පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, January 12, 2020

මගේ ජීව වායු ඒකකය - My Home-made Bio gas Unit



මගේ ජීව වායු ඒකකය ගැන කරපු අලුත්ම වීඩියෝ එක මෙතනින් බලන්න.



දැනට මාස කීපයකට කලින් ගෑස්  හිඟයක් ආපු වෙලාවේ මටත් හිතුණා බයෝ ගෑස් එකක්, එහෙමත් නැත්නම් ජීව වායු ඒකකයක්වත් තිබුණා නම් මේ වගේ වෙලාවකදි ප්‍රයෝජනවත් වෙයි නේද කියලා. ඉතින් මම යූටියුබ් විඩියෝ සෑහෙන ප්‍රමාණයක් බැලුවා කොහොමද බයෝ ගෑස් එකක් හදා ගන්නේ කියලා උපදෙස් ගන්න. බොහෝ යූටියුබ් වීඩියෝවල නම් ඉතා පහසුවෙන් බයෝ ගෑස් ඒකක හදලා ගැස් නිපදවා ගන්නවා පෙන්වපු නිසා මමත් වැඩේට බැස්සා. ඉතින් බයෝ ගෑස් එකක් හදා ගන්න හිතන අපේ බ්ලොග් සහෘදයන්ගේ හිත සුව පිණිස මම ලබාපු අත්දැකීම් ටික බෙදා හදා ගන්න එක හොඳයි කියලා හිතුණා.  

විශේෂයෙන් කියන්න ඕන මගේ බයෝ ගෑස් අත්දැකීම නම් යූ ටියුබ් වීඩියෝවල වගේ සුන්දර සහ ඉක්මන් එකක් නම් වුණේ නැහැ කියන එක.  

ජීව වායු ඒකකයක ආදර්ශ රූපසටහනක්




මේ අනුව බයෝ ගෑස් එකක් ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි.  
1. ජීරකය
2. ගෑස් රඳවනය

ජීරකය
ජීරකයෙන් කෙරෙන්නේ ජීර්ණය වන විවිධ දේවල් නිර්වායු, අඳුරු සහ උණුසුම් වටපිටාවක් තුළ ජීර්ණය වන්නට ඉඩහැරීමයි. බයෝ ගෑස් කියා අප හඳුන්වන මීතේන් වායුව නිපදවෙන්නේ එවැනි තත්වයකදියි.

ගෑස් රඳවනය
මෙසේ නිපදවෙන බයෝ ගෑස් හෙවත් මීතේන් වායුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කොට තබා ගත යුතුයි. ඒ සඳහා යොදා ගන්නා දෙය තමයි මේ නමින් හඳුන්වන්නේ.  



මේ වැඩ සඳහා මට මෙන්න මේ කොටස් යොදා ගන්න වුණා. මේවාත් අන්තර්ජාලයේ තිබුණු උපදෙස් මත මම දැනගත්තු දේවල්.  ගෑස් කරාමටී කනෙක්ටර් ආදිය ගෑස් ලිප් අලුත්වැඩියා කරන තැන්වලින් ගන්න පුළුවන්. මම නම් කොළඹ ගල්වල පැත්තේ රවුමක් ගහලා තමයි මේවා හොයා ගත්තේ. මොකද එතැන මේවා ටිකක් ගණන් අඩුයි.

ගෑස් කරාම, ටී කනේකටර්, ගෑස් කනෙක්ටර්

ලෙවල් බට


ජීරකය සඳහා මම තෝරා ගත්තේ මෙන්න මේ වගේ බැරල් එකක්. 




යූටියුබ් වීඩියෝ කිහිපයකම මේ වර්ගයේ බැරල් යොදා ගෙන තිබුණා. අපේ ගෙවල් ළඟ පරණ යකඩ එකතු කරන තැනක මේවා ගොඩ ගහලා තිබුණා. මම එයින් එකක් රුපියල් 1500 කට ගත්තා. සමහර විට ඔබට ඊට වඩා අඩුවෙන් හෝ නොමිලේ හෝ ලබා ගන්න පුළුවන් වෙයි.  

මේ බැරල් එක දැන් බයෝ ගෑස් ජීරකයක් බවට පත් කරන්න ඕන. ඒ සඳහා අප නල කිහිපයක් මෙයට සවි කර ගත යුතු වෙනවා.

