පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, September 11, 2016

වනේ වන පල වැල ගැන දන්නවාද?

 
ගල් සියඹලා
දියවැඩියා රෝගය 400% කින් ඉහළ ගොස් ඇති බැව් දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යංශය පණිවිඩයක් නිකුත් කරමින් පවසා නෑගම් යද්දී පලතුරු රැගෙන යාම වඩා හොඳ බවය. මන්ද සීනි සහිත  ආහාර අනුභවය දියවැඩියා රෝගයට ඉනිමං බැඳීමක් වන බැවිනි. නෑගම් යද්දී මෙසේ රැගෙන යා හැකි පලතුරු පිළිබඳ කතා බහ කිරීමේදී අපට එක්වර මතකයට නැගෙන්නේ එදිනෙදා වෙළෙඳපලේදී අප දකින කෙසෙල්, ඇපල්, ගස්ලබු, අලිගැට පේර, දෙළුම් වැනි ඒවාය. සුපිරි වෙළෙඳසැලකට පිවිසියහොත් තවත් බොහෝ පලතුරු දැකිය හැකි අතර ඒවායෙන්  බොහොමයක් විදෙස් රටවලින් ආනයනය කළ ඒවා වේ. කෙසේ වෙතත් මේ පලතුරු කතාව සමගින් අපට මඳක් අතීතයට ගමන් කළ හැකිය. අතීතයේ දී අපට බොහෝ තැන්වලදී වන පලවැලයන්න ඇසී තිබේ. වර්තමානයේ අපට වන පලවැල යන්න වචන කිහිපයකට පමණක් සීමා වී ඇත. බොහෝ දෙනෙක් මේවා මොනවාදැයි දන්නේ ද නැත. ව්‍යාපාරික අරමුණුවලින් වගා කරන සහ විදෙස් රටවලින් ආනයනය කරන බොහෝ පලතුරුවලට වඩා වන ලැහැබ්වල, පිටිසර ගම්බදව ඉබේ වැවෙන පලතුරු වස විසෙන් තොර වන අතර පෝෂණ ගුණයෙන් ද ඉහළය. පැරණි සමාජයේ දෙමාපියන් දුර බැහැරක ගොස් පැමිණෙද්දී, දරට ගොසින් පැමිණෙද්දී බොහෝ විට සිය දරුමල්ලන්ට රැගෙන ආවේ වර්තමානයේ මෙන් විවිධ රස කැවිලි වර්ග නොවේ. වනලැහැබ් අතරින් ගමන් කරද්දී දකින විවිධාකාර වන පලවැලය. ජනගී, ජන කතාවල ද මේවා පිළිබඳ සඳහන් වූ ස්ථාන බොහෝ දක්නට ලැබේ. කෙසේ නමුත් වර්තමාන සමාජයේ අප බොහෝ දෙනෙක් මේවා පිළිබඳ දන්නේ අල්ප වශයෙනි. එබැවින් පැරණි සමාජයේ වන පලවැල ලෙස ප්‍රකට දැනට සොයා ගත හැකි ඒවා පිළිබඳ මෙසේ කතා බහ කරන්නට අපි තීරණය කළෙමු. 


මාදං/මහ දං 

මා දං



බ්ලැක් ප්ලම්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Syzygium cumini යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   සාමාන්‍යයෙන් අප දංයනුවෙන් හඳුන්වන පලතුරට වඩා විශාල වන මෙහි ඵල, ඉතා මිහිරිය. මුව දම් පැහැ වන බැවින් කුඩා දරුවෝ මේවා කෑමට බොහෝ ප්‍රිය කරති. අතීසාරය, පාචනය, වන, විදුරුමස් රෝග, දියවැඩියාව ආදී රෝග සඳහා ප්‍රතිකාර කරන ඔසු ලෙස මේවා භාවිත කෙරේ.


ගල් සියඹලා 




වෙල්වට් ටැමරින්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Dialium ovoideum යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   අප රටට ආවේණික ශාකයක් වන මෙහි ගෙඩි අද ද ඉතා ජනප්‍රිය පලතුරකි. පොත්ත වෙල්වට් ස්වභාවයකින් යුක්තය. මෙහි කඳෙහි කොටස් සර්ප දෂ්ඨනයට ඔසුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. 


මොර 



මොර වර්ග කිහිපයක් ම වේ. නමුත් සියලුම මොර වර්ග පලතුරු ලෙස ආහාරයට ගත නොහැකිය. 


