පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, November 25, 2020

අපේ ගමේ මෑතකදී සිදුවූ මරණ විශ්ලේෂණය



අපේ ගමේ මෑතක දී සිදු වූ මරණ පිළිබඳ විශ්ලේෂණයක් පහතින් ඉදිරිපත් කෙරේ. එහි ඇත්තේ මරණයට හේතුව යැයි අප සිතන දේ සහ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව පවසන කාරණාව බව කරුණාවෙන් සැලකිය යුතු ය.


1. සිමියොන් මාමාගේ මරණය

සිමියොන් මාමාගේ වයස අවුරුදු 78 කි. වකුගඩු අමාරුවකින් කාලයක සිට පෙලුනේ ය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

නාන කාමරයේ ඇද වැටී හිස බිම වැදීම නිසා

වෛද්‍ය වාර්තාව

නාන කාමරයේ ඇද වැටී හිස බිම වැදීමෙන් ඇති වූ වකුගඩු සංකූලතාව නිසා මරණයට පත් වී තිබේ.


2. ගර්ටි නෝනාගේ මරණය

ගර්ටි නෝනාගේ වයස අවුරුදු 80 කි. දියවැඩියාවෙන් කාලයක සිට පෙලුණාය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

පාර අයිනේ සිටිය දී වාහනයක හැපීම නිසා

වෛද්‍ය වාර්තාව

පාර අයිනේ සිටිය දී වාහනයක හැපීම නිසා ඇති වූ දියවැඩියා සංකූලතාවයෙන් මරණයට පත් වී තිබේ.


3. ලකී අයියාගේ මරණය

ලකී අයියාගේ වයස අවුරුදු 60කි. අධික ලෙස මත්පැන් පානය කළ නිසා සිරෝසිස් රෝගයෙන් පෙලුනේය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

මත්පැන් බී ඇති වූ බහින්බස්වීමක දී සිදු වූ පිහි ඇනුමක් නිසා

වෛද්‍ය වාර්තාව

මත්පැන් බී ඇති වූ බහින්බස්වීමක දී සිදු වූ පිහි ඇනුමක් නිසා සිරෝසිස් රෝගය උත්සන්න වීමෙන් මරණයට පත් ව තිබේ.


4. මිසිලින් නැන්දාගේ මරණය

මිසිලින් නැන්දාගේ වයස අවුරුදු 78 කි. ඇය බොහෝ කාලයක සිට අධික රුධිර පීඩනයෙන් පෙලුණාය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

වත්ත පහළ පාලු ළිඳට ඇද වැටීම නිසා

වෛද්‍ය වාර්තාව

වත්ත පහළ පාලු ළිඳට ඇද වැටීම නිසා අධික රුධිර පීඩනය සංකූලතාවයෙන් මරණයට පත් ව තිබේ.


5. ගුණපාලගේ මරණය

ගුණපාලට වයස අවුරුදු 60 කි. අධික අලස පුද්ගලෙයකි. දන්නා තරමින් විශේෂ රෝගයක් නොමැත.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

කොවිඞ් 19 වැලඳීම නිසා

වෛද්‍ය වාර්තාව

කොවිඞ් 19 වැලඳීම හේතුවෙන් ඇති වූ අලස සංකුලතාව උත්සන්න වීමෙන් මරණයට පත් ව තිබේ. 





Monday, November 23, 2020

බල සැපයුම් ස්ථායිකාරක උපාංගයක් - DC-DC Automatic Voltage Stabilizer 5-32V to 12V 3A 36W Power Converter Regulator




මේ උපාංගය ගැන විස්තර මම හොයා ගත්තේ Ebay එකෙන්. විස්තර හොයාගෙන ගෙන්න ගත්තා මේ කොවිඞ් වසංගතය එන්න ටික කාලෙකට කලින්. මේ උපාංගය ගැන කියන්න හිතුවේ වෝල්ට් 12 ස්ථායි බල සැපයුමක් හදාගන්න ඉන්න කෙනෙකුට ප්‍රයෝජනයක් වේවි කියලා හිතලයි.


මේ වගේ උපාංගයක් මට ඕන කළේ නිවසේ ඇති CCTV කැමරා පද්ධතිය විදුලි බලය ඇණ හිටි අවස්ථාවක දී අඛණ්ඩව ක්‍රියාත්මක කරවන්න ඕනෑ වුණු නිසයි. සාමාන්‍යයෙන් හැම තැනකම මේ කාරණය සඳහා යොදා ගන්නේ UPS එකක්. නමුත් එයින් දීර්ඝ වේලාවක් බලය ලබා ගන්න බැහැ. මම CCTV කැමරා පද්ධතියට මධ්‍යම බල සැපයුම් ඒකකයක් (Centralized Power Supply) සවි කළේ මෙවැනි දෙයක් ඉදිරියේ දී සාදාගන්නවාය කියන අරමුණ ඇතිවයි. 


