පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 4, 2015

කන්‍ය පටලය ගැන විකාර මත - Myths about Hymen

කන්‍යා පටල වර්ග කිහිපයක්

කුමරි බඹසර, පතිවත, කන්‍යා භාවය වැනි කුමන වදනකින් හැඳින්වුවද අප කතා කරන්නේ එකම දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවකගේ පිවිතුරු බව පෙන්වන සංකේතය යැයි අප සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගනු ලබන සංකේතයක් පිළිබඳවය. බටහිර සමාජයේ මෙය සැළකිල්ලකට නොගන්නා තත්වයකට පත්ව ඇතත්, අප සමාජයේ ද අතීතයේ තරමට වර්තමානයේ මේ පිළිබඳව ඇති සැළකිල්ලක් නොතිබුණත්, මෙය  දැඩිව සොයා බලන්නන් දුර්ලභ නැත. තරුණියකගේ කන්‍යාභාවය රඳා පවතින ‛කන්‍යා පටලය’ පිළිබඳ පසුගිය වසර ගණනාව මුළුල්ලේ විවිධ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කළ වෛද්‍ය විද්‍යාත්මක  දැනුවත් කිරීම් නිසා බොහෝ තරුණියෝ නිරපරාදේ දෝෂාරෝපණයට ලක්වන්නට තිබුණු අවස්ථාවලින් නිදොස් වූහ. අතීතයේ කන්‍යාභාවය නිසා තරුණියන්ගේ ජීවිත අඳුරු බවට පත්වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබිණි. 1984 වසරේදී ‛දෙවැනි ගමන’ නමින් අප රටෙහි සිනමා පටයක් තිරගත වන්නේ ද මේ සමාජ ගැටලුව පිළිබඳ කතා කරමිනි. එහිදී අවසානයේ සියල්ල සතුටින් නිමාවට පත් වුවද එවැනි සතුටුදායක නිමාවන්ට පත් නොවූ ජීවිත ද බොහෝ ය. 

කෙසේ මුත් කන්‍යාභාවය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් පසුව ඇතැමුන් නැගූ චෝදනාව වූයේ ඇතැම් තරුණියන් ‛වැරදි ක්‍රියාවල’ යෙදී, පසුව මෙම වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට මුවා වී සිය වරද වසා ගන්නා බවය. නමුත් ‛වැරදි ක්‍රියාවන්ගේ’ නිරත වුව ද කන්‍යා පටලය ආරක්ෂා කරගන්නට සමත් තරුණියක් සිටින්නේ නම් ඔවුන් මෙසේ සිතන පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක්විය හැකි බව මොවුන් සිතන්නේ නැත. අනෙක වර්තමානයේ කෘත්‍රිම ලෙස කන්‍යා පටලය නැවත සකස්කිරීමේ පහසුකම් ද තිබේ. ඒ නිසා තරුණියකගේ පිරිසිදු බව මනින්නට සිරුරේ කොටසක් වන කන්‍යා පටලය නමැති ‛සම් කැබැල්ල’ මත රඳා පැවතීම කෙතරම් දුරට යුක්ති සහගත ද යන්න කල්පනා කොට බැලිය යුතුය. මන්ද තරුණියකගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සම් කැබැල්ලක් මත නොව ඇය තුළ ගොඩ නගා ගන්නා අධ්‍යාත්මික බව, අධ්‍යාපනික හා සමාජ දැනුම ආදිය මත වන බැවිනි. කෙසේ වෙතත් තවමත් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ වැරදි මත ඇති බැවින් ඒ පිළිබඳ යමක් කතා බහ කිරීමේ වරදක් නැත. 

කන්‍යා පටලය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන Hymen නම් වදන බිඳී ඇත්තේ ‛පටලය’ යන්න හඳුන්වනු ලබන ග්‍රීක වදනකිනි. එමෙන්ම ග්‍රීක දේව විශ්වාසවලට අනුව ඔවුන්ගේ විවාහය සම්බන්ධ දෙවියා වන්නේ ද ‛හයිමන්’ ය. තරුණිකගේ ප්‍රථම ලිංගික එක්වීමකදී ‛බිඳී යාම’, ‛ඉරීම‛, ‛කැඩීම’ ආදී බොහෝ දේ සිදුවන්නේ මෙයටය.

