න බැරිද කියලත් වෙලාවකට හිතෙනවා. ෆින්සික්ස් ඩාර්ට්’ (Finsix Dart) කියන ලැප්ටොප් චාර්ජරය හැදුවේ ඒ වගේ හිතුණ කෙනෙක්ම වෙන්න ඕන. මේ අලුත් චාර්ජරය සාමාන්‍ය ලැප්ටොප් චාර්ජර් එකකට වඩා 4 ගුණයක් ප්‍රමාණයෙන් කුඩයි. 6 ගුණයක් සැහැල්ලුයි. හැබැයි ලැප්ටොප් එක චාර්ජ්කරගන්න එක අකුරටම කරලා දෙනවා. එහෙනම් ඉතිං තවත් මොකටද පරණ ලොකු චාර්ජර් එක? මෙහි මිල ඇමරිකානු ඩොලර් 89ක් වෙනවා. රුපියල්වලින් නම් 12,800ක් පමණ වෙනවා. 







අලුත් විදිහේ සංචාරක බෑගයක් 









නිතර ගමන් බිමන් යන්න සිදුවෙන, විශේෂයෙන් විදෙස් සංචාරවල නිතර යැවෙන අයට ඒ වෙනුවෙන් විශේෂ උපකරණ තිබිය යුතුයි. තමන්ගේ බඩු බාහිරාදිය ඇසුරුම් කරන ගමන් මල්ල මේ අතුරින් විශේෂයි. මෙන්න මේ ආකාරයේ විශේෂ ගමන් මල්ලක් තමයි බ්ලූස්මාර්ට් කැරි-ඔන්’ (Bluesmart Carry-on) කියන්නේ. මේ ගමන් මල්ලට ඔබේ ජංගම දුරකතනය අරෝපණය කර දෙන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති ඉලෙක්ට්‍රික් තරාදියෙන් ගමන් මල්ලේ බර ගැන අවබෝධයක් ගන්න පුළුවන්. විශේෂයෙන් විදෙස් ගමන් යද්දී තමන්ගේ ගමන් මල්ලේ බර ගැන විශේෂ අවධානයක් යොමු කර යුතුමයි. ඒ වගේම මෙහි ඉලෙක්ට්‍රොනික් අගුලක් තිබෙනවා. එය අගුල් ලෑම සහ අගුල විවර කිරීම කළ හැක්කේ අයිතිකරුවාගේ ජංගම දුරකතනය හරහා පමණයි. ඒ වගේම එය පවතින ස්ථානය පිළිබඳ ජීපීඑස් ඔස්සේ තොරතුරු ජංගම දරකතනය වෙත එවන්නට හැකි ආකාරයෙන් ද මෙය සකසා තිබෙනවා. ගුවන් යානාවල ගමන් මලු තැනපත් කරන ස්ථානයට ගැළපෙන පරිදි මෙය සකස් කොට තිබීමත් විශේෂයක්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 435ක් (රු. 63,000) වෙනවා. 





සාදයකට යනවා මේ ගැජට් එක තියෙන්නම ඕන 







සාදයකට යනවා කියන්නේ ඉතිං මධුවිතක් තොල ගෑවෙනවාම කියන එක තමයි. මද්‍යසාර විශාල ප්‍රතිශතයකින් ඇති පාන වර්ග පානය කරන්න ගියාම බොහෝ අයට සීමාවක් නැහැ. තමන්ගේ සිරුරට දැන් කොයි තරම් මද්‍යසාර ප්‍රමාණයක් එකතු වෙලාද කියලා කාටවත් අවබෝධයක් නැහැ. සාදය ඉවර වෙලා ගෙදර යන්න හදන කොට තමයි සාදය මාරයි - ගෙදර ගිහින් හමාරයිකියලා හිතෙන්නේ. මේ නිසා ලිමිට් තියාගෙන බොන්නපුළුවන් උපරණයක් තියෙනවා නම් කොයි තරම් හොඳද කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන අයට කියන්න තියෙන්නේ ඔන්න එහෙම එකක් තියෙනවා කියලා තමයි. මෙය හඳුන්වන්නේ ඇල්කොහූට් බූත්’ (Alcohoot booth) නමින්. මෙය පැළඳගෙන වුණත් ඉන්න පුළුවන්. මෙය ඔබගේ ජංගම දුරකතනය හා සම්බන්ධ කොට එය වෙත හුස්ම පිටකිරිමෙන් ඔබේ සිරුරේ ඇති මද්‍යසාර ප්‍රමාණය ගැන තොරතුරු දැනගත හැකියි. මේක දැකලා අම්මෝ ඇති යන්තම්කියලා කියැවෙන අය ඉන්නවා කියන එක ගැන අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් මිලත් බලාගෙනම යන්න. මෙහි මිල ඇමරිකානු ඩොලර් 99ක් (රු. 14,245ක්) වෙනවා. 







