පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, February 27, 2021

වඩා වේගවත් ඩයලොග් ද මොබිටෙල් ද?



අන්තර්ජාලය සැරීසැරීමේ දී වඩාත් වේගවත් සම්බන්ධතාවක් ලබා දෙන්නේ ඩයලොග් ද මොබිටෙල් ද කියන ප්‍රශ්නය ඇහුවොත්, මා සිටින වෙන්නප්පුව ප්‍රදේශයට අදාළව නම් පිළිතුර වන්නේ මොබිටෙල්. එය සනාථ කිරීමට පහත ඇති ස්ක්‍රීන් ෂොට් පෙන්විය හැකියි. 


2021-01-17 වැනි දින මොබිටෙල් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 20.1 Mbps

Upload Speed - 4.45 Mbps



2021-01-17 වැනි දින ඩයලොග් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 15.3 Mbps

Upload Speed - 0.91 Mbps



2021-02-27 වැනි දින මොබිටෙල් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 18.9 Mbps

Upload Speed - 3.03 Mbps




2021-01-17 වැනි දින ඩයලොග් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 16.4 Mbps

Upload Speed - 0.35 Mbps




Wednesday, February 24, 2021

කොරෝනා රෝගයෙන් සුවපත් වුවත් දීර්ඝකාලීන බලපෑම් ඉතා දරුණු විය හැකියි - COVID-19 Long-term effects



වෙනත් වෛරස රෝග මෙන් නොව කොරෝනා වෛරසය වැළඳී සුව වූ පසු ද දීර්ඝකාලින වශයෙන් එහි බලපෑම්වලට මුහුණ දිය යුතු බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙහි ලක්ෂණ මාස ගණනක් වුව ද පැවතිය හැකි බවයි. මේ වෛරසය නිසා පෙනහළු, හෘදය සහ මොලය හානියට පත් විය හැකි බැවින් මේ වෛරසයෙන් ආසානයට පත් වූ දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකියි. 


කොරෝනා වෛරසයෙන් ආසානය වූ බොහෝ රෝගීන් සති කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. නමුත් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඇතැම් රෝගීන් සුවපත් වූ පසු ද වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව වෛද්‍යවරුන් පවසනවා. 


මෙවැනි පුද්ගලයන් ඇතැම් අවස්ථාවල දී ‘දීර්ඝ වාහකයන්’ ලෙස හඳුන්වනු ලබන අතර මේ තත්වය ‘පශ්චාත් කොවිඩ්-19 සහලක්ෂණය’ හෝ ‘දීර්ඝ කොවිඩ් 19’ ලෙසින් ද හඳුන්වනු ලබනවා.


දිගින් දිගට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ බොහෝ විට මහලු හෝ බරපතල සෞඛ්‍ය තත්වයන් පවතින පුද්ගලයන් බව වෛද්‍යවරුන් පවසනවා. නමුත් තරුණ වියේ සහ කිසිදු බරපතල රෝගී තත්වයන් නොපවතින පුද්ගලයන්ට ද සති හෝ මාස ගණනක් ගතවන තුරු නීරෝගී ස්වභාවයක් නොදැනෙන්නට ඉඩ තිබෙනවා. දීර්ඝකාලීන වශයෙන් පෙන්නුම් කරන රෝගී ලක්ෂණ මෙසේ සඳහන් කළ හැකියි.


තෙහෙට්ටුව

කෙටි ස්වසන තත්වය

කැස්ස

හන්දි අමාරුව

පපුව අමාරුව


ඊට අමතරව පහත රෝග ලක්ෂණ ද දීර්ඝකාලීනව පවතිනු දැකිය හැකියි.


මස්පිඩු වේදනාව හෝ හිස කැක්කුම

වේගවත් හෝ දැඩි හෘද ස්පන්දනය

ගඳ සුවඳ හෝ රස නොදැනීම

මතකය, චිත්ත ඒකාග්‍රතාව හෝ නින්ද පිළිබඳ ගැටලු

දද හෝ හිසකෙස් වැටීමේ ගැටලු


කොවිඩ් 19 නිසා හානියට පත් විය හැකි අවයව


කොවිඩ් 19 රෝගයෙන් මූලිකවම බලපෑම් කරන්නේ පෙනහලුවලට වුවත්, එයින් තවත් අවයවවලට හානි සිදුවිය හැකියි. මේ හානිය නිසා දීර්ඝකාලීන සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. මෙයින් හානි සිදුවිය හැකි අනෙකුත් අවයව මෙසේ සඳහන් කළ හැකියි. 