වසර දහස් ගණනක් තිස්සේ බොහෝ සමාජයන්වල පැවති විශ්වාසය වූයේ මෙය බිඳී යද්දී වේදනාවක් දැනෙන බවය. එබැවින් වර්තමානයේ ද තරුණියකට මෙම වේදනාව දැනිය යුතු යැයි පොදු පිළිගැනීමක් තිබේ. එමෙන්ම මෙය බිඳී යාමේදී රුධිර වහනයක් වන බව ද පවතින තවත් එක් විශ්වාසයකි. විවාහයේ දෙවැනි දවසේදී මනාලියගේ ඇතැම් නැන්දම්මාවරුන් මෙසේ වහනය වූ රුධිරය සහිත සුදු රෙදි කඩ බැලීමට ‛පොර කන’ අවස්ථාවන් ද දක්නට ලැබේ. එක් මංගල අවස්ථාවද මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් සියලු දෙනාටම දැනුම් දුන්නේ ‛මනාලියගේ පෙරමග සළකුණු සුබ‛ බවය. එයින් පැවසුනේ සුදු රෙදි කඩ මත රුධිරය පැවති බවය. එක් විවාහක යුවලක් පවසා සිටියේ ඔවුන් විවාහයට පෙර ‛තහනම් ගහේ ගෙඩිවල රස’ බැලූ මුත් වැඩිහිටියන් සැනසීම සඳහා වෙනත් බාහිර ආකාරයකින් රුධිරය ස්වල්පයක් රෙදි කඩ මත තවරා ගත් බවය.  කෙසේ නමුත් අද ද මෙවැනි කරුණු සොයා බලන විවාහයන් කොතෙකුත් දක්නට ලැබේ. වැඩිහිටියන් පමණක් නොව සියලු දේ පිළිබඳවම මනා අවබෝධයක් ඇති තරුණයන් පවා මේ ‛සම් කැබැල්ල’ පසුපස දිව යන්නේ එය තරුණියකගේ පිවිතුරු බව මනින් එකම සංකේතය ලෙස සිතමිනි. එසේ හෙයින් තවමත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව දරන්නේ වැරදි අදහස් බව පැහැදිලිය. 

වෛද්‍ය විද්‍යාත්මකව නම් බිළිඳියක් ලෙස උපදින අවස්ථාවේදීම බොහෝ දෙනෙකුගේ කන්‍යා පටලය පිහිටා නැත. බොහෝ කන්‍යා පටල ‛ඩෝනට්’ එකක හැඩයෙන් මැදින් සිදුරක් සහිතව පිහිටා තිබේ. අලුත් උපන් අවස්ථාවේදී කන්‍යා පටලය ඉතා පැහැදිලිව දකින්නට ඇති අතර එය ඉතා තද ගතියෙන් ද යුක්තය. නමුත් වයසින් වැඩෙත්ම බොහෝ කන්‍යා පටල තුනී බවට පත්වන අතර මැදින් ඇති සිදුර ද පළල් වෙයි. එමෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් නිසා ද කන්‍යා පටලය තවත් තුනී වී යාමට ඉඩ ඇති බව ද සොයාගෙන තිබේ. 

