පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 27, 2015

කාලගුණික සිදුවීම නිසා ඇති වන පියාඹන පීරිසි - UFO caused by Natural Phenominas


ආගමික ස්ථාන වන්දනාකිරීම සඳහා දෙවි දේවතාවුන් පැමිණෙන්නේය යන්න බොහෝ කාලයක සිට අපගේ ජන විඥානයේ පවතින්නක් බව සැබෑවකි. නමුත් මෑත කාලයේ සිට ඔවුන්ට වඩා වෙනස් වර්ගයක් ජීවීන් කොටසක් ද වෙහෙර විහාර වන්දනා කරන්නට පැමිණෙන බවට විවිධ පුවත් අසන්නට ලැබේ. ඒ පිටසක්වල ජීවීන්ය. මෙයට පෙර ද අප රටේ ස්ථාන කිහිපයකම පිටසක්වල ජීවීන් දර්ශනය වූ බවට විවිධ පුවත් වාර්තා වී තිබුණ ද, වන්දනාමාන කිරීම සඳහා ආගමික සිද්ධස්ථානයකට පැමිණි පුවතක් මුල්වරට වාර්තා වන්නේ පොලොන්නරුවේ රන්කොත් වෙහෙරෙනි. මොවුන් පැමිණ ඇත්තේ යානා විශේෂයකින් බවත් වාර්තා පළ විණි. සෝමාවති චෛත්‍යය අසල ඇති කුටියක ද අද්භූත ආකාරයේ ඡායාරූප රැසක් ප්‍රදර්ශනය කෙරෙන අතර ඒවායේ සඳහන් වන්නේ එම ඡායාරූපවල ඇත්තේ එම චෛත්‍යය වන්දනාමාන කිරීමට පැමිණෙන විවිධ දෙවිවරුන් බවය. කෙසේ නමුත් ඔවුන් පිටසක්වල ජීවීන් යැයි ඒවායේ සඳහන් කෙරෙන්නේ නැත.  රන්කොත් වෙහෙර වඳින්නට පිටසක්ල ජීවීන් පැමිණි පුවත් බොහෝ මාධ්‍යවලින්  වාර්තා කෙරිණි. අපගේ ලෝකයට බැහැරින් පැමිණෙන්නන් සියලු දෙනාම පිටසක්වල ජීවීන්ය යන වචනාර්ථයෙන් පමණක් සලකා බැලූවිට දෙවිදේවතාවුන් ද පිටසක්වල ජීවීන් විය යුතුය. සෝමාවතියේ මෙන් මෙයට දෙවිදේවතාවුන් යනුවෙන් විස්තර නොකෙරන්නට හේතුව ඇතැම් විට රන්කොත් වෙහෙරට මොවුන් පැමිණෙන්නේ යානාවලින් වන නිසා විය හැකිය. දෙවිදේවතාවුන් යානාවලින් පැමිණෙන කතා අප ඇසා නැත. එසේ හෙයින් ඔවුන් පිටසක්වල ජීවීන්යනුවෙන්ම හැඳින්වීමේ වරදක් නැත.


පිටසක්වල ජීවීන් පිළිබඳ කතා මෑත ඉතිහාසයේදී මුළින්ම කරලියට පැමිණෙන්නේ පියාඹන පීරිසි’ (Flying Saucers) දර්ශනය වීමේ සිදුවීම් සමගිනි. පියාඹන පීරිසි පිළිබඳ වාර්තා මධ්‍යතන යුගයේ සිටම ලැබෙන මුත් මෑත ඉතිහාසයේ එය කරළියට ගෙන එන්නට හේතුවන්නේ 1947 වර්ෂයේ සිදුවූ එක්තරා සිදුවීමකි. 1947 ජුනි 24 වැනිදා ඇමරිකානු ගුවන් නියමුවකු හා ව්‍යාපාරිකයකු වූ කෙනත් ආර්නෝල්ඩ් සිය ගුවන් යානය පදවාගෙන යද්දී ගුවනේදී දුටුවේ යැයි පැවසූ පීරිසියක හැඩය ඇති යානාවේ කතාව නිසා ලොව පුරාම පියාඹන පීරිසි පිළිබඳ විවිධ අදහස් ඇතිවන්නට පටන් ගත්තේය. ඔහු පැවසූයේ එම පීරිසියේ හැඩැති යානය වේගයෙන් කරකැවෙමින් තම ගුවන් යානය ඉදිරියෙන් ගමන් කළ බවය. එය පීරිසියක්, කවයක්, බිම්බයක්, පිඟානක් වැනි හැඩයක් ගත් බව ඔහු පවසා තිබිණි. කෙසේ නමුත් පියාඹන පීරිසියන්න වඩාත් ජනප්‍රිය පදය බවට පත්විය.  එමෙන්ම 1947 වර්ෂයේදීම ඇමරිකා එක්සත් ජනපදයේ රොස්වෙල් ප්‍රදේශය ආශ්‍රිතව කඩා වැටුණේ යැයි පැවසෙන කාලගුණ බැලූනයේ කතාව ද ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. එය කාලගුණ බැලුමක් නොව පියාඹන පීරිසියක් බවට කොතෙකුත් කතා පැතිර ගියේය. එහිදී හමුවූයේ යැයි පැවසුණු පිටසක්වල ජීවීන් දෙදෙනාගේ සිරුරුවල වීඩියෝ දර්ශන ද අන්තර්ජාලයේ තිබේ. කෙසේ වෙතත් ඇමරිකානු රජය මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් එය කාලගුණ බැලූනයක් බව උදක්ම ප්‍රකාශ කොට සිටියේය. 1952 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව මේවාට පොදු නමක් ලබාදෙන්නට පියවර ගත්තේය. ඒ හඳුනානොගත් පියාසර වස්තූන්’ (UFO - Unidentified Flying Objects) යනුවෙනි. එවිට පීරිසියක් පමණක් නොව හඳුනාගත නොහැකි, ඕනෑම හැඩයකින් යුක්ත වස්තු මේ ගණයට වැටිය හැකිය. කෙසේ නමුත් පීරිසි හැඩයට ඇති තැන අහිමිවූයේ නැත.

රේනියර් කන්ද - වොෂිංටන් ඇමරිකා එක්සත් ජනපදය
මේවා කාවාකර වළාකුළු නිසා ඇතිවේ

පියාඹන පීරිසි දුටුයේ යැයි පැවසෙන සිදුවීම් ලෝකයේ බොහෝ ස්ථානවලින් නොගිනිය හැකි තරම් වාර්තා හමුවේ. අනුරාධපුරයේදී ද එවැන්නක් ඡායාෑප ගත වී තිබුණු අතර, එය රාවණාගේ දඬුමොණරයයනුවෙන් ද විස්තර කෙරුණු අවස්ථා විය. පසුව එය කැමරාව ඉදිරියෙන් කුරුල්ලකු පියාඹා යද්දී ඇතිවූ ඡායාවක් යැයි ද ඇතැම් තැනක සඳහන් විය. පියාඹන පීරිසි පිළිබඳ කතාකිරීමේදී මෙවැනි දෘෂ්ඨි මායාවන් පිළිබඳවද සඳහන් කළ හැකිය. මෙයින් වඩාත් ප්‍රකට දෘෂ්ඨි මායාවන් වන්නේ කාලගුණික ප්‍රපංච’ (Meteorological Phenomina) හෝ ස්වභාවික ප්‍රපංච’ (Natural Phenomina) ය. සුළඟ හේතුවෙන් පියාඹන පීරිසි යැයි හැඟෙන අන්දමේ හැඩයන්ට ලක්වූ වළාකුළු විවිධ  අවස්ථාවලදී දැකිය හැකිය. මේවා හදිසියේ දර්ශනය වූ විට පියාඹන පීරිසි පිළිබඳව ඇති පූර්ව විඥානය ද හේතුවෙන් පෙනෙන්නේ අන් කිසිවක් ලෙස නොව පියිඹන පීරිසියක් ලෙසින්මය. මේ ඇතැම් වළාකුළු වේගයෙන්, කරකැවෙමින් ගමන් කරන අවස්ථාවන් ද දක්නට ලැබේ. එවිට පියාඹන පීරිසි පිළිබඳ අසා ඇති සෑම විස්තරයකටම එම දර්ශනයන් සමාන බැවින් ඉන් ඔබ්බට යමක් සිතන්නට පෙළෙඹෙනවුන් අවමය. එක්වර පියාඹන පීරිසි යැයි පවසා පසුව තමා වළාකුළකට රැවටුණු බව පැවසෙන සිදුවීම් ද බොහෝ තැන්වලින් වාර්තා වී තිබේ.