මේ උපාංගයේ තියෙන විශේෂත්වය තමයි මෙයට වෝල්ට් 6 - 32 දක්වා සරල ධාරා සැපයුමක් ලබා දීමේ දී වෝල්ට් 12  ඇම්පියර් 3 ක බල සැපයුමක් ලබා ගත හැකි වීම. අපේ රටේ මුදලින් රුපියල් 1800ක් විතර වැය කරලා ඊබේ එකෙන් මේක ලබා ගන්න පුළුවන්. මේ දවස්වල නම් චිනයේ සිට භාණ්ඩ ගෙන්වා ගැනීම ගැටලුවක්.


අපේ නිවසේ සූර්ය පැනලවලින් බැටරි ආරෝපණ පද්ධතියක් කලින් සිට සවි කොට තිබුණු නිසා මේ උපාංගයට වෝල්ට් 12 බලසැපයුමක් ලබා දෙන්න අමතරව කළ යුතු දෙයක් තිබුණේ නැහැ.


පහළින් තියෙන්නේ මා සාදා ගත් බල සැපයුම. මෙහි රිලේ තුනක් තිබෙනවා. විදුලි බලය ඇණ හිටි අවස්ථාවක දී මේ රිලේ ක්‍රියාත්මක වී  බැටරියෙන් ලබා දෙන බලයෙන් DVR එක සහ කැමරා පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා ස්ථායි බලසැපයුමක් ලබා ගැනීම තමයි මේ ගෙන්වා ගත් උපාංගයෙන් සිදු කරන්නේ.






බැටරියෙන් එන බලය කෙලින්ම මේ පද්ධතියට ලබාදෙන එක අවදානම්. එයට හේතුව බැටරියේ ඇම්පියර් ප්‍රමාණය වැඩි නිසා සුළු ගැටලුවක දී වුවත් DVR එක සහ කැමරා විනාශ වී යා හැකි නිසයි. මේ උපාංගයෙන් නිතරම වෝල්ට් 12 ක් සහ ඇම්පියර් 3 ක් පමණක් ලබා දෙන නිසා ඒ අවදානම පැන නගින්නේ නැහැ. රවුටරයට බලය ලබා ගන්නත් මේ හරහාම පුළුවන්. එවිට විදුලි බලය ඇණ හිටියත් නිවසේ අන්තර්ජාල  සම්බන්ධය බිඳී යන්නේ නැහැ.


මීට අමතරව ඔබ කැමති වෙනත් ඕනෑම ආකාරයේ බල සැපයුමකටත් මෙය භාවිත කළ හැකියි. 





Sunday, November 15, 2020

කොවිඞ් - 19 ජලයෙන් සම්ප්‍රේෂණය විය හැකිද? - Covid-19 Can it be transmitted by water?



කොවිඩි 19 ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම ගැන මේ දිනවල දැඩි කතා බහකට ලක් වෙනවා. විශාල භූමි ප්‍රමාණයක් හිමි ඒ නිසාම ජන ඝනත්වය අඩු රටවල මෙවැනි සිරුරු භූමදානය කළත්, එවැනි තත්වයක් නොමැති අප රටේ එසේ කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතු වන විශේෂඥයන් පවසනවා. නමුත් මෙවැනි අවදානමක් පිළිගන්නවාට වඩා සිය ආගමික වතාවත් ගැන සැලකිල්ලක් දක්වන අන්තගාමී කොටස්වල බලපෑම හමුවේ රජය ද දැන් ‘නැවෙන’ තකවයකට පත් ව ඇති බව පෙනෙනවා. මේ සම්බන්ධව අප රටේ විශේෂඥයන් දක්වන අදහසකට වඩා වෙනත් රටක විශේෂඥයන් දක්වන අදහසක් ඉදිරිපත්කිරීම වඩා සුදුසු යැයි සිතුණේ ඒ නිසයි. මේ විස්තරය මා උපුටා ගත්තේ https://www.news-medical.net වෙඞ් අඩවියේ පළ වී තිබුණු Dire warning on contamination of water and COVID-19 spread  නම් ලිපියෙන්. ලිපිය ලියා තිබුණේ ලිජි තෝමස් වෛද්‍යවරියක විසින්. එහි සඳහන් තොරතුරු සැකෙවින් මෙසේ ඉදිරිපත් කළ හැකියි. මෙය පළ වී තිබුණේ පසුගිය ජූනි මාසයේ. 


“මුළු ලොව පුරා කොවිඞ් 19 ව්‍යාප්ත වීමත් සමග, එය සම්ප්‍රේෂණය වීමේ ක්‍රම පිළිබඳ විද්‍යාඥයන් සොයා බලමින් සිටිනවා. එක්සත් රාජධානියේ සහ පෝලන්තයේ විද්‍යාඥයන් මෑතක දී නිකුත් කළ වාර්තාවකින් පෙන්නුම් කළේ එය ජලයේ දින 25 ක පමණ කාලයක් පැවතිය හැකි බවයි. මේ නිසා එක් එක් රටවල පවතින පාරිසරික තත්වයට අනුව කොවිඞ් 19 වෛරසය ජලය ඔස්සේ සම්ප්‍රේෂණය වීමේ යම් අවදානමක් තිබෙනවා. 