කෙසේ නමුත් ඇතැමුන් විශ්වාස කරන පරිදි කන්‍යා පටලය යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වසාගනිමින් පැතිරී ඇති දෙයක් නොවේ. නමුත් කලාතුරකින් එවැනි තත්වයන් දැකිය හැකි අතර එවැනි අවස්ථාවක සුළු සැත්කමකින් කන්‍යා පටලයෙහි සිදුරක් ඇති කළ යුතුය. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු සිතා සිටින පරිදි එවැනි තත්වයක් පැවතියේ නම් තරුණියන්ට මාසික ඔසප් වීම සිදුවන්නට හැකියාවක් නැත. මන්ද යෝනි මාර්ගය අවහිර වී ඇති බැවිනි. කෙසේ නමුත් සෑම තරුණියකගේම කන්‍යා පටලය මැද ඇති සිදුර ඩෝනට් එකක හැඩයෙන් යුක්ත නොවේ. ඇතැමුන්ගේ ඇත්තේ ‛ඉනිමඟක්’ වැනි දිගටි හැඩයකි. මේ සිදුර හරහා ඉනිමඟක මෙන් හරස් අතට සම් කොටස් තැනින් තැන වැඩී තිබේ. ඇතැම් තරුණියන්ගේ කන්‍යා පටලය මී වදයක් මෙන් සිදුරු කිහිපයකින් යුක්තය. එමෙන්ම තරුණියක් 200 දෙනෙකුගෙන් එක් අයෙකුගේ කන්‍යා පටලය මැද ඇති සිදුර ඇඟිල්ලක් ඇතුළු කිරීමට පවා නොහැකි ලෙස කුඩාවට පිහිටා තිබේ. එවැනි අවස්ථාවකදී ප්‍රථම ලිංගික එක්වීමේදී පවා මෙය බිඳී යන්නේ නැත. එවැනි තත්වයන්වලදී සුළු ශල්‍යකර්මයක් මගින් මෙය විශාල කරන්නට සිදුවූ අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ.  කන්‍යා පටලය පිළිබඳ මේ තොරතුරු අනාවරණය කරමින් නිව්යෝර්ක් නුවර හන්ටර් කොලේජ් හි හෙද මහාචාර්යවරියක වන කැරොල් රෝයි දීර්ඝ නිබන්ධනයක් ද සම්පාදනය කොට තිබේ. 

බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි මේ තුනී පටලය කැඩී බිඳී යද්දී දැනෙන්නේ ඉතා සුළු වේදනාවකි. එක්කෝ වේදනාවක් දැනෙන්නේම නැත. නමුත් වේදනාවක් දැනිය යුතු යැයි සාම්ප්‍රදායිකව පිළිගැනීමක් පවතින නිසා ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනුනේ යැයි ඇතැම්හු පවසති. ප්‍රථම ලිංගික එක්වීමේදී වේදනාවක් දැනෙන්නේ සැබවින්ම මේ පටලය බිඳී යාම නිසා නොවේ. බොහෝ තරුණියන් විවිධ හේතු නිසා ප්‍රථම ලිංගික එක්වීම යනු ‛මහා භයානක අත්දැකීමක්’ යැයි පෙර සිටම ඇති කරගත් භීතිය නිසා ඇගේ යෝනි ප්‍රදේශයේ ඇතිවිය යුතු ශාරීරික ඉහිල් බව ඇති වන්නේ නැත. අනෙක පිරිමි පාර්ශ්වයෙන් සිදුවන යම් යම් ක්‍රියාවන් නිසා ද මෙම ඉහිල්වීමට බාධා ඇති වේ. එවිට යෝනි ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශී සංකෝචනය වී පැවතීමෙන් ලිංගික එක්වීමට බාධා ඇති වේ. වේදනාව ඇතිවන්නේ ඒ හේතුව නිසා මිස කන්‍යා පටලය බිඳී යාම නිසා නොවේ. 

“තමන්ගේ සහකාරිය පිළිබඳ ඉතා සංවේදීව සිතන තරුණයන් පවා ලිංගික උපක්‍රම නිසි පරිදි යොදා නොගැනීම නිසා ලිංගික එක්වීම සහකාරියට වේදනාවක් ගෙන දෙන අවස්ථාවන් ඉතා බහුලයි” යනුවෙන් ලිංගික චිකිත්සාව පිළිබඳ ආචාර්යවරියක වන සැන්ඩ්‍රා ලයිබ්ලම් පවසයි.