හෘදය -  සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලද රෝගීන් සුවපත් වීමෙන් පසුව පවා හෘදයේ පරිලෝකන ඡායාරූප ගෙන බැලූ විට පෙනී ඇත්තේ හෘද මාංශ පේශීවලට දීර්ඝ කාලීන වශයෙන් පවතින හානි සිදුවී ඇති බවයි. අනාගතයේ දී හෘදය අකර්මණ්‍ය වීම හෝ හෘද සංකූලතා ඇති කරන්නට මේ තත්වය හේතු විය හැකියි.

පෙනහළු - කොවිඩ් 19 රෝගය සමග අත්වැල බැඳගෙන ඇති නිව්මෝනියා තත්වය නිසා පෙනහළුවල ඇති ගර්තවලට දීර්ඝකාලීන වශයෙන් හානි සිදුවිය හැකියි. මේ නිසා ඒවායේ ඇතිවන කැලැල් හේතුවෙන් දීර්ඝකාලීන ස්වසනාබාධ ඇති විය හැකියි. 

මොලය - තරුණ පුද්ගලයන් තුළ පවා ආඝාත, අපස්මාරය සහ ගිලන්බාරේ සහලක්ෂණය (Guillain-Barre syndrome - තාවකාලික පක්ෂගාත තත්වය) ඇති විය හැකියි. කොවිඩ් 19 වැළඳීම නිසා පාකින්සන් සහ ඇල්ෂයිමර් රෝගය වැළඳීමේ අවදානම ද ඉහළ යා හැකියි. 


රුධිරය කැටිගැසීම සහ රුධිර නාල ගැටලු


කොවිඩ් 19 නිසා රුධිරය කැටි ගැසීමේ තත්වයක් ඇති විය හැකියි. විශාල රුධිර කැටි නිසා හෘදයාබාධ සහ ආඝාත තත්ත්ව ඇති විය හැකියි. කොවිඩ් 19 නිසා ඇතිවන බොහෝ හෘද හානිවලට වගකිව යුත්තේ හෘද මාංශ පේශීවල ඇති කේශ නාලිකා කුඩා රුධිර කැටි නිසා අවහිර වීමයි. 


රුධිර කැටි නිසා බලපෑම් සිදුවිය හැකි හැකි අනෙක් ශරීර අවයවයන් වන්නේ පෙනහළු, පාද, අක්මාව සහ වකගුඩු යි. කොවිඩ් 19 නිසා රුධිර නාල දුර්වල විය හැකි අතර ඒවායෙන් රුධිර කාන්දුවීම ද සිදු විය හැකි ය. මේ නිසා අක්මාව සහ වකුගඩු ආශ්‍රිතව දීර්ඝකාලීන අවදානම් සහිත ගැටලු ඇති විය හැකියි. 


මනෝභාවය සහ තෙටේටුව පිළිබඳ ගැටලු


කොවිඩ් 19 බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලද රෝගීන් රෝහල්වල දැඩි සත්කාර ඒකක තුළ යාන්ත්‍රික සහාය (හුස්ම ගැනීම සඳහා භාවිත කරන යන්ත්‍ර සමගින්) සමගින් ප්‍රතිකාර කළ යුතු වෙනවා. කෙසේ නමුත් එවැනි බරපතල තත්වයකින් පසුව ඔවුන් තුළ පශ්චාත් ප්‍රවේණී ආතති සහලක්ෂණය (post-traumatic stress syndrome), විෂාදය සහ කාංසා තත්වය ඇති විය හැකියි.


නව කොවිඩ් 19 වෙරසය නිසා ඇති විය හැකි අනෙකුත් දීර්ඝකාලීන බලපෑම් පිළිබඳ අනාවැකි පළ නොකළ හැකි නිසා විද්‍යාඥයන් මෙයට සමාන රෝග ලක්ෂණ ඇති ‘තියුණු ස්වසන සහලක්ෂණ රෝගය’ හෙවත් ‘සාර්ස්’ (SARS) හි දීර්ඝකාලීන බලපෑම් ඔස්සේ ඒ පිළිබඳ සොයා බලමින් සිටිනවා. 


