Sunday, September 27, 2026
Monday, August 31, 2026
Friday, March 13, 2026
Wednesday, February 18, 2026
සමාජ මාධ්ය කැළඹූ "හට්ටිමා ටිම් ටිම්": රිද්මයානුකූල තබ්ලා වාදනයක අපූරුව
ඔබත් පසුගිය දිනවල ෆේස්බුක් (Facebook), ටික්ටොක් (TikTok) හෝ ඉන්ස්ටග්රෑම් (Instagram) භාවිත කළේ නම්, ඉතා උද්යෝගයෙන් තබ්ලා වාදනය කරමින් අපූරු ගීතයක් ගායනා කරන පුද්ගලයකුගේ වීඩියෝවක් අනිවාර්යයෙන්ම දකින්නට ඇති. බලන ඕනෑම අයෙකුගේ දෙපා නිතැතින්ම නටවන, මුවඟට සිනහවක් ගෙනෙන මේ වීඩියෝවේ රහස කුමක්ද?
කවුද මේ "හට්ටිමා ටිම් ටිම්"?
බැලූ බැල්මට අපට නුහුරු භාෂාවකින් ඇසෙන මේ ගීතය, ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ බංග්ලාදේශය යන ප්රදේශවල ඉතාම ජනප්රිය බෙංගාලි ළමා ගීතයකි. අපේ රටේ දරුවන් "රන්වන් පාටයි සමනලයා" හෝ "හඳ හාමි" ගීතවලට ආදරය කරනවා සේම, බෙංගාලි දරුවන් තම කුඩා කාලය හැඩකර ගන්නේ මේ අපූරු "හට්ටිමටිම් ටිම්" කවියෙනි.
ගීතයේ අන්තර්ගතය සහ තේරුම
මෙම ගීතයෙන් විස්තර කරන්නේ "හට්ටිමා ටිම් ටිම්" නමින් හැඳින්වෙන මනඃකල්පිත සත්වයෙකු පිළිබඳවයි. ගීතයේ සරල අදහස මෙසේය:
"හට්ටිමා ටිම් ටිම්... උන් පිට්ටනියේ බිත්තර දමනවා. උන්ගේ හිස මත අං දෙකක් තියෙනවා. උන් තමයි හට්ටිමටිම් ටිම්..."
වීඩියෝව මෙතරම් ජනප්රිය වීමට හේතුව
මෙම වීඩියෝවේ විශේෂත්වය වන්නේ ගායනයට වඩා එහි ඇති ප්රාණවත් තබ්ලා වාදනයයි. ඉතා දක්ෂ ලෙස තබ්ලාවේ රිද්මය හසුරුවන මෙම වාදකයා, ගීතයේ සෑම පදයකටම ගැළපෙන පරිදි උද්යෝගිමත් හඬක් එක් කරයි. ළමා ගීතයක් වුවද, එහි ඇති රිද්මය නිසා එය වැඩිහිටියන් පවා නැවත නැවතත් නැරඹීමට පෙළඹී තිබේ.
ඔබටත් ගායනා කළ හැකි පද පේළි
මෙන්න ඔබටත් එම රිද්මයටම ගායනා කළ හැකි වන පරිදි සිංහල අකුරින් එහි උච්චාරණය:
හට්ටිමා ටිම් ටිම්
තාරා මාඨේ පාළේ ඩිම්!
තාදේර් ඛාඩා දූටෝ ශිං,
තාරා හට්ටිමා ටිම් ටිම්.
නිවසේදී හෝ මිතුරන් සමඟ විනෝද වන වෙලාවක මේ අපූරු රිද්මය අත්හදා බලන්න ඔබටත් පුළුවන්. සංගීතයට භාෂා භේදයක් නැති බව මේ වීඩියෝව නැවතත් අපට මතක් කර දී තිබේ.
Sunday, November 9, 2025
Monday, September 15, 2025
චරිත කතා ආශ්වාදයක් ද, මිත්යාවක් ද? - Is the biographical story an inspiration or a myth?
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා චරිත කතා කියවීමට
ප්රිය කරති. එයට ප්රධාන හේතුව වන්නේ, අභියෝග
ජයගත් මිනිසුන්ගේ කතා අපට මහත් ආශ්වාදයක් ලබා දෙන බැවිනි. අධ්යාපනය, ව්යාපාර හෝ කලා ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ජීවිත කතා, අපගේ සිහින සැබෑ කරගැනීමට අවශ්ය ධෛර්යය හා මඟපෙන්වීම ලබා දෙයි.
එහෙත්, අප කියවන්නේ සැබෑ
පුද්ගලයාගේ ජීවිතයමද? නැතහොත්, වාණිජමය හා අභිප්රේරණාත්මක අරමුණු වෙනුවෙන් ගොඩනැඟූ කෘත්රිම
නිර්මාණයක්ද?
ප්රසිද්ධ පුද්ගලයන්ගේ චරිත කතා ලියවෙන්නේ, ඔවුන්ගේ ජීවිතයේ හොඳම දේ පමණක් ඉස්මතු කරමිනි. ඔවුන්ගේ අරගල, වේදනාවන් සහ ජයග්රහණ අතිශයෝක්තියට නංවා, එය අපූරු වීර කතාවක් ලෙස ගොඩනඟයි. මෙම "වීර කතා" ආකෘතිය
තුළ, පුද්ගලයා මුහුණ දුන්
අසාර්ථකවීම්, අඩුපාඩු සහ දුර්වලතා බොහෝ
විට මඟහැර දමනු ලැබේ. මෙහිදී, රචකයාගේ
අරමුණ වන්නේ පාඨකයාට සත්යය පැවසීමට වඩා, ඔවුන්ගේ
හැඟීම් අවුස්සා, කෘතිය වඩාත් ආකර්ෂණීය
කිරීමයි. මෙම ක්රියාවලිය පාඨකයාගේ මානසිකත්වයට හා අවබෝධයට කෙලින්ම බලපායි.