කෙසේ නමුත් පියාඹන පීරිසි සඳහා හඳුනානොගත් පියාසර යානායන පදය ආදේශ කීරිමත් සමඟ පියාඹන පීරිසි සඳහා වූ ස්ථානය තරමක් පහළ වැටුණු බැව් පෙනෙන්නට තිබේ. අනෙක ඡායාරූපකරණ තාක්ෂණය දියුණුවීමත්, බොහෝ දෙනා අතර කැමරා ආදිය භාවිතය සුලභවීමත් නිසා අතීතයේ ඇසින් පමණක් දැක, කතාවේදී තවත් විස්තර එකතු වී සමාජ ගත වූ කාලගුණික ප්‍රපංච නිසාවෙන් ඇතිවුණු, පියාඹන පීරිසි හැඩයේ වළාකුළු පිළිබඳ තොරතුරු මේ වන විට පැහැදිලි ලෙසම අනාවරණය වී තිබේ.

ඩිජිටල් කැමරාවන්ගෙන් ඡායාරූප ගැනීමේදී වායුගෝලයේ ඇති ජල වාෂ්ප දිලිසිීම නිසා ඡායාරූපම මත ඇතිවන සුදු පැහැ රවුම් ලප  දෙවියන් ලෙස අර්ථදැක්වීම තවමත් සිදුවේ. සෝමාවතී චෛත්‍යය වැඳ පුදා ගැනීම සඳහා විවිධ දෙවිවරුන් පැමිණෙන්නේ යැයි සඳහන් කරමින් ප්‍රදර්ශනය කෙරෙන ඡායාරූපවලද ඇත්තේ විවිධ කාලගුණ හා ස්වභාවික ප්‍රපංචයන්ගෙන් ප්‍රතිපලය නිසා ඇතිවන දර්ශන මිස දෙවිදේවතාවුන් වන්නට ඉඩක් නැත. අප අවට ජල වාෂ්ප වැඩි අවස්ථාවක ඩිජිටල් කැමරාවේ ක්ෂණික ආලෝකය යොදා ඡායාරූප ගන්නා ඕනෑම අවස්ථාවක මෙවැනි දර්ශන ලබාගත හැකිය. එමෙන්ම අතිරේකව අධි බලැති ආලෝකයන් යොදවා ඇති ස්ථානවල, එම ආලෝක ධාරා වායුගෝලයේ විපර්යාසයන් සමග මුසුවීමෙන් ද අද්භූත දර්ශන මැවිය හැකිය. රන්කොත් වෙහෙරේ සිදුවීමේදී ද එය සත්‍යයක්දැයි විමසා බැලීමට අදාල සිදුවීම දුටුවේ යැයි පැවසෙන පුද්ගලයා සමග රන්කොත් වෙහෙර භූමියට ගිය මාධ්‍යවේදීන්ට ද පැය ගණනාවක් ගෙවී ගිය ද කිසිවකු දැකගන්නට ලැබී නැත.


බුදු දහම යථාර්තවාදී දහමක් විනා ආශ්චර්යයන් මත පිහිටා මිනිසුන් ආකර්ෂණය කරවාගැනීමේ දහමක් නොවේ. ආශ්චර්යමත් සිදුවීම් හුවා දක්වමින් මිනිසුන්ගේ ආකර්ෂණය ලබාගන්නට උත්සාහ කරන කිසිදු තැනක යථාර්ථයක් නැත. එබැවින් මේ දෙවිදේවතාවුන් ආගමික ස්ථාන කරා පැමිණෙන්නේ යැයි පැවසෙන කතා සියල්ල ප්‍රබන්ධ හෝ ක්ෂණිකව ඇතිවූ දෘෂ්ඨි මායාවන් මිස අන් කිසිවක් නොවේ.

Monday, November 23, 2015

මල්ලී, කිරි පැකට් එකයි - පලතුරු බීම දෙකයි ගේන්න!


ගම්පහට කිට්ටුව රතුපස්වල පැත්තේ මගේ අතිජාත මිත්‍රයෙක් ඉන්නවා. දැනට අවුරුදු ගාණකට කලින් මිනිහ වැල්ලවත්ත පැත්තේ තැනකින් කොම්පියුටරයක් ගන්නවා කියලා මටත් එන්න කිව්වා ඒක ගැන පොඩ්ඩක් බලන්න. මිනිහා මේක ගත්තේ නම් සෑහෙන්න ආමාරුවෙන්. ගෙදරින් සල්ලි ඉල්ල ගත්තා. ගෙදර තිබුණු තවත් මොනවද වික්කා. ණයට ගත්තා. අන්තිමේදී කොම්පියුටරේ ගන්න වෙලාව වෙනකොට අතේ සතේ නැති වෙනකල්ම සල්ලි හිඳුණා. මේ හින්දාම තවත් යාළුවෙක් කැමති වුණා වැඩ ඇරිලා යන ගමන් තමන්ගේ වාහනෙන් කොම්පියුටරේ ගෙදරට ගෙනත් දෙන්න. 

අපි තුන් දෙනත් එක්ක වැල්ලවත්තෙන් මේකත් පටවගෙන කඩුවෙල පැත්තට එන්න පටන් ගත්තා. මාලඹේ හරියෙදි යාළුවා කිව්වා, 

මොනව හරි බීලා යමු නේද බං?” 

කියලා. 

“ඕන නෑ. දැන් කෙලින්ම ගෙදරනේ යන්නේ. ගෙදර ගිහින් තේකක් බොමු” 

කියලා මම කිව්වා. මම එහෙම කිව්වේ දැන් මේකා අතේ සල්ලි නැති හින්දයි. අන්තිමේදී කොහොම හරි මාලඹේ හරියෙදි වාහනේ නතර කරලා කඩේකට ගියා මොනව හරි බොන්න. 

“උඹ මොනවද බං බොන්න කැමති?” 

යාළුවා මගෙන් ඇහුවා. මේකා අතේ සල්ලිත් නැති නිසා වැඩි බරක් දෙන්නත් හොඳ නැහැනේ. ඉතිං මම කිව්වා, 

“කිරි පැකට් එකක් බොමු” 

කියලා. යාළුවා ඊට පස්සේ බීම ඕඩර් කළා. 

“මල්ලී අපට කිරි පැකට් එකයි, පලතුරු බීම දෙකකුයි ගේන්න!” 

මම ඉතිං කිරි  පැකට් එක බිව්වා. 

අරුන් දෙන්නා පලතුරු බීම බිව්වා. 

ඔන්න ඉතිං යාළුවන්ට සල්ලි ඉතුරු කරන්න ගිහින් මට වුණු දේ. 