Wednesday, March 16, 2016

පාසල් දරුවන්ට අඩු මිලට ෆ්‍රයිඩ් රයිස් ! ?




දරුවන්ගේ පෝෂණය පිළිබඳ වර්තමානයේ අන් කවර කලකටත් වඩා වැඩියෙන් කතා බහ කරනු දැකිය හැකිය. පාසල් දරුවන්ට සමබර ආහාරයක් ලැබීම සහතික කරනු වස් ඔවුන්ට පාන් පිටිවලින් සකස් කළ ආහාර, කඩෙන් ලබා ගත් ’‛ෂෝට් ඊට්’ වර්ගයේ ආහාර පාසලට රැගෙන ඒම ද හැකිතාක් දුරට වළක්වන්නට ඇතැම් පාසල් ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙය කෙතරම් ද කිවහොත් දරුවන් ආහාර ගනිද්දී පන්ති භාර ගුරුවරිය දරුවන්ගේ කෑම පෙට්ටි පරීක්ෂා කර බලන පුරුද්දක් ද ඇතැම් පාසල්වල ක්‍රියාත්මක වේ. කලකට පෙර බොහෝ පාසල්වල මේ පුරුද්ද පැවතිය ද, දැන් දැන් එය කෙමෙන් අඩුව ගොස් ඇති බව ද පෙනෙන්නට තිබේ.  ආහාර සම්බන්ධව පාසල් අනුගමනය කළ මෙම දැඩී නීතිය නිසා මව්වරුන් සිය දරුවාට පාන් පිටිවලින් තොර ආහාරයක් සකසා දන්නට උත්සාහ ගත් බවක් පෙනුණි. මේ සියල්ල දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කිරීම සඳහා ගත් ක්‍රියා මාර්ගයන්ය. කෙසේ නමුත් කාලයත් සමග බොහෝ පාසල්වලින් මෙම පුරුද්ද ගිළිහී යනු දක්නට හැකිවිය. දැන් බොහෝ පාසල්වලට ඕනෑම වර්ගයේ කෑමක් රැගෙන ඒමට තහනමක් නොමැති තත්වයට පත්ව ඇති බව ද පෙනේ. පාසල් බලධාරීන් ද ඒ පිළිබඳව තැකීමක් නොමැති බව පෙනේ. එය කෙතරම් ද යත් ඇතැම් පාසල් අසළ පිහිටා ඇති වෙළෙඳ සල්වල විශේෂයෙන්  පාසල් දරුවන් වෙනුවෙන් සකස් කළ ‛ෆ්‍රයිඩ් රයිස්’ ඇති බවට දැන්වීම් පුවරු ද ප්‍රදර්ශනය කෙරේ. පාසල් බලධාරීන් මේවා කිසිඳු අවස්ථාවක දකින්නේ නැති දැයි සිතේ. 

පාසල් දරුවන් යනු අප රටේ අනාගත පරපුරය. යම් දිනෙක රට භාර ගන්නේ ඔවුන්ය. එබැවින් අනාගත පරපුර නිරෝගීමත් විය යුතුය. ඔවුන් නිරෝගීමත් වීමට නම් ඔවුන්ගේ ගත සිත දෙකම සෞඛ්‍ය සම්පන්නව පැවතිය යුතුය. දරුවන් සඳහා සමබර ආහාරයක් ලබාදිය යුතු යැයි පෝෂණවේදීන් නිතර පවසන්නේ එබැවිනි. කෙසේ නමුත් සමබර ආහාරයක් යනු කුමක්දැයි බොහෝ දෙනෙකු නොදන්නවා සේ පෙනේ. සමබර ආහාරයක් පහත සඳහන් පෝෂණ කොටස්වලින් සමන්විත යුතුය. 