යථාර්ථය නම්,
කිසිම මිනිසෙක් සර්ව සම්පූර්ණ නැති බවය. අප සැමටම හොඳ ගතිගුණ මෙන්ම
වැරදි සහ අඩුපාඩු ද ඇත. නමුත් චරිත කතාවක කියවන පරමාදර්ශී චරිතය, අපේ මනස තුළ සර්ව සම්පූර්ණ ප්රතිරූපයක් ගොඩනඟයි. මෙම පරමාදර්ශී ප්රතිරූපය, යථාර්ථයේදී බිඳ වැටෙන විට, පාඨකයාට
දැඩි කලකිරීමක් ඇතිවිය හැකිය.
උදාහරණයක් ලෙස,
ඔබ කුඩා කල සිට ආදර්ශයට ගත්, කිසිදු
වරදක් නොකළ වීරයකු ලෙස ඔබ හඳුනාගත් පුද්ගලයා, සැබෑ
ජීවිතයේදී ආත්මාර්ථකාමී හෝ අසාධාරණ ක්රියාවන් කළ බවක් යම් දිනක දැනගන්නට ලැබුණොත්, ඔබ විශ්වාසය තැබූ මුළු කතාවම බිඳ වැටේ. එය ඔබගේ සිත් තැවුලට සහ
කලකිරීමට හේතු විය හැකිය.
චරිත කතා කියවිය යුත්තේ කෙසේද?
මෙවැනි තත්ත්වයන්ට මුහුණ නොදීම සඳහා අප කළ යුත්තේ
චරිත කතා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කිරීම නොවේ. ඒ වෙනුවට, ඒවා විචාරශීලීව කියවීමයි. චරිත කතාවක් යනු හුදෙක් සත්ය තොරතුරු
සමුදායක් නොව, යම් පුද්ගලයකුගේ ජීවිතය
පිළිබඳව ගොඩනඟන ලද ආඛ්යානයක් බව අප තේරුම් ගත යුතුය.
චරිත කතාවකින් ආදර්ශයක් ගන්නා විට, සමස්ත පුද්ගලයාම නොව, ඔවුන්ගේ
ජීවිතයේ යම් යම් පැති පමණක් ආදර්ශයට ගැනීම වැදගත්ය. උදාහරණයක් ලෙස, මහාචාර්යවරයකුගේ චරිත කතාවකින් අප ආදර්ශයට ගත යුත්තේ, ඔහුගේ නොපසුබට උත්සාහය හෝ දැනුම කෙරෙහි ඔහු දැක්වූ කැපවීමයි. එය
ඔහුගේ සියලු ක්රියා හෝ පෞද්ගලික ජීවිතයම ආදර්ශයට ගැනීමක් නොවේ.
අවසාන වශයෙන්,
චරිත කතා කියවීමෙන් අපට මහත් ආශ්වාදයක් ලැබෙන බව සත්යයකි. නමුත්
අප සිත් තබාගත යුත්තේ, ඒවා
අපට යථාර්ථවාදී නොවන අපේක්ෂා ඇති කළ හැකි බවයි. එබැවින්, ඔබ කියවන කතාවේ සත්යය සොයා බැලීමටත්, මනුෂ්ය ස්වභාවය පිළිබඳව විවෘත මනසකින් යුක්ත වීමටත් පුරුදු වන්න.
චරිත කතාවල අතිශයෝක්ති යොදාගන්නා ආකාරය
1. සාර්ථකත්වයට යන මාවත තනි පුද්ගල
කැපවීමක් ලෙස පෙන්වීම
චරිත කතාවලදී සාර්ථකත්වය බොහෝ විට පෙන්වන්නේ
අදාළ පුද්ගලයාගේ නොසැලෙන කැපවීම සහ දක්ෂතා නිසාම සිදුවූවක් ලෙසයි. නමුත් සැබෑ
ජීවිතයේදී ඕනෑම පුද්ගලයකුගේ සාර්ථකත්වයට පවුල,
මිතුරන්, උපදේශකයන්, සමාජ ආර්ථික පසුබිම සහ දෛවෝපගත අවස්ථා වැනි විවිධ සාධක බලපායි.
උදාහරණය:
ඇපල් සමාගමේ නිර්මාතෘ
ස්ටීව් ජොබ්ස් ගේ චරිත කතාවල, ඔහුව
පෙන්වන්නේ දැක්මක් සහිත, අතිශය
දක්ෂ සහ තනිවම සිය අදහස් යථාර්ථයක් කර ගත් පුද්ගලයකු ලෙසයි. එහෙත්, ඔහුට ස්ටීව් වොස්නියැක් වැනි දක්ෂ සහකරුවකුගේ තාක්ෂණික දායකත්වය
අතිශයින්ම වැදගත් විය. එසේම, ජොබ්ස්ගේ
මුල් කාලීන සාර්ථකත්වයට මූල්යමය වශයෙන් උදව් කළ ආයෝජකයන්ගේ සහ ඔහුගේ සමාජ
සම්බන්ධතා ජාලයේ බලපෑමද අතිමහත්ය. නමුත් බොහෝ කතාවලදී මෙම කරුණු අඩුවෙන් ඉදිරිපත්
කරන අතර, අවධානය යොමු කරන්නේ
ජොබ්ස්ගේ අද්විතීය බුද්ධිය සහ දැක්ම මත පමණි.