Sunday, November 22, 2015

අත බලා බ්ලොගයෙන් සාස්තර කියමු




අත බලා ශාස්ත්‍ර කීම අප බොහෝ විට දැක ඇත්තේ අහිගුණ්ඨික ගැහැනුන්ගෙන් නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳ සිතන්නේ ඉතා සරල ආකාරයෙන්.  මෙය එතරම් පලක් ඇති දෙයක් නොවේ යැයි ඇතැම් විට සිතෙන්නට පුළුවන්. අප සාමාන්‍යයෙන් අත බලා ශාස්ත්‍ර කීම යැයි හැඳින්වුවත් මෙය හඳුන්වන නිවැරදි ආකාරය වන්නේ ‛සාමුද්‍රික ශාස්ත්‍රය’ යන්නයි. ඉතා පුරාණයේ ‛පාර්වතී’ දේවියගේ අනුග්‍රහයෙන් ‛නන්දි’ දිව්‍ය රාජයාට ද, ඔහුගෙන් ‛කමලමුණි’ නම් ඍෂිවරයාට ද, ඔහුගෙන් ‛මච්චකෙන්ද’ නම් ඍෂිවරයාට ද මෙය ලැබුණු බව ඇතැම් පතපොතෙහි දැක්වෙනවා. එමෙන්ම ‛සමුද්‍ර’ නම් ඍෂිවරයෙකු විසින් ලෝකයට දායාද කළ ශාස්ත්‍රයක් යැයි තවත් පොතපත්වල සඳහන් වෙනවා. ඒ අනුව බලන විට මෙය ඉතා පැරණි ශාස්ත්‍රයක්. අහිණ්ඨික ගැහැනුන් අතබලා ශාස්ත්‍ර පවසන්නේ මෙම ඉපැරණි ශාස්ත්‍රය පිළිබඳ කිසිඳු දැනුමකින් නොවේ. මේ නිසා මෙය බොහෝ දෙනෙකුගේ නොසැළකිල්ලට බඳුන්ව තිබෙනවා. ඒ නිසාම අප කළලයක්ව සිටි සමයේ අත්ල තදින් මිරිකා සිටීම නිසා ඇති වූ රේඛාවලින් පුද්ගලයකුගේ ජීවිතය ගැන විස්තර කළ හැකිදැයි තවත් අය විමසා සිටිනවා. කෙසේ වෙතත් මෙහි ඇති ශාස්ත්‍රීය පදනම නිසා ඔබේ අත්ල ඔබට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්නට මම තීරණය කළා. 

එහි ඇති ශාස්ත්‍රීය කොටස් ඉවත් කොට ඔබට වඩාත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි මෙම විස්තරය සකස් කොට තිබෙන බවත් සැළකිය යුතුයි. හස්ත රේඛා විශේෂඥයන් පවසන පරිදි කෙනෙකුගේ අත්වල රේඛා පරීක්ෂාකිරීමෙන් ඔහුගේ/ඇයගේ අතීත, වර්තමාන හා අනාගත යන කාල තුනම ගැන යම් යම් තොරතුරු දැනගත හැකියි. මෙම විස්තරය මගින් ඔබට අතක් බලා එවැනි තොරතුරු දැනගැනීම සඳහා මූලික මගපෙන්වීමක් ලබාදෙනවා. 

අත බලා ශාස්ත්‍රකීමට පෙර අප මුළිනම් කළ යුත්තේ අතේ රේඛා හා කොටස් හඳුනාගැනීමයි. මෙම විස්තරය සහ රූපසටහන ඔබට ඒ සඳහා උපයෝගී කරගන්නට පුළුවන්. 

රූප සටහන -1 


1. ඇඟිලි තුඩු 2. ඇඟිලි 3. මහපටැඟිල්ල 4. ඇඟිලි පුරුක් තල 5. ජීවන රේඛාව 6. ශීර්ෂ රේඛාව 7. හෘදය රේඛාව 8. දෛව රේඛාව 9. රවි රේඛාව 10. බුධ හෙවත් සුඛ රේඛාව 11. විවාහ රේඛාව 12. සිකුරු හෙවත් කිවි මණ්ඩලය 13. චන්ද්‍ර මණ්ඩලය 14. කුජ මණ්ඩලය 15. ගුරු මණ්ඩලය 16. ශනි මණ්ඩලය 17. රවි මණ්ඩලය 18. බුධ මණ්ඩලය 

අතේ රේඛා හා කොටස් පෙළ ගැස්මට අනුව පහත පරිදි විස්තර වන බව සැළකිය යුතුයි. 

1. ඇඟිලි තුඩු 

ඇඟිලි තුඩු ප්‍රධාන වශයෙන් හතරැස්, රවුම් සහ උල් යන හැඩයන්ගෙන් යුක්තයි. රූප සටහන - 2න් ඔබට ඒ පිළිබඳ තවත් පැහැදිලි වෙනවා. 

රූප සටහන - 2 


හතරැස් ඇඟිලි තුඩු 
මෙවැනි ඇඟිලි තුඩු සහිත පුද්ගලයා ප්‍රායෝගික, යථාර්තවාදී, පොලොවේ පය ගසා ජීවත්වන අයකු වනවා. ඔහු/ඇය විශේෂයෙන් මකර, වෘෂභ හෝ කන්‍යා ලග්න හිමි නම්, ඔවුන් සෑම දෙයක්ම ක්‍රමානුකූලව, යම් පිළිවලකට වැඩකටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වන අයයි. 

උල් ඇගිලි තුඩු 
මෙවැනි ඇඟිලි තුඩු සහිත පුද්ගලයන් තරමක් දුර්ලභ වන අතර ඔවුන් ලෞකික ජීවිතයක් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ජීවිතයේ ප්‍රායෝගික පැත්ත ගැන කල්පනා නොකරන ඔවුන් බොහෝ විට ජීවත් වෙන්නේ සිහින ලෝකවලයි. එසේත් නැත්නම් සිතින් මවාගත් කාල්පනික ලෝකවලයි. මෙවැනි පුද්ගලයන් කවි ලිවීමට, සංගීතයට හෝ වෙනත් කලා කටයුතුවලට දක්ෂ අය වනවා. 

රවුම් ඇඟිලි තුඩු 
මෙය හතරැස් සහ උල් යන හැඩ අතර මධ්‍යස්ථව පවතින්නක් බව කිව යුතුයි. මෙවැනි ඇඟිලි තුඩු ඇති පුද්ගලයන්  සාමාන්‍ය ජීවිතයකට කැමති අයයි. ඔවුන් ජීවිතයේ කිසිම අන්තයකට නොගොස් මධ්‍යස්ථව ජීවත්වන්නට උත්සාහ දරනවා. 

2. ඇඟිලි 

කෙටි ඇඟිලි 


රූප සටහන - 3 



බොහෝ පුද්ගලයන්ගේ ඇඟිලි දෙස් බැලූ විට ඒවායේ අසාමාන්‍යතාවයන් පෙනෙන්නේ නැහැ. නමුත් ඇතැමුන්ගේ ඇඟිලි ඔවුන්ගේ අත්ලේ ප්‍රමාණයට සාපේක්ෂව පැහැදිලි ලෙසම දිග හෝ කෙටි බව පෙනෙනවා. මෙහි පින්තූරයෙන් පෙනෙන්නේ ඒ ආකාරයට කෙටි ඇඟිලි සහිත අත්ලක්. මෙවැනි ඇඟිලි සහිත පුද්ගලයන් ලෙහන්න තියෙන මල්ල ඔබ ඔබා බලන අය නෙවෙයි. ඉළක්කය හරි හැටි දන්නවා නම් අහල පහළ ඇති දෙයට දෙස හොර ගල් අහුලමින් බලා ඉන්නවාට වඩා කෙළින්ම ඉළක්කය කරා යන්න කැමැත්තක් දක්වනවා.  ඔවුන් සුළු දේවල් ගැන සිතන්නේ නැහැ. හිත හිතා, කල් ගත කරන්නටත් ඔවුන් කැමති නැහැ. 

දිගු ඇඟිලි 

රූප සටහන - 4 



පින්තූරයෙන් පෙනෙන්නේ දිගු ඇඟිලි සහිත අත්ලක්. ඔවුන් යම් දෙයක් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ ඉතා සෙමින්. ඔවුන් හැම දෙයක් ගැනම ඕනෑවටත් වඩා සැලකිලිමත් වෙනවා. හැම දෙයක්ම කරන්නට කලින් එහි වාසි අවාසි, හොඳ නරක වගේ හැම දෙයක් ගැනම සිතනවා. ඒ නිසාම මෙවැනි අයට ජීවිතයේ ලැබිය යුතු බොහෝ අවස්ථාවන් අහිමි වන බවත් සඳහන් කළ යුතුයි. වේගවත් ලෙස වැඩකටයුතු කරන්නට කැමැති අය මෙවැනි දිගු ඇඟිලි සහිත පුද්ගලයන්ගේ වැඩ නිසා නොඉවසිලිමත් වන අවස්ථාවන් ද තිබෙනවා. 