සාර්ස් රෝගයෙන් සුවපත් වූ බොහෝ දෙනෙක් ‘නිදන්ගත තෙහෙට්ටු සහලක්ෂණයට’ (chronic fatigue syndrome) ලක්වන බව සොයා ගෙන තිබෙනවා. මෙහිදී අධික තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවන අතර මානසික සහ ශාරීරික ක්‍රියාකාරකම්වලදී මෙය වඩාත් නරක අතට හැරීම පෙන්නුම් කරනවා. නමුත් විවේක ගත්ත ද මේ තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ. කොවිඩ් 19 වැළඳුණු පුද්ගලයන්ට ද මේ තත්වය පොදු විය හැකියි. 


තවමත් සොයාගෙන නැති බොහෝ දීර්ඝකාලීන බලපෑම්


කාලයත් සමග මිනිසුන් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බෙහෝ කාරණා තවමත් සොයාගෙන නැහැ. කෙසේ නමුත් මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන් වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්නේ කොවිඩ් 19 රෝගයෙන් සුවපත් වූවන්ගේ ශරීර අවයව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරන ලෙසයි. 


රෝගයෙන් සුවපත්වීමෙන් පසුව ඇතිවන කල්පවතින රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ලෝකයේ වෙනත් රටවල නම් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ වන විට ආරම්භ කොට තිබෙනවා. අප රටේ එවැනි තත්වයක් තිබෙනවාදැයි දැනගන්නට ලැබී නැහැ.


මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් බොහෝ දෙනෙකු කොවිඩ් 19 රෝගයෙන් ඉතා ඉක්මනින් සුවපත් වන බවයි. නමුත් මෙයින් සිදුවන දීර්ඝකාලීන බලපෑම් වඩාත් දරුණු විය හැකි නිසා මුහුණු ආවරණ පැළඳීම, සෙනඟ ගැවසෙන ස්ථාන මඟහැරීම සහ දෑත් නිතර පිරිසුදු කිරීම වැනි සෞඛාරක්ෂිත පුරුදු අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත්.


(https://www.mayoclinic.org/ වෙබ් අඩවියේ පළ වූ COVID-19 (coronavirus): Long-term effects ලිපිය ඇසුරෙනි)



Sunday, February 21, 2021

නිරෝධයන මධ්‍යස්ථානයක දින දහයක් . . . - Ten days in a quarantine centre . . .




වසරක් පමණ කාලයක් කොවිඩ් වෛරසය මග හරිමින් සිටියත් අවසානයේ මට ද කොවිඩ්-19 ට යටවන්නට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස දින 10 ක නිරෝධායන කාලයක් ගත කරන්නට සිදු විය. එන්නතක් පැමිණිය ද දිනෙන් දින කොවිඩ් රෝගීන් ඉහළ යන බැවින්, කොවිඩ් පොසිටිව් වී නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට කාට හෝ සිදුවුවහොත්, මා මේ පවසන්නට යන කරුණු ප්‍රයෝජනවත් විය හැකි නිසා ඒවා මෙසේ ලියා තබන්නට අදහස් කළෙමි.




නිරෝධයනය පිණිස මට යාමට සිදුවූයේ හලාවත බිංගිරියේ පිහිටි වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ය. එය යුද හමුදාවෙන් පාලනය කෙරෙන නිරෝධයන මධ්‍යස්ථානයකි. මේ අධ්‍යාපන පීඨයේ සිසුන් සඳහා ඉදිකරන ලද නේවාසිකාගාර කොවිඩ් රෝගීන්ගේ නවාතැන් සඳහා වෙන් කොට තිබූ අතර හමුදාවෙන් ඉදිකරන ලද ගොඩනැගිලි 4 ක් ද එහි තිබේ. ඒවාට වඩා නේවාසිකාගාර සුවපහසු බවින් යුක්ත වූ අතර මට ලැබුණේ ඒවායේ පිහිටි කාමරයක් බැවින් ගෙවී ගිය දින 10 ක කාලය අපහසුවකින් තොරව ගෙවා දමන්නට හැකි විය. 


ඡායාරූපයේ දකුණු කෙළවරේ ඇත්තේ අප සිටි නේවාසිකාගාරයයි. මෙවැනි තවත් ගොඩනැගිලි 3ක් දකුණට වන්නට තිබේ.