1. ජීරණය වන ද්‍රව්‍ය ඇතුළු කරන නලය
2. ජීරණය වූ ද්‍රව්‍ය ඉවතට ගන්නා නලය
3. නිපදවෙන මීතෙන් වායුව වායු රඳවනය දක්වා ගෙන යන නලය









ජීරණය වන ද්‍රව්‍ය ජීරකයට ඇතුළත් කිරීමේ නලය උඩ පියන සිදුරු කොට මෙන්න මේ විදියට සවි කළා. මෙය ජීරකයේ පහළටම ගමන් කළ යුතුයි. මේ සඳහා මම අඟල් 2 පීවීසී නලයක් යොදා ගත්තා. ජීරණය වන ද්‍රව්‍ය පහසුවෙන් දැමීම සඳහා එහි විවරය තරමක් පුළුල්ව තිබිය යුතු නිසා මුදුනේ අඟල් 4 නල කොටසක් සවි කොට එන්ඩ් කැප් එකක් එහි පියන විදියට යොදා ගත්තා.

ජීව වායුව නිපදවීම සඳහා තාපය වැදගත් සාධයක් වන නිසා වැඩි තාපයක් උරා ගැනීමට පහසු වනු පිණිස බැරල් එකේ කලු තීන්ත ආලේප කළා.





ජීරණය වූ ද්‍රව්‍ය ඉවතට ගන්නා නලය මම ජීරකයේ පැත්තකින් මෙන්න විදියට සවි කළා. මම වැඩි හොඳට ජීරකයේ පිටතින් ද ඉංග්‍රීසි ‘යු‘ හැඩයෙන් යුක්තව ජල මුද්‍රකයක් ද සවි කළා.





හොඳින් මතක තබා ගත යුත දේ තමයි මේ සෑම සම්බන්ධයක්ම හොඳින් මුද්‍රා වී තිබිය යුතු බව. පීවීසී නල නම් පීවිසී ගම් එකකින් අලවා ගන්න පුළුවන්. ජීරකයට සම්බන්ධ කෙරෙන නල සම්බන්ධ වන ස්ථානයන් හොඳින් මුද්‍රා වන්නට නම් ඒවා ද හොඳින් අලවා ගත යුතුයි. මේ සඳහා හොඳම ගම් වර්ගය තමයි ඇරල්ඩයිට්කියන්නේ. 




මෙය ටියුබ් දෙකක් විදියට තමයි මිලට ගන්න තියෙන්නේ. ටියුබ් දෙකෙන්ම එක හා සමාන කොටස් අරන් මිශ්‍ර කොට ගම් එක පිළියෙල කර ගත යුතුයි. ඕනෑම දෙයක් මිනිත්තු කිහිපයක් තුළ සවිමත්ව අලවන්න මේ ගම්වලට පුළුවන්. ඒ වගේම් මේ ආකාරයට ටියුබ් දෙකකින් මිලට ගත හැකි වෙනත් ගම් වර්ගත් තියෙනවා. ඒවා ද ඉතා ඉක්මනින් වියළෙනවා නම් ඒවා වුනත් මේ වැඩේට සුදුසුයි.  

නිපදවෙන ගෑස් රඳවනය සඳහා රැගෙන යාම සඳහා අඟල් භාගයේ පීවීසී නලයක් යොදා ගත්තා.  





යූටියුබ් විඩියෝ කිහිපයකම තිබුණු ආකාරයට මම ගෑස් රඳවනය සඳහා යොදා ගත්තේ භාවිත කොට ඉවත දැමූ වාහන ටියුබයක්. ටයර් කඩයකින් මේවා පහසුවෙන් සොයා ගන්න පුළුවන්. හැබැයි මට නම් ටයර් කඩ කීපයකම රස්තියාදු වෙන්න වුණා මේ වැඩේට. මට හොයා ගන්න පුළුවන් වුණේ කාර් ටියුබයක්. බස් එකක වගේ ටියුබයක් සොයා ගන්න පුළුවන් නම් ගෑස් වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගන්න පුළුවන්.  

මම මුලින් කාර් ටියුබ් එකක් මේ වැඩේට ගත්තත්, පස්සේ මම ටිපර් එකක පරණ ටියුබ් එකක් හොයා ගත්තා. ඒක මම ගෙයින් පිටතයි සවි කළේ. මෙන්න මේ ආකාරයට සවි කළා. පීඩනය ගන්න පරණ කාර් බැටරියක් උඩින් තියලා තියෙනවා. මෙයට සෑහෙන ප්‍රමාණයක ගෑස් ගබඩා කරගන්නට පුළුවන්. 




