පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, September 27, 2016

කණ පරිස්සම් කරගෙන සිංදු අහන්න


ජංගම දුරකතනයෙන් ගීතවලට සවන් දීම හා සිනමා පට නැරඹීම වර්තමානයේ සුලභව දකින්නට ලැබෙන දෙයක් විදිහට පවසන්නට පුළුවන්. උදෑසන රැකියාවට පැමිණෙද්දී සහ සවසට නිවසට යද්දී බස්වල, දුම්රියවල, මහ මග, ඇතැම් විට කාර්යාලයේ සහ නිවසේදී පවා හෑන්ඩ්ස්ෆ්‍රී කන් දෙකේ රුවාගෙන සිටිනු දැකිය හැකියි. අන් අයට, අසල්වැසියන්ට කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ගීයක් ඇසීම එක් අතකින් යහපත් දෙයක් වුනත් මේ පුරුද්ද පසු පස්සේ ලොකු විනාශයක් පැමිණෙන බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඇතැමුන් තුළ මේ ගැන යම් වැටහීමක් තිබුනත් එය එතරම් සැලකිල්ලකට ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා ඒ ගැන ටිකක් කතා කරන එක හොඳයි කියලා හිතුවා.

පැරණි ඉයර් ෙෆා්නයක්

මුල්ම කාලේ මේ තිබුණේ අප අද දකින විදිහේ හෑන්ඩ්ස්ෆ්‍රී නෙවෙයි. ඒ කාලේ මේවාට කිව්වේ ඉයර්ෆෝන්කියලා. එක කණට විතරයි ඒක දාගන්න පුළුවන් වුනේ. පසු කාලයේ වෝල්ක්මන් වර්ගයේ කැසට් ධාවක ජනප්‍රියවීමත් එක්ක ස්ටීරියෝ ආකාරයෙන් ගීත ඇසීමේ පහසුකම පැමිණියා. ඒ එක්කම ස්ටීරියෝ සංගීතයට සවන් දිය හැකි ආකාරයට කන් දෙකටම දමාගත හැකි ඉයර්ෆෝන් ආවා. නමුත් ඒවායේ නම වුනේ හෙඩ්ෆෝන්’. හෙඩ්ෆෝන් එක්ක ජීවත් වෙන අතරේ ජංගම දුරකතන තාක්ෂණය වේගයෙන් දියුණු වෙලා හෑන්ඩ්ස්ෆ්‍රී ආවා. මුළින්ම හෑන්ඩ්ස්ෆ්‍රී  ආවේ ගීතවලට සවන් දෙන්න නෙවෙයි. වාහනක ගමන් කරද්දි පහසුවෙන් දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීම සඳහායි. දෑත් නිදහස්කියන තේරුම තමයි හෑන්ඩ්ස්ෆ්‍රී  කියන එකේ තියෙන්නේ. වැඩි කාලයක් යන්න කලින් ජංගම දුරකතන ඔස්සේ උසස් ගුණත්වයෙන් ගීත ඇසීමේ තාක්ෂණය දියුණු වීමත් එක්ක හෑන්ඩ්ස්ෆ්‍රී  තාක්ෂණයත් දියුණු වුණා. මුල් කාලේ කනේ රඳවාගත හැකි විදිහේ හෑන්ඩ්ස්ෆ්‍රී  තිබුණත් දැන් කණ තුළට රුවාගත හැකි ආකාරයේ හෑන්ඩ්ස්ෆ්‍රී  තමයි ජනප්‍රිය. ඒ වගේම දැන් මේවා හඳුන්වන්නේ හෙඩ්සෙට්නමින්. මෙන්න මේ ආකාරයෙන් තමයි හෑන්ඩ්ස්ෆ්‍රී  නැත්නම් හෙඩ්සෙට් අපි ළගට ආවේ.

Walkman Hedaphone


මේවායෙන් ගීත අහද්දී පිට පිටස්තර පුද්ගලයකුට එයින් කරදරයක් නැති බව ඇත්ත වුනත් ඔබේ ශ්‍රවන හැකියාවට නම් එයින් සෑහෙන්න බලපෑමක් සිද්ධ වෙන බව නොකියාම බැහැ. වර්තමානයේ ජනප්‍රියතම හෙඩ්සෙට් වර්ගය වන්නේ කණ තුළට රුවා ගත හැකි අන්දමින් නිමවා ඇති මෝස්තරයයි. සාමාන්‍යයෙන් අලුතින් ජංගම දුරකතනයක් මිලදී ගන්නා විට බොහෝ විට ලැබෙන්නේ ද මේ මෝස්තරයේ හෙඩ්සෙට්. වෙනස් මෝස්තරයක් ලැබෙන්නේ ඇපල් දුරකතන සඳහා පමණයි. කණ තුළට රුවා ගත හැකි මෝස්තරයේ හෙඩ්සෙට්වලින් කණ සම්පූර්ණයෙන්ම මුද්‍රාවන ආකාරයෙන් තමයි සකසා තිබෙන්නේ. බාහිර ශබ්ද කිසිවක් නොඇසෙන නිසා ඉතා උසස් ආකාරයෙන් ගීතවලට සවන් දෙන්න පුළුවන්.

