පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, November 11, 2015

සුජීගේ ෆෝන් කතාව හා බල්ලාට ගිය මනුස්සකම


පෞද්ගලික ජීවිත සමාජ ගතකිරීම තරම් නිහිීන ක්‍රියාවක් තවත් නැත. යමෙක් එවැන්නක් සමාජ ගතකිරීමෙන් බලාපොරොත්තු වන්නේ එක්කෝ පලිගැනීමකි. එක්කෝ ‛කුණු රසයකි’. ඒවා කෙතරම් කුණු රසයකින් යුක්ත වුව ද, එය කුණු රසයකින් යුක්ත බව දැනදැනම සමාජයේ සියලු තරාතිරම්වල පුද්ගලයන් අවිචාර ලෙස ඒ රසය විඳීමට කැමැත්තක් දක්වති. අවසානයේ එයින් අපහාසයට, අවමානයට ලක්වන්නේ එකී පෞද්ගලික ජීවිතයට හිමිකම් කියන තැනැත්තාය. මෙයට ලක්වන්නා අවසානයේ කුමන දුෂ්කරතාවයකට පත්වන්නේදැයි එය සමාජ ගත කරන්නා තුට්ටුවකට හෝ මායිම් කරන්නේ නැත. අතීතයේදී ද එවැනි සමාජ ගතකිරීම් අසන්නට ලැබුණු අතර තාක්ෂණයෙන් පිරිණු වර්තමානයේ  එය අතීතයේ මෙන් කීප ගුණයකින් සිදුවෙයි. දැනට සමාජ ගතවී ඇති, සියලු දෙනා අතර අතිශය ‛ජනාදරයට’ ලක්ව ඇති කුණු රස සිදුවීම, 

‛සුජී ඔය ෆෝන් එක දීපං ළමයෙකුට’ 

වශයෙන් හඳුන්වා දිය හැකිය. බහ තෝරන දරුවාගේ සිට අද හෙට ජීවිතයෙන් සමුගැනීමේ අපේක්ෂාවෙන් සිටින මහල්ලා දක්වා සියලුදෙනා මේ ‛කුණු රසය’ විඳ ඇති බව නොකිව මනාය. 

මේ සිදුවීමට පාදක වන්නේ මැදපෙරදිග යැයි හැඟෙන රටක සිට සිය පවුලේ සාමාජිකයන් හට යම් පිණිවිඩයක් ලබාදීමට උත්සාහ දරන කාන්තාවකගේ වීඩියෝ කොටසකි. අතීතයේ මෙවැනි දෙයක් සිදුවූයේ නම් එය සමාජ ගතවන්නේ අදාළ රටේ සිටින කිහිප දෙනෙකු අතර පමණක් වන අතර එය ද වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වන්නේ නැත. මන්ද එකල අපට ඕනෑ හැටියට, ඕනෑම අවස්ථාවක යම් දෙයක් වීඩියෝ ගතකිරීමේ හෝ හඬ පටිගතකිරීමේ හැකියාවක් නොමැති වූ නිසාය. නමුත් තාක්ෂණය දැන් ඒ පහසුකම් සියල්ල අපගේ දෝතට ලබාදී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එකී කාන්තාවගේ කතා බහ වීඩියෝ ගත කෙරිණි. කෙසේ නමුත් මෙය සාමාන්‍ය කතා බහක් නොවේ. 

