පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, July 21, 2015

පෙතන්ගොඩ උයනේ කටු උණ පඳුරු - Thorny Bamboo Trees at Pethangoda Historical Park

මියැදුණු උණ අත්තකින් ගළවා ගත් උණ කටුව

දැනට වසර ගණනකට පෙර එක් සඟරාවක් වෙනුවෙන් සීතාවක රාජධානිය පිළිබඳ ලිපියක් සකස් කිරීම සඳහා අවිස්සාවේල්ලේ බලා යාමට සිදුවිය. එයට හේතුව සීතාවක රාජධානිය පිහිටියේ එම ප්‍රදේශය අවට වීම නිසාය. මේ සඳහා කොළඹ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතෙකුද මගපෙන්වීම සඳහා සහය පළ කළේය. මෙයට පෙර ද සීතාවක රාජධානයේ යම් යම් ස්ථානවලට ගොස් තිබුණ ද යාමට අවස්ථාවක් නොලැබුණු එක් ස්ථානයක් විය. ඒ පෙතන්ගොඩ උයනයි.



සීතාවක රාජසිංහ රජුගේ මරණය සිදුවූයේ ද පෙතන්ගොඩ උයනේ තිබුණු කටු සහිත උණ ගසක කටුවක් ඇනීමෙන් බව ‛මන්දාරම් පුවත’ නම් ඓතිහාසික කෘතියේ සඳහන් වේ. එයට අනුව සීතාවක රාජසිංහ රජු කන්ද උඩරට රජ වූ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය රජු සමඟ සටන් කොට, එම සටනින් පැරදී යළි සීතාවක රාජධානිය කරා පැමිණෙමින් සිටියේය. මෙසේ පැමිණෙමින් සිටින අතරතුර පෙතන්ගොඩ උයන අසළ දී අසු පිටින් වැටී උණ කටුවක් පාදයේ ඇනී තිබේ. මේ සිදුවීම ගැන පැරණි ජන කවියක මෙසේ විස්තර කෙරේ.

රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණකටුව පතුලේ ඇනුණාය
එක්‌ව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය’ 

‘සංදේශය’ චිත්‍රපටය වෙනුවෙන් අරිසෙන් අහුබුදු සූරීන් ලියන ලද ගීයකට ද මෙම ජන කවිය පදනම් වී තිබේ. ධර්මදාස වල්පොල විසින් ගායනා කරනු ලැබූ, බොහෝ දෙනෙක් අසා හුරු පුරුදු එම පද කිහිපය මෙසේය.


රුදුරු පෙතන්ගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුළේ ඇනී වන වුණා
එක්වැ සිටි සැවොම මතුරා විස ද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමේත් ගියා නැති වුණා.

එම ගීත කොටස මෙතැනින් අසන්න.


මෙසේ උණ කටුව ඇනී ඇති වූ තුවාලය සුව කරගත නොහැකි වීම රජුගේ මරණයට හේතුවී යැයි සඳහන් වේ. සීතාවක රාජසිංහ රජු විමලධර්මසූරි රජු සමග මෙතරම් වෛරයකින් පසුවන්නට ඇත්තේ ඔහු සිංහලයන්ගේ පක්ෂයට හැරෙන්නට පෙර පෘතුගීසීන් සමඟ එක්ව සිටි නිසා විය යුතුය. එමෙන්ම සීතාවක රාජසිංහ රජු කොළඹ කොටුවට පහර දෙන අවස්ථාවේ කොටු පවුර ශක්තිමත් කොට ආරක්ෂාකරීමේ කටයුතු සිදු කළේ ද එවක කොනප්පු බණ්ඩරයන්ය. කෙසේ නමුත් අවසානයේ සීතාවක රජු කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය රජු හමුවේ පරාජයට පත් විය. 




කෙසේ හෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතාගේ මග පෙන්වීමෙන් පෙතන්ගොඩ උයනට යාමට අවස්ථාව ලැබිණි. 

එහි කටු උණ පඳුරු දෙකක් තිබේ. වර්තමාන තත්වය පිළිබඳව නම් කිසිවක් කිව නොහැකිය. අප එහි යන විට එක් පඳුරක මියැදුණු උණ අත්තක් ඉවත් කරමින් පැවති නිසා පුරා විද්‍යා නිලධාරී මහතාව ද දැනුවත් කොට එම මියැදුණු උණ අත්තේ තිබී උණ කටුවක් ගළවා ගතිමි. මුලින්ම දක්වා ඇති පින්තූරයේ දැක්වෙන්නේ එයයි. එය එදා සිට සුරක්ෂිතව තබා ගනිමින් ඉතිහාසයට ආදරය කරන සහෘදයන්ට පෙන්වමින් තවමත් මා සමගම සිටී. තිබේ. මෑත දිනක එය දැකීමෙන් ඇති වූ අතීත ස්මරණය මෙසේ බ්ලොග් සටහනකට ගොනු කොට එම උණ කටුව ‛බ්ලොග් ගත කරන්නට’ සිත් විය. 

4 comments:

  1. උණ කටුව ඇනීමෙන් පසු ගොම යෙදූ විසක් වෙදා තරහට රජුගේ තුවාලයේ තියා බැන්දා. එම නිසා Tetanus හෝ Septicemia තත්වය නිසා රජුගේ මරණය සිදු වන්න ඇති

    ReplyDelete
    Replies
    1. රජුට විෂ බැන්ද කතාවක් ඉතිහාසයේත් තිබෙනවා. ඔබේ අදහස නිවැරදි වන්නට පුළුවන්.

      Delete
  2. රුදුරු පෙතන්ගොඩ
    ඒක කවියක් නෙවී සිංදුවක්... අහල නැතෙයි ඉස්සර ඕක ජාතික එකේ ගියා නිතරම... සංදේශය ෆිලුවෙ සිංදුවක්... ලියල තියෙන්නෙ අරිසෙන් අහුබුදු මහත්මයා විසින්...
    මං කියන එක ෂුවර් නැත්තං මේ ලිංක් එක දිගේ ගිහින් බලන්නකො

    http://yasanathsithuwili.blogspot.com/2015/07/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. කෙසේ නමුත් මට මෙහි මුල් විස්තරය එක තැනකින් දැනගන්නට ලැබුණා. ඒ නිසා ඉහත විස්තරය පොඩි සංශෝධනයක් කළා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න