පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, September 11, 2015

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය - Oba Nathuwa Ob ekka (With You, Without You), A Film


‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය මේ දිනවල අප රටේ තිරගත වෙයි. මෙහි රංගනයෙන් දායක වන ඉන්දීය නිළි අංජලී පටෙල් පිළිබඳ කොටි ලිපියක් 2012 වසරෙදී මා පුවත්පතකට ලීවෙමි. යළි ඒ බව මතක් වූයේ මරදාන ටෙක්නිකල් හංදියේ දැන්වීම පුවරුවෙහි මේ සිනමා නිර්මාණය පිළිබඳ මෙම පෝස්ටරය දකින විටය. එදා පුවත්පතකට ලියන ලද එම ලිපිය අදට ගැළපෙන පරිදි සුළු වෙනස්කම් කිහිපයක් කොට බ්ලොග් පෝස්ටුවක් ලෙස මෙසේ පළ කරමි.

2012 නොවැම්බර් 30 වැනිදා යනු සිංහල සිනමාවට සුවිශේෂි දිනයක් වූයේ යැයි කිවහොත් එහි අතිශයෝක්තියක් නැත. ඒ සිංහල සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව - ඔබ එක්ක’ (With You - Without You) නමැති සිනමා පටයට රංගනයෙන් දායක වූ ඉන්දීය ජාතික අංජලී පතෙල් 43වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමය. 65 වසරක ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය තුළ සිංහල සිනමා පටයක රඟපෑ විදෙස් රංගන ශිල්පිනියකට ජාත්‍යන්තර සම්මාන උළෙලකදී සම්මානයක් ලැබුණු ප‍්‍රථම අවස්ථාවද මෙයයි.

මේ වන විට මහජන ප්‍රදර්ශනයට මුදා හැර ඇති මෙම සිනමා කෘතියට නිෂ්පාදනයෙන් දායක වී ඇත්තේ රාහුල් රෝයි, මොහොමඞ් ඇඩම් අලි යන ඉන්දීය ජාතිකයන් සමග ලසන්ත නවරත්න නම් ශ්‍රී ලාංකිකයාය.

මෙම සම්මාන උළෙලේ ජයග‍්‍රාහකයන් තෝරාගනු ලැබුයේ පස්දෙනෙකුගෙන් සමන්විත ජූරියකිනි. එහි සභාපතිත්වය දරනු ලැබුයේ ඉන්දියාවේ ගෞතම් ගෝස් වන අතර අනෙකුත් සාමාජිකයන් වූයේ රුමේනියාවේ අනමාරියා මරින්කා, බි‍්‍රතාන්‍යයේ ඩෙරික් මැල්කම් සහ ශ්‍රී ලංකාවේ මාලනී ෆොන්සේකාය.

‘ඔබ නැතුව - ඔබ එක්ක’ සිනමා කතිය මෙම සම්මාන උළෙලේදී තරගකාරී අංශයෙන් මෙම සම්මානයට හිමිකම් පෑ අතර, සමස්ථ සිනමාකෘති 172කින් අවසාන වටය වෙනුවෙන් තෝරා ගැනුණු සිනමා කෘති 72ක් සමග හොඳම නිළි සම්මානය වෙනුවෙන් මෙය තරග වැදී තිබේ. ‘ඔබ නැතුව - ඔබ එක්ක’ සිනමා පටය 2012 ඔක්තෝබර් මාසයේ පවත්වනු ලැබූ 56වැනි ලන්ඩන් සිනමා උළෙලේ දී ද ප‍්‍රදර්ශනය කෙරිණි.

ප‍්‍රසන්න විතානගේ නම් සිනමාවේදියා මීට පෙර ද සිය සිනමා කෘති කිහිපයක් වෙනුවෙන්ම ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වූයේය. සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී පවුරු වළලූ සිනමා කෘතියේ නීටා ප‍්‍රනාන්දු හොඳම නිළිය වශයෙන් ද, පුරහඳ කළුවර සිනමා කෘතියේ ජෝ අබේවික‍්‍රම හොඳම නළුවා වශයෙන් ද, සම්මානයට පාත‍්‍ර විය. ස්පාඤ්ඤ සිනමා සම්මාන උළෙලේදී ඉර මැදියම සිනමා කෘතිය වෙනුවෙන් නිම්මි හරස්ගම හොඳම නිළි සම්මානයට පාත‍්‍රවූවාය. ආකාශ කුසුම් සිනමා කෘතිය වෙනුවෙන් අප රටෙහි නිළි රැජින වූ මාලනී ෆොන්සේකා 39වැනි ජාත්‍යන්තර ඉන්දීය සම්මාන උළෙලේදී රජත මයුර සම්මානයෙන්ද, ඉතාලියේ පැවැති ලෙවාන්තේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ද දිනාගනු ලැබිණි.

