පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 28, 2015

කර්ණ ශංඛ බද්ධ සැත්කම යනු කුමක්ද? - What is Cochlear Implant Surgery?


අප රටේ ප්‍රථම වරට රජයේ රෝහලකදී කන් දෙකම සඳහා වූ සාර්ථක කර්ණ සංඛ අරෝපණ බද්ධයක්’ (Cochlear Implant Surgery) කිරීමට පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ඇතුළු කණ්ඩායමට හැකි වූ බව පසුගිය දිනවල අසන්නට ලැබිණි. ශ්‍රවණාබාධයක් සහිත කුඩා දරුවකු සඳහා සිදුකෙරුණු මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු වූ බව වෛද්‍යවරයා සඳහන් කළේය. මෙම සැත්කම සඳහා නිර්වින්ද කටයුතු මෙහෙයවා ඇත්තේ පේරාදෙනිය ළමා රෝහලේ නිර්වින්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි මහතාය.

කර්ණ ශංඛ ආරෝපණ බද්ධය යනු කුමක්ද?

බොහෝ දෙනෙකු මෙහිදී එකවර සිතන්නේ අපගේ අභ්‍යන්තර කණට කර්ණ ශංඛයක් බද්ධකිරීමක් සිදුවනවා යනුවෙනි. නමුත් සැබවින්ම සිදුවන්නේ එවැන්නක් නොවේ. මෙයට පෙර අපි කණක අභ්‍යන්තර සැලැස්ම පිළිබඳ සරල අවබෝධයක් ලබාගැනීම අවශ්‍ය වේ. කණ මූලිකව කොටස් තුනකින් සමන්විත වේ.

1. බාහිර කණ
අපට සාමාන්‍යයෙන් පෙනෙන කණේ කොටස වන්නේ මෙයයි. මෙය කණ් බෙරයෙන් කෙළවර වේ. බාහිර ශබ්දය කණට ඇතුළු වන්නේ මෙහි ඇති බාහිර ශ්‍රවණ නාලය ඔස්සේය.

2. මැද කණ
බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ ඇතුළු වූ ශබ්දය මගින් කණ් බෙරය කම්පනයට පත්කරන අතර එයට ඇතුළු පැත්තේ වූ ඇතුළු කණෙහි ඇති අස්ථි තුනක් ද මෙම ශබ්දය මගින් කම්පනයට ලක් වේ. එහිදී ශබ්දය වර්ධණය කිරීමක් ද සිදු වේ.

3. ඇතුළු කණ
මැද කණ මගින් වර්ධණය වූ ශබ්දය ඉන් පසුව ඇතුළු කණ කරා ගමන් කරයි. එහි ඇති කර්ණ ශංඛය ඔස්සේ මෙම ශබ්ද ස්නායු සංඥාවක් බවට පත්කොට මොලයට ගමන් ගන්නා ශ්‍රව්‍ය ස්නායුව වෙත ලබාදෙයි. එම සංඥාව මොලයට ගමන් කළ පසු අපට ශබ්දය ඇසේ.

ශ්‍රවණාබාධ විවිධ කරුණු නිසා ඇති විය හැකිය. ඇතැමුන්ගේ උපතින්ම බාහිර කණෙහි ඇති ශ්‍රවණ නාලය හෙවත් සරල ලෙස සඳහන් කළහොත් සිදුර පිහිටා නැත. ඇතැුමුන්ගේ බාහිර හා මැද කණ යම් අනතුරක් නිසා හෝ රෝගී තත්වයක් නිසා අහිමිවීම හෝ අකර්මණ්‍ය විය හැකිය. එවිට බාහිරින් ලැබෙන ශබ්ද කර්ණ ශංඛය කරා පැමිණීමේ ඉඩක් ලැබෙන්නේ නැත. එවිට සිදු කරන්නේ ශල්‍යකර්මයක් මගින් බාහිර ශබ්ද කෙළින්ම ඇතුළු කණෙහි කර්ණ ශංඛය කරා ගමන් කරවීම සඳහා කණ් පෙත්තට පිටුපසින් සිදුරක් නිර්මාණය කොට එය කර්ණ ශංඛය කරා ගමන් කිරීම සඳහා ඉඩ කඩ සැළසීමයි. මෙහිදී ශබ්දය ගමන් කිරීම සඳහා මාර්ගයක් නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. බාහිර සහ මැද කණ මගින් සිදුකෙරෙන කාර්යභාරය ද සිදු කොට එය අභ්‍යන්තර කණ කරා ගමන් කරවිය යුතු වේ. මේ සඳහා ඉලෙක්ට්‍රොනික කොටස් දෙකක් අවශ්‍ය වේ.


1. මයික්‍රෆෝනයක්, කථන සකසනයක් සහ සම්ප්‍රේෂණ පද්ධතියක්

2. ග්‍රාහකයක් සහ ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක්. මෙයින් සිදුකරන්නේ බාහිර ඉලෙක්ට්‍රොනික් පද්ධතියෙන් ලබාගන්නා සංඥා විද්‍යුත් තරංග බවට පත් කොට අභ්‍යන්තර කණට ලබාදීමය.

මෙම උපකරණ දෙක මගින් බාහිර සහ අභ්‍යන්තර කණෙහි කාර්යභාරයන් ඉටු කරන නිසා ශ්‍රවණාබාධ සහිත රෝගියාට නැවත ශ්‍රවණ හැකියාව ලැබේ. මෙම සැත්කම සඳහා ගත වනුයේ පැයක පමණ කාලයකි.

පේරාදෙණිය රෝහලේ සිදු කළ මෙහි විශේෂත්වය වන්නේ කණ් දෙක සඳහාම මෙම ශල්‍යකර්මය සිදුකිරීමය. මෙයට පෙර ලේඩි රිජ්වේ ළමා රෝහලේ මෙන්ම ලංකා හොස්පිටල් හිදී එක් කණක් සඳහා සාර්ථක ලෙස කර්ණ ශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්ම රැසක්ම සිදුකොට තිබේ.

කර්ණ ශංඛ බද්ධ සැත්කමක් සිදුකිරීමෙන් පසු රෝගීන්ට හඬ හඳුනාගැනීමේ පුහුණුවක්ද ලබා දේ.

මේ සඳහා කෙතරම් මුදල් වැයවනවාද?


විදෙස් රටකදී මෙම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 2.9ක් පමණ වැය වෙතැයි පැවසේ. කෙසේ නමුත් රජයේ රෝහල්වල මෙය නොමිලයේ සිදුකරගත හැකිය. ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෝහල්වලින් දැනගත හැකිවනු ඇත. මේ පිළිබඳ බොහෝ දෙනෙකු තුළ දැනුවත් බවක් නොමැති බව ද පෙනෙන්නට තිබේ.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න