මෙය මිරිදියේ වැඩි වශයෙන් දක්නට ලැබෙනව බවයි පැවසෙන්නේ. එය වෛරසය නැවත හිස ඔසවන්නට හේතුවක්. 


මෙවැනි වාර්තාවක් ඉක්වfදා්රයෙන් ද ලැබෙනවා. එහි විද්‍යාඥයන් වාර්තා කරන්නේ එරට අගනුවර හරහා ගමන් ගන්නා ගංගාවන්ගේ ජලයෙන් කොවිඞ් 19 වෛරසය සොයා ගන්නට හැකි වූ බවයි. මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වෛසරය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතිනවා.”


මේ ඒ ලිපියෙන් උපුටා ගත් සංක්ෂිප්තයක් පමණයි. මෙවැනි වාර්තා අන්තර්ජාලයේ වෛද්‍ය සහ විද්‍යාත්මක කරුණු අඩංගු වෙබ් අඩවිවලින් ඕනෑ තරම් සොයා ගන්නට පුළුවන්.


ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ කොවිඞ් - 19 මළ සිරුර භූමදානය කරන්නේ නම් ඒවා දැඩිව මුද්‍රා තබා පොලිතින්වල අසුරා භූමදානය කළ යුතු බවයි. කෙසේ නමුත් එවැනි ක්‍රමවේද සෑම විටම අනුගමනය කිරිමක් සිදුවේ ද යන්න පිළිබඳ සහතිකයක් දෙන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. ඒ නිසා භූමදානය කරන මළ සිරුරවලින් මේ වෛරසය භූගත ජලයට එක් නොවේ යැයි සහතිකයක් දෙන්නට හැකියාවක් නැහැ.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන මෙත්තිකා විතාන මහත්මිය සඳහන් කරන්නේ 1918 වසරේ ලොව පුරා ව්‍යාප්ත වූ ‘ස්පාඤ්ඤ උණ’ රෝගයෙන් මියගියවුන්ගේ සිරුරු මිහිදන් කළ ස්ථානවලින් ලබා ගත් ඩීඑන්ඒ නියැඳිවල එම වෛරසය තිබී මෑතකදී සොයා ගත් බවයි.


විශේෂඥයන්ගේ හා ලොව පුරා ලැබෙන වාර්තාවලින් පැවසිය හැක්කේ කොවිඩි 19 මළ සිරුරු භූමදානය තීරණය කරන්නේ නම්, එය කිසිසේත්ම නුවණක්කාර දෙයක් නම් නොවන බවයි.







Friday, November 13, 2020

ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමේ කුණුහරුපය



ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමට ගත් තීරණය කුණුහරුපයක් කියා මට සිතෙන්නේ ය. ඒ ගැන විස්තර කරනවා නම් මේ ආකාරය ය.


ආණ්ඩුව බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කියා ප්‍රවෘත්තිවලින් කිව්වේ ය. එසේ කියන්නට  ඇත්තේ බස්නාහිර පළාතේ කොවිඞ් ඉහළ යාම නිසා, එහි සිටින කොවිඞ් ආසාදනය වූ අය වෙන පළාත්වලට ඇතුළු වී මහා අලකලංචියක් වේ යැයි ආණ්ඩුව සිතන නිසා යැයි මම සිතුවෙමි ය. කෙසේ නමුත් බස්නාහිරට ඇතුළුවන්නට පුළුවන් ද බැරි ද කියා පැහැදිලිව කිව්වේ නැති ය. ස්ටේෂන් එකෙන් ඇසූ විට ස්ටේෂන් මාස්ටර් මහතා පැවසුවේ “කෝච්චි යනවා ය. හවසට ආපහු එයිද කියා දන්නේ නැති ය” කියා ය. මේ නිසා වැඩට ගියොත් කොළඹටම වී සිටින්නට සිදු වේ යැයි බයක් දැනුණු නිසා වැඩට ගියේ නැත්තෙමි ය. 


මා සිටින වෙන්නප්පුව පළාතේ සිට කොච්චිකඬේ පාළම පැන්න සැනින් පිවිසෙන්නේ බස්නාහිර පළාතට ය. ඊයේ උදේ කෝච්චි යනවා දැයි ඇහුම්කම් දීගෙන සිටියෙමි ය. උදේ කෝච්චි සියල්ලම කොළඹ බලා යනවා ඇසුණි ය. “එහෙනම් යන එවුන් පලයව්. තොපි කොළඹට වී ඉඳපියව්” කියා සිතින් සිතමින් වියරු ජොලියකින් පසුවුවෙමි ය. ජොලිය තිබුණේ හවස් වන තුරු විතර ය. කොළඹ ගිය කෝච්චි සියල්ල ආපහු ආවේ ය. 