2. අසාර්ථකත්වය 'වීරෝදාර' හැරවුම් ලක්ෂ්යයක් ලෙස ඉදිරිපත්
කිරීම
ඕනෑම අයකුගේ ජීවිතයේ අසාර්ථකවීම් තිබේ. නමුත්
චරිත කතාවලදී මෙම අසාර්ථකවීම් යථාර්ථවාදී
ලෙස නොව, "වීරයා" නැවත
ගොඩනැඟීමට උපකාරී වූ "හැරවුම් ලක්ෂ්යයක්" ලෙස ඉදිරිපත් කරයි.
උදාහරණය:
විද්යුත් බල්බය සොයාගත්
තෝමස් එඩිසන් බොහෝ විට හඳුන්වනු ලබන්නේ, බල්බය
නිපදවීමට දහස් වතාවක් අසාර්ථක වූ නමුත් කිසිදා අත් නොහැරිය පුද්ගලයකු ලෙසයි. මෙම
කතාව අතිශය අභිප්රේරණාත්මකය. එහෙත්, ඔහු
අසාර්ථක වූයේ දහස් වතාවක් නොව, අඩු
වාර ගණනක් බවත්, ඔහුගේ පර්යේෂණ වෙනත් විද්යාඥයන්ගේ
සොයාගැනීම් මත පදනම් වූ බවත් සඳහන් වේ. තවද, ඔහුගේ
තරගකාරී ස්වභාවය සහ ඇතැම් විට හවුල්කරුවන් සමඟ ඇති වූ ගැටුම් වැනි අඳුරු පැති බොහෝ
චරිත කතාවලදී යටපත් කරයි. මෙමඟින් පාඨකයාට ලැබෙන්නේ, අසාර්ථකත්වය පවා ජයගන්නා 'පරම
විරුවකුගේ' චිත්රයකි.
3. පෞද්ගලික ජීවිතයේ සංකීර්ණතා
මඟහැර දැමීම
ප්රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය, පවුල් ගැටුම්, මානසික
අභියෝග හෝ මතභේදාත්මක ක්රියා වැනි සංකීර්ණ පැති බොහෝ විට චරිතාපදානවලින් මඟහරිනු ලැබේ. එමගින්, පාඨකයාට එම පුද්ගලයා පිළිබඳව පැහැදිලි, සරල චිත්රයක් ලබා දීමට උත්සාහ කරයි.
උදාහරණය:
මහත්මා ගාන්ධි ගේ චරිත
කතාවල ඔහුව පෙන්වන්නේ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පරම ශුද්ධවූ සහ අහිංසක
චරිතයක් ලෙසයි. එහෙත්, ඔහුගේ
පවුල් ජීවිතය, විශේෂයෙන්ම ඔහුගේ පුතුන්
සමඟ පැවති සංකීර්ණ සම්බන්ධතා සහ ඇතැම් දේශපාලන තීරණ සම්බන්ධයෙන් විවිධ මතභේද පවතී.
මෙම කරුණු බොහෝ විට ප්රධාන ධාරාවේ චරිත කතාවලදී අවම කර ඉදිරිපත් කරන්නේ, ඔහුගේ පරමාදර්ශී ප්රතිරූපයට හානියක් නොවන ලෙසටයි.
මෙම උදාහරණවලින් පැහැදිලි වන්නේ, චරිත කතා යනු සත්ය සිදුවීම් පාදක කරගත් ආශ්වාදජනක කතා මිස, සර්ව සම්පූර්ණ ඉතිහාස සටහන් නොවන බවයි. මෙම කරුණු ලිපියට ඇතුළත්
කිරීමෙන්, පාඨකයාට මාතෘකාව පිළිබඳ
වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය.
Sunday, September 14, 2025
Monday, April 28, 2025
Thursday, November 2, 2023
ඊශ්රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙන්න මේකයි - The cause of eternal hatred between Israeli Jews and Muslims
ඊශ්රායල් යුදෙව්වන් සහ මැදපෙරදිග කලාපයේ මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම සහ වෛරය අද ඊයේ, හදිසියේ ඇති වූවක් නොවේ. එයට ඉතා දීර්ඝ ඉතිහාස කතාවක් තිබේ. එය එකම පවුලක ඉපිද දෙපසට වෙන්ව ගිය දරුවන්ගෙන් ඇති වූ පරම්පරා දෙකක ගැටුමක් හා සමානය. එය අපට කෙටියෙන් මෙසේ විස්තර කළ හැකිය.
මේ කතාව ආරම්භ වන්නේ ආබ්රහම් (ඒබ්රහම්) ගෙනි.
ආබ්රහම් යනු යුදෙව් ආගම, ක්රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ඇතුළු ආබ්රහම් ආගම්වල පොදු හීබෘෘ පූජක පීතෘවරයාය. යුදෙව් ආගමේ, ඔහු යුදෙව්වන් සහ දෙවියන් අතර විශේෂ සම්බන්ධතාවයේ ආරම්භක පියාය. ක්රිස්තියානි ධර්මය තුළ, ඔහු යුදෙව් හෝ යුදෙව් නොවන සියලුම ඇදහිලිවන්තයන්ගේ අධ්යාත්මික පුරෝගාමියාය. ඉස්ලාමය තුළ ඔහු ආදම්ගෙන් ආරම්භ වී මුහම්මද් තුමාගෙන් අවසන් වන ඉස්ලාමීය අනාගතවක්තෘවරුන්ගේ දාමයේ එක් පුරුකකි.
