පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, November 4, 2020

මාස්ක්වාදය Vs. මාක්ස්වාදය - Maskism Vs. Marxism




මාක්ස්වාදය සොයා ගත්තේ කාල් මාක්ස් ය. නමුත් මාස්ක්වාදය සොයා ගත්තේ චීන වෛද්‍යවරයකු වූ ‘වූ ලියන්ඩේ’ ය. මාක්ස්වාදයටත් වඩා මාස්ක්වාදය දැන් ලෝකයේ පැතිරිලා ය. ඒ නිසා මාස්ක්වාදයේ අනුගාමිකයෙකු වීමෙන් ජීවිත දානය ද හිමි වන්නේ ය.

2020 වසර එළැඹෙද් දී මාක්ස්ටත් වඩා මාස්ක් ලෝකයේ ජනප්‍රිය වේ යැයි මාක්ස්වාදීන් ද සිතන්නට  නැති ය. 2020 වසරේ ලෝකයේ වැඩියෙන්ම මාකට් වී ඇත්තේ මාස්ක් ය.  මාක්ස්වාදීන්ට පවා මාස්ක්වාදයෙන් ගැළවිල්ලක් නැති ය. 




සමහර කඩවල බෝඞ් ලෑලිවල ලියා තිබෙන්නේ ‘මාක්ස් විකිණීමට ඇත’ කියා ය. ‘මාක්ස් විකුණන්න දෙයක් නෑ මුදලාලි. සමාජවාදී කට්ටිය මාක්ස් වික්කේ සෑහෙන කාලෙකට ඉස්සරය’ කියා මුහුණු පොතේ කවුරු හරි නොසන්ඩාලයෙක් දමා තිබුණා ද මතක ය. මාක්ස් විකිණී අහවර නිසා මාස්ක් මේ තරම් මාකට් විම ගැන පුදුමයක් ද නැති ය.

පැරණි රෝමයේ මේ වගේ මාස්ක් ද තිබුණේ ය. ඒත් ඒවා පාවිච්චි කළේ වෛරසයෙන් බේරීමට නොවේ ය. හතුරන්ගෙන් මුහුණ බේරා ගන්නට ය.




මාස්ක් එකක් ගැන ලෝකයෙන් මුලින් ම දැනගන්නට ලැබෙන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසෙන් බව අන්තර්ජාලයේ තිබුණේ ය. මේ කාලයට අයිති පර්සියානු සොහොන් ගෙවල්වල චිත්‍ර ඇඳ තිබෙන අතර මුහුණට උඩින් රෙද්දක් දමාගත් චිත්‍ර ද ඒ අතර තිබෙනවා ය. 

කොහොම වුනත් අද තියෙන මාස්ක් එකට ටිකක් සමාන මාස්ක් එකක් හමුවන්නේ චීනයෙන් ය. ඒ ක්‍රි.ව. 1279 - 1368 ත් අතර සමයේ පැවැති යුවාන් රාජ වංශය කාලයේ ය. සේද රෙද්දකින් මසා රත්තරන් නූලකින් හැඩ කළ මාස්ක් එකක් ගැන මේ කාලයෙන් අසන්නට ලැබෙනවා ය. 

ඉතාලි ජාතික මාර්කෝ පෝලෝ ද මේ කතාවම කියනවා ය. මාර්කෝ පෝලෝ චීනයට ගොස් තිබුණේ මේ රාජ වංශය තිබුණු කාලයේම ය. චීන අධිරාජයාට ආහාර පිළිගන්වන සේවක සේවිකාවන් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් පැළැඳ සිටිය යුතුය කියා ඔහු ලියා තිබෙනවා ය. (කොරෝනාව චීනයෙන් ඉතාලියට කෙලින්ම ගියේ මේ සම්බන්ධය නිසා කියා ද කියන්නට බැරි ය.)

14 වැනි සියවසේ දී ‘කලු මරණ වසංගතය’ යුරෝපය පුරා පැතිරුණු බව අපි දන්නවා ය. මේ කාලයේ ද මාස්ක්වල ඕනෑ කම ඇති වුණේ ය. 16 වැනි සියවසේ සිටි ප්‍රංශ දොස්තර මහතෙකු වූ චාල්ස් ඩි ලෝර්ම් ඒ කාලයේ ‘බීට් මාස්ක්’ කියා එකක් හැදුවේ ය. 

1827 දී සිටි ස්කොට් විද්‍යාඥයකු වූ රොබට් බ්‍රවුන් ද මාස්ක් එකක් නිර්මාණය කරමින් පැවසුවේ මෙය දූවිල්ල ට හොඳ බව ය. 1848 දී ඇමරිකානුවකු වූ ලුවිස් හැස්ලි මාස්ක්වලට මුල්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත් බව අසන්නට ලැබෙනවා ය. 

ලෝකයේ කවුරුත් දන්නා විද්‍යාඥයකු වූ ලුවී පාස්චර් 1861 දී කීවේ බැක්ටීරියා කියා දෙයක් තියෙනවා ය, එයින් ගැළවෙන්නට මාස්ක් දමන්නට ඕනෑ බව ය. 

1899 සිටි ප්‍රංශ විද්‍යාඥයකු තට්ටු 6 ක් ඇති මාස්ක් එකක් සෑදුවේ ය. තට්ටු කියන්නේ ලේයර් හෙවත් ස්තර ය. 

කොහොම වුනත් අද කාලයේ අප දකින විදියේ මාස්ක් එකක් මුලින්ම සාදා මාස්ක්වාදය ලෝකයට හඳුන්වා දුන්නේ මෙහි මුලින්ම සඳහන් කළ චීන වෛද්‍යවරයා වූ වූ ලියන්ඩේ ය. ඒ 1644 - 1911 දක්වා ම චිනයේ පැවති කිං රාජ වංශය කාලයේ ය. 

දැන් පෙනෙන්නට තියෙන හැටියට චීනා මාස්ක් ගැන ප්ලෑන් ගසා ඇත්තේ සෑහෙන කලක සිට ය. මේ විදියට ඇති වූ මාස්ක්වාදය ගැන දැන් මාක්ස්වාදයටත් වඩා කතා කරනවා ය. එක් එක් විදියේ මාස්ක් ද දකින්නට තිබෙනවා ය. ඒ විතරක් ද, මාක්ස්වාදයේ පියාගේ රූපය ද දැන් මාස්ක්වල තිබෙනවා ය. ඒ කියන්නේ මාස්ක් උඩ මාක්ස් ඉන්නවා කියන එක ය. මාක්ස් දකින්නටත් මාස්ක් ගන්න ඕනෑ කියා ද ඕනෑ නම් කියන්නට පුළුවන් ය. මාක්ස්, එංගල්ස් සහ ලෙනින්  ඉන්නා මාස්ක් ද තිබෙනවා ය. 





මේවා අස්සේ මාස්ක් මෝස්තර ද එනවා ය. ඒවා ගැන පොඩි විස්තරයක් මෙතනින් කියවන්නට පුළුවන් ය.



මාස්ක්වාදය ගැන මට ලියන්න සිතුණේ මෙහෙම දෙයක් නිසා මම එසේ ලිව්වෙමි ය. මාස්ක්වාදය සමග මාක්ස්වාදය ද ලියූ නිසා මාක්ස්වාදීන් සහ සමාජවාදීන් උරණ නොවේ යැයි සිතෙන්නෙමි ය.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න