දැන ගන්නට ලැබුණු විස්තරය වූයේ  කොළඹ සිට සෑම දෙනෙක්ම කිසි කරදරයක් නැතිවම පුත්තලම දක්වාම ගමන් කළ බව ය. මේ අතරේ බස්නාහිර සිටි කොව්ඩි අය ද ආවා ද නැද්ද තියා සොයන්නට කිසිවෙක් සිටියේ නැති බව ද දැනගන්නට ලැබුණේ ය.


අද උදේ ද ඊයේ වාගේම කෝච්චි ගියේ ය. අද හවස ද මේ විදියටම ගිය කෝච්චි කිසිදු කරදරයක් නොමැතිවම ආපසු එනවා නිසැක ය.


එසේ හෙයින් ආණ්ඩුව බස්නාහිර පළාතට ඇතුළුවීම කෙසේ වෙතත් පිටවීම තහනම් කළ කුණුහරුපය තවමත් තේරුම් ගැනීමට බැරි වී අඤ්ඤකොරොස් තත්වයකින් පසුවෙමි ය.


Wednesday, November 4, 2020

මාස්ක්වාදය Vs. මාක්ස්වාදය - Maskism Vs. Marxism




මාක්ස්වාදය සොයා ගත්තේ කාල් මාක්ස් ය. නමුත් මාස්ක්වාදය සොයා ගත්තේ චීන වෛද්‍යවරයකු වූ ‘වූ ලියන්ඩේ’ ය. මාක්ස්වාදයටත් වඩා මාස්ක්වාදය දැන් ලෝකයේ පැතිරිලා ය. ඒ නිසා මාස්ක්වාදයේ අනුගාමිකයෙකු වීමෙන් ජීවිත දානය ද හිමි වන්නේ ය.

2020 වසර එළැඹෙද් දී මාක්ස්ටත් වඩා මාස්ක් ලෝකයේ ජනප්‍රිය වේ යැයි මාක්ස්වාදීන් ද සිතන්නට  නැති ය. 2020 වසරේ ලෝකයේ වැඩියෙන්ම මාකට් වී ඇත්තේ මාස්ක් ය.  මාක්ස්වාදීන්ට පවා මාස්ක්වාදයෙන් ගැළවිල්ලක් නැති ය. 




සමහර කඩවල බෝඞ් ලෑලිවල ලියා තිබෙන්නේ ‘මාක්ස් විකිණීමට ඇත’ කියා ය. ‘මාක්ස් විකුණන්න දෙයක් නෑ මුදලාලි. සමාජවාදී කට්ටිය මාක්ස් වික්කේ සෑහෙන කාලෙකට ඉස්සරය’ කියා මුහුණු පොතේ කවුරු හරි නොසන්ඩාලයෙක් දමා තිබුණා ද මතක ය. මාක්ස් විකිණී අහවර නිසා මාස්ක් මේ තරම් මාකට් විම ගැන පුදුමයක් ද නැති ය.

පැරණි රෝමයේ මේ වගේ මාස්ක් ද තිබුණේ ය. ඒත් ඒවා පාවිච්චි කළේ වෛරසයෙන් බේරීමට නොවේ ය. හතුරන්ගෙන් මුහුණ බේරා ගන්නට ය.




මාස්ක් එකක් ගැන ලෝකයෙන් මුලින් ම දැනගන්නට ලැබෙන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසෙන් බව අන්තර්ජාලයේ තිබුණේ ය. මේ කාලයට අයිති පර්සියානු සොහොන් ගෙවල්වල චිත්‍ර ඇඳ තිබෙන අතර මුහුණට උඩින් රෙද්දක් දමාගත් චිත්‍ර ද ඒ අතර තිබෙනවා ය. 

කොහොම වුනත් අද තියෙන මාස්ක් එකට ටිකක් සමාන මාස්ක් එකක් හමුවන්නේ චීනයෙන් ය. ඒ ක්‍රි.ව. 1279 - 1368 ත් අතර සමයේ පැවැති යුවාන් රාජ වංශය කාලයේ ය. සේද රෙද්දකින් මසා රත්තරන් නූලකින් හැඩ කළ මාස්ක් එකක් ගැන මේ කාලයෙන් අසන්නට ලැබෙනවා ය. 

ඉතාලි ජාතික මාර්කෝ පෝලෝ ද මේ කතාවම කියනවා ය. මාර්කෝ පෝලෝ චීනයට ගොස් තිබුණේ මේ රාජ වංශය තිබුණු කාලයේම ය. චීන අධිරාජයාට ආහාර පිළිගන්වන සේවක සේවිකාවන් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් පැළැඳ සිටිය යුතුය කියා ඔහු ලියා තිබෙනවා ය. (කොරෝනාව චීනයෙන් ඉතාලියට කෙලින්ම ගියේ මේ සම්බන්ධය නිසා කියා ද කියන්නට බැරි ය.)