හීබෲ බයිබලයට අනුව ආබ්රහම් උපත ලබන්නේ චල්ඩීස් හි ඌර්වලය. එය වර්තමාන ඉරාකය යැයි බ්රිතාන්ය පෙරදිග ඉන්දීය සමාගමේ හමුදා නිලධාරියකු, දේශපානලඥයකු සහ පෙරදිගවාදියකු වූ හෙන්රි රෝලින්සන් වර්ෂ 1862 දී හඳුනාගනු ලැබිණි. ආබ්රහම් මිය යන්නේ හෙබ්රන් හි ය. එය වර්තමාන බටහිර ඉවුරයි.
ආබ්රහම්ගේ බිරිඳ වන්නේ සාරා ය. ඊශ්රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර ගැටුම ආරම්භ වන්නට හේතුව සාරා බව ඉතිහාස කතා විමසා බැලීමෙන් පැහැදිලි වේ. දෙවියන් වහන්සේ ආබ්රහම්ට පොරොන්දු වන්නේ සාරා ලවා පුතකු ලබා දෙන බවය. නමුත් දෙවියන් වහන්සේගේ සහ ආබ්රහම්ගේ කැමැත්ත ඉටු කරන්නට සාරාට හැකි වන්නේ නැත. එනම් ඇයට දරුවකු පිළිසිඳ ගන්නේ නැත. මේ නිසා ආබ්රහම්ට දරුවකු ලබා ගැනීමේ කැමැත්ත ඉටු කරනු වස් සාරා සිය ඊජිප්තු මෙහෙකාරිය වූ හාගර් සිය කැමැත්තෙන්ම ආබ්රහම්ට ලබා දෙන්නීය. එහි ප්රතිඵලයක් ලෙස හාගර් පුතකුට උපත දෙන අතර ඔහු ඉෂ්මායෙල් නම් විය. කෙසේ නමුත් ඉෂ්මායෙල්ගේ උපතින් වසර කිහිපයකට පසු සාරාට ද පුතකු උපත ලබන අතර ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව උපත ලබන පොරොන්දු වූ දරුවාය. ඔහුට ඊසාක් ලෙස නම් තබනු ලබයි. මෙයින් පසුව ආබ්රහම් සිය සිය බිරිඳගේ මෙහෙකාරිය වූ හාගර් සහ ඉෂ්මායෙල් නිවසින් සහ ප්රදේශයෙන් පිටමං කරයි.
අල් කුරානයේ සඳහන් වන කතාව මෙයට වඩා හාත්පසින්ම වෙනස් බව සැලකිය යුතුය. පොරොන්දු ප්රාකාරව ආබ්රහම්ට ලැබුණු පුත්රයා සැබවින්ම කවුද යන්න පිළිබඳ ගැටුම්කාරී විස්තරයක් ඉදිරිපත් කරයි. හීබෲ ලියවිලිවලට අනුව පැවසෙන්නේ පොරොන්දු පුත්රයා ඊසාක් මිස ඉෂ්මායෙල් නොවන බවය.
කුරානය පවසන්නේ ආබ්රහම් ගිනි පූජාවක් සිදුකරමින් දෙවියන් වහන්සේ කෙරෙහි වූ සිය භක්තිය පෙන්වන්නට බිලි දෙන්නට සැරසෙන්නේ ඊසාක් නොව ඉෂ්මායෙල් බවය. මේ කතාව බයිබලයේ පරණ ගිවිසුමේ උත්පත්ති පොතේ 22 වැනි පරිච්ඡේදයේ එන විස්තරයට වඩා හාත්පසින්ම වෙනස්ය. එම පරිච්ඡේදයේ 3 වැනි පදයේ මෙසේ සඳහන් වේ.
“ ආබ්රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.”
අද අප මේ අත්දකින සියලු ගැටුම්වලට හේතු කාරණාව වන්නේ පොරොන්දු වූ සැබෑ පුත්රයා කවුද යන්න පිළිබඳ ඇති වූ මතභේදකාරී කාරණයයි.
බයිබලයේ අලුත් ගිවිසුමේ ගලාති පොතේ 4 වැනි පරිච්ඡේදයේ 28 සහ 29 වැනි පදවල මෙසේ සඳහන් වේ.
“ 28 ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.
29 නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.”
එයින් පැවසනේනේ ඊසාක් පොරොන්දු දරුවා බවත් ඊෂ්මායෙල්ගේ දරුවන් මොවුන්ට පීඩා කරන බවත්ය.
පැරණි ගිවිසුමේ උත්පත්ති පොතේ 16 වැනි පරිච්ඡේදයේ 11-12 පද මෙසේ පවසයි.
“ 11 ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, ඔබ ගර්භිණීව සිටියි, පුත්රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ ඔබේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් එනම්, දෙවියන්වහන්සේ අසනසේක. යන නාමය තබන්න.
12 ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක.”
බයිබලයේ පැරණි ගිවිසුමේ සෙකරියා පොතේ 12 වැනි පරිච්ඡේදයේ 1 - 4 පද මෙසේ පවසයි.
“1 ඉශ්රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්ය ප්රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
2 බලව, අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යූදාට එසේම වන්නේය.
3 ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.
4 ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් අරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.”
බහුතරයක් වූ මුස්ලිමුන් හෝ පල්ස්තීනුවන් පැවතෙන්නේ ඉෂ්මායෙල්ගේ පරම්පරාවෙනි.