ගෑස් රැගෙන යන නලයේ කෙළවරට මේ කොටස සම්බන්ධ කළ යුතුයි. රඳවනය සහ බයෝ ගෑස් උඳුන කරා ගැස් රැගෙන යන නල සඳහා මේසන් බාස්ලා ලෙවල් බට සඳහා භාවිත කරන නල සුදුසුයි. සාමාන්‍ය ගෑස් බට මේ සඳහා යොදා ගැනීමේදී මට ගැටළු මතුවුණු නිසායි එසේ සඳහන් කළේ. සාමාන්‍ය ගෑස් නලවල ප්‍රමාණයට ගැළපෙන සේ මේ ලෙවල් බට තෝරා ගත යුතු වෙනවා.  



විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් දෙයක් වන්නේ ගෑස් බට සම්බන්ධ කිරීමේදී අනිවාර්යයෙන්ම ගෑස් ක්ලිප් භාවිත කළ යුතු බවයි. නැතහොත් ගෑස් කාන්දුවීමට ඉඩ තිබෙනවා. එය අනතුරුදායක විය හැකියි.

ඉන්පසු ටී කනෙක්ටරය මගින් ගෑස් රඳවන ටියුබ් එක මෙසේ සම්බන්ධ කළ යුතු වෙනවා. එහි අනෙක් පැත්තට තවත් නලයක් සවි කොට එහි කෙළවරට ගෑස් කරාමයක් සවි කළ ගත යුතුයි.  




දැන් වැඩ අවසන්. දැන් තියෙන්නේ මීතෙන් වායුව නිපදවෙන්නට අවශ්‍ය ජීරක ද්‍රව්‍ය ජීරකයට ඇතුළු කිරීමයි.  

ජීරණය වන ඕනෑම දෙයක් මේ සඳහා සුදුසු වුනත් ආරම්භයේ දී මීතේන් වායුව ඉතා ඉක්මනින් නිපදවෙන්නේ ගොම මගින්.  

මේ සඳහා මම ගොම කිලෝ විස්සක් පමණ යොදා ගත්තා. ගවයන් සිටින නිවෙස්වලින් සුළු මුදලකට හෝ නොමිලේම හෝ ගොම ලබා ගන්න පුළුවන්.

ගොම ජලය සමග හොඳින් මිශ්‍ර කළ යුතුයි. මෙහිදී මිශ්‍රණය ඉතා උකු ගතියෙන් යුක්ත වීම හෝ ඕනෑවට වඩා දියර ස්වභාවයෙන් යුක්ත වීම හෝ නොවිය යුතුයි. මේ අතරමැදි තත්වයෙන් පවතින සේ දියරය පිළයෙල කර ගැනීමට මතක තබා ගන්න.  

ගොම මිශ්‍ර කරගැනීම

ඉන් පසු මෙම දියරය ජීරකයට ඇතුළු කළ යුතුයි. මෙය තුළට ඔක්සිජන් ඇතුළු විය හැකි තැන් සොයා බලා ඒවා සියල්ල හොඳින් මුද්‍රා කොට තැබිය යුතු වෙනවා. ඔක්සිජන් ඇතුළු වුවහොත් වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඩ් නිපදවෙනවා.  

මෙසේ මුද්‍රා තැබූ ජීරකයක් තුළ දින හතක් පමණ ගත වෙද්දී මීතෙන් වායුව නිෂ්පාදනය Methanogenic බැක්ටීරියාව ඇති වෙනවා. කෙසේ නමුත් වෙළෙඳ පළේ අළෙවියට ඇති ජීව වායු ඒකක තරම් ඉක්මනින් අපට මෙවැනි ජීරකයක නිපදවෙන වායුව ප්‍රයෝජනයට ගන්නට ලැබෙන අවස්ථාව අඩුයි. එයට හේතුව මෙවැනි ජීරකයක් තුළ මුල් දිනවලදී මීතේන්වලට වඩා නිපදවෙන්නේ කාබන්ඩයොක්සයිඩ් නිසයි. මෙය ගෑස් රඳවන ටියුබයට එකතු වුනත් දැවෙන්නේ නැහැ. දැවෙන වායුව ඇති වන තාක් මේවා ඉවත් කරමින් නැවත නැවත වායුව පුරවන්නට සිදු වෙනවා. එය කරදරයක් වුවත්, අවසන් ප්‍රතිපලය මීතෙන් වායුව නිසා එය ඉවසා සිටින්නට සිදු වෙනවා. අනෙක වාණිජ වශයෙන් අළෙවියට තබා ඇති ජීව වායු ඒකක සමග ඔවුන් ජීව වායුව නිපදවෙන උත්ප්‍රේරකයක් ලබා දෙනවා. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ කුමක්දැයි නොදන්නා මුත් අන්තර්ජාලයේ කිහිප තැනක සඳහන්ව තිබුණේ ගොම සමග දහයියා මිශ්‍ර කිරීමෙන් උත්ප්‍රේරකයක් සාදා ගත හැකි බවයි. මම එවැන්නක් අත්හදා බැලුවේ නම් නැහැ.