සුමට ඇඟිලි 

රූප සටහන - 5 



පින්තූරයේ සුමට ඇඟිලිවල ස්වභාවය දැක්වෙනවා. මෙවැනි ඇඟිලි සහිත පුද්ගලයන් බුද්ධියට වඩා හැඟීම්වලට මුල් තැන දෙන අයයි. ඔවුන් හැඟීම්වලට මුල් තැන දී ඉක්මණින් ක්‍රියාත්මක වනවා. බොහෝ විට යම් දෙයක් දෙස විශ්ලේෂණාත්මකව බලන්නට ඔවුන් උනන්දුවක් දක්වන්නේ නැහැ. සුන්දර දේ අගය කරන්නට ඔවුන් කැමතියි. 

ගැට සහිත ඇඟිලි 

රූප සටහන - 6 



පින්තූරයේ එවැනි ඇඟිලිවල ස්වභාවය දැක්වෙනවා. මෙවැනි ඇඟිලි සහිත පුද්ගලයන් කිසි විට ඉක්මන් තීරණ ගන්නේ නැහැ. ඔවුන් සෑම දෙයක්ම හොඳින් සොයා බලා, ඒවා විශ්ලේෂණය කොට නිවැරදිම තීරණය ගන්නටයි උනන්දු වෙන්නේ. ඔවුන් හැඟීම්වලට වඩා බුද්ධියට මුල්තැන දෙන අයයි. සිත තුළ යම් යම් දේ මවා ගැනීමේ හැකියාව හෙවත් පරිකල්පන ශක්තියක් මෙවැනි අයට අඩුයි. 





3. ඇඟිලි පුරුක් තල 

රූප සටහන - 7 



මෙහි ඇති පින්තූරයේ දැක්වෙන පරිදි මහපටඟිල්ල හැර අත් දෙකෙහිම ඇඟිලි අටෙහි පුරුක් තල මේ ආකාරයට A, B  සහ C යනුවෙන් කොටස් තුනකට බෙදෙනවා. මෙහි A වලින් භෞතික තලය ද, B වලින් භාවාත්මක තලය ද සහ C වලින් මානසික තලය ද පෙන්නුම් කෙරෙනවා. ඇඟිලි පුරුක්වල දිග සහ මහත අනුව යම් පුද්ගලයකුගේ භෞතික, භාවාත්මක සහ මානසික තත්වයන් ගැන නිගමනයකට පැමිණිය හැකියි. උදාහරණයක් ලෙස යම් පුද්ගලයකුගේ A හෝ B හෝ C හෝ යන ඇඟිලි පුරුක් තල අනෙක් තලවලට වඩා බැලූ බැල්මටම මහත, සිහින්, දිග හො කෙටි නම්, එම තලයෙන් කියැවෙන තත්වයන්ට අනුව ඔහුගේ/ඇයගේ ජීවිතය හැඩගැසී ඇති බව පැවසිය යුතුයි. 

4. මහපටැඟිල්ල 
අත්ලේ අනෙක් ඇඟිලිවලට වඩා මහපටැඟිල්ල වැදගත්. එම ඇඟිල්ල සිහින්, හතරැස් හෝ සිහින් යන ස්වභාවය මත අදාළ පුද්ගලයාගේ ජීවිතය හැඩගැසෙන බව සඳහන් කළ යුතුයි. ඊට අමතරව පහත පරිදි ද මහපටැඟිල්ල බෙදා දැක්විය හැකියි. 

දැඩි මහපටැඟිල්ල 
දැඩි ස්වභාවයෙන් යුක්ත, පහසුවෙන් නොනැමිය හැකි, තුඩ පිටුපසට නොනැමෙන මහපටැඟිල්ල මෙම වර්ගයට අයත් වෙනවා. මෙවැනි ඇඟිල්ලක් හිමි පුද්ගලයා මුරණ්ඩු, වෙනස් නොකරන අදහස් ඇති, පහසුවෙන් වෙනස්වන්නට අකැමැති, තමා සිටින වටපිටාවට අනුව හැසිරෙන්නට අකමැති අයකු වෙනවා. වඩාත් සතුටුවන්නේ මුදල් වියදම් කිරීමෙන් නොව ඒවා ඉතිරි කිරීමෙනුයි. ඔවුන් උපතින්ම පරිත්‍යාගශීලී අය නොවෙයි. 

නම්‍යශීලී මහපටැඟිල්ල 
මෙවැනි මහපටැඟිල්ලක් සහිත පුද්ගලයන්නේ නියපොත්ත සහිත ඇඟිලි පුරුක් තලය පහසුවෙන් පසුපසට නැවෙනවා. එවැනි පුද්ගලයන් උපතින්ම පරිත්‍යාගශීලී අයයි. මුදල් වියදම් කිරීමට ලෝභකමක් නැහැ. නිතර වෙනස්වන්නට කැමති, සෑම දෙයටම නම්‍යශීලී ලෙස ප්‍රතිචාර දක්වන්නට මොවුන් කැමතියි. අලුත් අදහස් ගැන වැඩි උනන්දුවක් දක්වනවා. 

විශාල මහපටැඟිල්ල 
මෙයින් පෙන්නුම් කෙරෙන්නේ බලය, යමක් ළඟාකරගැනීමට ඇති හැකියාව, ආත්ම විශ්වාසය සහ අභ්‍යන්තර ශක්තිය ආදියයි. එවැනි ඇඟිල්ලක් හිමි පුද්ගලයා එම ගුණාංගවලට හිමිකම් කියනවා. බොහෝ විට නායකයන්ට, යම්කිසි තැනක වැඩකටයුතුවලට මූලික තැන සෙමින් එහි වගකීම් ගන්නා පුද්ලයන්ට මෙවැනි මහපටැඟිලි පවතිනවා. 

කුඩා මහපටැඟිල්ල 
මෙයින් පෙනෙන්නේ දුර්වලභාවයයි. මෙවැනි ඇඟිල්ලක් සහිත පුද්ගලයා කැමති වන්නේ නායකයකු වීමට නොව අනුගාමිකයකු වීමටයි. ජයග්‍රහණය ලැබීම සඳහා අවශ්‍ය කරන අධිෂ්ඨානය මෙවැනි පුද්ගලයන් සතුව නොමැති නිසා ඔවුන්ව පහසුවෙන් පරාජය කළ හැකියි. අනෙක අත්ලේ වෙනත් ස්ථානවල ඇති ශුභ ලක්ෂණ ද මෙවැනි මහපටැඟිල්ලක් නිසා දුර්වල තත්වයට පත්වෙනවා. 

මධ්‍යස්ථ මහපටැඟිල්ල 
මෙවැනි පුද්ගලයන් ජීවිතයේ සාමාන්‍ය දියුණුවක්, සාර්ථකත්වයක් සහිතව සාමාන්‍ය ජීවිත ගත කරන අයයි. 

අධිෂ්ඨානය සහ තාර්කික බව 
මහපටැඟිල්ලේ මුල්ම පුරුක් තලය (නියපොත්ත සහිත තලය) අධිෂ්ඨානය පෙන්නුම් කරනවා. දෙවැනි තලයෙන් තාර්කික බව පෙන්නුම් කරනවා. 

සාමාන්‍ය අතක දෙවැනි පුරුක් තලය පළමු පුරුක් තලයට වඩා සුළු වශයෙන් දිගින් යුක්තයි. එයින් පෙන්නුම් කරන්නේ අධිෂ්ඨානය සහ තාර්කික බව අතර ඇති සමබරතාවයයි. එවැනි අයට නිවැරදි සැලසුම් ගොඩනගමින් ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන්නට හැකියාවක් තිබෙනවා. පළමු පුරුක් තලයට වඩා දෙවැනි පුරුක් තලය පැහැදිලි ලෙසම දිගින් වැඩි නම්, ඔහුට යමක් සැලසුම්කිරීමට ඉතා ඉහළ හැකියාවක් තිබෙනවා. නමුත් එය ක්‍රියාත්මක කරන්නට තරම් අධිෂ්ඨානයක් නැහැ. පළමු පුරුක් තලය දෙවැනි පුරුක් තලයට වඩා පැහැදිලි ලෙසම දිගින් වැඩි නම්, ඔහුගේ/ඇයගේ සැලසුම්කිරීමේ හැකියාවට වඩා අධිෂ්ඨානය ප්‍රබලයි. ඔවුන්ට සැලසුම්කිරීමේ හැකියාව අඩු නිසා ඔවුන් මුළින්ම යමක් සිදුකොට පසුව ඒ ගැන සිතන්නට පෙළඹෙන  අයයි. 