මුල් කාලයේ හෙඩ්සෙට් 


කණ තුළට රුවාගත හැකි අන්දමේ හෙඩ්සෙට් 

බොහෝ දෙනෙක් හෙඩ්සෙට් එකක් කනේ රුවාගෙන ගීත අසද්දී ගීතවල ශබ්ද මට්ටම ඉහළ දමන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ කණ පිරෙන්න සංගීතය රස විඳීමටයි. මේ ආකාරයට ශබ්ද මට්ටම ඉහළ දමද්දී ඉතා පහසුවෙන්ම මෙම ශබ්ද මට්ටම ඩෙසිබල් 85 කියන මට්ටම පසුකරනවා. ඩෙසිබල් කියන්නේ මොකක්ද කියන එක දැන් ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඩෙසිබල් කියන්නේ ශබ්දයේ මට්ටම මනින ඒකකය විදිහට සරලව සඳහන් කළ හැකියි. ඩෙසිබල් 85 කියන්නේ මිනිස් කණට දරාගත හැකි ශබ්ද මට්ටමයි. හෙඩ්සෙට් එකකින් ගීතවලට සවන් දෙන බොහෝ දෙනෙකු මේ ගීත අසන්නේ ඩෙසිබල් 85 මට්ටම ඉක්මවා යන අයුරින්. පර්යේෂණවලින් හෙළිවී තිබෙන ආකාරයට බොහෝ දෙනෙකුගේ මේ මට්ටම ඩෙසිබල් 120ක් පමණ වෙනවා. මේ හෙඩ්සෙට්වලින් කණ සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබෙන නිසා ශබ්ද කණෙන් පිටවන්නට ද ඉඩක් නැහැ. ශබ්දය වැඩි කොට ගීත අසන්නට හුරුවීමේ ඊළඟ අනිටු පලය වන්නේ කාලයක් ගතවේද්දී මේ අධික ශබ්දයට කණ හුරු වී මෙම ශබ්ද මට්ටම තව තවත් ඉහළ දමා ගැනීමයි.  මෑතකදී කළ එක් පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙසිබල් 85 ට වැඩි ශබ්දයකට කණ නිතර නතු වීම නිසා කණේ සිට මොළයට සංඥා රැගෙන යන ස්නායු හානියට පත් වෙන බවයි. ස්නායු හරහා විද්‍යුත් සංඥා ගමන් කරන්නේ ඒවා ආවරණය වී ඇති මයලින් කොපු නිසයි. ඩෙසිබල් 110 පමණ ඉක්මවූ ශබ්දවලට නිතර සවන් දීමේදී මෙම මයලින් කොපුවලට හානි සිදුවන බැව් පැවසනෙවා. එවිට මොළය කරා රැගෙන යන ශබ්ද සංඥා දුර්වල වී ශ්‍රවනය දුර්වල වන බවයි එම පර්යේෂණයෙන් වැඩිදුරටත් පැවසෙන්නේ. අනෙක මෙසේ හානියට පත් වන ස්නායු කොටස් නැවත යථා තත්වයට පත්වන්නේ ද නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව බිහිරි බවට පත් වන පුද්ගලයන්ගෙන් 30%ක්ම පාහේ හෙඩ්සෙට්වලින් අධික ශබ්දයෙන් යුක්තව ගීත අසන්නන් බව පර්යේෂණ කිහිපයකින්ම හෙළිවී තිබෙනවා. අප රටේ එවැනි පර්යේෂණ සිදුව නැතත් මෙම ශෝචනීය ඉරණමට බොහෝ දෙනෙක් මේ වන විටත් ගොදුරුව සිටිනවා විය හැකියි.

ඉඳ හිට ඩෙසිබල් 85 ඉක්මවූ ශබ්දයකට කණ ලක්වීම හානිකාර දෙයක් නොවුනත් දීර්ඝ කාලයක් තිස්සේ එසේ ලක්වීම සහමුලින්ම අහිතකර දෙයක්. ඔබ ගීත අසන්නේ ඩෙසිබල් 90 මට්ටමේ යැයි මඳකට සිතන්න. ඔබ දිනපතාම පැය කිහිපයක් මේ මට්ටමින් ගීත අසනවා නම් එය තත්පර 30ක් තුළ ඩෙසිබල් 150ක ශබ්දයකට සවන්දීමට සමාන වෙනවා. ඩෙසිබල් 150ක් කියන්නේ සාමාන්‍ය තනි පතුරමක් දමා වෙඩි තැබිය හැකි තුවක්කුවක ශබ්දයටයි. ඔබ අසන ශබ්ද මොන මට්ටමේ පවතිනවාද කියා යම් අවබෝධයක් ලබාන්න පහත විස්තරය උපකාරී වෙන්න පුළුවන්.