ටියුබයෙන් වායුව ඉවත් කරන්නට පෙර එය දැවෙනවාද කියා පරීක්ෂා කළ යුතුයි. නිපදවෙන වායුවෙන් මීතෙන් ප්‍රතිශතය අඩුම තරමේ 40%ක් වත් වන තුරු දැවීමක් සිදුවන්නේ නැහැ. 40% ක් මීතෙන් සංයුතිය ඇතිවන්නට පටන් ගත් අවස්ථාවේ සිට දුර්වල මට්ටමකින් දැවෙන්නට පටන් ගන්නවා. ටිකෙන් ටික මීතේන් සංයුතිය වැඩි වත්ම දැල්ලේ ප්‍රබල බව ද වැඩි වෙනවා.  

නිපදවෙන මීතේන්වල ගුණත්වය වැඩි නම් තද නිල්පාට ගිනි දැල්ලක් දැකිය හැකියි. එහි යම් ප්‍රමාණයකින් කාබන්ඩයොක්සයිඩ් ඇති නම් රතු පාට දැල්ලක් ද වරින් වර දැකිය හැකියි.  




ප්‍රබලව දැල්ලක් ඇති වන්නට පටන් ගත් විට බයෝ ගෑස් උදුනකට ගෑස් නලය සවි කොට ප්‍රයෝජනයට ගත හැකියි.  



ජීව වායුව එල්.පී. ගෑස් උදුන් සමග භාවිත කළ නොහැකි බව හොඳින් මතක තබා ගත යුතු වෙනවා. එයට හේතුව ජීව වායුව එල්.පී. ගෑස් තරම් පීඩනයකින් යුක්ත නොවීමයි. එල්.පී. ගෑස්වල සාමාන්‍ය පීඩනය 320 PSI වෙනවා. PSI කියන්නේ  Pounds per square inch කියන එකයි. නමුත් ජීව වායු පීඩනය 2 - 200 අතර තියෙන බව තමයි කියවෙන්නේ. මේ නිසා බයෝ ගෑස් සඳහා වෙනම නිපදවූ උදුනක් සොයා ගත යුතු වෙනවා. එසේත් නැත්නම් සාමාන්‍ය ගෑස් උදුනක් ගෙන එහි නිපල් කොටස ගලවා දැමිය යුතු වෙනවා.  ඒ වගේම බර්නර් කොටසේ ඇති සිදුරු සාමාන්‍ය උදුනකට වඩා විශාල විය යුතු වෙනවා. 

නිපල් කොටස ගලවන ආකාරය මෙහි අවසානයේ ඇති වීඩියෝවේ ඇතුළත් කොට තිබෙනවා.



එල්.පී. ගෑස් බර්නර් එකක්. එහි සිදුරු කුඩාවට සකස් කොට තිබෙනවා.


ජීව වායු බර්නර් එකක්. එහි සිදුරු විශාලව සකස් කොට තිබෙනවා.


ජීව වායු උදුනක්.



බයෝ ගෑස් උදුන් රුපියල් 6000 ක් පමණ වෙනවා. කෙසේ නමුත් කෑම කඩවල ආප්ප ඉවීම සඳහා භාවිත කරන ආප්ප උදුන් අඩු මිලකට ලබා ගත හැකියි. එවැන්නක් මිලට ගෙන නිපල් කොටස ගලවා දැමීමෙන් අපට පහසුවෙන් අඩු මුදලකට බයෝ ගෑස් උදුනක් සාදා ගන්නට පුළුවන්. 


සාමාන්‍ය LP Gas ලිපක් ජීව වායු ලිපක් බවට හරවගන්නේ මෙහෙමයි.

නිපලයේ ඇති මෙම කුඩා සිදුරෙන් ගමන් කළ හැක්කේ එල්.පී. වායුවට පමණයි. ජීව වායුවේ පීඩනය අඩු නිසා මෙය ගළවා ඉවත් කළ යුතුයි.



ආප්ප ඉවීම සඳහා ගන්නා ගෑස් උදුන. මෙය මා මිලට ගත්තේ රු. 1200 කට. මෙය ජීව වායුව සමග භාවිත කළ හැක්කේ නිපල් කොටස ගලවා ඉවත් කිරීමෙන් පසුව පමණයි. එය ඉවත් කරන ආකාරය මේ සටහන අවසානයේ ඇති වීඩියෝවේ ඇතුළත් වෙනවා. 


අවසන් බිංදුව තෙක්ම ජීව වායුව භාවිත කරන්නට නම් ටියුබය මත ලෑල්ලක් තබා එයට යම් බරක් යෙදිය යුතු වෙනවා. එවිට යම් පීඩනයකින් යුක්තව උදුන කරා වායුව ගලා ගෙන එනවා.  




හොඳින් ගෑස් නිපදවී දින කිහිපයක් ප්‍රයෝජනයට ගත්තාට පසුව පමණයි වෙනත් ද්‍රව්‍ය ජීරකයට දැමිය යුත්තේ. සීනී, ග්ලිරිසීඩියා කොළ, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය, ඉඳුල්, පිළුණු වූ බත්, වෑංජන, පාන්, කිරි ආදී බොහෝ දේවල් මෙයට ඇතුළත් කළ හැකියි. කෙසේ නමුත් තේ කුඩු, බිත්තර කටු ආදිය දැමීමෙන් වැළකී සිටිය යුතු බව කිහිප තැනකම සඳහන්ව තිබුණා.  

මෙය තුළ නිපදවුණු Methanogenic බැක්ටීරියාව මිය යා නොදී ජීවත් කරවන්නට නම් සෑහෙන තරමින් මේ අපද්‍රව්‍ය ජීරකයට ඇතුළු කළ යුතුයි. මේ බැක්ටීරියාවෙන් කරන්නේ අප දමන අපද්‍රව්‍ය ආහාරයට ගෙන මීතේන් වායුව පිට කිරීමයි. යම් විදියකින් එයට ආහාර නොලැබුනොත් බැක්ටීරියාව මිය යා හැකියි.

මා සාදන ලද ජීරකයෙන් දැවෙන තරමට මීතේන් වායුව නිපදවෙන්නට මාසයකට වඩා කාලයක් ගත වුණා. අන්තර්ජාල වීඩියෝ ආදියේ එතරම් කාලයක් ගත වන බව සඳහන් නොවුණු නිසා මෙයට හේතුව දැනගැනීම සඳහා නර්ඩ් (National Engineering Research and Development Centre – NERD) ආයතනය අමතා එයින් ද උපදෙස් ලබා ගත්තා. මේ සටහනට එයින් ලබා ගත් විස්තර ද ඇතුළත් කොට තිබෙනවා.  එහි ඉංජිනේරුවරයකු වූ සුනිල් වැලිවිට මහතා ලබාදුන් උපදෙස් මට මෙහිදී සෑහෙන්න වැදගත් වුණා. 

වෙළෙඳ පළේ අළෙවියට ඇති ජීව වායු ඒකකවල ඇත්තේ ජීරකය මත මුනින් අතට හරවන ලද ගෑස් රඳවනයක්. මේ පින්තූරවලින් දැක්වෙන්නේ එවැනි ඒවා කිහිපයක්. ලෝකයේ බොහෝ රටවල වාණිජ වශයෙන් අළෙවිය ඇත්තේ මේවායි. ඔබට එවැනි එකක් සාදා ගන්නට වුනත් හැකියාව තිබෙනවා.  


ආර්පිකෝ ජීව වායු ඒකකය



මේ ජීව වායු ඒකකවල ගෑස් එකතු වෙන්නේ ඉහළින් මුනින් අතට හරවා ඇති බඳුන තුළයි. ගෑස් නිපදවෙද්දී මේ බඳුන ඉහළට ගමන් කරනවා. ජීරකය තුළ ඇති දියරය වායු මුද්‍රාවක් ලෙස ක්‍රියාත්මක වන නිසා වායුව පිටතට කාන්දු වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔක්සිජන් මෙයට ඇතුළු වන්නේ ද නැහැ.  


ඒ වගේම ගෑස් රඳවනය සඳහා ටියුබයක් භාවිත නොකොට මේ ආකාරයේ ඇටවුමක් මගින් ගෑස් ගබඩා කරගන්නටත් හැකියාව තිබෙනවා. 




විවිධ ආකාරයෙන් ඉදිකරන ලද ජීව වායු ඒකක





විවිධ ආකාරයෙන් සාදාන ලද ගෑස් රඳවන ද ඕනෑ තරම් තිබෙනවා. අන්තර්ජාලයේ සෙවීම් කිරීමෙන් ඔබට තවත් බොහෝ තොරතුරු මේ සම්බන්ධව ලබා ගන්නට පුළුවන්.  

ඒ වගේම කලින් සඳහන් කළ පරිදි නර්ඩ් ආයතනයත්, ප්‍රදේශීය විදාතා මධ්‍යස්ථාන නියෝජිතයන්ගෙන් ද යම් යම් මට්ටම්වලින් උපදෙස් ලබා ගන්නට පුළුවන්.  

මෙවැන්නක් ගොඩ නගා ගැනීමෙන් ඔබට එල්.පී. ගෑස් සඳහා වැය වන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතිරි කරගන්නට පුළුවන්. වඩාත් හොඳ ඒකකයක් සාදා ගත්තොත් එල්.පී. ගෑස් සඳහා වැය වන මුදල සම්පූර්ණයෙන්ම ඉතිරි කර ගන්නටත් පුළුවන්. ඒ වගේම නිවසේ ඉතිරි වන ජීරණය වන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ගැටළුවට විසඳුමක් ද ලැබෙනවා. ගෙවත්ත වඩාත් පිරිසුදුව තබා ගන්නට මෙය උපකාරයක් වෙනවා.  

ඒ වගේම ගෑස් නිපදවීමෙන් පසු ජීරකයෙන් පිටවන දියරය ඉතා උසස් දියර පොහොරක් ලෙස භාවිතයට ගත හැකියි. එය පොහොරක් සේම ඉතා හොඳ කෘමි නාශකයක් ද වෙනවා.





35 comments:

  1. ඉතාමත් ප්‍රයෝජනවත් ලිපියක් මෙවැන්නක් මාද නිපදවා ඇති අතර තවමත් දහන මට්ට ගැස් ලගා විනැත.

    ReplyDelete
    Replies
    1. දහන මට්ටමම ළඟවන තුරු ගොම පමණක් දමන්න. අනිවාර්යයෙන්ම දහනය වන වායුව නිපදවේවි.

      Delete
  2. මෙවැනි ලිපියක් පළකිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබ යොදා ඇති ටියුබ් එක පිරුනු පසු කොපමන කාලයක් ආහාර පිසිය හැකිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ තරම් ටියුබ් එකකට ගෑස් පිරවීමෙන් වුනත් ලොකු වැඩක් කරගන්න අමාරුයි. එළවළු වෑංජන දෙකක් පමණ පිළියෙල කරද්දී ගෑස් අවසන් වෙනවා. මම මේක හැදුවේ මෙවැන්නක් හදලා බලන්න ඹ්න කමක් තිබුණු නිසයි. නමුත් අළෙවියට ඇති ඒකකවලින් නම් මෙයට වඩා වැඩි කාලයක් ගෑස් පාවිච්චි කරන්න පුළුවන් බව කියනවා. නමුත් මෙනැනි ඒකකයක් තිබෙනවා නම් නිවසේ ඉතිරිවන අපද්‍රව්‍යවලට එය හොඳ විසඳුමක්.

      Delete
  3. මෙකට ඉවුල් විතරක් දාන්න බැරීද

    ReplyDelete
  4. මෙකට ඉවුල් විතරක් දාන්න බැරීද

    ReplyDelete
    Replies
    1. මීතෙන් වායුව නිපදවන්නේ බැක්ටීරියාවක් විසින්. මේ බැක්ටීරියාව ඉතා පහසුවෙන් සහ ඉක්මනින් නිපදවා ගත හැක්කේ ගොමවලින් පමණයි. ඉඳුල් වැනි අපද්‍රව්‍ය පමණක් යොදා මීතේන් බැක්ටීරියාව නිපදවා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා මුලින්ම ගොම පමණක් යොදා, ඇවිලෙන තරමට මිතේන් වායුව නිපදවෙන්නට පටන් ගත්තාට පසුව පමණක් වෙනත් අපද්‍රව්‍ය දැමිය යුතුයි. වෙළෙඳ පළෙන් මිලට ගනු ලබන ජීව වායු පද්ධති සඳහා නම් උත්ප්‍රේරක ලබා දෙනවා. නමුත් අප විසින් සාදාගනු ලබන මෙවැනි පද්ධතිවලට ගොමවල පිහිට පමණයි ලබාගත හැක්කේ.

      Delete
    2. පළමු වරට ගොමදමා මීතේන් වායුව දහන මට්ටමට නිශ්පාදනය වූ විට ඉඳුල් පමණක් දැමිම ප්‍රමාණවත්ද? නැත්නම් වරින් වර ගොම එකතු කරන්න ඕනිද?

      Delete
    3. මීතේන් වායුව නිෂ්පාදනය වන්නට පටන් ගත්තාට පසුවයි ඉඳුල් ආදී ද්‍රව්‍ය දැමිය යුතු වන්නේ. ගොම සොයා ගන්නට හැකියාවක් ඇත්නම් අනෙක් අපද්‍රව්‍ය සමග ගොම දැමීමේ වරදක් නැහැ.

      Delete
  5. ඉතාමත් වටින පෝස්ට් ඒකක්. මමත් යූ ටියුබ් ඒකේ ජීව වායු ඒකක පිලිබඳව සොයන අතර තුර තමයි හමු උනේ. මටත් අවශ්‍ය ගෑස් අවශ්‍යතාව සපුරාගැනීමට වඩා නිවසෙන් බැහැර කරන දූවය්‍ය නිසියාකාරව පොහොර බවට පත්කිරීමටයි

    ReplyDelete
    Replies
    1. හැබැයි මේක හරියට හදාගත්තොත් නිවසේ ගෑස් අවශ්‍යතාවයෙන් යම්කිසි ප්‍රමාණයක් හෝ සපුරාගන්නට පුළුවන්.

      Delete
  6. Please send me your phone number. මය් number 00972548624813

    ReplyDelete
  7. ඉතා හොඳ උපදෙසක්

    ReplyDelete
  8. ගොඩක් වැදගත් ලිපියක්..බොහොම ස්තූතියි ඔබට❤

    ReplyDelete
  9. මනෝෂ් සඳරුවන්ට - - -

    කොමෙන්ට්වලට පිළිතුරු දීමේ දී ගැටලුවක් තිබෙන නිසා මෙසේ පිළිතුරු දෙන්නම්.

    මුලින්ම සෑහෙන ප්‍රමාණයකට ගොම දමන්න. මම නම් මුලින්ම කිලෝ 25 ක් විතර දැම්මා. ඒ තරමටම ඕන වෙන එකක් නැහැ. මම එහෙම දැම්මේ හොයා ගන්න පුළුවන් වුණු නිසයි. ගොම දාලා දවසක් යද්දිම ටියුබ් එක පිරෙන්න පටන් ගන්නවා. නමුත් මුල් දවස්වල වැඩිපුර නිපදවෙන්නේ කාබන්ඩයොක්සයිඩ්. ඒවා සහනය වෙන්නේ නැහැ. ඒක කවුරුත් දන්නා දෙයක්. ඒවා ඉවත් කරන්න ඕන. මෙසේ ටික දිනක් ඉවත් කරන විට මීතේන් ප්‍රතිශතය ටික ටික වැඩි වෙනවා. යම් අවස්ථාවක මේ වායුව දැල්වෙන්නට පටන් ගන්නවා. ඉන්පසුත් ටික දවසක් ඒ ආකායෙන්ම තිබෙන්නට හැර ඉන්පසුව නිවාස් ඉවත් කරන කෑම, එළවලු, පලතුරු, මස්, මාළු, ආදි සියලු දේවල් දැමිය හැකියි. කුඩු කොටස්වලට කපා දමන තරමට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. මුල් දවසෙ පමණද ගොම දාන්න ඕන ඊට පසුවත් දින දාහතරක් යනකන් ටික ටික ගොම දාන්න ඕනෙද

      Delete
  10. මුල් දවසෙ පමණද ගොම දාන්න ඕන ඊට පසුවත් දින දාහතරක් යනකන් ටික ටික ගොම දාන්න ඕනෙද?