5. ජීවන රේඛාව 

රූපසටහන - 1

රූපසටහන - 1 හි අංක 5න් සාමාන්‍ය ජීවන රේඛාවක පිහිටීම දැක්වෙනවා. එය අත්ලේ දබරැඟිල්ල සහ මහපටැඟිල්ල අතරින් ආරම්භ වී කිවි මණ්ඩලයට පිටතින් ඇදී ගොස් බොහෝ අවස්ථාවලදී මැණික් කටුව ප්‍රදේශයෙන් අවසන් වෙනවා. ඇතැම් විට එසේ අවසන් නොවන අවස්ථා ද තිබෙනවා. මෙම රේඛාව මගින් ඔබගේ සෞඛ්‍යය සහ භෞතික ස්වභාවය ගැන කියැවෙනවා. ජීවන රේඛාව මගින් යම් තොරතුරක් සෙවීමේදී අදාළ පුද්ගලයාගේ වයස ද සැළකිල්ලට ගත යුතුයි.

රූපසටහන 1- 1


රූපසටහන 1- 1 හි ජීවන රේඛාව ඔස්සේ වයස සළකුණු කොට තිබෙනවා. එය ඉදිරිපත් කොට ඇත්තේ ඔබට ජීවන රේඛාව සමඟ වයස සසඳා බැලීම සඳහා උපකාරයක් ලෙසිනුයි. යම් කිසි පුද්ගලයකුගෙ ජීවන රේඛාව කෙටි නම් ඔහුගේ/ඇයගේ ජීවිතය කෙටි යැයි නිගමනය කළ යුතු නැහැ. මෙම රේඛාව මගින් සෞඛ්‍යය සහ ශරීර ශක්තිය ගැන කියැවෙන නිසා එවැනි කෙටි රේඛාවකින් බොහෝ විට කියැවෙන්නේ එම වයස් සීමාවෙන් පසු සෞඛ්‍යය සහ ශාරීරික තත්වය සම්බන්ධව යම්කිසි තීරණාත්මක වෙනස්කමක් සිදුවන්නට ඉඩ ඇති බවයි. පහත විස්තර ඔස්සේ ඔබට ජීවන රේඛාව වඩාත් හොඳින් අවබෝධ කරගන්නට හැකි වේවි. 

ජීවන රේඛාවේ තත්වය 
ජීවන රේඛාව අත්ල මත පිහිටා ඇති ආකාරය අනුව ඔබගේ සෞඛ්‍යය සහ ශාරීරික ශක්තිය පිළිබිඹු වෙනවා. 


1. ගැඹුරු, හොඳින් පෙනෙන ජීවන රේඛාවෙන් කියැවෙන්නේ යහපත් සෞඛ්‍ය තත්වයක් සහ හොඳ ශාරීරික ශක්තියක් ඇති බවයි. 



2. ජීවන රේඛාව තුනී වුවත් පැහැදිලිව පෙනෙනවා නම් එයින් කියැවෙන්නේ ද අංක 1ට අදාළ තොරතුරුයි. එය සිහින් වූ පමණින් ශක්තියේ අඩුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. 



3. කඩතොලු රේඛාවක් ඇත්නම් එයින් කියැවෙන්නේ සෞඛ්‍යයේ සහ ශාරීරික ශක්තියේ ගැටලු ඇති බවයි. 



4. කැඩුණු ජීවන රේඛාව මගින් පෙන්නුම් කරන්නේ එය කැඩී ගොස් ඇති වයස් සීමාව ආශ්‍රිතව යම් බරපතල ගැටලු ඇති විය හැකි බවයි. 



5. දම්වැලක් මෙන් වැටී ඇති ජීවන රේඛාවෙන් සෞඛ්‍යයේ සහ ශාරීරික ශක්තියේ යම් බිඳවැටිමක්  පෙන්නුම් කරනවා. 



6. ජීවන රේඛාවේ මේ ආකාරයේ දූපතක් ඇත්නම් එයින් කියැවෙන්නේ ද එම වයස් සීමාව ආශ්‍රිතව ගැටලු සහගත තත්වයක් ඇතිවිය හැකි බවයි. 



7. කැඩී බිඳී ගිය ඇති රේඛාව මගින් ද සෞඛ්‍යයේ සහ ශාරීරික තත්වයේ දුර්වල බව පෙන්නුම් කරනවා. 



රූප සටහන - 8 



මෙම රූපසටහනට අනුව මෙවැනි ජීවන රේඛාවකින් කියැවෙන්නේ මෙම පුද්ගලයාගේ සෞඛ්‍යය සහ ශාරීරික ශක්තිය අවුරුදු 35 පමණ දක්වා  එතරම් යහපත් තත්වයක පැවතී නැති බවයි. නමුත් එයින් පසුව අවුරුදු 60 පමණ දක්වා විශිෂ්ඨ තත්වයක් පෙන්නුම් කරනවා. නමුත් අවුරුදු 60න් පසුව යළිත් එම තත්වය දුර්වල වෙනවා. 



රූප සටහන - 9 


මෙම රූපසටහනට අනුව මෙම රේඛාව අයත් පුද්ගලයාගේ ජීවිතයේ මුල් කාලයේ යහපත් සෞඛ්‍ය තත්වයක් තිබී ඇති අතර ජීවන රේඛාව දූපතක් බවට පත් වූ කාලයේ, එනම් අවුරුදු 26 - 38 පමණ සමයේ සෞඛ්‍ය තත්වයේ දුර්වලවීමක් පෙන්නුම් කරනවා. නමුත් එයින් පසුව යළිත් යහපත් තත්වයක් එළැඹී ඇති අතර අවුරුදු 50 දී පමණ යළිත් සෞඛ්‍යයේ ගැටලු තත්වයක් මතුව තිබෙනවා.  එයට හේතුව ජීවන රේඛාව බිඳී අලුත් ජීවන රේඛාවක් එතැනින් ආරම්භ වී ඇති නිසයි. නමුත් ඔහු එය ද පසුකොට යළිත් යහපත් තත්වයකට පත්ව තිබෙනවා. නමුත් එයින් පසුව ඔහුගේ සෞඛ්‍යය යළි කිසිදා ශක්තිමත් තත්වයකට පත්ව නැහැ. ජීවන රේඛාව තුනීව යන ස්වභාවයෙන් එය පෙන්නුම් කරනවා. 

රූප සටහන - 10 



මෙම රූපසටහනින් දැක්වෙන්නේ දුර්වල යැයි කිවහැකි ජීවන රේඛාවක්. එය කඩතොලු, නොගැඹුරු ස්වභාවයකින් යුක්තයි. එයින් කියැවෙන්නේ දුර්වල සෞඛ්‍ය තත්වයක් හා ශාරීරික තත්වයකුයි. නමුත් ජීවන රේඛාවට සමාන්තරව එයට ඇතුළු පැත්තෙන් තවත් රේඛාවක් ගමන් කරනවා. එය හැඳින්වෙන්නේ කුජ රේඛාව නමින්. එය දුර්වල ජීවන රේඛාව ශක්තිමත් කරනවා. නමුත් බොහෝ අත්ලවල කුජ රේඛාවක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් එවැන්නක් ඇත්නම්, එය යහපත් ලක්ෂණයක් බව කිව යුතුයි. 


රූප සටහන - 11 



මෙම ජීවන රේඛාව අවුරුදු 38 - 45 අතර සමයේ බිඳීයාමෙන් පෙන්නුම් කරන්නේ සෞඛ්‍යයේ බරපතල බිඳවැටීමක්. නමුත් එම බිඳී යාම කොටුවක් වැනි රේඛා හතරකින් ආරක්ෂාවී ඇති ආකාරයක් පෙන්නුම් කරනවා. එයින් කියැවෙන්නේ එම බරපතල සෞඛ්‍ය තත්වයෙන් මිදී නැවත සුව ලැබිය හැකි බවයි. 





