පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 8, 2015

බොලිවුඩ් නිළියගේ රියට දැරියක් බිලි වෙයි - A 4 Year Old Died In Hema Malini's Car Accident


වර්තමාන ශ්‍රී ලාංකික හින්දි සිනමා රසිකයන් අතර වැඩි දෙනෙක් නොදන්නා චරිතයක් වූ හේමමාලිනී ගැන නරක ආරංචියක් පසුගිය ජූලි දෙවැනි බ්‍රහස්පතින්දා ආරංචි වුණා. ඒ ඇයගේ මෝටර් රථය රාජස්ථාන් ප්‍රාන්තයේදී අනතුරට පත් වීම නිසා දෙහැවිදිරි දැරියක්  මිය යාමයි. මෙය එදින රාත්‍රී 9ට පමණ ඉන්දියාවේ 11 වැනි ජාතික අධිවේගී මාර්ගයේදී සිදුවුණු බවයි දැනගන්නට ලැබෙන්නේ. හේමමාලිනී අතීතයේදී හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම සුරූපී නිළියක වුවත් වර්තමානයේ අය පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරන්නේ දේශපාලනයේ යෙදෙන කාන්තාවක් ලෙසයි. 66 හැවිරිදි ඇය  ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක්. 


හේමමාලිනී ගමන් ගත් මර්සිඩීස් බෙන්ස් රථයේ වේගය වැඩි කරත්ම අධිවේගී මාර්ගය බෙදා දක්වා ඇති සීමවෙන් ඉවතට පැන අනෙක් පැත්තෙන් ගමන් ගත් ඇල්ටෝ රථයක ගැටී තිබෙනවා. එහිදී මිය ගිය සිව් හැවිරිදි දැරියගේ පියා සහ දැරියගේ සොයුරියක් දරුණු ලෙස තුවාල ලබා තිබෙනවා. දැරියගේ පියාගේ පාද සහ අකු ඇටය හානි වී තිබුණු අතර වහා දැඩි සත්කාර එ්කකයට ඇතුළත් කොට තිබෙනවා. මිය දැරියගේ සොයුරියගේ පාද දෙකම බිඳී ගොස් තිබුණු බවයි කියැවෙන්නේ. ඇගේ මව ද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබුණු අතර සිය දියණියක් මිය ගිය බව හෝ ඇය දැන සිට නැහැ. අනතුරින් දැඩි ආපදාවට ලක් වූ රථයේ මිය ගිය දැරිය හැරුණු විට තවත් පස් දෙනෙකු ගමන් කොට තිබෙනවා. කෙසේ නමුත් ඇසට ඉහළින් ඇති සුළු තුවාල හැරුණු විට හේමමාලිනීට වෙනත් අපාදාවක් සිදුව නැහැ. 


මෙම අනතුරින් පසුව ඇගේ දියණිය සේම ජනප්‍රිය නිළියක ද වන ඊෂා ඩියොල් මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ අනතුරින් ආපදාවන්ට පත් පවුලේ පිරිසට උදව් කරන්නට තම මව තීරණය කොට ඇති බවයි. එසේ කරන්නේ ඇය දේශපාලඥයකු නිසා නොව මිනිස් ගුණය දන්නා කාන්තාවක් ලෙසට යැයි ද ඊෂා ඩියොල් පවසා තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේදී හේමාලිනීගේ මෝටර් රථය පැදවූ මහේෂ් චාන්ද් ටකූර් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසෙනවා. 

මිය ගිය දැරියගේ පියා පවසන්නේ හේමමාලිනී රැගෙන ගිය රෝහලෙන්ම සිය දියණියට ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලැබුණේ නම් ඇයගේ ජීවිතය ගළවාගැනීමට හැකියාවක් තිබුණු බවයි. ඒ වෙනුවෙන් වියදම් කිරීමට තමා සතුව මුදල් තිබූ බව පවසන ඔවුන්ගේ සෙසු ඥාතීහු සඳහන් කරන්නේ මාධ්‍ය ද හේමාලිනීගේ තුවාල ගැන සෙව්වා මිස දැඩි ලෙස අනතුරට පත් තම පිරිස ගැන සොයන්නට උත්සුක නොවූ බවයි. 