අප රටේ ප්‍රධාන ආදායම් මාර්ග අතුරින් එකක් වන්නේ මැදපෙරදිග රටවල සේවය කරන කාන්තා ශ්‍රමිකයන්ය. එදා මෙදා තුර අප රටට ඔවුන් සැළකිය යුතු ආදායමක් උපයා දුන්න ද ඒ සියල්ල පසුපස මහා ඛේදවාචක ගොන්නක් ද පවතින බැව් රහසක් නොවේ. යමෙක් විදෙස් රටකට රැකියාවකට යාමට හේතු කිහිපයක් තිබිය හැක. එයින් එකක් වන්නේ මෙරට දී උපයාගත නොහැකි වැටුපක් එම රටවලින් උපයා ගත හැකි නිසාය. විශේෂයෙන් අධ්‍යාපනය ලද හෝ නොලද, දරිද්‍රතාවයෙන් මිරිකුණු, පීඩිත පංතියේ මිනිස්සු විදෙස් රටකට ගොස් ශ්‍රමය විකුණා, පැහැදිලි ලෙස පැවසුවහොත්, විදේශිකයන්ට ‛කඹුරා’ උපයාගන්නා මුදලින් සිය දරුපවුල් සැපවත් කිරීමේ සිහින දකිති. මේ අතුරින් මැදපෙරදිග සේවයේ යෙදී සිටින කාන්තාවන් වැටී ඇත්තේ අන්ත අසරණ අඩියකය. දිනපතා අප දකින, අසන පුවත්වලින් එය මනාව පැහැදිලි වේ. ඔවුන් උපයාගන්නා මුදලට වඩා දුක් කන්දරාවක් මැදපෙරදිග රටවලදී විඳින්නට සිදු වේ. ඇතැමුන් අප රටට පැමිණෙන්නේ නොරටකට යන්නට පෙර සිටි තත්වයටත් වඩා පහත තත්වයකින්. ඇතැමුන් පැමිණෙන්නේ ප්‍රාණය නිරුද්ධ දේහයක් ලෙසිනි. ඇතැමෙක් විවිධ තුවාල සහිතව පැමිණෙති. ඇතැමුන්ගේ සිරුර පුරා ඇණ හෝ ඉදිකටුය. මැදිපෙරදිග ඇත්තේ වහල් සේවයකැයි පැවසෙන්නේ එබැවිනි. අතීතයේ සිටම තත්වය එබඳුය. එය වහල් සේවයක් වුව ද, එහි ජීවිතය කටුක වන බව දැන දැනම වුව ද කාන්තාවන් එසේ නොරටක යන්නේ ආර්ථි ගැටලු ජයගත හැකි අන් ක්‍රමයක් මෙරටදී සොයා ගත නොහැකි නිසාය. ‛සුජී’ අර්බුදයට ලක්වූ කාන්තාවගේ ඉරණම  ද මෙයට වඩා වෙනසක් නැත. 

වීඩියෝවේ අප දකින අන්දමට ඇය නිවසට කතා කරයි. එහිදී දුරකථනයට පිලිතුරු දෙන්නේ ඇගේ සැමියා යැයි සිතිය හැකි ‛සුජී’ නමැති පුද්ගලයෙකි. ඔහු මේ අවස්ථාවේදී ඇය පවසන දෙය තේරුම් නොගන්නා බැව් පෙනේ. එසේත් නොමැති නම් තේරුම් ගැනීමට තරම් මානසික තත්වයක නොසිටිනි බැව් හැඟේ. මැදිපෙරදිග දුක් විඳිමින්, හාම්පුතුන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වෙමින් ගෙවන ජීවිතය අතරතුර කුමක් හෝ අවශ්‍යතාවයකට තම පවුලේ ඥාතීන්ට කතා කරන අවස්ථාවක දුරකතනයේ අනෙක් පස සිටින තැනැත්තා සිහි කල්පනාවකින් පිලිතුරු නොදෙන්නේ නම්, යමෙක් කෝපයට පත්වීමේ අරුමයක් නැත. ඇයත් සිය පවුලත් අතර දුර සැතපුම් දහස් ගණනකි. සම්බන්ධ වන්නට ඇති එකම ක්‍රමය දුරකතන මාර්ග පමණි. තමා පවසන දෑ තේරුම් නොගන්නා නිසා කෝප ගැන්වෙන ඇයගේ මුවට නොසරුප් වදන් නැගෙන්නේ නිරායාසයෙනි. දුරකතනය ළමයකුට දෙන්නැයි ඇය පවසන්නේ කෙසේ හෝ මේ පණිවිඩය ලබාදීමට අවශ්‍ය නිසාය. කෙසේ මුත් ඇයට එය කරගන්නට හැකියාවක් නොලැබෙන බැව් පෙනේ. නොසරුප් වදන් මුමුණමින් ඇය එතැනින් නික්ම යන්නේ එබැවිනි. 

