පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, November 3, 2020

උස් අඩි පාවහන් නිතර පැළඳීම අහිතකරද? - Is it bad to wear high heels ?




  ගැහැනිය යනු සහජයෙන්ම විලාසිතාවන්ට ප්‍රි කරන්නා වූ සත්වයෙකි. මෙය ලොකු කුඩා බාල මහළු යන කොයි කවුරුත් අතර අඩුවැඩි වශයෙන් පවතින බැව් පෙනේ. තම රුව කැපී පෙනීම සඳහා පවතින සෑම විලාසිතාවක් අනුගමනය කරන්නට ඔවුන් අකැමතිවන්නේ නැත. නමුත් මේ පවතින ඇතැම් විලාසිතාවන් එහි බාහිරින් දකින සුන්දරත්වය පසුපස අවදානම් සහිත අවස්ථා ද පවතින බැව් ඇතැමුන් දන්නේ නැත. එසේ නොදැන සිටීම සෞඛ්‍යය අතින් ගත් කල අහිතකර තත්වයකි. අප මේ කතා කරන්නට යන්නේ ඇතැම් අය දැන දැනත් අනුගමනය කරනා, ඇතැම් අය නොදැන අනුගමනය කරනා අවදානම් සහිත විලාසිතාවක් පිළිබඳව ය. එය අන් කිසිවක් නොව උස් අඩි පාවහන් හෙවත්හයි හීල්ස් (High Heels ) පැළැඳීමයි.

 

උස් අඩි පාවහන් පැළැඳීම කාන්තාවන් අතර ජනප්‍රි වන්නට පටන් ගැනුෙණ් අද ඊයේක නොවේ. ක්‍රි.පූ. 200 දී පවාකොතෝර්නි නම් වූ උස් අඩි පාවහන් වර්ගයක් රෝමයේ ප්‍රචලිතව පැවති බැව් ඉතිහාසයේ සඳහන් වේ. එතරම් කාලයක් තිස්සේ මෙය ජනප්‍රියව පවතින්නට ඇත්තේ උස් අඩි පාවහන් පැළැඳීම නිසා කාන්තාවන්ගේ රුවෙහි කැපී පෙනෙන වෙනසක් දක්නට හැකි වූ නිසා වන්නට ඇත. ඔවුනගේ පවතින ප්‍රමාණයට වඩා වැඩි උසක් දක්නට හැකිවීම බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට හේතුවක් විය. නමුත් මෙතරම් කාලයක් තිස්සේ ජනප්‍රියව පැවති උස් අඩි පැවහන් පැළැඳීමෙහි අහිතකර තත්වය පිළිබඳ දැනගන්නට ලැබුණේ සාපේක්ෂ වශයෙන් මෑතකාලයේදී ය. උස් අඩි පාවහන් නිසා පාදවල පමණක් නොව පිටකොන්දේ සුව නොවන තරමේ ආබාධ ඇතිවන්නට හේතුවන බැව් දැන් සොයාගෙන තිබේ. ඇතැම්විට ඔබ මේ පිළිබඳව දැනටමත් දන්නවා වන්නට පුළුවන.

 

අපගේ පාදය ප්‍රධාන අස්ථි 26 කින් , සන්ධි 33 කින් , අස්ථි බන්ධන 107 කින් , මාංශ පේශී හා බලනහර 19 කින් සමන්විත වේ. මිනිසාගේ පාදය විස්මිත නිර්මාණයක් බැව් ලියනාඩෝ ඩාවින්සි වරෙක පවසා තිබිණි.