1. කාබෝහයිඩ්‍රේට (පිෂ්ඨය හා සීනි වර්ග)
2. ප්‍රෝටීන ( ඇමයිනෝ අම්ල)
3. මේදය (තෙල් වර්ග හා ඛනිජ අම්ල)
4. විටමින්
5. ඛනිජ ලවණ
6. ජලය
7. තන්තු වර්ග 

කෙසේ නමුත් වර්තමානයේ පාසල් දරුවන්ට සමබර ආහාරයක් ලැබේද යන්න සැක සහිතය. වෙළෙඳ සලකින් මිලදී ගන්නා කිසිදු ක්ෂණික ආහාරයක මෙම පෝෂණ කොටස් පූර්ණ ලෙස අඩංගු වන්නේ නැත. 

පාසල් අසල ෆ්‍රයිඩ් රයිස් අළෙවිකරන්නට දැන්වීම් පුවරු ගසාගෙන සිටින බැවින් ෆ්‍රයිඩ් රයිස් එකක් මේ පෝෂක කොටස් තිබේ දැයි අපට සොයා බැලිය හැකිය. සැබවින්ම මේවා පිළියෙළ කරන්නේ කෙසේද?


ෆ්‍රයිඩ් රයිස් එකක මූලික වනුයේ සහල්ය. බොහෝ විට මේ සඳහා ගනු ලබන්නේ වෙළෙඳ පළේ අඩුවටම ගත හැකි සම්බා සහල් වර්ගයන්ය. ලීක්ස්, කැරට් වැනි එළවළු කොටස් ස්වල්පයක්, කුකුළු මස්, ඉස්සන්, හරක් මස්, ඌරු මස්, බිත්තර ආදිය ස්වල්පයක් ද මෙය එක් කරයි. ඊට අමතරව මොනෝසෝඩියම් ග්ලූටාමේට් (අජිනොමොටෝ), ලුණු, මිරිස්, සෝයා සෝස් ආදිය ද  එක් කරයි. මේ සියල්ල මිශ්‍රකොට බත තෙලෙහි බැදගැනීම සිදු වේ. බොහෝ විට මෙසේ බැදීමට ගන්නේ කිහිප වරක බදින ලද තෙල්ය. ඒවා ද හොඳ තත්වයේ පොල් තෙල් නොව අඩුවට ගත හැකි පාම් තෙල්ය. මේ ෆ්‍රයිඩ් රයිස් මිශ්‍රණය කිසිඳු අවස්ථාවක දරුවට තබා වැඩිහිටියකුට හෝ පෝෂණයක් ලබා දෙන්නේ නැත. කිහිප වරක් බදින තෙල් සහිත ආහාර පරිභෝජනය ඉක්මන් හෘදයාබාධවලට, දියවැඩියාවට සහ වෙනත් රෝග වර්ග බොහොමයකට  අතවනන බව පෝෂණවේදීහු පෙන්වා දෙති.  පාසල් බලධාරීන් මේ පිළිබඳව සැළකිලිමත් නොවේ නම් අඩුම තරමින් දෙමාපියන් හෝ  තම දරුවන්ගෙ පෝෂණ ගුණය පිළිබඳ සැළිකිලිමත් විය යුතුය. අද දවසේ වාසියට හා පහසුවට ඔබ දරුවාට මෙවැනි ක්ෂණික ආහාරයකට හුරු කිරීමෙන් අනාගතයේදී ඔබේ දරුවා රෝග රැසක් සහිත පුද්ගලයකු වනවාට කිසිදු සැකයක් නැත. 

වර්තමාන පාසල් දරුවන් පිළිබඳ තවත් ගැටලුවක් සඳහන් කළ යුතුය. ඒ අතීතයේදී මෙන් නොව බොහෝ පාසල් දරුවන් ඉහළ පංතිවලට යත්ම ශාරීරික ක්‍රියාකාරකම්වලට දක්වන මැළි බවයි. පාසල් වැඩකටයුතු මෙන්ම, පෞද්ගලික පංති තරගය ද නිසා ඔවුන්ට මෙවැන්නක් සඳහා ඉඩකඩක් ඉතිරි වන්නේ නැත. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් ශාරීරික වශයෙන් දුර්වලයන් බවට පත්වීමය. එවිට සමස්තයක් ලෙස අප රටේ අනාගතය සමන්විත වන්නේ ශාරීරික වශනේ දුර්වල ප්‍රජාවකිනි. ශාරීරික දුර්වලතාවය අවසානයේ මානසික සෞඛ්‍යය කෙරෙහි ද බලපායි. එවිට අනාගත පරපරක් පිළිබඳ කතා කිරීමෙන් පලක් ද නැත. 

