පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, September 4, 2016

ගෑස් භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු


කලකට පෙර දර හෝ වෙනත් ඉන්ධන වර්ගවලින් ආහාර පිසීමට පුරුදුව සිටි ගෘහණියෝ අද වන විට මේ සියලු ඉන්ධන වර්ග අතහැර දමා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්හෙවත් එල්.පී. ගෑස්වලට හුරුපුරුදු ව සිටිති. අප රටේ බොහෝ පළාත්වල ආහාර පිසීම සඳහා තවමත් දර, ලී කුඩු වැනි වෙනත් ඉන්ධන වර්ග සොයා ගන්නට යම් යම් මට්ටම්වලින් පහසුකම් පැවතිය ද, පවතින කාර්ය බහුල තත්වය යටතේ ගෑස් භාවිතය කෙමෙන් ව්‍යාප්ත වෙමින් පවතී. වඩාත් කාර්යක්ෂම ලෙස සහ ඉක්මනින්, අපහසුතාවකින් තොරව ආහාර පිස ගැනීම සඳහා ගෑස් උපයෝගී වුව ද ගෑස් තමාගේ කීකරු සේවකයකු බවට පත්කරගනිමින් ආරක්ෂිත අන්දමින් එය භාවිත කිරීම පිළිබඳ බොහෝ දෙනෙකුට දැනුමක් නොමැති බැව් පෙනෙන්නේ අප රටේ විටින්විට අසන්නට ලැබෙන ගෑස් අනතුරු නිසාවෙනි. නිවැරදි ප්‍රමිතීන් අනුගමනය නොකළ හොත් ගෑස් නිසා බොහෝ අනතුරු සිදුවිය හැකිය. මේ නිසා නිවැරදිව ගෑස් භාවිත භාවිත කරන ආකාරය පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත්ය.

උසස් නිෂ්පාදන භාවිතය

ගෑස් භාවිතයෙන් ආහාර පිසීමේදී  භාවිත වන වැදගත්ම අංගයක් ලෙස උදුන හැඳින්විය හැකිය. විවිධ වර්ගයේ ගෑස් උදුන් වෙළෙඳ පොළේ දක්නට ලැබේ. මේ ඇතැම් ඒවා සුප්‍රකට නම්වලින් යුක්ත ඒවා වන අතර ඇතැම් ඒවා එසේ නොවේ. මේ නිසා මිලෙන් තරමක් වැඩි වුව ද සුප්‍රකට වෙළෙඳ නාමයකින් පවතින ගෑස් උදුනක් මිලට ගැනීමට උත්සුක වනවා නම් එහි ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති කර ගත යුතු නැත. එමෙන්ම ගෑස් උදුනක් කලක් භාවිත කිරීමේදී යම් යම් ගැටලු මතු විය හැකිය. එවැනි සුළු දෝෂ පවා සැලකිල්ලකට නොගෙන සිටීම භයානක ප්‍රතිඵල අත් කර දෙන්නක් විය හැකිය. එබැවින් සුළු දෝෂ තත්වයකදී පවා ඒ පිළිබඳ නිසි පියවර ගත යුතු වේ.

ගෑස් සිලින්ඩරය 



ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමේදී බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් මිලට ගැනීම වඩාත් සුදුසුය. එමෙන්ම එවැනි ස්ථානයකින් මිලට ගත්ත ද එහි ගෑස් විවරය වසා ඇති මුද්‍රාව හොඳ තත්වයේ තිබේ ද කියා පරීක්ෂා කොට බැලිය යුතු ය. යම් ගෑස් සිලින්ඩරයක් කුමක් හෝ හේතුවක් නිසා ගෑස් කාන්දුවක් සිදුවන්නේ නම් එහි බඳ ආශ්‍රිතව යම් සීතල ස්වභාවයක් හෝ තෙතමනයක් ඇති විය හැකි නිසා ඔබ මිලට ගන්නා ගෑස් සිලින්ඩරය ද එවැනි ස්වභාවයකින් යුක්ත දැයි මිලට ගැනීමට පෙර පරීක්ෂා කොට බලන්න.