ඔවුන් වන්දනාමාන කරන්නේ සහ අදහන්නේ මුහම්මද්තුමාය. ඔවුන් විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ යනු අනාගතවකතෘවරුන් රැසක් අතරින් එකු අයකු පමණක් බවය. ඔවුහු ජේසුස් වහන්සේ යනු දෙවියන්ගේ පුත්රයා යැයි විශ්වාස කරන්නේ නැත. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ කතාව ද ඔවුන් පිළිගන්නේ නැත.
ඔවුන් ආබ්රහම්, ඊසාක් හෝ ජාකොබ් පිළිගන්නේ ද නැත.
වැඩිදුර කියවීම්
හමාස් ත්රස්තයන් වනසන්නට ඊශ්රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ‘
ඊශ්රායලයේ සහායට පැමිණි නෞකාවන්ට ඉරානය පහර එල්ල කරයිද?
Thursday, August 18, 2022
තන්ත්රයානික ලිංගිකත්වය හෙවත් ලිංගික භාවනාව
අන්තර්ජාලයෙන් පොත් මිල දී ගැනීමට ඇති ලොව ප්රකට වෙබ් අඩවියක් වන්නේ ඇමසන් ය. ඉංග්රීසි බසින් ලියවුණු කෘති කිහිපයක් පිළිබඳ තොරතුරු සොයමින් සිටිය දී අහම්බෙන් මෙන් Tantric Sex සම්බන්ධයෙන් ඇති පොත් ගණනාවක් තිරය මත පතිත විය. Tantric යනු තන්ත්රයානයි. බුදු දහමේ තෙවැදෑරුම් සම්ප්රදායයන් අතරින් එකකි තන්ත්රයානය. එය මහායාන සම්ප්රදාය මත ගොඩනැගුනකි. Tantric Sex හෙවත් ‘තන්ත්රයානික ලිංගිකත්වය’ ද මේ සම්ප්රදාය මත ගොඩනැගුනක් බව පැවසේ. ඇමසන් වෙබ් අඩිවියේ මේ සම්බන්ධයෙන් මෑතකාලයේ දී ලියැවුණු කෘති බොහොමයකි. මේ ඔස්සේ අන්තර්ජාලයේ සෙවීමක් කරනවිට, තන්ත්රයානික ලිංගිකත්වය පිළිබඳ බටහිර ලෝකය තුළ ඇති අදහස් මැනවින් පිළිබිඹු වේ. ලෝකය තුළ අප සිතා සිටියාට වඩා තන්ත්රයානික ලිංගිකත්වය පිළිබඳ ඇත්තේ පුදුමාකාර උනන්දුවකි.
මෙය බුදු හමේ තෙවැදෑරුම් සම්ප්රදායයන් අතරින් එකක් වුව ද, ථේරවාදී බුදු දහම තුළ තන්ත්රවාදය පිළිගැනීමට ලක්වන්නේ නැත. ථේරවාදී බුදු දහම තුළ ලිංගිකත්වය වැනි භෞතික බැඳීම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට බාධාවකි. එය තුළ කිසිම අවස්ථාවක ලිංගිකත්වය උත්කර්ෂයට ලක්කරන්නේ නැත. එබැවින් මෙය එයට කිසිසේත්ම සම්බන්ධයෙක් නොවන්නක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ. කෙසේ නමුත් ලෝකයේ නව ප්රවණතාවක් බවට පත්ව ඇති තන්ත්රයානික ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සොය බලා ඒ පිළිබඳ දැනුම්වත්ව සිටීමේ වරදක් පෙනෙන්නේ නැත.
කලින් සඳහන් කළා සේ තන්ත්රවාදය මහායාන බුදු දහම මත ගොඩනැගුනක් වුව ද, තන්ත්රයානික ලිංගිකත්වය එය තුළ වර්ධනය වී ඇත්තේ පැරණි හිංදු දහම සහ තන්ත්රයානික අදහස් එකට මුසුවීමෙනි. අධ්යාත්මික ජීවිතයකට මග පෙන්වන ආගමික පැත්තට නැඹුරු ඉගැන්වීම්වලින් තරමක් ලිහිල්ව තන්ත්රයානික ලිංගිකත්වය ගොඩනැගී තිබේ.
තන්ත්රයානික ලිංගික ක්රියාකාරම් ඉතා මන්දගාමීය. එය තුළ භාවනාවක ලක්ෂණ පැහැදිලිව ඇතුළත් ය. ලිංගික එක්වීමක අවසන් අරමුණු සුරතාන්තය වුව ද තන්ත්රයානික ලිංගිකත්වයේ අවසන් අරමුණ එය නොවේ. එහිදී සිදුවන්නේ ලිංගික එක්වීම සහ ශරීරයේ සංවේදනයන් වින්දනය කිරීමය. ලිංගික ශක්තිය සිරුර පුරා ගමන් කරවීම තුළින් සුවපත්බව, ශාරීරික පරිණාමනය සහ විමුක්තිය ළඟාකරගැනීම තන්ත්රයානික ලිංගිකත්වයේ අවසන් අරමුණ වේ.
ලිංගික අකර්මණ්යතාව, සුරතාන්තය ලැබීමට නොහැකි වීම, අප්රාණිකත්වය වැනි සියලු ලිංගික ගැටලු තන්ත්රයානික ලිංගිකත්වය තුළින් සමනය කරගැනීමට හැකි බව මෙය අනුගමනය කරන්නෝ විශ්වාස කරති.
