පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, November 25, 2020

අපේ ගමේ මෑතකදී සිදුවූ මරණ විශ්ලේෂණය



අපේ ගමේ මෑතක දී සිදු වූ මරණ පිළිබඳ විශ්ලේෂණයක් පහතින් ඉදිරිපත් කෙරේ. එහි ඇත්තේ මරණයට හේතුව යැයි අප සිතන දේ සහ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව පවසන කාරණාව බව කරුණාවෙන් සැලකිය යුතු ය.


1. සිමියොන් මාමාගේ මරණය

සිමියොන් මාමාගේ වයස අවුරුදු 78 කි. වකුගඩු අමාරුවකින් කාලයක සිට පෙලුනේ ය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

නාන කාමරයේ ඇද වැටී හිස බිම වැදීම නිසා

වෛද්‍ය වාර්තාව

නාන කාමරයේ ඇද වැටී හිස බිම වැදීමෙන් ඇති වූ වකුගඩු සංකූලතාව නිසා මරණයට පත් වී තිබේ.


2. ගර්ටි නෝනාගේ මරණය

ගර්ටි නෝනාගේ වයස අවුරුදු 80 කි. දියවැඩියාවෙන් කාලයක සිට පෙලුණාය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

පාර අයිනේ සිටිය දී වාහනයක හැපීම නිසා

වෛද්‍ය වාර්තාව

පාර අයිනේ සිටිය දී වාහනයක හැපීම නිසා ඇති වූ දියවැඩියා සංකූලතාවයෙන් මරණයට පත් වී තිබේ.


3. ලකී අයියාගේ මරණය

ලකී අයියාගේ වයස අවුරුදු 60කි. අධික ලෙස මත්පැන් පානය කළ නිසා සිරෝසිස් රෝගයෙන් පෙලුනේය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

මත්පැන් බී ඇති වූ බහින්බස්වීමක දී සිදු වූ පිහි ඇනුමක් නිසා

වෛද්‍ය වාර්තාව

මත්පැන් බී ඇති වූ බහින්බස්වීමක දී සිදු වූ පිහි ඇනුමක් නිසා සිරෝසිස් රෝගය උත්සන්න වීමෙන් මරණයට පත් ව තිබේ.


4. මිසිලින් නැන්දාගේ මරණය

මිසිලින් නැන්දාගේ වයස අවුරුදු 78 කි. ඇය බොහෝ කාලයක සිට අධික රුධිර පීඩනයෙන් පෙලුණාය.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

වත්ත පහළ පාලු ළිඳට ඇද වැටීම නිසා

වෛද්‍ය වාර්තාව

වත්ත පහළ පාලු ළිඳට ඇද වැටීම නිසා අධික රුධිර පීඩනය සංකූලතාවයෙන් මරණයට පත් ව තිබේ.


5. ගුණපාලගේ මරණය

ගුණපාලට වයස අවුරුදු 60 කි. අධික අලස පුද්ගලෙයකි. දන්නා තරමින් විශේෂ රෝගයක් නොමැත.

මරණයට හේතුව

ගමේ අය හිතන හැටි

කොවිඞ් 19 වැලඳීම නිසා

වෛද්‍ය වාර්තාව

කොවිඞ් 19 වැලඳීම හේතුවෙන් ඇති වූ අලස සංකුලතාව උත්සන්න වීමෙන් මරණයට පත් ව තිබේ. 





No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න