ශාරීරික ක්‍රියාකාරීත්වයෙන් යුක්ත නොවන දරුවන්, හෘදයාබාධවලට අතවනන, කොලස්ටරෝල්, අධික ලුණු සහ මේදය සහිත ෆ්‍රයිඩ් රයිස් වැනි  ආහාර ඔබේ පහසුව පිණිස හුරු පුරුදු කිරීම ඔවුන් උපන් ගෙයි මරා දමනවාටත් වඩා අපරාධයකි. මේවා නීතිරීතිවලින් පාලනය කළ නොහැකි අතර ඔබේ දරුවාගේ පෝෂණය පිළිබඳ වගකීම ගත යුත්තේ ඔබය. නොඑසේනම් දුර්වල සෞඛ්‍යයක් සහිතව අනාගතයට මුහුණ දෙන ඔබේ දරුවන් දැක මියෙන්නට පෙර දහස්වරක් සිතින් මිය යන්නට වන්නේ ද ඔබටමය.

Friday, March 11, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 10 කොටස - New Gadgets for New World Part 10

ගන්නවා නම් මේක තමයි පෑන 







තමන් සහභාගීවන දේශනවල සටහන් තබාගැනීම සිසුන් විසින් කළ යුතු දෙයක්. මේවා ලියා ගැනීම ඇතැම් විට කරදරයක් සේ දැනෙන නිසා බොහෝ දෙනෙක් දැන් ඒවා පටිගත කොට පසුව සටහන් බවට පත් කරගන්නවා. මේ ගැන කල්පනා කළ එක් ලයිව්ස්ක්‍රයිබ් කියන ලෝක ප්‍රසිද්ධ සමාගම අමුතු ආකාරයේ පෑනක් (Echo Smartpen ) නිෂ්පාදනය කළා. මේක බැලූ බැල්මට සාමාන්‍ය පෑනක් නමුත් හැකියාවන් නම් අසාමාන්‍යයි. මේ පෑනේ ගිගාබයිට් 2 සිට ඉහළට මතක ධාරිතාවයක් තියෙනවා. ගිගාබයිට් 2ක ධාරිතාව තුළ පැය 200ක කාලයක් ශබ්දය පටිගත කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් උපාගංයක් වුණත් මෙයින් සාමාන්‍ය පෑනක් වගේ ලියන්නත් පුළුවන්. තීන්ත සහිත කාට්‍රිජයක් මාරු කරමින් භාවිත කරන්න පුළුවන් ආකාරයෙන් සකස් කොට තිබෙනවා. මෙහි ඇති සුවිශේෂීතම හැකියාව තමයි ඔබ මේ විදිහට ලියන සියල්ල සටහන් ආකාරයෙන් පෑනේ මතකයේ තැන්පත් වීම. ඒ වගේම සටහන් ලියන අතරේ අඳින රූපසටහන් පවා ඒ ආකාරයෙන්ම මෙහි මතකයේ තැන්පත් වෙනවා. දේශනය අවසන් වීමෙන් පසු ඔබ කළ යුතු වන්නේ මේ පෑන් පරිගණකයට සම්බන්ධ කොට අදාල සටහන් ටික එයින් ලබාගැනීමයි. මෙම සටහන් ලිවීම සඳහා විශේෂයෙන් සකස් කළ සටහන් පොත් තිබෙන අතර ඒවා පහසුවෙන් සාමාන්‍ය මිලක් යටතේ ලබාගන්ට පුළුවන්. මෙය ආරෝපණය කිරීම සඳහා මයික්‍රෝ යූඑස්බී පෝර්ට් එකක් තිබෙනවා. හෙඩ්ෆෝන් එකක් සවිකිරීම සඳහා වෙනම පෝර්ට් එකක් තිබෙනවා. කුඩා ස්පීකරයක් තිබෙනවා. මිල ඇමරිකානු ඩොලර් 199.95ක් (රු. 28,655ක්) වෙනවා. 






