පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 27, 2015

අලුත් ලෝකයට අලුත් ගැජට් 3 කොටස - New Gadgets for New World Part 3

කැමති විදිහට ආලෝකය පාලනය කළ හැකි විදුලි පහනක් 






විදුලි පහන් කොයි තරම් තිබුණත් අපට කැමති විදිහට ඒවායේ ආලෝකය පාලනය කරන්නට හැකියාවක් නැහැ. වොට් 20 බල්බ් එකක් දැම්මොත් එහි ආලෝකය වෙනස් කරන්නට බැහැ. ඩිමර් උපාංගයකින් පාලනය කළ හැක්කේ ද සාමාන්‍ය විදුලි බල්බ හෙවත් තාපදීප්ත ඒවා පමණයි. සී.එෆ්.එල්. වර්ගයේ විදුලි බල්බ ඩිමර් සමඟ ක්‍රියාත්මක වන්නේ නැහැ. වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින එල්.ඊ.ඩී. බල්බ ද ඩිමර් සමග හොඳින් ක්‍රියා කරන්නේ නැහැ. මේ ගැන සිතූ මැතියස් පින්කර්ට් නමැති පර්යේෂකයා නව සොයා ගැනීමක් සිදු කොට තිබෙනවා. ඔහු  සිය පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කළ විදුලි පහනේ නම වන්නේ රීමාවිදුලි පහනයි. එහි කුඩා වළලු 4ක් තිබෙනවා. මේ වළලු 4 අතර ඇති දුර එහා මෙහා කිරීමෙන් විදුලි ආලෝකය වෙනස් කළ හැකියි. ඒ වගේම මෙය විශේෂ ප්‍රොසෙසරයක් හෙවත් ඉලෙක්ට්‍රොනික සකසනයක් ද සවි කොට ඇති බැවින් එහි තාපය, විදුලි ආලෝකයේ තීව්‍රතාවය, විදුලි ආලෝක කිරණයේ කෝණය සහ පැහැය ද වෙනස් කළ හැකියි.



මුද්‍රණ යන්ත්‍රයක් සහිත මොනිටරයක්




 

පරිගණකයක් තිබෙන පුද්ගලයකුට තමා සකස් කරන ලිපියක හෝ අන්තර්ජාලයේ යම් විස්තරයක් මුද්‍රිත පිටපතක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා පරිගණකවලට සම්බන්ධ කළ මුද්‍රණ යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒවා සඳහා විශාල ඉඩක් අවශ්‍ය නැති වුණත් පරිගණකය තබාගන්නට ඇති මේසයේ ප්‍රමාණයට ගැළපෙන අයුරින් ඇතැම් අවස්ථාවලදී එවැනි මුද්‍රණ යන්ත්‍රයක් තබාගන්නට ඉඩක් නැති වෙන්නත් පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් ලෙස අලුත් ආකාරයේ මොනිටරයක් නිර්මාණය කරන්නට බයොන්ග් මින්ග් චී නමැත්තා සමත් වී තිබෙනවා. එහි මොනිටරයේ යටින් මුද්‍රණ යන්ත්‍රයක් ද තිබෙනවා. මොනිටරයේ පසුපසින් කඩදාසි දැමිය හැකියි.



අලුත් විදිහේ එලාර්ම් එකක් 




උදේ පාන්දර අවදි වෙන එක තරම් එපා වෙන දෙයක් නැති වුණත් අවදි නොවීත් බැහැ. බොහෝ දෙනෙක් තමන්ගේ ජංගම දුරකතනයේ එලාර්ම් එකක් තබා ගන්නවා. ඇතැම් අය මේ සඳහා වෙනම එලාර්ම් යන්ත්‍ර භාවිත කරනවා. මේ කුමක් භාවිත කළත් බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි නින්දෙන්ම එලාර්ම් එක ක්‍රියා විරහිත කොට අනෙක් පැත්ත හැරී නිදා ගන්න එක. එයින් සිදුවන්නේ තමන් සැළසුම් කළ පරිදි අවදිවන්නට බාධා ඇතිවීමයි. මෙය විසඳුමක් ලෙස අපූරු ආකාරයේ එලාර්ම් එකක් නිර්මාණය කොට තිබෙනවා. මෙය හඳුන්වා ඇත්තේ අයි.කිව්. එලාර්ම් ක්ලොක්’ (iQ Alarm clock) නමින්. මෙය සාමාන්‍ය එලාර්ම් උපකරණයක් සේ පහසුවෙන් ක්‍රියා විරහිත කරන්නට බැහැ. මෙහි එලාර්ම් එක ක්‍රියා විරහිත කරන්නට නම් ඔබගේ බුද්ධිඵලය මැන බලන සරල ගැටලුවකට පිළිතුරු සැපයිය යුතුමයි. ඒ සඳහා සිත යොමු කළ පසු ඔබට නැවත නිදාගන්නට අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඉන් පසු ඔබේ නිදිබර ගතිය පහව යන නිසයි. මේ ගැටලුව සරල එකක් ද සංකීර්ණ එකක් ද යන්න ඔබටම තෝරා සකස් කර ගත හැකියි.





ඔබේ නිවසට නවීන දෙර අගුළක් 





ඔබගේ ඇඟිළි සලකුණ හඳුනා දොර අගුල් දැමීමට හෝ විවෘත කිරීමට හැකි අයුරින් මෙය නිර්මාණය කොට තිබෙනවා. පෙනුම සාමාන්‍ය දොර අගුළක් හා සමානයි. අවශ්‍ය නම් සාමාන්‍ය පරිදි යතුරක් භාවිත කරන්නටත් පුළුවන්. මෙම දෙර විවෘත කිරීම සඳහා කිහිප දෙනෙකුගේම ඇඟිලි සළකුණු හදුන්වා දීමේ හැකියාව ද තිබෙනවා. මෙය නිෂපාදනය කොට ඇති කේවෝ සමාගමෙන් නිර්මාණය කොට ඇති ස්මාර්ට් දුරකතන සඳහා වූ මෘදුකාංගය මෙම අගුළ සම්බන්ධව කතා කළ හැකි තවත් විශේෂාංගයක්. මෙම අගුලට සම්බන්ධ කොට ඇති දුරකතන උපාංගය නිසා දෙැර විවෘත කිරීම් සහ වසා දැමීම් පිළිබඳව නිවෙස් හිමියාගේ ජංගම දුරකතනයට නිවේදනයන් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා. 





