2015 අගෝස්තු 30 වැනිදා මම ‛කටුසු පාලිය’ නැරඹුවෙමි. “ඔන්න මම පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් නාට්‍යයක් හැදුවා” කියා මා හිතවත් සුමින්ද පැවසූ බැවින් නිවසේ සියලු දෙනාම කැටිව මේ සඳහා යාමට සිටියත් ප්‍රවාහන ගැටලු නිසා අවසානයේ මා පමණක් මේ සඳහා යන්නට තීරණය කෙරිණි.
30 වැනි ඉරිදා 6.30 මරදාන දුම්රිය පළෙන් බැස ටවර් රඟහලට යන මිනිත්තු පහේ පරක්කුවට නාට්‍යය ආරම්භ කොට තිබිණි. මා පමා වුවත් නාට්‍යය වෙලාවට පටන්ගැනීම පිළිබඳ විශේෂයෙන් ස්තූතිවන්ත විය යුත්තේ අපේ බොහෝ දෙනා වෙලාවට වැඩක් කරන්නට හිතට නොගන්නා නිසාය.
දොරටුවෙන් ඇතුළු වී බැලූ විට මා දුටුවේ අතුරු සිදුරු නැතිව පිරුණු රඟහලකි. ඒ ගැන මට ඇතිවූයේ අමන්දානන්දයකි. ‛කටුසු පාලියේ්’ මංගල දර්ශනය හැම අතින්ම සාර්ථක යැයි මට සිතිණි. මට යාන්තම් දොරටුව ළඟින්ම අසුනක් ලැබිණි.
නාට්‍යය ගළා යයි. අප කුඩා කල කියැවූ ඒ අපූරු කතාන්දරය දැන සජීවීව වේදිකාවක් මත දිව යයි. වේදිකාව මත අපූරු කැලෑවක් මැවී තිබේ. විටින් විට ඇසෙන කුරුළු නද නිසා වේදිකාවෙන් පහළ ප්‍රේක්ෂකාගාරයේද ‛කැලෑ ගතියක්’ දැනේ. ‛හීන් සැරය’ ළමා කෘතියක් ලෙස ප්‍රකට වුවත් එම කතාන්දරය යටින් සියුම් ලෙස දේශපාලන කතාවක් ද ගළා යන බව මේ නාට්‍යය නරඹන තෙක් දැනෙන්නේ නැත.
වේදිකාවෙන් ඇසෙන දෙබස්වලට රඟ ශාලාව දෙසින් නිරන්තර සිනා සෙන හඬ ඇසෙයි. මට පිටුපස සියලු සාමාජිකයන් සමගින් පැමිණි පවුල් කිහිපයක්ම විය. පවුලේ සියලු දෙනා වෙනසක් නැති නාට්‍යය විඳින බව දැනුණි. තාත්තලා සමඟ දූවරු ද හඬ තලමින් සිනා සෙති. අම්මලා සමග පුංචි පුතාලා ද කොක් හඬ ලා සිනා සෙති. කලකට පෙර අප රටේ එවැනි නාට්‍ය කලාවක් තිබිණි. කුඩා කල අප නාට්‍ය නරඹන්නට ගියේ වැඩිහිටියන් සමගය. නමුත් වේදකාව මත කුණුහරුප කියමින් ප්‍රේක්ෂකයන් සිනහ ගන්වන්නට කළ නාට්‍ය නිසා අසා නුපුරුදු අලුත් නාට්‍යයක් යනු ‛වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටයක් යැයි සිතන්නට පෙළඹෙන වටපිටාවක් අපට තිබේ. මේ නිසා බොහෝ දෙනා නාට්‍ය නැරඹීම සඳහා රාජ්‍ය නාට්‍ය උළෙල වැනි අවස්ථා තෝරාගන්නේ ඒවා ‛ෂුවර් එකටම නාට්‍ය’ යැයි සැකහැර දන්නා නිසාය. එවැනි වටපිටාවක් තුළ සුමින්ද සියලු දෙනාටම සිනාසෙමින් විඳිය හැකි, ඒ ආනන්දනීය හැඟීමේ කෙළවර සිතට ප්‍රඥාවක් එක්කරගත හැකි නාට්‍යයක් නිර්මාණය කොට තිබේ.
ආපසු නිවසට ගොස් නාට්‍යය පිළිබඳ සිනහසෙමින් කිවහැකි බොහෝ දේත්, ගැඹුරින් කිව හැකි බොහෝ දේත් අවසානයේ මා සිත තුළ ඉතිරි විය.
“මීට පස්සේ මේ කැලේ පළමුවැනියොත් නෑ දෙවෙනියොත් නෑ!”
සුමින්ද අපට පවසන දේශපාලන කතාවේ සරල අදහස එයයි.
ජනකතා සාහිත්‍යය යළි ජනතාව අතරට ගෙන යමින් නාට්‍යයෙන් ඈත්වුණු ‛පවුල’ නමැති ඒකකය යලි වේදිකාවට කැන්දන්නට සුමින්ද ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මට සිතේ. නමුත් තවත් යායුතු දුරක් ඇති බැව් ද සිතේ. ඒ වෙනුවෙන් ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් ශක්තියත් ධෛර්යයත් පැතිය යුතුය.
අවස්ථාවක් ලදොත් ඔබ ද මෙය නරඹන්නේ නම් මැනවි යැයි මට කිව හැකිය.
අද ද දරුවන් අතර ‛හීන් සැරය’ කෘතිය ජනප්‍රිය නිසා ඔබේ ගමනට දූ දරුවන් ද එක් කරගන්නේ නම් මැනවි යැයි මට කිව හැකිය.
අවසාන වශයෙන් සුමින්දගෙන් එක් දෙයක් ඉල්ලා සිටිය යුතුය.
ඒ,
“අපේ පවුලේ හැමෝටම ප්‍රවාහන ගැටලුවක් නැතිව මේ නාට්‍යය නරඹන්නට මීගමුවටවත් අරගෙන එන්නේ නම් එය ලොකු උදව්වක්”
කියාය.
සුමින්ද ඔබට ජය!
කවදා හරි ලංකාවට ආපු දවසක බලන්න ඕන. රංගන ශිල්පීන්ගේ නියම රංගන ප්‍රතිභාව බලාගන්න පුළුවන් වේදිකා නාට්‍ය වලින් තමා.
ReplyDeleteඒක ඇත්ත
Delete