1948 ඔක්තෝබර් 16 වැනිදා උපන් හේමමාලිනී වර්තමාන හින්දි සිනමා රසිකයන් අතර එතරම් ජනප්‍රියව නැතත් ඇය එහි ජයකෙහෙළි නැංවූ නිළියක් ලෙස සඳහන් කළ හැකියි. ඇය නිළියක් පමණක් නොව අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදකවරියක්, නර්ථන නිර්මාණ ශිල්පිනියක් ලෙස ද ප්‍රසිද්ධයි. ඇය ‛භරත’ නැටුම් සඳහා අති දක්ෂතාවයක් දක්වනවා. කෙසේ නමුත් ඇය පිළිබඳ වර්තමානයේ හඳුන්වන බොහෝ දෙනෙක් ඇයව දකින්නේ දේශපාලඥයකු ලෙස පමණයි. අැය සිය සිනමා ජීවිතයේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සඳහා චරිත නිරූපණය කොට ඇත්තේ සිය සැමියා වන ධර්මේන්ද්‍ර හා තවත් සුප්‍රකට නළුවකු වූ රාජේෂ් ඛන්නා සමගයි. ඇය හින්දි සිනමාවේ තවත් සුපිරි තරු දෙකක් වන සනී හා බොබී ඩියොල්ගේ මෑණියන් ද වනවා. හින්දි සිනමාවේ සිටි වඩාත් සාර්ථකත්වයට පත් වූ එක් නිළියක්  ලෙස ද ඇය ප්‍රකටයි. 

2003 - 2009 අතර සමයේ එවකට සිටි ඉන්දීය ජනපතිවරයා වූ අබ්දුල් කලාම් විසින් ඇයව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභාවේ මන්ත්‍රී තනතුරක් ප්‍රදානය කොට තිබෙනවා. ඇගේ දේශපාලන ජීවිතයේ ආරම්භය එතැනයි. 



කෙසේ වෙතත් මේ අනතුර පෙන්වා දෙන්නේ අප අතර සියලු විටම සිදුවන සත්‍යයයි. එනම් මාධ්‍ය මෙන්ම සෙසු ජනතාව ද මෙවැනි අවස්ථාවකදී වැඩි වශයෙන් කතා කරන්නේ එතැන යම් ප්‍රසිද්ධ පුද්ගලයෙක්, බලවතෙක් ආදින් සිටිනවා ඔවුන් ගැන පමණක්ය යන්නයි. මේ බලවතුන් අතින් වෙනත් පිරිසකට කෙතරම් හානියක්, අයුක්තියක් සිදුවුවත් ඔවුන් ගැන කතා කරන්නට මාධ්‍ය පවා පමාවක් දක්වනවා. එක්කෝ අඩුවෙන් කතා කරනවා. එසේත් නැත්නම් කතා කරන්නේම නැහැ. අවසානයේ ජනතාව ද බලවත් පුද්ගයලයා ගැන පමණක් කතා බහ කොට වැඩි හානියක් සිදුවූ අය ගැන කතාකිරීම අමතක කොට දමනවා. සෑම විටම, සෑම තැනම සිදුවන්නේනේ මෙයයි. 

6 comments:

  1. අන්තිමට කියල තියෙන වාකයයේ සදහන් දේ නම් 100% ඇත්ත...
    සල්මන් පිස්සු නැටුවට පස්සෙ මං හිතන්නෙ වෙච්ච මේ වගේ පළවෙනි ඇක්සිඩන්ට් එක නේද

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙමයි.

      Delete
  2. මාධ්‍ය හැසිරිම ගැන කියල තියෙන කතාවනම් ඇත්තටම ගොඩක් බරපතල විදියට සැලකිල්ලට ගන්න ඕන එකක් මාත් හිතන්නේ. ජනප්‍රිය පුවතක, එසේ නොවන ඒත් වැදගත් ම කරුණු ගැන අවධානය අවුලවන මේ ලිපිය හරිම වැදගත්. ජනමාධ්‍ය ගැන විතරක් නොවේ සමාජ මාධ්‍ය ගැනත් මේ චෝදනාව ගොඩක් අදාල වෙන එකක් වේගෙන යන බවක් පේනවා.http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හැම තැනම සිදුවන්නේ මෙයයි. ධනය, බලය, ජනප්‍රියකම ඉදිරියේ යුක්තිය හා සාධාරණත්වය පස්සට යනවා.

      Delete
  3. දේශපාලනයට එන්න ඕනේ ජනප්‍රිය චරිත නෙමේ දේශපාලනය ගැන දැනුමක් තියෙන පුද්ගලයින්.

    ReplyDelete
    Replies
    1. ඒත් දියුණු නොදියුණු හැම රටකම වගේ ජනප්‍රිය චරිත තමයි දේශපාලනයට එන්නේ. ඒක අපේ වගේ රටවලත් එහෙමයි. අැමරිකාව වගේ රටවලත් එහෙමයි. නමුත් ඒ රටවල් දියුණු දේශපාලන සංස්කෘතියක් තියෙනවා. අපේ රටවල එහෙම නෑ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න