පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 24, 2021

කොරෝනා රෝගයෙන් සුවපත් වුවත් දීර්ඝකාලීන බලපෑම් ඉතා දරුණු විය හැකියි - COVID-19 Long-term effects



වෙනත් වෛරස රෝග මෙන් නොව කොරෝනා වෛරසය වැළඳී සුව වූ පසු ද දීර්ඝකාලින වශයෙන් එහි බලපෑම්වලට මුහුණ දිය යුතු බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙහි ලක්ෂණ මාස ගණනක් වුව ද පැවතිය හැකි බවයි. මේ වෛරසය නිසා පෙනහළු, හෘදය සහ මොලය හානියට පත් විය හැකි බැවින් මේ වෛරසයෙන් ආසානයට පත් වූ දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකියි. 


කොරෝනා වෛරසයෙන් ආසානය වූ බොහෝ රෝගීන් සති කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. නමුත් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඇතැම් රෝගීන් සුවපත් වූ පසු ද වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව වෛද්‍යවරුන් පවසනවා. 


මෙවැනි පුද්ගලයන් ඇතැම් අවස්ථාවල දී ‘දීර්ඝ වාහකයන්’ ලෙස හඳුන්වනු ලබන අතර මේ තත්වය ‘පශ්චාත් කොවිඩ්-19 සහලක්ෂණය’ හෝ ‘දීර්ඝ කොවිඩ් 19’ ලෙසින් ද හඳුන්වනු ලබනවා.


දිගින් දිගට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ බොහෝ විට මහලු හෝ බරපතල සෞඛ්‍ය තත්වයන් පවතින පුද්ගලයන් බව වෛද්‍යවරුන් පවසනවා. නමුත් තරුණ වියේ සහ කිසිදු බරපතල රෝගී තත්වයන් නොපවතින පුද්ගලයන්ට ද සති හෝ මාස ගණනක් ගතවන තුරු නීරෝගී ස්වභාවයක් නොදැනෙන්නට ඉඩ තිබෙනවා. දීර්ඝකාලීන වශයෙන් පෙන්නුම් කරන රෝගී ලක්ෂණ මෙසේ සඳහන් කළ හැකියි.


තෙහෙට්ටුව

කෙටි ස්වසන තත්වය

කැස්ස

හන්දි අමාරුව

පපුව අමාරුව


ඊට අමතරව පහත රෝග ලක්ෂණ ද දීර්ඝකාලීනව පවතිනු දැකිය හැකියි.


මස්පිඩු වේදනාව හෝ හිස කැක්කුම

වේගවත් හෝ දැඩි හෘද ස්පන්දනය

ගඳ සුවඳ හෝ රස නොදැනීම

මතකය, චිත්ත ඒකාග්‍රතාව හෝ නින්ද පිළිබඳ ගැටලු

දද හෝ හිසකෙස් වැටීමේ ගැටලු


කොවිඩ් 19 නිසා හානියට පත් විය හැකි අවයව


කොවිඩ් 19 රෝගයෙන් මූලිකවම බලපෑම් කරන්නේ පෙනහලුවලට වුවත්, එයින් තවත් අවයවවලට හානි සිදුවිය හැකියි. මේ හානිය නිසා දීර්ඝකාලීන සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. මෙයින් හානි සිදුවිය හැකි අනෙකුත් අවයව මෙසේ සඳහන් කළ හැකියි. 


හෘදය -  සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලද රෝගීන් සුවපත් වීමෙන් පසුව පවා හෘදයේ පරිලෝකන ඡායාරූප ගෙන බැලූ විට පෙනී ඇත්තේ හෘද මාංශ පේශීවලට දීර්ඝ කාලීන වශයෙන් පවතින හානි සිදුවී ඇති බවයි. අනාගතයේ දී හෘදය අකර්මණ්‍ය වීම හෝ හෘද සංකූලතා ඇති කරන්නට මේ තත්වය හේතු විය හැකියි.

පෙනහළු - කොවිඩ් 19 රෝගය සමග අත්වැල බැඳගෙන ඇති නිව්මෝනියා තත්වය නිසා පෙනහළුවල ඇති ගර්තවලට දීර්ඝකාලීන වශයෙන් හානි සිදුවිය හැකියි. මේ නිසා ඒවායේ ඇතිවන කැලැල් හේතුවෙන් දීර්ඝකාලීන ස්වසනාබාධ ඇති විය හැකියි. 

මොලය - තරුණ පුද්ගලයන් තුළ පවා ආඝාත, අපස්මාරය සහ ගිලන්බාරේ සහලක්ෂණය (Guillain-Barre syndrome - තාවකාලික පක්ෂගාත තත්වය) ඇති විය හැකියි. කොවිඩ් 19 වැළඳීම නිසා පාකින්සන් සහ ඇල්ෂයිමර් රෝගය වැළඳීමේ අවදානම ද ඉහළ යා හැකියි. 