14 වැනි සියවසේ දී ‘කලු මරණ වසංගතය’ යුරෝපය පුරා පැතිරුණු බව අපි දන්නවා ය. මේ කාලයේ ද මාස්ක්වල ඕනෑ කම ඇති වුණේ ය. 16 වැනි සියවසේ සිටි ප්‍රංශ දොස්තර මහතෙකු වූ චාල්ස් ඩි ලෝර්ම් ඒ කාලයේ ‘බීට් මාස්ක්’ කියා එකක් හැදුවේ ය. 

1827 දී සිටි ස්කොට් විද්‍යාඥයකු වූ රොබට් බ්‍රවුන් ද මාස්ක් එකක් නිර්මාණය කරමින් පැවසුවේ මෙය දූවිල්ල ට හොඳ බව ය. 1848 දී ඇමරිකානුවකු වූ ලුවිස් හැස්ලි මාස්ක්වලට මුල්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත් බව අසන්නට ලැබෙනවා ය. 

ලෝකයේ කවුරුත් දන්නා විද්‍යාඥයකු වූ ලුවී පාස්චර් 1861 දී කීවේ බැක්ටීරියා කියා දෙයක් තියෙනවා ය, එයින් ගැළවෙන්නට මාස්ක් දමන්නට ඕනෑ බව ය. 

1899 සිටි ප්‍රංශ විද්‍යාඥයකු තට්ටු 6 ක් ඇති මාස්ක් එකක් සෑදුවේ ය. තට්ටු කියන්නේ ලේයර් හෙවත් ස්තර ය. 

කොහොම වුනත් අද කාලයේ අප දකින විදියේ මාස්ක් එකක් මුලින්ම සාදා මාස්ක්වාදය ලෝකයට හඳුන්වා දුන්නේ මෙහි මුලින්ම සඳහන් කළ චීන වෛද්‍යවරයා වූ වූ ලියන්ඩේ ය. ඒ 1644 - 1911 දක්වා ම චිනයේ පැවති කිං රාජ වංශය කාලයේ ය. 

දැන් පෙනෙන්නට තියෙන හැටියට චීනා මාස්ක් ගැන ප්ලෑන් ගසා ඇත්තේ සෑහෙන කලක සිට ය. මේ විදියට ඇති වූ මාස්ක්වාදය ගැන දැන් මාක්ස්වාදයටත් වඩා කතා කරනවා ය. එක් එක් විදියේ මාස්ක් ද දකින්නට තිබෙනවා ය. ඒ විතරක් ද, මාක්ස්වාදයේ පියාගේ රූපය ද දැන් මාස්ක්වල තිබෙනවා ය. ඒ කියන්නේ මාස්ක් උඩ මාක්ස් ඉන්නවා කියන එක ය. මාක්ස් දකින්නටත් මාස්ක් ගන්න ඕනෑ කියා ද ඕනෑ නම් කියන්නට පුළුවන් ය. මාක්ස්, එංගල්ස් සහ ලෙනින්  ඉන්නා මාස්ක් ද තිබෙනවා ය. 





මේවා අස්සේ මාස්ක් මෝස්තර ද එනවා ය. ඒවා ගැන පොඩි විස්තරයක් මෙතනින් කියවන්නට පුළුවන් ය.



මාස්ක්වාදය ගැන මට ලියන්න සිතුණේ මෙහෙම දෙයක් නිසා මම එසේ ලිව්වෙමි ය. මාස්ක්වාදය සමග මාක්ස්වාදය ද ලියූ නිසා මාක්ස්වාදීන් සහ සමාජවාදීන් උරණ නොවේ යැයි සිතෙන්නෙමි ය.


Tuesday, November 3, 2020

උස් අඩි පාවහන් නිතර පැළඳීම අහිතකරද? - Is it bad to wear high heels ?




  ගැහැනිය යනු සහජයෙන්ම විලාසිතාවන්ට ප්‍රි කරන්නා වූ සත්වයෙකි. මෙය ලොකු කුඩා බාල මහළු යන කොයි කවුරුත් අතර අඩුවැඩි වශයෙන් පවතින බැව් පෙනේ. තම රුව කැපී පෙනීම සඳහා පවතින සෑම විලාසිතාවක් අනුගමනය කරන්නට ඔවුන් අකැමතිවන්නේ නැත. නමුත් මේ පවතින ඇතැම් විලාසිතාවන් එහි බාහිරින් දකින සුන්දරත්වය පසුපස අවදානම් සහිත අවස්ථා ද පවතින බැව් ඇතැමුන් දන්නේ නැත. එසේ නොදැන සිටීම සෞඛ්‍යය අතින් ගත් කල අහිතකර තත්වයකි. අප මේ කතා කරන්නට යන්නේ ඇතැම් අය දැන දැනත් අනුගමනය කරනා, ඇතැම් අය නොදැන අනුගමනය කරනා අවදානම් සහිත විලාසිතාවක් පිළිබඳව ය. එය අන් කිසිවක් නොව උස් අඩි පාවහන් හෙවත්හයි හීල්ස් (High Heels ) පැළැඳීමයි.