කෙඳිරීමක් ඩෙසිබල් 20
ශීතකරණයක් ඩෙසිබල් 40
සාමාන්‍ය මට්ටමින් කතා කිරීම ඩෙසිබල් 60
නගරබද වාහන ශබ්දය ඩෙසිබල් 80
තණකොල කපන යන්ත්‍රය ඩෙසිබල් 90
දම්වැල් සහිත යාන්ත්‍රික කියත ඩෙසිබල් 110
රතිඤ්ඤා ඩෙසිබල් 140
තුවක්කුව ඩෙසිබල් 160

ශ්‍රවනයට හානි නොවී ගීත අසන්නට නම්

නවීන ස්මාර්ට් වර්ගයේ දුරකතනවල ඩෙසිබල් 85 ඉක්මවා ශබ්දය වැඩිකරන්නට සැරසන  විට එය අහිතකර බව පෙන්වන පණිවිඩයක් පෙන්නුම් කරනවා. ඔබ ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්. බොහෝ දෙනෙක් ශබ්දය වැඩි කොට අසන්නේ බස් රථයේ හෝ දුම්රියේදී ගමන් කිරීමේදී බාහිර ශබ්ද අධික ලෙස ඇසෙන නිසයි. එබැවින් බාහිර ශබ්ද නොඇසෙන ලෙස කණ මුද්‍රාවන සේ තැනූ හෙඩ්සෙට් තිබෙනවා. අපි එවැනි හෙඩ්සෙට් ගැන මේ ලිපියේ මුලින් කතා කළා. අධික ශබ්දය කණෙන් පිටවන්නට මෙවැනි හෙඩ්සෙට්වලින් ඉඩක් නැති වුනත්, බාහිර ශබ්ද සෑහෙන දුරට වළකාලිය හැකි නිසා ගීතවල ශබ්ද මට්ටම හැකි තාක් අඩුකොට අසන්නට මෙවැනි හෙඩ්සෙට් උපකාරී වෙනවා. ඒ නිසා වැනි හෙඩ්සෙට් හිතකර අයුරින් පරිහරණය කිරීමෙන් ඔබේ ශ්‍රවනය රැකගත හැකි වෙනවා.

ශ්‍රවනයට සම්බන්ධයක් නැතත් මග තොටේදී හෙඩ්සෙට් කනේ රුවාගෙන ගමන් කිරීම අනතුරුවලට අතවනන්නක් බව ද සියලු දෙනා මතකයේ තබා ගත යුතුයි. හෙඩ්සෙට් කනේ රුවාගෙන මහ මග සහ දුම්රිය මග ගමන් කළ බොහෝ දෙනෙක් මේ වන විට සිය ජීවිතවලින් වන්දි ගෙවා තිබෙනවා. එබැවින් ඒ පිළිබඳව ද සැලකිල්ලක් දැක්විය යුතුයි.


මේ සියලු කාරණා නිසා ජීවිතය වාගේම ශ්‍රවනයට ද හානි සිදුවිය හැකි හෙඩ්සෙට් භාවිතය වඩාත් සැලකිල්ලෙන් කිරීම සෑම අතින්ම යහපත් බව අවසාන වශයෙන් කිව හැකියි. 


Sunday, September 25, 2016

සහජීවනය ගැන මට තියෙන ප්‍රශ්නය


සහජීවනය, සංහිඳියාව වගේ කතන්දර ගැන ගැඹුරින් විග්‍රහ කරන්න ඕන නෑ. මට හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි.

දෙමළුන්ටයි මුස්ලිමුන්ටයි බහුතර සිංහලයන් අතරේදී දැනෙන සැනසිල්ල, විඳින නිදහස සිංහලයන් වන අපට උතුරේදී සහ නැගෙනහිරදී වගේම මේ ජාතීන් දෙක බහුලව ඉන්න ප්‍රදේශවලදී විඳින්න පුළුවන්ද?

විවාහයට හොඳම වයස් පරතරය මොකක්ද?