රස මොර 


සාමාන්‍යයෙන් අප මොර වශයෙන් හඳුන්වන පලතුර රස මොරවේ. එය Dimocarpus longan යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි. නින්ද නොයාම, හෘද රෝග සහ දියවැඩියාව සඳහා මෙයින් ප්‍රතිකාර කරනු ලැබේ.





මස් මොර 


මෙය ද මොර වර්ගයක් වන අතර එතරම් ප්‍රචලිත නැත. Adenanthera bicolor යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි. මෙය පලතුරක් වුව ද එහි ආයුර්වේදීය වටිනාකම් පිළිබඳ තොරතුරක් සොයා ගත නොහැකිය. කෙසේ නමුත් එය පෝෂණ ගුණයෙන් යුතු නොවන පලතුරක් බව එයින් පැවසෙන්නේ නැත. 


වීර 




පැහැදිලි ඉංග්‍රීසි වදනක් නොමැති බැවින් ඉංග්‍රීසි බසින් ද මෙසේම හැඳින්වෙන මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Drypetes sepiaria ය. මෙහි පැහැදිලි ආයුර්වේදීය වටිනාකමක් පිළිබඳ තොරතුරු සොයා ගන්නට නැතත් මෙය අතීතයේ සිට පැවති ඉතා ජනප්‍රිය පලතුරකි. 


මසන්/දෙබර/මහ දෙබර 




ඉන්ඩියන් ජුජුබ්’, ‛ඉන්ඩියන් චෙරිසහ ඉන්ඩියන් ප්ලම්යන ඉංග්‍රීසි නම්වලින් හැඳින්වෙන මෙය  Ziziphus mauritiana යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   මෙම ශාඛයේ කොල, මුල්, ඇට ආදිය ද විවිධාකාර ලෙස ප්‍රයෝජනයට ගැනුණි. මෙය ප්‍රධාන වශයෙන්ම පාචනය, උණ, ඔඩු දුවන ලද තුවාල, කැස්ස, රුධිර රෝග, චර්ම රෝග ආදිය  සඳහා ප්‍රතිකාර ලෙස මෙය යොදා ගැනෙයි. 


පලු 

පලු



සිලොන් අයන් වුඩ්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Manilkara hexandra  යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   පැරණි පලතුරු වර්ග පිළිබඳ කතා බහ කිරීමේදී මුළින්ම කියැවෙන මෙහි කඳ කොටස් තුවාල සහ අතීසාරයට ඔසුවක් ලෙස යොදා ගැනේ. 


කිරිල්ල/කිරළ 





ඇපල් මැන්ග්‍රෝව්යන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Sonneratia caseolaris  යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   පලතුරක් ලෙස මෙහි ප්‍රයෝජනයට ගැනෙන්නේ මෙහි හට ගන්නා කුඩා ඵලය. ඒවා පැණි රසකින් යුක්ත නොවූව ද කුඩා දරුවන් මේවා කෑමට පුරුදුව සිටියහ. කුඩා දරුවන් සෙල්ලම් කිරීම සඳහා තනා ගන්නා බට කිරිල්ල තුවක්කු සඳහා ද මේවායේ ඵල යොදා ගැනේ. කෝෂ්ඨප්‍රදාහය, වකුගඩු ආසාදන, ආතරයිටිස්, රක්තවාතය, චර්ම රෝග ආදිය සඳහා ඔසුවක් ලෙස මෙම ශාක කොටස් යොදා ගැනේ. 


මහ කරඹ 

මහ කරඹ



කරඹයන නමින්ම ඉංග්‍රීසි බසින් ද හැඳින්වෙන මෙය Carissa carandas යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ.   පැරණි පොත්පත්වල පලතුරක් ලෙස මෙය බොහෝ තැන්වලදී හමුවෙයි. බොහෝ ඖෂධීය ගුණයෙන් යුක්ත පලතුරක් ලෙස ද සැලකේ.





හීන් කරඹ 


වයිල්ඩ් කරඹයන නමින්ම ඉංග්‍රීසි බසින්ද හැඳින්වෙන මෙය Carissa spinarum  යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   මෙහි මුල් විවිධ ශාරීරික වේදනාවන් සඳහා ඔසුවක් ලෙස භාවිත වෙයි.