තමාගේ ශරීරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමටත්, ඒ තුළින් ශරීරය මනා ලෙස සුසර කරගැනීමටත් තන්ත්රයානික ලිංගිකත්වය ඉවහල් වේ. තමාගේ ශරීරයේ හැකියාවන් සහ නොහැකියාවන් ඇතුළු සෑම දෙයක්ම පිළිබඳ පූර්ණ අවබෝධය ඇති වූ විට ලිංගික එක්වීමක දී සහ ලිංගික සහකරුවා හෝ සහකාරියගේ ශරීරය සමග වඩාත් පූර්ණ ලෙස බද්ධවීමට එය උපකාරී වේ. එය ඔස්සේ පූර්ණ ලිංගික ආශ්වාදයක් සහ තියුණු සුරතාන්තයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ. තමාගේ සිරුරේ ඇති අනුරාගික කලාපයන් හඳුනාගැනීම තුළින් තෘප්තිමත් ලිංගික අත්දැකීමක් හිමිකරගැනීමට එය උපකාරී වේ.
තන්ත්රයානික ලිංගිකත්වය තුළින් සිය ශරීරයට මෙන්ම සිය ලිංගික සහකරුවාගේ හෝ සහකාරියගේ ශරීරයට ගරුකිරීමට ද මග පෙන්වයි. එය තුළින් දෙදෙනාටම හිමිවන්නේ සුවදායී අත්දැකීමකි. සිය සහකාරුවාගේ හෝ සහකාරියගේ සිරුර පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබෙන පරිදි මන්දගාමී සම්බාහන ක්රියාවලියක් තාන්ත්රික ලිංගිකත්වය තුළ උගන්වනු ලබයි. ලිංගික ශක්තිය සිරුර තුළ අවදිකරන්නට එයින් හැකියාවක් ලැබේ. එය ඔස්සේ සිය සහකරුගේ හෝ සහකාරියගේ අවශ්යතා සහ ආශාවන් සමග පූර්ණ ලෙස බද්ධවන්නට අවස්ථාව උදා කරයි.
තන්ත්රයානික ලිංගිකත්වය තුළින් ලබන විමුක්තිය එකවර සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා තන්ත්රයානික ලිංගිකත්වය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගත යුතුය. මේ මොහොතේ තමා කරන්නේ කුමක් වුවත්, එය සිහියෙන් කිරීමේ හැකියාව වර්ධනය කරගත යුතු ය. පාලනයෙන් යුක්තව සිදුකෙරෙන ස්වසන ක්රියාවලිය මෙහි වැදගත් අංගයකි. ලිංගිකව එක්වන දෙදෙනාගේ ස්වසන ක්රියාවලිය එක හා සමාන ආකාරයකින් සිදුවිය යුතුය. කෙටියෙන් පවසතොත් එය භාවනාවකි. මානසික සහ ශාරීරික සම්බන්ධතාව එකිනෙක පූර්ණ ලෙස සුසර කිරීමකි. මෙහි අවසානය වන්නේ ලිංගිකත්වය තුළින් ලබන පෙර නොවූ විරූ ආකාරයේ මානසික විමුක්තියකි.
Tuesday, October 26, 2021
දරුවන් වෙනුවෙන් විස්මකර්ම ශල්යකර්ම කළ විස්මිත දොස්තර – බෙන් කාර්සන්
බෙන් කාර්සන් යනු ශල්යකර්ම ක්ෂේත්රය තුළ පෙරළිකාරයෙකි. ඉතා කලාතුරකින් සිදුකෙරෙන මොළයෙන් අඩක් ඉවත්කිරීමේ ශල්යකර්මය (hemispherectomy) සඳහා පුරෝගාමී වූයේ ද කාර්සන් ය. නමින් සඳහන් කරන්නා සේම මොළයෙන් අඩක් සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැතිව සිටි දරුවන්ට ඔහු ජීවත්වීම සඳහා දෙවැනි වරමක් උදා කොට දුන්නේ ය.
එවැනි ජයග්රහණයන් ළඟා කරගැනීම බෙන් කාර්සන්ට අරුමයක් වූයේ නැත. ඔහු බාධක පෙරළන්නට පටන් ගත්තේ සිය ළමාවියේ සිටම ය.
තෙවැනි ශ්රේණියට පමණක් උගත් මවකගේ රැකවරණය මැද නගරයක දිළින්දෙක් ලෙස හැදී වැඩුණු බෙන් ට මගපෙන්වා දිරිදෙන්නට කිසිවෙක් සිටියේ නැත. පාසලේ දී ඔහු ලැබුවේ අඩු ලකුණු ය. අධික ලෙස කෝපගැන්වෙන ස්වභාවයකින් පීඩා විඳි ඔහු ඒ නිසාම නීතියෙන් දඬුවම් විඳීමේ අවදානමක් ද තිබිණි. ඔහු වටා වූ සියලු දෙනා පැවසූයේ කුමක් වුව ද, සිය ජීවිතයෙන් මෙහෙයක් කළ හැකි බව සිය පුතුට අවබෝධ කොට දෙන්නට සොන්යා කාර්සන් ට හැකි විය.
දෙවියන් කෙරෙහි තැබූ භක්තියත්, ස්වකීය හැකියාවන් කෙරෙහි තැබූ විශ්වාසයත් නිසා බෙන් පන්තියේ පහළම ස්ථානයේ සිට ඉහළම ස්ථානය කරා ගමන් කළේය. ඉන් ඔබ්බට ගමන් කරමින් යේල් විශ්වවිද්යාලයට ශිෂ්යත්වයක් හිමි කරගත්තේ ය. මිචිගන් වෛද්ය විද්යාලයට ද ඔහු ඇතුළු වූයේ ය. අවසානයේ තිස්තුන් හැවිරිදි වියේ දී ඔහු මේරිලන්ඩ් ප්රාන්තයේ බැල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් වෛද්යාතනයට අයත් ළමා ස්නායුරෝග අංශයේ අධ්යක්ෂවරයා බවට ද පත් වූයේ ය. අද වන විට වෛද්ය කාර්සන් ගරු ආචාර්ය පදවි හතළිහකටත් වඩා හිමිකර ගෙන සිටී. ගෞරවයන් සහ සම්මාන වැළකම ඔහු හිමිකරුවා ය.