ගූගල් සිතියමේ වම් පැත්තේ එක පෙළට ඇත්තේ නේවාසිකාගාර හතරයි. ක්‍රීඩා පිටියට වම් පැත්තෙන් නිල් පැහැ වහල සහිතව ඇත්තේ යුද හමුදාව විසින් ඉදිකරන ලද ගොඩනැගිලි හතරයි.


කොවිඩ්-19 රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් විටමින් සී සහ ඩී අප වෙනුවෙන් ලබා දෙනු ලැබිණි. සුළු සෙම්ප්‍රතිශ්‍යා ගතියක් තිබෙන බව එහි වෛද්‍ය අංශය දැනුවත් කළ නිසා ඒ සඳහා ද පෙති වර්ග දෙකක් ලැබිණි. ආහාර පානවල කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැත. දිවා ආහාරය සමග අතුරුපසක් ද ලැබිණි. තේවලට අමතරව සවස කොත්තමල්ලි පානයක් ද ලැබිණි.


මධ්‍යස්ථානය තුළ සියලු කටයුතු සිදු කර ගත යුතු වන්නේ එහි රැඳී සිටිනවුන්ටමය. කෑම පාර්සල් නවාතැන කරා රැගෙන ඒම, පිරිසිදු කරගැනීම ආදිය අප විසින්ම සිදුකර ගැනුණි. ඒ වෙනුවෙන් කිසිවකු පැමිණෙන්නේ නැත. රෝගියකු නොවන බාහිර පුද්ගලයකුට ඇතුළට පැමිණෙන්නට අවසරයක් ද නැත. යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යස්ථානය වටාම පවතී. මේ නිසා රෝගීන් කළ යුත්තේ නිරෝධායන නීතිරීති පිළිපදිමින් නිරෝධායන කාලය අවසන් කිරීම පමණි.


අප දැනුවත් වී ඇති ආකාරයට මේ වෛරසය උපරිම වශයෙන් සිරුරෙන් පිට වන්නේ ආසාදනය වී දින 7ක කාලයක් දක්වා පමණි. මේ නිසා පී සී ආර් පරීක්ෂණය සිදු කළ දිනයේ සිට දින 10 ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ ගත කළ යුතු ය. තවත් දින 4ක කාලයක් නිවසේ නිරෝධායනය විය යුතු ය. සමාජයට අවදානම් රහිත පුද්ගලයකු ලෙස නිවසින් බැහැර කටයුතු සඳහා යාමට හැකි වන්නේ එම කාලය ගත කිරීමෙන් පසුව ය. බොහෝ අය සිතා සිටින්නේ නිරෝධායන මධ්‍යස්ථානයකින් පිට වන අයගේ සිරුරේ තවදුරටත් කොරෝනා වෛරසය නොපවතින බවය. නමුත් සත්‍යය වන්නේ මාස 3ක්, ඇතැම් විට මාස 6ක් ගත වන තුරු පවා සිරුර තුළ වෛරසය පැවතිය හැකි බවය. රෝගය වැළඳී මාස 3 කින් පසුව ද පී සී ආර් පරීක්ෂණයක් කළ හොත් බොහෝ විට පොසිටිව් වන්නට ඉඩ තිබේ. නමුත් වෛසරසය සිරුරෙන් පිටතට පැමිණෙන්නේ නැත. එබැවින් නිරෝධායන කාලය ගත කළ අයකුගෙන් කිසිදු අවස්ථාවක තවත් කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වන්නේ නැත. නමුත් මාස 3ක් ඇතුළත හදිසියේ රෝහලකින් හෝ පී සී ආර් පරීක්ෂණයක් කළ යුතු යැයි දන්වා සිටියහොත්, එවන් තැනැත්තකු අනිවාර්යයෙන්ම පොසිටිව් විය හැකි නිසා, එවැනි අවස්ථාවක දී ඉදිරිපත් කිරීම සඳහා රෝග විනිශ්චය කාඩ් පතක් නිරෝධායන මධ්‍යස්ථානයකින් ලබා දේ. 





ඔබට යම්කිසි අවස්ථාවක හෝ කොරෝනා වෛරසය වැළඳී නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට සිදුවුවහොත්, රැගෙන යා යුතු යැයි මට දැනුණු දෑ කිහිපයක් ද ලියා ලබන්නට අදහස් කළෙමි.