අංජලී පතෙල් හොඳම නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූ 43 වැනි ජාත්‍යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී හොඳම සිනමා කෘතිය බවට පත්වෙමින් ස්වර්ණ මයුර සම්මානය දිනාගනු ලැබුයේ ගුර්වින්දර් සිං අධ්‍යක්ෂණය කළ ‘අන්හේ ඝෝරි ඩා ඩාන්’ ය.

1989 සැප්තැම්බර් 26වැනිදා උපත ලද අංජලී පටෙල් ඉන්දීය ජාතික රංගකලා විද්‍යාලයේ සිසුවියකි. අංජලී දිල්ලි රංගන පාසලේ රන් පදක්කම් ලාභිනියක් ද වන්නීය. ඇය 2011 වසරේදී Delhi in a Day නම් හිංදි සිනමා කෘතියේ රෝහිනි නම් චරිතයකින් සිනමා ක්ෂේත‍්‍රයට පිවිසියාය. පසුව එම වසරේම Green Bangles කෙටි හිංදි චිත‍්‍රපටයේ මනු නම් චරිතයකට පණ පෙව්වාය. 2012 දී ‘පත්‍යායම්’ නම් තෙලිගු සිනමා කෘතියේ දුර්ගා නම් චරිතය රඟපෑවාය. 2012 වසරේදීම තිරගත වූ ‘චක‍්‍රාවියු’ නම් හිංදි සිනමා පටයේ ජූහි නම් නැක්සලයිට් හමුදා නිලධාරිනියකගේ චරිතයට ඇය පණ දුන්නාය. කෙසේ නමුත් සිනමාවට මෙතරම් වෙළෙඳ පොළක් ඇති, සිනමා කෘති නොගිනිය හැකි තරමක් නිපදවෙන ඉන්දියාවේ උපන් අංජලී පතෙල් හට හොඳම නිළි සම්මානයක් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලකදීම හිමිකරදෙන්නට පිහිට වූයේ ශ්‍රී ලාංකික සිනමා කෘතියක් වීම සුවිශේෂයෙන් කැපී පෙනෙන්නකි. ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන්ගේ නිර්මාණශීලි ගුණය පිළිබඳ අපට ජාත්‍යන්තර මට්ටමෙන් යළිත් සිතන්නට මෙය දොරටු විවර කරදෙයි. අංජලී පතෙල් සමග මෙහි රංගනයෙන් දායක වන්නේ ෂ්‍යාම් ප‍්‍රනාන්දුය.

‘ඔබ නැතුව - ඔබ එක්ක’ සිනමා කෘතියේ අධ්‍යක්ෂවරයා වන ප‍්‍රසන්න විතානගේ පවසන්නේ තමා මෙම සිනමා පටය උදක්ම නිර්මාණය කරන ලද්දේ විදෙස් සිනමා වෙළෙඳපලට පිවිසීමේ උනන්දුව ඇතිවූ නිසා බවයි. ආකාශ කුසුම් සිනමා කෘතියෙන් පසු වඩාත් නිර්මාණශීලි කතාවක් සොයමින් සිටි ප‍්‍රසන්නට ෆියඩෝර් මිහාලොවිච්ගේ කෙටි කතාවක් වූ The Meek One හමුවිය. ගැඹුරු සබැඳියාවක් වටා ගෙතී ඇති සැබෑ ආදර කතාවක් වූ එය ඔහුගේ මෙම නවතම සිනමාකෘතියේ තිඹිරගෙය බවට පත්කර ගත්තේය.


භාෂා දෙකකින් යුක්තව නිර්මාණය කොට ඇති මෙම සිනමා කෘතිය සිංහල දෙමළ ජාතිකත්වය හරහා දිවයයි. ප‍්‍රසන්න පවසන්නේ තමා සිය සිනමා නිර්මාණ සඳහා මීට පෙර භාවිත නොකළ දර්ශන තල මෙම කෘතිය වෙනුවෙන් යොදාගත් බවයි. මෙම සිනමා පටය වෙනුවෙන් අඩකටත් වඩා වියදම දරනු ලැබුයේ ඉන්දීය ජාතිකයන් බව පවසන ඔහු ශ්‍රී ලාංකික නිෂ්පාදකවරු මෙ සඳහා ඉදිරිපත් වූවත් මෙහි වියදම යළි උපයා ගන්නට නොහැකි බැව් හොඳින්ම දැන සිටි තමා එම ඉදිරිපත්වීම ප‍්‍රතික්ෂේප කළ බැව් පවසයි. 












No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න