පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 19, 2020

පරිගණක වෛරස් හමුවේ ඇපල් පද්ධතිය වින්ඩෝස්වලට පරදින ලකුණු!

Image credit: https://www.techradar.com/news/macos-catalina-vs-windows-10-may-2019-update-which-is-best


ඇපල් පරිගණකවලට අනිෂ්ට මෘදුකාංග හෙවත් මැල්වෙයාර්වලින් (malware) හානියක් සිදුනොවන බව කාලයක් තිස්සේ අප දැන සිටි කාරණයක්. මැල්වෙයාර්වලින් වන තරමක් හානි සිදු වුණේ වින්ඩෝස් පරිගණකවලටයි. කෙසේ නමුත් ඉතාමත් මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වුණේ මැල්වෙයාර්වලට එරෙහිව ක්‍රියාත්මක වන්නට ඇපල් පරිගණකවලට තිබූ හැකියාව කෙමෙන් අඩු වී යන බවයි. තවත් ආකාරයකින් පැවසුවොත් වින්ඩෝස් පරිගණකවල මැල්වෙයාර් හඳුනාගැනීමේ හැකියාව සහ එයට එරෙහිව සටන් වැදීමට ඇති හැකියාව ඇපල් පරිගණකවලට වඩා කීප ගුණයකින් වර්ධනය වී ඇති බවයි. මේ නිසා ඇපල්වලට වඩා වින්ඩෝස් පරිගණක භාවිතය වඩාත් ආරක්ෂාකාරී බවට යම් මතයක් දැන් ගොඩ නැගෙමින් පවතිනවා.

පරිගණක වෙළඳපළෙන් සෑහෙන කොටසක් ඇපල් සමාගම විසින් අත්පත් කරගෙන සිටින නිසා මැල්වෙයාර් නිර්මාණය කරන්නන් ඇපල් පද්ධතියට ඇතුළු වන්නේ කෙසේදැයි උත්සාහ කරන්නට පටන් ගත්තා.
මේ මැල්වෙයාර් සාම්ප්‍රදායිකව දැක ඇති ඒවා තරම් භයානක නොවුනත් ඒවා ඇපල් පරිශීලකයන්ට වදයක් වන්නට පටන් අරන් තිබෙන බව Malwarebytes Labs ආයතනය සිය වාර්තාවක මෑතකදී සඳහන් කොට තිබුණා. 2019 වසරේ දී ඇපල් පද්ධතියට එරෙහිව මැල්වෙයාර් ක්‍රියාත්මක වූ ආකාරය 2:1 යැයි ඔවුන් පවසනවා. 2019 වසරේ දී ඇපල් පද්ධතියට එරෙහිව මැල්වෙයාර්වල තර්ජනය 400% කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය වින්ඩෝස් පරිගණක කෙරෙහි මැල්වෙයාර්වල ඇති තර්ජනය මෙන් දෙගුණයක් බවයි ඔවුන් පවසන්නේ. ඇපල් පරිගණක තුළ ස්ථාපිත කොට ඇති ආරක්ෂණ පද්ධතිය මගින් මැල්වෙයාර් සහ ඇඩ්වෙයාර් (කරදරකාරී ලෙස වෙළෙඳ දැන්වීම් දර්ශනය වීම) බිඳ දැමීමක් සිදුවන්නේ අඩු මට්ටමකින් නිසා මේවා නිර්මාණය කරන්නන් හට ඇපල් පද්ධතියට ඇතුළු වීම පහසු වී තිබෙනවා.

ඇපල් පර්ගණක තුළට මැල්වෙයාර් සහ ඇඩ්වෙයාර් ඇතුළු වන්නේ පද්ධතිය උපරිම තත්වයට පත්කරන්නට උදව්වන්නන් (system optimizers) සහ අනවශ්‍ය දෑ ඉවත් කොට පද්ධතිය පිරිසුදු කරන්නන් (junk-cleaners) ගේ ස්වරූපයෙන්. පසුගිය වසරේ දී පමණක් ඇපල් පරිගණක වෙත කඩා වැදුණු මැල්වෙයාර් ප්‍රමාණය මිලියන 25ක් පමණ බව පැවසෙනවා. මෙයින් ප්‍රමුඛතමය වූ තිබුණේ Adware.NewTab. 2019 වසරේ දී එයට ලක් වූ ඇපල් පරිගණක සංඛ්‍යාව මිලියන 30 ක්.

වින්ඩෝස් පරිගණක සඳහා විශාල වශයෙන් තර්ජනයක් වූ මැල්වෙයාර් එක වූයේ Adware.MindSpark. කෙසේ නමුත් එයට ලක් වූ වින්ඩෝස් පරිගණක සංඛ්‍යාව වූයේ මිලියන 2ක් පමණයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ මැල්වෙයාර් හසුකරගැනීමට වින්ඩෝස් පද්ධතියට ඇති හැකියාවන් දිනෙන් දින වර්ධනය වීමයි.