රුධිරය කැටිගැසීම සහ රුධිර නාල ගැටලු


කොවිඩ් 19 නිසා රුධිරය කැටි ගැසීමේ තත්වයක් ඇති විය හැකියි. විශාල රුධිර කැටි නිසා හෘදයාබාධ සහ ආඝාත තත්ත්ව ඇති විය හැකියි. කොවිඩ් 19 නිසා ඇතිවන බොහෝ හෘද හානිවලට වගකිව යුත්තේ හෘද මාංශ පේශීවල ඇති කේශ නාලිකා කුඩා රුධිර කැටි නිසා අවහිර වීමයි. 


රුධිර කැටි නිසා බලපෑම් සිදුවිය හැකි හැකි අනෙක් ශරීර අවයවයන් වන්නේ පෙනහළු, පාද, අක්මාව සහ වකගුඩු යි. කොවිඩ් 19 නිසා රුධිර නාල දුර්වල විය හැකි අතර ඒවායෙන් රුධිර කාන්දුවීම ද සිදු විය හැකි ය. මේ නිසා අක්මාව සහ වකුගඩු ආශ්‍රිතව දීර්ඝකාලීන අවදානම් සහිත ගැටලු ඇති විය හැකියි. 


මනෝභාවය සහ තෙටේටුව පිළිබඳ ගැටලු


කොවිඩ් 19 බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලද රෝගීන් රෝහල්වල දැඩි සත්කාර ඒකක තුළ යාන්ත්‍රික සහාය (හුස්ම ගැනීම සඳහා භාවිත කරන යන්ත්‍ර සමගින්) සමගින් ප්‍රතිකාර කළ යුතු වෙනවා. කෙසේ නමුත් එවැනි බරපතල තත්වයකින් පසුව ඔවුන් තුළ පශ්චාත් ප්‍රවේණී ආතති සහලක්ෂණය (post-traumatic stress syndrome), විෂාදය සහ කාංසා තත්වය ඇති විය හැකියි.


නව කොවිඩ් 19 වෙරසය නිසා ඇති විය හැකි අනෙකුත් දීර්ඝකාලීන බලපෑම් පිළිබඳ අනාවැකි පළ නොකළ හැකි නිසා විද්‍යාඥයන් මෙයට සමාන රෝග ලක්ෂණ ඇති ‘තියුණු ස්වසන සහලක්ෂණ රෝගය’ හෙවත් ‘සාර්ස්’ (SARS) හි දීර්ඝකාලීන බලපෑම් ඔස්සේ ඒ පිළිබඳ සොයා බලමින් සිටිනවා. 


සාර්ස් රෝගයෙන් සුවපත් වූ බොහෝ දෙනෙක් ‘නිදන්ගත තෙහෙට්ටු සහලක්ෂණයට’ (chronic fatigue syndrome) ලක්වන බව සොයා ගෙන තිබෙනවා. මෙහිදී අධික තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවන අතර මානසික සහ ශාරීරික ක්‍රියාකාරකම්වලදී මෙය වඩාත් නරක අතට හැරීම පෙන්නුම් කරනවා. නමුත් විවේක ගත්ත ද මේ තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ. කොවිඩ් 19 වැළඳුණු පුද්ගලයන්ට ද මේ තත්වය පොදු විය හැකියි. 


තවමත් සොයාගෙන නැති බොහෝ දීර්ඝකාලීන බලපෑම්


කාලයත් සමග මිනිසුන් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බෙහෝ කාරණා තවමත් සොයාගෙන නැහැ. කෙසේ නමුත් මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන් වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්නේ කොවිඩ් 19 රෝගයෙන් සුවපත් වූවන්ගේ ශරීර අවයව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරන ලෙසයි. 


රෝගයෙන් සුවපත්වීමෙන් පසුව ඇතිවන කල්පවතින රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ලෝකයේ වෙනත් රටවල නම් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ වන විට ආරම්භ කොට තිබෙනවා. අප රටේ එවැනි තත්වයක් තිබෙනවාදැයි දැනගන්නට ලැබී නැහැ.


මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් බොහෝ දෙනෙකු කොවිඩ් 19 රෝගයෙන් ඉතා ඉක්මනින් සුවපත් වන බවයි. නමුත් මෙයින් සිදුවන දීර්ඝකාලීන බලපෑම් වඩාත් දරුණු විය හැකි නිසා මුහුණු ආවරණ පැළඳීම, සෙනඟ ගැවසෙන ස්ථාන මඟහැරීම සහ දෑත් නිතර පිරිසුදු කිරීම වැනි සෞඛාරක්ෂිත පුරුදු අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත්.


(https://www.mayoclinic.org/ වෙබ් අඩවියේ පළ වූ COVID-19 (coronavirus): Long-term effects ලිපිය ඇසුරෙනි)



1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න