    කොමොන්ට්වලට පිළිතුරු දීමේදී බ්ලොග් සම්බන්ධව ගැටලුවක් පවතින නිසා ඉහත ප්‍රශ්නයට පිළිතුරු අලුත් කොමෙන්ටුවක් විදියටයි දාන්න වෙන්නේ.

    එහෙම දින 14 ක් යනකල් ගොම දාන්න ඕන කියලා දෙයක් නම් මා මේ සම්බන්ධව ලබපු අත්දැකීම අනුව නම් කියන්න බැහැ. මම මේ ජිරකය විදියට ගත්තේ ලීටර් 200 ක භාජනයක්. මට ගොම කිලෝ 25ක්ට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්න පුළුවන් වුණු නිසා ඒ සියල්ලම මේකට දැම්මා. ගොම එකතු කරගන්න පුළුවන් වුණේ සතිඅන්තවලදී නිසා සති අන්ත දෙකකදි මේ ගොම ප්‍රමාණය දැම්මා. ඊට පස්සේ ගෑස් හැදිලා අඛණ්ඩ ගිනිදැල්ලක එනතුරුම වෙන කිසිම දෙයක් දැම්මේ නැහැ. ගිනිදැල්ල ඇවිල්ලත් තව දවස් කීපයක් ගියාට පසුවයි ඉඳුල්, එළවළුකැබලි, ආදිය දැම්මේ.

    ReplyDelete
  11. COMPRESSOR එකක් භාවිතයෙන් ජීව වායුවේ පීඩනය වැඩි කරගත හැකි නේද ?

    ReplyDelete
    Replies
    1. විදෙස් රටවල නම් ජීව වායුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ආකාරයට දැඩි පීඩනයක් යටතේ සිලින්ඩර්වල ගබඩා කොට ප්‍රයෝජනයට ගන්නවා. අපේ රටේනම් එවැන්නත් සිදුකෙරෙන බව අසා නැහැ. කොම්ප්‍රෙෂර් එකකින් ඇතැම්විට ඔබ පවසන දෙය කරගැනීමට හැකියාවක් ලැබෙන්නට පුළුවන්.

      Delete
  12. බොහොම ස්තුතියි ඔබතුමා ලබාගත් දැනුම අප සමග බෙදා ගත්තාට. ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට ස්තුතියි.

      Delete
  13. ඔබතුමාට මෙය වව්‍යාපාරයක් විදියට නිවෙස් වලට ගොස් සකස් කර දීමට පුලුවන්නම් හොදයි නේද .

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් වුනත් මෙහි ප්‍රායෝගික ගැටලු මතුවෙන නිසා තනි පුද්ගලයකුට ව්‍යාපාරයක් ලෙස කරන්නට අපහසුයි. අනෙක මේ ඒකකය භාවිත කරන අය මේ ගැන දිනපතා දැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. හරියට ගෙදර ඉන්න තවත් පුද්ගලයකු ලෙස සලකමින්. සැලකිල්ල අඩු වූ විට මෙයින් ගැටලු පැන නගින්න පටන් ගන්නවා. මෙයට අපද්‍රව්‍ය දැමූ පසු ‘දැන් ඔක්කොම හරි‘ කියන අදහසින් සිටියොත් වැඩේ වරදිනවා.

      Delete
  14. ගොඩාක් ස්තුතිය ඔබතුමන්ට මහත්තයා මට තියෙන පුශ්නය තමයි ගොම දියරය ජිරකයට දැමු පසු ජිරකයට පිරෙන තෙක් ජලය එක්කල යුතු ද යන්නයි .

    ReplyDelete
    Replies
    1. පිරෙනකල් ජලය දාන් අවශ්‍ය නැහැ. කොහොමත් ගොම දාන්නේ ජලයත් ඒක්ක මිශ්‍ර කරලා. ඒ් ජලය ප්‍රමාණය ඇති. ජීරකය ජලයෙන් පුරවන්න අවශ්‍ය නැහැ.

      Delete
  15. අපිට ගෙදරට ඇවිත් බයෝ ගෑස් එකක් හදලා දෙන්න පුළුවන් ද

    ReplyDelete
  16. බොහොම ස්තූතියි මේ විස්තර පළ කළාට.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න