පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 18, 2015

කොටකෙතන ඝාතන රැල්ළ සහ පොලීසියේ අලියාට ඇස තැබීමේ භූමිකාව


අප රටේ මිනිස් ඝාතන සිදුවීම් අතර ඉමහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන මිනිස් ඝාතන සිදුවීම සමාප්තියකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙන්නේ අවසානයේ මෙයට අදාළ යැයි බොහෝ සාධක තුළින් තහවුරු වී ඇති පුද්ගලයා පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසාය. කොටකෙතන ඕපාතවත්තේ පදිංචිව සිටි නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන අතුරුගොඩ පදිංචි ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති සැකකාර තිදරු පියා සම්බන්ධව සිදුකළ පරීක්ෂණවලින් ඔහු මෙයට පෙර කරන ලද ඝාතන කිහිපයකට සම්බන්ධ බව අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.


කොටකෙතන ප්‍රදේශයේ මුළින්ම කාන්තාවක් ඝාතනය වන්නේ 2008 වසරේ ජූලි 31 වැනිදාය. ඒ ඕපාතවත්තේ පදිංචි සෙල්ලයියා මරියා නමැති 56 හැවිරිදි කාන්තාවය. ඉන් පසු මෑතකදීම සිදුවූ නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය දක්වා ඝාතන සිදුවීම් 9ක් වාර්තා වේ. මෙසේ ඝාතනයට ලක් වූ සියලු දෙනා කාන්තාවන් වීම මෙහි ඇති සුවිශේෂී ස්වභාවයයි. මෙම ඝාතන සිදුවීම් දාම මිනිමැරුමක් (Serial Killing/Chain Killing) ලෙස සිදුවන බවට බොහෝ අදහස් නැගුණ ද පොලීසිය ඒ පිළිබඳ එතරම් සැළකිල්ලකට ලක්කළ බවක් පෙනෙන්නට නැත. අප රටේ මෙයට පෙර ද මෙවැනි දාම මිනීමරුම් අසන්නට ලැබිණි. ඉන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ සිදුවීමක් වන්නේ සංචාරක වෙළෙන්දකු ලෙස නිවෙස්වලට ගොඩවැදුණු එක් පුද්ගලයකු විසින් එම නිවෙසවල තනිව සිටි කාන්තාවන් ඝාතනය කිරීමය. මෙම සිදුවීමෙන් අනතුරුව සංචාරක වෙළෙඳුන් නිවෙස්වලට වද්දාගැනීම ද බොහෝ දුරට ඇණහිටි බව දක්නට හැකි විය.


මෙවැනි සිදුවීම් පිළිබඳ අපරාධ මනෝ විද්‍යාත්මකව හෝ අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයන් කොට ඒවා සම්බන්ධ දේශීය න්‍යායන් සහ ඒවා හඳුනාගැනීම සඳහා දේශීය ක්‍රමවේද ගොඩනගන්නට අප රටේ මෙම ක්ෂේත්‍රයේ සිටින විශේෂඥයන් උත්සාහ දරා නොමැති බව පෙනේ. අප රටේ අපරාධ මනෝ විද්‍යාව හෝ අපරාධ විධිය ගැඹුරින් හදරන ලද විශේෂඥයන් සිටින මුත් ඔඔවුන් සියලු දෙනා සතුව ඇත්තේ ඇමරිකාවේ හෝ යුරෝපයේ රටවල මිනිසුන් මෙවැනි මිනිස් ඝාතන සිදුකිරීම පිළිබඳව සොයා ගත් දැනුමය. ඔවුන් අප රටේ මෙම විෂයයන් ඉගෙනුම ලබන සිසුනට ලබාදනේනේ ද එම දැනුමය. එම දැනුම අප රටේ අපරාධ නිවැරදිව අනාවරණය කරගැනීමට ප්‍රමාණවත් ලෙස යොදාගැනීමට නොහැකි වන්නේ මෙම න්‍යායන් ගොඩ නගා ඇති රටවල සහ අපේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් හාත්පසින්ම වෙනස්වීම නිසාය.


අප යළි කොටකෙතන සිදුවීම දෙසට අවධානය යොමු කළ හොත් එය දාම මිනීමරුමක් ලෙස මේ වන විට හොඳින්ම පැහැදිලි වී තිබේ. නාදන් පාපු නමැත්තියගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන් ලැබුණු සාධක හා කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ ඝාතනවලදී හමුවූ සාධක සැසඳීමේදී ඝාතන සිදුවීම් 6කට මෙම පුද්ගලයා සම්බන්ධ බව පැහැදිලිවම තහවුරු වී තිබේ. එබැවින් මෙය දාම මිනිස් ඝාතනයක් බව පොලීසිය දැන් පවසයි.


දාම මිනිස් ඝාතන යන්න අර්ථදක්වා  ඇති ආකාරය සරලව මෙසේය.


දාම මිනිස් ඝාතනයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඝාතන තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක් පුද්ගයකු විසින් සිදුකරනු ලැබීමය. මේ සඳහා අසාමාන්‍ය මනෝභාවයන් හේතු විය හැකිය. මෙවැනි මිනිස් ඝාතකයන් සාමාන්‍යයෙන් එක් ඝාතනයක් සිදුකිරීමෙන් අනතුරුව පෙර සිදුවීම පිළිබඳ සමාජයේ ඇතිවු කතා බහ අඩුවන තුරු පැහැදිලි නිහඬතාවයක් පෙන්නුම් කරයි. මෙය සන්සුන්වීමේ කාලපරිච්ඡේදයයනුවෙන් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී ඝාතන දෙකක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් එක් පුද්ගලයක විසින් සිදුකරනු ලැබීම ද දාම ඝාතන ලෙස නිර්වචනය වූ අවස්ථා තිබේ. මෙවැනි ඝාතන බොහෝ විට සිදුකරනු ලබන්නේ සාමුහිකව නොව තනි පුද්ගලයකු විසිනි. නමුත් සාමූහිකව දාම ඝාතන සිදුකෙරුණු අවස්ථා නොමැති බව එයින් පැවසෙන්නේ නැත. මෙවැනි ඝාතන සිදුකිරීම සඳහා යම් පුද්ගලයකුට අරමුණු බොහෝ තිබිය හැකිය. කෝපය, සතුට, ආර්ථික ප්‍රතිලාභ හා් සමාජ අවධානය ලබාගැනීම වැනි කරුණු මෙයට මුල් විය හැකිය. එමෙන්ම මෙම දාම ඝාතනවල දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගොදුරුවන්නන් තුළ පවත්නා සමානත්වයයි. එනම් මෙහිදී ඝාතනය වන්නේ එකම වයස් කාණ්ඩයකය, එකම ලිංගිකත්වයකට, එකම ජනවර්ගයකට, එකම වෘත්තියකට සම්බන්ධ අය ආදී වශයෙනි.


කොටකෙතන සිදුවීමේදී පැහැදිලිවම දැකිය හැකි ස්වභාවය වන්නේ මැදිවයස ඉක්මවූ වැඩිහිටි කාන්තාවන් ඝාතනය වීමය. මෙය වෙනස් වන්නේ එක් අවස්ථාවක මවක සහ ඇගේ දියණිය ඝාතනය වීමේ සිදුවීමේදී පමණි. දාම මිනිස් ඝාතන පිළිබඳ නිර්චවනය මෙයට සමාන ආකාරයෙන් අපරාධ මනෝ විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ සඳහන් කොට තිබුණ ද අපේ පොලිස් දෙපාර්තමේන්තුව එය එසේ යැයි හඳුනාගත් බවක් පෙනේනට තිබුණේ නැත. ඝාතන සිදුවීමක් පිළිබඳ කෙරෙන පොලිස් පරීක්ෂණවලදී මළ සිරුරේ සහ ස්ථානීය සාධක රැස්කරනු ලබයි. එහිදී ඝාතකයා එක්වර හඳුනාගත නොහැකි වුවත් මෙවැනි ඝාතන කිහිපයක් සිදුවන විට ඝාතකයාගේ ස්වභාවය හඳුනාගැනීමට බලධාරීන්ට හැකියාව ලැබේ. ඔවුන් අපරාධකරුව ලුහුබැඳයන්නේ එම හෝඩුවාවන් ඔස්සේය. මේ සඳහා වර්තමානයේ නම් නවීන තාක්ෂණයේ පිහිට ද ඉවහල් කරගත හැකිය.


කොටකෙතන ඝාතන සිදුවීම ඝාතන රැල්ලක්ලෙස මාධ්‍ය විසින් පවා හඳුන්වා තිබුණි. කෙසේ වෙතත්  ඝාතකයාගේ ඩීඑන්ඒ වාර්තා ලැබෙන තුරු පොලිස් දෙපාර්තමේන්තුව සිදුකොට තිබුණේ අවුරුදු උත්සවයක අලියාට ඇස තබන්නකුගේ භූමිකාව පමණක් බැව් පැහැදිලිය. අලියාට ඇස තැබීමේදී අහම්බෙන් වාසනාවට නිවැරදි මාර්ගයේ ගමන් කළ හොත් අලියාගේ ඇස හෝ ඇසට ආසන්නයෙන් හුණුකූරෙන් සළකුණු කළ හැකිය. කෙසේ නමුත් අවාසනාවකට ගමන් කරන මාර්ගය වැරදී ගියහොත් සිදුවන්නේ අලියාගේ පශ්චාත් භාගයේ හුණුකූරෙන් සළකුණු කිරීමටය. පොලිස් දෙපාර්තමේන්තුව අලියාගේ පශ්චාත් භාගයේ හුණු කූරෙන් සළකුණු කළ අවස්ථාවක් ද මෑකතදී සිදුවිය. ඒ කොටදෙනියාව පොලීසිය මඟින් සඳසේයා දැරියගේ ඝාතන සිදුවීමේදීය. කොටදෙනියාව පොලීසිය මෙහිදී ජනතාව අතර අප්‍රසාදයට පමණක් නොව අවඥාවට ද ලක් විය. සමාජජාල වෙබ් අඩවිවල කොටදෙනියාව පොලීසිය අවඥාවට ලක්කොට තිබූ අයුරු එහි පොලිස් නිලධාරීන් දුටුවේ නම් ඔවුන් සේවයෙන් අස්වී යනු නිසැකය. (ඒවා දකින්නට නැති බව සිතේ. හේතුව එවැනි හේතුවක් නිසා පොලිස් නිලධාරියකු සේවය හැර ගිය බවට පුවත් අසන්නට නොලැබුණු බැවිනි.)


මේ ආකාරයට පොලීසිය අන්ධයන් මෙන් කටයුතු කිරීමේ අනිටුපල විඳින්නට සිදුවන්නේ අහිංසකයන්ටය. මෙහිදී කිසිදු පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිව අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිසීයේ වදහිංසාවලට ලක්වන අතර සමාජය ඉදිරියේදී ගැරහුම් ද ලබයි. මෙම නිවැරදිකරුවන්ට අහිමිවන ආත්ම ගෞරවය නැවත උපයාගන්නට ඔවුනට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එහිදී ඔවුන්ගේ ජීවිත සහමුළින්ම විනාශවී යා හැකිය. ඇතැමුන් සමාජයට මුහුණ දී ගත නොහැකිව සියදිවි පවා නසා ගත හැකිය. කොටදෙනියාවේ පාසල් දරුවා අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු ෆේස්බුක් සමාජජාලය ඔස්සේ සඳසේයා දැරිය පිළිබඳ යම් විස්තරයක් පළකොට තිබීමත්, ඔහුගේ පරිගණකයේ අසැබි වීඩියෝ දර්ශන තිබීමත් යන කරුණු නිසාය. ඇතැම් හින්දි සිනමාපටවල පොලීසියේ අඥානබව පෙන්වා හාස්‍ය දර්ශනයක් නිර්මාණයකිරීම සඳහා මෙවැනි සිදුවීම් ඇතුළත්කොට තිබෙනු දැකිය හැකිය. කොටකෙතන ඝාතන රැල්ලේ එක් සිදුවීමක් වන පුතකු විසින් මවක මරාදැමීමේ සිදුවීම ද මේ වන විට නාදන් පාපු කාන්තාවගේ ඝාතකයා වෙතට බැරවෙමින් පවතින බැව් දැනගන්නට ලැබී තිබේ. අදාළ ඝාතනයට අත්අඩංගුවට පත් පුත්‍රයා වරද පිළිගෙන ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද බලපෑම්වලින් නිදහස්වීමට යැයි පැවසේ. කෙසේ නමුත් එය එසේම යැයි තවමත් තහවුරු නැත. මේවායෙන් පැහැදිලි වන්නේ පොලීසියේ ඇති අදක්ෂභාවය මිස අන් කිසිවක් නොවේ.


පොලිසිය මෙවැනි ඉරණමකට ඇදවැටී ඇත්තේ ඔවුන්ගේ බුද්ධි අංශයේ ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙනි. කාලයත් සමඟ වැළලී ගිය ඇතැම් අපරාධ සිදුවීම ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂ නිලධාරීන්ගේ කැපවීම මත අනාවරණය කරගත් සිදුවීම් කලකට පෙර අසන්නට ලැබුණත් වර්තමානයේ අසන්නට ලැබෙන්නේ දක්ෂකම් නොව ඇණගැනීම්ය. මෙම අදක්ෂභාවයන් වසා ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් විසින් මාධ්‍ය ඔස්සේ පවසන ඇතැම් කරුණුවලින් ඒවා තව තවත් තහවුරු වන බව ද පෙනේ. යතුරුපැදිකරුවකුගේ පපු ප්‍රදේශයට කළ වෙඩි තැබීමක් පිළිබඳ එක් අවස්ථාවක මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ යතුරුපැදිකරුවා පොලිසි නිලධාරීන් යටකොට පළායාමේදී පිටුපසින් සිට කරන ලද වෙඩිතැබීමක් ලෙසය. පිටුපසින් තැබූ වෙඩි පහර පපුවට වැදුනේ කෙසේදැයි මාධ්‍යකරුවන් විසින් අසද්දී මාධ්‍ය ප්‍රකාශක අන්දුන්කුන්දුන් විය.