විවාහයකදී කාන්තාවක හා පිරිමියකු අතර පැවතිය යුතු වයස් පරතරය පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙකු තුළ නොයෙක් ආකාරයේ අදහස් පවතිනු බැව් පෙනේ. වයස අවුරුදු 21 සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට විවාහ වීමේ  නීතිමය අයිතිය හිමි වේ. කෙසේ නමුත් කාන්තාවගේ වයස කොපමණ විය යුතුද හෝ පිරිමියාගේ වයස කොපමණ විය යුතුද හෝ යනුවෙන් නීතියේ අර්ථ දැක්වීමක් එතැනදී සිදු කොට නැත. එම වයස් සීමාව සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී විවාහ වීමේ අයිතිය තිබේ. නමුත් මේ පිළිබඳව සංස්කෘතික හා සමාජමය පසුබිමක් පවතී. කෙසේ නමුත් මෙම පසුබිම මුළු ලෝකයටම පොදු වූවක් නොවේ. මෙය ජන සමාජයෙන් සමාජයට, ජන සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වේ. කෙසේ නමුත් විවාහයකදී කාන්තාවට වඩා පිරිමියා වැඩිමහල් විය යුතුය යන්න  ලෝකයේ බොහෝ රටවල් පවතින පොදු සම්මතයකි.

මුළු ලෝකය පුරාම ඉහත සම්මතය පැවතුන ද මේ සම්බන්ධ අර්ථකථන සමාජයෙන් සමාජයට වෙනස් වේ. කෙසේ නමුත් ලෝකයේ සෙසු රටවල් සේම අප රටේ ද ලාබාල පිරිමින් සමග කාන්තාවන් විවාහ වනු ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. එය සමාජමය වශයෙන් කිසියම් අකාරයට ප්‍රශ්නයක් බවට පත් විය හැක තත්වයකි. කෙසේ නමුත් වැඩිහිටි කාන්තාවක සමග ලාබාල පිරිමියක විවාහ වූ අවස්ථාවකදී වෙනත් විවාහයන්ට වඩා ඒ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට අප සමාජයේ වැඩි නැඹුරුවක් අති බැව් පැහැදිලිව පෙනෙන්ට ඇති දෙයකි. එමෙන්ම ඉතාම ලාබාල කාන්තාවක සමග වැඩිහිටි පිරිමියකු විවාහ වුවහොත් ඒ සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දැක්වීම ද සමාජයේ දක්නට ලැබෙන දෙයකි. මෙය අපගේ සමාජ සංස්කෘතිමය පසුබිම මුල්කොට ගෙන ඇති වූවකි. කාන්තාව සහ පිරිමියා අතර විවාහයකදී වයස් පරතරය කෙතරම් විය යුතුද යන කතිකාවක් පැන නගින්නේ මේ නිසාය. නමුත් ඒ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් මෙතෙක් ඉදිරිපත් වී නැති අතර එවැන්නක් ඉදිරියේදී ඉදිරිපත් වේද යන්න ද සැකසහිතය.

අවුරුදු විස්සක කාන්තාවක් අවුරුදු හතළිහක පිරිමියකු හා විවාහ වුවහොත්, එනම් අවුරුදු විස්සක වයස් පරතරයක් ඇතිව විවාහයක් සිදු වුවහොත් එයට වඩා අඩු වයස් පරතර ඇති විවාහ සමාජයේ එතරම් සැලකිල්ලකට බඳුන් වන්නේ නැත. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් කාන්තාවක් අවුරුදු 21 න් පසුව දරුවන් ලැබීමට සුදුසු වෙතැයි පැවසේ. කෙසේ නමුත් කාන්තාවකගේ මේ හැකියාව අවුරුදු 40 වන විට අවම තත්වයට පත්වේ. පසුව අවුරුදු 45 පමණ වන විට ආර්තවහරණයට පත්වී ඇය දරුවන් නොලබන තත්වයට පත්වේ. නමුත් පිරිමියකු සතු ප්‍රජනන හා ලිංගික හැකියාව ඒ ආකාරයෙන් ක්ෂය වී යන්නේ නැත. යම්කිසි ආකාරයකට අඩුවක් පෙන්නුම් කළ ද පිරිමියකු සතු ප්‍රජනන ශක්තිය සාමාන්‍යයෙන් අවුරුදු 70ක් පමණ තෙක් පවතී.