රූප සටහන - 12 



මෙම ජීවන රේඛාව අවුරුදු 43 - 54 වැනි කාලයේ සාමාන්‍ය ගමන් මාර්ගයෙන් මිදී ඇති බව පෙන්නුම් කරනවා. එයින් කියැවෙන්නේ අදාළ පුද්ගලයාගේ ජීවන ශෛලියේ වැදගත් වෙනස්කමක් සිදුව ඇති බවයි. නමුත් එය සෞඛ්‍යය කෙරෙහි බලපෑම් කොට නැති බව පැහැදිලියි. 

6. ශීර්ෂ රේඛාව 

රූප සටහන - 1




ශීර්ෂ රේඛාව අත්ලේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල අතරින් ආරම්භ වී ජීවන රේඛාවට ඉහළින් අත්ල හරහා ගමන් කරනවා. රූපසටහන 1 හි අංක 6න් එය පැහැදිලි වෙනවා. ජීවිතය තුළ අප කවුද, අප කරන්නේ මොනවාද යන්න තීරණය වන්නේ අපගේ මනස සහ අප සිතන පතන දේ අනුවයි. මේ සියල්ල කියැවෙන්නේ ශීර්ෂ රේඛාවෙන් නිසා එය පිළිබඳ දැනසිටීම ඉතා වැදගත්. 

සාමාන්‍යයෙන් ශීර්ෂ රේඛාවේ දිග මනින්නේ බුද්ධිමත් බව අනුවයි. ශීර්ෂ රේඛාව කෙටි නම්, එය අත්ලේ ගමන් කරන්නේ අඩදුරක් පමණක් නම්, එයින් කියැවෙන්නේ බුද්ධිමත් බව අඩු බවයි. අඩ දුරට වඩා අඩු අවස්ථා ඇති වන්නේ ඉතා කලාතුරකින් වන අතර එවැන්නක් දකින්නට ලැබුණහොත් එයින් කියැවෙන්නේ බුද්ධිමත් බවේ බරපතල බිඳවැටීමක්. 

පුද්ගලයකුගේ මානසික බලවත් බව මුළින්ම බැලිය යුතු වන්නේ ඔහුගේ/ඇයගේ අක්‍රිය අතේ ශීර්ෂ රේඛාවෙන්. අක්‍රිය අත යනුවෙන් අදහස් කරන්නේ නුහුරු අතයි. පසුව එය ක්‍රියාකාරී, නැතහොත් හුරු අතේ ශීර්ෂ රේඛාව හා සසඳා බැලිය යුතුයි. එවිට ඒ පුද්ගලයාගේ මානසික තත්වය වර්ධණය වී ඇතිද, දුර්වල වී ඇති ද යන්න සොයාගත හැකියි. 

ශීර්ෂ රේඛාව සාමාන්‍යයෙන් ආරම්භයේදී ජීවන රේඛාව හා සම්බන්ධ වී තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ පුද්ගලයකුට සිය මානසික තත්වයේ හැඩගැස්මට පවුල් පසුබිම යම් බලපෑමක් කරන බවයි. එය සාමාන්‍යයෙන් බහුතරයකගේ ලක්ෂණයයි. ජීවන රේඛාවත් සමඟ ඒකාබද්ධව පවතින කාලයේ අවුරුදු ගණන සළකා බැලීමෙන් ඔහු/ඇය පවුලේ බලපෑමට කෙතරම් කාලයක් ලක්ව සිටිනවාදැයි තීරණය කළ හැකියි. 

රූප සටහන - 13 

නමුත් මෙහි ඇති රූපසටහන - 13 හි දැක්වෙන පරිදි ඇතැම් අවස්ථාවලදී ශීර්ෂ රේඛාව ජීවන රේඛාවෙන් වෙන්ව එයට ඉහළින් ආරම්භ වන අවස්ථා තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ අදාළ පුද්ගලයා සිය ජීවිතයේ ආරම්භයේ පටන්ම ස්වාධීන වන බවයි. 

ශීර්ෂ රේඛාවේ ප්‍රබල බව මගින් පෙන්නුම් කරන්නේ අදාළ පුද්ගලයාගේ ස්නායු පද්ධතියේ තත්වයයි. හොඳින් වැටී ඇති, ගැඹුරු, පැහැදිලි ශීර්ෂ රේඛාවෙන් ශක්තිමත්, මානසික සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කරනවා. නමුත් කඩතොලු, දම්වැල් වැනි, බිඳී ගිය, කුඩා දූපත් සහිත ශීර්ෂ රේඛාවෙන් පෙන්නුම් කරන්නේ අදාළ පුද්ගලයාගේ දුර්වල සහ කලබලකාරී මානසික තත්වයයි. මෙවැනි තත්වයකදී නියපොතු පවා දුර්වල, කැඩී බිඳී ගිය තත්වයක පැවතිය හැකියි. 


රූප සටහන - 14 




රූපසටහන - 14 මගින් ශිර්ෂ රේඛාවේ සාමාන්‍ය පිහිටීම පෙන්නුම් කරනවා. නමුත් එයින් ශාඛාවක් ඉහළට නැග ගුරු මණ්ඩලය දෙසට ගමන් කරන බවත් දිස්වෙනවා. එවැන්නකින් කියැවෙන්නේ අදාළ පුද්ගලයා ජීවිතයේ සාර්ථකත්වයක්, ශ්‍රේෂඨත්වයක් ලබන්නට දැඩි කැමැත්තකින් යුක්ත අයකු බවයි. ඔහු/ඇය කලාත්මක හෝ ද්‍රව්‍යමය දේ පසුපස හඹා යන්නෙක්. ජීවිතය ඉහළට ගමන් කරන අවස්ථාවක් ලෙසට මෙය නම් කරන්නට පුළුවන්. ශීර්ෂ රේඛාව අත්ල හරහා  දිසාවද ඉතා වැදගත්. 


රූප සටහන - 15 



රූපසටහන - 15 හි දැක්වෙන ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලය දෙසට එක එල්ලේම ගමන් කරනවා. මෙයින් පෙන්නුම් කරන්නේ අදාළ පුද්ගලයා දැනුම, තොරතුරු, තර්කන හැකියාව ඇති ප්‍රායෝගික පුද්ගලයකු බවයි. ඔහුගේ ඇඟිලි උල් හැඩයෙන් යුක්ත නොවේ නම් යම් යම් දේ මානසික වශයෙන් සිතීමේ හැකියාව හෙවත් පරිකල්පනය අඩුවන්නට පුළුවන්. ඇඟිලි හතරැස් නම් ඔහු/ඇය වැඩි වශයෙන් තොරතුරු මත පදනම්ව තීරණ ගන්නෙක් ලෙස සඳහන් කළ හැකියි. 


රූප සටහන - 16



රූපපසටහන- 16 හි ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලය දෙසට බෑවුම් වෙයි. එයින් කියැවෙන්නේ අදාළ පුද්ගලයා සංවේදී, සුළු දෙයින් පවා ප්‍රමෝදයට පත්වන, නිර්මාණශීලී අයකු බවයි. ඔහු ප්‍රායෝගික දේ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්නනේ නැහැ. 


රූප සටහන - 17 



රූපසටහන - 17 හි දැක්වෙන ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයේ වඩාත් පහළ ප්‍රදේශයක් දක්වා ගමන් කරන බව පෙනෙනවා. එමෙන්ම එහි කඩතොලු සහ දුපත්වලින් ද යුක්තයි. මෙයින් පෙන්නුම් කරන්නේ අදාළ පුද්ගලයා වැඩි වශයෙන් සිහින ලෝකවල ජීවත්වන බවයි. 


රූප සටහන - 18



රූපසටහන 18 හි දැක්වෙන ශීර්ෂ රේඛාව දෙකට බෙදී එක් කොටසක් කුජ මණ්ඩලය දෙසටත්, අනෙක චන්ද්‍ර මණ්ඩලය දෙසටත් ගමන් කරන බව පෙනෙනවා. මෙවැන්නක් හිමි පුද්ගලයා යම්කිසි ගැටලුවකදී දෙපැත්තම සිතන්නනෙකු ලෙස සඳහන් කළ හැකියි. ඔහු පුළුල් මනසකින් යුක්ත, විශ්වසනීය අයෙක්. අතු ලෙස බෙදී යන කොටසේ ඇති පැහැදිලි භාවය හා ගැඹුරු තත්වය මගින් පෙන්නුම් කරන්නේ අදාළ පුද්ගලයා කාල්පනික හෝ ප්‍රයෝගික තත්වයට නැඹුරු අයෙක් ද යන්නයි. 