ස්වයංක්‍රීය එල්.ඊ.ඩී. බල්බයක්




එල්.ඊ.ඩී. විදුලි බල්බ කියන්නේ වර්තමානයේ ඉතා ජනප්‍රිය විදුලි උපාංගයක්. මෙය ද එවැනි බල්බයක් වුණත් මෙහි ක්‍රියාකාරීත්වය ඒවාට වඩාත් වෙනස්. මෙහි චලන සංවේදකයන් පවතින නිසා කාමරයට යමෙක් ඇතුළුවන විටම බල්බය ඉබේම දැල්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙහි ආලෝක සංවේදකයක් ද පවතිනවා. කාමරයේ ඒ් වන විට පවතින ආලෝක ස්වභාවය හඳුනාගෙන එයට ගැළපෙන පරිදි ආලෝකය ලබා දෙන්නටත් මෙයට පුළුවන්. එවිට ඉතා දීප්තිමත් සුදු වර්ණයේ සිට මෘදු සුදු වර්ණය දක්වා ආලෝකය වෙනස් වෙනවා. එපමණක් ද නෙවෙයි සීත කාලගුණ තත්වයකදී යම් උණුස්ම් තත්වයක් ඇති කරන්නට ද මෙයට හැකියාව තිබෙනවා. 


පෙර ලිපිය


Saturday, December 26, 2015

ඔබාමා ඇමරිකාව විනාශ කරයි! - Obama will destroy USA!


එළැඹෙන්නට නියමිත 2016 වසර අප බොහෝ දෙනෙක් සිතනවාට වඩා වෙනස් වසරකි. ඔබට මිනිත්තු කිහිපයක් මිඩංගු කොට බැලුවහොත්  1 - 9 දක්වා ඇති මූලික සංඛ්‍යාවලින් 5 හැරුණු විට අනෙක් සියලුම සංඛ්‍යාවලින් 2016 බෙදෙන බව පෙනෙනු ඇත. 4 න් ද බෙදෛන නිසා එය අධික අවුරුද්දක් ද වන්නේය. මේ අනුව ගණිතමය වශයෙන් ද විශේෂත්වයක් ඇති 2016 දේශපාලනමය වශයෙන් ගතහොත් කෙසේවත් සුබදායී වන්නේ නැත. එසේ පවසන්නට බොහෝ දෙනෙකු නොදන්නා හේතු දෙකක් තිබේ. පහත දැක්වෙන්නේ ඒවාය. 

1. මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමණය කරති
සිරියාව තුළින් දැවැන්ත මුස්ලිම් යුද්ධයක් පැන නැගේ. මුස්ලිමුන් විසින් යුරෝපය ආක්‍රමණය කරන්නට ඇති ඉඩ කඩ වැඩි අතර යුරෝපයේ අවසානය එළැඹේ. යුරෝපය විනාශවීමේ ක්‍රියාවලිය වසර ගණනාවක් පවතිනු ඇත. සමස්ථ මහාද්වීපයම නටබුන් වී මිනිසුන්ගෙන් තොර කලාපයක් බවට පත්වනු ඇත. 


2. බැරක් ඔබාමා ඇමෙරිකාව විනාශ කරයි
44 වැනි එක්සත් ජනපද ජනපතිවරයා වන බැරක් ඔබාමා විසින් ඇමෙරිකාව විනාශ කරනු ඇත. ඔහු ධුරයෙන් නික්ම යන්නේ ඇමරිකාව මහත් ආර්ථික අර්බුදයක ගිලා තබමිනි. බොහෝ දෙනෙක් ඔහු පිළිබඳ බලාපොරොත්තු ඇතිකරගෙන සිටියත් ඔහුගෙන් සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. වර්ෂ 1861 සහ 1865 යන කාලය අතුරතුරේ ඇමරිකාව තුළ පැවති සිවිල් යුද සමයට සමාන කාලයක් ඇමරිකාවට උදාවනවා ඇත. 


එළැඹෙන 2016 වසර මෙම සිදුවීම දෙක නිසාම  එය අප සිතන තරම් සුබදායක වන්නේ නැත. නමුත් පැවසිය යුතු එක් කරුණක් තිබේ. එය සුබදායක නොවන්නේ මේ පැවසූ කරුණු එසේම සිදුවන්නේ නම් පමණි. හේතුව මේවා හුදෙක් අනාවැකි පමණක් නිසාය. මෙසේ අනාවැකි පළකොට ඇත්තේ එවැනි දේ ලෝකය හමුවේ තැබූ සුප්‍රකට නොස්ට්‍රඩෑමුස් නම් නොවේ. මැය කාන්තාවකි. බල්ගේරියානු ජාතික ඇය නමින් ‛බාබා වැන්ගා’ය. ඇය ‛බල්ගේරියාවේ නොස්ට්‍රඩෑමුස්’ නමින් ද ප්‍රසිද්ධය. 




1911 ජනවාරි 31 වැනිදා ඉපිද 1996 අගෝස්තු 11 වැනිදා මිය ගිය බාබා වැන්ගාගේ උපන් නම වූයේ වැන්ගේලියා පැන්ඩේවා දිමිත්‍රෝවාය. විවාහයෙන් පසු ඇගේ නම වැන්ගේලියා ගුෂ්තෙරෝවා බවට පත් විය. ඇය බල්ගේරියාවේ පමණක් නොව ලොව පුරාම ප්‍රකටව ඇත්තේ අනාගතය දැකිය හැකි බලයකින් යුක්ත දිවැසිවරියක් ලෙසිනි. ඇය සතුව මිනිස් බුද්ධියට ගෝචර නොවූ හැකියාවක් ඇති බව ලෝකයේ බොහෝ දෙනෙකු තුළ පිළිගැනීමක්  තිබේ. උපතේදී සාමාන්‍ය දැරියකව සිටිය ද  මුහුණ පෑ දරුණු අනතුරක ප්‍රතිඵලයක් ලෙස ඇය අන්ධ විය. ඇය දරුණු කුණාටුවකට හසුව ගසාගෙන ගිය බව වාර්තාවන නමුත් එය සිදුවූයේ යැයි පැවසෙන වකවානුවේ එවැනි දරුණු කුණාටුවක් සිදුවූ බවට කාලගුණ විද්‍යා වාර්තාවන් තහවුරු කරන්නේ නැත. බාබා වැන්ගාගේ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ මට්ටමකය. ඇය විසින් එකදු පොතක් හෝ රචනා කොට නැති අතර ඇය ලොව පිළිබඳ දක්වා ඇති අනාවැකි ලෝකයට ඉදිරිපත් කරන්නේ ඇයගේ වැඩකටයුතු වෙනුවෙන් සිටින සේවකයන් විසිනි. 