කන්‍යා පටලය ගැටලුවක් කරගත් තරුණයන් සේම වැඩිහිටියන් ද ඕනෑ තරම් දක්නට ලැබේ. පිරිමින්ට ද කන්‍යාභාවය පෙන්වීම සඳහා යම් නිර්ණායකයක් පැවතියේ නම් ඔවුන් මේ තරමටම තරුණියන්ගේ කන්‍යා භාවය පසුපස ලුහුනොබඳිනු ඇත. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ යම් පුද්ගලයකු පිළිබඳ ඇති ‛චරිතවත් බව’ හෙවත් හොඳ නමයි. එය තරුණියන්ට පමණක් නොව තරුණයන්ට ද පොදු කරුණකි. සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීම තුළින් ඇතිවන ‘හොඳ නම‘ මේ දෙපාර්ශ්වයටම වටිනා ගුණාංගයකි. හොඳ නමක් නොමැතිව කන්‍යා පටලය පමණක් ආරක්ෂාවීමේ අර්ථයක් නැත. එමෙන්ම තරුණියකගේ මෙන්ම තරුණයකුගේ ද සැබෑ වටිනාකම රැඳී පවතින්නේ යහපත් හැදියාව, අවංක බව, සත්‍යගරුක වීම ආදී මානව ගුණාංගයන් මතය. ඔබගේ යුග දිවියටත්, සමාජයටත් වඩාත් යහපත් හෙට දවසක් බිහිවන්නේ එවිටය.

19 comments:

  1. හොඳ ලිපියක්. ජය වේවා......!
    කන්‍යා භාවයට මිනී මරාගන්න කාලකන්ණි රටවලුත් තියෙනව තාම. මේ විෂ්වාස වල අන්තයට ගියාපුවහම ඒවගෙන්ම පිස්සො වෙනවා. ස්ත්‍රී දූෂණ කියන කතාව එන්නෙත් ඔය කන්‍යාභවයේ විෂ්වාස මතයි.මොනව උනත් කන්‍යාභාවය නැත්නම් ස්ත්‍රීන් නොයිඳුල් පිරිසිදු බව නැති විෂ්වාස කළ නොහැකි යැයි සිතීම මිත්‍යාවක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඔබේ අදහස සමග මම ද එකගයි.

      Delete
    2. ඇත්ත කතාව, තාක්ෂණයේ පිහිටෙන් කැඩිච්ච බිදිච්ච දේවල් උනත් තිබුනටත් වඩා හොදට හදන්න පුලුවන්නේ.

      Delete
    3. ඇත්තටම ඔව්. ඒ නිසා යහපත් තරුණියක් සොයා ගැනීමට මේ සම් කැබැල්ල මත රදා පැවතිය යුතු නැහැ.

      Delete
  2. හොඳ ලිපියක්. කතාව නම් ඇත්ත තමයි.
    ඒත් තමන්ගෙ පිවිතුරු බව සැමිය ඉස්සරහ ඔප්පු කරන්න හැම කාන්තාවක්ම කැමතියි. මම අවුරුදු 5 ක ප්‍රේම සම්බ­න්ධයකින් පස්සෙ විවාහ උනේ. ඊට ඉස්සර කවදාවත් ලිංගික සම්බන්ධයක් පවත්වලා නැති උනත් මංගල දින රාත්‍රියේ පිවිතුරු බව පෙන්වන සාක්‍ෂි මුකුත්ම තිබුනෙනෑ. ඒ ගැන මගේ සැමියා වචනයක් වත් කතාකලේ නෑ. ඒ උනාට මගේ හිතේ කියගන්න බැරි තරම් දුකක් ඇතිවුනේ. ( කොච්චර එහෙම වෙන්නෙ නැති වෙන්න පුලුවන් කියල දැනගෙන හිතියත්). ඒවෙලාවෙ "මම මීට කලින් කාත් එක්කවත් ලිංගික සම්බන්ධයක් පවත්වලා නෑ" කියලා සැමියට කියුවම එයා කියුවේ "මට ප්‍රශ්ණයක් නැති දේවල් ඔයා ප්‍රශ්ණයක් කර ගන්න එපා" කියල විතරයි.
    කවුරුවත් පිවිතුරු බව පෙන්වන සාක්‍ෂි බලන්න ආවෙ නෑ. මේ කතාව අපි දෙන්න ඇරෙන්න වෙන කවුරුවත් දන්නෙ නෑ. අපි විවාහ වෙලා දැනට අවුරුදු 8 විතර වෙනවා. ළමයි දෙන්නෙක් එක්ක ගොඩාක් හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා. ඒත් එදා ඇයි මට එහෙම උනේ කියලා අදටත් දුකයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට ඔයාගේ සැමියා වෙන ගැහැණුත් එක්ක ලිංගික සම්බන්දකම් පවත්වලා ඇති, එහෙම කෙනෙක් තමන්ගේ හිතට එකගව තමන් විවාහ වෙන කෙනාගේ කන්‍යා බාවය ගැන තකන්නේ නෑ.

