පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, August 11, 2015

වහලියන් සේ මැද පෙරදිග අළෙවි වන අපේ කාන්තාවෝ - Employer Offers Sri Lankan Maid For Sale Online In Saudi Arabia


ශ්‍රී ලාංකික කාන්තාවක් මෙහෙකාර සේවය සඳහා අළෙවි කිරීම වෙනුවෙන් සවුදි අරාබි ජාතිකයකු එහි පුවත්පතක හා වෙන්දේසි සිදුකරන වෙබ් අඩවි කිහිපයක වෙළෙඳ දැන්වීමක් පළකිරීම සම්බන්ධව මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වී තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ද මේ සම්බන්ධව කරුණු සොයා බලමින් පසුවන බැව්  දැනගන්නට ඇත. මෙම ශ්‍රී ලාංකික කාන්තාව කවරෙක්දැයි සඳහන්ව නැති අතර එරට සුප්‍රකට පුවත්පතක් වන සාබ්ක්’ (Sabq) හි පළකොට ඇත්තේ සවුදි රියාල් 25,000කට (රුපියල්වලින් නම් 892,000ක් පමණ) මෙම කාන්තාව විකිණීමට කැමැත්තෙන් සිටින බවය. මෙම අළෙවිකරු තවදුරටත් සඳහන් කර සිටින්නේ මෙම කාන්තාව සමඟ වූ ගිවිසුම අවසන් කිරීමට ඔහුට අවශ්‍යව ඇතත් නැවත ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට තවත් වසරක කාලයත් ඉතිරිව ඇති නිසාත් ඇයට වෙනත් ස්ථානයක සේවය කරන්නට අවශ්‍ය ඇති නිසාත් තමා ඇයව මෙසේ අළෙවි කරන බවය. ඇය කුඩා දරුවන් සමග ඉතා සුහදශීලී ලෙස කටයුතු කරන්නියක ලෙසත් එම දැන්වීමේ සඳහන් කොට තිබේ. සවුදියේ මානව හිමිකම් කොමිසම පවසනුයේ මෑතක සිට මෙවැනි දැන්වීම පළවීම බහුල වශයෙන් සිදුවන්නට පටන් ගෙන ඇති බවය.

විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සඳහන් වෙතත් එය කුමන මට්ටමක පවතීද යන්න පිළිබඳ දැනගන්නට ද නැත. ඊනියා කාන්තා විමුක්ති සංවිධාන ද තවමත් මේ පිළිබඳ පැහැදිලි හඬක් නගා නැති බව පෙනේ.

අදාළ දැන්වීම

මෙවැනි දැන්වීමක් මගින් පැහැදිලිවම අපට මතක් කරදෙන්නේ වහල් වෙළෙඳාමය. ලෝකයේ වහල් වෙළෙඳාම තුරන් කොට වසර ගණනාවක් ගත වී තිබුණ ද එය අප්‍රකටව තවමත් පවතින බැව් බොහෝ දෙනෙකු දන්නා කරුණකි. මිනිසුන් වහලුන් මෙන් සේවයේ යොදවා ගන්නා ආකාරය අද ද දක්නට ලැබේ. නමුත් විවිධ කඩතුරාවන්ගේ ඒවා වසාගැනීමට හැකියාව ලැබී ඇති නිසා මේවා සමාජයට තදින් නිරාවරණය වන්නේ නැත. කෙසේ නමුත් මෙසේ ප්‍රසිද්ධියේ දැන්වීම් මගින් මිනිසුන් අළෙවි කිරීමක් ගැන අසන්නට ලැබුණේ නැත. කෙසේ හෝ දැන් එය ආරම්භ වී ඇති බැව් පෙනේ. මේවාට ලෝකයේ මානව හිමිකම් සංවිධාන ප්‍රබලව හඬක් නොනගන්නේ නම් ඉදිරියේදී තත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

