සිය මරණයට පෙර මරණය පිළිබඳ යම් යම් ඉඟි ලබාදුන් සිදුවීම් පිළිබඳ කතා අපට බොහෝ අසන්නට ලැබේ. මෑත දිනකදී ද එවැනි සිදුවීමක් වාර්තා විණි. ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය බස් රථයක් සමඟ ගැටීමෙන් සිදු වූ අනතුරින් දස හැවිරිදි කවීෂා සඳමාලි සත්සර දියණියත්, ඇගේ පියාත්, තවත් ඥාති සොයුරකුත් අවාසනාවන්ත ලෙස මිය ගියහ. කවීෂා මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ද සූදානමින් සිටියාය.
මෙම මරණයෙහි එක් සුවිශේෂී ස්වභාවයක් වන්නේ අනතුර සිදුවන්නට මාසයකුත් දින දෙකකට පෙර එනම් 2015 ජුනි මස 22 වැනි දින ඇය සිය චිත්‍ර පොතෙහි සිතුවම් කොට තිබූ සිතුවමයි. ඇය එහි ඇඳ තිබුණේ අනතුරට පත් බස් රථයක් අසළ වැටී සිටින කුඩා දරුවකුගේ සිතුවමකි. අනතුර දුටුවන් පවසන්නේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ කවීෂා ද වැටී සිට ඇත්තේ මේ ආකාරයෙන්ම බවය. තමාට ඉදිරියේදී සිදුවන්නට නියමිත මාරක රිය අනතුර පිළිබඳ යම් ඉවක් තිබූ නිසා ඇය මෙවැනි සිතුවමක් ඇඳි බව බැලූ බැල්මටම පෙනේනනට තිබේ.
මෙවැනි සිදුවීමක් 1984 වසරේදී ද අසන්නට ලැබිණි. ඒ කඩවත ප්‍රදේශයෙනි. ‛කීර්තිනාම’ නම් වූ මෙම දරුවා ද හදිසි අනතුරකින් මිය ගිය අතර මිය යන්නට දින කිහිපයකට පෙර ඔහු ද රිය අනතුරක් සිතුවමට නගා තිබිණි.
නමුත් එය එසේම ද, මරණය මෙසේ කලින් දැකිය හැකි ද යන්න ආදිය පිළිබඳ අප වඩාත් ගැඹුරින් සොයා බැලිය යුතුය.
මෙවැනි සිදුවීමකදී සළකා බැලිය යුතු කරුණු කිහිපයක්ම වෙයි. යම් පුද්ගලයකු මරණයට හෝ විපතකට පත් වූ පසු එයට හේතු සොයා අතීතයට යන සිරිතක් අප අතර පවතී. එවිට ඒ විපතට හේතුවන්නට හැකි යැයි සිතෙන විවිධ හේතු කාරණා හමු වේ. මෙය මරණයක් වැනි අවස්ථාවක් නම් මෙවැනි කාරණා තුළින් බොහෝ දෙනෙකු නිගමනය කරන්නේ අදළා පුද්ගලයා සිය මරණයට පෙර එහි පෙර නිමිති දැක ඇති බවය. මේ පිළිබඳ ගැඹුරින් සොයා බැලීමක් සිදු නොකරන ඕනෑම කෙනෙකු එය සත්‍යයක් යැයි නිගමනය කරයි. බැලූ බැල්මට එය සත්‍යයක් යැයි නිගමනය කිරීමේ වරදක් ද නැත. එහි අසාධරණයක් ද නැත. නමුත් ‛විද්‍යාත්මක අනාවරණය’ යනු මෙය නොවේ. යම් සිදුවීමකට හේතු කාරණා සොයා යාමේදී තමන් අනුමාන කරන ලද දෙය හේතු කාරණය නිසා යමක් සිදු වූයේ ද යන්න සැබෑ ලෙසම නිගමනය කිරීම සඳහා පර්යේෂකයන් අතර ‛සංඛ්‍යානමය වශයෙන් අර්ථ සහගතබව’ (Statistical significance) නම් ක්‍රමයක් භාවිත වෙයි. මෙය වඩාත් සරල ලෙස ‛සංඛ්‍යාත්මක අනාවරණය’ ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී අප යම් සිදුවීමක් සංඛ්‍යානමය වශයෙන් විශ්ලේෂණය කිරීමක් සිදු වේ. මෙම සිදුවීම සම්බන්ධව සංඛ්‍යානමය අනාවරණයක් සිදුකිරීමේදී මුළින්ම කෙරෙන්නේ දරුවන් සිය දෙනෙකුගේ නියැදියක් තෝරාගැනීමය. පසුව මෙම දරුවන් අඳින ලද