අවුරුදු 21 ක පිරිමියකු අවුරුදු 41 ක කන්තාවක සමග විවාහ වූයේ යැයි මඳකට සිතමු. එවිට යටකී කාරණය මුල් කොට  ඔවුනට දරුවන් ලැබීමේ ගැටලුවක් පැන නැගීමට ඇති හැකියාවක් තිබේ. ඒ හැරුණු කොට ජෛවමය වශයෙන් මෙහි වෙනත් විශාල බලපෑමක් ඇතිවන්නේ නැත. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට මෙවැනි කැපී පෙනෙන විශේෂ වයස් පරතරයක් සහිත යුවලක් (බිරිඳ බොහෝ වැඩිමහලු හෝ සැමියා ඉතා වැඩිමහලු) සමාජගත ගත ජීවිතයේදී සමාජ සංස්කෘතෘකමය වශයෙන් විවිධ බලපෑම් එල්ල විය හැකිය. මෙය ඔවුනට මානසික වශයෙන් ගැටලුකාරී තත්වයක් ඇති කළ හැකි තත්වයකි. උදාහරණයක් ලෙස අවුරුදු 50 ක පමණ පිරිමියකු සමඟ විවාහ වුණු අවුරුදු 21ක පමණ කාන්තාවක මහමග යද්දී ඔවුන් දෙදෙනා විවාහක යුවලක් බැව්  අන්‍යයන් දැනගැනීමෙන් පසුව ඔවුන් දෙස විශේෂ ආකාරයකින් බලනු වැළැක්විය හැකි දෙයක් නොවේ. එහිදී ඇතැම් විට පිරිමියාට මෙසේ සිතෙන්නට පුළුවන.

අනේ මම වයසයි නේ. මගේ බිරිඳ මට වඩා ගොඩක් තරුණයි නේ.

එපමණකින් සමාජමය බලපෑම නතර වන්නේ නැත. පිරිමියාගේ වැඩි වයස් සහගත තත්වය නිසා ඔහුට කායික හා මානසික වශයෙන් යටකී ලාබාල කාන්තාව සතුටු කිරීමට හැකියාවක් නොමැති බව සමාජයේ සිටින ඇතැමුන් සිතන්නට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ ඇතැම් පිරිමින්ගේ නොමනා බලපෑම් යටකී කාන්තාව වෙත එල්ල වන්නට පුළුවන. එය පිරිමියෙකු තුළ මානසික ආතති තත්වයක් ඇති කිරීමට බොහෝ විට ඉඩකඩ තිබේ. නිරන්තරවම මෙවැනි මානසික ආතතියකින් පසුවීම නිසා තුළ ඔහු විෂාදයවැනි මානසික රෝග තත්වයකට ඇතිවන්නට ඉඩ තිබේ. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ පෞරුෂ හා පවුල් අර්බුද පැන නැගීමය. එමෙන්ම බොහෝ වියපත් කාන්තාවක ලාබාල තරුණයකු සමඟ විවාහ වුවහොත් අර කාන්තාවට ද සමාජයෙන් නොයෙක් ආකාරයේ බලපෑම් එල්ල වේ. එවිට ඇයට මෙසේ සිතෙන්නට හැකිය.

අනේ මම මහලුයි. ඔහුට තරුණියන්ගේ ඇල්ම බැල්ම යොමු වෙනවා. මට ඒක නවත්තන්න බැහැ.

මෙය යටකී අවස්ථාවේදී මෙන් විෂාද තත්වයක් තත්වයක් දක්වා වර්ධනය වන්නට ඉඩ ඇත.


සාමාන්‍යයෙන් අවරුදු 50න් පමණ පසුව බොහෝ දෙනෙකු තුළ කායික හා මානසික බෙලහීනතා ඇති වේ. ඩිමන්ෂියානම් රෝග තත්වය එවැන්නකි. මෙය පවුල් ආරවුල් තත්වය දක්වාම ඔඩු දිවිය හැකි මානසික බලපෑමක්  වේ. එම නිසා පොදු වේ හැකිතාක් දුරට වයස් සීමාව නිශ්චිතව පැවසිය නොහැකි මුත් විවාහයකදී සම වයසේ හෝ අවම වයස් පරතරයක් තුළ දෙදෙනා සිටිනවා නම් ගැටලුව නිරාකරණය වේ.  කෙසේ නමුත් සැමියා සියලු විටම වැඩිමහලු විය යුතු යැයි අපට පැවසීමේ හැකියාවක් නැත. කෙසේ නමුත් කාන්තිව වැඩිමහලු නම් සහ ඇය අවුරුදු 45 පමණ වියෙහි පසුවන්නේ නම් ඇයට එම වයසේදී පිරිමියකතුගේ තරමට ප්‍රජනන හෝ ලිංගික හැකියාව පවතින්නේ නැත. මෙය සැලකිල්ලට ගැනීමේදී පැවසිය හැක්කේ බිරිඳ ලාබාල වීම වඩා යහපත් බවය. අප සමාජයේ ඩවුන්ගේ සහලක්ෂණය සහිත දරුවන් බිහිවීමේ ප්‍රතිශතය අතින් බැලුවහොත් අවුරුදු 36 ට වැඩි මව්වරුන්ගෙන් බිහිවන දරුවන් එම තත්වයට පත්වීමේ වැඩි හැකියාවක් පවතින බව බොහෝ පර්යේෂණ මගින් හෙළිවී තිබේ. එමෙන්ම නවීනතම විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් දී සොයාගෙන ඇති තවත් සුවිශේෂ කරුණක් වන්නේ වයස අවුරුදු 40ට වැඩි පියවරුන්ට දාව ලැබෙන දරුවන්ට ඕටිසම්නම් රෝගය වැළඳීමේ වැඩි නැඹුරුවක් පවතින බවය. මෙය සියලු දෙනාටම බලපාන තත්වයක් නොව වැඩි සම්භාවිතාවකින් සිදුවන්නක් බව සැලකිය යුතුය. අපට පොදු වේ හැඟී යන කාරණයක් වන්නේ වයස අවුරුදු 35ට අඩු කාන්තාවකුත් වයස අවුරුදු 40කට අඩු පිරිමියකුත් අතර විවාහයක් සිදුවන්නේ නම් එය ප්‍රජනන කටයුතු අතින් වඩාත් සුදුසු බැව් සඳහන් කළ හැකිය. ඒ අනුව අපට පෙනී යන කාරණය වන්නේ මේ වයස් පරතරය සඳහා හොඳම වයස් සීමාව වසර 6ක් බව ය. කෙසේ නමුත් මෙය අවුරුදු 10 - 16 වුව ද එහි විශාල ගැටලුවක් ඇති නොවන බව ද පැවසිය යුතුය.