කෙසේ නමුත් වින්ඩෝස් පරිගණකවලට විශේෂිත පරිගණක නාශක වැඩසටහනක උදව්වක් නැතිව ස්වාධීනව ක්‍රියාත්මක වන්නට තවමත් 100% ක හැකියාවක් නැති බව ද සඳහන් කළ යුතුයි.



Tuesday, February 11, 2020

වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න - Eating Chili Peppers Help You Live Longer

source - https://www.mancrates.com/blog/hot-sauce-contest-prep/


මිරිස් සහිත ආහාර පරිභෝජනයට ගැනීම මේ වන විට ලොව පුරා විලාසිතාවක් බවට පත්ව තිබේ.  මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම හෙවත් මරණයට පත් වීමේ අවදානම මිරිස් කෑමට නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බවය.

මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන සෞඛ්‍යමය වාසි සහගත තත්වයන් පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම සාධක ඕනෑ තරම් ලැබී තිබේ. මේ පිළිබඳ මෑතකදීම පර්යේෂණයක් සිදු කොට ඇත්තේ ඉතාලි ජාතික මහාචාර්යවරියක වන ලිසියා ලැකොවියෙලෝ ය. මිරිස් පිළිබඳ මෙතෙක් පර්යේෂණ පවත්වා ඇති සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ මිරිස්වලට මෙම සැර ගුණය ලබා දෙන්නා වූ රසායනය වන කැප්සයිසින්කෙරෙහි ය. මෙතෙක් සිදුකරන ලද පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ කැප්සයිසින් නිසා හෘද ක්‍රියාකාරීත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවන් මනා ලෙස සිදුවන්නට ඉමහත් පිටිවහලක් ලැබෙන බවය. එමෙන්ම ස්නායු රෝග, ආතරයිටිස්, බඩවැල්වල රෝග සහ ඇතැම් අවස්ථාවලදී පිළිකාවලට පවා එරෙහිව සටන් කරන්නට හැකියාව මිරිස් කෑමට ගැනීම නිසා ශරීරයට ලැබෙන බව හෙළි වී තිබේ. කෙසේ නමුත් මෑතක දී බොහෝ පර්යේෂකයන්ගේ අවධානය යොමු වූයේ මිරිස් කෑමට ගැනීම නිසා මර්ත්‍යතා අවදානම අඩු වීම පිළිබඳවය.

ඉතාලියේ මධ්‍යධරණීය ස්නායු ආයතනය’ (Mediterranean Neurological Institute) විසින් මේ පිළිබඳව පර්යේෂණයන් දෙකක් සිදුකොට තිබේ. ඉන් එකක් චීනයේ ද, අනෙක ඇමරිකා එක්සත් ජනපදයේ ද සිදුව තිබේ. මේ පර්යේෂණ දෙකින්ම හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම ඉතා අඩු බවය.

ඔවුන් මේ සඳහා පිරිමි සහ කාන්තාවන් 22,811 දෙනෙක් මේ සඳහා සහභාගී කරවා ගැනුණි. ඔවුහු සිය පර්යේෂණයේ ප්‍රතිඵල ආමරිකානු හෘද රෝග වෛද්‍ය සඟරාව ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළහ.

මේ සඳහා සහභාගී කරවා ගත් සියලු දෙනා අවුරුදු 35 ට වැඩි අයවලුන් විය. ඔවුන් වසර 8 කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබිණි. පර්යේෂණය අතරතුර දී එයට සහභාගී වූවන්ගේ 1,236 දෙනෙකු මරණයට පත් විය.

සෞඛ්‍යය කෙරෙහි බලපාන්නා වූ වෙනත් කාරණා, එනම්, ඒ ඒ පුද්ගලයන්ගේ වෛද්‍ය ඉතිහාසය, විවේක කාලයේ දී සිදු කෙරෙන ශාරීරික ක්‍රියාකාරකම්, දුම්බීම, මත්පැන් පානය සහ සමාජ ආර්ථික සාධක ආදිය ද සැලකිල්ලට ගනු ලැබිණි.

මේ පර්යේෂණයට සහභාගී කරවා ගන්නට පෙරාතුව සෑම පුද්ගලයකුටම මිරිස් කෑමට ගැනීම ඇතුළුව සිය ආහාර ගැනීමේ රටාව පිළිබඳ ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්නට සිදු විය.

එයට සහභාගී වූවන්ගෙන් 24.3%ක් සතියකට තුන් හතර වතාවක් මිරිස් කෑමට ගැනීමේ පුරුද්දෙන් යුක්ත විය. 33.7%ක් ඉතා කලාතුරකින් මිරිස් කෑමට ගැනීමේ පුරුද්ද තිබිණි. ඔවුන් අතර කිසිදා මිරිස් ආහාරයට නොගන්නා අය ද සිටියහ.