වල් අඹ/ඇටඹ 

ඇටඹ



ශ්‍රී ලන්කන් මැන්ගෝයන ඉංග්‍රීසි නමින් හැඳින්වෙන මෙය  Mangifera zeylanica යන විද්‍යාත්මක නමින් ද හැඳින්වේ.   පලතුරක් ලෙස මෙහි ප්‍රයෝජනයට ගැනෙන්නේ මෙහි හට ගන්නා කුඩා ඵලය. මේවා ඉතා මිහිරි රසකින් යුක්තය. මෙහි ඵල මෙන්ම කඳෙහි කොටස් ද ඔසු ලෙස භාවිත වන අතර ඒවා උණ, වමනය, අතීසාරය, ක්ලාන්තය, බඩවැල්වල රෝග, ඉක්කාව, මුත්‍රාශයේ රෝග ආදිය සඳහා යොදා ගැනේ. 


රත්ගොරකා 

රත් ගොරකා



රෙඩ් මැන්ගෝයන ඉංග්‍රීසි නමින් ද  Garcinia quaesita  යන විද්‍යාත්මක නමින්ද හැඳින්වෙන රත් ගොරකා අතීත සමාජයේ පලතුරක් ලෙස භාවිත විය. මෙම ශාඛයේ කොල, මුල්, ඇට ආදිය ද විවිධාකාර ලෙස ප්‍රයෝජනයට ගැනුණි. මෙය ප්‍රධාන වශයෙන්ම ආහාර රුචිය වඩවන පලතුරක් විය. උණ, හෘද රෝග, තුවාල, යටිබඩ කැක්කුම්, ඇදුම, ඉදිමුම් වැනි බොහෝ රෝගාබාධයන්  සඳහා ද මෙය යොදා ගැනෙයි. 


කහගොරකා/එළගොරකා 

කහ ගොරකා



පැහැදිලි ඉංග්‍රීසි නමක් සොයා ගත නොහැකි මෙය  Garcinia zeylanica  යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ. කහ ගොරකා අතීත සමාජයේ පලතුරක් ලෙස භාවිත විය. අප රටට පමණක් ආවේණික මෙම ශාඛයේ කොල, මුල්, ඇට ආදිය ද විවිධාකාර ලෙස ප්‍රයෝජනයට ගැනුණි. ඔඩු දිවූ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේදී යොදාගත් මෙය අස්ථි බිඳීම්, රක්තවාතය, බඩ වැල්වල දෝෂ, ආහාර රුචිය වඩවාලීම ආදිය  සඳහා ද මෙය යොදා ගැනෙයි. 


කරවල කැබෙල්ල 

කරවල කැබෙල්ල



පැහැදිලි ඉංග්‍රීසි නමක් සොයා ගත නොහැකි මෙය  Antidesma bunius යන විද්‍යාත්මක නමින්ද හැඳින්වේ. කරවල කැබෙල්ල  අතීත සමාජයේ පලතුරක් ලෙස භාවිත විය. ඇස් රෝග, අර්ශස් සහ සර්ප දෂ්ඨන ආදිය  සඳහා ප්‍රතිකාර ලෙස  මෙය යොදා ගැනෙයි. 


මෙහි සඳහන්  සියලුම පාහේ පලතුරු මිලට ගැනීම සඳහා සොයා ගැනීම බොහෝ දුෂ්කරය. අප අතීත ගැමි සමාජයේ වැඩිහිටියන් දුර බැහැරක ගොස් පැමිණෙද්දී ගෙනැවිත් දුන්නේ මේවාය. වන ලැහැබ්වල ස්වභාවිකව වැවෙන මේවාට වර්තමානයේ වෙළෙඳාම පිණිස වවන පලතුරුවලට විවිධ වස විෂ මිශ්‍ර වුව ද මේවා තවමත් එවැනි තත්වයකට පත්ව නැත. අනෙක සියලුම පලතුරු ඖෂධීය ගුණයෙන් අනූනය. මේවා නිතර ආහාරයට ගන්නේ නම් මේ සියලු ඖෂධීය ගුණ ස්වභාවිකවම අපට හිමි වේ. කෙසේ නමුත් කණගාටුවට කරුණ නම් මේ සියල්ලක්ම පාහේ දිනෙන් දින අප සමාජයෙන් බැහැර වී වස විෂ මුසු පලතුරු පමණක් අප අතර ඉතිරි වීමය.

13 comments:

  1. අම්මෝ ගල් සියඹලා දැක්ක කල්...මෙතනින් ගොඩක් පලතුරු කනවා තියා මම දැකලවත් නැ, ස්තුතියි පින්තූර වලින් හරි දකින්න සැලැස්සුවාට..