රෙගියුලේටරය හා ගෑස් බටය 



ගෑස් උදුන හා ගෑස් සිලින්ඩරය එකිනෙක සම්බන්ධ කිරීම සඳහා භාවිත කෙරෙන රෙගියුලේටරය හා ගෑස් බටය බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයට ලක්වන්නක් නොවන බැව් පෙනේ. ඇතැමුන් පදික වේදිකාවේ අළෙවියට තබා ඇති රෙගියුලේටර් සහ බට මිලට ගෙන භාවිත කරනු දැක ගත හැකිය. නමුත් මේ උපාංග දෙක අපගේ අවධානයට යොමු විය යුතුම දෙකකි. සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයේ පුරවා ඇති වායුවේ පීඩනය ඉතා අධිකය. එය ආහාර පිසීමට සුදුසු ආකාරයෙන් අඩු කොට ලබා දෙන්නේ රෙගියුලේටරය මගිනි. බාල වර්ගයේ රෙගියුලේටර් නිසා මෙම කාර්යය හොඳින් සිදු නොවිය හැකිය. එමෙන්ම ගෑස් සිලින්ඩරය එය හොඳින් සවි නොවීමේ ගැටලු ද ඇතිවිය හැකිය. ගෑස්  යනු සුළු අත්වැරැද්දකින් පවා මහා විනාශයක් සිදු කළ හැක්කක් බැවින් මිලෙන් තරමක් වැඩි වුව ද ඉහළ ගුණත්වයකින් යුක්ත රෙගියුලේටරයක් භාවිත කිරීම සෑම අතින්ම ආරක්ෂිතය. හරිහැටි සවි නොවන රෙගියුලේටර බර යොදමින් ගෑස් සිලින්ඩරයට තදවන සේ තබා භාවිත කරනු දැකිය හැකි අතර ඒවා ඉතා අවදානම් බව පැවසිය යුතු වේ. එමෙන්ම කෙතරම් උසස් රෙගියුලේටරයක් වුව ද සෑම වසර පහකට වරක්ම එය මාරු කළ යුතුය.


රෙගියුලේටරයට සහ උදුනට සවි කළ හැකි පමණින් සෑම බටයක්ම ගෑස් භාවිතය සඳහා සුදුසු වන්නේ නැත. මේ සඳහා B.S. 3212 යන ප්‍රමිතියෙන් යුක්ත වායු බටයක් බලයත් අළෙවි නියෝජිතයකුගෙන්ම මිලට ගත යුතුය. බොහෝ විට මේවා ගෑස් අළෙවි නියෝජිතයන් සතුව තිබෙන්නට පුළුවන.

ගෑස් බටය කිසිදු අවස්ථාවක කිසිවක් සමඟ ගැටෙන සේ නොතැබිය යුතුය. එවැන්නක ප්‍රතිඵලයක් ලෙස එහි යම් නැවීමක්, සීරීමක් හෝ වුවහොත් එතැනින් යම් අවස්ථාවක ගෑස් කාන්දුවක් සිදු විය හැකිය. එවැනි දෝෂයක් දුටු විට එතැන කපා බට සම්බන්ධ කිරීම සඳහා ඇති උපාංගවලින් සම්බන්ධ කිරීම ඉතා අනතුරු දායකය. ඇතැම් වෙළෙඳ සල්වල එකම ගෑස් සිලින්ඩරය උදුන් කිහිපයකට බෙදාහැරීම සඳහා මේ ආකාරයට බට සම්බන්ධ කොට තබනු සුලබ දසුනකි. මෙය කුමන මොහොතක මහා අනතුරක් ගෙන දේ දැයි පැවසිය නොහැකිය. අනෙක ගෑස් බටය මීටර් 1.5ක ට වඩා දිග නොවිය යුතුය. එය රෙගියුලේටරයට සහ උදුනට සම්බන්ධ වන ස්ථාන දෙකේ ගෑස් ක්ලිප් යොදා හොඳින් සවිකර ගැනීමට වග බලා ගත යුතුය. සෑම වසර දෙකකට වරක්ම ගෑස් බට මාරු කළ යුතු වේ.

භාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු 



1. ගෑස් සිලින්ඩරය හොඳින් වාතාශ්‍රය ඇති තැනක තැබිය යුතුය. එවිට ගෑස් කාන්දුවක් වුව ද එය රැස් වීම අවම කරගත හැකිය.
2. ගෑස් සිලින්ඩරය කෙළින් අතට තැබිය යුතුය. රැගෙන එද්දී පෙරළාගෙන ඒමෙන් වැළකිය යුතුය.
3. සිලින්ඩරයට රෙගියුලේටරය සවි කරන  අවස්ථාවේදී එම ස්ථානයේ විදුලි පහන් දැල්වීම හෝ දල්වා ඇති විදුලි පහන් නිවා දැමීම හෝ අනතුරුදායක විය හැකිය. එයට හේතුව යම්කිසි ආකාරයකින් ගෑස් කාන්දුවක් පැවතිය හොත් විදුලි පහන් දැල්වීමේ දී හෝ නිවා දැමීමේ දී විදුලි පුළුඟුවක් විසි වී ගෑස්වලට ගිනි  ඇවිළිය හැකි බැවිනි.
4. රෙගියුලේටරය නිතර ගැළවීමෙන් වළකින්න.
5. ආහාර පිස අවසන් වූ පසු රෙගියුලේටරයේ ස්වීචය වසා දැමිය යුතුය.

