පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, July 31, 2015

රුධිර පරීක්ෂා ගැන ටිකක් දැන ගනිමු - Lets Know about Blood Tests


පෞද්ගලික රෝහලකින් හෝ පෞද්ගලිකව යම් වෛද්‍යවරයකුගෙන් හෝ ප්‍රතිකාර ලබාගන්නා අවසථාවලදී රුධිර පරීක්ෂාවන් කරගැනීමට බොහෝ විට සිදු වෙයි. අපි බ්ලඩ් රිපෝට් එකකුත් ගනිමුයැයි පවසා වෛද්‍යවරයා විසින් කොල කැබැල්ලක ඉංග්‍රීසි අකුරු කිහිපයක් ලියා දෙයි. ඩෙංගු පවතින කාලයක උණ රෝගයක ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් සඳහා අප යොමු කරවයි. මෙවැනි අවස්ථාවලදී හුදෙක් රුධිර පරීක්ෂණයක් යැයි පැවසුවද, විවිධ රෝග සඳහා විවිධ වර්ගයේ පරීක්ෂාවන් කළ යුතු බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. බොහෝ දෙනෙකු දන්නේ එය රුධිර පරීක්ෂාවයන නමින් පමණි. බොහෝ දෙනෙකු දැන සිටිය යුතු, මූලික රුධිර පරීක්ෂණ වර්ග කිහිපයක් ගැන ඔබ දැනුවත් කරන්නට සිතුවේ එබැවිනි.

පූර්ණ රුධිර ගිණුම් පරීක්ෂාව (FBC$CBC)

රුධිර පරීක්ෂාවලදී ප්‍රධාන වශයෙන්ම සහ පොදුවේ සිදුකෙරෙන්නක් වන්නේ පූර්ණ රුධිර ගිණුම් පරීක්ෂාව (Full Blood Count - FBC fyda Complete Blood Count - CBC) යි. පුද්ගලයකුගේ සාමාන්‍ය සෞඛ්‍යය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම පරීක්ෂාව සිදු කරනු ලබයි. රක්ත හීනතාවය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ද මෙම පරීක්ෂාව පිටිවහලක් වෙයි. මෙහිදී රතු රුධිරානු, සුදු රුධිරානු හා රුධිර පට්ටිකා සංඛ්‍යාව පරීක්ෂා කෙරේ. හීමෝග්ලොබීන්වලින් සමන්විත රතු රුධිරානුවලින් සිරුර පුරා ඔක්සිජන් රැගෙන යාම සිදු කෙරෙන අතර සුදු රුධිරානු මගින් ආසාදනවලට එරෙහිව සටන් වැදීම සිදු වෙයි. කැපීමක් වැනි අවස්ථාවකදී රුධිරය කැටිගැසීම හා රුධිර වහනය නවතාලීම පට්ටිකා මගින් සිදු වේ.

අප රුධිර පරීක්ෂාවක් සිදු කරගැනීමෙන් පසු වෛද්‍ය රසායනාගාරයෙන් නිකුත් වන වාර්තාවේ විවිධ කරුණු ඇතුළත් වී ඇති බව ඔබ දැක තිබෙන්නට පුළුවන. මේවා කියවා ගැනීමෙන් එහි ඇති දේ පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට හැකිය. මෙම වාර්තාවෙන් යම් කිසි රෝගයක් පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා නොදෙතත් වෛද්‍යවරයාට සෞඛ්‍ය ගැටළු පිළිබඳ අවබෝධ කරගැනීමට එය ප්‍රමාණවත්ය.

මෙම පරීක්ෂාවේ ප්‍රතිඵලවලට අනුව හීමෝග්ලොබීන් අඩු නම් එයින් කියැවෙන්නේ රක්තහීනතාවයයි. එයට හේතුව පරිපූර්ණ ආහාර වේලක් නොලැබීම හෝ අභ්‍යන්තර රුධිර වහනයක් විය හැකිය. හීමෝග්ලොබීන් වැඩි නම් එයින් කියැවෙන්නේ පෙනහළුවල යම් රෝගී තත්වයක් හෝ ඇට මිදුලුවල ගැටළුවක් ඇති බවය.