අලුත් පරපුරට අලුත් යතුරු පුවරුවක් 








පරිගණකය සඳහා විවිධ පුහසුකම් ඇති යතුරු පුවරු, එහෙමත් නැත්නම් කීබෝඩ් ඕනෑ තරම් වෙළෙඳ පළෙන් ලබාගන්න පුළුවන්. නමුත් ලොජිටෙක් සමාගමින් හඳුන්වාදී ඇති මෙම K480 යතුරු පුවරුව එකක් ටිකක් වෙනස්. මෙය පරිගණකය සමඟ පමණක් නෙවෙයි ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය හෝ ටැබ් එක් සමඟත් භාවිත කරන්නට පුළුවන්. ස්මාර්ට් දුරකතනය හෝ ටැබ් එක්  සිටුවා තබාගන්නට අවශ්‍ය පහසුකම්ද මෙහි තිබෙනවා. බ්ලූටූත් හරහා අදාළ උපාංග සමඟ මෙය සම්බන්ධ වනවා. මීටර් 10ක් පමණ දුර පරාශයක් තුළ මෙහි බ්ලූටූත් ක්‍රියාත්මක වෙනවා. යතුරු පුවරුවේ ඇති එක් බොත්තමක් එබීමෙන් පමණක් පරිගණක, ස්මාර්ට් ෆෝන් හෝ ටැබ් අතර මෙය භාවිතය සඳහා මාරු කරගැනීමේ හැකියාව තිබෙනවා. AAA වර්ගයේ බැටරි දෙකකින් මෙය ක්‍රියාත්මක වන අතර එය වසර දෙකක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත්. බැටරි ආයුකාලය පෙන්වන එල්ඊඩී බල්බයක් මෙහි ඇතුළත්. මිල යුරෝ 49.99 (රු. 7865ක්) වෙනවා. 




විනෝද චාරිකාව සතුට දෙගුණ කරන්නට ස්පීකරයක් 





විනෝද ගමන් බිමන් යද්දි ගීත වාදනය කරමින් විනෝද වෙන්න බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. ගීතයේ හඬ ටිකක් පපුවට වදින තරමට ඇහෙනවා නම් තමයි සතුට වැඩිවෙන්නේ. නමුත් මේ සඳහා සාමාන්‍ය බැෆල් කට්ටලයක් අරන් යනවා නම් ඒ සඳහා සැළකිය යුතු ඉඩක් වෙන් කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා තවත් උපාංගත් අවශ්‍ය වෙනවා. නමුත් අයිලව් සයිරන් ප්‍රෝ’ (iLuv SyrenPro) ස්පීකරය ගත්තොත් මේ අපහසුකම් කිසිම දෙයක් නැහැ. මේ ස්පීකරය උසින් අඟල් 11.6යි. පළලින් අඟල් 8.35යි. බර රාත්තල් 4.18යි. නමුත් ප්‍රමාණයේ හැටියට නෙවෙයි වැඩ. දැවැන්ත බැෆල් කට්ටලයක් තරම් හඬක් නිකුත් කරන්නට මේ කුඩා උපාංගයට පුළුවන්. මෙය ස්පීකර් තුනකින් සමන්විත අතර ඉතාම ඉහළ ගුණත්වයකින් යුක්තව ස්ටීරියෝ ආකාරයෙන් ශබ්දය නිකුත්කිරීමේ හැකියාව තිබෙනවා. නැවත ආරෝපණය කළ හැකි බැටරියක් ඇති අතර එයින් නොනවත්වා පැය 4ක් කාලයක් මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්. බ්ලූටූත් හරහා ඔබගේ ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය හා සම්බන්ධ විය හැකි මෙය සාමාන්‍ය ස්පීකර් කට්ටලයක් භාවිත කරන්නට අවදානම ඇති ඕනෑම ස්ථානයක් සඳහා සුදුසුයි. ඒ කියන්නේ ජලය විසිවිය හැකි, දැඩි අව් රශ්මිය ඇති, වර්ෂාව ඇති ඕනෑම ස්ථානයක් මෙය බයක් නැතිව භාවිත කරන්න පුළුවන්. මෙහි මිල ඇමෙරිකානු ඩෙලර් 129.99 (රු. 18,630) ක් වෙනවා. 