 

විවිධ භූමි ස්වභාවයන් මත ඔබ පියමැන යද්දී හෝ දිව යද්දී හෝ සිරුර සමබරව පවත්වාගෙන යන්නට මහඟු හැකියාවක් ලැබෙන අයුරින් පාද නිර්මාණය වී තිබේ.  ඔබ සැතපුමක් පයින් ඇවිද ගියේ නම් ඔබගේ පාද 1,800 වාරයක් පොලොෙව් ගැටෙන බැව් ඔබ නොදැන ඉන්නට ඇත. යම්කිසි පුද්ගලයෙක් දිනකට සැතපුම් 5ක් ඇවිද්දේ නම් තැනැත්තා තබා ඇති පියවර ගණන ආසන්න වශයෙන් 8,000 - 10,000 අතර වේ. එමෙන්ම ඔබ පයින් ඇවිද යද්දී එක් පාදයකට ඔබගේ සිරුරේ බරමෙන් එකහමාරක ගුණයක් දැනේ. ඔබ දිව යද්දී මෙය සිව්ගුණයකින් වැඩි වේ. ඔබගේ පාදවලට කෙතරම් බරක් දරාගන්නට සිදුව ඇතිදැයි දැන් ඔබට වැටහෙනවා ඇත. එබැවින් ඔබගේ ශරීර සෞඛ්‍යය යහමින් පවත්වාගෙන යාම සඳහා සුවපහසු පාවහන් පැළැඳීම කළයුතු දෙයකි. ඔබ හැකිතාක් සුවපහසු පාවහන් පැළඳුව පාදවලට යම් ්‍රමාණයක ආතතියක් ලැබීම වළක්වාලිය හැකි දෙයක් නොවේ. තත්වය මෙසේ නම්  අස්ථි 26කින් සමන්විත සම්පූර්ණම පාදය මත ඔබගේ සිරුරේ බර රඳාපවතිනවාට වඩා උස් අඩි පාවහන් පළඳා ඇඟිලි මතට පමණක් බර පැටවීම මඟින් පාදවලට කෙතරම් වෙහෙසක් දැනෙන්නේ දැයි ඔබට දැන් අවබෝධවන්නට ඇත.

 

උස් අඩි පාවහන් පැළැඳීම මගින් වැරදි ජෛව යාන්ත්‍රණයක් සිදුවනවා පමණක් නොව ඔබගේ වළලුකර, උකුළු ප්‍රදේශය සහ සමස්ත කොඳු නාරටියම ඉමහත් වෙහෙසකට පත් වේ. මෙම වෙහෙස කාලයක් තිස්සේ පැවතීම මඟින් සදාකාලිකව පවතින ආබාධ තත්වයන් ඇති වේ. ඔබගේ පාදවල සිට හිස දක්වා ම පවතින්නේ එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාවලියකි. මේ සියල්ල සිදුවිය යුතු ආකාරයෙන් සිදුවන විට එය සිරුරට පහසුවකි. නමුත් උස් අඩි පාවහන් පැළඳි විට මෙම ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදුවන්නේ නැත. පාද මත සිරුරේ බර සුවපහසු ලෙසින් බෙදීයාමේ ක්‍රියාවලිය එතැන දී ඇණහිටී. එතැන් පටන් සියලු ක්‍රියාවලීන් සිදුවිය යුතු අන්දමින් සිදුවන්නේ නැත. මේ නිසා සිරුර අමතර වෙහෙසකට පත්වනවා පමණක් නොව අනවශ්‍ය ක්ෂයවීමකට ලක්වේ. එමෙන්ම ඇතැම් කාන්තාවන්ගේ ගෙල පිටුපස මාංශ පේශීන් තද බවකට පත්වනු දැකිය හැකි දෙයකි. මෙය නිධන්ගත හිසරදයකට හේතු වේ.

මීට අමතරව උස් අඩි පාවහන් පැළැඳීම නිසා ඔබේ සිරුරේ සමබරතාවය පවත්වාගෙන යාම සඳහා සිරුරට අමතර වෙහෙසක් දැරීමට සිදු වේ. මෙය උකුළට මෙන්ම දණහිස්වලටද වෙහෙසකි. ඇතැම්විට ඔබ නොදන්නේ වුව ද උස් අඩි පාවහන් පැළදීමේ දී දණහිස මඳක් නැවී පවතී. ඔබගේ කොඳු නාරටිය සාමාන්‍ය තත්වයේදී ක්‍රියාත්මක වන්නේ සිරුරේ කම්පන උරාගන්නා අවයවයක් වශයෙනි. කොඳුනාරටියේ සාමාන්‍ය වක්‍රතාවය පවත්වා ගැනීම තුළින් එය මෙම ක්‍රියාවලිය සිදුකරයි. නමුත් උස් අඩි පාවහන් පැළැඳීමේ දී මෙම පැවතිය යුතු වක්‍රතාවය රැඳෙන්නේ නැත. එවිට කොඳු නාරටියට අමතර බරක් මෙන්ම වෙහෙසක් දරන්නට සිදුවේ. එය රෝග රැසකටම හේතුවකි.