 

උස් අඩි පාවහන් පැළැඳීම කාන්තාවන් අතර ජනප්‍රි වන්නට පටන් ගැනුෙණ් අද ඊයේක නොවේ. ක්‍රි.පූ. 200 දී පවාකොතෝර්නි නම් වූ උස් අඩි පාවහන් වර්ගයක් රෝමයේ ප්‍රචලිතව පැවති බැව් ඉතිහාසයේ සඳහන් වේ. එතරම් කාලයක් තිස්සේ මෙය ජනප්‍රියව පවතින්නට ඇත්තේ උස් අඩි පාවහන් පැළැඳීම නිසා කාන්තාවන්ගේ රුවෙහි කැපී පෙනෙන වෙනසක් දක්නට හැකි වූ නිසා වන්නට ඇත. ඔවුනගේ පවතින ප්‍රමාණයට වඩා වැඩි උසක් දක්නට හැකිවීම බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට හේතුවක් විය. නමුත් මෙතරම් කාලයක් තිස්සේ ජනප්‍රියව පැවති උස් අඩි පැවහන් පැළැඳීමෙහි අහිතකර තත්වය පිළිබඳ දැනගන්නට ලැබුණේ සාපේක්ෂ වශයෙන් මෑතකාලයේදී ය. උස් අඩි පාවහන් නිසා පාදවල පමණක් නොව පිටකොන්දේ සුව නොවන තරමේ ආබාධ ඇතිවන්නට හේතුවන බැව් දැන් සොයාගෙන තිබේ. ඇතැම්විට ඔබ මේ පිළිබඳව දැනටමත් දන්නවා වන්නට පුළුවන.

 

අපගේ පාදය ප්‍රධාන අස්ථි 26 කින් , සන්ධි 33 කින් , අස්ථි බන්ධන 107 කින් , මාංශ පේශී හා බලනහර 19 කින් සමන්විත වේ. මිනිසාගේ පාදය විස්මිත නිර්මාණයක් බැව් ලියනාඩෝ ඩාවින්සි වරෙක පවසා තිබිණි.

 

විවිධ භූමි ස්වභාවයන් මත ඔබ පියමැන යද්දී හෝ දිව යද්දී හෝ සිරුර සමබරව පවත්වාගෙන යන්නට මහඟු හැකියාවක් ලැබෙන අයුරින් පාද නිර්මාණය වී තිබේ.  ඔබ සැතපුමක් පයින් ඇවිද ගියේ නම් ඔබගේ පාද 1,800 වාරයක් පොලොෙව් ගැටෙන බැව් ඔබ නොදැන ඉන්නට ඇත. යම්කිසි පුද්ගලයෙක් දිනකට සැතපුම් 5ක් ඇවිද්දේ නම් තැනැත්තා තබා ඇති පියවර ගණන ආසන්න වශයෙන් 8,000 - 10,000 අතර වේ. එමෙන්ම ඔබ පයින් ඇවිද යද්දී එක් පාදයකට ඔබගේ සිරුරේ බරමෙන් එකහමාරක ගුණයක් දැනේ. ඔබ දිව යද්දී මෙය සිව්ගුණයකින් වැඩි වේ. ඔබගේ පාදවලට කෙතරම් බරක් දරාගන්නට සිදුව ඇතිදැයි දැන් ඔබට වැටහෙනවා ඇත. එබැවින් ඔබගේ ශරීර සෞඛ්‍යය යහමින් පවත්වාගෙන යාම සඳහා සුවපහසු පාවහන් පැළැඳීම කළයුතු දෙයකි. ඔබ හැකිතාක් සුවපහසු පාවහන් පැළඳුව පාදවලට යම් ්‍රමාණයක ආතතියක් ලැබීම වළක්වාලිය හැකි දෙයක් නොවේ. තත්වය මෙසේ නම්  අස්ථි 26කින් සමන්විත සම්පූර්ණම පාදය මත ඔබගේ සිරුරේ බර රඳාපවතිනවාට වඩා උස් අඩි පාවහන් පළඳා ඇඟිලි මතට පමණක් බර පැටවීම මඟින් පාදවලට කෙතරම් වෙහෙසක් දැනෙන්නේ දැයි ඔබට දැන් අවබෝධවන්නට ඇත.

