පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, March 10, 2016

මාධ්‍ය උගුලේ හසුවන මනුසත්තු - Humans Trapped by Media


අපට නිතර කියැවෙන නිතර ඇසෙන වදන් අතර ‛ජනමාධ්‍යය’ යන්නට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. සාමාන්‍ය ජනතාව අතරේ ද, උගතුන් සහ  බුද්ධිමතුන් අතරේ ද, දේශපාලකයන් අතරේ ද මෙම වචනය නිතරම කියැවෙනු ඇසේ. එයින් පෙනෙන්නේ ජනමාධ්‍ය අප ජීවිතවලට කෙරතම් සමීප දෙයක් ද, අපට එයින් කෙතරම් බලපෑමක් අප ජීවිත කෙරෙහි එල්ල කළ හැකි ද යන්නය. ජනමාධ්‍යය පිළිබඳ අදහසක් දක්වන්නැයි යම් අවස්ථාවක පැවසූ විට බහුතරයක් දෙන පිළිතුර වන්නේ තොරතුරු, දැනුම සහ විනෝදය ලබාදෙන මාර්ගයක් ලෙසය. අපට පාසල්වල උගන්වන්නේ ද එයම වන අතර බැලූ බැල්මට එසේ පැවසූ දෙයෙහි වරදක් පෙනෙන්නේ ද නැත.  කෙසේ නමුත් ජනමාධ්‍යය, විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යය පිළිබඳ සළකා බැලුවහොත්, අප බොහෝ දෙනෙකුට නොදැනෙන, නොසිතන දෙයක් වන්නේ, අප දිනෙන් දින මෙම මාධ්‍යයේ ග්‍රහණයට හසුවන බවය. අප වඩාත් පහසුවෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයවල ග්‍රහණයට හසුවන අතර ඉන් පසු මුද්‍රිත මාධ්‍යවල ග්‍රහණයට හසුවන්නෙමු. අනතුරුව බහුතරයක් ග්‍රහණයට වන්නේ සමාජ ජාල මාධ්‍යවලටය. 

ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ සළකා බලන විට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන රූපවාහිනිය ඉදිරිනේම සිටින අතර, ගුවන් විදුලිය අනතුරුව සිටී. පුවත්පත් සඟරා වැනි මුද්‍රිත මාධ්‍ය අනතුරුව පවතින අතර ෆේස්බුක් ආදී සමාජ ජාල මාධ්‍ය අවසාන වශයෙන් පවතී. බොහෝ දෙනකු සමාජ ජාල වැඩි බලපෑමක් කරනු ඇතැයි සිතුව ද තවමත් අප රටේ ජනගහනයට සාපේක්ෂව සමාජ ජාල මාධ්‍ය සඳහා ප්‍රවේශ හැකියාව ඇත්තේ සුළු ප්‍රතිශතයකටය. 

ලෝකයේ බොහෝ දියුණු සමාජ, මාධ්‍යවල ග්‍රහණයට හසුවීමක් සිදුවන්නේ නැත. ඔවුහු මාධ්‍යයෙන් ලබාගත හැකි ප්‍රයෝජනය හඳුනා, එය අවශ්‍ය පරිදි, අවශ්‍ය මට්ටමින් හසුරුවා ගනිති. කෙසේ නමුත් අප රටෙහි දක්නට ඇත්තේ එයට වඩා වෙනස් තත්වයකි. ආහාර පාන පිළියෙලකිරීම, විලාසිතා, නිවාස ඉදිකිරීම සහ අලංකාරකිරීම, අපගේ සිතුම් පැතුම් ආකල්ප හැඩගැස්වීම වැනි බොහෝ අවස්ථාවලදී ඉලෙක්ට්‍රොනික මාධ්‍ය  අප කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන අතර අපි එහි ග්‍රහණයට මේ වන විටත් නතු වී සිටිමු. අපගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ උනන්දුවක් මෙන්ම බියක් ඇතිකිරීම සදහා ද ජනමාධ්‍ය දැඩි බලපෑමක් එල්ල කරනු දක්නට හැකිය. එමෙන්ම මිනිසා තුළ සහජයෙන්ම පවතින ගුප්ත ලෝලීත්වය මිනිස් සමාජයට අහිතකර ලෙස ඉස්මතු කරන්නට  ඉලෙක්ට්‍රොනික මාධ්‍ය කෙතරම් දායක වී ඇතිදැයි මඳක් කල්පනාකොට බැලීම වටී. ඉහත පැවසූ සියලු කාරණා සඳහා බොහෝ විට ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සිය මැදිරි පුරවා අප වෙත ඉදිරිපත් කරන්නේ බොහෝ විට ඒ ඒ කාරණා සඳහා සිටින විශේෂඥයන් නොවේ. යම් යම් ආකාරවලින් මෙම මාධ්‍ය ආයතන සමඟ පෞද්ගලික දැන හැඳුනුම්කම් ඇති පුද්ගලයන්ය. ඔවුන් බොහෝ විට වර්ග කළ හැක්කේ ‛ළිඳ ළඟ සංගමයේ සාමාජික සාමාජිකවන්’ ලෙසිනි. 