2004 වසරේදී ඇතිවු සුනාමිය පිළිබඳව ඇය අනාවැකියක් පළකොට තිබිණි. ‛මිනිසුන්ගෙන් සහ නගරවලින් වැසුණු විශාල නගර යෝධ රැල්ලකින්  සේදී යයි’ යනුවෙන් ඇය සිය අනාවැකියේ පළ කොට තිබිණි. එමෙන්ම 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පැවති ගොඩනැගිලි යුගලයේ විනාශය ඇය අනාවැකි පළකොට තිබුණේ, ‛භීතිය! භිතිය! යකඩ කුරුල්ලන්ගේ ප්‍රහාරයෙන් ඇමෙරිකාව ඇදවැටෙනු ඇත. පඳුරුවල සිට වෘකයන් හඬ දෙනු ඇත. රුධිරය ගළා යනු ඇත.’ යනුවෙනි. එපමණක් නොව ලෝකයේ උණුසම වැඩි වී ධ්‍රුව ප්‍රදේශවල පවතින අයිස් තට්ටු දියවීගොස් පෘථිවි ජලමට්ටම ඉහළ නගින බව ද ඇය සිය එක් අනාවැකියක සඳහන් කොට තිබුණේ ‛සියල්ල අයිස් මෙන් දියව යනු ඇත. සීතල උණුසුම බවට පත්වන අතර යමහල් අවදිවනු ඇත’ යනුවෙනි. 1980 වසරේදී රුසියානු සබ්මැරීනයක් වූ ‛කර්ස්ක්’ මුහුදේ ගිළී ගොස් මහත් අනතුරක් සිදු විය. ඇය ඒ පිළිබඳව සිදුකොට තිබූ අනාවැකියේ සඳහන් ව තිබුණේ ‛කර්ස්ක් ජලයෙන් වටවනු ඇත. ලෝකය වැළපෙනු ඇත’ යනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ 44 වැන්නා අප්‍රිකානු ජාතිකයකු බවත් ඔහු එහි අවසන් ජනපති බවත් අය එක් අනාවැකියකින් ඉදිරිපත් කොට තිබුණි. 


බාබා වැන්ගා සතුව අසාමාන්‍ය බලයක් ඇත්දැයි සොයා බැලීම සඳහා පර්යේෂණ කිහිපයක්ම සිදු කොට තිබේ. ඉන් එකක් සිදු කොට ඇත්තේ බල්ගේරියානු රජයේ අනුග්‍රහයෙනි. මේ සියලු පර්යේෂණවල නිගමනය වූයේ බාබා වැන්ගා විසින් ඉදිරිපත් කරන ලද අනාවැකිවලින් 80%ක් පමණ නිවැරදි මට්ටමක පවතින බවය. 




බාබා වැන්ගාගේ අනාවැකි නිවැරදි වීමේ සම්භාවිතාවය පිළිබඳ සළකා බැලවහොත්  2016 වසර වෙනුවෙන් ඉදිරිපත්කොට ඇති අනාවැකි දෙකම සුබදායක ඒවා වන්නේ නැත. මුස්ලිමුන්ගේ යුද්ධය පිළිබඳ පෙරනිමිති නම් මේ වන විටම පහළ වී තිබේ. සිරියාව ආශ්‍රිතව ඔවුන් යුද්ධයක් අරඹා ඇති අතර ම්ලෙච්ඡ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය යුරෝපයට තර්ජනයක් වෙමින් පවතී. ඔවුහු ප්‍රංශයට ප්‍රහාරයක් එල්ල කරමින් යුරෝපය තුළ ප්‍රහාර එල්ලකිරීමට තමන්ට හැකි බව පෙන්වූයේය. ඇයගේ අනාවැකියට අනුව මුස්ලිමුන්ගේ යුරෝප සංග්‍රාමය අවසන් වනු ඇත්තේ 2043 වසරේ ඔවුන් සිය අගනගරය බවට රෝමය බවට පත්කරගැනීමෙනි. බාබා වැන්ගාගේ මෙම අනාවැකි නිසා මුස්ලිම් අන්තවාදීහු අමුතු ජවයක් ලැබූ බව ඇතැමෙක් පවසති. 


2016 වසරෙන් ඔබ්බෙහි වූ කාලය සඳහා ද ඇය අනාවැකි ඉදිරිපත්කොට තිබේ. මේවා අනුව 2018 වසරේදී් ලෝක බලවතා බවට චීනය පත්වන අතර ඇමරිකා එක්සත් ජනපදය ආර්ථික වශයෙන් දනින් වැටෙනු ඇත. ඔබාමා විසින් ඇමරිකාව ආර්ථික වශයෙන් විනාශ කිරීමේ අනාවැකිය සහ මෙය එකිනෙක හොඳින් පෑහේ. 2018 වසරේදී මිනිසුන් සිකුරු ග්‍රහයා ගවේෂණය කිරීමෙන් නව බලශක්ති ප්‍රභවයක් සොයා ගනී. 2023 වසරේදී පෘථිවියේ කක්ෂය වෙනස් වේ. 


කෙසේ නමුත් බාබා වැන්ගාගේ අනාවැකි වැරදි වූ අවස්ථාවන්ද තිබේ. කෙසේ නමුත් නැවත මතක් තබා ගත යුත්තේ ඇගේ අනාවැකි නිවැරදි වීමේ හැකියාව 80%ක් බවය. අප දෑස් ඉදිරිපිටම සත්‍ය වූ හා සත්‍යවෙමින් පවතින අනාවැකි ද බොහොමයකි. මේ අනුව බලන කල එලැඹෙන වසර එතරම් සුබදායක නොවනු ඇත. නමුත් අපට කළ හැක්කේ සිදුවන්නේ කුමක්දැයි කාලයට ඉඩදී බලා සීටීම පමණි.

