පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, May 29, 2021

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?


 

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක් නිසා ය.


‘‘ඔය කතාව අපිත් ඕනෑතරම් අහලා තියෙනවා. නමුත් මුලදී විශ්වාස කළේ ම නැහැ. ඒත් පස්සේ මෙන්න මෙහෙම දෙයක් නම් වුණා.’’

 මා හා එසේ පවසන ලද්දේ උඩුවැල්ලේ පදිංචි රෝහණ රංජන් අබේරත්න ය. ඔහු අහුපිණිඇල්ල පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා ද වෙයි.

‘‘මමයි මගේ නෝනයි මීට ටික කාලෙකට ඉස්සර ඔය දියඇල්ල අයිනෙන් වැටිලා තියෙන නාත්තකන්ද පාරෙන් පහළට යමින් හිටියා. ඔය ඇල්ලේ පහල තියෙනවා මිනීකඳවල කියලා තැනක්. මට තරමක් ඉස්සරහින් යමින් හිටපු නෝනා ඒ හරියෙදි මගෙන් අහනවා, ‘කවුද අනේ අර ඉස්සරහින් යන ගෑනු කෙනා, කොණ්ඩෙත් කඩා දාගෙන’ කියලා. එතකොට මාත් ඉස්සරහ බැලුවා. පේනතෙක් මානෙක මිනිස් පුළුටක්වත් නැහැ. වටේටම මහ කැලේනේ. එතකොට මටත් තේරුණා කාරණේ. ඒ හින්දා මාත් කිව්වා ‘ඔය උඩහ පැත්තේ ගෙදරක ගෑනු කෙනෙක්නේ’ කියලා. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ එක රේඩියෝ චැනල් එකක ඔය අද්භූත දර්ශන ගැන ප්‍රෝගෑම් එකක් ගියා. මටත් සිද්ධ වුණා ඒකට මගේ අද්දැකීමක් කියන්න. ඉතින් මමත් ඒ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙලා ඔය කතාව කියනවා අහගෙන හිටපු නෝනා අන්දුන්කුන්දුන් වුණා.

පස්සේ මෙයා හොඳටම බය වෙලා මගෙන් අහනවා ‘එතකොට මම ඒ දැකලා තියෙන්නේ ඔය කියන හොල්මනද?’ කියලා. මමත් එතකොට හිනාවෙලා ඇහුවා ‘ඒ කතාව දැන් අහලා ඔයා ඔය තරම් බය වුණ එකේ ඒ වෙලාවෙම කිව්වා නම් කොහොමට බයවේවිද?’ කියලා.’’

අබේරත්න මහතා කීයේ සිනාසෙමිනි.

අද්භූත කාන්තා රූපය පිළිබඳව එබඳු කතාබහක් සමාජය පුරා පැතිර යන අතරේ එම දියඇල්ල සමිපයේදී ගනු ලබන ඡායාරූපවල ද අද්භූත රූප දක්නට ලැබෙන බවට ආරංචි මැඇතක සිට පැතිර  ලද්දේ 2019 වසරේ ජූලි 14 දා කැලණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකු එම දියඇල්ලට බිලිවීමත් සමගිනි. එම සිදුවීමෙන් කම්පාවට පත් ඔහුගේ මිතුරු මිතුරියන් ඇතුළු ඔහු පිළිබඳව දන්නා පිරිස් එම ඛේදවාචකය සිදුවූ ස්ථානය දැකගැනීමට පැමිණි අතර, ඔවුන් විසින් ගනු ලැබූ ඡායාරූප සමහරක ද අද්භූත රූප සටහන්ව තිබූ බව උඩුවැල්ලේ ගැමියෝ මා හා කීහ. ඒ එම සිද්ධියට මාස කිහිපයකට පසු පරිසරවේදියකු ද වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුගත් විජයවර්ධන ද සමඟ මා අහුපිණිඇල්ල ප්‍රදේශයේ සංචාරයක යෙදෙන අතරේ ය.

1994 වසරේ මා ශ්‍රීපාද අඩවිය සම්බන්ධ ජනශ්‍රැති අධ්‍යයනයක යෙදෙන අතරේ එවකට අවාරයේ ශ්‍රීපාදස්ථානයේ මුරකාර භූමිකාව කළ ශ්‍රී පලාබද්දල පදිංචි තිස්ස කුමාර මහතාගෙන් මෙබඳු තොරතුරක් දැනගන්නට ලැබිණ.

‘‘මම සතියකට හමාරකට සැරයක් පහළට ඇවිත් කෑම උයාගන්න උවමනා හාල්, පොල්, පරිප්පු, තුනපහ වගේ කළමනා පොදියක් අරගෙන හිමේට යනකොට හිමේ මැද්දේදි පාරේ ඈතින් සුදුම සුදුපාට ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඉන්නවා පේනවා. මේ දර්ශනය මට වගේම අපේ අප්පුච්චිලාටත් ඉස්සර ඉඳලම පෙනිලා තියෙනවා. ඒ අය තමයි කිව්වේ එහෙම පේන්නේ හූනියම් දේවතාවන්වහන්සේ, උන්වහන්සේ එහෙම පෙනී ඉන්නේ අපිට ආරක්ෂාව සලසන්න. ඒ නිසා බය වෙන්න එපා කියලා. ඒ හින්දා මමත් බය නැතුව ඉස්සරහට යනවා. හූනියම් දේවතාවන්වහන්සේ මාව ඒ විදිහට ඇරලවන්නේ හැරමිටිපාන ළඟට විතරයි.එතන ඉඳන් මාව සමන් දෙවි හාමුදුරුවන්ට බාර වෙනවා.උන් වහන්සේ අර වගේ පෙනී නොහිටියට උන් වහන්සේගේ පිහිට මට හොඳට දැනෙනවා ඒ එක්කම මගේ ඇඟටත් අමුතුම සනීපයක් දැනිලා මහන්සිය නැතුව යනවා. ඒ හින්දා මම උඩමළුවට ගියාට පස්සේ සේරටම කලින් කරන්නේ පැයක් දෙකක් හොඳට නිදාගන්න එක.’’

තිස්ස කුමාර මහතා කීය.

මෙහිදී අබේරත්න මහතාගේ බිරිඳ සහ තිස්ස කුමාර මහතා දුටු දර්ශන අතර යම් සමානත්වයක් තිබේ. ඔවුන් දෙදෙනාම ඒ අද්භූත රූප දැක ඇත්තේ නිහඬ, නිසංසල වනගත පරිසර පද්ධතීන් තුළදීය. එමෙන්ම අනුරාධපුර, කුට්ටම්පොකුණ අද්දරින් හැරී යන ගල්පාලම පාර ආසන්නයේ පිහිටි පෙරිමියන්කුලමේ විජයාරාමය නමින් හඳුන්වන පැරණි ආරාමික වනපෙත තුළ ද දිවා කාලයේ අද්භූත අයුරින් භික්ෂූන් වහන්සේලාගේ රූ ප්‍රදර්ශනය වන බව මීට වසර පහකට පමණ පෙර ජනමාධ්‍යයන්හි පළ විය. මේ සියලු සිදුවීම්වලට පදනම් වී ඇත්තේ ඒ අත්දැකීම්වලට මුහුණදුන් පුද්ගලයන්ගේ හුදෙකලා බව සහ හාත්පස පරිසරයේ වූ නිහඬ, නිසංසල බව පදනම් කරගත් කිසියම් මනෝමය සාධකයක් බව පෙනේ. එදිනෙදා ජිවිතයේදී කලබලකාරී, නාගරික පරිසරයන් තුළ අප අත්දකින මනැසට වෙහෙසක් ගෙනදෙන තත්ත්වයන් නිහඬ, නිසංසල පරිසරයන් තුළදී අත්විඳීමට නොලැබේ. බාහිර අරමුණුවලින් තොර එවැනි තත්ත්වයන් තුළදී සිතටත්, ගතටත් අමුතුම සුවයක්, සහනදායී බවක් ලැබුණු බව එවන් ස්ථානවලට ගියවුන් පවසන්නේ එබැවිනි. එමෙන්ම යම් යම් පාළු අවකාශයන් තුළ වෙනයම් අරමුණකින් තොර කිසියම් නිශ්චිත දුරක් එක එල්ලේ බලාගෙන සිටීමේ දී හෝ ඉදිරියට යාමේදී ස්වභාවිකව හටගන්නා අර්ධ නිද්‍රාමය තත්ත්වයන් තුළ යටි සිත තුළින් මතුවන විවිධ පරිකල්පන, ව්‍යාජ භ්‍රාන්තීන් සේ දිස්වීමේ යම් හැකියාවක් පවතී. මිනිස් වාසයෙන් තොර පැරණි, පාළු මහා මන්දිරවල දිගු කොරිඩෝවන්හි ගමන්කිරීමේදී ද වරින් වර මෙවැනි අද්භූත රූප දර්ශනය වන බවට තොරතුරු තිබේ. නමුදු ඒ ආකාරයේ අද්භූත රූප අප රටේ දුලබ ය. ඒ එතරම් සුවිසල් පාළුවට ගිය පැරණි මන්දිර අප රටේ දක්නට නොලැබෙන බැවිනි.මෙහි දී තිස්ස කුමාර මහතා කී අන්දමට ශ්‍රී පාද මාර්ගයේ හැරමිටිපානෙන් ඔබ්බේ දී ඔහුට එම අද්භූත දර්ශනය නොපෙනෙනුයේ ඉන්පසු හාත්පස පරිසරය මුළුමනින්ම පාහේ විවෘත අවකාශයක් සේ පෙනෙන බැවිනි.

2019 ජූලි 14 වනදා සිදුවූ ඛේදවාචකයෙන් පසු සරසවි සිසුන් විසින් ගනු ලැබූ අහුපිණිඇල්ල ආශ්‍රිත ඡායාරූපවල දක්නට තිබූ බව පැවසෙන අද්භූත රූප එම ප්‍රදේශයේ තරුණයෙකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඇතැයි දැනගන්නට ලැබුණු බැවින් වෛද්‍ය සුගත් සමග මම ඒ සම්බන්ධයෙන් ද විමසුමක් කළෙමි.

දැනට අප සමාජයේ බහුලව භාවිත කෙරෙන ජංගම දුරකතනවල ඇති කැමරා ද සහිත ක්ෂණික ස්වයංක්‍රීය  (

Instamatic

) කැමරා, තාක්ෂණික වශයෙන් ඉතා ප්‍රාථමික ය. ඒවායේ ලෙන්සය සහ ක්ෂණික ආලෝක ධාරා විහිදුවන ෆ්ලෑෂරය ඇත්තේ එකම ස්ථානයක ය. එබැවින්, එවන් කැමරාවකින් ෆ්ලෑෂරය දල්වා ඡායාරූපයක් ගැනීමේදී ලෙන්ස් එක ඉදිරියේ ඇති ඉතා සියුම් ධූලි හෝ ජලවාෂ්ප අංශුවක් වෙත එම ෆ්ලෑෂර් ආලෝකය පතිත වීමෙන් විවිධ පැහැයන්ගෙන් යුතු ගෝල ඡායාරූපයේ දක්නට පුළුවන. මේවා හැඳින්වෙනුයේ මණ්ඩල (Orbs) යනුවෙනි.




වරක් රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක එළිමහන් සාදයකදී ගනු ලැබූ ඡායාරූප රැසක අහසින් පොළොවට පාත්වන උල්කාපාත බඳු එවැනි රූ සටහන් කීපයක් දක්නට ලැබිණි. ඒ රූ සටහන් හඳුනාගත නොහැකි සමහරුන් කියා සිටියේ එම එළිමහන් සාදය සඳහා පිළියෙළ කර තිබූ මස් මාංශ හා පුළුටු කෙරෙහි ලොබ බැඳගත් ප්‍රේතාදී අමනුෂ්‍යයන් අහසේ සිට එම අවළුපත් වෙත පතිතවනු ඒ ඡායාරූපවල සටහන්ව ඇති බවය. එහෙත්, එම එළිමහන් පරිසරය පරීක්ෂා කළ මට දක්නට ලැබුණේ එම ගෙමිදුලේ සාදය පැවැත් වූ තැනට ඉහළින් මල්වලින් පිරීගත් අතු පතර විහිදුණු වෙරළු ගසක් ඇති බව ය. සුළඟට ගස සෙලවීමේදී බිමට පතිත වන ලදුව එම කැමරාවල ෆ්ලෑෂ් එළියට හසුවී ඡායාරූපවලට නැංවුණු වෙරළු මල්වලට සමහරෙකු විසින් අමනුෂ්‍ය නාමයන් ආරෝපණය කර තිබුණි. එහෙත්, මෙම අද්භූත රූප එම සංයුක්ත කැමරාවලට වඩා දියුණු තාක්ෂණයකින් යුතු තත්කාච ප්‍රතීක කැමරා (Single lence reflex camara) වලින් ගනු ලබන ඡායාරුපවල දක්නට නොමැති බව ද කිව යුතු ය.


සම්පත් දායකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ

Tuesday, May 18, 2021

ජ්යොතිෂ්ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර



වර්තමාන කොවිඩ් වසංගතය මුල් කොට ජ්‍යොතිෂ්‍යය මඟින් අනාවැකි කීම වැනි ගුප්ත ශාස්ත්‍ර වේගවත් පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙයි.අනාගතය යනු නිශ්චිත සැලසුමකට අනුව උදාවන්නක් නම් හෝ ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර මඟින් අපගේ හෙට දවස කල් ඇතිව කිව හැකි නම් මේ දිනවල කාර්ය බහුලම පිරිස විය යුත්තේ ජ්‍යොතීර්වේදීන්ය. එහෙත්, පොදුවේ ගත් කල අද වන විට ඔවුන් සියළු දෙනා සැඟව සිටින බවක් පෙනෙයි. යුදමය,වසංගත,ස්වාභාවික ආපදා හෝ වැඩි පිරිසක් මිය යන හදිසි අනතුරුවල දී මාරක අපල සහ රාජයෝග ඇත්තවුන් එක රොත්තට මිය පරලොව යාම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් මීට වසර තිස් දෙකකට පෙර මා ලත් ආනුභාවික අත්දැකීමක් මෙලෙසිනි.

 

එක්දහස් නවසිය අසූ නවය වසරේ ජනවාරි දාහත්වනදා මුළු රටම කම්පා කරවන සුවිසල් රිය අනතුරක් සිදු විය. ඒ එදින පස්වරු දෙකට අම්බලන්ගොඩ සිට ඌරගස්මංහන්දිය දක්වා ගමන් ඇරඹූ අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අංක 23 ශ්‍රී 8293 දරන ලංගම බස් රථය එවක අනාරක්ෂිතව තිබූ අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ අංක 750 දරන මගී දුම්රියේ ගැටීමෙනි. ඒ අනතුරින් එම බස් රථයේ ගමන් ගත් හතළිස් දෙනෙකු ඛේදනීය ලෙස මියගිය අතර තිස් අට දෙනෙකුම පාසල් නිමාවී නිවෙස් බලා යමින් සිටි සිසු දරුවෝ වූහ. ඉතිරි දෙදෙනා මුස්ලිම් ජාතික ගුරු මාතාවක් සහ එම ප්‍රදේශයේ වැසියෙකි. මම එවක මැද පෙරදිග සේවා නියුක්තික ශ්‍රී ලාංකිකයන් සඳහා ශ්‍රී ලංකාවෙන් මුද්‍රණය කොට යවන "මැද පෙරදිග" පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළෙමි. එහි ප්‍රධාන කර්තෘ වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර ය. එම අනතුර සිදුවී දින දෙක තුනක් ඉක්ම යන විට ඒ සම්බන්ධ බොහෝ තොරතුරු පුවත්පත් සහ රූපවාහිනී මගින් සන්නිවේදනය වී තිබිණ. එනිසාම සතියේ පුවත්පත් අලෙවිය ද ශීඝ්‍රයෙන්  ඉහළ ගියේ ය. මැද පෙරදිග සේවා නියුක්තියේ යෙදී සිටි ශ්‍රී ලාංකිකයන් ද  එම අනතුර පිළිබඳ බොහෝ තොරතුරු දැන කියාගෙන සිටි බවට කිසිදු සැකයක් නොවිණි. එබැවින් එම ඛේදවාචකය සම්බන්ධ බොහෝ දෙනෙකු නොසිතන පැතිකඩක් මුල්කොට මැද පෙරදිග’ පුවත්පත සඳහා විශේෂාංගයක් සම්පාදනය කිරීමට

මට අවශ්‍ය විය.

 

‘‘අහුන්ගල්ල ඛේදවාචකයෙන් මියගිය දරුවන්ගේ ඉරණම කේන්දර වල ලියැවී තිබුණේ කෙසේද?

 

එම විශේෂාංගය සඳහා මා යොදාගත් තේමාව එයයි. ඒ අනුව "මැද පෙරදිග" ඊළඟ කලාපය සඳහා අහුන්ගල්ලේ ඛේදවාචකය සම්බන්ධ වෙනත් විශේෂාංග ලිපි සැපයීම අරමුණු කරගත් මාධ්‍ය සගයන් දෙතුන් දෙනෙකු ද සමග මම අනතුරින් මියගිය දූ දරුවන්ගේ නිවෙස් සොයා ගියෙමි.

 



ඒ 1989 ජනවාරි 22 වන ඉරිදාය.

 

“අනේ අපේ දරුවට නම් එහෙම අපලයක් තිබුණේ නැහැ. සුළු සුළු අපල වගයක් තිබිලා පහුගිය කාලේ ඒවත් නිකම්ම මගඇරිලා ගියා.”

 

අනතුරින් මියගිය එක් දරුවෙකුගේ මවක් එසේ කීවා ය. ඒ අතර තවත්  දරුවකුගේ පියෙකු අප හා කීවේ තමන්ගේ පුතුට රාජ යෝගයක් තිබුණු බවත්  ඒ අනුව ජන නායකයෙකු හෝ ගිහි පඬි රුවනක් හෝ පැවිදි වුවහොත් මහා නායක හිමි නමක වන බව ඔහුගේ ජන්ම පත්‍රයේ සටහන්ව තිබූ බවයි. ඒ අතර තවත් දරුවෙකු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබාදෙන බවට ජන්ම පත්‍රයේ සටහන්ව තිබූබව පවුලේ ඥාතීහු හඬා වැළපෙමින් මා හා කීහ. නමුත් තම දරුවන්ට මාරක අපලයක් තිබූ බව කියා සිටි දෙමාපියන් මට හමුවූයේ ඉතා

කලාතුරකිනි.

 

අනතුරින් මළ දරුවන්ගේ ජන්ම පත්‍ර වල සටහන්ව තිබූ මෙම විෂමතාවයන්’ එවක ජ්‍යොතිෂ්‍යය පිළිබද දැඩි විශ්වාසයකින් සිටි මගේ හිස මතට පතිත වූ දරුණු මෝල්ගස් පහරක් මෙන් විය. එබැවින් මගේ සිත තුළ ගොඩනැගුණු මානසික වියවුල සමනය කරගැනීමට මා ඊට පසුදිනම අනතුරින් මියගිය ඉතිරි දරුවන්ගේද නිවෙස් සොයා ගියෙමි.




අහුන්ගල්ල යනු මෙරට මෑතකාලීන ජ්‍යොතිෂ්‍යය පිළිබඳ තිඹිරි ගෙය බඳු ගම්වරයෙකි. ඒ මෙරට පංචාංග ලිත් කලාවේ පුරෝගාමියා වන දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ ද ගුරුවරයා අහුන්ගල්ලේ ගුරුතුමා නම් ජ්‍යොතිෂ්‍යය

විශාරදයකු වීම නිසා ය.  ඔහුගෙන් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ජ්‍යොතිෂ්‍යය උගත් ගිහි පැවිදි විශාල පිරිසක් පසුකාලීනව ද අහුන්ගල්ල කේන්ද්‍රගතව ජීවත් වූහ. එනිසාම අනතුරින් මියගිය දරුවන් ගේ මාපිය භාරකාරයින්ට ඒ වනවිට සිටි ජ්‍යොතිෂ්‍ය විශාරදයන්ගෙන් කේන්ද්‍ර පරීක්ෂා කිරීමේ පහසු අවස්ථාවක් උදා වී තිබිණ. එබැවින් එම සංවේගාත්මක, දුෂ්කර චාරිකාව නිමාවේ එක්කරගත් දත්තයන් මෙලෙස ගොනු කර ගැනීමට මට හැකි විය.

 

අනතුරින් මියගිය දරුවන් තිස්අට දෙනා අතුරින් ඔවුන්ගේ දෙමාපිය ප්‍රකාශ ඇසුරින් දෛවය සටහන් කරගත හැකි වූ දරුවන් තිස් හතරකි. සෙසු මාපියෝ විවිධ හේතු දක්වමින් ඒ සම්බන්ධ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.සෙසු දරුවන් අතුරින් සමහරෙකු රාජ යෝග ඇතුළු විශිෂ්ඨ අනාගතයකට හිමිකම් කී අතර අනතුර සිදුවෙද්දී ජන්ම පත්‍රයේ කිසිදු අපලයක් සටහන්ව නොතිබූ දරුවන් සංඛ්‍යාව දහ අටකි.කේන්ද්‍රවල තිබූ සුළු සුළු අපල ගෙවී යාමෙන් පසු අනතුරින් මියගිය දරුවන් සංඛ්‍යාව හයකි. ඒ සමයේ පහසුවෙන් මගහරවා ගත හැකි සුළු අපල තිබූ බව කියූ දරුවන් හතරක් ද අනතුරින් මියගොස් තිබිණි. මාහට නිරීක්ෂණය වූ අන්දමට ජන්ම කේන්ද්‍ර වලට අනුව අනතුර සිදුවූ සමයේ බරපතළ අපල කාලයක් ගෙවමින් සිටි දරුවන් ගණන හතරකි.ඒ අතර එම අනතුරින් මියගිය දරුවන්ගේ ජන්ම පත්‍ර සැලකියයුතු කාලයකින් පරීක්ෂා නොකළ නිසා ඔවුන්ගේ දෛවය පිළිබඳව නිශ්චිතව යමක් කීමට අපහසු බව කියා සිටි මාපිය වැඩිහිටියන් දෙදෙනෙකි.ඉහත සමීක්ෂණය අනුව අහුන්ගල්ලේ දුම්රිය බස්රිය ගැටුමින් ඛේදනීය අකල් මරණවලට ලක්වූ දූ දරුවන්ගේ දෛවය සටහන්ව තිබූ ආකාරය අතිශයින් විපරීත ස්වභාවයක් ගෙන තිබූ බැවින් ඒ ගැන "මැද පෙරදිග’ පාඨකයන්ට ලිවීමට සිතූ ලිපියේ අරමුණ එය නොවන බැවින් එය ලිවීම මම හිතාමතාම මග හැරියෙමි.

 




එම අහුන්ගල්ල දුම්රිය බස්රථ අනතුරට අද වනවිට වසර තිස්දෙකක් ඉක්මගොස් ඇති නිසාත්, මගේ ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයේ සමාරම්භක ගවේෂණය එය නිසාත්,ජ්‍යොතිෂ්‍යය වැනි ගුප්ත විශ්වාසයන්හි එල්බගෙන හිඳින වර්තමානයේ බොහෝ දෙනෙකුට අලුතින් සිතා බැලිය යුතු යමක් මේ ගවේෂණය තුළ ගැබ්ව ඇති නිසාත් මෙම සංසිද්ධිය ඔබ හමුවට ගෙන ඒමට  මට සිත් විය.එමෙන්ම තම බිඳ වැටුණු මානසිකත්වය රඳවා තබන "අඩ කොටයක්" ලෙස ජ්‍යොතිෂ්‍යය වැනි ගුප්ත විශ්වාස යොදාගන්නවුන් තුළ මින් ඇතිවන කම්පනය ද මා නොදන්නවා නොවේ.ඊට හේතුව මීට දශක තුනක් දක්වාම මාද එවැන්නකුව සිටි බැවිනි.



සම්පත් දායකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ


Friday, May 14, 2021

කොරෝනා වෛරසය චිනයේ ජීව අවියක්ද? - Is Corona Virus a biological weapon of China?



ලොව පුරා මිලියන 3 කට අධික ජනතාවක් මරණයට පත් කරන්නට හේතු වූ කොවිඩ්-19 වෛරසය මුලින්ම ඇති වුණේ කොහේද කියන එක ගැන තවම හරියටම කාටවත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. මේ ළඟදි චීනයට අයත් රහස් ලියවිල්ලක් පිළිබඳ හෙළිදරව් වුණා. ඒ ලියවිල්ලේ තියෙන විදියට කොවිඩ් රෝගයට හේතුවන සාර්ස් නම් වෛරස් කාණ්ඩය ජීව අවියක් ලෙස භාවිත කරන්නට පුළුවන්ද කියන එක චීන බලධාරීන් 2015 දී සාකච්ඡා පවත්වා තිබෙන බව හෙළිවෙනවා.

 

ප්‍රවෘත්තිවලින් දැනගන්නට ලැබෙන විදියට මේ රහස් ලියවිල්ල ලැබිලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවටයි. මේ වෛරස ඇතිවුණේ කොහොමද කියලා හොයා බලන එක් කණ්ඩායමක් තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව.

 

මේ ලියවිල්ලේ තියෙන්නේ මොනවද?

 

වාර්තාවලට අනුව චීන හමුදා සහ සෞඛ්‍ය නිලධාරීන් කොරෝනා වෛරසය ආයුධයක් විදියට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවා.

 

මේ ලියවිල්ල ප්‍රසිද්ධියට පත් කළ The Weekend Australian කියන පුවත්පත කියන්නේ 3 වැනි ලෝක යුද්ධය සිද්ධ වෙන්නේ ජීව විද්‍යාත්මක ආයුධවලින් කියලයි.




 එම ලියවිල්ලෙන් හෙළිවන්නේ කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක ආයුධවල නව යුගයක් උදාකරනු ඇති බවයි. මේ ජීව විද්‍යාත්මක අවියෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ සතුරු පාර්ශ්වයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ දැමීමයි.

 

චීන බලධාරීන් පුරසාරම් දොඩන්නේ මෙය සෙමින් මතුවෙන මානව වෛරසයක් ලෙස කෘත්‍රිම ලෙස නිර්මාණය කරන බවයි. මෙය නිර්මාණය කරන්නට පවරා ඇති අය අතර චීනයේ සෞඛ්‍ය අංශයට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් පිළිබඳව ද මේ ලියවිල්ලේ සඳහන් වෙනවා.

 

2015 වසරේ දී සම්පාදනය වූ මේ ලියවිල්ල පිළිබඳ ඕස්ටේ්‍රලියානු පුවත්පත් කලාවේදියකු සහ කතුවරයකු වන ෂැරී මාර්ක්සන් විසින් ලියන ලද What Really Happened in Wuhan? (වුහාන් හි සැබවින්ම සිදුවූයේ කුමක්ද?) කෘතියේ ද  සඳහන් වෙනවා.




 

මේ හමු වී ඇති රහස් ලියවිල්ල විශ්ලේෂණය කළ ප්‍රධාන පෙළේ අන්තර්ජාල ආරක්ෂණ විශේෂඥයකු පවසා සිටියේ මෙය ව්‍යාජ එකක් නොවන බවයි. කොවිඩ්-19 වෛරසය ඇති වූයේ කෙසේද යන්න පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන්නට චීනය මෙතරම් අකැමැත්තක් දක්වන්නේ මන්ද යන්න මේ ලියවිල්ලෙන් හෙළිදරව් වන බව විශේෂඥයන් පවසනවා.

 

 

චීන රජය විසින් පවත්වාගෙන යනු ලබන Global Times පුවත්පත, The Weekend Australian පුවත්පතට චෝදනා කරන්නේ ඔවුන් ලොව පුරා අසත්‍ය තොරතුරු  පතුරුවන බවයි. කොවිඩ්-19 වෛරසය මුලින්ම මතුවූයේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී චීනයේ වුහාන් නගරයේ දි යි.

 

 

එය පැතිර යාම පටන් ගැනීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම රටවල් කිහිපයක් ද එය ඇති වුයේ කෙසේද යන්න සොයා බලන්නට පටන් ගත්තා. කොරෝනා වෛරසය ඇති වීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක් වූ එම රටවල් එක හඬින් කියා සිටියා.

 

වෛසරයට ඇත්තේ ස්වභාවික හේතුවක් බවත්, එය මුලින්ම සොයා ගනු ලැබුවේ වුහාන් හි සත්ව වෙළෙඳපළක දී බවත් යන කාරණය ඔවුන් පිළිගන්නට මැලිකමක් දැක්වූවා.

 

 

 

 

 








Tuesday, May 11, 2021

හිතට ආපු යක්කු ගෙට පැන්න හැටි





අමනුෂ්ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන්ය. එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දන්කොටුවේ පදිංචි රවීන්ද්ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්ර පුත්තලම් දිස්ත්රික් ශ්රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය. තොරතුර ලැබී ආසන්නම දිනක නිවසේ හිමිකරුවන්ගේ ද පූර්ණ එකඟත්වය මත මමත් රවීන්ද්ර එම නිවස සොයා ගියෙමි. වෙන්නප්පුව නගරයෙන් මඳක් ඔබ්බෙහි අර්ධ නාගරික පරිසරයක පිහිටි එය බැලූ බැල්මටම සාමාන්ය නිවහනකට වඩා මන්දිරයක සිරි ඉසිලීය. ඒ අවට තවත් එවැනිම සුවිසල් නිවෙස් කිහිපයක් දැකිය හැකි වූ මුත් ප්රමාණය අනුව ඒවා ගලිවර් ඉදිරියේ හිඳින ලිලිපුට්ටන් මෙන් විය.එම සුවිසල් නිවසේ හිමිකරුවන් වූයේ දීර්ඝ කාලයක් ඉතාලියේ රැකියා කොට මව්බිමට පැමිණ සිටි අඹුසැමි යුවලකි. ඔවුන් උපයාගත් අතිවිශාල මුදලින් සෑහෙන කොටසක් එම මන්දිරය තැනීම සඳහා යටකොට ඇති වගක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණි. එම යුවලට එම දෙමහල්ලන්ගේ භාරයේ අප රටේ සිටි යොවුන් වියේ පසුවන දරු තිදෙනෙකු වූ අතර, අම යුවල තම දරුවන් ද සමග නිවසේ පදිංචියට විත් ඒ වනවිට මාස කිහිපයක් ඉක්මගොස් තිබිණි.

 

"අපි ලොකු පාටියක් එහෙම දාලා තමයි ගෙදර පදිංචියට ආවේ. ඒත් පදිංචි වෙලා ටික දවසක් යනකොට අපේ හිත්වලට අමුතුම පාළුවක්, තනිකමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා. මට වගේම දරුවන්ටත් ඒ පාළුව, තනිකම ඒ විදිහටම දැනුණා. ඊටපස්සේ තමයි ලොකු දුව කියන්න පටන්ගත්තේ මේ ගේ ඇතුළේ තවත් කවුරුහරි ඉන්නවා දැනෙනවා කියලා.”

 

එම භූත සිද්ධිය අප හමුවේ අනාවරණය කරමින් නිවසේ හිමිකාරිය කීවාය.

 

“ ඊට පස්සේ මේ ගේ ඇතුලෙන් අමුතුම පාළු ගඳක් දැනෙන්න පටන් ගත්තා"

 

වැඩිදුරටත් විස්තර කළ ඇය කීයේ එවැන්නකි.

 

"ඊටපස්සේ අපි මේ කතාව අපිට හුඟක් හිතවත් නෑනා කෙනෙකුට කිව්වා. මොකද එයාලා ඔය යක්ෂයෝ එලවන හලාවත පැත්තේ පාස්ටර් කෙනෙක්ව දැනගෙන හිටිය නිසා. පස්සේ ඒ පාස්ටර් එයා බැඳලා ඉන්න සිස්ටරුත් එක්ක ඇවිත් දෙවියන්ට යාඥා කරලා ගේ හැමතැනම සුදු පාට කුඩු වගයක් ඉහලා ගියා. පුදුමේ කියන්නේ එදායින් පස්සේ රෑට ගෙදර අමුතු සද්දත් ඇතිවෙන්න පටන්ගත්තා. ඊටපස්සේ අපි ගිහින් ඒ පාස්ටර් මුණගැහුණම එයා කිව්වා ඕක යක්ෂයා අරක්ගත්තු ගෙයක්. ඔය ගෙදරින් යක්ෂයා එලවන්න නම් ඔයාලා ඇදහිලිවන්තයන් විදිහට අපේ නිකායට සම්බන්ධ වෙන්න. එහෙම බැරි නම් ඔය ගේ අතහැරලා යන්න කියලා.”

 

ඇය වැඩිදුරටත් කීවාය.

 

නමුත් තමන් පාරම්පරික කතෝලික බැතිමතුන් වූ නිසා අන්ය නිකායන්ට සම්බන්ධ වීම  ගැන ඥාතීන් දැඩිව විරුද්ධ වූ බව ඇය කීවා ය. කෙසේ හෝ තම ජන්ම ආගම වෙනස් කිරීමට ඇති නොහැකියාව නිසා ඔවුන් බෞද්ධ ක්රමය යැයි සඳහන් කළ ගුප්ත පිළියමකට එකඟ වී ඇත්තේ ඒ සඳහා ආගම් මාරුවක් අවශ්ය නැති බව පැවසූ බැවිනි. එහිදී ඇදුරෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු සහ ඔහුගේ සගයන් දෙදෙනෙකු පැමිණ නිවසේ සාලය මැද මල් බුලත් පුටුවක් තබා, රැයක් පහන් වනතුරු යන්ත්රමන්ත්ර ජපකොට මැතිරූ තැඹිලි ගෙඩියක් පසුදා අළුයම පවුලේ සාමාජිකයන්ට බීමට දුන් වග නිවස හිමි කාන්තාව කීවාය.එහෙත්,ඔවුන් අනුගමනය කළ එම "බෞද්ධ ක්රමය අප තබා බුදු හිමියන් වත් නොදැන සිටි බව සහතික ය.

 

‘“මේ ගෙදරට මොකක්හරි අමනුෂ්ය දෝෂයක් තියෙනවා නම් ඒ තැඹිලි ගෙඩියේ වතුර තිත්ත වෙන්න ඕනේ කියලා ඒ මනුස්සයා කිව්වා. මගේ මහත්තයටයි  පවුලේ බාලයා පුතාටයි, හැරුණු කොට මටයි දුවලා දෙන්නටයි ඒ තැඹිලි වතුර තිත්ත බව හොඳටම තේරුණා. එතකොට තමයි ඒ මනුස්සයා කිව්වේ ඒ අමනුෂ්ය බලපෑම අපි තුන්දෙනාගේ ඇඟවල්වලට ඇතුළු වෙලා කියලා. ඒකයි අපිට එහෙම දැනෙන්නේ කියලා. කොහොමහරි අපි තුන්දෙනා මේ ගෙදර කාමරයක් ඇතුළට යනකොට අපිට හොඳටම තේරෙනවා ඒකේ ඇතුළේ ඉන්න කවුරු හරි ජනේලෙකින් පැනලා යනවා කියලා. දැන් අපි සැරින් සැරේ ලෙඩ වෙනවා.අපිට මේ ගෙදර ඉන්න එක එපාම වෙලා.”

 

ඇය කීවේ අපමණ දුක් මහන්සි වී තමන් විසින් තනාගත් සිහින මැදුර තමන්ට අපායක් වී ඇති බව අනියමින් පවසමිනි.මෙහිදී එම රූප, ශබ්ද ආදී අමනුෂ්ය සංඥා සේම තැඹිලි වතුර තිත්ත වීම ද ව්යංගය[Suggestion] නම් මානසික සාධකය මත පදනම් වන බව අපට වැටහිණී.

 

"මේක අපි ඉතාලි ක්රමයට හදවාගත්තු ගෙයක්. ඒත් අපේ රටේ වාස්තු දෝෂ කියන ඒවා නම් අපි බැලුවෙම නැහැ. ඔය අතරේ අපේ යාළුවෙක් වාස්තු දෝෂ බලන්න කියලා කාවද මන්දා මෙහාට එව්වා. ඒ මනුස්සයා කියපු ටික අහලා අපිට මේ ගේ විතරක් නෙමෙයි ජීවිතේම එපා වුණා.”

 

එම නිවෙස් හිමියා කීවේ තමන් ගොඩනගාගත් මැදුර සකල විධ වාස්තු දෝෂ වලින්පිරී ඇති බවත්, ඒවා ඉවත් කිරීමට නම් නිවසෙන් සැලකිය යුතු කොටසක් කඩා ඉවත් කළ යුතු බවත් වාස්තු පිරික්සන්නා කී බව ය. ඒ අනුව අප රටේ මිථ්යා ජාවාරම කොතෙක් ඔඩු දුවා තිබේ දැයි අපට සිතාගත හැකි විය.

 

අනතුරුව ගෙහිමියන්ගේ පූර්ණ අවසරය මත මමත් රවීන්ද්රත් එම නිවසේ ඇතුළත පරීක්ෂා කළෙමු. එහිදී එම අඹුසැමි යුවලගේ කාමර, එක් එක් දරුවාගේ කාමර,රූපවාහිනී කාමරය ආදී නිවසේ කොටස් එකි`නෙකට දුරස්ව හා වෙන්වී ඇති බවක් අපට මනාව නිරීක්ෂණය විය. ඒ අනුව මේ නව නිවහන තුළ ඔවුන්ගේ පවුල හුදෙකලා වී ඇති බව අපට පහසුවෙන් වටහාගත හැකි විණි. ඒ හැරුණුකොට නිවසේ සුවිසල් ජනෙල් සඳහා පුළුල් වීදුරු භාවිතකොට ඇති අන්දමත් නැගෙනහිර දිශාභිමුඛව සැකසුණු එම වීදුරුතල මගින් තද හිරුඑළිය සේම උණුසුම නිවස තුළට කාන්දු වීමට ඇති හැකියාවත් නිරීක්ෂණය කිරීමට අපට හැකි විය.

 

මෙවන් පසුබිමක ඔවුන් එකි`නෙකාට තම පවුලේ සාමාජිකයන්ගේ සමීපත්වය, උණුසුම අහිමි වීමෙන් ඇතිවන තනිකම, පාළුව වටහාගත නොහැකි එම ගෘහණිය හෝ දියණිවරුන් දෙදෙනාගෙන් කෙනෙකු එය "අමුතුම පාළුවක්’ ලෙස විස්තර කිරීමේ අරුමයක් නැත.ඇගේ එම මානසිකත්වය පවුලේ සෙසු සාමාජිකයන් වෙත ද සන්නිවේදනය වීමෙන් එය එම පවුලේ පොදු මානසික ප්රකාශනයක් බවට පත්ව තිබුණි. මෙය හුදෙක් මානසික සාධක මත පැන නැගුණු තත්ත්වයකි. මෙහිදී කිතුණු ක්රමය, බෞද්ධ ක්රමය සේම වාස්තු දෝෂ පිරික්සීම ලෙස මෙම පොදු මානසික ප්රකාශනයට මිථ්යා අර්ථ නිරූපණ ලබාදුන් පුද්ගලයන් විසින් එම පවුලේ මානසිකත්වය මුළුමනින් කඩා බිඳ දමා තිබුණි. එම ගෘහණිය සහ දියණියන් පෙර නොවූ ලෙස රෝගී වීම මානසික බිඳවැටීම නිසා වූ දෙයක් වීමට පුළුවන.එමෙන්ම මෙම සකල විධ දෝෂවලට බලපෑ ප්රධානතම හේතුව එම අඹුසැමියන් තම පවුලේ සැබෑ අවශ්යතාව ඉක්මවා තමන්ට කිසිසේත් නොගැලපෙන තරම් සුවිසල් ආකාරයට,ශ්රී ලංකාවේ නිවර්තන කලාපීය දේශගුණයට කිසිසේත් නොගැලපෙන ගෘහ නිර්මාණයක් අනුව මැදුරක් තනාගෙන ඒ තුළ තමන් විසින්ම හුදකලා වීම බව බැලූ බැල්මටම අපට පසක් විය. "මේ ගෙදරට කිසිම යක්ෂ දෝෂයක් නැහැ. එහෙම තියනවා කියනවා නම් අපි දෙන්නාගෙන් කවුරුහරි ඕනේ තරම් දවස් ගානක් මේ ගෙදර තනියමඉඳලා පෙන්වන්නම්.”අවසානයේ රවීන්ද්රත් මමත් ඔවුන්ට කීවෙමු.

 

“එතකොට අපිට බලපාන මේ තත්ත්වේ නැති කරන්න අපි මොනවද කරන්න ඕනේ?”

 

අපේ එම ප්රකාශයෙන් මඳ අස්වැසුම් සහගත බවක් එම ගෘහණිය ඇසුවාය.

 

‘“මේ ගෙදර බඩු මුට්ටු, දොර රෙදි තියන විදිහ සැරින් සැරේ වෙනස් කරන්න.ඔයාලා ඉන්න කාමරත් සැරින් සැරේ මාරු කරන්න. ඒ වගේම සතියකට දවසක් හරි පවුලේ පස්දෙනාම සාලේ හරි බැල්කනියක හරි මෙට්ට දාගෙන එකට නිදාගන්න. ඒ වගේම මාසෙකට සැරයක් හරි ඔය දන්න කියන කට්ටියක් ගෙන්නාගෙන ගෙදර පැදුරු සාජ්ජයක් දාන්න. තමන්ට හුඟාක් හිතවත් පවුල් ගෙදරට ගෙන්න ගන්න. ඒ අය එක්ක විනෝද ගමන් යන්න. එතකොට ඔය දෝෂ කියලා හිතාගෙන ඉන්න සේරම දූරීභූත වෙලා යයි.”

 

මම කීවෙමි. මෙහිදී මා කළේ අමුතු ගුරුකමක් නොවේ. සාමූහිකත්වය, සතුට සහ නවතාවය යන සාධක තුන ඔස්සේ මිනිස් මනස තුළ පැලපදියම් වූ ඕනෑම යක්ෂයෙකු, ප්රේතයෙකු, අමනුෂ්යකු පලවා හැරිය හැකි බව සනාථ කිරීමක් පමණී. මිනිසුන් ගේ මනෝ මූලික සංකල්ප වන යකුන් ප්රේතයන් දුක,වේදනාව,මානසික පීඩනය ඇති තැන්වලට මිස සතුට සොම්නස රැඳුණු තැනකට බැරිවෙලාවත් නො එති.මළ ගෙවල් වල මිස මඟුල් ගෙවල් වල හොල්මන් නැති වීමට හේතුව එයයි.

 

සම්පත් දායකත්වය - ප්රවීණ මාධ්යවේදී තිලක් සේනාසිංහ

 

 





Sunday, May 9, 2021

දිව්‍යමය ඇඳුම් කුලියට දීම - දේව දූතයන් ගැන අප්‍රකට කතා



‘දේව දූතයා’ යන නම ඇසීම පවා අප කාගේත් සිත් වලට ප්‍රිය උපදවන්නකි.දෙවියන්ගේ හෙවත් දිව්‍යමය පණිවිඩ මනු ලොව වෙත රැගෙන එනු ලබන්නෝ දේව දූතයෝ ලෙස හැඳින්වෙති. දෙවියන් වහන්සේගේ පණිවුඩ මිනිසුන් වෙත රැගෙන එන ස්වර්ගීය පණිවුඩකරුවකු පිළිබඳව බයිබලයේ සඳහන්ය. ‘ගේබ්‍රියෙල්’ යනු බයිබලය මගින්ප්‍රකට වූ එවන් පණිවුඩකරුවෙකි. මයිකල් (මිඛායෙල්) යනුවෙන් ද බයිබලයේ ප්‍රකට දේව දූත චරිතයක් තිබේ.

මිඛායෙල්


දේව දූතයා යන්න හැඟවෙන පැරණි ග්‍රීක භාෂාවෙහි එන angelos ලෙසින් යන්න පසුව angel ලෙසින් ඉංග්‍රීසි බසට නැංවී තිබේ. ක්‍රිස්තියානි  ඉස්ලාම් සහ යුදෙව් යන ඒක දේවවාදී ආගම් විසින් පැරණි ආගමික විශ්වාසයන් තුළ පවතින මෙම මානව විද්‍යාත්මක සංකල්ප වලට ආගමික ආරෝපණ දී තිබේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිසුන්ට ප්‍රකාශ කරන දේව දූතයන් නිර්මාණය  කර ඇත්තේ  පියාපත් සහිත මිනිසුන් ලෙසිනි.බටහිර කිතුනු සංස්කෘතියට අනුව පියාපත් සහිත මිනිස් රූ වශයෙන් සිත්තම් වූ මෙවන් දේව රූප මුල්කොට ලොව සම්භාවනීය චිත්‍ර සහ මූර්ති නිර්මාණ බොහොමයක් බිහි වී තිබේ. බොහෝ මානව විද්‍යාඥයන් අනුමාන කරන අන්දමට මෙම දේව දූත සංකල්පය ලොව ප්‍රාථමික ආගමික විශ්වාස පැවැති අවදියේ ආරම්භ වී පසුකාලීනව වර්ධනය වූ ඒක දේවවාදී ආගම් සමග විකාශනය වූවකි.  ලොව පැරණිතම බිතු සිතුවම් ආදියේ තිබී හමුව ඇති මීට වසර පන්දහසක් පමණ පැරණි පියාපත් සහිත මිනිසුන්ගේ රූ සටහන් මෙම දේව දූත සංකල්පයේ සමාරම්භක අවදිය සනිටුහන් කරන බව ඔවුහු විශ්වාස කරති.



අප රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ දේව දූතයා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සති පිරිත් දේශනා අවසානයේ සිදු කෙරෙන දොරකඩ අස්න නම් චාරිත්‍රය මුල්කර ගනිමිනි. පිරිත් දේශනයෙන් අනුමෝදන් කර ගත් පින්පෙත් දෙවියන්ට අනුමෝදන් කරවීම පිණිස යවනු ලබන පුද්ගලයා මෙහි දී දේවදූත යනුවෙන් හැඳින්වෙයි. එහි දී එම එක් එක් දෙවි දේවතාවුන් වැඩවෙසෙන විහාරස්ථානවල ලේඛනය හෙවත් නම්පොත කියැවීම ද මෙම දේව දූතයා සතු කාරියකි. පසුව මෙම දේව දූතයා විසින් පෙරහරකින් අද්දර ඇති පැරණි විහාරයක් හෝ දේවාලයක් වෙත ගොස් යළි පැමිණ එම සති පිරිත් මණ්ඩපය ඉදිරියේ සිට තමන් ගිය කාරිය සාර්ථක වූ බවත් එම පින් අනුමෝදන් කර ගැනීම පිණිස දේව සමූහයා වැඩ සිටි බවත් එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේ වෙත මිහිරි ස්වරයකින් යුතුව ගද්‍ය හා පද්‍ය මුසු වෘත්ත ගන්ධි ශෛලියේ ව්‍යවහාරයකින් දන්වා සිටීම මෙම දොරකඩ අස්න ලෙස හැඳින්වෙයි. මෙම දොරකඩ අස්න සහ නම් පොත පිරුවානා පොත් වහන්සේ ලෙස ප්‍රකාශයට පත්ව ඇති සෑම ග්‍රන්ථයකම අඩංගු වී තිබේ. එක්තරා අන්දමක නාට්‍යමය ජවනිකාවක් හෙවත් ජන රංගනයක් ලෙස හැඳින්විය හැකි මෙම දොරකඩ අස්න බෞද්ධ සංස්කෘතිකමය වශයෙන් බලන විට පුණ්‍යකර්මයකි.



මහනුවර නායක්කර් රජුන් රජ කළ සමයේ ඇරඹි මෙම දොරකඩ අස්න කියැවීමේ චාරිත්‍රය හුදෙක් බෞද්ධ සංස්කෘතිකමය අංගයක් සේ සැලකුණ ද එහි ඔඩ්ඩි, වඩිග ආදී දකුණු ඉන්දීය දෙවිවරුන්ගේ සේම අප රට පාලනය කළ පෘතුගීසි, ඕලන්ද ආදීන් ඇදහූ දෙවිවරුන්ගේ නම් ද ඊට  ඇතුළත් කොට තිබේ. ඒ කන්ද උඩරට රාජධානි සමයේ පහත රට පාලන බලය අල්ලාගෙන සිටි එම ජාතීන් සමග මිත්‍රශීලී ආකල්පයක් ගොඩනගා ගැනීම ඉන් අදහස් කළා වන්නට ද පුළුවන. මෙම දොරකඩ අස්න නම් චාරිත්‍රාවලියේ ප්‍රධාන භූමිකාව හොබවන දේව දූතයා සම්බන්ධයෙන් ද මෙහි දී විශේෂ සඳහනක් කළ යුතු ය. එනම් මෙම නව යොවුන් තරුණයා අනිවාර්යයෙන්ම කායික ආබාධ කිසිවක් නොමැති බඹසර රකින්නා වූ විනීත, චරිතවත්  අයකු විය යුතුමය. එමෙන්ම මොහු උභය කුල හෙවත් මා පිය දෙපාර්ශ්වයෙන්ම කුලවත් එනම් උඩරට රදළ පරපුරකට අයත් විය යුතු බවට ද සම්මතයක් විය. අඩුම තරමින් එම දේව දූත තරුණයාගේ මව හෝ උඩරට රදළ පරපුරකට අයත් නොවුවහොත් එය ‘භින්න මාතෘක දෝෂයක්’ සේ සළකා අදාළ දෙවිවරුන් විසින් ඔහු විසින් ගෙනෙනු ලබන පින් භාර නොගන්නා සේම තමන්ට පින් අනුමෝදන් කරවීම පිණිස ඔහු වැන්නකු එවීම පිළිබඳ කෝපයට පත්ව මුළු ගමටම විපත් පමුණුවන බවට විශ්වාසයක් ද එකල ප්‍රචලිත වී තිබිණි. එහෙත්, පසුකාලීනව පහතරට ප්‍රදේශවල පැවැති මෙම සති පිරිත් පින්කම්වල දේව දූතයා ලෙස තෝරා ගැනුණු තරුණයා සම්බන්ධ එවන් කුල පාරිශුද්ධියක් නොසලකන ලදී. එහෙත් එවන්, තත්ත්වයක් යටතේත් ඔවුන් කෙරෙහි හෝ එම ගම් ප්‍රදේශ කෙරෙහි දේව කෝපයක් එල්ල වූ වගක් නම් දැනගන්නට නැත. ඒ කෙසේ හෝ මෙම දේව දූතයා දෙවියන් ප්‍රිය මනාප දිව්‍යමය ඇඳුම් හා වස්ත්‍රාභරණයෙන් සැරසී දෙවියන් හමුවට යන්නකු මිස දෙවියන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයකු නොවන බව පැහැදිලි ය. මේ අතර පිරිත් මණ්ඩප සමඟ මෙම දිව්‍යමය ඇඳුම් කුලියට දෙන ස්ථාන ද ඇති බවක් දැන ගන්නට ඇත.

නමුදු මෙම දොරකඩ අස්න චාරිත්‍රය ද මූලික බුදු සමය හා කිසිදු සබැඳියාවක් නොමැති ජනානන්දනීය දේශීය සංස්කෘතිකාංගයක් බව ද කිව යුතුම ය. දේව දූතයන් පිළිබඳ අපගේ සංස්කෘතියෙහි මෙලෙස සඳහන් වුව ද මූලික බුදු සමයෙහි දේව දූත යනුවෙන් නම් කොට ඇත්තේ මරණයේ නියෝජිතවරුන් පිරිසකි.අංගුත්තර නිකායේ දේව දූත සූත්‍රයට අනුව මහලු බව, ගිලන් බව සහ මරණය හඳුන්වා ඇත්තේ දේව දූතයන් වශයෙනි. එම සංඥා පිළිබඳව නුවණැසින් විමසා බලන්නකුට සසර දුකින් අත්මිදීමට අවශ්‍ය කටයුතු අප්‍රමාදව සලසා ගත හැකි බැවින්, එම සූත්‍රයෙහි එකී ලෝක ධර්මතාවන් ‘දේව දූත’ යන නමින් හඳුන්වා තිබේ.


බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට සිදුහත් කුමරුන් දුටු සතර පෙර නිමිතිවලින් මුල් තුනම මහල්ලෙකු, ලෙඩෙකු සහ මළ කඳක් ආදී වශයෙන් වන අතර සිව්වැන්න පැවිදි රූපයකි. ඒ අනුව ඉහත සඳහන් ලෝක ධර්මතාවන් නුවණින් වටහා ගත් සිදුහත් කුමරුන් තම බුද්ධත්වය පිළිබඳ මූලික අදිටන සිත තුළට පිවිසුවා ගනු ලබනුයේ ඉහත සඳහන් පැවිදි රූපය දැකීමෙනි. මීට අමතරව දෙවිවරුන්ගේ පණිවුඩ ආදිය ගෙන යනු ලබන ‘දේව දූතා’ නම් අන්තේවාසික දේවතා පිරිසක් පිළිබඳව විමානවන්ථු අට්ඨකතාවෙහි සඳහන් වෙයි. පේත වත්ථු, විමාන වත්ථු ආදී වශයෙන් වන බෞද්ධ සාහිත්‍ය කෘතීන්වලට අනුව දේව, යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීහු සූක්ෂ්ම ශරීරවලින් යුතු වන අතර ඔවුන් බොහොමයකට අවශ්‍ය පරිදි ඒවායින් අත්මිදී මිනිසුන් හමුවේ පෙනී සිටීමට පුළුවන. නිදසුනක් ලෙස ත්‍රිපිටකයේ වැඩිම තැනක සඳහන් වන චාතුර්මහා රාජිකය, තාවතිංසය සහ දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මනු ලොව සත් පුරුෂයන් විපතට පත්වන විට මහලු යාචක වේශයෙන් පවා මෙහි පැමිණෙන බව කියනු ලැබේ. එවන් තත්ත්වයක් තුළ දෙවි වරුන්ට අවශ්‍ය නම් සෘජුවම මෙලොවට පැමිණිය හැකි බව් පැවසෙන පසුබිමක් තුළ බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයේ දේවදූත නම් වෙනම දේව පණිවිඩකාර කොට්ඨාශයකට  විශේෂ තැනක් හිමි කර දී නොමැති බවක් පෙනෙයි.


සම්පත් දායකත්වය - තිලක් සේනාසිංහ