දුරකතනය ළමයෙකුට දෙන්න යැයි පැවසීමෙන් පැහැදිලි වන අනෙක් කරුණ නම් ඇය මවක බවය. ඇය මැදපෙරදිග දුක් විඳින්නට පැමිණ ඇත්තේ සිය සැමියා සහ දරුවන්ට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණනි. ඈ කෑගසන්නේ වේදනාවෙනි. ඒ තමා කාත් කවුරුත් නොමැති රටක තනිවී සිටින විට සිය සැමියා සිහිකල්පනාවෙන් නොසිටින නිසාය. සිය දරුවන් අසරණ වී, ආරක්ෂාවක් නොමැතිව සිටිතැයි කල්පනා වන නිසාය. අවසානයේ ඇය මවක් හා බිරිඳක් වන නිසාය. එවන් අවස්ථාවක සිංහල බස තේරෙන හෝ නොතේරෙන හෝ වටපිටාවක නොසරුප් වදන් මුවට නොනැගුනේ නම් එය පුදුමයකි. 

විසිදෙකෝටි පනස් තුන්ලක්ෂ හාරසිය අසූඅටක් වන අප රටේ සමස්ත ජනගහනයෙන් බෞද්ධයින්ගේ ප්‍රතිශතය 70.2%කි. ලොව පහළ වූ ආගමික ශාස්තෘවරුන් අතුරින් සිය ශාස්තෘත්වය මාතෘත්වයට සමාන කොට දක්වා ඇති එකම ආගමික ශාස්තෘවරයා බුදුන් වහන්සේය. එසේ හෙයින් බුදු දහමේ දෙමාපියන්ට ගෞරවකිරීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කොට ඇත. මෙම කාන්තාව සැතපුම් දහස් ගණනක් දුර තනිව දුක් විඳින්නේ හුදෙක් තමාගේ සුඛ විහරණය වෙනුවෙන් නොවේ. මවක් ලෙස ඇයට තම දරුවන්ට තමාට හැකි පමණින් සැපවත් ජීවිතයක් ළඟාකරදීමේ අපේක්ෂාවෙනි. ඇයගේ දුක් අඳෝනාව මේ සා අවඥාවකට ලක්වන්නේ මෙතරම් බහුතර බෞද්ධයන් වෙසෙන රටකය. මෙය මෙතෙක් කල් ‛ලයික්’ කිරීමෙන් හා ‛ෂෙයාර්’ කිරීමෙන් ඇය අවඥාවට ලක් කළ බෞද්ධ ඔබ ඔබගේ හෘද සාක්ෂියට තට්ටු කොට එය තුළ එකී දහම තිබේදැයි නැවත සොයා බැලිය යුතුය. 

කෙසේ නමුත් මෙය වීඩියෝ ගත කළ පුද්ගලයා මෙයින් විඳින්නේ ‛කුණු රසයකි’. අනුන්ගේ ජීවිත තුළට එබිකම් කිරීමෙන් ඒ ‛කුණු රසය’ විඳිනවාට අමතරව එය වීඩියෝ ගතකිරීම ද සිදුකරයි. ඉන්පසු කුණු රසයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් එය සිය මිතුරන් හා බෙදාහදාගන්නට ද ඇති අතර තුන්වැනි අදියරේදී ඔහු එය ෆේස්බුක් සමාජ ජාලයට මුදාහරියි. 

ෆේස්බුක් සමාජ ජාලගතව ඇති බහුතරයක අවශ්‍යතාවය වන්නේ උදෑසන එයට පිවිසෙද්දී තමා ‛ලයික් කිරීමට’ ඇති දේවල් සොයා බලා ඒවා සිය මිතුරන් සමඟ ‛ෂෙයාර් කරගැනීමය’. ඒ හැරුණු විට මෙහි බොහෝ දෙනෙක් සමාජ වටිනාකම්, ආචාර ධර්ම ආදිය පිළිබඳ සැළකිල්ලක් දක්වන්නේ නැත. අද ෆේස්බුක් සමාජ ජාලගතව සිටින්නන් ඇතැමෙකුගේ මානසිකත්වය කෙතරම් පහත් අඩියක වැටී ඇතිදැයි කිවහොත් ඔවුහු සිය දෙමාපියන්ගේ මෘත දේහය පසුබිම් කරගනිමින් ‛සෙල්ෆි’ ඡායාරූප ගෙන එහි ප්‍රදර්ශනය කරති. ඇතැමෙක් සිය දෙමාපියන්ගේ අවමඟුල අතර තුර ‛ස්ටේටස් අප්ඩේට්’ කරති. සමාජය වැටී ඇති තත්වය මෙයය. මේ නිසා ‛සුජී’ ගේ කතාවට පාදක වූ කාන්තාවගේ ජීවිතය පසුපස ඇති දුක් අඳෝනාව මෙය වීඩියෝ කළ, එය සමාජ ජාල ගත කළ, එයට ‛ලයික්’ කොට ‛ෂෙයාර් කළ’ කිසිවකුට හෝ ඇසෙන්නේ නැත. 