පර්යේෂණයයෙන් හෙළි වූ කරුණුවලට අනුව පර්යේෂකයන් පැමිණි නිගමනය වූයේ සතියකට තුන් හතර වතාවක් මිරිස් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම 23%කින් අඩු බවය.

මිරිස් සහ හෘද සෞඛ්‍යය
හෘද රෝග පිළිබඳ සලකා බැලීමේ දී පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම එසේ නොවන පුද්ගයන්ට වඩා 34%කින් අඩු බව මෙම පර්යේෂණයෙන් හෙළි විය. එමෙන්ම පිළිකා රෝගීන් අතර ද මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානමේ යම් අඩුවක් පෙන්නුම් කළ ද එය සංඛ්‍යාත්මකව දක්වන්නට තරම් ප්‍රමාණවත් මට්ටමක නොතිබිණි. කෙසේ නමුත් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම පොදුවේ මර්ත්‍යතා අවදානම අඩු කරන්නට හේතුවක් වන බව නම් පැහැදිලිවම සනාථ විය.

තවත් සොයා ගැනීම්
මෙම පර්යේෂණයෙන් හෙළි වූ තවත් දෙයක් වූයේ වැඩි වශයෙන්ම මිරිස් කෑමට ගන්නේ උසස් අධ්‍යාපනයක් ලද, වයසින් වැඩි පිරිමින් බවය. එමෙන්ම මිරිස් කෑමට ගන්නන් අතර  මිරිස් කෑමට නොගන්නන්ට වඩා දියවැඩියාව සහ අධ්‍යාතතිය, රුධිරයේ අධික ලිපිඩ මට්ටම සහ ඉහළ දේහ ස්කන්ධ පරිමාණයක් පවතින බව ද මෙම පර්යේෂණයෙන් හෙළි විය. මේවා සියල්ල හෘද රෝග ඇති කරන සාධක වුවත්, ඔවුන් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම නිසා ඔවුන් සාමාන්‍යයෙන් මුහුණ දිය යුතු අවදානම් තත්වය අඩු වී ඇති බව පර්යේෂකයන්ගේ නිගමනය විය.

කෙසේ වෙතත් මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ තවම ඇත්තේ සංවාදමය තත්වයකය. කැප්සයිසින් නිසා සිරුරේ බර අඩු වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඇතැම් විද්‍යාඥයෝ මේ නිගමනය සමග සිය එකඟත්වය පළ කරති. කෙසේ නමුත් ඉතාලි පර්යේෂණ ආයතනය මගින් පවත්වන ලද පර්යේෂණයට සහභාගී වූ මිරිස් කෑමට ගන්නන් බොහොමයකගේ දේහ ස්කන්ධ පරිමාණ පැවතියේ ඉහළ මට්ටමකය.

සීමාවන් සහ අනාගතය
ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ සිදු කරන ලද මෙම පර්යේෂණ දෙක කෙරෙහි අවධානය යොමු කරන නිරීක්ෂකයන් පවසන්නේ මේ දෙකෙහිම යම් යම් සීමාවන් පවතින බවය. මෙය හුදෙක් නිරීක්ෂණ මට්ටමකින් සිදු කරන ලද්දක් වන බැවින් මෙවැනි නිගමනයකට එලැඹෙන්නට අවශ්‍ය වන කාරණා සහ හේතු පැහැදිලිව අවබෝධ කරගත නොහැකි බව ඔවුහු පවසති. අනෙක මෙවැනි තත්වයක් කෙරෙහි බලපාන්නා වූ අනෙකුත් සාධක ද මෙහිදී එතරම් සැලකිල්ලකට ගෙන නොමැත. අනෙක මෙයට සහභාගී වූ පුද්ගලයන්ගේ ආහාර ගැනීමේ රටාව පිළිබඳ තොරතුරු ලබා ගෙන තිබුණේ පර්යේෂණය ආරම්භයේ දී පමණි. මිනිසුන්ගේ පරිභෝජන රටාව කාලයත් සමග වෙනස් විය හැකි වුවත්, එය මෙහි දී සැලකිල්ලකට ලක් කොට නැත. එමෙන් දිනපතා වරක් දෙවරක් මිරිස් කෑමට ගැනීමෙන් සිදුවන බලපෑම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කොට නොමැති බව පෙනේ.

කෙසේ වෙතත්, අවසාන නිගමනය වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නන් අතර මර්ත්‍යතා අවදානම පහළ මට්ටමක පවතින බවයි. විශේෂයෙන් හෘද රෝග සම්බන්ධ මර්ත්‍යතා අවදානම ද පහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. මිරිස් කෑමට ගැනීම සෞඛ්‍යය තත්වය ඉහළ නංවන්නක් බවට විවාදයක් නැති බව ද ඔවුන්ගේ නිගමනය විය. ඔවුන්ගේ ඊළඟ අපේක්ෂාව වන්නේ එසේ වන්නේ මන්දැයි යන්න පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමය.