Friday, December 6, 2024
ලෝකය උණුසුම්වීමේ වේගය වැඩි වෙයි - The rate of global warming is accelerating
Tuesday, November 26, 2024
අපි පාන් කන විදිය සහ පිටරටවුන් පාන් කන විදිය - Bread Eating Styles: Local vs. Foreign
කුඩා කාලයේ සිටම අප රටේ ප්‍රධාන
ආහාරය බත් යැයි පැවසුන ද මේ වන විට නිල නොලත් ප්‍රධාන ආහාරය බවට පත්ව තිබෙන්නේ
පාන්ය. අදින් වසර 30ක් ආපස්සට ගොස් බලන විට ද පාන් යනු අප ජන සමාජය තුළ සැලකිය යුතු
කාර්යභාරයක් ඉටුකළ ආහාරයක් බව පෙනේ. එයට හේතුව එම වසරේ ජනපති තරගයට ඉදිරිපත්ව සිට, අප රටේ ප්‍රථම විධායක ජනපතිනිය බවට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග ද සිය ඡන්ද පොරොන්දුවලින් එකක්
ලෙස ඉදිරිපත් කොට තිබුණේ පාන් ගෙඩියක් රුපියල් 3.50 දක්වා අඩු කරන බවය. ඒ වන විට
පාන් ගෙඩිය පැවැතියේ රුපියල් 5.50 කටය.
ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දුන්නේ 16 වැනි සියවසේ දී පෘතුගිසීන් විසින් යැයි පැවසෙන අතර ඔවුන් පාන් කමින්
වයින් පානය කරන ආකාරය අප රටේ ස්වදේශිකයන් වාර්තා කොට තිබුණේ යැයි සඳහන් වන්නේ, ‘තිරුවාණා ගල් අනුභව කරමින් ලේ බොන පිරිසක්’ වශයෙනි. දෙවැනි ලෝක යුද්ධය
සමයේ දී අප රටේ සහල් නිෂ්පාදනය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර කෙමෙන් පාන්
ජනප්‍රිය වන්නට පටන් ගැනුණි. පසුකාලයේ දී ‘දුප්පතාගේ හිතවතා’ බවට පාන් පත් විය.
කෙසේ නමුත් සාපේක්ෂව මෑත කාලයේ දී අප රටේ ජනතාව අතර පාන් පරිභෝජනය ඉතා ශීඝ්‍ර
ලෙසින් වර්ධනය වී ඇති බවට වාර්තාවලින් හෙළිව තිබේ. ‘චූන් පාන්’ ව්‍යාපාරය මේ
කෙරෙහි ඉතා ප්‍රබල ලෙස බලපා ඇති බව පෙනේ. කලකට පෙර පාන් ගෙඩියක් මිලදී ගැනීම සඳහා
බේකරියකට හෝ වෙළෙඳ සලකට යාමට සිදුවූව ද, චූන් පාන් වාහනය මගින් නිවස අසලටම පාන් ගෙනැවිත් දෙන්නට පටන් ගැනීමත් සමග
වෙනදා පාන් නොකෑ අය ද පාන් කන්නට පෙළඹුනු බව පැහැදිලිය. මේ චූන් පාන් හඬ ඇසෙද්දී
ඉබේම පාන් කෑමේ කැමැත්තක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. පාන් පරිභෝජනය මේ සා
වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර තරබාරු බව, දියවැඩියාව ආදී විවිධ රෝග ද බහුල වෙමින් පවතින බව වෛද්‍යවරු පෙන්වා දී
තිබේ.
පෝෂණය පිරි ආහාර සඳහා මාධ්‍යයක් ලෙස පාන් භාවිතය
පාන් යනු අප රටේ ප්‍රධාන ආහාරය යැයි
නිල වශයෙන් පිළිගැනුණේ නැති වුව ද, බටහිර රටවල්
බොහොමයක ප්‍රධාන ආහාරය වන්නේ පාන්ය. එම රටවල ද තරබාරු සිරුරුවලින් යුක්ත සහ
දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් ඕනෑතරම් දකින්නට සිටිය ද පාන් පරිභෝජනය නිසාම එවැනි
තත්ත්වයකට පත් වූයේ යැයි පැවසෙන්නේ නැත. එසේ නම් අප රටේ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට
හේතුවන මුත් පාන්වලින් බටහිර රටවල ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති නොකරන්නේ මන්ද යන
ගැටලුව නිතැතින්ම මතුවේ.
අප පරිප්පු හොද්දක්, අල හොද්දක් හෝ වෙනයම් වෑංජනයක් සමග පාන් භාගයක් හෝ ගෙඩියක් කෑමට ගත්ත ද
බටහිර ජාතිකයන්ගේ පාන් පරිභෝජනය එයට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය
පාන් වුව ද, ඔවුන් එය යොදා ගන්නේ වඩාත් පෝෂ්‍යදායී ආහාර රැසක් ශරීරයට ලබා දෙන්නා වූ
මාධ්‍යයක් වශයෙනි. ඔවුහු පාන් සමග එළවළු, පලතුරු, මස්, මාළු ආදී තවත් බොහෝ දේ ආහාරයට ගනිති. පාන් ප්‍රධාන ආහාරය වුවද, ඇතැම්විට ශරීරයට ලැබෙන්නේ පාන්වලින් ලැබෙන පෝෂණයට වඩා වෙනත් පෝෂක කොටස්ය.
ඊට අමතරව පාන් නිසා ඔවුන්ගේ සෞඛ්‍යය දුර්වල නොවන්නට තවත් හේතු ගණනාවක්ම බලපායි.
බටහිර රටවල පාන් පරිභෝජනය කරන විවිධ ආකාර
අප රටේ පාන් නිෂ්පාදනය සඳහා බහුල
වශයෙන් යොදා ගන්නේ සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ තිරිඟු පිටි වුව ද බටහිර රටවල
නිවුඩ්ඩ සහිත පාන්පිටිවලින් සාදන ලද පාන් මිල දී ගැනීමේ හැකියාව තිබේ. එය අප
නිවුඩ්ඩ සහිත සහල් පරිභෝජනය කරනවා හා සමානය. මේ පිටි, අධික සැකසුම් ක්‍රියාවලියකට බඳුන් වී නැති බැවින් තිරිඟු පිටිවල තිබිය
යුතු සියලු පෝෂක කොටස් එහි අඩංගුය. සීනි සාන්ද්‍රනය ද, අප රටේ මිලට ගන්නට ඇති පිටිවලට වඩා බෙහෙවින් අඩුය.
අනෙක බටහිර ජාතීන් අතර ව්‍යායාම
කිරීම ද අපට වඩා බෙහෙවින් දකින්නට ලැබේ. එබැවින් යම් ආහාරයකින් ලැබෙන කැලරි, මේදය ආදිය අවම කරගන්නට ඒවා උපකාරී වේ. අපේ රටේ බොහෝ දෙනෙක් අතර ව්‍යායාම
පුරුද්ද දකින්නට ලැබෙන්නේ නැත. දැඩි ලෙස පිරිපහදු කළ පිටිවලින් තනන ලද පාන් බහුල
වශයෙන් පරිභෝජනය කොට ව්‍යායාම නොකර සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ගැටලු ඇති වීම
කිසිසේත්ම වළක්වා ගත හැක්කක් නොවේ.
අනෙක බොහෝ බටහිර රටවල සිය නිවසේදීම
පාන් පිළියෙල කරගනු දකින්නට ලැබේ. එවිට ඒ සඳහා ගනු ලබන පිටි වර්ගය, එයට එක් කරනු ලබන ලුණු ප්‍රමාණය, එයට එක් කළ හැකි අතිරේක පෝෂක කොටස් ප්‍රමාණය තීරණය කරන්නට හැකියාව ඔවුන්ට
ලැබේ. එය සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ලබා ගැනීමට උපකාරී වේ.
අපේ රටේ ජනතාව පාන් පරිභෝජනය කරන
ආකාරය සහ පාන් ප්‍රධාන ආහාරයක් වූ බටහිර රටවල්වල ජනතාව පාන් පරිභෝජනය කරන ආකාරය
අතර ප්‍රධාන වෙනසක් පවතින බැව් ඔබට පැහැදිලි වන්නට ඇත. අප පාන් නිසා බොහෝ ලෙඩ
රෝගවලට ගොදුරු වන්නේත්,
බටහිර ජාතීන් එසේ නොවන්නේත් මන්දැයි
දැන් පැහැදිලිය. එබැවින් චූන් පාන් රථයෙන් අප දෙපා මුලටම පාන් රැගෙන ආවත් වඩාත්
කල්පනාකාරීව, සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වෙමින් පාන් පරිභෝජනය කළ හැකි නම් නීරෝගීවත්ව
සිටිමින් පාන් රස විඳගන්නට අප සියලු දෙනාටම හැකියාව ඇති බව සිහිකටයුතුය.
Friday, November 22, 2024
ඔබේ ලොක්කා ද ‘මුදුනා‘ වීමේ රෝගයෙන් පෙළෙන්නෙක්ද? - What kind of boss do you have?
විවිධ ආයතනවල
සේවය කරන බොහෝ දෙනෙක් නිතර නගන මැසිවිල්ලක් වන්නේ, “ලොක්ක එක්ක ඉහ ගහගෙන ඉන්න බෑ අප්පා. එපා
වෙනවා.” වැන්නකි. මෙයට හේතුව ආයතන ප්‍රධානියා සෑමවිටම ‘ලොක්කා’ හෝ ‘මුදුනා’ බවට
පත්වීමට ගන්නා උත්සාහයයි. එවැන්නන් බොහෝ විට සෙසු සේවකයන්ගේ අදහස් පයිසයකට හෝ
මායිම් කරන්නේ නැත. සාමාන්‍යයෙන් ආයතනයක ඉදිරි වැඩ සැලසුම් කරගැනීම සඳහා රැස්වීම්
පවත්වනු ලබයි. මෙහි අරමුණ වන්නේ සිදු කළ කාර්යයන්, අතපසු වූ කාර්යයන්, ඉදිරි සැලසුම් සහ නව
අදහස් ඉදිරිපත් කිරීම වැනි දේවල් සාකච්ඡා කිරීමය. නමුත් මේ ‘මුදුනා’ වන්නට වලිකන
ප්‍රධානීන් සිටින තැනක නම්, සෙසු සේවකයන්
ඉදිරිපත් කරන නව අදහස් හා යෝජනා කිසිදු සැලකිල්ලකට ගන්නේ නැත.
“ඕව කරන්න
පිස්සුද? . . . ඕව හරියන වැඩ
නෙවෙයි මනුස්සයෝ . . .මොනවද අයිසේ තමුසේ දන්නේ . . . ” වැනි දේ කියමින් මේවා
කුණුකූඩයට දමයි. මේ තත්ත්වය නිසා ඇතැම්
සේවකයන්ට සිය රැකියාව පවා එපාවන තැනකට පත් වන අතර ඇතැමුන් රැකියාව හැර දමා යන
අවස්ථාවන් ද දක්නට ලැබේ. එවැනි අවස්ථාවක දී සේවකයන්ට හැඟෙන්නේ තම අදහස් ආයතනයට
වැදගත් නොවන නිසා ප්‍රධානීන් එසේ හැසිරෙන බවකි. මෙවැනි ප්‍රධානීන් ආයතනවල මෙන්ම
දේශපාලන පක්ෂවල ද සිටිනු දැකිය හැකිය. කෙටියෙන් පවසතොත් ආයතන වැඩි ගණනක සිටිනේනේ
මෙවැනි ප්රධානීන්ය.
මෙවැනි
පුද්ගලයන් බිහිවීම පසුපස යම් යම් මානසික සාධක දකින්නට ලැබේ. මේ අතරින් එකක් මනෝ
විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ ‘මමංකාර උද්ධමනය’ (Ego Inflation) නමිනි. ‘මමත්ව
උද්ධමනය’ ලෙසින් ද මෙය හඳුන්වනු ලබයි. මෙහිදී සිදුවන්නේ යම් කිසි පුද්ගලයෙක් තමා
ගැන සිතා සිටින මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ නංවා ගැනීමය. මෙවැනි මානසික තත්ත්වයකින් පසු
වන පුද්ගලයා සිතන්නේ තමා තරම් බුද්ධිමත්, වැදගත්, හැකියාව ඇති වෙනත් කිසිවකු ආයතනයේ නොමැති
බවය. මෙවැනි ප්‍රධානියෙකු යටතේ අවංකව වැඩකටයුතු කරන යම් සේවකයෙක් සිටී නම්
එවැන්නෙකුට සේවය කිරීම දුෂ්කරය. තමා සේවය කරන ආයතනයේ දියුණුව වෙනුවෙන් තමා සතු
අදහස් ඉදිරිපත් කරන්නට හැකියාවක් නොමැති නම් එවැනි සේවකයෙක් නිතැතින්ම කලකිරීමට
පත් වෙයි.
මෙවැනි ආයතන
ප්‍රධානීන් නිසා සිය සාර්ථකත්වය ළඟා කර ගන්නා සේවක පිරිසක් ද සිටිති. මොවුන් අවංක
නැත. තමා සේවය කරන ආයතනය දියුණු වුව ද පරිහානියට පත් වුවද ඔවුන්ට ඒ පිළිබඳ වගක්
නැත. මොවුන් කරන්නේ මෙවැනි ‘මුදුනා’ වීමේ මානසිකත්වය ඇති ප්‍රධානීන් පවසන සෑම
අදහසක්ම,
“ඔව් සර් . .
. සර් කියන කතාව හරියට හරි. සර් කියන විදියට කළොත් තමයි මේක හරියන්නේ . . . සර්ට
තරම් අදහස් අපට එන්නේ නෑ නේ.“
ආදී
වශයෙන් පවසමින් ‘යර්ස් බොස්’ (Yes
Boss) න්‍යාය අනුගමනය
කිරීමය. එම න්‍යාය අනුගමනය කිරීමෙන් ආයතනයට කුමක් වුව ද තමාගේ සුඛ විහරණය සකසා
ගැනීම ඔවුන්ගේ සිරිතය. මුදුනාගේ අදහස් අනුමත කිරීම තුළින් මුදුනා තවත් ඉහළට නගින
අතර මුදුනාගේ ගුණ ගායනා කළ සේවකයාගේ රැකියාවේ තත්ත්වය ද උසස් වෙයි. මෙවැනි ප්‍රධානීන්ට
‘බටර් ගෑම’ තුළින් අදාළ සේවකයන්ට ආයතන තුළ සිය රැකියාවේ මහත් දියුණුවක් අත්පත් කර
ගත හැකි වේ. අනෙක එවැනි බටර් ගානා සේවකයන් අතින් සිදුවන වැරදි පවා ප්‍රධානියා
විසින් යටපත් කර දමයි. සාමාන්‍ය සේවකයෙක් විසින් සිදුකරන සුළු අත්වැරැද්දක්
මහමෙරක් සේ දකින මෙවැනි ප්‍රධානීන්, ආයතනයට ලක්ෂ ගණනින් පාඩු සිදුකරන තීරණ ගන්නා, ‘යර්ස් බොස්’ න්‍යාය
අනුගමනය කරන සේවකයන් පිළිබඳ වදනකුදු හෝ නොදොඩා සිටියි.
එමෙන්ම අවංක
සේවකයකු විසින් ඉදිරිපත් කොට ඉවත දමන අදහසක්, මෙවැනි ‘යර්ස් බොස්’ න්‍යාය අනුගමනය කරන
සේවකයකු විසින් ඉදිරිපත් කළ විට එය ක්‍රියාත්මක කිරීම ද මෙවැනි ප්‍රධානීන් අතින්
සිදුවේ.
මෙවැනි ප්‍රධානියකු
බිහිවන්නට බලපාන තවත් මානසික තත්ත්වයක් පවතින අතර එය ‘ආත්මරාගී පුද්ගල ආබාධය’ (Narcissistic
personality disorder) නමින් හඳුන්වනු ලබයි. මේ මානසික තත්ත්වයෙන්
යුක්ත පුද්ගලයන් ද හැසිරෙන්නේ යටකී මානසිකත්වයෙනි.
සාමාන්‍යයෙන්
නිවසක්, ආයතනයක් වැනි
තැනක සෙසු පුද්ගලයන්ගේ අදහස් විමසා ඒවාට ගරුකිරීම සිදු කළ යුතු දෙයකි. එක්තරා
ආයතනයක් රියැදුරකු වශයෙන සිටි පුද්ගලයකුගේ අදහස් ක්‍රියාත්මක කොට ආයතනයේ ආදායම්
කිහිප ගුණයකින් වැඩි කර ගත් අතර රියැදුරාට උසස්වීමක් ද ලබා දෙන්නට ද කළමනාකාරීත්වය
කටයුතු කළේය. එවැන්නක් සිදුවූයේ එතැන ‘මුදුනා’ වෙමින් අන් අයගේ අදහස් කුණු කූඩයට
දමන ප්‍රධානියකු නොසිටීමය. මුදුනා වීමේ ගති ලක්ෂණ සහිත ගෘහ මූලිකයන් සිටින නිවෙස්
ද ඕනෑ තරම් දැකිය හැකිය. මෙවැනි තත්ත්වයක අවසන් ප්‍රතිඵලය වන්නේ එකී ආයතනය හෝ නිවස
දියුණුවීම බාධා වීම හෝ ප්‍රමාද වීමය. යම් ආයතනයක මෙවැනි ප්‍රධානියකු සිටී නම්
සේවකයන්ට ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක්ද නැත. එක්කෝ සේවකයන් ‘යර්ස් බොස්’ කියමින්
නිහඬව සිටිය යුතුය. නැතහොත් රැකියාව අතහැර යායුතුය.
Wednesday, November 6, 2024
අපට හරියන ආර්ථික ක්‍රමය කුමක්ද? - What is the right economic system for us?
තව ලිබරල්වාදය ලොවට හඳුන්වා දෙන්නට මුල් තැන ගත්තේ රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර් වැනි නායකයින්ය. |
අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට වැඩ කටයුතු කෙරීගෙන යන බව කවුරුත් දන්නා කාරණයකි. එයින් කුමන පක්ෂය පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගත්ත ද රටක් වශයෙන් අප මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය තිරසාර උපක්‍රම හා සැලසුම් සකස් කිරීම ය. පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට යම්කිසි ආකාරයක සහනශීලී තත්ත්වයක රට තුළ පවතී. පසුගිය කාලයේ විදුලි බලය, ගෑස්, ඉන්ධන, ආහාරපාන වැනි ජනතාවගේ මූලික අවශ්‍යතාවන් පවා ඉටු කර ගැනීමට නොහැකිව තිබූ ආකාරය සියලු දෙනාටම මතක ය. රට පුරා පෝලිම් පැවති අතර අරගලයක් පැන නැගී හිටපු ජනපතිවරයාට ද සිය බලය අතහරින තැනට පත් වූයේ මේවායේ හිඟකම නිසා ය. පසුව එයට දේශපාලන මුහුණුවරක් ලබා දීමට උත්සාහ ගත්ත ද ජන අරගලය මුලින්ම පැන නැංගේ ජනතාව අතරින් මිසක දේශපාලන බලපෑමක් නිසා නොවේ. සැබෑ කතාව නම් දේශපාලන පක්ෂ පසුව ඊට එක් වීම පමණි. කෙසේ හෝ මේ වන විට යම් ස්ථාවර තත්ත්වයක පවතින ආර්ථිකය මේ ආකාරයට ඉදිරියට පවත්වාගෙන යනවාද, යනවා නම් ඒ කෙසේද සහ මෙවැනි ආර්ථික ක්‍රමයක් අප රටට ගැලපෙනවාද වැනි ගැටලු මතු වෙයි.
අතීතයේ
මිනිසුන් ඡන්දය භාවිත කළේ තමාට ලැබෙන ප්රතිලාභ මොනවද යන්න මත පදනම්ව ය. නමුත්
වර්තමාන සමාජය මෙන්ම ඡන්ද දායකයා ද අතීතයට වඩා දියුණු ය. ආර්ථික සහ දේශපාලන
සාක්ෂරතාවය ඇති බහුතරයක් කල්පනා කරන්නේ තම ඡන්දයෙන් සමාජයීය වශයෙන් ලැබෙන්නේ
කුමනාකාර ප්රතිලාභ ද යන්න ය. එමෙන්ම විවිධ මාර්ගයන්ගෙන් ලබා ගන්නා දේශපාලන දැනුම
මත පදනම්ව දැනට පවතින දේශපාලන ක්‍රමය සහ අප රටට වඩාත් යෝග්‍ය කුමනාකාර දේශපාලන ක්‍රමයක් ද යන්න පිළිබඳවත් වැටහීමක් බොහෝ දෙනෙකුට තිබේ.
කලකට පෙර
මිනිසාගේ පරම විමුක්තිය ලබා දෙන දේශපාලන ක්‍රමය ලෙස පිළිගැනීමට ලක්වූයේ
සමාජවාදයයි. නමුත් සමාජවාදය යන්න මේ වන විට යල් පැන ගොස් ඇති, ප්‍රායෝගික නොවන
දේශපාලන ක්‍රමයක් බවට පත්ව තිබේ. අද ලෝකයේ බොහෝ රටවල පවතින්නේ නව ලිබරල්වාදය (Neoliberalism)
ආර්ථික ප්රතිපත්තියයි. ඒ
බව අප රටේ සමාජවාදී පක්ෂ ප්‍රධානීන් ද නිල ලෙස පිළිගෙන තිබේ.
නව ලිබරල්වාදය
යනු නිදහස් වෙළඳ පොළ, ධනවාදය පවතින පෞද්ගලීකරණය සහ ආර්ථික කටයුතුවලදී රාජ්‍යය ඉතා අවම භුමිකාවක් දරන්නා වූ දේශපාලන හා
ආර්ථික දෘෂ්ටිවාදයකි. එය 20 වැනි සියවසේ
අග භාගයේදී, විශේෂයෙන්ම 1980 ගණන්වලදී, එක්සත් ජනපදයේ රොනල්ඩ්
රේගන් සහ එක්සත් රාජධානියේ මාග්‍රට් තැචර් වැනි දේශපාලන චරිතවල නායකත්වය යටතේ ඇති
වූ ආර්ථික දෘෂ්ටිවාදයක් ලෙස සැලකේ.
ආර්ථිකය තුළ
අවම රාජ්‍ය මැදිහත් වීමක් සහිත නිදහස් වෙළෙඳ පොල, ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලට බාධාවක් ලෙස
පවතින විවිධ නියාමනයන් ඉවත් කිරීම, රජයේ ව්‍යවසායකත්වය අවම කොට පුද්ගලික ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය
කිරීම, අධ්‍යාපනය,
සෞඛ්‍යය වැනි සුබසාධන
කටයුතු සඳහා රාජ්‍ය වියදම් අවම කිරීම, ව්‍යාපාර සහ ඉහළ ආදායම් ලබන්නවුන් මත වූ බදු කප්පාදු
කිරීම, සීමා මායිම් නොමැතිව ප්රාග්ධනය ගලා යන
ආකාරයේ ගෝලීයකරණයක් ඇති කිරීම ආදී ලක්ෂණ නව ලිබරල්වාදය තුළින් දැකිය හැකිය.
නව ලිබරල්වාදය ලෝකයට අහිතකර බව පෙන්වන කාටූනයක් |
ඉහත
කාරණාවලින් පැහැදිලි වන පරිදි මේ නව ලිබරල්වාදය පිළිබඳ ලෝකයේ වැඩි විවේචන පවතින බව
ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ තුළ සුබසාධනය, සහනාධාර ආදී කාරණාවලට ඉඩක් නොමැත. කෙසේ
නමුත් නව ලිබරල්වාදය යනු ධනවාදය, සමාජවාදය මෙන් යම් ආර්ථික විද්‍යාඥයෙක්, සමාජ විද්‍යාඥයෙක් හෝ
කණ්ඩායමක් විසින් ගොඩනගන ලද න්‍යායක් නොව ඉබේ ගොඩනැගුනකි. අප රටේ ද යම් ආර්ථික ප්‍රතිලාභයක්
සිදුව ඇත්නම් එය පසුපස ඇත්තේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති බව පැහැදිලිය. නව
ලිබරල්වාදය පිළිබඳ ඉහතින් සඳහන් කොට ඇති විස්තරයට අනුව මේ තුළ රාජ්‍ය ව්‍යවසායකත්වයට
ඇති ඉඩ ඉතා අවමය. ඒ තුළ ඇත්තේ ලාබ ඉපයීමේ අරමුණ ඇති පෞද්ගලික ව්‍යවසායකත්වය පමණි.
නව ලිබරල්වාදය
ආර්ථික වර්ධනය හා කාර්යක්ෂමතාවය මෙහෙයවීම සඳහා ඉවහල් වන ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස
ඵලදායී වුවත් එහි සෘණාත්මක බලපෑම් ද කිහිපයක් ඇති අතර එය තිරසාර සමාජයක යහපැවැත්ම
කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල කරයි.
සුඛ පරමවාදය (Hedonism) පෙන්වන සිතුවමක් |
සුළු පිරිසක් අතර පමණක් ධනය සංකේන්ද්‍රණය වීම නිසා ඇතිවන විෂම ආදායම් තත්ත්වය, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධක කටයුතු මත යොදවන රාජ්‍ය සේවාවන් අවම කිරීම නිසා ඒවා මත යැපෙන දිළිඳු ජනතාව අවදානමකට පත්වීම, ශ්‍රම වෙළෙඳපොලේ නියාමනයන් ඉවත්කිරීම සහ වෘත්තීය සමිතිවල බලය අවම කිරීම නිසා රැකියා සුරක්ෂිතතාව අඩු වී ශ්‍රම සූරෑකෑමක් ඇති වීම, ලාබය පමණක් අරමුණු කරගෙන ඇති බැවින් ස්වාභාවික සම්පත් සූරාකෑමෙන් ඇති වන පරිසර හානිය, ප්‍රජාවන් අතර බෙදීම් ඇති වී සාමූහික සමාජ අරමුණු පිළිබඳ හැඟීම තුරන්ව යාම, මූල්‍ය අර්බුද, ධනේෂ්වර ප්‍රභූන් පිරිසක් අතර පමණක් බලය කේන්ද්‍රගතවීම නිසා ප්රජාතන්ත්රවාදය හෑල්ලුවට ලක්වීම වැනි ඍණාත්මක ලක්ෂණ නව ලිබරල්වාදය තුළ දැකිය හැකිය.
එමිල් ඩර්ක්හෙයිම් |
මේ කාරණය නිසා නව ලිබරල්වාදය ඔස්සේ අපට රටක් ලෙස කෙතරම් දුරක් ගමන් කළ හැකි ද යන ගැටලුව නිතැතින්ම පැන නැගේ. නව ලිබරල්වාදයේ අවසානයේ ‘සුඛ පරමවාදී' (Hedonism) තත්ත්වයක් ඇති වෙයි. සුඛ පරමවාදය යනු ජීවිතයේ ඉහළතම අභිප්‍රේරණය වන්නේ සතුට බවය. මෙය කෙළවර වන්නේ ඇනෝමීය සමාජය' (anomic society) යන තත්ත්වයෙනි. එයින් අදහස් වන්නේ සාර්ධර්ම පිරිහුණු සමාජයක් යන්නය. ප්‍රංශ සමාජ විද්‍යාඥ එමිල් ඩර්ක් හෙයිම් විසින් සිය The Division of Labor in Society (1893) කෘතියෙන් ‘ඇනෝමි' යන සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. මේ කාරණාවලින් පැහැදිලි වන්නේ නව ලිබරල්වාදය සහ එයින් ලැබෙන අවසන් ප්‍රතිඵලවලට අනුව මෙය තිරසාර ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැක්කක් නොවන බවය. මේ නිසා අප යොමු විය යුත්තේ ‘සමාජ ප්රජාතන්ත්රවාදය' (Social democracy) වෙතය.
සාරධර්ම බිඳ වැටුණු ඇනෝමීය සමාජය |
සමාජ ප්රජාතන්ත්රවාදය යනු සමාජ සාධාරණත්වය සහ ආර්ථික සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍යයට ප්‍රබල භුමිකාවක් සමඟ ඒකාබද්ධ වූ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන, සමාජීය සහ ආර්ථික දෘෂ්ටිවාදයකි. එය ප්රජාතන්ත්රවාදී මාධ්‍යයන් හරහා සාධාරණ සමාජයක් බිහි කිරීමේ අරමුණින් සමාජ සුබ සාධනය සහ පොදු සේවාවන්හි අවශ්‍යතාවය සමඟ ධනවාදයේ මූලධර්ම තුලනය කිරීමට උත්සාහ කරයි.
සමාජ ප්රජාතන්ත්රවාදය
පදනම් වී ඇත්තේ රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාවට අවබෝධයක් තිබිය යුතු බවත්,
අගහිඟකම් ඇති
මිනිසුන්ට උපකාර කිරීම සඳහා ධනේශ්වර ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් යන අදහස
මතය.
කෙසේ නමුත් අප රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අපට එකවර මේ ක්‍රමයට අනුගත වීමේ හැකියාවක් නැත. ඒ සඳහා අප රට ආර්ථික වශයෙන් තවත් ශක්තිමත් තැනකට පැමිණිය යුතුය. ලෝකයේ දැනට පිළිගෙන ඇති පරිදි පවතින හොඳම ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ සමාජ ප්රජාතන්ත්රවාදයයි. අද ලෝකයේ හොඳම සමාජ ක්‍රම පවතින බවට විශ්වාස කෙරෙන ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මක වන්නේ මෙයයි. අප රට නව ලිබරල්වාදය ඔස්සේ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණි පසු සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා පදනම සකස් කර ගත හැකිය. නව ලිබරල්වාදය යනු වාහනයක එංජිමක ජවය නම්, සමාජ ප්රජාතන්ත්රවාදය යනු එහි මාර්ග නීති පද්ධතිය ලෙස හැඳින්විය හැකිය. නව ලිබරල්වාදයෙන් ඇති විය හැකි අයහපත් ප්‍රතිඵල පිළිබඳ දැනුවත් බැවින් ඒ ක්‍රමය මනා කළමනාකාරිත්වයකින් යුක්තව ඉදිරියට පවත්වාගෙන ගොස් පසුව සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් සඳහා යොමුවීමට සැලසුම් සකස් කරගැනීම අප රටට අනුගමනය කළ හැකි හොදම පියවර බව සඳහන් කළ හැකිය.
Monday, September 23, 2024
ජාතික ජන බලවේගය, අනුර කුමාර සහ ජාත්‍යන්තර මාධ්‍ය - NPP, Anura Kumara and International Media
ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස සමගි
බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුුර කුමාර දිසානායක පත් වී තිබේ. ජාතඨන්තර මාධ්‍ය මේ පිළිබඳ හඳුන්වා දී
තිබුණේ මෙය දූෂිත දේශපාලන සංස්කෘතිය අභිබවා ලබා ගත් ‘ජනතා ජයග්‍රහණයක්’ ලෙසිනි. ආර්ථික
අවභාවිතාව, ඥාති සංග්‍රහය සහ මානව හිමිකම්
කඩකිරීම් පිළිබඳ චෝදනාවලින් ධූරකාලය විනාශ වූ සම්ප්‍රදායික පාලක පවුල්, විශේෂයෙන් රාජපක්ෂවරුන් කෙරෙහි ජනතා කලකිරීම,
ජාතික ජන බලවේගයේ නායකයා ජනපති තනතුර දක්වා
ගමන් කිරීම සඳහා යොදා ගත් ආකාරය බොහෝ මාධ්‍යයන් ඉස්මතු කර තිබිණි. බොහෝ පුවත්වල පොදු කාරණයක් ලෙස දක්වා තිබුණේ මෙය ශ්‍රී
ලංකාව තුළ නායකත්වයේ සිදු වූ දැවැන්ත වෙනසක්ය යන කාරණයයි. විශේෂයෙන් දශක ගණනාවක්
තිස්සේ රාජපක්ෂ පාලනයට නතුව තිබුණු ‘ජනපති’ යන තනතුර මෙවර වෙනසකට ලක් වූ බව
විශේෂයෙන් සඳහන් කොට තිබිණි.
ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් අනුර
කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ අනාගතය පිළිබඳව මිශ්‍ර
ඉදිරිදර්ශන දරයි. ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ශුභවාදී සහ ප්‍රවේශම් සහගත බව පිළිබිඹු
කරයි.
වසර ගණනාවක ආර්ථික අවභාවිතයෙන් පසු
ඡන්දදායකයින් නැවුම් නායකත්වයක් අපේක්ෂා කළ බැවින් දිසානායකගේ ජයග්‍රහණය තුළින්
පිළිබිඹු වන්නේ සාම්ප්‍රදායික ජනතා ආරක්ෂකයා (දියසෙන් කුමාරයා, අප්පච්චි, රජුු
වැනි) යන සංකල්පය ප්‍රතික්ෂේප වීමකි. ජනතා කැමැත්තෙන් පත් වූ අවසන් ජනපතිවරයා වූ ගෝටාභය
රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මුල් වූ ජන අරගලවලින් ආරම්භ වූ රැල්ල දිසානායකගේ ජයග්‍රහණය
දක්වා මග විවර කළ බව පෙනෙන්නට තිබේ.
කෙසේ නමුත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් දිසානායකගේ මාක්ස්වාදී පසුබිම සහ එය ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථිකය කෙරෙහි කෙසේ බලපානු ඇති ද යන්න පිළිබඳ කනස්සල්ලෙන් පසුවන බව පෙනෙන්නට තිබේ. ජෙහාන් පෙරේරා වැනි විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ඔහුගේ විප්ලවීය පරමාදර්ශයන් ව්‍යාපාරික අංශ සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර, විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම සම්බන්ධයෙන් කනස්සල්ලක් ඇති කළ හැකි බවයි.
මෙය බොහෝවිට සාම්ප්‍රදායිික වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය දැකීම නිසා ඇති වූ වැරදි චිත්‍රයක් විය හැකිය. ජාතික ජන බලවේගයේ දැක්ම හුදෙක් සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයක් ඉක්මවා යාමක් බව ඔප්පු කර පෙන්වීම අවශ්‍ය බව පෙනේ. ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැක්කේ එවැනි ප්‍රවේශයකින් පමණි.
ණය ප්‍රතිව්‍යුහගත
කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමග සාකච්ඡා පවත්වන බව දිසානායක යම් අදහසක් පළ කර තිබේ. ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ
දිසානායක පාලනය කෙරෙහි විශ්වාසයක් ඇති වන තුරු එයින් අරමුදල් නිකුත් කිරීම ප්‍රමාද
කිරීමක් සිදු විය හැකි බව නමුත්, නව ජනපතිවරයා ඒ සම්බන්ධව ගන්නා ප්‍රවේශය මත මෙය වෙනස්
විය හැකි බවය.
අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය
තුළින් ජාත්‍යන්තර ප්‍රජාවට ලැබෙන්නේ කුමනකාර පණිවිඩයක් ද යන්න පිළිබඳ බීබීසී
පුවත් සේවය සිය අවධානය යොමු කරන බව පෙනේ. ඔවුන් සඳහන් කරන්නේ මෙය දකුණු ආසියානු
දේශපාලනය තුළ සිදු වූ කැපී පෙනෙන වාමාංශික බල විතැන්වීමක් බවය. ඔවුන් සඳහන් කරන්නේ
දිසානායකගේ ජයග්‍රහණය වූ කලී ජනප්‍රියවාදී, වාමාංශික නායකයන් කෙරෙහි ලෝකයේ විවිධ රටවල් තුළ වර්ධනය වෙමින් පවතින
ආකර්ෂණීය ප්‍රවණතාවක් බවය. බීබීසී පුවත් සේවය සිය විශ්ලේෂණය තුළින් දිසානායකගේ
ඉස්මතු වීම ලතින් ඇමරිකාවේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රගතිශීලී නායකයින්ගේ නැගීම සමඟ
සංසන්දනය කිරීමක් දක්නට හැකිය. මෙය විෂම ආර්ථික තත්ත්වයන්ට ආමන්ත්‍රණය කිරීමට
අපොහොසත් වූ නව ලිබරල් ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර වශයෙන් වාමාංශික ව්‍යාපාරවල ගෝලීය
නැගී සිටීමක් ලෙස සනිටුහන් කළ හැකි බව ද දක්වා තිබේ.
දිසානායක සිදු කරන්නට බලාපොරොත්තු වන
දේශපාලන ප්‍රතිසංස්කරණ දෙස ද ජාත්‍යන්තර මාධ්‍ය සිය අවධානය දැඩිව යොමු කරගෙන සිටින
බව පෙනෙන්නට තිබේ. දූෂණයට එරෙහිව කටයුතු කිරීම, ආර්ථිකය යළි ගොඩනැගීම සහ දුක් විඳින ජනතාවට සහන සැලසීම පිළිබඳ ඔහුගේ
පොරොන්දු පිළිබඳ ද විශේෂ අවධානයකින් පසුවන බව පෙනේ. ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක්
ඔහුගේ ජයග්‍රහණය දකින්නේ තරුණ ඡන්දදායකයින් බොහොමයක් අනුර කුමාර දිසානායක වෙනුවෙන්
සිය ඡන්දය භාවිත කරන්නට හේතුව තමන් අපේක්ෂා කරන ලෝකය ඔහු විසින් ගොඩනගනු ඇති බවට
විශ්වාසයක් පැවති නිසා බවය. ඔහු විසින් සෑමවිටම සඳහන් කරන ලද සමාජ සාධාරණත්වය සහිත
පාලනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වනු ඇති ද යන්න පිළිබඳවත් ජාත්‍යන්තර මාධ්‍ය සිය
ඇස යොමු කරගෙන සිටියි.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය ද අවධාරණය කරන්නේ දිසානායක බලයට පත්වීමත් සමඟ ඇති වන
අවිනිශ්චිතතාවයයි. ඔහුට පාලන අත්දැකීම් නොමැතිකම, බංකොලොත් ආර්ථිකයක් සමඟ ගනුදෙනු කිරීමේ අභියෝග සහ සංකීර්ණ ජාත්‍යන්තර
සබඳතා කළමනාකාරයේ දී ඇති පීඩනය ඔහු ජයගත යුතු බාධක බව සඳහන් කරයි. ජනතාවාදී විපක්ෂ
නායකයෙකුගේ සිට ප්‍රායෝගික සහ දක්ෂ රාජ්‍ය නායකයෙකු දක්වා ඔහු කෙතරම් ඵලදායි ලෙස
සංක්‍රමණය විය හැකිද යන්න මත ඔහුගේ ජනාධිපති ධූරය අර්ථදැක්වෙනු ඇති බව අපේක්ෂා
කෙරේ.