ඔබට උපරිම වශයෙන් දින 10 ක කාලයක් නිරෝධයන මධ්‍යස්ථානයක ගත කරන්නට සිදු වේ. පී සී ආර් වාර්තාව ඔබට ලැබෙන්නට පමා වුවහොත්, එම පමා වූ දින ගණන 10න් අඩු කළ පසු ඉතිරි වන දින ගණන නිරෝධායන මධ්‍යස්ථානයක ගත කරන්නට සිදු වේ. මේ දින ගණන ගත කරන්නට අවශ්‍ය කරන ඇඳුම් ඔබ රැගෙන යා යුතු ය. ඇඳුම් සෝදා ගැනීමට අප සිටි මධ්‍යස්ථානයේ ඕනෑවටත් වඩා පැවති අතර අනෙක් මධ්‍යස්ථානවල ද එසේ පවතී යැයි සිතමි. එබැවින් ඔබට ඇඳුම් සෝදා ගත හැකිය. ඒ සඳහා රෙදි කුඩු හෝ සබන් රැගෙන යා යුතු ය. රෙදි ක්ලිප් කිහිපයක් රැගෙන යාමට හැකි නම් වඩා හොඳය. එවිට සුළඟ නිසා රෙදි බිම වැටීම වළක්වා ගත හැකිය. කොට්ටයක්, ඇඳ ඇතිරිල්ලක් සහ පෙරවීමට රෙද්දක් රැගෙන යාම වඩා හොඳය. පිඟානක් සහ කෝප්පයක් අනිවාර්යය. මදුරු දැල් ඇති නිසා මදුරුවන්ගෙන් ගැලවී සිටිය හැකිය. 

පොදුවේ වැසිකිලි භාවිත කළ යුතු නිසා ස්ප්‍රේ කළ හැකි ආකාරයට සකස් කළ ඩෙටෝල් බඳුනක් රැගෙන යාම ද අමතර ප්‍රයෝජනයක් විය හැකි ය.

නිරෝධයන මධ්‍යස්ථානයක දී මුහුණ පෑමට සිදුවන කටුකතම දේ නම් කාලය ගත කිරීමය. එහිදී හිතවතුන් ඇති කර ගැනීම මෙයට එක් විසඳුමක් වුව ද එය කාලය ගත කිරීම සඳහා ඇති එකම විසඳුම නොවේ. ස්මාර්ට් දුරකතනයක් ඇත්නම් හොඳ අන්තර්ජාල සැලැස්මක් සක්‍රිය කරගැනීම කාලය ගත කිරීම සඳහා හොඳ විසඳුමකි. නමුත් එයට අමතරව කාඩ් කුට්ටමක දායකත්වය වඩා සාර්ථක බව අත්දැකීමෙන් කිව හැක්කේ මා එහි ගත කළ කාලය තුළ ස්මාර්ට් දුරකතන හා කරට කර සිටිමින් කාලය ගත කිරීම සඳහා කාඩ් කුට්ටම දායකත්වයක් ලබා දුන් නිසා ය.  


කොවිඩ් මිතුරු සංගමය. වමේ සිට සමීර, සඳුන්, රන්දික, මම, නිහාල් සහ සංජීව (පහළ)


අප සිටි නේවාසිකාගාරයේ කාමරයක් දෙදෙනෙකු වෙනුවෙන් වෙන් කොට තිබිණි. ඒවායේ දොර වසා තැබිය හැකි නිසා සොරසතුරු උපද්‍රවවලින් ගැලවී සිටින්නට හැකි වුවත්, යුද හමුදාවෙන් ඉදිකොට තිබූ තාවකාලික ශාලා තුළ නම් සොරකම් සිදුවූ බව අසන්නට ලැබිණි. එබැවින් ඔබගේ බඩුබාහිරාදිය ආරක්ෂා කරගැනීමේ අතිරේක වගකීම ඔබ කර මත පැටවේ. විවිධ තරාතිරමේ පුද්ගලයන් පැමිණෙන් බැවින් සියලු දෙනා එකසේ විශ්වාස කළ නොහැකි තත්වයක් තිබේ. 


වර්තමානයේ වෛරසය පැතිරීම ඉතා වේගවත් බව පෙනෙන්නට තිබේ. නව ප්‍රභේදය ද පැමිණ ඇති බැවින් වෛරසයෙන් වැලකී සිටීමේ වගකීම ඔබ සතු වේ. කෙසේ වෙතත් ඔබ කිසිවකු හෝ මේ වෛරසයට නතු නොවේවා කියා අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරමි.