පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, September 4, 2021

ලොව මුලින්ම මුද්‍රණය වූ පොත කුමක්ද?


ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක් කියලද හිතෙන්නේ. මුද්‍රණ යන්ත්‍රයක් මුලින්ම හොයා ගත්තේ ජර්මනියේ ජොහැන්නස් ගුටෙන්බර්ග් නිසා මොකක් හරි ජර්මන් පොතක් තමයි මුලින්ම මුද්‍රණය කරන්න ඇත්තේ කියලා බොහෝ දෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක්ද කියන එක හොයා ගෙන යද්දි හමු වෙන්නේ වෙන මොනවත් දෙයක් නෙවෙයි බෞද්ධ සූත්‍රයක්. ඒ තමයි ‘වජ්‍ර සූත්‍රය’. ‘වජ්‍ර’ කියන්නේ දියමන්තිවලට කියන තවත් නමක්. දියමන්ති තමයි මේ ලෝකයේ තියෙන ඉතා ශක්තිමත්ම පාෂාණය. බුදුන් වහන්සේගේ ප්‍රඥාව දියමන්ති තරම් ප්‍රබල බව පෙන්වන්නට තමයි මේ සූත්‍රයට මේ නම යොදා තිබෙන්නේ. බුදුන් වහන්සේ විසින් සුභාති කියන භික්ෂූන් වහන්සේ සමග කරන ලද කතාබහක් වජ්‍ර සූත්‍රය ලෙස ලියැවුණු බව පැවසෙනවා. ඓතිහාසික ලියකියවිලි මගින් පෙන්නුම් කරන්නේ අසංග සහ වාසුබන්දු කියන භික්ෂූන් වහන්සේලා විසින් ක්‍රිස්තු වර්ෂ 2 - 5 අතර සමයේ වජ්‍ර සූත්‍රය ලියා තබන්නට ඇති බවයි. 



අසංග සහ වාසුබන්දු


වජ්‍ර සූත්‍රය අයිති වෙන්නේ මහායාන බුදු දහමටයි. මහායාන බුදු දහම තියෙන්නේ චීනය, ජපානය වැනි රටවලයි. අපේ රටේ තියෙන්නේ ථේරවාද බුදු දහම නිසා බොහෝ දෙනෙක්  වජ්‍ර සූත්‍රය ගැන අහලා නැති වෙන්න පුළුවන්. කොහොම වුනත් මහායාන බුදු දහමේ ඉතා වැදගත්, බලසම්පන්න සූත්‍රයක් ලෙසයි මෙය සැලකෙන්නේ. වචන 6000 කින් පමණ සමන්විත වජ්‍ර සූත්‍රය මුලින්ම ලියවී ඇත්තේ සංස්කෘත භාෂාවෙන්. ක්‍රිස්තු වර්ෂ 401 දී පමණ කුමාරජීව කියන භික්ෂූන් වහන්සේ විසින් මෙය චීන භාෂාවට පරිවර්තනය කෙරුණා. 

කුමාරජීව භික්ෂූන් වහන්සේ


අද වගේ දියුණු මුද්‍රණ තාක්ෂණයක් නැති ඒ තරම් ඈත අතීතයක වජ්‍ර සූත්‍රය මුද්‍රණය කළේ කොහොමද කියන එක ඔබට හිතාගන්න බැරිව ඇති. චීනයේ පන්සල්වල සිටි භික්ෂූන් වහන්සේලා කළේ වජ්‍ර සූත්‍රය කඩදාසි මත මුද්‍රණය කරන්නට පුළුවන් ආකාරයට ලීවලින් අච්චු හදපු එකයි. රබර්වලින් හදපු සීල් ඔබ දැකලා ඇති. ඒ සීල් එක තීන්තවල ඔබලා අරගෙන තමයි සීල් ගහන්නේ. ඉතින් ඒ සීල්වල ආකාරයට විශාලව හදපු අච්චුවල තීන්ත ආලේප කරලා ඒ මත කඩදාසි තබා තද කරලා, ඒ  කඩදාසි මත මුද්‍රණයකිරීම සිද්ධ වුණා. (අතීතයේ මුද්‍රණය කළ ආකාරය වීඩියෝවේ අඩංගු වෙනවා)


සේද මාවතේ උතුර සහ දකුණ සම්බන්ධ වන ස්ථානයේ, ඩුන්හුවාන්ග් ප්‍රදේශයට සමීපව කඳුකර ප්‍රපාතයක ගුහා 492 ක් තියෙනවා. මේවා හැඳින්වෙන්නේ ‘දහසක් බුදුන්ගේ ගුහා’ නමින්. 

දහසක් බුදුන්ගේ ගුහා


අද මේ කොටස අයිති වෙන්නේ වයඹදිග චීනයට. මේ ගුහා කිසිම කෙනෙකුට ඇතුළුවෙන්න නොහැකි විදියට මුද්‍රා තබා තිබුණා.  එයට හේතුව අතිශයින්ම වටිනා බෞද්ධ ලිපිලේඛන සංරක්ෂණය කළ බෞද්ධ මධ්‍යස්ථානයක් මේ ගුහාවල පිහිටුවා තිබූ නිසයි. කොහොම වුනත් වංග් යුආන්ලු කියන භික්ෂුව මේ මුද්‍රා තැබූ ගුහාවලට ඇතුළුවන රහසිගත fදාරක් සොයා ගත්තා. 

වංග් යුආන්ලු භික්ෂුව


මේ ගුහාවල තිබුණු දහස් ගණන් බෞද්ධ සූත්‍ර, සිතුවම් සහ තවත් ලියකියවිලි මේ භික්ෂුවට දකින්න ලැබුණා. වජ්‍ර සූත්‍රය තිබුණෙත් මෙතන. මේ භික්ෂුව ඉංග්‍රීසි ජාතික දේශගවේෂකයකු වූ සර් ඕරෙල් ස්ටෙයින්ට 1907 වසරේ දී වජ්‍ර සූත්‍රය ද ඇතුළුව වටිනා කෘති 40,000 ක් පමණ ඉතා සුළු මුදලකට විකුණා දැමුවා. 

සර් ඕරෙල් ස්ටෙයින්


එය ඉතා සුළු මුදලයක් යැයි බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ ලියවිලිම සඳහන්ව තිබෙනවා.  ඒවා අවසානයේ නතර වුණේ බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ. ‘ලොව මුලින්ම මුද්‍රණය කරන ලද ලියවිල්ල’ යනුවෙන් නම්කොට අඩි 16 කින් යුක්ත වජ්‍ර සූත්‍රය මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.