Monday, December 21, 2015

සිංහල ජන සාහිත්‍යයේ අපූරු කවියක්


අපේ ජන කවි සාහිත්‍යය කියන්නේ හරිම අපූරු දෙයක්. ඇතැම් විට ලෝකයේ වෙනත් සාහිත්‍යවල නැති විශේෂ අංග මෙහි තිබෙනවා. එවැනි දෙයකට එක් උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් අපූරු විදිහේ ජන කවියක් මට හොයාගන්න ලැබුණා. මෙහි රචකයා කවුදැයි දන්නේ නැහැ. නමුත් කවිය හරිම අපූරුයි. 

මේ කවියෙන් කියැවෙන සරල අර්ථය මෙන්න මෙහෙමයි. 

නන්දා කියන තරුණියක් ගැන එක් තරුණයෙක් ආදරයක් ඇති කරගන්නවා. ඒ තරුණයා ඇගේ ලස්සන දකිනවා. ඇයව විවාහ කරගන්නට ඔහු සිහින මවනවා. ඒ සිහිනයත් එක්ක ඔහු කවියක් ලියනවා. ඒ කවිය තමයි මේ. 

කුන්දා සරපතිසේ දිලි දළ                         දසනීය 
රන්දා හසපැටිසේ දිලි යුග                       දෙතනීය 
නන්දා සුරලියසේ දිලි මෙම                     තරුණීය 
කැන්දා ගෙනයනසේ යලි මට                   සිතුනීය 

මේ කවියේ විශේෂත්වය මොකක්ද කියලා දැන් සිතෙන්න පුළුවන්. 

මේ කවිය පටන් ගත්තේ ‛කුන්දා සරපතිසේ’ කියලයි. අපට මේ කවිය තව විදිහකට කියන්න පුළුවන්. ඒ මෙන්න මේ විදිහට 

සරපතිසේ දිලි දළ දසනීය                 කුන්දා 
හසපැටිසේ දිලි යුග   දෙතනීය           රන්දා 
සුරලියසේ දිලි මෙම  තරුණීය          නන්දා 
ගෙනයනසේ යලි මට    සිතුනීය       කැන්දා 

දෙවැනි ආකාරය පටන් ගන්නේ ‛සරපතිසේ දිලි දල දසනීය’ කියලයි. හැබැයි මේක ගායනා කරන්න පුළුවන් ආකාරය මෙතැනින් නවතින්නේ නැහැ. මෙන්න මේ විදිහටත් මෙය කියන්න පුළුවන්. 

දිලි  දළ   දසනීය    කුන්දා             සරපතිසේ 
දිලි  යුග   දෙතනීය  රන්දා           හසපැටිසේ 
දිලි  මෙම  තරුණීය  නන්දා          සුරලියසේ 
යලි  මට   සිතුනීය   කැන්දා      ගෙනයනසේ 

දැන් අපි එකම කවිය තුන් ආකාරයකට ගායනා කරන ආකාරය දැක්කා. තුන්වැනි ආකාරයේදී කවිය පටන් ගන්නේ ‛දිලි දසනීය කුන්දා’ යනුවෙන්. හැබැයි මෙය ගායනා කිරීම ආරම්භ කරන ආකාරය එතැනින් නතර වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහටත් මේ කවිය ආරම්භ කරන්න පුළුවන්. 

දළ   දසනීය    කුන්දා     සරපතිසේ           දිලී 
යුග   දෙතනීය  රන්දා    හසපැටිසේ          දිලී 
මෙම  තරුණීය  නන්දා    සුරලියසේ         දිලී 
මට   සිතුනීය   කැන්දා  ගෙනයනසේ       යලී 

දැන් බලන්න එකම කවිය හතර ආකාරයකින් ආරම්භ කරලා, එළිවැටට හානියක් නොවී අලංකාර ලෙස ගායනා කරන්න පුළුවන්. අපේ ජනකවියා කොයි තරම් නිර්මාණශීලී ද කියන එක ගැන ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ කවිය. 

(මේ කවිය ගැන වැඩි විස්තර හෝ මෙවැනි කවි ගැන හෝ  දන්නා කෙනෙක් සිටී නම් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා)

Sunday, December 20, 2015

අලුත් ලෝකයට අලුත් ගැජට් 2 කොටස - New Gadgets for New World Part 2

හිරු එළියෙන් සිංදු අහමු




සංගීතය ලෝකය තුළ සෝනි ආයතනයට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. එයට හේතුව ඔවුන් සංගීතය සඳහා නව තාක්ෂණය එකතු කරන්න නිතරම අත්හදාබැලීම් කරන නිසයි. ඔවුන් මේ විදිහට අත්හදා බැලීම් සිදුකරන අතරතුරේ අලුත් නිෂ්පාදනයක් කළා. ඒ තමයි හිරු එළියෙන් ක්‍රියාත්මක කරන් සංගීත වාදකයක් නිර්මාණය කිරීම. මේ සඳහා සංකල්පය ඉදිරිපත් කොට තිබෙන්නේ හොවෑන්ග් එම් ගුයෙන්. ඒ නිසා එය නම් කොට තිබෙන්නේ ආන් ගුයෙන් සංගීත වාදකයකියන නමින්. මෙය එල්ලා තැබිය හැකි සේ සකස් කොට තිබෙන අතර එහි පිටුපස සූර්ය කෝෂ සවිකොට තිබෙනවා. එහි ඇති බැටරිය ආරෝපණය කරගන්නට මේ සූර්ය කෝෂවලින් ලැබෙන බලය ප්‍රමාණවත්. ඔවුන් පවසන්නේ ජංගම දුරකතනවල මෙන් බැටරි බලය අඩු බවට නිකුත් කරන පණිවිඩ මෙයින් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවයි.