සුදු රුධිර සෛල අඩු නම් ඇට මිදුලුවල පිළිකාවක් හෝ ඒවායේ යම් කිසි ගැටළුවක් ඇති බව අවබෝධ කරගත යුතුය. එමෙන්ම යම්කිසි වෛරස් ආසාදනයක් නිසා ද මෙය සිදුවිය හැකිය. එමෙන්ම ජානමය විපර්යාසයන් නිසා ද මෙවැනි තත්වයන් පෙන්නුම් කරයි. එමෙන්ම පිළිකාවක් සඳහා රසායානාගාර චිකිත්සාවක් සිදුකරන විට ද සුදු රුධිර සෛල සංඛ්‍යාව පිළිබඳ සැළකිලිමත්වීම වැදගත් බැවින් එය පරීක්ෂා කිරීම සඳහා ද මෙය සිදුකරනු ලබයි. සුදු රුධිරානු අධික නම් සිරුර තුළ යම්කිසි ආසාදනයකට එරෙහිව සිදුවන ක්‍රියාකාරීත්වයක් සිරුරේ පවතින්නේ යැයි අවබෝධ කොට ගත හැකිය. එමෙන්ම ලියුකේමියා හෙවත් රුධිරගත පිළිකා වැනි තත්වයන්වලදී ද සුදු රුධිරානු වැඩි වෙයි.

රුධිර පට්ටිකා අඩුවීම මගින්  වෛරස් ආසාදන පිළිබඳ ද කියැවේ. එමෙන්ම සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් සිරුරේ සෞඛ්‍ය සම්පන්න පටකවලට ප්‍රහාර එල්ලකරන විට ද රුධිර පට්ටිකා අඩුවීම සිදු වේ. එමෙන්ම ප්‍රදාහ හෙවත් ඉදිමුම් හෝ ඇට මිදුලුවල ගැටලු අවස්ථාවන්වලදී ද පට්ටිකවල වැඩි වීම සිදු වේ.  

රතු රුධිරානු අවසාදන අනුපාතය (Erythrocyte sedimentation rate - ESR)

මෙම රුධිර පරීක්ෂාව මගින් සිරුරේ ඇති ප්‍රදාහ හෙවත් ඉදිමුම් තත්වයන්ගේ මට්ටම පිළිබඳ සොයා බැලේ. රසායානාගාරයේදී පරීක්ෂණ නලයේ පතුළට රුධිර සෛල ගමන් කිරීමට ගතවන කාලය පිළිබඳ සොයා බැලීම සිදු වෙයි. එය වඩා ඉක්මණින් පතුළට ළඟා වූයේ නම් සිරුරේ ඉදිමුම් තත්වයන් වැඩි බව කියැවේ. ආතරයිටිස්, එන්ඩෝකාඩිටිස්, ක්‍රෝන්ස්ගේ  රෝගය, තාවකාලික ආතරයිටිස් තත්වයන්, රූමැටික තත්වයන් ආදිය පිළිබඳ මෙම පරීක්ෂාවෙන් අවබෝධය ලබාගත හැකි වේ. අසාමාන්‍ය ලෙස උණ පවතින විට ද මෙම පරීක්ෂාව සිදු කෙරේ. සිරුරේ ස්වයං ප්‍රතිශක්තිය, අස්ථි ආසාදන, අපැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රදාහ තත්වයන්, පටක මිය යාම ආදිය පිළිබඳව ද මෙයින් සොයා බැලිය හැකිය. රුධිර පරීක්ෂණ වාර්තාවේ ඔබේ පවතින තත්වය සහ සාමාන්‍ය තත්වය දක්වා ඇති බැවින් යම් කිසි ගැටලුවක් ඇත්නම් ඔබට එතැනදීම යම් අවබෝධයක් ලබාගත හැකිය. මෙම අනුපාත මට්ටම වැඩි නම් රක්ත හීනතාවය, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, වකුගඩු රෝග, ගර්භනීභාවයේ ගැටලු සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රීත ගැටලු පැවතිය හැකිය.