අරාබි රටවල් ක්‍රියාත්මක නීති පද්ධතියේ කාන්තා හිමිකම්වලට ඇති ඉඩකඩ ඉතා සීමා සහිත බව පෙනෙන්නට ඇති කාරණයකි. කෙසේ නමුත් ඒ රටවල නීති සම්පාදකයන් මේවා සාධාරණීකරණ කරනු ඕනෑ තරම් අසන්නට ලැබේ. එම රටවල පවතින නීතියට අනුව දූෂණයට ලක් වූ කාන්තාවකට  තම නිර්දෝෂීභාවය හෝ ඔප්පු කිරීමට පවා ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. අනෙක් අතට අන්තවාදී ලෙස එම නීතිය ක්‍රියාත්මක කරන්නට පෙළඹෙන විට කාන්තාවන්ගේ ගෞරවය පහළට ඇද වැටෙන බව අමුතුවෙන් කිව යුතු නැත. සිරියාවේ ක්‍රියාත්මක වන අයි. එස්. අයි. එස් කැරළිකරුවන් විසින් ලිංගික වහලියන් ලෙස කාන්තාවන්ව විකුණා දමන්නේ එම හේතුව නිසාය. අනෙක ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෙනත් ජාතීන්ට අයත් කාන්තාවන් ද නොවේ. ඔවුන් මුස්ලිම් කාන්තාවන්මය. තත්වය එසේ වූ විට වෙනත් ජාතීන්ට අයත් කාන්තාවන මෙසේ ප්‍රසිද්ධියේ, පොදු නීති පද්ධති යටතේ වහලුන් සේ අළෙවි වීම  එක් අතකට පුදුමයක් ද නොවේ.

අප කෙතරම් උදම් ඇනුවද අප රට මැද පෙරදිග කලාපය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගෘහ සේවිකාවන්ගේ දේශයවශයෙනි. වඩාත් අභිමානවත් විරුදාවලිවලින් පැසසුම් ලැබූ අප රටට මෙවැනි පහත් තත්වයේ විරුදාවලි ලැබීමට හේතුව වී ඇත්තේ අප රටේ විදේශ සේවා අංශයේ ප්‍රමිතීන්වල යම් යම් අඩුපාඩු නිසා යැයි සිතිය හැකිය. එය එසේ යැයි නිගමනය කළ හැක්කේ කලක් අප අසල්වැසි ඉන්දියාව ද මෙවැනි තත්වයකට මුහුණ දුන් බැවිනි. ඉන්දීය කාන්තාවන් ද මැදපෙරදිග රටවල් ගෘහ සේවිකාවන් සඳහා රැකියාවන්හි නිරතවූ  කාලයේ බොහෝ වදහිංසාවන්ට ලක් වූ බැවින් තම කාන්තාවන් ගෘහ සේවිකාවන් සඳහා මැද පෙරදිග නොයවන බවට ඉන්දියාව තීරණයක් ගත්තේය. පාකිස්ථානය ද එම පියවරම අනුගමනය කළේය. මේ රටවල්වලින් වර්තමානයේ දී බහුතර කාන්තාවන් මැදපෙරදිග රටවල් සඳහා යන්නේ ගුරු වෘත්තිය, සාත්තු සේවය වැනි, පුහුණු ඉහළ වැටුප් සහිත රැකියාවන්ට පමණි.