 

උස් අඩි පාවහන් පැළැඳීම මගින් වැරදි ජෛව යාන්ත්‍රණයක් සිදුවනවා පමණක් නොව ඔබගේ වළලුකර, උකුළු ප්‍රදේශය සහ සමස්ත කොඳු නාරටියම ඉමහත් වෙහෙසකට පත් වේ. මෙම වෙහෙස කාලයක් තිස්සේ පැවතීම මඟින් සදාකාලිකව පවතින ආබාධ තත්වයන් ඇති වේ. ඔබගේ පාදවල සිට හිස දක්වා ම පවතින්නේ එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාවලියකි. මේ සියල්ල සිදුවිය යුතු ආකාරයෙන් සිදුවන විට එය සිරුරට පහසුවකි. නමුත් උස් අඩි පාවහන් පැළඳි විට මෙම ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදුවන්නේ නැත. පාද මත සිරුරේ බර සුවපහසු ලෙසින් බෙදීයාමේ ක්‍රියාවලිය එතැන දී ඇණහිටී. එතැන් පටන් සියලු ක්‍රියාවලීන් සිදුවිය යුතු අන්දමින් සිදුවන්නේ නැත. මේ නිසා සිරුර අමතර වෙහෙසකට පත්වනවා පමණක් නොව අනවශ්‍ය ක්ෂයවීමකට ලක්වේ. එමෙන්ම ඇතැම් කාන්තාවන්ගේ ගෙල පිටුපස මාංශ පේශීන් තද බවකට පත්වනු දැකිය හැකි දෙයකි. මෙය නිධන්ගත හිසරදයකට හේතු වේ.

මීට අමතරව උස් අඩි පාවහන් පැළැඳීම නිසා ඔබේ සිරුරේ සමබරතාවය පවත්වාගෙන යාම සඳහා සිරුරට අමතර වෙහෙසක් දැරීමට සිදු වේ. මෙය උකුළට මෙන්ම දණහිස්වලටද වෙහෙසකි. ඇතැම්විට ඔබ නොදන්නේ වුව ද උස් අඩි පාවහන් පැළදීමේ දී දණහිස මඳක් නැවී පවතී. ඔබගේ කොඳු නාරටිය සාමාන්‍ය තත්වයේදී ක්‍රියාත්මක වන්නේ සිරුරේ කම්පන උරාගන්නා අවයවයක් වශයෙනි. කොඳුනාරටියේ සාමාන්‍ය වක්‍රතාවය පවත්වා ගැනීම තුළින් එය මෙම ක්‍රියාවලිය සිදුකරයි. නමුත් උස් අඩි පාවහන් පැළැඳීමේ දී මෙම පැවතිය යුතු වක්‍රතාවය රැඳෙන්නේ නැත. එවිට කොඳු නාරටියට අමතර බරක් මෙන්ම වෙහෙසක් දරන්නට සිදුවේ. එය රෝග රැසකටම හේතුවකි.

 

උස් අඩි පාවහන් පැළැඳීමේදී ඔබගේ සිරුරේ බර දරාගන්නේ පාදයේ ඇඟිලිවලින් පමණක් වීම නිසා එයට දැනෙන්නාවූ වෙහෙස අධික ය. පාදවල ඇඟිළි ඉමහත් වෙහෙසකට පත්වීහැරුණු විට ඒවා විකෘති තත්වයට පත්වන්නට පුළුවන.

 

මේ නිසා කාන්තාවන්ට පාදවල ආබාධ වැළඳීමේ අවදානම පිරිමින්ට මෙන් සිව්ගුණයක් පමණ වේ. උස් අඩි පාවහන් පැළඳීමේ ප්‍රතිවිපාක පිළිබඳ දැනගන්නට මේ කරුණු ප්‍රමාණවත් යැයි සිතමු. එසේ නම් පාදවල සෞඛ්‍ය වෙනුවෙන් පහත පියවර අනුගමනය කිරීම සුදුසු වේ.

 

1. හැකි සෑම අවස්ථාවකම උස් අඩි පාවහන් පැළඳීමෙන් වැළකෙන්න

 

2. ඔබ පාවහන් මිලට ගන්නට අදහස් කළේ නම් සඳහා දිවාකාලයෙන් පසුව යාම සුදුසුය. එයට හේතුව දවස ගෙවී යද්දී පාදවල ප්‍රමාණය මඳක් විශාල වී පැවතීම නිසාය. එසේ සිදුවන්නේ පාද ක්‍රියාකාරීවීම හේතුවෙනි. එවිට ඔබට පාදවලට වඩාත් සුවපහසු පාවහන් තෝරා ගැනීමට හැකිවනු ඇත. ඔබ පාවහන් මිලදී ගැනීමට ගියේ උදය වරුවේ නම්, එවිට ඔබ මිලට ගන්නේ තරමක් කුඩා ඒවා වන්නට පුළුවන. ඒවා දවස ගෙවී යද්දී පාදවලට වෙහෙසක් ඇතිකරනු ඇත.

 

2. පාවහන් මිලදී ගන්නා විට යුගලම පළඳින්නට අමතක නොකරන්න. මන්ද ඇතැම් විට එක් පාවහනයක් අනෙක්ට වඩා මඳක් විශාල විය හැකි බැවිනි.

 

3. සකසන ලද ආහාරවලට වඩා ශාක කොටස් සහිත ආහාර පරිභෝජනයට වැඩි වශයෙන් හුරුවන්න. එවිට සිරුර පුරා ප්‍රශස්ථ මට්ටමින් රුධිර සංසරණය සිදුවන ඇත. එය පාදවල පටක පෝෂණයට ඉමහත් පිටිවහලක් වන්නේය.