Sunday, September 11, 2016

වනේ වන පල වැල ගැන දන්නවාද?

 
ගල් සියඹලා
දියවැඩියා රෝගය 400% කින් ඉහළ ගොස් ඇති බැව් දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යංශය පණිවිඩයක් නිකුත් කරමින් පවසා නෑගම් යද්දී පලතුරු රැගෙන යාම වඩා හොඳ බවය. මන්ද සීනි සහිත  ආහාර අනුභවය දියවැඩියා රෝගයට ඉනිමං බැඳීමක් වන බැවිනි. නෑගම් යද්දී මෙසේ රැගෙන යා හැකි පලතුරු පිළිබඳ කතා බහ කිරීමේදී අපට එක්වර මතකයට නැගෙන්නේ එදිනෙදා වෙළෙඳපලේදී අප දකින කෙසෙල්, ඇපල්, ගස්ලබු, අලිගැට පේර, දෙළුම් වැනි ඒවාය. සුපිරි වෙළෙඳසැලකට පිවිසියහොත් තවත් බොහෝ පලතුරු දැකිය හැකි අතර ඒවායෙන්  බොහොමයක් විදෙස් රටවලින් ආනයනය කළ ඒවා වේ. කෙසේ වෙතත් මේ පලතුරු කතාව සමගින් අපට මඳක් අතීතයට ගමන් කළ හැකිය. අතීතයේ දී අපට බොහෝ තැන්වලදී වන පලවැලයන්න ඇසී තිබේ. වර්තමානයේ අපට වන පලවැල යන්න වචන කිහිපයකට පමණක් සීමා වී ඇත. බොහෝ දෙනෙක් මේවා මොනවාදැයි දන්නේ ද නැත. ව්‍යාපාරික අරමුණුවලින් වගා කරන සහ විදෙස් රටවලින් ආනයනය කරන බොහෝ පලතුරුවලට වඩා වන ලැහැබ්වල, පිටිසර ගම්බදව ඉබේ වැවෙන පලතුරු වස විසෙන් තොර වන අතර පෝෂණ ගුණයෙන් ද ඉහළය. පැරණි සමාජයේ දෙමාපියන් දුර බැහැරක ගොස් පැමිණෙද්දී, දරට ගොසින් පැමිණෙද්දී බොහෝ විට සිය දරුමල්ලන්ට රැගෙන ආවේ වර්තමානයේ මෙන් විවිධ රස කැවිලි වර්ග නොවේ. වනලැහැබ් අතරින් ගමන් කරද්දී දකින විවිධාකාර වන පලවැලය. ජනගී, ජන කතාවල ද මේවා පිළිබඳ සඳහන් වූ ස්ථාන බොහෝ දක්නට ලැබේ. කෙසේ නමුත් වර්තමාන සමාජයේ අප බොහෝ දෙනෙක් මේවා පිළිබඳ දන්නේ අල්ප වශයෙනි. එබැවින් පැරණි සමාජයේ වන පලවැල ලෙස ප්‍රකට දැනට සොයා ගත හැකි ඒවා පිළිබඳ මෙසේ කතා බහ කරන්නට අපි තීරණය කළෙමු. 