Saturday, September 14, 2024
කෘෘර ලෙස ඝාතනය වූ සුනඛයකු වෙනුවෙන් මොස්කව්හි ඉදි කළ ස්මාරකය - The Malchik Monument in Moscow Metro
ඇල්ල පාර (රාජධානි පිවිසුම් මාර්ගය) ඔස්සේ ගල්ගමුව පසු කොට අනුරාධපුරය දෙසට යන ඔබට එහි පූලංචිය වැවට මායිම් ව පිහිටි ගිමන් හල පරිසර උද්‍යානය තුළ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය දැක ගත හැක. මේ නගරය හරහා ගමන් කරන බොහෝ පිරිසක ගේ එක් සංචාරක ස්ථානයක් බවට ද මෙය පත් වෙමින් පවතී. මේ ස්මාරකයෙන් ප්‍රධාන වශයෙන් ම සංකේතවත් වන්නේ 2010 වසරේ නො මනා මානව ක්‍රියාකාරකම් නිසා මරණයට පත් වූ ‘සියඹලංගමුවේ ඇතා’ සහ 2018 වසරේ ඝාතනයට ලක් වූ ‘දළ පූට්ටුවා’ නම් හස්තීන් දෙදෙනාගේ සජීවී රූපකායන් ය. මේ දෙදෙනා ම ගල්ගමුව ආශ්‍රිතව ජීවත් වූ හස්තීන් ය. මේ ආකාරයට මිනිසුන් අතින් කෲර ලෙස ඝාතනයට ලත් වූ සතුන් වෙනුවෙන් ස්මාරක තැනීමේ ඇති ප්‍රයෝජනය කුමක් දැයි ඇතැම් විට යම් කෙනෙකුට සිතෙන්නට හැකි ය. කෙසේ නමුත්, දැන් අප පවසන්නට සැරසෙන ‘මැල්චික්’ නම් සුනඛයාගේ කතාව ඇසූ පසු මිනිසුන් අතින් සැහැසි ලෙස මරණයට පත් ව ස්මාරක තැනුණු ලොව ප්‍රථම හා එකම අවස්ථාව මෙය නොවන බව ඔබ තේරුම් ගනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය |
රුසියානු බසින් ‘කුඩා කොලුවා’ යන අරුතැති ‘මැල්චික්’ කිසිදු හිමිිකරුවෙක් නොමැති අයාලේ යමින් ජීවත් වූ වීදි සුනඛයෙක් විය. වසර තුනක පමණ කාලයක් තිස්සේ ඌ ජීවත් වූයේ රුසියාවේ අගනුවර වූ මොස්කව් හි උප දුම්රිය පොලක් වූ මෙන්ඩෙලෙයෙව්ස්කායා ආශ්‍රිත ප්‍රදේශයේ ය. මැල්චික් දුම්රිය සේවකයන්ගේ, දුම්රිය පොළට නිතර පැමිණෙන්නන්ගේ සහ අවට වූ මල්, දුම්කොල වෙළෙඳ සැල්වල හිමිකරුවන්ගේ සුරතලයට ලක් වෙමින් ඇති දැඩි විය. ඔවුන්ගේ කරුණාවෙන් ලද කෑම බීමවලින් මැල්චික් සුවසේ ජීවත් වූයේ ය. දුම්රිය පොළට පැමිණෙන සුරාසොඬුන්ට සහ පිටස්තර සුනඛයන්ට මැල්චික් කැමැත්තක් දැක්වූයේ නැත.
කාලය මෙසේ ගෙවී ගියේය. 2001 දෙසැම්බර් මාසයේ මැල්චික්ගේ ජීවිතයට එක් අඳූරු
දවසක් උදා කළේ ය. එදින 22 හැවිරිදි තරුණියක වූ යුලියානා රොමනෝවා
සිය ස්ටැෆඩ්ෂයර් බුල් ටෙරියර් වර්ගයට අයත් සුරතල් සුනඛයා ද කැටිව මේ දුම්රිය පොළ අසලින්
ගමන් කරමින් සිටියා ය. මේ අවස්ථාවේ දී රොමනෝවා තම සුනඛයා, නිදා සිටි මැල්චික් දෙසට උසිගැන්වූවා ය.
උසිගැන්වූවාට පසු මැල්චික් කරා දිව ආ රොමනෝවා තම අත් බෑගයේ දමා ගෙන සිටි පිහියක්
අතට ගෙන මැල්චික්ගේ කොන්දට, පපුවට සහ බඩට සය වතාවක් ඇන්නා ය.
මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය පොළ
මේ අවස්ථාවේ දී අසල වෙළෙඳ සැලක හිමිකරුවෙක් මේ අමානුෂික සිදුවීම දැන එය නතර කරන්නට දිව ආවත් ඒ වන විටත් සියල්ල සිදු වී අවසන් ව තිබිණි. මැල්චික්ගේ අවසන් හුස්ම පොද මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය පළ පසු කොට හිස් අවකාශයට එක් ව තිබිණි. පොලිසිය සහ ගිලන් රථයක් පැමිණිය ද එයින් පලක් වූයේ නැත. අනෙක පොලිසිය මේ කෲර ඝාතනය කළ තරුණියට විරුද්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. ඇය නිරුපද්‍රිත ව එතැනින් නික්ම ගොස් තිබිණි. කිසිවකුට හෝ කරදරයක් හිරිහැරයක් නොමැතිව, සියලු දෙනාගේ ආදරය කරුණාව මැද ජීවත් වූ මැල්චික් මෙසේ කෲර ලෙස ඝාතනයට ලක් වූයේ මන්දැයි සොයා බැලීම සඳහා විධිමත් පොලිස් පරීක්ෂණයක් හෝ සිදු කෙරුණේ නැත.
කාත් කවුරුත් නොමැති අසරණ මැල්චික්ගේ
මේ අවාසනාවන්ත ඉරණම බොහෝ දෙනෙකුගේ මතකයෙන් සෙමින් වියැකී ගියත්, මොස්කව් හි ප්‍රකට පුවත්පතක් වූ ‘ඉස්වෙස්ටියා’
හි ගවේෂණාත්මක් වාර්තාකාරිනියක වූ ඉරිනා ඔසියොර්නායා මෙය සිය මතකයෙන් බැහැර කරන්නට
කැමැති වූයේ නැත. මැල්චික් මෙතරම් කෲර ලෙස ඝාතනයට ලක් වූයේ මන්දැයි සොයන්නට ඇගේ
සිත ඇයට බල කර සිටියේ ය. ඇය මැල්චික් පිළිබඳ සිය පුවත්පතට ලිපි මාලාවක් සම්පාදනය
කරන්නට පටන් ගත්තා ය. ඒ අතරේ මැල්චික්ව ඝාතනය කළ රොමනෝවා යනු තරුණ මෝස්තර නිරූපණ ශිල්පිනියක
බව ද සොයා ගත්තා ය.
මැල්චික්
සුනඛ ස්මාරකය
ඔසියොර්නායා කෙසේ හෝ රොමනෝවා සම්බන්ධ කරගන්නට ද සමත් වූවා ය. රොමනෝවා ඒ අවස්ථාවේ පැවසූ දෙය ඔසියොර්නායා මෙසේ වාර්තා කොට තිබිණි.
“දැන් මේ කිසි දෙයකින් වැඩක් නැහැ. මට
කියන්න තියෙන එකම දේ දැන් මම මේ ගැන පසුතැවෙනවා කියන එක විතරයි. කොහොම වුනත් තව
සතියකින් මම රැකියාවකට ස්පාඤ්ඤයට යනවා. මම හිතන්නේ මට මේ හැමදෙයක්ම අමතක කරන්න
පුළුවන් වෙයි. අඩුම තරමේ ඔහේ මගෙ පස්සෙන් පන්නන එකවත් නතරවෙයිනේ එතකොට.”
