සරසවිය, ආදරය සහ විරහව අතර ඇත්තේ අවියෝජනීය වූ
සබඳතාවකි. මේ නිසාම සරසවිය ඇසුරු කොට ගෙන රචනා වූ ආදර සහ විරහ ගී අපමණය. වර්තමානයේ
එවැනි ගී අලුතින් ලියැවෙන බව නොපෙනුන ද අතීතයේ එසේ රවනා වූ බොහෝ ඒවා අප මතකයේ
තිබේ. එයින් වඩාත් ජනප්‍රිය මෙන්ම හැඟීම් දැඩිව උද්දීපනය කරන්නා වූ එක් ගීතයක් ලෙස
සිරිසමන් විජේතුංගයන් විසින් රචිත, ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් සංගීතවත් කොට
ඔහු විසින්ම සිය හඬින් ජීවය දුන් ‘සරසවියේදි හෙට විතරයි‘ ගීතය සඳහන් කළ හැකිය.
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ
දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවනේ
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජ දානේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගේ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම උනේ
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ
පේරාදෙණිය සරසවියේ බැඳි ප්‍රේමයකින්
ඉතිරි වූ විරහව මේ ගීතයෙන් මැනවින් පිළිබිඹු කරයි.
දිනක් දයාරත්න රණතුංගයන් එක් සංගීත
වැඩසටහනක දී පැවසූ පරිදි ඔහු මේ ගීය සඳහා තනුව සකස් කොට ඇත්තේ පැරණි ජන ගි තනුවක
ඇසුරු කොටගෙනය. එම ගීතය ජන ගි අතර ජනප්‍රියව
ඇත්තේ ‘නාරිලතා වන්නම‘ හෙවත් ‘නාරිලතා සිංදුව‘ වශයෙනි. එම ජන ගීයට අනුව නිර්මාණය
වුණු නර්තනයන් දෙකක් අන්තර්ජාලයේ පවතින නිසා එහි තනුව පහසුවෙන් රස විඳින්නට ඔබට ද හැකිය.
ජාතක කතාවන්හි සඳහන් වන හිමාලය අඩවියෙහි පිපෙන ස්ත්‍රියකගේ රුව වැනි වූ ‘නාරිලතා’ මල් ජනකවියා දුටු ආකාරය මේ ජන ගීයෙන් කියැවෙයි.
ජාතක කතාවන්හි සඳහන් වන හිමාලය අඩවියෙහි පිපෙන ස්ත්‍රියකගේ රුව වැනි වූ ‘නාරිලතා’ මල් ජනකවියා දුටු ආකාරය මේ ජන ගීයෙන් කියැවෙයි.
සිරිදරු මල් උයනේ – අතරු ලතරු –
බඹරු ලතාවයි
හිමගිරි කුළු අරණේ – නිතර නිතර –
කිඳුරු ලතාවයි
සරසවියේදි හෙට විතරයි ගීතයේ රචකයා මේ
ජන ගීය අනුසාරයෙන් මේ ගීය ලියන්නට ඇතැයි සිතිය නොහැකි මුත්, ජන ගීයේ පදවැල් සහ
ගීතයේ පදවැල් ගලා යන ආකාරයේ යම් සමානත්වයක් දැකිය නොහැක්කේ ද නොවේ. ඒ කෙසේ වෙතත්,
සංගීතඥයා ජන ගීයේ නාදය තුළින් දුටු විරහ රසය මැනවින් මේ ගීතය හා මුසු කොට ගෙන ඇති
බව නම් පෙනේ. පේරාදෙණිය සරසවියට පා නොතැබුවෙක් පවා මේ ගීතය අසන විරාමය තුළ සරසවි
ප්‍රේමයේ විරහව මොනවට අත්විඳින බව නම් නොඅනුමානය.
මේ කෙටි විස්තරයක් මෙසේ ලියා තබන්නට මා
අදහස් කළේ අන් කිසිවක් නිසා නොව වර්තමානයේ මෙවැනි ගී නිර්මාණ අපට අසන්නට නොලැබෙන
නිසාත්, මෙවන් නිර්මාණ අසන්නට ලැබුණු අතීතයක් අපට තිබුණත් එවැනි අනාගතයක් කිසිදාක
අපට නොලැබෙන නිසාත්ය.
හැම කාලයේම අපිට එකම ආකාරයේ රසවින්දනයක් රස වින්දනයක් තියෙන අය බලාපොරොත්තු වෙන්න අමාරුයි නේද නිරංජන් සමහරක් දේවල් අතීතයට විතරක් සීමා වෙලා වර්තමානයේ ඒ වගේ ශේෂයන් විතරක් රැඳෙන්නේ මං හිතන්නේ අන්න ඒ හේතුව හින්දා වෙන්න ඕන වර්තමානයේ තියෙන හුඟක් සින්දු වර්තමාන කාලයත් එක්ක ඒ තියෙන ජීවන රටාවත් එක්ක ගැලපිලා ඒත් එක්ක සම්මිශ්‍ර වෙලා ඉදිරියට ඇතිවන දෙයක් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වර්තමානයේ ත් ඒ විදිහටම සිද්ධ වෙන්ට පුළුවන් කියලා අපිට හිතන්නත් අපිට බලාපොරොත්තු වෙන්නත් බැහැ නේද
ReplyDeleteඔබ කියන කතාව ඇත්ත. අනෙක් අතට අපේ නව සංගීත ශි්ල්පීන් සංගීතය නිර්මාණය කරද්දී සංවේදී බවින් ඈත්විමත්, සැඟවුණු රසයයන් සොයා යන්නට ඇති අලසකම හෝ ඕනෑ නැතිකමත් මෙයට තවත් හේතුවක් විය හැකියි.
Delete