‘විස්මිත දොස්තර’ තූලින් ඔබ කියවන්නේ අනේක වූ බාධකවලට එරෙහිව ගොස් ඒවා ජයගනිමින්, අවදානම ගැනීමට බියක් නොහැඟෙන සිතිවිලි ගොන්නකින් සන්නද්ධ එක්තරා මිනිසකුගේ සාර්ථකත්වය පසුපස ඇති අපූර්ව වූ කතාව ය. ජීවිතය ආලෝකවත් කරවන මේ චරිත කතාව, ලොව පුරා පුවත් මැවූ ඇදහිය නොහැකි ශල්යකර්ම සියැසින් නොව මනැසින් අත්දකිනු හැකි පරිදි ඔබ ව ශල්යාගාරයට කැඳවාගෙන යයි. දයාවෙන් පිරුණු, දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් ඇති, සරණක් නැත්තන්ට සරණක් වන්නට ජීවිතය කැප කළ මිනිසකුගේ සිතිවිලි තුළට ඔබ කැඳවාගෙන යයි. නිහතමානීබව, ක්ෂණික බුද්ධිය සහ යථාර්ථය කැටි වූ මේ කතාව ඔබේ හදවතේ සදා නිදන්ගත වනු නිසැක ය.
Friday, October 16, 2020
සුදු ඔසරිය සහ අනුලා බුලත්සිංහල ගැන මගේ මතකය - My Nostalgic Memory of Sudu Osariya and Anula Bulathsinhala

මම ගියේ ඇහැලියගොඩ මධ්ය මහා විද්යාලයට. ඒ ඉස්කෝලේට ආවේ ඇහැලියගොඩ කණිෂ්ට විද්යාලයේ ඉඳන් 6 පංතියට. ඒ 1984 අවුරුද්ද. අපිත් එක්ක 6 පංතියට ආපු යාළුවෙක් හිටියා ශාන්ත කියලා. ශාන්තට ටිකක් සිංදු කියන්න පුළුවන්. දවසක් ශාන්ත ‘සුදු ඔසරිය ඇඳලා’ කියලා සිංදුවක් කිව්වා. ඒ සිංදුවේ වචනවලට වඩා මගේ හිත ගියේ තනුවට. වචනවල තේරුම් හොයන්න තරම් ඕන කමක් ඒ දවස්වල තිබුණේ නෑ. එදා ඉඳන් මේ සිංදුවට මම ආසා කළා. ඒත් ඒ කාලේ අද වගේ කැමති සිංදුවක් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඞ් කරගෙන අසන්නට තරම් පහසුකමක් තිබුණේ නැහැ. මේ සිංදුව ඉඳහිටලා හරි ඇසුණේ ගුවන් විදුලියෙන් විතරයි. ශාන්තට සමහර විෂයයන්වල අමාරු කරුණු ආවාහම මගෙන් අහනවා. මම ඒවා කියලා දෙන්නේ ‘සුදු ඔසරිය’ සිංදුව කිව්වොත් තමයි. ඉතින් මේ විදියට ශාන්තගෙන් නිතරම මේ සිංදුව අහගත්තා. ඒත් මේක ගයන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ.
කාලය ගෙවිලා ගියා. මම දැන් ඇහැලියගොඩ නෙවෙයි ඉන්නෙත්. ශාන්ත ගැන තොරතුරක් දන්නෙත් නැහැ. කොහොම වුනත් අන්තර්ජාලය ඇවිත් කැමති සිංදු ඩවුන්ලෝඞ් කරගන්න පුළුවන් කාලයක් ආවාට පස්සේ මම මේ සිංදුව අන්තර්ජාලයෙන් අරගත්තා. එතකොට තමයි දැනගත්තේ මේ ගීතය ගයන්නේ අනුලා බුලත්සිංහල මහත්මිය බව. මම මේ ගිතය මගේ ජංගම දුරකතනයට දාගත්තා. නිතරම ඇහුවා. රස වින්දා. වචනවල තේරුමත් රස වින්දා.
අනුලා බුලත්සිංහල මහත්මිය මිය ගිහින් වග අද මාධ්යවල තිබුණා.
ඇය ගැන විස්තර කියන්න අවශ්ය නැහැ. රටම දන්නවා.
මම කැමතිම සිංදුවක් කියපු ඇය මෙලොව හැර ගිහින්.
මේ සටහන ඇයට උපහාරයක් පිණිසයි.
ඇයට නිවන් සුව ලැබේවා!
මෙතනින් ගීතය රසවිඳින්න
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...
රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බිඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....
රන් මිණි අබරණ හෝ පටසළු - නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...
Friday, September 11, 2020
ප්රේමයට සමුදීමේ අපූරුව
නිතර ගීත රස විඳින මට නොයෙක් විදියේ ගීත හමුවෙනවා. මේවා ගැන විචාරයක් නොවුනත් මට ඒවා ගැන හිතෙන විදිය ගැන ලියන්න හිතුණු අවස්ථා බොහොමයි. එහෙම ඉන්න අතරේ තමයි මට මෙන්න මේ ගීතය අහන්න ලැබුණේ.