මේ පිළිබඳ තවදුරටත් කළ විමර්ශනවලින්
සොයාගන්නට ලැබුණේ රොමනෝවා සය හැවිරිදි
වියේ සිට ‘භින්නෝන්මාදය’ (schizophrenia) නම් මානසික රෝගී තත්ත්වයෙන් පීඩා විඳීමින්
සිටි බව ය. ඇයට හෝ ඇගේ පවුලට අයත් ව සිටි සුනඛයන් බොහෝ දෙනෙකුට ඇය හිංසා පීඩා හෝ
ඝාතන හෝ සිදු කොට ඇති බවත් සොයා ගන්නට හැකි විය.
ඔසියොර්නායා මේ කෲර ඝාතනයේ සියලු
තොරතුරු සිය පුවත්පත ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර මෙයට වෙනත් පුවත්පත් සහ
අනෙකුත් මාධ්‍යවලින් ද පුළුල් ප්‍රචාරයක් ලැබීම විශේෂත්වයක් විය. මෙය දැන ගත්
මොස්කව් නගර වැසියෝ මැල්චික් පිළිබඳ මහත් සංවේගයට පත් වූවා පමණක් නොව කෝපයට ද පත්
වූහ. මේ පිළිබඳ නගර වැසියන් සමග වසරක පමණ කාලයක් තිස්සේ උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කළ
ඔසියොර්නායා, මේ ඝාතනය සිදු කළ රොමනෝවා අධිකරණය
දක්වා රැගෙන එන්නට සමත් වූවා ය. රොමනෝවා අධිකරණය ඉදිරියේ වරදකාරියක බව තහවුරු වූ
අතර ඇය වසරක කාලයක් මනෝචිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු කරන්නට අධිකරණය නියෝග කළේය.
එයින් පසුව රොමනෝවාට කුමක් සිදු වූයේ දැයි කිසිවකු දන්නේ නැත.
මැල්චික්
සුනඛ ස්මාරකය
මැල්චික්ට ගෞරවයක් පිණිසත්, මොස්කව් හි සිටින දහස් ගණනක් වූ අයාලේ යන වීදි සුනඛයන්ගේ ඉරණම සිහිපත් කරනු පිණිසත් ස්මාරකයක් ගොඩනැගීමේ සැලැස්මක් මෙයින් පසුව ක්‍රියාත්මක විය. මේ සඳහා අරමුදලක් පිහිටුවූ අතර එයට රුසියාව තුළින් මෙන්ම වෙනත් රටවලින් ද පරිත්‍යාග ගලා එන්නට විය. රුසියාවේ ප්‍රකට කලාකරුවෝ ද මේ සඳහා නො මසුරු දායකත්වයක් ලබා දුන්හ. රුසියානු මූර්ති ශිල්පීන් කණ්ඩායමක් මැල්චික් වෙනුවෙන් ස්මාරකය ගොඩනගන්නට පටන් ගත්හ.
මේ ලෝකඩ ස්මාරකය ‘දයාව’ (Compassion) ලෙස නම් තැබුණු අතර මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය පොළ ආශ්‍රිතව
මැල්චික් ඝාතනයට ලක් වූ ස්ථානයේ ම එය ඉදි කරනු ලැබිණි. එය 2007 පෙබරවාරි 17 වැනිදා නිරාවරණය කරනු ලැබිණි. මේ උත්සවය සඳහා රුසියාවේ ප්‍රකට
කලාකරුවන් රැසක් සහභාගී වූහ. ස්මාරකය පාමුල රුසියානු බසින් මෙවැනි වැකියක් සටහන්
කොට තිබිණි.
“මේ දයාවේ ස්මාරකය නිවෙස් අහිමි සුනඛයන්
සහ මිනිසුන් අතර වූ සබැඳියාවට උපහාරයක් වේවා.”
එදා සිට අද දක්වා මේ දයාවේ ස්මාරකය
දුම්රිය සේවකයන්, දුම්රිය පොළට පැමිණෙන්නන්, සුනඛයන්ට ආදරය කරන්නන් ආදී සියලු දෙනාගේ ගෞරවය
සහ ආදරය දිනා ගත් ස්ථානයක් බවට පත්ව තිබේ. මොස්කව් නගරය කරා පැමිණෙන බොහෝ සංචාරකයෝ
මෙය නරඹන්නට අමතක නො කරති. බොහෝ දෙනෙක් ස්මාරකය පාමුල මල් තබා යනු දකින්නට ලැබේ.
ලෝකඩ ස්මාරකයක් බවට පත් වූ මැල්චික්ගේ හිස අත ගා යන්නට බොහෝ දෙනෙක් අමතක කරන්නේ
නැත. මැල්චික්ගේ නැහැය ස්පර්ශ කිරීම වාසනාව ගෙන දෙන්නක් බවට විශ්වාසයක් ද පැතිර
තිබේ. 2019 වසරේ රුසියානු තැපැල් දෙපාර්තමේන්තුව
මැල්චික්ට උපහාර පිණිස මේ ලෝකඩ ස්මාරකයේ ඡායාරූපයක් ඇතුළත් කොට මුද්දරයක් ද නිකුත්
කරනු ලැබිණි.
1.
මැල්චික් සුනඛයාට උපහාර පිණිස නිකුත්
කළ මුද්දරය
සතුන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම පිළිබඳ සෙසු ලෝකයා දරන ආකල්පය එසේය. මීට අමතරව වෙනත් බොහෝ කාරණා හේතු කොට ගෙන සතුන් වෙනුවෙන් ලෝකයේ තවත් බොහෝ ස්ථානවල ස්මාරක ඉදි වී තිබේ. කෙසේ නමුත් සතුන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම සම්බන්ධව ඇතැමුන් තුළ කුකුසක් පහළ වන්නේ අප රට තුළ සතුන් කෙරෙහි සැබෑ දයානුකම්පාවක් දකින්නට නො ලැබීම නිසා ද යන ගැටලුව මතු වේ. කෙසේ නමුත් දියුණු මානවීය ලක්ෂණ සහිත සමාජයක මෙවැනි ක්‍රියාකාරකම් ඉස්මතු වීම නිරායාසයෙන් ම සිදු වේ. බුදු දහම වැනි අවිහිංසාව, දයාව, කරුණාව පෙරදැරි කරගත් දර්ශනයක් සහිත ශ්‍රී ලාංකේය ජනසමාජයේ එවැනි දියුණු මානවීය ලක්ෂණ මතුනොවීම අවාසනාවන්ත තත්ත්වයකි. කිව හැකි එකම දෙය වන්නේ පැය විසිහතර මුළුල්ලේ ම බුදු බණ ඇසුව ද තවමත් අප ජනසමාජය බුදු දහමේ හරයාත්මක මගට පිවිස නැති බවය.