සමාජය තුළට මිථ්‍යා අදහස් පොම්ප කිරීම අහිතකර දෙයක් වුව ද ඉලෙක්ට්‍රොනික මාධ්‍ය  බහුතරයක් සිදුකරන්නේ ද එයමය. මිනිසා තුළ සහජයෙන්ම ගුප්ත ලෝලීත්වයක් පවතින බැව් දන්නා මොවුහු එය සිය මඩිය තර කරගැනීමට භාවිත කරති. මෙවැනි එක අවස්ථාවකදී රූපවාහිනී මැදිරියට පැමිණි ‛චෞරයෙක්’ වරෙක පවසා සිටියේ එක්තරා දිනයක කතරගමට ගියහොත් කතරගම දෙවියන් සියැසින් දැකිය හැකි බවය. ‛හඬන එකාගේ ඇසට  ඇඟිල්ලෙන් අනින තුරු බලාසිටියා’ මෙන් මෙවැන්නක් පවසන තෙක් බලාසිටිනා අප රටේ බහුතරයක් මෙම කියමනට රැවටී එම පැවසූ දිනයේ කතරගම ගියහ. සංඛ්‍යලේඛනවලට අනුව එම දිනයේ ලක්ෂ දහයක පමණ ‛බැතිමතුන්’ කතරගම ගොස් තිබේ. නමුත් එදින පැමිණි දෙවියෙක් නැත. එය පැවසූ තැනැත්තා කතරගම දෙවියන්ගේ නොපැමිණීම සමබන්ධව ‛ගොන්’ ප්‍රකාශයක් පසුව එකී මාධ්‍යය ඔස්සේම නිකුත් කළ අතර, ඇතැම් විට මෙම ‛බැතිමතුන්’ එය ද දොහොත් මුදුන් දී පිළිගන්නට ඇත. ගඩොල් කැටයක් වන්දනා මාන කරන තත්වයකට පත් කළේ ද මෙ ජනමාධ්‍යමය. 

ටෙලිනාට්‍යවලට ඇති ඇබ්බැහිය මඳක් විමසා බලමු. ටෙලිනාට්‍ය නරඹන්නන් මෙන්ම නරඹන්නේ නැති පිරිස බහුතරයක් ද සිතන්නේ හුදෙක්  තමා යම් මානසික සතුටක් සඳහා නාට්‍යයක් නරඹනවා කියා ය. නමුත් මෙම ටෙලිනාට්‍යවලට ඇති ඇබ්බැහිය කෙතරම් ද යත්, ජනතාව ඒවායේ පෙනී සිටින ශිල්පීන්ගේ ඕපාදූප හාරා අවුස්සමින්, ඒවා පිළිබඳ කතා බහකරමින් කාලය ගෙවාදමන්නට දැඩි උනන්දුවක් දක්වන බැව් පෙනේ.  පසුගිය දිනෙක ඉන්දියානු ටෙලිනාට්‍ය නිළියක වන දිව්‍යංකා ත්‍රිපතිගේ ‛ලංකා ගමනය’ සඳහන් කළ හැකිය. ඇය අප රටෙහි බාල මහළු තවුරුත් හඳුන්න්නේ ‛ඉෂිතා’ නමිනි. කටුනායක ගුවන් තොටෙන් ගොඩ බට මොහොතේ සිට විවෘත රථයන නැගී පැමිණි ඇගේ රුව දැක බලා ගන්නට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් මහාමාර්ගය දෙපස රැස්ව සිටියහ. ඇතැමුන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සඳහන් කොට තිබුණේ ‛ඉෂිතා අම්මි’ තමන් දෑසින්ම දුටු බවය. සැබැවින්ම පසුගිය දිනෙක ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයක් රැසක් ලබා අප රටට ඉමහත් කීර්තියක් ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  පැමිණියේ ද මේ මාර්ගය ඔස්සේම වුව ඉෂිතා වෙනුවෙන් මාර්ගයට බට පිරිස එවැන්නක් දැන සිටියේ නැත. ජනතාව තුළ ප්‍රගමණයක් ඇතිකිරීම සඳහා පුබුදුවාලිය යුතු හැඟීම් පසෙක දමා ජනතාව අගාධයට ගෙන ගොස් දමන හැඟීම් අවදිකිරීමට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ක්‍රියා කරන්නේ මේ ආකාරයටය. ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මේ සා පිළිගැනීමක් ඇතිකරන්නට මාධ්‍යයට වුවමනාවක් තිබුණේ නැත. ඇතැමෙක් පවසා තිබුණේ සවැනි ශුද්ධෝත්තම පාප්වහන්සේ පැමිණි අවස්ථාව්දී හෝ මෙවැනි පිළිගැනීමක් දක්නට නොලැබුණු බවය. 