විද්‍යුත් ගිනි උඳුනක් 




මේ උපකණය නම් ඇත්තටම අපේ වගේ රටවල භාවිතවීම අඩුයි. එසේ වෙනවා නම් නුවරඑළිය වැනි සීත දේශගුණයක් ඇති පළාත්වල පමණයි. නමුත් ලෝකයේ බොහෝ රටවල පැහැදිලි සීත කාලයක් පවතින නිසා ඒ රටවල මෙය ජනප්‍රිය වෙමින් පවතිනවා. නිවසේ සාලයේ උණුසුම ඇති කිරීම සඳහා ඉදිකොට ඇති දර උඳුන් ඔබ බටහිර සිනමා පටවල දැක ඇති. පසු කාලයේ මේවා වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උණුසුම්කිරීමේ උපකරණ නිෂ්පාදනය වුණා. මේ උපරණය තමයි එම පරම්පරාවේ අලුත්ම සාමාජිකයා. මෙය නිෂ්පාදනය කොට තිබෙන්නේ මෑතකදී සොයා ගත් විශේෂ සෙරමික් මැට්ටකින්. උපකරණය ක්‍රියාත්මක කිරීමට පෙර මෙය දිස්වන්නේ සෙරමික් මැට්ටකින් අවාරණය වී ඇති ආකාරයෙන් වුණත් එය ක්‍රියාත්මක කළ සැනින් සෙරමික් මැට්ට නොපෙනී ගොස් ගිනි දළු පෙනෙන්නනට පටන් ගන්නවා. ඒ සමඟම අවට උණුසුම් වෙන්නත් පටන් ගන්නවා. මෙය අක්‍රිය කළ විට කෙමෙන් සිසිල් වෙද්දී එය යළිත් සෙරමික් මැටි පෙනුමට පත් වෙනවා. 


පරිසර හිතකාමී පිරිසිදුකරනය 





මුළුතැන්ගෙයි ඇති පිඟන්, දීසි, කෝප්ප ආදිය පිරිසිදු කරන්නට අප පුරුදු වෙලා ඉන්නේ ඩිටර්ජන්ට්නමින් හඳුන්වනු ලබන විවිධ සේදුම් ද්‍රව්‍ය මගින්. නමුත් මේ නව පිරිසිදුකරනය මගින් මේ ක්‍රියාව කරන්නේ වෙනත් ආකාරයකින්. මෙය මගින් ශබ්දයේ වේගය ඉක්මවා යන තරංග හෙවත් අතිශ්වනික තරංගනිකුත් කරනවා. එවිට භාජන මත ඉතිරිව ඇති සියලු අපද්‍රව්‍ය කොටස් නැවත භාවිත කළ හැකි කොම්පෝස්ට් ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒවා ගස්වලට පොහොරක් ලෙස යොදන්න පුළුවන්. මේ නිසා ඉවත දමන ආහාර කොටස් සෑහෙන දුරට අඩුකරගන්නත් පුළුවන්. ගස්වලට නිරායාසයෙන්ම පොහොරකුත් ලැබෙනවා. අනාගත ලෝකයේ පස සාරවත් කරන්නට මෙය ඉමහත් උපකාරයක්  ද වේවි.  අනෙක ඔබේ කුඩා ගෙවත්තේ විවිධ පැළෑටිවලට පහසුවෙන් පොහොර සකස් කරගන්නටත් හැකියාව ලැබේවි. 


උණුසුම රකින කෝප්පයක් 




වැඩක් කරමින් සිටින විට තේ කෝප්පය ගෙනැත් මේසය උඩින් තිබ්බත් සමහර වෙලාවට බොන්න මතක් වෙන්නේ ටිකක් වෙලා ගිහින්. තේ වත්කරලා විනාඩි කිහිපයක් ගියාට පස්සේ උණුසුම ගතිය නැතිවෙනවා. ඊට පස්සේ බොන්න වෙන්නේ කූල් තේඑකක්. නමුත් තේ එකක් බොනවා නම් දුම් දාන තරම් උණුසුමට බොන කොට තමයි ප්‍රාණවත් බවක් දැනෙන්නේ. මේ නිසා තේ හෝ වෙනත් උණුසුම් පානයක් වත් කරලා බොහෝ වෙලාවක් ගියත් උණුසුම අඩු නොවෙන කෝප්පයක් හදන්න රුවන් චෙන්ග්සුකියන නිර්මාණ ශිල්පියා සමත් වෙලා තියෙනවා. මෙමගින් යම් කිසි උණුසුම් පානයක් ඒ තත්වයෙන්ම බොහෝ වේලාවක් තබාගන්නට පුළුවන්. මෙහිදී පානයේ ඇති උණුසුම් බව මෙම කෝප්පයට අවශෝෂණය කොට ගෙන එයින් නිපදවෙන විද්‍යුතයෙන් කෝප්පයේ උණුසුම වැඩි වේලාවක් රඳවා ගන්නට හැකියාවක් ලබාගන්න බව තමයි පැවසෙන්නේ. 


කැමති හැටියට බිත්තියේ වෙනස් කරමු 




ගෙදරක බිත්තියකට අපි කැමති පාටක් ගානවා. ටික දවසක් ගිහින් අලුත් පුටු කට්ටලයක් ගෙනාවාම හිතෙනවා, “අයියෝ මේ පුටු සෙට් එකේ පාටට බිත්තිය ගැළපෙන්නේ නැහැ නේකියලා. වෙන වෙන හේතු නිසාත් මේ බිත්තිවල පාට ගැන යම් යම් ගැටළු ඇතිවෙන්න පුළුවන්. නමුත් ඇඳුමක් අඳිනවා වගේ පහුසවෙන් බිත්තිවල පාට වෙනස් කරගන්න බැහැ. ඒ නිසා කැමති හැටියට බිත්තියක පාට වෙනස් කරන්න දැන් අලුත් තාක්ෂණයක් ඇවිත් තිබෙනවා. මෙහි පාට වෙනස් කරන්නට ඇත්තේ එල්.ඊ.ඩී. හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණයක් නම් නොවෙයි. මෙහි ඇත්තේ අපට නොපෙනන ආකාරයෙන් සකස් කළ විවිධ වර්ණ ගැන්වූ ත්‍රිකෝණයි. දැනට ඇත්තේ කලු, සුදු සහ දේදුනු වර්ණයෙන් පමණයි. අපට කලු බිත්තියක් අවශ්‍ය නම් මෙහිදී සිදුවන්නේ ත්‍රිකෝණයේ කලු පැහැති පැති සියල්ල මතුපිටට හැරවීමයි. එවිට බිත්තිය කලු පැහැයෙන් දිස්වෙනවා. අනෙක් වර්ණ ලබාගන්නේත් ඒ ආකාරයෙන්. ඉදිරියේදී මෙයට තවත් වැඩි වර්ණ සංඛ්‍යාවක් සහ හැඩතල, රූ සටහන් ද ඇතුළත් කරන්නට අපේක්ෂා කරන බව පැවසෙනවා.