      Delete
  3. හොඳ දැනුවත් කිරීමක් නිරන්ජන්,
    කොහොමත් ලිංගික සම්බන්ධකම් ගැන අපිට තියෙන්නේ බොහෝම මිත්‍යා මත.අඩු ගානේ පාසල් තුලින්වත් මේ මිත්‍යා මත වෙනස් කරමින් නිවැරදි අධ්‍යාපනයක් ලබා නොදෙන එක ලොකු අඩුවක්.

    අර දෙවැනි ගමන චිත්‍රපටිය මටත් මතකයි සනත් ගුණතිලක පාසල් ගුරුවරයෙක් විදියට හිටියේ.සනත් විවහා වෙන තරුණියගේ කන්‍යාභාවය ගැන තමයි අනෙක් අය ප්‍රශ්න කරන්නේ.හැබැයි එක සනත්ට ගැටළුවක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපේ රටේ ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක නැහැ. ඒකයි වැරැද්ද.

      Delete
  4. කන්‍යාභාවය ගැන කියද්දී හැමවිටම අසතක කරණ දෙයක් තමයි ඇයි දෙයක් ඇතිවුනේ කියන එක. එක්කො ඒක දෙවියන් වහන්සේගේ ප්ලෑනක්. නැත්නම් පරිනාම වාදයට අනුව කන්‍යාභාවය මනව පරිනාමයට හේතුවුනු හොඳ දෙයක් වියයුතුයි. හැම ස්ත්‍රියකටම ඔහොම දෙයක් නැතිවුනත් මනුශ්‍ය ස්ත්‍රීන්ගෙන් බහුතරයකට ඕක තියෙනවා (ලක්ෂ58 ට වඩා ලක්ෂ 62 වැඩියි වගේ) නමුත් අනිත් ක්ෂීරපායී සතුන්ට ඕක නෑ. මෙතනදී ලංකාවේ දොස්තරලා මේ ගැන කියන දේවලනම් කිසි වටිනාකමක් නෑ කන්‍යා භාවය වගේම ගබ්සාව ගැනත් දොස්තරලට තියෙන්නේ රෙඩිමේඩ් උත්තර, එයාලා කරන්නේ බටහිර මතවාද වෙනුවෙන් කඩේයාම විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක තියෙන එකේ හොද නරක දෙකම තියෙනවා. ඒත් ගැටලුව තියෙන්නේ ඇතැම් අය තරුණියකගේ පිවිතුරු බව මනින්නේ මේකෙන් විතරයි. අපේ රටේ දොස්තරලා වමාරන්නේ බටහිර දැනුම නම් තමයි. කොත්තමල්ලි උගුරක් බොනවටවත් එයාලා කැමති නැහැ නේ.

      Delete
  5. වැදගත් ලිපියක්.

    ගැහණු කෙනෙකුගේ හරි පිරිමි කෙනෙකුගේ හරි වටිනාකම රැඳී තියෙන්නේ හැදීයාව, අවංක බව, වගේ මානව ගුණාංග මත මිසක් මේ වගේ නිර්ණායක මත නෙවෙයි කියලයි මාත් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  6. Replies
    1. ඔබගේ අදහස් දැක්වීම ගැන බොහෝ ස්තූතියි

      Delete
  7. අැත්තටම වැදගත් ලිපියක්

    ReplyDelete
  8. මේ වගේ ලිපි ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
    2. Godak vadagth lipiyak sthuthi obata

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න