විවිධ සිතුවම් පිළිබඳ සළකාබැලීමක් සිදු කෙරේ. සාමාන්‍යයෙන් පාසලක සිතුවම් ඇඳීමේදී ‛මා දුටු රිය අනතුරක්’ වැනි මාතෘකා සිතුවම් සඳහා ලබා දීම ඉතා සුලභ කාරණයකි. මෙම මාතෘකාව වසර ගණනාවක සිටම දරුවන්ට සිතුවම් ඇඳීම සඳහා ලබා දෙයි. මේ සිය දෙනාගේ නියැදිය තුළ සිටින දරුවන් ද බොහෝ දෙනෙකු මෙවැනි සිතුවමක් ඇඳ තිබෙන්නට පුළුවන. මේ සිය දෙනොගෙන් යම් කෙනෙකු මිය යාමේ හැකියාවක් ද තිබේ. සංඛ්‍යානයේ එය හඳුන්වනු ලබන්නේ ‛සම්භාවිතා න්‍යාය’ ( Probability theory) නමිනි. මෙම සම්භාවිතාවය අනුව දරුවකු අනතුරකින් මිය යාමේ හැකියාවක් පවතී. මේ දරුවන් සියලු දෙනා පාසල් යන බැවින් ද, මහ මග ගමන් කරන බැවින් ද, අප රටේ රිය අනතුරු සිදුවීමේ ස්වභාවය අනුව ද මෙම සම්භාවිතාවය සෑහෙන මට්ටමක පවතින බැව් කිව හැකිය.
අප ඊළඟට සළකා බලනුයේ මනෝ විද්‍යාවේ සඳහන් එක් කාරණයක් වන Post hoc ergo propter hoc යන්නය. මෙය ලතින් වදනක් වන අතර එයින් කියැවෙන්නේ ‛පසු සිදුවීම පෙර සිදුවීමේ ප්‍රතිඵලයක්ය’ යන මිත්‍යාවය. මෙය බොහෝ විට සළකා බැලෙන්නේ තමාට අනර්ථයක් සිදුවූ විට පමණක් වීම ද විශේෂයෙන් කැපී පෙනෙන කාරණයකි. එය මෙසේ විස්තර කළ හැකිය.
යමෙක් වැදගත් කටයුත්තක් සඳහා පිටත්ව යාමේදී යම් පුද්ගලයකු මහ මගදී මුණ ගැසෙයි. අදාළ පුද්ගලයාට තමා අරමුණු කරගත් කාර්යය සාර්ථක කරගන්නට නොහැකි වෙයි. එවිට ඔහු පවසන්නේ,
“ගෙදරින් එළියට බහින කොටම අර කාලකන්නියාව නේ මුණ ගැහුනේ. ඉතිං කොහේද වැඩක් හරියන්නේ”
වැනි දෙයකි. නමුත් අදාළ පුද්ගලයාට මෙම කාර්යය සාර්ථකව කරගැනීමට හැකියාවක් ලැබුණා නම් ඔහු එය යටකී ‛කාලකන්නියා’ මත පටවන්නේ නැත. ඔහුට ඒ පුද්ගලයා මුණ ගැසුණු බවක් ඇතැම් විට මතකයේ හෝ නැති විය හැක. යම් විපතක් සිදු වූ විට එයට හේතු කාරණා සොයා අතීතයට ගමන් කරනවා යැයි කලින් තැනෙක සඳහන් කළේ මේ නිසාය. මෙම කාරණය මනෝ විද්‍යාවේ හැඳින්වෙන්නේ ‛ලිපිගොනු සහ ලාච්චු ගැටලුව’ ( file drawer problem) නමිනි. මෙහිදී සිදුවන්නේ යම් සිදුවීමක් සිදුවූ විට එය ලිපිගොනුවට ගෙන පරීක්ෂණ කිරීමත්, එය තවදුරටත් ගැටලුවක් නොවේ යැයි සිතුණ විට ලාච්චුවට දමා වසා දැමීමත්ය.
තමාගේ මරණය පිළිබඳව මේ ආකාරයට කලින් දුටුවේ යැයි පැවසෙන තවත් බොහෝ සිදුවීම් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වේ. බැලූ බැල්මට මේවා මරණය කලින් දුටු අවස්ථා යැයි පෙනෙන්නට තිබුණත්, ඒවා පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයක් කළ විට සැබැවින්ම එවැනි හැකියාවක් ඇති ද යන්න පිළිබඳ සැක පහළ වේ. මිනිසුන් හැටියට අපට අවශ්‍ය වන්නේ වරදක් හෝ අනර්ථයක්, අනතුරක් සිදුවූ විට එහි වරද කවරකු මත හෝ කුමක් මත හෝ පටවන්නටය. ඒ නිසා එයට කුමක් හෝ හේතුවක් සොයාගැනීමට අපි උත්සුක වෙමු. එය මිනිස් ස්වභාවයය.