 

උස් අඩි පාවහන් පැළැඳීමේදී ඔබගේ සිරුරේ බර දරාගන්නේ පාදයේ ඇඟිලිවලින් පමණක් වීම නිසා එයට දැනෙන්නාවූ වෙහෙස අධික ය. පාදවල ඇඟිළි ඉමහත් වෙහෙසකට පත්වීහැරුණු විට ඒවා විකෘති තත්වයට පත්වන්නට පුළුවන.

 

මේ නිසා කාන්තාවන්ට පාදවල ආබාධ වැළඳීමේ අවදානම පිරිමින්ට මෙන් සිව්ගුණයක් පමණ වේ. උස් අඩි පාවහන් පැළඳීමේ ප්‍රතිවිපාක පිළිබඳ දැනගන්නට මේ කරුණු ප්‍රමාණවත් යැයි සිතමු. එසේ නම් පාදවල සෞඛ්‍ය වෙනුවෙන් පහත පියවර අනුගමනය කිරීම සුදුසු වේ.

 

1. හැකි සෑම අවස්ථාවකම උස් අඩි පාවහන් පැළඳීමෙන් වැළකෙන්න

 

2. ඔබ පාවහන් මිලට ගන්නට අදහස් කළේ නම් සඳහා දිවාකාලයෙන් පසුව යාම සුදුසුය. එයට හේතුව දවස ගෙවී යද්දී පාදවල ප්‍රමාණය මඳක් විශාල වී පැවතීම නිසාය. එසේ සිදුවන්නේ පාද ක්‍රියාකාරීවීම හේතුවෙනි. එවිට ඔබට පාදවලට වඩාත් සුවපහසු පාවහන් තෝරා ගැනීමට හැකිවනු ඇත. ඔබ පාවහන් මිලදී ගැනීමට ගියේ උදය වරුවේ නම්, එවිට ඔබ මිලට ගන්නේ තරමක් කුඩා ඒවා වන්නට පුළුවන. ඒවා දවස ගෙවී යද්දී පාදවලට වෙහෙසක් ඇතිකරනු ඇත.

 

2. පාවහන් මිලදී ගන්නා විට යුගලම පළඳින්නට අමතක නොකරන්න. මන්ද ඇතැම් විට එක් පාවහනයක් අනෙක්ට වඩා මඳක් විශාල විය හැකි බැවිනි.

 

3. සකසන ලද ආහාරවලට වඩා ශාක කොටස් සහිත ආහාර පරිභෝජනයට වැඩි වශයෙන් හුරුවන්න. එවිට සිරුර පුරා ප්‍රශස්ථ මට්ටමින් රුධිර සංසරණය සිදුවන ඇත. එය පාදවල පටක පෝෂණයට ඉමහත් පිටිවහලක් වන්නේය.

 

අවසාන වශයෙන් පැවසිය යුත්තේ මෙපමණකි. ඔබ උස් අඩි පාවහන් පැළඳීමේදී ඔබගේ සිරුර හා පාද අමතර ගෙවී යාමකට ලක්වේ. ඔබ වයසට පත්වද්දී වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටින්නටත් සුපුරුදු පරිදි ඇවිදයන්නට කැමත්තේ නම් පාදවලට වඩාත් සුවපහසු පාවහන් පැළැඳීම ඔබගේ වගකීම වන්නේය.  

 

සියල්ල ඇත්තේ ඔබ අතය.








2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න