පෙර ලිපිය







Friday, December 18, 2015

කොටකෙතන ඝාතන රැල්ළ සහ පොලීසියේ අලියාට ඇස තැබීමේ භූමිකාව


අප රටේ මිනිස් ඝාතන සිදුවීම් අතර ඉමහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන මිනිස් ඝාතන සිදුවීම සමාප්තියකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙන්නේ අවසානයේ මෙයට අදාළ යැයි බොහෝ සාධක තුළින් තහවුරු වී ඇති පුද්ගලයා පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසාය. කොටකෙතන ඕපාතවත්තේ පදිංචිව සිටි නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන අතුරුගොඩ පදිංචි ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති සැකකාර තිදරු පියා සම්බන්ධව සිදුකළ පරීක්ෂණවලින් ඔහු මෙයට පෙර කරන ලද ඝාතන කිහිපයකට සම්බන්ධ බව අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.


කොටකෙතන ප්‍රදේශයේ මුළින්ම කාන්තාවක් ඝාතනය වන්නේ 2008 වසරේ ජූලි 31 වැනිදාය. ඒ ඕපාතවත්තේ පදිංචි සෙල්ලයියා මරියා නමැති 56 හැවිරිදි කාන්තාවය. ඉන් පසු මෑතකදීම සිදුවූ නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය දක්වා ඝාතන සිදුවීම් 9ක් වාර්තා වේ. මෙසේ ඝාතනයට ලක් වූ සියලු දෙනා කාන්තාවන් වීම මෙහි ඇති සුවිශේෂී ස්වභාවයයි. මෙම ඝාතන සිදුවීම් දාම මිනිමැරුමක් (Serial Killing/Chain Killing) ලෙස සිදුවන බවට බොහෝ අදහස් නැගුණ ද පොලීසිය ඒ පිළිබඳ එතරම් සැළකිල්ලකට ලක්කළ බවක් පෙනෙන්නට නැත. අප රටේ මෙයට පෙර ද මෙවැනි දාම මිනීමරුම් අසන්නට ලැබිණි. ඉන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ සිදුවීමක් වන්නේ සංචාරක වෙළෙන්දකු ලෙස නිවෙස්වලට ගොඩවැදුණු එක් පුද්ගලයකු විසින් එම නිවෙසවල තනිව සිටි කාන්තාවන් ඝාතනය කිරීමය. මෙම සිදුවීමෙන් අනතුරුව සංචාරක වෙළෙඳුන් නිවෙස්වලට වද්දාගැනීම ද බොහෝ දුරට ඇණහිටි බව දක්නට හැකි විය.


මෙවැනි සිදුවීම් පිළිබඳ අපරාධ මනෝ විද්‍යාත්මකව හෝ අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයන් කොට ඒවා සම්බන්ධ දේශීය න්‍යායන් සහ ඒවා හඳුනාගැනීම සඳහා දේශීය ක්‍රමවේද ගොඩනගන්නට අප රටේ මෙම ක්ෂේත්‍රයේ සිටින විශේෂඥයන් උත්සාහ දරා නොමැති බව පෙනේ. අප රටේ අපරාධ මනෝ විද්‍යාව හෝ අපරාධ විධිය ගැඹුරින් හදරන ලද විශේෂඥයන් සිටින මුත් ඔඔවුන් සියලු දෙනා සතුව ඇත්තේ ඇමරිකාවේ හෝ යුරෝපයේ රටවල මිනිසුන් මෙවැනි මිනිස් ඝාතන සිදුකිරීම පිළිබඳව සොයා ගත් දැනුමය. ඔවුන් අප රටේ මෙම විෂයයන් ඉගෙනුම ලබන සිසුනට ලබාදනේනේ ද එම දැනුමය. එම දැනුම අප රටේ අපරාධ නිවැරදිව අනාවරණය කරගැනීමට ප්‍රමාණවත් ලෙස යොදාගැනීමට නොහැකි වන්නේ මෙම න්‍යායන් ගොඩ නගා ඇති රටවල සහ අපේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් හාත්පසින්ම වෙනස්වීම නිසාය.


අප යළි කොටකෙතන සිදුවීම දෙසට අවධානය යොමු කළ හොත් එය දාම මිනීමරුමක් ලෙස මේ වන විට හොඳින්ම පැහැදිලි වී තිබේ. නාදන් පාපු නමැත්තියගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන් ලැබුණු සාධක හා කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ ඝාතනවලදී හමුවූ සාධක සැසඳීමේදී ඝාතන සිදුවීම් 6කට මෙම පුද්ගලයා සම්බන්ධ බව පැහැදිලිවම තහවුරු වී තිබේ. එබැවින් මෙය දාම මිනිස් ඝාතනයක් බව පොලීසිය දැන් පවසයි.


දාම මිනිස් ඝාතන යන්න අර්ථදක්වා  ඇති ආකාරය සරලව මෙසේය.