කෑමෙන් පසු රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Postprandial glucose test/ Postprandial Blood Sugar  - PPBS)

මෙහිදී රුධිරයේ සීනි මට්ටම හෙවත් ග්ලූකෝස් මට්ටම පිළිබඳ සොයා බැලේ. මෙය කෑමෙන් පසුව පමණක් සිදු කරයි. නමුත් පූර්ණ රුධිර ගිණුම් පරීක්ෂාව සහ රතු රුධිරානු අවසාදන අනුපාතය පරීක්ෂාව සඳහා නිරාහාරව සිටිය යුතුය. සාමාන්‍යයෙන් කෑමෙන් පසු රුධිරයේ යම් තරමකින් ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. එවිට අගන්‍යාසය මගින් ඉන්සියුලින් නිකුත් කරයි. එමගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ඉවත්කොට ඒවා ශක්තිය ලෙස සිරුරේ තැන්පත් වෙයි. නමුත් දියවැඩියා තත්වය ඇති රෝගීන්ගේ සිරුර මෙම සාමාන්‍ය ආකාරයෙන් ඉනිසියුලින්වලට ප්‍රතිචාර දක්වන්නේ නැත. එවිට රුධිරයේ ග්ලූකෝස් මට්ටම එලෙසම ඉතිරි වේ. මේ ආකාරයට රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවන විට එමගින් ඇස්, වකුගඩු සහ රුධිර සෛලවලට හානි සිදුවිය හැකිය.

නිරාහාරව සිටීමෙන් පසු රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Fasting Blood Sugar- FBS)

මෙය අවම වශයෙන් පැය 12 ක් පමණ නිරාහාරව සිටීමෙන් පසු රුධිරය ලබාගෙන සිදු කරනු ලබන පරීක්ෂණයකි. මෙයින් ද රුධිරයෙහි ඇති ග්ලූකෝස් මට්ටම මැන බැලීම සිදු වේ. එනම් මෙය ද දියවැඩියා පරීක්ෂණයකි.

මෙම රුධිර පරීක්ෂණ වාර්තාවට අනුව ඔබේ ග්ලූකෝස් මට්ටම ඩෙසිලීටර් 1කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 70 - 100 (mg/dL) පවතින්නේ නම් එය සාමාන්‍ය තත්වයක් ලෙස සැළකේ. එමෙන්ම ඔබ අවසන් වරට ආහාරයට ගත් දෙය මත ද රුධිරයේ ග්ලූකෝස් මට්ටම තීරණය වේ. ඒ අනුව ඇතැම් විට මෙම සාමාන්‍ය මට්ටම 125 mg/dL දක්වා වුව ඉහළ යා හැක.

මෙම රුධිර පරීක්ෂණ ප්‍රතිඵල ඉහත කෑමෙන් පසු රුධිර ග්ලූකෝස් පරීක්ෂාව සඳහා ද අදාළ බව සළකන්න. එහි ද සළකා බැලෙන ග්ලූකෝස් මට්ටම ද මෙයම වේ.  

ග්ලූකෝස්වලට ඔරොත්තු දීමේ පරීක්ෂණය  (Glucose tolerance test - GTT)

රුධිරයෙන් කෙතරම් ඉක්මණින් ග්ලූකෝස් ඉවත්ව යනවා ද යන්න මෙහිදී පරීක්ෂා කෙරේ. මෙය සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් සඳහා සිදුකෙරුන ද සියලුම ගර්භනී මව්වරුන් ද මේ සඳහා නිර්දේශ කෙරේ. මෙම පරීක්ෂණයේ ද රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි නම් එය වෙනත් පරික්ෂණ සිදු කොට දියවැඩියා තත්වයක් ඇතිදැයි නිශ්චිත වශයෙන් දැනගත යුතුය.


සාමාන්‍යයෙන් තවත් රුධිර පරීක්ෂණ ඇතත් මෙහි සඳහන් කොට ඇත්තේ  ප්‍රධාන වශයෙන් සිදුවන ඒවා පමණි. මේවා පිළිබඳ යම් වැටහීමක් ඇත්නම් රුධිර පරීක්ෂණ වාර්තාව කියවා ඔබට යම් වැටහීමක් ලබාගන්නට දැන් හැකිවනු ඇත. එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වෛද්‍යවරයාගේ යම් යම් කරුණු අසා දැනගැනීමට ද මෙම වාර්තා පිළිබඳ ඇති දැනුම ඉවහල් වනු ඇත.

2 comments:

  1. මම අදමයි මේ පැත්තට ආවේ. වැදගත් ලිපියක්. පරිස්සමින් නැවත වරක් කියවන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට පැමිණීම ගැන සහ අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න