ගෑස් කාන්දුවක් ඇතැයි සැක සිතුන විට කළ යුතු දේ 



සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදු විය නොහැකි බැව් පිළිගැනුණ ද කුමක් හෝ හේතුවක් නිසා ඇතැම් විට එවැනි කාන්දුවක් ඇති විය හැකිය. එසේත් නොමැති නම් ඔබගේ රෙගියුලේටරයේ, ගෑස් බටයේ හෝ බටය උදුනට සවි වන ස්ථානයෙන් හෝ ගෑස් කාන්දුවක් සිදු විය හැකිය. රෙගියුලේටරයේ ගෑස් වසන ස්වීචයේ දෝෂයක් නිසා ද ගෑස් කාන්දුවක් සිදුවිය හැකිය. ගෑස් කාන්දුවක් ඇත් නම් යම්කිසි දුර්ගන්ධයක් දැනේ. ස්වභාවිකවම ගෑස්වල කිසිදු ගන්ධයක් නැතත් නිෂ්පාදකයන් මෙසේ දුර්ගන්ධයක් එක් කොට ඇත්තේ ගෑස් කාන්දුවක දී ඉක්මනින් එය දැන ගැනීම සඳහාය.

ගෑස් කාන්දුවක් ඇතැයි දැනුණූ විට කිසිදු අවස්ථාවක නිවසේ විදුලි පහන් දැල්වීම හෝ දල්වා ඇති විදුලි පහනක් නිවා දැමීම සිදු නොකළ යුතුය. විදුලි පන්දමක් හෝ නොදැල්විය යුතුය. අඩුම තරමේ ජංගම දුරකතනය එතැනට රැගෙන ඒමෙන් වැළකිය යුතුය.  එක් අවස්ථාවකදී ගෑස් කාන්දුවක් පරීක්ෂා කරන්නට එක් පුද්ගලයකු ගිනිකූරක් දල්වා ජීවිතයෙන් ද වන්දි ගෙවන්නට ද සිදු විය. මෙවැනි අවස්ථාවක දී පහත පියවර අනුගමනය කරන්න.


1. වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ ජනෙල් දොරවල් විවෘත කරන්න.
2. රෙගියුලේටරයේ ස්වීචය දමා ඇත්නම් වහා එය වසා දමන්න. එය වසා දැමූ විට කාන්දුව නතර වන්නේ නම් කාන්දුව ඇත්තේ රෙගියුලේටරයේ හෝ බටයේ බව නිගමනය කළ හැකිය.

3. ගෑස් කාන්දුව සිදුවන්නේ කොතැනින් දැයි සිතා ගත නොහැකි නම් වහාම සිලින්ඩරය ගළවා එළිමහනකට රැගෙන යන්න. මේ අවස්ථාවේ දී එළිමහනේ කොතැනක හෝ ගිනි ගොඩක් හෝ නොමැති බවට වග බලා ගත යුතු වේ. දැන් සබන් ස්වල්පයක් ජලයේ දිය කොට සබන් පෙණ මිශ්‍රණයක් තනා සිලින්ඩරයේ මුව අවට ප්‍රදේශය පෙණවලින් වසන්න. එවිට කාන්දුව ඇති තැනින් බුබුලු නගිනු දැකිය හැකිය. ඉන් පසු මේ පිළිබඳව වහාම ගෑස් නියෝජිතයා වෙත මේ බව දැනුම් දිය යුතු වේ.

ගිනි ගත් අවස්ථාවක 



ගෑස් උදුනෙහි ගින්නක් ඇති වූයේ නම් කිසිදු විටෙක ජලය ඉසීමෙන් වළකින්න. වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ තෙත ගෝනියක් එය මතට දැමීමය. මේ නිසා ගෑස් භාවිත කරනා ඔබ නිවසේ ගෝනි කිහිපයක් තබා ගැනීම සෑම අතින්ම වැදගත් වේ. ගිනි නිවන උපකරණ තිබේ නම් ගෑස් ගින්නක සඳහා අදාළ වායුව ඉස ගින්න නිවා දැමිය හැකිය.

ගෑස් ගින්නක් වළක්වා ගන්නට 

ගෑස්වලින් ගින්නක් ඇති වන්නේ ගෑස් කාන්දුවකිනි. මේ නිසා වඩාත් හොඳම දෙය වන්නේ ගෑස් කාන්දු අනතුරු හැඟවීමේ උපකරණයක් උදුන අවට සවි කිරීමය. මේවා වෙළෙඳ පොලේ සාමාන්‍ය මිල ගණන් යටතේ මිලට ගැනීමට තිබේ.

වඩාත් සැලකිලිමත් ලෙස, නියමිත ප්‍රමිතීන් අනුගමනය කරමින් ගෑස් භාවිත කරන්නේ නම් ඔබට එය වඩාත් හොඳ සේවකයකු බවට පත්කරගත හැකි බව මේ විස්තරය කියැවීමෙන් අවබෝධ වනු ඇත.

6 comments:

  1. හ්ම්ම්..ඒක කියෙව්වම මට හිතුණේ අපේ ගෑස් එක ගැනත් දැනට වඩා ආරක්ෂිත පියවර ගන්න ඕන කියලා..නේද අයියෙ ..?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ගෑස් ලිප, සිලින්ඩරය වගේ දේවල් ගැන තවත් හොඳින් සැලකිලිමත් වෙන්න ඕන.

      Delete
    2. හොඳ විස්තරාත්මක ලිපියක් ...!

      Delete
    3. අදහස් දැක්වීම ගැන ස්තුතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න