තාක්ෂණයට හසුව සිටින්නන් මෙවැනි සමාජ අර්බුදවලින් ‛ෆන්ගැනීම’ එතෙකින් නවතන්නේ නැත. එබැවින් ඔවුහු එය තවත් විවිධ පැතිවලට නවමින්, කරකවමින් එයින් අලුත් ‛කුණු රසයක්’ විඳගැනීමට උත්හාස දරති. ‛සුජී’ ගේ කතාවට ද එම ඉරණම අත්විය. එහිදී මුළින්ම සිදුවන්නේ අදාළ කාන්තාවගේ අඳෝනාව එක්කරගනිමින් ‛රිමික්ස්’ ගීතයක් නිර්මාණය කිරීමය. එය නිර්මාණශීලිත්වය අතින් සළකා බැලුවහොත් විශිෂ්ඨය. නමුත් මනුස්සකම අතින් සළකා බැලුවහොත් බලු වටින්නේ නැත. එම නිර්මාණ ශිල්පියා ද කුණු රසයේම කොටසකට අයත්වනවා මිස වෙනත් තැනක තබන්නට තරම් සුදුස්සෙකු වන්නේ නැත. එකී කාන්තාවගේ දුක්ගැනවිල්ලේ ‛රිමික්ස්’ සංස්කරණය බහුතරයකගේ ජංගම දුරකතනවල අඩංගු වී තිබේ. ඒ කිසිවකට හෝ ඇයගේ අඳෝනාව ඇසෙන්නේ නැත. ඉදිරියේදී යමෙක් සිය ඥාතියකුගේ අවමඟුලේදී හඬන හඬ ද මෙසේ ගීත ලෙස ‛රිමික්ස්’ නොකළහොත් එහි කිසිඳු අරුමයක් නැත. 



ගැහැනියකගේ දුක අවඥාවට කල්කරමින් පැවැත්වූ ඊනියා ප්‍රවෘත්ති හමුවේ අවස්ථා කිහිපයක්. එහි වීඩියෝ පටය පහළින් නරඹන්න.

සුජීගේ කතාවේ ඊළඟ අවස්ථාව වන්නේ මෙය ‛නපුංශකකරණයට’ ලක්වීමයි. එය සිදුවන්නේ ‛සුජී’ යනුවෙන් පෙනී සිටින නපුංශකයකු විසින් ව්‍යාජ මාධ්‍ය හමුවක් පවත්වන ආකාරයට වීඩියෝවක් යූටියුබ් අඩවියට එක්කිරීමයි. එහිදී අදාළ නපුංශක කණ්ඩායම ව්‍යාජ සුජී කෙනෙකු නිර්මාණය කරයි. එහිදී ‛සුජී’ එදා සිදුවූ සිදුවීමේ ඇත්ත නැත්ත පැහැදිලි කරයි. තමා කිසි දිනක මත්පැන් පාවිච්චි නොකරන බවත්, තමා සේවය කරන්නේ ගල්වැඩපළක  බවත්, එහි අධික ශබ්දය නිසා ඇය පැවසූ දෙය තමාට නොඇසුණු බවත් මේ නපුංශක තෙමේ පවසයි. මෛ් පවසන පුද්ගලයා ගල්වැඩපළක වැඩකරනවා තබා ගල්වැඩක් දැක ඇතිද යන්නත් සැක සිතේ. එයින් නොනවතින ඔහු පවසන්නේ සමාජ ජාල හරහා මෙයට ‛ලයික්’ කළ හා ‛ෂෙයාර්’ කළ අය සොයා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. මේ සඳහා ඔහුට සහාය වන්නේ එක්තරා නීති ආධාර සංගමයක නීතිඥයකු ලෙසින් පෙනී සිටින තවත් නපුංශකයෙකි. එම නපුංශක රංගනයේ අවසානයේ සුජී ලෙස පෙනී සිටින නපුංශකයා පවසන්නේ ඇය පැවසූ ලෙසම තමා සිය දුරකතනය ළමයෙකුට ලබාදීමට පියවර ගන්නා බවයි. මේ අවස්ථාවේදී එතැනට පැමිණෙන කුඩා දරුවකුට ස්ථාවර වර්ගයේ දුරකතනයක් ලබා දෙන අතර සියලු දෙනා අවඥා සහගව සිනහසෙමින් මේ නපුංශක රංගනය අවසන් කරයි. 

යමක් නිවැරදිව කරන්නට නොමැති අයෙක් සිටී නම් අද බොහෝ දෙනෙක් එයට ද මෙම ‛සුජී’ ගේ සිදුවීම සම්බන්ධ කරගනිති. පසුගිය කාලයේ සඳසේයා දැරියගේ මරණ පරීක්ෂණය හරිහැටි සිදුකිරීමට නොහැකි වූ කොටදෙනියාව පොලීසියේ නිලාධාරීන්ට සමාජ ජාල මගින් පහර ගැසුවේ, “ඕ.අයි.සී. මහත්තයෝ ඔය පට්ටම දීපං ළමයෙකුට” කියාය. පසුගිය දිනෙක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් මඩ විසුරුවාගෙන යනු දුටු කොල්ලන් පිරිසක් කෑ ගැසුවේ, “අඩෝ, ඔය ඩ්‍රැයිවර්කම දීපං ළමයෙකුට” කියාය. මෙය සාමාන්‍ය සමාජයෙන් ඔබ්බට ගොස් අවසානයේ පාර්ලිමේන්තුවට ද බෝවී තිබේ. පසුගිය දිනෙක පාර්ලිමේන්තු කතාවක් අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පොලීසිය භාර ඇමති වන තිලක් මාරපනට පවසන්නේ “මතක තියාගන්න ඇමතිතුමා, ඔය ඇමතිකම දෙන්න ළමයෙකුට” යැයි කියාය. සුජීගේ සිදුවීම අවසානයේ පාර්ලිමේන්තු ගතවී දේශපාලනීකරණයට ලක් වන්නේ ඒ ආකාරයෙනි. කෙසේ නමුත් ජවිපෙ නායකයා අතින් හෝ මෙහි සමාජමය වරද ඉස්මතු කෙරෙන බවක් පෙනෙන්නේ නැත. එබැවින් අප රටේ උත්තරීතර ආයතනයෙන් ද  එය අවඥා සහගත, අවභාවිතකිරීමකට ලක්වී යයි. 

අද සමාජය පත්ව ඇත්තේ මෙබඳු ශෝචනීය ඉරණමකයට. බල්ලන් මරා සල්ලි හම්බකිරීම, අම්මා තාත්තා විකුණා හෝ සල්ලි හම්බකිරීම වැනි ශෝචනීය සමාජ ආකල්පවලින් අනතුරුව දැන් උදාවී ඇත්තේ තවත් මිනිසකුගේ දුක අවඥාවට ලක්කරමින් එයින් ‛ෆන් ගන්නා’ සමාජයක් බිහිවීමය.  අප සියලු දෙනා මතක ලබාගත යුතු එක් කරුණක් තිබේ. එනම් ගඟේ ජලයට කුණු දැමිය හැකි නමුත්, ඔබගේ නිවසට පැමිණෙන්නේ ද ඒ ගඟේ ජලයම බවය. එයින් කියන්නට උත්සාහ ගන්නේ ඔබ විසින් අවඥවට ලක්කරන සමාජ සාර ධර්ම යම් දිනෙක පෙරළා ඔබවම ගිළගන්නා බවය. අවසානයේ කිවහැකි එක කරුණක් තිබේ. එය පවසන්නේ මෙම කාන්තාවගේ පෞද්ගලික ජීවිතයට එබී බලා, එය වීඩියෝ ගතකොට සමාජ ජාලයට මුදාහළ, එයට ‛ලයික්’කරමින්, එය ‛ෂෙයාර්’ කළ සියලු දෙනාටමය. ඒ, 

“උඹලාගේ මනුස්සකම දමාපන් බල්ලෙකුට” කියාය. 