පි - සමුගන්නට
අවසරයි
ගැ - අවසරයි
අවසරයි
පි- මගේ හිත
මට දෙන්නකෝ
ගැ - ඔබෙ හිත
අරගන්න අවසරයි...//
පි - තව ලඳකට
මේ හිත පුද දෙන්න -
ගැ - අවසරයි
පි - අත් හැර
ඔබෙ අත් ඇගෙ අතගන්න අවසරයි -
ගැ - අවසරයි
පි - තුන්
හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි -
ගැ - අවසරයි
පි - ලස්සන
යුග දිවි පෙවෙතක යන්න
ගැ - අවසරයි
අවසරයි අවසරයි
පි - සමුගන්නට
අවසරයි
ගැ - අවසරයි
අවසරයි
පි- මගේ හිත
මට දෙන්නකෝ
ගැ - ඔබෙ හිත
අරගන්න අවසරයි
පි - පෙම් ලොව
විසිතුරු ඇය හා විඳින්න -
ගැ - අවසරයි
පි - රන් සමනල
ලෝකයකට යන්න අවසරයි -
ගැ - අවසරයි
ගැ- ඒ ලොව හිඳ
මා හිත රිදවන්න අවසරයි
ගැ - මග
වැරදුණු දා මා වෙත එන්න අවසරයි
පි - සමුගන්නට
අවසරයි
ගැ - අවසරයි
අවසරයි
පි- මගේ හිත
මට දෙන්නකෝ
ගැ - ඔබෙ හිත
අරගන්න අවසරයි...//
මග වැරදුණු දා
මා වෙත එන්න අවසරයි
කියා ඇය
අන්තිමට කියන්නේ ඒ කතාව. ඇගේ හිත රිදවන්න අවසර දෙන ගමන් ජීවිතේ වැරදිලා ආපහු තමාව
හොයාගෙන එන්න ඕන නම් එයටත් අවසර දෙන්න ඇය තුළ ඇති කැමැත්ත ගැන දැනගන්න පෙම්වතා
ගොළු වෙනවා. ඔහුට ඒ ගැන කිසිවක් කියා ගන්න බැරි වෙනවා. සංගීතඥයකු විදියට වික්ටර්
රත්නායකයන් පෙම්වතාගේ ගොළුවත කදිම තනුවක් ඔස්සේ අපට හඟවනවා.
කිත්සිරි
නිමල් ශාන්ත ලියා, රෝහණ වීරසිංහගේ
සංගීතයට නන්දා මාලිනිය ගියන ආදරයේ වේදනාව හිතට දැනුණු යම් දවසක හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා ගීතයේ පෙම්වතියත් මේ කතාවම කියනවා.
මේ ගීතයෙන්
පස්සේ තවත් ගීතයක් මට ඇහුණා. ඒ කුලරත්න ආරියවංශ ලියා, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සනත් නන්දසිරි
ගායකයාණන් ගයන මෙන්න මේ ගීතය.
අනවසරයෙන්
වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ
සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද
කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන්
වෙන්ව යනු මැනවී
ඉන්ද්රචාපය
ලෙසින් ආකාසේ
පෙනී නොපෙනී
සැඟව යනු මැනවී ...//
විරාමය දී
සෙනෙහසට සිත සෙල් කුළක් කරමීන්
සමු දෙමිද
කෙලෙසින්
සමුගමිද
කෙලෙසින්
අනවසරයෙන්
වෙන්ව යනු මැනවී
චන්ද්රිකාවිය
විලස රෑ යාමේ
දැනී නොදැනී
මැකී යනු මැනවී ..//
කඩා නටුවෙන්
මලක් සුළඟට මුදාලන අයුරින්
සමු දෙමිද
සිතකින්
සමුගමිද
කෙලෙසින්
අනවසරයෙන්
වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ
සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද
කෙලෙසින්
සමුගමිද
කෙලෙසින්
අනවසරයෙන්
වෙන්ව යනු මැනවී
ඒ ගීතයේ
තියෙන්නෙත් ප්රේමයට සමුදීමක්. හැබැයි එතැනදි සමුගන්නේ පෙම්වතිය බව පේනවා. කලින්
ගීතයේ පෙම්වතියගේ අවසරයෙන් (කැමැත්තෙන් නෙවෙයි) සමුගන්න පෙම්වතකේ ගැනයි කියවුණේ.
නමුත් මේ ගීතයේ පෙම්වතාගේ කිසිම අවසරයක් නැතිව සමුගත්ත පෙම්වතියක් ගැනයි කියවෙන්නේ.
පෙම්වතියට කැමති නම් වෙන්ව යන්න කියලා ඔහු අවසර දෙනවා. ඒත් එකපාරටම සමුදෙන්න එපා
කියලා ඔහු ආයාචනා කරනවා. හිත හදාගන්න ඔහුට කාලය ඕනෑ කියලා කියනවා. කොහොම වුනත්
කවදාවත් අතහැරලා යන්නේ නෑ කියලා පොරොන්දු වුණු කෙනෙක්ට මෙහෙම සමුගන්න පුළුවන්ද කියලා පෙම්වතා අහනවා.
ප්රේමයට
සමුදුන් අත්දැකීම් ඇති සරච්චන්ද්රයන්ගේ මළ ගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා
නවකතා දෙකත් මේ වෙලාවේ මතකයට එනවා.
ඉතින් මේක තමා
ප්රේමයට සමුදීමේ අපූරුව.