මාදං/මහ දං 

මා දං



බ්ලැක් ප්ලම්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Syzygium cumini යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   සාමාන්‍යයෙන් අප දංයනුවෙන් හඳුන්වන පලතුරට වඩා විශාල වන මෙහි ඵල, ඉතා මිහිරිය. මුව දම් පැහැ වන බැවින් කුඩා දරුවෝ මේවා කෑමට බොහෝ ප්‍රිය කරති. අතීසාරය, පාචනය, වන, විදුරුමස් රෝග, දියවැඩියාව ආදී රෝග සඳහා ප්‍රතිකාර කරන ඔසු ලෙස මේවා භාවිත කෙරේ.


ගල් සියඹලා 




වෙල්වට් ටැමරින්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Dialium ovoideum යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   අප රටට ආවේණික ශාකයක් වන මෙහි ගෙඩි අද ද ඉතා ජනප්‍රිය පලතුරකි. පොත්ත වෙල්වට් ස්වභාවයකින් යුක්තය. මෙහි කඳෙහි කොටස් සර්ප දෂ්ඨනයට ඔසුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. 


මොර 



මොර වර්ග කිහිපයක් ම වේ. නමුත් සියලුම මොර වර්ග පලතුරු ලෙස ආහාරයට ගත නොහැකිය. 


රස මොර 


සාමාන්‍යයෙන් අප මොර වශයෙන් හඳුන්වන පලතුර රස මොරවේ. එය Dimocarpus longan යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි. නින්ද නොයාම, හෘද රෝග සහ දියවැඩියාව සඳහා මෙයින් ප්‍රතිකාර කරනු ලැබේ.





මස් මොර 


මෙය ද මොර වර්ගයක් වන අතර එතරම් ප්‍රචලිත නැත. Adenanthera bicolor යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි. මෙය පලතුරක් වුව ද එහි ආයුර්වේදීය වටිනාකම් පිළිබඳ තොරතුරක් සොයා ගත නොහැකිය. කෙසේ නමුත් එය පෝෂණ ගුණයෙන් යුතු නොවන පලතුරක් බව එයින් පැවසෙන්නේ නැත. 


වීර 




පැහැදිලි ඉංග්‍රීසි වදනක් නොමැති බැවින් ඉංග්‍රීසි බසින් ද මෙසේම හැඳින්වෙන මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Drypetes sepiaria ය. මෙහි පැහැදිලි ආයුර්වේදීය වටිනාකමක් පිළිබඳ තොරතුරු සොයා ගන්නට නැතත් මෙය අතීතයේ සිට පැවති ඉතා ජනප්‍රිය පලතුරකි. 


මසන්/දෙබර/මහ දෙබර 




ඉන්ඩියන් ජුජුබ්’, ‛ඉන්ඩියන් චෙරිසහ ඉන්ඩියන් ප්ලම්යන ඉංග්‍රීසි නම්වලින් හැඳින්වෙන මෙය  Ziziphus mauritiana යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   මෙම ශාඛයේ කොල, මුල්, ඇට ආදිය ද විවිධාකාර ලෙස ප්‍රයෝජනයට ගැනුණි. මෙය ප්‍රධාන වශයෙන්ම පාචනය, උණ, ඔඩු දුවන ලද තුවාල, කැස්ස, රුධිර රෝග, චර්ම රෝග ආදිය  සඳහා ප්‍රතිකාර ලෙස මෙය යොදා ගැනෙයි. 


පලු 

පලු



සිලොන් අයන් වුඩ්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Manilkara hexandra  යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   පැරණි පලතුරු වර්ග පිළිබඳ කතා බහ කිරීමේදී මුළින්ම කියැවෙන මෙහි කඳ කොටස් තුවාල සහ අතීසාරයට ඔසුවක් ලෙස යොදා ගැනේ. 


කිරිල්ල/කිරළ 





ඇපල් මැන්ග්‍රෝව්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Sonneratia caseolaris  යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   පලතුරක් ලෙස මෙහි ප්‍රයෝජනයට ගැනෙන්නේ මෙහි හට ගන්නා කුඩා ඵලය. ඒවා පැණි රසකින් යුක්ත නොවූව ද කුඩා දරුවන් මේවා කෑමට පුරුදුව සිටියහ. කුඩා දරුවන් සෙල්ලම් කිරීම සඳහා තනා ගන්නා බට කිරිල්ල තුවක්කු සඳහා ද මේවායේ ඵල යොදා ගැනේ. කෝෂ්ඨප්‍රදාහය, වකුගඩු ආසාදන, ආතරයිටිස්, රක්තවාතය, චර්ම රෝග ආදිය සඳහා ඔසුවක් ලෙස මෙම ශාක කොටස් යොදා ගැනේ. 


මහ කරඹ 

මහ කරඹ



කරඹයන නමින්ම ඉංග්‍රීසි බසින් ද හැඳින්වෙන මෙය Carissa carandas යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   පැරණි පොත්පත්වල පලතුරක් ලෙස මෙය බොහෝ තැන්වලදී හමුවෙයි. බොහෝ ඖෂධීය ගුණයෙන් යුක්ත පලතුරක් ලෙස ද සැලකේ.