මේක තමයි ෆෝන් කේස් එක 







මේ ආරංචිය කියන්නේ අයිෆෝන් හිමිකරුවන්ටයි. මෙය ඔබේ ජංගම දුරකතනයේ ආරක්ෂාව වෙනුවෙන් සවි කළ හැකි ෆෝන් කේස් එකක්’. හදිසියේ දුරකතනය බිම වැටුනොත් සිදුවිය හැකි අනතුරු බොහොමයක් වළක්වා ගන්නට මේ නිසා හැකියාව ලැබෙනවා. මෙවැනි ඒවා වෙළෙඳ පළේ තිබුණත් මේ කියන්නට යන උපාංගයේ ඇති අනෙක් පහසුකම් නම් වෙන තැනකින් ලබාගන්නට බැහැ. Mophie Space Pack නමින් හදුන්වන මේක  තමයි දුරකතනයට අතිරේක බලයක් සහ මතක ධාරිතාවයක් සැපයිය හැකි එකම ෆෝන් කේස් එක. මෙය ඔබගේ අයිෆෝන් එකෙහි ආරක්ෂාව වෙනුවෙන් සවි කළාට පසුව බැටරි බැස යාම ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව මෙහි අතිරේක බැටරියක් ද පවතින නිසයි. ඒ විතරක් නෙවෙයි මෙය ගිගාබයිට් 32ක් හෝ 64 දක්වා වු මතක ධාරිතා සහිතව ද ලබාගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ දුරකතනයේ මතක ධාරිතාවය ද වැඩි වෙනවා. අනෙක මෙහි බැටරියේ සහ මතකයේ තත්වය දුරකතනය ඔස්සේම පරීක්ෂා කර බලන්නටත් පුළුවන්. මිල ඇමෙරිකානු ඩොලර් 149.95 (රු. 21,490) ක් වෙනවා. 





රෙදි සේදීමේ යන්ත්‍රයේ විප්ලවයක් 










සාමාන්‍යයෙන් අප නිවෙස්වල ඇති රෙදි සෝදන යන්ත්‍රවල සේදුම් කොටස කරකකැවෙන්නේ එක් ආකාරයකින්. උඩින් රෙදි දාන යන්ත්‍රයක් නම් වමට සහ දකුණට වශයෙන් තිරස් අතට කරකැවෙනවා. ඉදිරියෙන් රෙදි දානවා නම් සිරස් අතට දෙපැත්තට කරකැවෙනවා. නමුත් තිරස් සහ සිරස් කියන ආකාර දෙකටම ක්‍රියාත්මක වන යන්ත්‍ර වෙළෙඳ පළේ නැහැ. මේ ගැටලුවට විසඳුමක් විදිහට තමයි මේ ඕර්බිටල්රෙදි සෝදන යන්ත්‍රය නිෂ්පාදනය කොට තිබෙන්නේ. එය මේ සඳහන් කළ ආකාර දෙකටම කරකැවෙමින් වඩාත් හොඳ රෙදි සේදුමක් ලබාදෙනවා. අනෙක මේ සඳහා ජලය අවශ්‍ය වන්නේ නැහැ. මෙහි රෙදි දැමීම සඳහා ඇති අධිසන්නායක ගෝලය යන්ත්‍රයට සවි කළ පසු එය දියර නයිට්‍රජන්වලින් පිරෙනවා. ඉන්පසුව මෙය තුළ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඉන්පසු මෙය තුළ ඇතිවල වියළි අයිස් රෙදිවලට කිසිදු හානියක් නොකරමින් ඉතා වේගයෙන් චලනය වන්නට පටන් ගන්නවා. මිනිත්තු 3 -4 කින් රෙදි සේදී අවසන් වෙනවා. අනෙක මේ රෙදි සෝදන කොටස ගළවා පිටතට ගෙන රෙදි දමා යන්ත්‍රයට සවිකරන්න පුළුවන්. රෙදි සේදීමෙන් පසුවත් මේ ආකාරයෙන් ඒ කොටස ගළවා පිටතට ගෙන රෙදි ටික ලබාගන්නට පුළුවන්. මෙය තවමත් වෙළෙඳ පළට පැමිණ නැති බව පෙනෙන්නට ඇති නිසා නිවැරදි මිලක් සොයාගැනීමේ හැකියාවක් නැහැ.