පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, August 18, 2015

අලිගැට පේරවලින් ලියුකේමියාවට ඖෂධයක් - Avocados May Be Key for Treating a Type of Leukemia


මේ දවස්වල පලතුරු කඩයකට ගියාම වැඩිපුරම දකින්නට ලැබෙන දෙයක් තමයි අලිගැට පේර’. වැඩි දෙනෙක් කියන්නේ අලි පේරකියලා.  ඉතාමත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන දෙයක් තමයි ලියුකේමියා, එසේත් නැත්නම් ලේ පිළිකා ප්‍රභේදයක් වන උග්‍ර මයිලොයිඩ් ලියුකේමියා’ (Acute Myeloid Leukemia  - AML) සඳහා අලිගැට පේර ඖෂධයක් ලෙස යොදාගත හැකි බව. ලියුකේමියාව යනුවෙන් හඳුන්වන්නේ අපගේ සිරුරේ ඇති සුදු රුධිරාණුවල වර්ධණය ඉහළ යාම බව සරල ලෙස කවුරුත් දන්නවා. මෙම සුදු රුධිරාණු වර්ධණය වේගවත්ව හා ආක්‍රමණශීලී තත්වයට පත් වූ විට එය උග්‍ර මයිලොයිඩ් ලියුකේමියානමින් හඳුන්වනු ලබනවා. අපගේ ෂුෂුම්නාවේ හෝ ඇට මිදුලුවල මයිලොයිඩ්නම් සෛල වර්ගයක් පවතිනවා. මේවා ද සුදු රුධිරාණු ප්‍රභේදයක්. මෙම රෝගයේදී සිදුවන්නේ මෙම සුදු රුධිරාණු ප්‍රභේදයේ ශීඝ්‍ර වර්ධණයයි.

අලිගැට පේරවලින් ලබාගන්නා අණු මෙම ලියුකේමියා රෝග තත්වය ඇති කරන මූලික සෛල (stem cells) සමග හොඳින් සටන් කොට ඒවා විනාශ කරන බව සොයාගෙන තිබෙනවා. මේ බව හෙළිකරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය අගෝස්තු 10 වැනිදා ප්‍රකාශයට පත් කොට තිබූ වෛද්‍ය වාර සඟරාවයි. අනෙක සෞඛ්‍ය සම්පන්න සෛලවලට මෙයින් කිසිදු හානියක් නොවන බවත් එහි සඳහන්.

මෙම ලියුකේමියා රෝග තත්වය කෙතරම් දරුණු ද කිවහොත්, එය වැළඳී ඇතැයි වෛද්‍යමය වශයෙන් නිර්ණය කරන රෝගීන්ගෙන් 65%කටත් වඩා පිරිසක් මිය යනවා. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන්නේ මෙම රෝග සෛල සාර්ථකව විනාශ කරන ඖෂධ පමණයි.  අලිගැට පේරවලින් ලබාගන්නා අණු වෙනත් කිසිම ඖෂධයකට වඩා ඒ සඳහා විශේෂඥභාවයක් උසුලන බව මෙම පර්යේෂණයෙන් හෙළිවී තිබෙනවා.

මෙම පර්යේෂණය සිදුකොට ඇත්තේ වෝටර්ලූ සරසවියේ පර්යේෂකයකු වන මහාචාර්ය පෝල් ස්පැඤුවොලෝ විසින්. කෙසේ නමුත් වෛද්‍ය ස්පැඤුවොලෝ පවසන්නේ මෙය අනුමත කරගැනීමට තවත් කාලයක් ගතවිය හැකි නමුත් පළමු අදියරේ ප්‍රතිකාර සඳහා තමා මේ වන විටත් මෙම අණු භාවිත කරන්නට පටන් ගෙන තිබෙන බවයි.