අතීතයේදී මෙන් නොව අපට උගතුන්, බුද්ධිමතුන්, සිල්වත් භික්ෂූණ් වහන්සේලා, ගායක ගායිකාවන් ආදී සියලු දෙනා තෝරා දෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යමය. නමුත් සැබැවින්ම ඔවුන් මෙසේ ජනතාවට ලබාදෙන තොරතුරු සියලු විටම සත්‍ය වන්නේ නැත. ඔවුන් මේ කිසිවකු තෝරා දෙන්නට පිළිගත් නිර්ණායක භාවිත කරන්නේ නැත. ඔවුන්ට හිතවත් යමෙක් සිටින්නේ නම්, ඔහු උගතකු හෝ බුද්ධිමතකු ලෙස අදාළ මාධ්‍යය විසින් උලුප්පා දක්වනු ලබන අතර ජනතාව එය පිළිගනියි. යම් භික්ෂූණ් වහන්සේ නමක් අදාළ මාධ්‍යය සමඟ හිතවත් නම්, නොබෝ කලකින් උන්වහ්නසේ අප රටේම සුපේශල ශික්ෂාකාමී භික්ෂුවක් බවට පත්වෙයි. ජනතාව ද එය ඉතසිතින් පිළිගනිති. 

ඉදිරියේදී එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ කතා කරන විට  අප දකින්නේ ද එයමය. තව නොබෝ දිනකින් දේශීය ඇඳුමින් සැරසුණු ප්‍රාසාංගික උගතුන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ පෙනී සිටිමින් සිංහල අවරුද්ද, එහි සිරිත්විරිත් ආදිය පිළිබඳ කතා කරනු අසනු දැකිය හැකිය. ඔවුන් සිටින වට පිටාව දෙස සැළකිල්ලෙන් බැලූ විට අපට පෙනෙන්නේ මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වූ ව්‍යාපාර ප්‍රජාවේ යම් යම් සළකුණුය. සිංහල අවුරුද්ද ඔස්සේ මේ ව්‍යාපාරිකයන් අපට නොදැනීම අප පරිභෝජනවාදය වෙතට ඇද දන්නේ මේ අකාරයටය. 

ගායක ගායිකාවන් පිළිබඳ සළකා බැලුව ද අද අප කතා බහ කරන නව පරපුරේ බහුතරය මෙසේ මාධ්‍ය ඔස්සේ හඳුන්වා දුන් පුද්ගලයන්ය. බොහෝ දුෂ්කරතා විඳගනිමින් ස්වකීය දැනුමෙන් සහ උත්සාහයෙන් සංගීත ක්ෂේත්‍රයට පැමිණි පැරණි ප්‍රවීණ ගායකගායිකවන් පසුකරමින් මෙම අලුත් ගායක ගායිකාවන් වේගවත් ගමනක් යනු පෙනේ. යම්කිසි ගීතයක් ගයන ලද මුල් ගායකයාට වඩා මුදලක් අයකරමින් ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගයන ‛සුපිරි තරු’ අද ඕනෑ තරම් දැකිය හැකිය. ඔවුන් මුල් ශිල්පියාට හෝ ශිල්පිනියටත් වඩා දක්ෂ යැයි නිර්දේශ කරන්නට මෙම මාධ්‍යවල ගායක ගායිකාවන් තෝරනු ලබන විනිශ්චය මණඩලය පවා නිර්ලජිජීව ඉදිරිපත්වනු පෙනේ. අප රටේ එක් ප්‍රවීණ ගායිකාවක් ගයන ලද ගීතයක් ගයන ලද අලුත් ගායිකාවකට ‛ජාතියේ ගායිකාව’ යැයි පවසන්නට එක් විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් කටයුතු කළ අයුරු  පසුගිය දිනක දක්නට ලැබුණු අතර එයට බොහෝ දෙනෙකු විරෝධය ද පළකළහ. ප්‍රවීණ ශිල්පීන්ට වඩා මෙම අනුකාරක ශිල්පීන් උලුප්පා දක්වන්නට මාධ්‍ය කටයුතු කොට ඇති බැවින් ජනතාවගේ මනස හැඩගැසී ඇත්තේ මේ අනුකාරකයන් වඩා දක්ෂ යැයි පවසන්නටය. 