රූප සටහන - 19



රූපසටහන 19 හි ශීර්ෂ රේඛාව සාමාන්‍ය ගමන් මාර්යෙන් පිට පැන ඇති බව පෙනෙනවා. එමෙන්ම එය කඩතොලු හා දූපත්වලින් ද යුක්තයි. එයින් පෙන්නුම් කරන්නේ එසේ මාර්ගයෙන් පිට පැන ඇති කාලවකවානුව යනු යම්කිසි ප්‍රබල මානසිකත්වයක් නිසා ජීවිතයේ වෙනස්කමකට බඳුන්ව ඇති පුද්ලයකු බවයි. මේ ආකාරයට ශීර්ෂ රේඛාවේ මෙවැනි විවිධ ලෙස හැඩ ගැසුණු අවස්ථා බොහෝ ගණනක් තිබෙනවා. 

7. හෘදය රේඛාව 


හෘදය රේඛාව සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ගුරු මණ්ඩලය හෝ ශනි මණ්ඩලය අසලින්. ඉන්පසු එය රවි මණ්ඩලය හා බුධ මණ්ඩලයට යටින් ගමන් කොට සුළැඟිල්ලට යටින් පිහිටි අතලේ කෙළවරින් අවසන් වෙනවා. එය වැටී ඇති ආකාරය රෑපසටහන 1 හි අංක 7න් දැක්වෙනවා. හෘදය රේඛාවෙන් අපගේ හෘදය වස්තුවේ ඇති ශක්තිමත් බව හා දුර්වල බව පෙන්නුම් කරනවා පමණක් නොව පුද්ගලයකු තුළ ඇති ආදරයේ ස්වභාවය ගැනත් හෙළිදරව් කරනවා. 

ඉතා කලාතුරකින් ඇතැම් අත්ලවල හෘදය රේඛාව නැති අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවක විශේෂයෙන් අදාළ පුද්ගලයාගේ අත් සහ ඇඟිලි කෙට්ටු සහ සුදුමැලි නම්, එයින් කියැවෙන්නේ ඇතැම් අවස්ථාවල ඔහු කිසිදු හිතක් පපුවක් නැති, ආත්මාර්ථකාමී ලෙස යම් යම් වැඩකටයුතු සිදුකරන බවයි. 


රූප සටහන - 20 



හෘදය රේඛාව ආරම්භ වන ස්ථානයෙන් අදාළ පුද්ගලයා ආදරය ගැන සිතන පතන දේ ගැන අවබෝධයක් ලැබිය හැකියි. රූපසටහන 20 හි හෘදය රේඛාව ආරම්භ වන්නේ ගුරු මණ්ඩලයෙන්. එවැනි තැනැත්තකු සැබෑ ආදරය ගැන වැඩි සැළකිල්ලක් දක්වනවා. ඔහු/ඇය ආදරය කරන තැනැත්තාට/තැනැත්තියට අධික ලෙස සැළකුම් දක්වන අතර හැඟීම් පෙන්වීමේදී වඩාත්, විවෘතව ඒවා සිදුකරනවා. මෙවැනි හෘදය රේඛාවක් ඇති පුද්ලගයා තම සහකරුගේ/සහකාරියගේ දියුණුව ඉත සිතින් පතන කෙනෙක්. 


රූප සටහන - 21 



රූපටහන 21 හි හෘදය රේඛාව ආරම්භ වන්නේ ශනි මණ්ඩලයෙන්. එවැනි හෘදය රේඛාවක් හිමි පුද්ලයාගේ හදවත විවෘත නැහැ. ඔහු/ඇය ආදරය පිළිබඳ සිය හැඟීම් වැඩිපුර ප්‍රදර්ශනය කරන්නට කැමැති නැහැ. 


රූප සටහන - 22 



රූපසටහන 22 හි හෘදය රේඛාව ආරම්භ වන්නේ ගුරු හා ශනි මණ්ඩලය අතරින්. එවැන්නක් හිමි තැනැනත්තා ආදරය ගැන දක්වන්නේ මධ්‍යස්ථ ආකල්ප. මෙවැනි පුද්ලයලකුගේ ආදරය ඉතා ශක්තිමත්. හැඟීම්වලට මුල්තැන දී ආදරය විනාශ කරගන්නේ නැහැ. 

හෘදය රේඛාව අතු 2 -3 ක බෙදී යාමකින් ආරම්භ වුවහොත් අදාළ පුද්ගලයාගේ හෘදය රේඛාව ප්‍රබල නැත්නම්, ඔහු බුද්ධියට වඩා හදවතට මුල්තැන දී ක්‍රියාකරන අයෙක් බව සඳහන් කළ යුතුයි.  හෘදය රේඛාව ශිර්ෂ රේඛාවට ඉතා ආසන්නයෙන් හෝ එයට සම්බන්ධ වී ආරම්භ වන්නේ නම් එයින් කියැවෙන්නේ හදවතට වඩා බුද්ධියට මුල්තැන දී ක්‍රියාකරන අයෙක් බවයි. 

8. දෛව රේඛාව 


මෙය අත්ලේ පහළ සීමාවෙන් ආරම්භ වී ශනි මණ්ඩලයෙන් හෝ ඒ ආසන්නයෙන් අවසන් බව බැවින් මෙය ‛ශනි රේඛාව’ නමින් ද හැඳින්වෙනවා. එය රූපසටහන 1හි අංක 8න් දැක්වෙනවා. 

දෛව රේඛාව අත්ලේ විවිධ ස්ථානවලින් ආරම්භ වී විවිධ ස්ථානවලින් අවසන් විය හැකියි. එය ඇතැම් අවස්ථාවල චන්ද්‍ර මණ්ඩලයෙන් හෝ මැණික් කටුවට මඳක් ඉහළින් හෝ ජීවන රේඛාවට පහළින් හෝ ජීවන රේඛාවෙන් හෝ ආරම්භ විය හැකියි. මෙය සාමාන්‍යයෙන් ශනි, ගුරු හෝ රවි මණ්ඩලයෙන් අවසන් විය හැකියි. එනම් විවිධ තත්වයන් මත අදාළ පුද්ගලයාගේ වාසනාවන්ත බව ද වෙනස් වෙනවා. රූපසටහන 23 හි දැක්වෙන්නේ එවැනි අවස්ථා කිහිපයක්. 



රූප සටහන - 23




දෛව රේඛාව ජීවන රේඛාවෙන්ම ආරම්භ වන්නේ නම් අදාළ පුද්ගලයා ජීවිතයේ සාර්ථකත්වයක් කරා ගමන් කරන වාසනාවන්ත පුද්ගලයකු බව සඳහන් කළ යුතුයි. එය මැණික් කටුව ප්‍රදේශයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ පැත්තකින් ගමන් කරන්නේ නම්, එයින් කියැවෙන්නේ අදාළ පුද්ගලයාගේ ජීවිතයේ මුල් සමය දෙමාපියන්ගේ හෝ ඥාතීන්ගේ දැඩි බලපෑමට හසුවන හෝ හසු වී ඇති බවයි. 

දෛව රේඛාව මැණික් කටුව ප්‍රදේශයෙන් ආරම්භ වී ඍජුව ගමන් කොට පැහැදිලි ලෙසම ශනි මණ්ඩයෙන් අවසන් වන්නේ නම් එය හිමි පුද්ලයාගේ අතිශය වාසනාවන්ත, අතිශය සාර්ථකත්වයට පත්වන අයකු වනවා. 

දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වන්නේ නම් අදාළ පුද්ලයාගේ වාසනාවන්ත බව නිශ්චිත නැති අතර බාහිර පුද්ගලයන්ගේ බලපෑම මත එය වෙනස් විය හැකියි. මෙය  බොහෝ විට ජනප්‍රිය පුද්ගලයන්ගේ දක්නට ලැබෙන ලක්ෂණක්. 