    ReplyDelete
  2. බොහොම හොඳ ඉදිරිපත් කිරීමක්. තවමත් මේ පලතුරු වර්ග මේ රටේ ඉතිරිව පවතිනවා. ස්වභාවික පරිසරය තුළ ව්‍යාප්ත කළහැකිනම් මහත් ප්‍රයෝජන අත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒත් මම හිතන්නේ අලුත් පරම්පරාව නම් මේ පලතුරු ගැන නොදන්නා තරම්. ගම්බදව හැදෙන වැඩෙන දරුවන් නම් කිහිපයක් හෝ දැන සිටීවි. කොහොම වුණත් අනාගත පරම්පරාවන්ට නම් මේ හැම පලතුරක්ම ‘කන්න පුළුවන් කියලා දන්නේ නැති ගෙඩි ජාතියක්‘ පමණක්ම වෙන්නත් පුළුවන්.

      Delete
  3. එකඅතකට මේ පලතුරු කැලේම තියෙන එක හොදයි ..මේවා වෙළෙඳපොළට ආවොත් වෙළෙන්දෝ එකතුවෙලා ඒවටත් බෙහෙත් ගහලා තියෙයි ..එතකොට කන්න වෙන්නේ වස.

    ReplyDelete
    Replies
    1. කැලේම තියෙන එක හොඳයි කියන අදහසට මමත් එකඟයි. නැත්නම් මේවාත් විනාශ වෙලා කැලේ සත්තුන්ට තියෙන පලතුරු ටිකත් මුදලාලිලා අතට යයි.

      Delete
  4. හොද ලිපියක්. තාමත් දං, කරඹ, එරමිනිය වගේ පළතුරු අපේ පැත්තේ තියෙනවා. මෙවන් ලිපියක් ලිවීම පිළිබදව මගේ ස්තූතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  5. මෙච්චර පළතුරු වලින් අපේ රට පොහොසත් බව දැනන් හිටියේ නැහැනේ.ගොරකා මද නම් කලා තියෙනවා.හරිම රසයි.හැබැයි ඉතින් මෙතන තියෙන වෙනත් ගොඩක් පළතුරු නම් කලා නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ හුඟ දෙනෙක් මේවා කාලා නෑ තමයි. ඉස්සරහට එන පරම්පරාව නම් මේවා ගැන කිසිම දෙයක් දැනගන්න එකක් නැහැ.

      Delete
  6. මචං ඔය මසං අපේ පළතුරක් නෙමෙයි , පුරුතුගිරිසිකාරයෝ ගෙනාපු ඇප්රිකන් ශාකයක් , බ්ලොග්කාරයෙක් කරපු සොයා බැලීමකින් තමයි මම දැනගත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුවත්කිරීමට ස්තූතියි. ඇත්තටම වෙරළු, මසං, ජම නාරං වැනි පැරණි කියුම් අතර ඇති නිසා එය අපේම පලතුරක් ලෙසයි බොහෝ දෙනෙක් සලකන්නේ. පිටරටකින් ආපු දෙයක් වුණත්, මසං අපේ බොහෝ දෙනෙකුට අමතක වී යන පෙනුමක් තිබෙනවා. කොහොම වුණත් දැන් දැන් බද්ධ කළ මසං වැවීමේ වැඩපිලිවෙලක් පවතින බව නම් පුවත්වලින් දැනගන්නට ලැබුණා.

      Delete
  7. මසං දේශීය වර්ගය පොඩියි, Z. jujuba
    Sonnertia casseolaris කියන්නේ කිරල, මේ දාල තියන්නේ කෝ කිරිල්ල.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මේ ගැන විස්තර හොයා ගත්තේ http://www.instituteofayurveda.org කියන වෙබ් අඩවියෙන්. එහි මසන් ගැන තියෙන්නේ මෙහෙම කාරණා කිහිපයක්.
      විද්‍යාත්මක නම - Ziziphus mauritiana var. mauritiana*
      කුලය - RHAMNACEAE
      ඉංග්‍රීසි නම් - Indian jujube, Indian cherry, Indian plum
      දේශීය නම් - මසන්/දෙබර
      පින්තූරය නම් වෙන තැනකින් ගත්තේ. ඔන්න මම ඒ වෙබ් අඩවියේම තියෙන පින්තූරයක් දාලා පෝස්ටුව යාවත්කාලීන කළා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න