හීන් කරඹ 


වයිල්ඩ් කරඹයන නමින්ම ඉංග්‍රීසි බසින්ද හැඳින්වෙන මෙය Carissa spinarum  යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   මෙහි මුල් විවිධ ශාරීරික වේදනාවන් සඳහා ඔසුවක් ලෙස භාවිත වෙයි.



වල් අඹ/ඇටඹ 

ඇටඹ



ශ්‍රී ලන්කන් මැන්ගෝයන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Mangifera zeylanica යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   පලතුරක් ලෙස මෙහි ප්‍රයෝජනයට ගැනෙන්නේ මෙහි හට ගන්නා කුඩා ඵලය. මේවා ඉතා මිහිරි රසකින් යුක්තය. මෙහි ඵල මෙන්ම කඳෙහි කොටස් ද ඔසු ලෙස භාවිත වන අතර ඒවා උණ, වමනය, අතීසාරය, ක්ලාන්තය, බඩවැල්වල රෝග, ඉක්කාව, මුත්‍රාශයේ රෝග ආදිය සඳහා යොදා ගැනේ. 


රත්ගොරකා 

රත් ගොරකා



රෙඩ් මැන්ගෝයන ඉංග්‍රීසි නමින් ද  Garcinia quaesita  යන විද්‍යාත්මක නමින්ද හැඳින්වෙන රත් ගොරකා අතීත සමාජයේ පලතුරක් ලෙස භාවිත විය. මෙම ශාඛයේ කොල, මුල්, ඇට ආදිය ද විවිධාකාර ලෙස ප්‍රයෝජනයට ගැනුණි. මෙය ප්‍රධාන වශයෙන්ම ආහාර රුචිය වඩවන පලතුරක් විය. උණ, හෘද රෝග, තුවාල, යටිබඩ කැක්කුම්, ඇදුම, ඉදිමුම් වැනි බොහෝ රෝගාබාධයන්  සඳහා ද මෙය යොදා ගැනෙයි. 


කහගොරකා/එළගොරකා 

කහ ගොරකා



පැහැදිලි ඉංග්‍රීසි නමක් සොයා ගත නොහැකි මෙය  Garcinia zeylanica  යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ. කහ ගොරකා අතීත සමාජයේ පලතුරක් ලෙස භාවිත විය. අප රටට පමණක් ආවේණික මෙම ශාඛයේ කොල, මුල්, ඇට ආදිය ද විවිධාකාර ලෙස ප්‍රයෝජනයට ගැනුණි. ඔඩු දිවූ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේදී යොදාගත් මෙය අස්ථි බිඳීම්, රක්තවාතය, බඩ වැල්වල දෝෂ, ආහාර රුචිය වඩවාලීම ආදිය  සඳහා ද මෙය යොදා ගැනෙයි. 


කරවල කැබෙල්ල 

කරවල කැබෙල්ල



පැහැදිලි ඉංග්‍රීසි නමක් සොයා ගත නොහැකි මෙය  Antidesma bunius යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ. කරවල කැබෙල්ල  අතීත සමාජයේ පලතුරක් ලෙස භාවිත විය. ඇස් රෝග, අර්ශස් සහ සර්ප දෂ්ඨන ආදිය  සඳහා ප්‍රතිකාර ලෙස  මෙය යොදා ගැනෙයි. 


මෙහි සඳහන්  සියලුම පාහේ පලතුරු මිලට ගැනීම සඳහා සොයා ගැනීම බොහෝ දුෂ්කරය. අප අතීත ගැමි සමාජයේ වැඩිහිටියන් දුර බැහැරක ගොස් පැමිණෙද්දී ගෙනැවිත් දුන්නේ මේවාය. වන ලැහැබ්වල ස්වභාවිකව වැවෙන මේවාට වර්තමානයේ වෙළෙඳාම පිණිස වවන පලතුරුවලට විවිධ වස විෂ මිශ්‍ර වුව ද මේවා තවමත් එවැනි තත්වයකට පත්ව නැත. අනෙක සියලුම පලතුරු ඖෂධීය ගුණයෙන් අනූනය. මේවා නිතර ආහාරයට ගන්නේ නම් මේ සියලු ඖෂධීය ගුණ ස්වභාවිකවම අපට හිමි වේ. කෙසේ නමුත් කණගාටුවට කරුණ නම් මේ සියල්ලක්ම පාහේ දිනෙන් දින අප සමාජයෙන් බැහැර වී වස විෂ මුසු පලතුරු පමණක් අප අතර ඉතිරි වීමය.