පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 1, 2015

චීන රටේ දෙපා නොමැති ‘බාස්කට් බෝල්‘ කෙල්ල - Basket Ball Girl in China


මේ ඉන්නේ කියාන් හොන්ග්යෑන්ග්. චීනයේ ජීවත්වන 18 හැවිරිදි තරුණියක්. ඇයත් ඔබ වගේම සාමාන්‍ය කෙනෙක් වගේ පෙනේවි. ඒත් ඇයගේ ජීවිතයේ අප බොහෝ දෙනෙක් නොදන්නා දුක්බර කතාවක් තියෙනවා. 

2000 වසරේදී සිදුවුණු දරුණු හදිසි අනතුරක් නිසා ඇයට ඇගේ පාද දෙකම අහිමි වුණා. එතකොට ඇයට යන්තම් අවුරුදු හතරක් විතරයි. ගිනිකොණ දිග චීනයේ ලුලියෑන්ග් කියන දුප්පත් ගමේ තමයි ඇය අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණේ. ආබාධිත වුණු ඇය වෙනුවෙන් වැඩි යමක් කරන්න මේ දුප්පත් අම්මටයි තාත්තටයි වත්කමක් තිබුණේ නැහැ. 



ඇයට ඇවිද ගන්න දෙපා තිබුණේ නැහැ. ඒත් ඇය ඒ ගැන මැසිවිලි නඟන්නටවත්, අඬන්න දොඩන්නවත් හිතුවේ නැහැ. තමන්ගේ ආබාධය ජයගන්න ඇය හිතට දිරිය ගත්තා. පැසිපන්දුවක් මැදින් දෙකට කපාගෙන තමන්ගේ සිරුරේ යටින් සවි කරගෙන ඇය ‛ඇවිදින්න’ පුරුදු වුණා. ඒත් ඇවිදින්න වුණේ දෑත්වලින්. ඒ නිසාම ඇය දෑත්වලට ලීවලින් හදාපු ‛සෙරෙප්පු’ දාගත්තා. ඇය පැසිපන්දු (බාස්කට් බෝල්) ක්‍රීඩා නොකළත් ගමේ අය ඇයව ‛බාස්ක්ට්බෝල් කෙල්ල’ කියන නමින් හඳුන්වන්න පටන් ගත්තා. නමුත් ඇය එය අවමානයකට හෝ ලජ්ජාවට කාරණයක් විදිහට කල්පනා කළේ නැහැ. 

ඇය පාසල් ගියා. ඇගේ තනියට ඩෙස්කුව යට අර පැසිපන්දුව හිටියා. මේ විදිහට ඇය පැසිපන්දු සෑහෙන ගණනක පිහිටෙන් ඇවිද්දා. 




චීන පත්තර, රූපවාහිනි සහ රේඩියෝ කියන විවිධ මාධ්‍ය වැඩි දවසක් යන්න කලින් මේ හිත හයිය කෙල්ලගේ ජීවිතේ දැක්කා. දැකලා නොදැක්කා සේ හිටියේ නැහැ. ඔවුන් ඇගේ මේ ‛බාස්කට්බෝල් ජීවිතය’ ගැන තමන්ගේ මාධ්‍යවලින් හඬක් නැඟුවා. එහි ප්‍රතිඵලයක් විදිහයට ඇයට 2007 වසරේදී චීන පුනරුත්ථාපන පර්යේෂණ ආයතනයෙන් කැඳවීමක් ලැබුණා. මේ ආයතනය චීනයේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වසර විස්සකටත් වඩා වැඩි කාලයක් තිස්සේ සේවය සලසනවා. ඇය එම ආයතනට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට කෘත්‍රිම පාද යුවලක් හම්බු වුණා. මුළින්ම ඇගේ සිරුරේ ප්‍රමාණයට සරිලන පාද යුවලක් ඇයට හිමි වුණත් වයසින් සහ සිරුරින් වැඩෙත්ම ඇයට වඩා ලොකු පාද යුවලක් ලැබුණා. 