මහාචාර්ය පෝල් ස්පැඤුවොලෝ


ඇලිගැට පේරවල මෙවැනි ඖෂධීය ගුණයක් තිබෙන බව මෑතකදී සොයා ගත්තත් ඊට බොහෝ කාලයක සිටම එය ප්‍රසිද්ධ වෙලා තිබුණේ ලෝකයේ තිබෙන සෞඛ්‍ය සම්පන්නම පලතුර හැටියටයි. මේ දවස්වල අපේ රටේ පලතුරු කඩවල අලිගැට පේර ගොඩ ගහලා තියෙන විදිහට මේක අපේ රටේම දෙයක් ද කියලා වෙලාවකට හිතුනත් ඇත්තටම මෙය මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික පලතුරු වර්ගයක් බව කිව යුතුයි. මෙය ඉංග්‍රීසී බසින් ඇවකාඩෝනමින් හැඳින්වුවත් අපේ රටට හඳුන්වා දෙන්නට ඇත්තේ ඒ නමින් නොවන බව සිතිය හැකියි. එයට හේතුව අපි මෙය හඳුන්වන අලිගැට පේරයන්න තැනී ඇත්තේ මෙය හඳුන්වන තවත් ඉංග්‍රීසි නමක් වූ ඇලිගේටර් පෙයාර්’ (Alligator Pear) යන්නෙන් වීම නිසයි. මධ්‍යධරණී දේශගුණයෙහි වාණිජ භෝගයක් ලෙස වගා කරන මෙම පලතුර වසර මිලියන ගණනකට එහා අතීතයක් ඇති පොසිල සාධකවලින්ද හමු වී තිබෙනවා.

අලිගැට පේර ග්‍රූම් සියයක් පහත සඳහන් පෝෂක කොටස් අඩංගුයි.

විටමින් කේ - දෛනික අවශ්‍යතාවයෙන් 26%
ෆෝලේට් - දෛනික අවශ්‍යතාවයෙන් 20%
විටමින් සී - දෛනික අවශ්‍යතාවයෙන් 17%
පොටෑසියම් - දෛනික අවශ්‍යතාවයෙන් 14%
විටමින් බී5 - දෛනික අවශ්‍යතාවයෙන් 14%
විටමින් බී6 - දෛනික අවශ්‍යතාවයෙන් 13%
විටමින් ඊ - දෛනික අවශ්‍යතාවයෙන් 10%

මීට අමතරව මැග්නීසියම්, මැංගනීස්, තඹ, යකඩ, සින්ක්, පොස්පරස්, විටමින් ඒ, විටමින් බී1 (තයමින්), විටමින් බී2 (රයිබොෆ්ලේවින්) සහ විටමින් බී3 (නියාසින්) යන පෝෂණ කොටස් ද කුඩා ප්‍රමාණයන්ගෙන් අඩංගුයි.

ඒ වගේම අලිගැට පේර කියන්නේ අධික ලෙස තන්තු අඩංගු ආහාරයක්. තන්තු සහිත ආහාර තරබාරුව අඩුකිරීම, රුධිරයේ සීනි ප්‍රමාණය අඩුකිරීම, සහ තවත් බොහෝ රෝග සංඛ්‍යාවක අවදානම පහත හෙළන්නට හේතු වෙනවා. අලිගැට පේර ග්‍රූම් 100 ක තන්තු ග්‍රූම් 7ක් තිබෙනවා. එය දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 27%ක් වනවා.

අලිගැට පේරවල මේදය අධික ලෙස අඩංගු වන අතර එය ශාක ආහාරවල ඇති පෝෂණය අවශෝෂණය කරගැනීමට හේතුවන බව ද සොයාගෙන තිබෙනවා.

ලියුකේමිය රෝගයට එරෙහිව සටන් වදිනවාට අමතරව අලිගැට පේරවල ඇති තවත් බොහෝ පෝෂණ තත්වයන් ඔබ දැන දන්නවා. මෙහි සඳහන් නොකළ තවත් බොහෝ පෝෂණ අංගයන් මෙහි අඩංගුයි. අධික වියදමක් නොදරා මිලදී ගත හැකි නිසාත්, අලිගැට පේර අවාරය පැමිණෙන්නට පෙර ලෝකයේ සෞඛ්‍ය සම්පන්නම පලතුර භුක්ති විඳින්නට තවත් ප්‍රමාද වන්නට එපා යැයි අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි.


3 comments:

  1. ස්තූතියි වටිනා ලිපියක්. තියෙන ගහට අමතරව තවගස් දෙක තුනක් හදාගත්තත් පාඩු නෑ නෙහ්

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.

      Delete
  2. ගහක් හදා ගන්න එක තමයි කරන්න ඕන .විකුණන්න තියන ඒවාට මුන් බෙහෙත් ගහනවානෙ..එතකොට කන්න වෙන්නෙ වස.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න