දාම මිනිස් ඝාතනයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඝාතන තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක් පුද්ගයකු විසින් සිදුකරනු ලැබීමය. මේ සඳහා අසාමාන්‍ය මනෝභාවයන් හේතු විය හැකිය. මෙවැනි මිනිස් ඝාතකයන් සාමාන්‍යයෙන් එක් ඝාතනයක් සිදුකිරීමෙන් අනතුරුව පෙර සිදුවීම පිළිබඳ සමාජයේ ඇතිවු කතා බහ අඩුවන තුරු පැහැදිලි නිහඬතාවයක් පෙන්නුම් කරයි. මෙය සන්සුන්වීමේ කාලපරිච්ඡේදයයනුවෙන් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී ඝාතන දෙකක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් එක් පුද්ගලයක විසින් සිදුකරනු ලැබීම ද දාම ඝාතන ලෙස නිර්වචනය වූ අවස්ථා තිබේ. මෙවැනි ඝාතන බොහෝ විට සිදුකරනු ලබන්නේ සාමුහිකව නොව තනි පුද්ගලයකු විසිනි. නමුත් සාමූහිකව දාම ඝාතන සිදුකෙරුණු අවස්ථා නොමැති බව එයින් පැවසෙන්නේ නැත. මෙවැනි ඝාතන සිදුකිරීම සඳහා යම් පුද්ගලයකුට අරමුණු බොහෝ තිබිය හැකිය. කෝපය, සතුට, ආර්ථික ප්‍රතිලාභ හා් සමාජ අවධානය ලබාගැනීම වැනි කරුණු මෙයට මුල් විය හැකිය. එමෙන්ම මෙම දාම ඝාතනවල දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගොදුරුවන්නන් තුළ පවත්නා සමානත්වයයි. එනම් මෙහිදී ඝාතනය වන්නේ එකම වයස් කාණ්ඩයකය, එකම ලිංගිකත්වයකට, එකම ජනවර්ගයකට, එකම වෘත්තියකට සම්බන්ධ අය ආදී වශයෙනි.


කොටකෙතන සිදුවීමේදී පැහැදිලිවම දැකිය හැකි ස්වභාවය වන්නේ මැදිවයස ඉක්මවූ වැඩිහිටි කාන්තාවන් ඝාතනය වීමය. මෙය වෙනස් වන්නේ එක් අවස්ථාවක මවක සහ ඇගේ දියණිය ඝාතනය වීමේ සිදුවීමේදී පමණි. දාම මිනිස් ඝාතන පිළිබඳ නිර්චවනය මෙයට සමාන ආකාරයෙන් අපරාධ මනෝ විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ සඳහන් කොට තිබුණ ද අපේ පොලිස් දෙපාර්තමේන්තුව එය එසේ යැයි හඳුනාගත් බවක් පෙනේනට තිබුණේ නැත. ඝාතන සිදුවීමක් පිළිබඳ කෙරෙන පොලිස් පරීක්ෂණවලදී මළ සිරුරේ සහ ස්ථානීය සාධක රැස්කරනු ලබයි. එහිදී ඝාතකයා එක්වර හඳුනාගත නොහැකි වුවත් මෙවැනි ඝාතන කිහිපයක් සිදුවන විට ඝාතකයාගේ ස්වභාවය හඳුනාගැනීමට බලධාරීන්ට හැකියාව ලැබේ. ඔවුන් අපරාධකරුව ලුහුබැඳයන්නේ එම හෝඩුවාවන් ඔස්සේය. මේ සඳහා වර්තමානයේ නම් නවීන තාක්ෂණයේ පිහිට ද ඉවහල් කරගත හැකිය.


කොටකෙතන ඝාතන සිදුවීම ඝාතන රැල්ලක්ලෙස මාධ්‍ය විසින් පවා හඳුන්වා තිබුණි. කෙසේ වෙතත්  ඝාතකයාගේ ඩීඑන්ඒ වාර්තා ලැබෙන තුරු පොලිස් දෙපාර්තමේන්තුව සිදුකොට තිබුණේ අවුරුදු උත්සවයක අලියාට ඇස තබන්නකුගේ භූමිකාව පමණක් බැව් පැහැදිලිය. අලියාට ඇස තැබීමේදී අහම්බෙන් වාසනාවට නිවැරදි මාර්ගයේ ගමන් කළ හොත් අලියාගේ ඇස හෝ ඇසට ආසන්නයෙන් හුණුකූරෙන් සළකුණු කළ හැකිය. කෙසේ නමුත් අවාසනාවකට ගමන් කරන මාර්ගය වැරදී ගියහොත් සිදුවන්නේ අලියාගේ පශ්චාත් භාගයේ හුණුකූරෙන් සළකුණු කිරීමටය. පොලිස් දෙපාර්තමේන්තුව අලියාගේ පශ්චාත් භාගයේ හුණු කූරෙන් සළකුණු කළ අවස්ථාවක් ද මෑකතදී සිදුවිය. ඒ කොටදෙනියාව පොලීසිය මඟින් සඳසේයා දැරියගේ ඝාතන සිදුවීමේදීය. කොටදෙනියාව පොලීසිය මෙහිදී ජනතාව අතර අප්‍රසාදයට පමණක් නොව අවඥාවට ද ලක් විය. සමාජජාල වෙබ් අඩවිවල කොටදෙනියාව පොලීසිය අවඥාවට ලක්කොට තිබූ අයුරු එහි පොලිස් නිලධාරීන් දුටුවේ නම් ඔවුන් සේවයෙන් අස්වී යනු නිසැකය. (ඒවා දකින්නට නැති බව සිතේ. හේතුව එවැනි හේතුවක් නිසා පොලිස් නිලධාරියකු සේවය හැර ගිය බවට පුවත් අසන්නට නොලැබුණු බැවිනි.)