අප විවිධ ආගම් පිළිබඳ කතා බහ කළ ද අප අයිති මේ මේ ආගමට යැයි පැවසුව ද අපට නොදැනීම අප සියලු දෙනාගේ පොදු ආගම බවට පත්ව ඇත්තේ අන් කිසිවක් නොව ‛මාධ්‍යයයි’. එය අප සමාජයට සිදුකොට ඇති මහත්ම ව්‍යසනය ලෙස දැකිය හැක්කේ සියලුම ක්ෂේත්‍රයන් සඳහා තරු සංකල්පයක් හඳුන්වාදීමය. මේ අනුව භික්ෂූණ්, වෛද්‍යවරු, සූපවේදීන්, ගුරුවරුන්, උගතුන් ආදී සියලු දෙනා අතරින් තරුවක් ඉස්මතුකරන්නට මාධ්‍ය ක්‍රියාත්මක වී තිබේ. ජ්‍යොතිෂයේ නාමයෙන් සිටින හොර වංචාකරුවන් කෝටිපතියන් කරන්නට අනුග්‍රහය දක්වා ඇත්තේ ද මෙම මාධ්‍යමය. මෙම වංචාකරුවන් පවසන්නේ අමූලික අසත්‍යයක් බව දැන දැනම මාධ්‍යය කරන්නේ  මෙය සත්‍යයක් වශයෙන් සමාජ ගතකිරීමය. එවිට ඉහතකී වංචාකරුවාගේ පිහිට පතාගෙන දහස් ගණන් ජනතාව ඇදී යති. අවසානයේ මේ වංචාකරුවා කෝටිපතියකු බවට පත්වේ. 

නමුත් ලෝකයේ ආර්ථික හා සමාජයීය වශයෙන් අපට වඩා දියුණු යැයි සම්මත සමාජයන්වල මෙම තත්වය දක්නට ලැබෙන්නේ නැත. එම රටවල මෙම තත්වය දැඩිව තිබුණේ නම් එම සමාජ මෙතරම් දියුණු තත්වයට පත්වන්නේ ද නැත. එම රටවල ද යම් යම් මට්ටමින් මෙම තත්වයන් දක්නට ලැබුණ ද මාධ්‍යය ජනතාවගේ බුද්ධිය වර්ධණය කරවන්නට එයට වඩා වෙනත් දෑ සිදුකරනු පෙනේ. ඒ නිසාම එම රටවල ජනතාව ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල ග්‍රහණයෙන් මිදී නිදහස් ලෙස සිතන්නට පෙළඹී සිටිති. ඔවුහු දැනුම, විනෝදය සඳහා යොදාගන්නේ මාධ්‍ය පමණක්ම නොවේ. පොත පත කියැවීම, සමාජ සත්කාර ක්‍රියාවන් ආදිය ඔවුන්ගේ ජීවිතවල පුරුද්දක් බවට පත්ව තිබේ. තවකෙකු සමග නළුනිළියන්, ගායක ගායිකාවන් පිළිබඳ ඕපදූප කතාකිරීම අප රටෙහි මෙන් දැඩි පුරුද්දක් එම රටවල දක්නට ලැබෙන්නේ නැත. ජනතාව තුළ එවැනි ආකල්ප ඇති කිරීම සඳහා  ක්‍රියාකොට ඇත්තේ ද එම රටවල මාධ්‍යමය.  කෙසේ නමුත් අප රටෙහි මාධ්‍ය සිය මෙහෙවර සමාජ ප්‍රගමණය සඳහා භාවිත කරනු පෙනේනනට හෝ නොමැති නිසා බුද්ධිමත් ඔබ මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් අන්‍යයන්ට ද මෙය පහදා දෙන්නේ නම් මාධ්‍ය නිසා පරිහානියට ලත්වන සමාජය එයින් යම් පමණකට හෝ ගළවාගන්නට සම්මාදම් විය හැකිවනු ඇත.

4 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න