සැබවින්ම පොලිසීයට මෙවැනි ඉරණමක් අත්වන්නට හේතුව ඔවුන් අප රටට ගැළපෙන ආකාරයට අපරාධ මනෝ විද්‍යාව සහ අපරාධ විද්‍යාව හැඩගස්වා නොගැනීමය. කලකට පෙර සිටි ඇතැම් පොලිස් පරීක්ෂකවරුන් තමාගේ ක්‍රමවේද ඔස්සේ අපරාධකරුවන් ලුහුබැඳගොස් අල්ලා ගත්ත ද පසුකාලයේ බටහිර රටවලින් අපරාධ විද්‍යාව පිළිබඳ හදාරා පැමිණි ඇතැම් උගතුන් එම රටවලට ගැළපෙන අච්චුවඅප රටට ඒ අයුරින්ම ආදේශ කරන්නට යාමෙන් පොලිසියට මම තත්වය අත්වී තිබෙන බැව් පෙනේ. තවත් කරුණක් ලෙස පොලීසිය දේශපාලනයට යටවීමය.


පොලීසිය පිළිබඳ මෑතකදී අසන්නට ලැබුණු තවත් අපවාදයක් වූයේ එහි සිටින්නේ අටවත් සමත් නැති පිරිසක්බවය. උපාධිධාරීන් විසින් සිදුකරනු ලබන උද්ඝෝෂණවලට පොලිසි නිලධාරීන් පැමිණ බැටන් පොලු පහර එල්ල කරද්දී උපාධාධාරීන් විසින් කරන ලද ප්‍රකාශ මෙයට හේතුවන්නට විය හැකිය. සැබවින්ම මෙම අට සමත් නොමැතිකරුණ අදාළවන්නේ කොස්තාපල්වරුන්ට පමණක් වුව ද එය පොලිස්පති දක්වාම ආදේශ වූ බව නම් පසුගිය සමයේ දකින්නට ලැබිණි. කෙසේ නමුත් අපරාධ කාර්යක්ෂම ලෙස අනාවරණය කරගැනීමේ නොහැකියාවට හේතුව අට සමත්  නොවීමේ කරුණක් නිසා නොවේ. අපරාධ විද්‍යාව පිළිබඳ අප රටට ගැළපෙන ක්‍රමවේදයක් සොයා නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූවකි. අප අසල්වැසි ඉන්දියවේ පොලීසිය  පිළිබඳව ද ප්‍රසාදයකින් කතා බහ කළ නොහැකි වුව ද ඔවුන් තමාට ගැළපෙන පරිදි අපරාධ විද්‍යාව පිළිබඳ බටහිර දැනුම හැඩගස්වාගෙන තිබේ. අප රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් බටහිරයන්ට වඩා සමීප වන්නේ ඉන්දියානුවන්ටය. එය පැහැදිලි කිරීමට විශේෂ කරුණු ගෙනහැර දැක්විය යුතු නොවේ. එබැවින් ඔවුන්ගේ මොඩලයක්ගෙන එය අපට ගැළපෙන ආකාරයට තවත් හැඩගස්වා ගන්නට උත්සාහ කරන්නේ නම් අනාගතයේ අපරාධ සිදුවීම් වඩාත් පහසුවෙන් විසඳාගත හැකිවනු ඇත. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ අහිංසකයන් නිරපරාදේ අපරාදකරුවන් ලෙස හංවඩු ගැසී ඔවුන්ගේ ජීවිත විනාශවී යාමත් පොලිසීය හින්දි සිනමාපටවල මෙන් සමාජය ඉදිරියේ විහිළු සපයන්නන් බවට පත්වීමත් පමණකි.




3 comments:

  1. කොටකෙතන පොලිසිය පල්ලා ඔය මහත්තය කියන කථාව ඇත්ත.
    දැනුම අපේ රටට ගැලපෙන විදියට යොදාගෙන අපරාද විසදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කොයි තරම් උගත්තු හිටියත් තවමත් කිසිම දෙයකට අපේ මොඩලයක් හදන්න උත්සාහ කරලා නැති තරම්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න