මේ ආකාරයට පොලීසිය අන්ධයන් මෙන් කටයුතු කිරීමේ අනිටුපල විඳින්නට සිදුවන්නේ අහිංසකයන්ටය. මෙහිදී කිසිදු පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිව අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිසීයේ වදහිංසාවලට ලක්වන අතර සමාජය ඉදිරියේදී ගැරහුම් ද ලබයි. මෙම නිවැරදිකරුවන්ට අහිමිවන ආත්ම ගෞරවය නැවත උපයාගන්නට ඔවුනට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එහිදී ඔවුන්ගේ ජීවිත සහමුළින්ම විනාශවී යා හැකිය. ඇතැමුන් සමාජයට මුහුණ දී ගත නොහැකිව සියදිවි පවා නසා ගත හැකිය. කොටදෙනියාවේ පාසල් දරුවා අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු ෆේස්බුක් සමාජජාලය ඔස්සේ සඳසේයා දැරිය පිළිබඳ යම් විස්තරයක් පළකොට තිබීමත්, ඔහුගේ පරිගණකයේ අසැබි වීඩියෝ දර්ශන තිබීමත් යන කරුණු නිසාය. ඇතැම් හින්දි සිනමාපටවල පොලීසියේ අඥානබව පෙන්වා හාස්‍ය දර්ශනයක් නිර්මාණයකිරීම සඳහා මෙවැනි සිදුවීම් ඇතුළත්කොට තිබෙනු දැකිය හැකිය. කොටකෙතන ඝාතන රැල්ලේ එක් සිදුවීමක් වන පුතකු විසින් මවක මරාදැමීමේ සිදුවීම ද මේ වන විට නාදන් පාපු කාන්තාවගේ ඝාතකයා වෙතට බැරවෙමින් පවතින බැව් දැනගන්නට ලැබී තිබේ. අදාළ ඝාතනයට අත්අඩංගුවට පත් පුත්‍රයා වරද පිළිගෙන ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද බලපෑම්වලින් නිදහස්වීමට යැයි පැවසේ. කෙසේ නමුත් එය එසේම යැයි තවමත් තහවුරු නැත. මේවායෙන් පැහැදිලි වන්නේ පොලීසියේ ඇති අදක්ෂභාවය මිස අන් කිසිවක් නොවේ.


පොලිසිය මෙවැනි ඉරණමකට ඇදවැටී ඇත්තේ ඔවුන්ගේ බුද්ධි අංශයේ ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙනි. කාලයත් සමඟ වැළලී ගිය ඇතැම් අපරාධ සිදුවීම ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂ නිලධාරීන්ගේ කැපවීම මත අනාවරණය කරගත් සිදුවීම් කලකට පෙර අසන්නට ලැබුණත් වර්තමානයේ අසන්නට ලැබෙන්නේ දක්ෂකම් නොව ඇණගැනීම්ය. මෙම අදක්ෂභාවයන් වසා ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් විසින් මාධ්‍ය ඔස්සේ පවසන ඇතැම් කරුණුවලින් ඒවා තව තවත් තහවුරු වන බව ද පෙනේ. යතුරුපැදිකරුවකුගේ පපු ප්‍රදේශයට කළ වෙඩි තැබීමක් පිළිබඳ එක් අවස්ථාවක මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ යතුරුපැදිකරුවා පොලිසි නිලධාරීන් යටකොට පළායාමේදී පිටුපසින් සිට කරන ලද වෙඩිතැබීමක් ලෙසය. පිටුපසින් තැබූ වෙඩි පහර පපුවට වැදුනේ කෙසේදැයි මාධ්‍යකරුවන් විසින් අසද්දී මාධ්‍ය ප්‍රකාශක අන්දුන්කුන්දුන් විය.


සැබවින්ම පොලිසීයට මෙවැනි ඉරණමක් අත්වන්නට හේතුව ඔවුන් අප රටට ගැළපෙන ආකාරයට අපරාධ මනෝ විද්‍යාව සහ අපරාධ විද්‍යාව හැඩගස්වා නොගැනීමය. කලකට පෙර සිටි ඇතැම් පොලිස් පරීක්ෂකවරුන් තමාගේ ක්‍රමවේද ඔස්සේ අපරාධකරුවන් ලුහුබැඳගොස් අල්ලා ගත්ත ද පසුකාලයේ බටහිර රටවලින් අපරාධ විද්‍යාව පිළිබඳ හදාරා පැමිණි ඇතැම් උගතුන් එම රටවලට ගැළපෙන අච්චුවඅප රටට ඒ අයුරින්ම ආදේශ කරන්නට යාමෙන් පොලිසියට මම තත්වය අත්වී තිබෙන බැව් පෙනේ. තවත් කරුණක් ලෙස පොලීසිය දේශපාලනයට යටවීමය.


පොලීසිය පිළිබඳ මෑතකදී අසන්නට ලැබුණු තවත් අපවාදයක් වූයේ එහි සිටින්නේ අටවත් සමත් නැති පිරිසක්බවය. උපාධිධාරීන් විසින් සිදුකරනු ලබන උද්ඝෝෂණවලට පොලිසි නිලධාරීන් පැමිණ බැටන් පොලු පහර එල්ල කරද්දී උපාධාධාරීන් විසින් කරන ලද ප්‍රකාශ මෙයට හේතුවන්නට විය හැකිය. සැබවින්ම මෙම අට සමත් නොමැතිකරුණ අදාළවන්නේ කොස්තාපල්වරුන්ට පමණක් වුව ද එය පොලිස්පති දක්වාම ආදේශ වූ බව නම් පසුගිය සමයේ දකින්නට ලැබිණි. කෙසේ නමුත් අපරාධ කාර්යක්ෂම ලෙස අනාවරණය කරගැනීමේ නොහැකියාවට හේතුව අට සමත්  නොවීමේ කරුණක් නිසා නොවේ. අපරාධ විද්‍යාව පිළිබඳ අප රටට ගැළපෙන ක්‍රමවේදයක් සොයා නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූවකි. අප අසල්වැසි ඉන්දියවේ පොලීසිය  පිළිබඳව ද ප්‍රසාදයකින් කතා බහ කළ නොහැකි වුව ද ඔවුන් තමාට ගැළපෙන පරිදි අපරාධ විද්‍යාව පිළිබඳ බටහිර දැනුම හැඩගස්වාගෙන තිබේ. අප රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් බටහිරයන්ට වඩා සමීප වන්නේ ඉන්දියානුවන්ටය. එය පැහැදිලි කිරීමට විශේෂ කරුණු ගෙනහැර දැක්විය යුතු නොවේ. එබැවින් ඔවුන්ගේ මොඩලයක්ගෙන එය අපට ගැළපෙන ආකාරයට තවත් හැඩගස්වා ගන්නට උත්සාහ කරන්නේ නම් අනාගතයේ අපරාධ සිදුවීම් වඩාත් පහසුවෙන් විසඳාගත හැකිවනු ඇත. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ අහිංසකයන් නිරපරාදේ අපරාදකරුවන් ලෙස හංවඩු ගැසී ඔවුන්ගේ ජීවිත විනාශවී යාමත් පොලිසීය හින්දි සිනමාපටවල මෙන් සමාජය ඉදිරියේ විහිළු සපයන්නන් බවට පත්වීමත් පමණකි.