ඇයට මේ පාද යුවල ලැබුණේ එක්වරම නෙවෙයි. ඒ වෙනුවෙන් ඇයට සෑහෙන කාලයක් මේ පර්යේෂණ ආයතනයේ රැඳෙන්නට සිදුවුණා. ඒ නිසාම ඇයට තමන්ගේ යහළු යෙහෙළියන් සමඟ පාසල් යන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඇය පාසල් අධ්‍යාපනය ගැන මැවූ සිහින අතහැරලා වෙනත් මාර්ගයක් තෝරාගන්නට තීරණය කළා. 

ඇය ආබාධිතයන් සඳහාම වෙන්වූ ප්‍රාදේශීය පිහිණුම් සමාජයක් හා එක් වුණා. චීනයේ එසේ බිහිවුණු පිහිණුම් සමාජවලින් මුල්වැන්න තමයි ඒ. 




මුළින්ම ඇයට ජලය එක්ක සෑහෙන අරගලයක් කරන්න වුණේ. හිතුව තරම් පහසුවෙන් ජලය ඇයට හීලෑ වුණේ නැහැ. 

පිහිනන එක ඉගෙන ගන්න අනෙක් අයට වැඩි කාලයක් මට වැය කරන්න සිද්ද වුණා. මට ජලය මත පාවෙන්න කිසිම ආධාරකයක් තිබුණේ නැහැ. මම කී වතාවක් නම් ගිළෙන්න ඇත්ද? වතුර පෙවෙන්න ඇත්ද?” 

ඇය වරෙක චීන මාධ්‍යයකට එසේ පවසා තිබුණා. 

නමුත් ඇය දිනකට පැය හතර බැගින් පුහුණු වුණා. ඇයගේ එකම සිහිනය වන්නේ ආබාධිතයන් වෙනුවෙන් පවත්වනු ලබන පැරාලිම්පික් තරගයට සහභාගී වී තම රට වෙනුවෙන් පදක්කමක් දිනාගෙන පැමිණීමයි. 

2013 වසරේදී ඇයට වඩාත් විශාල ප්‍රමාණයේ කෘත්‍රිම පාද යුවලක් හිමි වුණා. ඒ වන විට ඇය දහඅට හැවිරිදි තරුණියක්. 



කියාන් හොන්ග්යෑන්ග්, එසේත් නැත්නම් ‛බාස්කට්බෝල් කෙල්ල’ කියන්නේ දැන් චීනයේ සුප්‍රකට චරිතයක්. ඇයට කෘත්‍රිම දෙපා ලැබීමත්, ඒවා ඇයට හොඳින් ගැළපීමත් චීනයේ ජාතික ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඇගේ කතාව සමාජ ජාල වෙබ් අඩවි හරහා වේගයෙන් පැතිරී ගියා. ලෝකයේ බොහෝ දෙනා ඇගේ කතාව ඇහුවා. බැලුවා. ඒ හැමෝගෙම නෙතට කඳුළක් ඉනුවා. 

ඇයගේ සාර්ථකත්වය චීනයේ ආබාධිතයන්ට වාසනාව රැගෙන ආවා. 




කලකට පෙර අපේ රටේ ආබාධිතයන් දිහා මිනිස්සු බැලුවේ අවමානයෙන් වගේ. ඔවුන් සිතුවේ මොවුන් යාචකයන් කියලයි. නමුත් දැන් මේ වගේ ආබාධිතයන් දිහා බලන ආකල්ප වෙනස් වෙලා. ආබාධිතයක් තමන්ගේ ජීවිතය ජයගන්න කොයි තරම් අරගලයක් කරනවද කියලා බොහෝ දෙනෙකුට වැටහිලා. මේක හොඳ ආරම්භයක්.” 

බීබීසී ප්‍රවෘත්තිය සේවය සඳහා මේ අදහස පළ කළේ අගේ පුහුණුකරු ලී කේ-කියෑන්ග්. 



අහිමි දේ ගැන බොහේ සෙයින් දුක්වෙමින් ජීවිතය ගැන කලකිරී සිය දිවි නසාගන්නන්නට ඇය මහත් ආදර්ශයක්. ඇයගේ ආදර්ශය අපගේ ජීවිතවලට එක්කරගනිමින් ඇයගේ ඔලිම්පික් සිහිනය ද සැබෑ වේවා කියා පතමු. 

2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න