අැත්තට ම මැරුණ කෙනෙක්ගෙන් ම තමා අහන්න තියෙන්නේ
ReplyDeleteඒකත් ඇත්ත තමයි. මැරුණු කෙනෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ.
Deleteමනක්කල්පිතයට අපි හැමෝම කැමතියි නෙ. නොවෙන දෙයක් වෙන විදියට සලකන්න තමන්නෙ බෑඩ් ලක් එක වෙන කෙනෙක්ට පටවන්න. ඒක සාමාන්‍ය දෙයක්.
ReplyDeleteපෙර මඟ සුභ / අසුභ ලකුණු කියල දෙයක් නෑ. සියලලට පෙරටු වන්නේ අප චිත්තය හා එයට කවා ඇති දත්ත පමණයි
ඒ ඔය ගැන මගේ කියවීම.
ඔබ කියන කතාව ඇත්ත. මාත් ඒකට එකගයි.
Deleteහදිසි මරණයන් සිදුවීම සම්බන්දයෙන් යම් යම් ඉඟි .. සිහින .. හෝ වෙනත් ආකාරයක සංඥා වක් අදාල පුද්ගලයාට හෝ ඔහුගේ හෝ ඇයගේ ලඟම ඥාතියෙකුට ලැබෙන්නට පුලුවන්. ඔබට මතකද මීට වසර ගනනාවකට කලින් මීරිගම ප්‍රදේශයේ අහිංසක තරුණියක ඝාතනය කල සිදුවීම? ඇයගේ එම ඉතා අවාසනාවන්ත මරණයෙන් සෑහෙන කාලයකට පස්සේ ඇගේ පියා මට දුම් රියේදි මුණ ගැහුනා. මම ඔහුව කලින් හඳුනන්නේ නැහැ. ඒත් ඔහු කවුද කියා අපිට කිව්වා. තමන්ගේ දරුවාට වූ සිදුවීම පිලිබඳව ඔහු ඒ වන විටත් හිටියේ ඉතාමත්ම ශෝකයෙන්. ඇයට එම අනතුර සිදුවන දවසේ ඔහු සේවය කරමින් සිට ඇත්තේ නිවසින් දුර බැහැරක. සිදුවීමට කලින් දා රාත්‍රියේ ඔහු සිහිනයක් දැකලා කලබල වෙලා තියෙනවා. ඔහු කිව්වා ඔහුගේ නිවස අසල තිබූ විශාල අඹ ගසක් නිවසට කඩා වැටෙනවා සිහිනෙන් දුටු බව. ඔහුට එවෙලේ මතක් වී තිබෙන්නේ අසනීපයෙන් සිටි ඔහුගේ මවට යම් කරදරයක් වී ඇති බව. ඒ මොහොතේම ඔහු නිවසට කතා කරලා . එහෙත් මව සුවෙන්. නමුත් පසුවදා සවස තමන්ගේ දුව නැතිවුනා.
ReplyDeleteඑවැනි සිදුවීම් සිද්ද වෙන්න පුළුවන්. ඒකත් සසම්භාවී විදිහට වුණු දෙයක් විතරයි. මෙවැනි විනාශයක් වෙන සිහින අපි හැමෝම දකිනවා. නමුත් ඒ දකින හැම වෙලාවකම අපට විනාශයක්, පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුවක් සිදුවන හැම වෙලාවකම එය ඊට කලින් සිහිනයකින් දකින්නේත් නැහැ. ඇතැම් අවස්ථා තිබෙනවා සසම්භාවී ලෙස මේ සිදුවීම් දෙකම එකට පෑහෙන. මෙයත් එවැනි සිදුවීමක් පමණයි. අපි හැමෝම එවැනි හදිසි වියෝවීම්, පාඩු සිදුවූ විට යම් යම් අතීතාවලෝකයන් සිදු කරනවා. එය සාමාන්‍ය දෙයක්. එවිට අපට යම් යම් සිදුවීම හමු වෙනවා. එවිට අප හිතනවා මෙන්න මේ සංකේතයෙන් තමයි මට මේ විනාශය පෙන්නුම් කළේ කියලා.
Deleteඑල ද බ්‍රා ලිපියක්..
ReplyDeleteමේ ගැන තවමත් පරික්ෂන කරනවා නේද?
මනෝ විද්‍යාඥයන් මේ ගැන පර්යේෂණ පවත්වනවා. ඒත් මම හිතන්නේ මේක දැනට සොයාගෙන ඇති කරුණුවලට වඩා අමුතුවෙන් පරීක්ෂා කළ යුතු දෙයක් නෙවෙයි කියලයි.
Delete