12 comments:

  1. ඔබේ අදහස මා ද පිළිගන්නවා , අද මේ සමාජ අඩවි , ජනමතයක් ගොඩනගන්නට තරම් ශක්තිමත් වෙලා තිබෙන නමුත් අවාසනාවට දෝ වඩාත් මතු වන්නේ මිනිසත්කමට ගරු කරන දේට වඩා මිනිසත්කමට නිගරු කරවන සිදුවීම්ද කියල හිතෙනව.
    කෘෘරත්වය , වෛරය , වෙනත් අයෙක්ව මානසිකව හෝ හිංසනයකට පත් කරන දේ අද හුඟක් “ෂෙයා“ වන බවක් පෙනන . නමුත් ඒ අතරේ මිනිසුන්ට උපකාර කරන  , මිනිසත්කම් නංවන සිදුවීමුත් යම් තරමකින් හෝ අසන්නට දකින්නට ලැබීම තරමකට හෝ සතුටක්
    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. අද බොහෝ දෙනෙක් බොහෝ විට තමන් ලයික් කරන්නේ හෝ ෂෙයාර් කරන්නේ සමාජයට වැඩදායක දෙයක් ද, හානිකර දෙයක් ද කියා කල්පනා කරන්නේ නැහැ. සමාජ ජාල වෙබ් අඩවිවලින් ජනමතයක් ගොනගන්නට හැකියාව තිබුණත්, එය නිවැරදි, සමාජයට නිවැරදි මග පෙන්වන ජනමතයක් වන බවට සමාජජාල වෙබ් අඩවිවිලට සම්බන්ධවන්නන් තහවුරු කරගත යුතුයි.

      Delete
  2. සුජි ගේ පිහිටෙන් බ්ලොග් පොස්ට් එහෙකුත් කපා ගත්ත ... ඔය මදෑ 1

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  3. උඹලාගේ මනුස්සකම දාපන් බල්ලෙකුට නෙවෙයි, උඹලා ලෝකෙට පෙන්නන බොරු මනුස්සකම ගෙනිහින් උලාගනින් බල්ලෙක්ගෙ පස්ස පැත්තේ කියලා තමයි කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.

      Delete
  4. ගෑනු රට යවල නිකම් රටට බරක් වන කාලකන්නි පිරිමි එන්න එන්නම වැඩි වෙනවද මන්දා

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒක වෙලා ඉවරයි. මොකද අපි පොඩි කාලෙත් අපේ ගම්වල මේ වගේ කතා කියැවුණා. ඒ කියන්නේ දැන් පවතින්නේ ඒ තත්වය වෙන්න ඕන.

      Delete
  5. ඔබේ අදහස වලට මා ඉතාමත් ගෞරව කරනවා. නවීන තාක්ෂණයට මුවා වී මනුස්සකම දියව යන පුවත් මවන්න කැමති තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වය හාස්‍යයට ගන්න සමාජයක් දැන් තියෙන්නෙ. තව කෙනෙක්ගෙ මානසිකත්වය තේරුම් අරන් වැඩ කරන අය හරිම අඩුයි. වැරදි වලට උල් පන්දම් දීලා තව කෙනෙක් ඒකෙ වැරැද්ද පෙන්නලා දෙද් දී අනේ ඔව් නේද කියලා විවේචනය කරන්නෙ තමන් මුකුත් කලේ නෑ වගෙයි. ඇත්තටම මිනිස්සුන් ට නැති මනුස්ස කම බල්ලොන්ට තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. දැන් මේ අලුත් තාක්ෂණයම තමයි මිනිස්සුන්ගේ මනුස්සකම් බල්ලට දාලා තියෙන්නේ. අනතුරක් වුණාම අනතුරට පත් වුණු මිනිස්සුන්ට උදව් කරනවා වෙනුවට අද කාලේ කට්ටිය කරන්නේ ඒක වීඩියෝ කරන එකයි සෙල්ෆි ගහන එකයි. ඒ තරමට සමාජය පිරිහිලා. ඒ නිසා තමන්ගේ සමාජ වගකීම් මොනවාද කියන එක අපි හැමෝටම නැවත හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න