ඉන්දියාව හා පාකිස්ථානය මෙම තීරණයට එළැඹෙන විට විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ අවධානය යොමුවූයේ ශ්‍රී ලංකාවටය. අප රටේ කාන්තාවන් රැසකට මැදපෙරදිග රැකියා දොරටු විවර කරදීම ලෙසින් මෙම වහල් වෙළෙඳාම ආරම්භ වූ අතර ඔවුන් එරට ගොස් විවිධ තාඩන පීඩන පමණක් නොව මරණය ද විඳින බැව් පැහැදිලිවම පෙනෙන්නට තිබුණත් තවමත් විදේශ රැකියා නීති රීතිවල පැහැදිලි ප්‍රමිතියක් ඇති කරන්නට පියවරක් ගෙන නැති බැව් පෙනේ. කුඩා දරුවන් සිටින කාන්තාවන් මැදපෙරදිග සේවයට නොයැවීමට ගත් තීරණය ප්‍රශංසනීය වුව ද තවමත් අප රටෙන් ගෘහ සේවය සඳහා මැදපෙරදිගට පිටත්ව යන කාන්තාවන් එරට වහල් සේවයේ යෙදී සිටින බැව් රහසක් නොවේ. මෙවැනි සිදුවීම් නිතර අසන්නට ලැබේ. විවිධ ආබාධයන්ට ලක්ව මෙරටට නැවත පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද නොසැළකිය නොහැක. මුස්ලිම් කාන්තාවන්ට ද තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්නට ඉඩ අහුරා ඇති රටක වෙනත් ජාතියකට අයත් කාන්තාවන්ගේ හිමිකම් පිළිබඳ කවර කතාද? එවැනි තත්වයක් තුල මේ ආකාරයට වහළියන් සේ පුවත්පත් දැන්වීම් ඔස්සේ අතින් අතට අළෙවි වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යන්නේ නැතැයි කිව හැක්කේ කාටද? අනෙක මෙතරම් දුක් පීඩා මධ්‍යයේ මැදිපෙරදිග කඳුළු හළා මෙරටට නැවත පැමිණෙන බොහෝ කාන්තාවන්ගේ පවුල් ජීවිත කැඩී බිඳී තිබෙන අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ. එය මෙම වහල් සේවයේ ඛේදීනීය අතුරු ප්‍රතිඵලයන්ගෙන් එකකි. එබැවින් අප රටේ කාන්තාවන් මැදපෙරදිග සේවය සඳහා යෙදවීමේ දී ඔවුන්ගේ ගෞරවය, හිම්කම් සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ මෙයට වඩා සිතීමට අප රටේ බලධරයන් පෙළඹිය යුතු බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මෙයට පෙර ද එසේ පෙනුණු අවස්ථාවන් තිබුණ ද ඔවුන්ගේ ඇස් ඇරුනේ නැත. ඔවුන් ඇස් පියා ගෙන සිටින තාක් අප රටේ කාන්තාවන් මැද පෙරදිග වහළියන් ලෙස තව තවත් අළෙවි වනු ඇත. අපට සිදුවන්නේ එම පුවත් දෙස බලා සිටීමට පමණි.

3 comments:

  1. කියනකොටන තම්බිකඩේකින් වතුර උගුරක්වත් බොන්නෙනෑති ආරිය සිoහල වීරයෝ.
    හෑබෑයි ජාතිය ජීවත්වෙන්නේ මෑදපෙරදිගට ගෑනු විකුනලා.මහමදිකයන් ඔවාට පස්සපෑත්තෙනුත් හිනාවෙනවා ඈති........
    අපේ ජාතිය පිoපි ජාතියක් බවට පත්වෙලා ඉවරයි යාලුවා.ජාතියක් හෑටියට රටක් හෑටියට ලෑජ්ජයි.
    ඔන්න මහාලොකු දේශප්‍රමී නායකයො රට ගෙනල්ල තියන තෑන.ජනතාවත් උන්ටම හරියනවා.පිoපි නායකයෝ සහ පිoපි ජනතාව.

    ReplyDelete
    Replies
    1. මේක අපේ රටේ මෙතෙක් හිටපු සියලු නායකයන්ගේ වැරදි. සිදුවීම් එකක් දෙකක් වෙනකොට ඉන්දියාවේ වගේ අපේ රටෙත් යම් ප්‍රමිතියක් හදන්න තිබුණා.නමුත් එහෙම වුණේ නෑ. දැන් මෙහෙම වෙනවා. ඉදිරියේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකින බවට කියැවෙන නිසා ඇතැම් විට මේ තත්වය වෙනස් වෙයි. නමුත් දේශපාලුවන් කියන දේවල් විශ්වාස කරන්න නම් බැහැ.

      Delete
    2. උඹ මුස්ලිම් නේද?

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න