දෛව රේඛාව ශීර්ෂ රේඛාවෙන් ආරම්භ වන්නේ නම් අදාළ පුද්ගලයා කරා වාසනාව පැමිණෙන්නේ් ජීවිතයේ අවසාන කාලයේදීයි. එය ලැබෙන්නේ ද සිය හැකියාවන් ඔස්සේ කරනු ලබන දැඩි අරගලයකින් පසුවයි. 

එය හෘදය රේඛාවෙන් ආරම්භ වන්නේ නම් ඉමහත් අරගල, දුෂ්කරතා රැසකින් පසුව ජීවිතයේ අවසාන කාලයේදී අදාළ පුද්ගලයා කරා වාසනාව පැමිණෙනවා. 

9. රවි රේඛාව 

රූප සටහන - 1

මෙය අත්ලේ කොතැනකින් හෝ ආරම්භ වී රවි මණ්ඩලයෙන් හෝ ඒ ආසන්නයෙන් අවසන් වන බැවින් මේ නමින් හඳුන්වනු ලබනවා. රූපසටහන 1හි අංක 9න් දැක්වෙන්නේ එයයි. 

මෙම රේඛාව මගින් කියැවෙන්නේ යම් පුද්ගලයකු සතුව ඇති ජනප්‍රියවීමේ හැකියාව සහ නිර්මාණශීලී බවයි. කෙසේ නමුත් අදාළ පුද්ගලයාගේ ජනප්‍රිය බව තීරණය කරන්නට ඔහුගේ/ඇයගේ ඇඟිලි පුරුක් තල, ඇඟිලි තුඩු, මහපටැඟිල්ල සහ ශීර්ෂ රේඛාව පරීක්ෂා කළ යුතුයි. ඒවායෙන් කියැවෙන තොරතුරුවලට අනුව රවි රේඛාව හිමි පුද්ගලයා ප්‍රයෝගික, භාවාත්මක, මානසික, නිර්මාණශීලී හෝ ලෞකික සහ මූල්‍යමය වශයෙන් සාර්ථකත්වයට පත්වන අයෙක් ද බව පැවසිය හැකියි. අදාළ පුද්ගලයාගේ ඇඟිලි තුඩු උල් හැඩයෙන් යුක්ත නම්, මහපටැඟිල්ල කෙටි සහ දුර්වල නම් නම්, ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලය වෙත ගමන් කරන්නේ නම්  ඔහු/ඇය ව්‍යාපාරික වශයෙන් සාර්ථක වන්නට ඇති ඉඩකඩ අඩුයි. 

දීර්ඝ, ගැඹුරු, ශක්තිමත්, ඍජු රවි රේඛාව මගින් උපරිම ජනප්‍රියභාවය, නිර්මාණශීලී බව, හැකියාවන්, ප්‍රසිද්ධිය සහ ඒ සියල්ලේ ප්‍රතිඵලය ලෙස ලැබෙන ධන සම්පත් ආදිය පෙන්නුම් කරනවා. රවි රේඛාව සිහින් වීම, කෙටි වීම, නොගැඹුරු වීම, දඟර ගැසෙමින් ගමන් කිරීම, කැඩී බිඳී තීබීම, දම්වැල් හෝ දුපත්වලින් යුක්ත වීම මෙහි ඇති ප්‍රබල බව පහල හෙළන්නට හේතු වෙනවා. 


රූප සටහන - 24 



මෙම රේඛාව වයස අනුව බෙදාගැනීමෙන් ඔබගේ ජීවිතයේ කුමන කාලයක වාසනාව උදාවන්නෙ දැයි ආසන්න වශයෙන් සොයා ගත හැකියි. රූපසටහන 24 හි දැක්වෙන පරිදි මෙය ජීවිතයේ පසුකාලීනව ක්‍රියාත්මක වන බව පෙනේ නම් සහ එම සමයේ ජීවන රේඛාව ප්‍රබල නම් ජීවිතයේ මුල්කාලයේ දරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ජීවිතයේ පසුකාලයේදී නිසැකවම ලැබෙන බව පැවසිය හැකියි. 

10. බුධ රේඛාව 

රූප සටහන - 01

රූප සටහන 1 හි අංක 10න් දැක්වෙන පරිදි මෙය අත්ලේ මධ්‍යයේ යම් ස්ථානයකින් ආරම්භ වී බුධ මණ්ඩලය කරා ගමන් කොට සුළැඟිල්ලට පහළින් මෙය අවසන් වෙනවා. බොහෝ අත්ලවල මෙම රේඛාව දක්නට ලැබෙන්නේ නැහැ. මෙය පවතී නම්, එයින් ජීර්ණ පද්ධතියේ, උදරයේ, අක්මාවේ සහ බඩවැල්වල සෞඛ්‍ය තත්වය ගැන යමක් පැවසිය හැකියි. පැහැදිලි, ගැඹුරු බුධ රේඛාව සුබ ලකුණක් බව කිව හැකියි. බිඳී ගිය හෝ වෙනත් දෝෂ සහිත බුධ රේඛාවක් ඇත්නම් එය සුබ පිහිටීමක් නොවෙයි. 

11. විවාහ රේඛාව 

රූප සටහන - 01 

විවාහ රේඛාව සුළැඟිල්ලේ පාමුළ සහ හෘදය රේඛාව අතර පිහිටා තිබෙනවා. රූපසටහන 1 හි අංක 11න් එය දැක්වෙනවා. ඔබගේ අත්ලේ මෙවැන්නක් පිහිටා නැත්නම්, ඔබට කිසි දිනෙක ආදරයෙන් බැඳෙන්නට හෝ විවාහවන්නට අවස්ථාවක් නොලැබෙන බව කියැවෙන්නේ නැහැ. නමුත් එයින් පැහැදිලිවන්නේ ආදරය හෝ විවාහය ඔබට ඒ තරම් ගැඹුරු හැඟීමක් ලබා නොදෙන බවයි. 

ඇතැම් විට ඔබගේ අත්ලේ විවාහ රේඛා එකක් හෝ කිහිපයක් තිබිය හැකියි. ඒවායෙන් පැවසෙන්නේ ජීවිතයේ විවිධ අවස්ථාවල ඔබ ආදර සම්බන්ධතා කිහිපයකම පැටලෙන බවයි. ඒ රේඛා අතරින් ගැඹුරුතම, පැහැදිලි රේඛාවෙන් දැක්වෙන්නේ ඔබ වැඩි වශයෙන්, ගැඹුරින්  බැඳෙන ආදරය ගැනයි. ඒ වගේම ඇතැම් ආදර සම්බන්ධතා විවාහයකින් කෙළවර නොවුණත් එය ජීවිතය පවතින තුරු අමතක නොවන අවස්ථා තිබෙනවා. එවැනි සම්බන්ධයක් ද මේ ගැඹුරු රේඛාවෙන් පෙන්නුම් කරන්නට පුළුවන්. මෙම රේඛාව තුනී නම්, පැහැදිලි නැත්නම් එයින් පැවසෙන්නේ අදාළ පුද්ගලයා ආදරය සම්බන්ධ කටයුතු කෙරහි වැඩි උනන්දුවක් නොදක්වන බවයි. 

සුප්‍රකට ඉන්දීය සාමුද්‍රික ශාස්ත්‍රඥයකු වන වී.ආර්, ෂර්මා විසින් සම්පාදනය කළ SPEED PALMISTRY කෘතිය ඇසුරෙනි.

Friday, November 20, 2015

කම්මැලිකමට ලියැවෙන ඈණුම් කවි


කුමට ඇරියාද ඇණුමක්

බලියාගෙන කට

උසාවියේ

ගෑවා නම් කුරුටු

ඇණයකින්වත්

කුරුටු ගී වැසෙන්නට තරම් සීගිරියේ

මැරුණා නම් කොටි දෙනකව සිට නිදහස්ව

ගැසුවා නම් බෝම්බ

නුඹ ගැනත් කවි ලියයි

නුඹ ගළවාගන්නට පැමිණෙයි පෙරට දහසක්

එහෙත් නුඹ ඇරියේ ඈණුම්ය

කට බලියාගෙනය

දැන් ඉපන් මලේ මාස අටක්

මහ උළු ගෙදර

ගෙදර අයවත් ලියාවි කවියක්