 

අවසාන වශයෙන් පැවසිය යුත්තේ මෙපමණකි. ඔබ උස් අඩි පාවහන් පැළඳීමේදී ඔබගේ සිරුර හා පාද අමතර ගෙවී යාමකට ලක්වේ. ඔබ වයසට පත්වද්දී වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටින්නටත් සුපුරුදු පරිදි ඇවිදයන්නට කැමත්තේ නම් පාදවලට වඩාත් සුවපහසු පාවහන් පැළැඳීම ඔබගේ වගකීම වන්නේය.  

 

සියල්ල ඇත්තේ ඔබ අතය.








Sunday, November 1, 2020

නොස්ට්‍රඩෑමුස් කොරෝනා වෛරසය ගැන කීවාද? Did Nostradamus predict the coronavirus outbreak?



මයිකල් ඩි නොස්ට්‍රඩෑම්, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි නොස්ට්‍රඩෑමුස් කියන්නේ ක්‍රි.ව. 1503 - 1566 අතර සමයේ ප්‍රංශයේ ජීවත් වූ ජ්‍යෝතීර්වේදියෙක් සහ භෞතික විද්‍යාඥයෙක්. කෙසේ නමුත් ඔහු ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණේ අනාවැකි පළකරන්නකු හැටියටයි. අනාගත ලෝකයේ සිදුවිය හැකි දේවල් අඩංගු වන්නේ ඔහුගේ මේ අපූරු අනාවැකි එකතු කොට සම්පාදනය කරන ලද Les Propheties නම් ග්‍රන්ථයේ යි. ඔහුගේ අනාවැකි මෙහි අඩංගු වී ඇත්තේ සිව් පද ලෙසින්. ඔහුගේ මේ ග්‍රන්ථයේ අඩංගු වූ අනාවැකි සැබෑ වූ බව පැවසෙනවා. කෙසේ නමුත් ඒවායේ එක එල්ලේම අදාළ සිදුවීම් පිළිබඳ සඳහන් කොට නැහැ. මේ අනාවැකි විශ්ලේෂණය කිරීමෙන් පමණයි ඒවායෙන් පැවසුණු අනාවැකිය ගැන දැනගත හැකි වන්නේ.


අනාවැකි සහිත L es Prophetiesග්‍රන්ථය



පසුගිය කාලයේ ලෝකයේ සමාජ ජාලවල ඔහුගේ එක් අනාවැකියක් සංසරණය වුණා. එය සරල බසින් මෙසේ සඳහන් කළ හැකියි.


“උදාවෙයි නිවුන් වසරක්

නැගී සිටියි රැජිනක් පෙරදිගින් සපැමිණි

ඇය පතුරුවයි වසංගතයක් අඳුරු රැයේ දී

සත් කඳු ඇති දේශයේ 

මිනිසුන් හැරෙයි දුහුවිල්ලට

ලොව නැසී වැනසී යයි”


මෙය විශ්ලේෂණය කොට ඇත්තේ මේ ආකාරයෙන්.


“උදාවෙයි නිවුන් වසරක් (2020)

නැගී සිටියි රැජිනක් (Queen = Corona) පෙරදිගින්  (චීනයෙන්) සපැමිණි

ඇය පතුරුවයි වසංගතයක් (වෛරසය) අඳුරු රැයේ දී

සත් කඳු ඇති දේශයේ (ඉතාලිය)

මිනිසුන් හැරෙයි දුහුවිල්ලට (මරණය)

ලොව නැසී වැනසී යයි”


අපේ රටේ සමාජ මාධ්‍යවල කෙසේ වෙතත් ලෝකයේ සෙසු රටවල, විශේෂයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ මෙය ශීඝ්‍රයෙන් පැතිර ගියා. නොස්ට්‍රඩෑමුස් කොරෝනා පිළිබඳ අනාවැකියක් පළ කළා පමණක් නොව එය සත්‍යයක් බවට ද පත් වූ බවයි සමාජජාලවල ස්ථාපිත වුණේ.


නමුත් පසුව සොයා ගත්තේ මෙවැන්නක් නොස්ට්‍රඩෑමුස් විසින් පවසා නොමැති බවයි. ඔහුගේ සියලු අනාවැකි සහිත කෘතියේ මෙවැන්නක් සඳහන්ව නැති බව නිව්යෝර්ක් සරසවියේ ප්‍රඞශ භාෂාව, ප්‍රංශ භාෂා අධ්‍යයනය සහ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ස්ටෙෆානි ගර්සන් රොයිටර් පුවත් සේවය හමුවේ අනාවරණය කළා. නොස්ට්‍රඩැමුස් සිය අනාවැකි පළ කොට ඇති ශෛලිය සියුම් ව අනුගමනය කරමින් මේ බොරු අනාවැකිය නිර්මාණය කොට සමාජමාජවලට මුදාහැර ඇති බවටයි අවසානයේ තීරණය කෙරුණේ.