ජෙෆ් ඩි යංග් ඇමරිකානු මැරීන් බලකායේ සෙබළෙකි. හමුදා සේවයට බැඳී මාස පහළොවකට පසු යුද ගිනි දැල් ඇවිළුණු ඇෆ්ගනිස්ථානයේ සේවයට යාමට ඔහුට සිදු විය. සෑම අතම බෝම්බ අවදානමින් වැසී තිබූ බැවින් ඔහුගේ සහායට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ සුනඛයකු ලබා දුනි. නමින් ‛සීනා එන්641’ වූ මේ කලු පැහැ සුනඛයා ලැබ්‍රදෝර් වර්ගයට අයත් වූවේය. යුද ගිනි දැල් සහ බෝම්බ භීතිය මැද ගෙවී ගිය කාලයේ දී මේ සොල්දාදුවා සහ සුනඛයා අතර අපූරු, වෙන් නොකළ හැකි බැඳීමක් ඇති විය. මේ අපූරු මිතු දම පිළිබඳ ජෙෆ් පවසන කතාවයි මේ.
අවුරුදු දහ අට සපිරෙද්දී මම මැරීන් සෙබළකු ලෙස සේවයට බැඳුනෙමි. ඉන් මාස පහළොවකට පසු ඇෆ්ගනිස්ථානයේ සේවයට යාමට මට සිදු විය. ඒ 2009 වසර විය. මේ තීරණය නිසා මා තුළ ඇති වූයේ මහත් තැතිගැන්මකි.
එහිදී අපට පෞද්ගලික මට්ටමින් සුනඛයකු බැගිනි ලැබිණි. මට ලබා දුන් සුනඛ මිතුරා වූ සීනා තරමක් මෝඩ පෙනුමක් ඇති නිහඬ සතකු විය. මම ද එවැන්නකු වූ බැවින් අප අතර යම් හැඳුනුම්කමක් ඇති වන්නට පටන් ගත්තේය.
සියලු දෙනා අප හඳුන්වන ලද්දේ ‛ළමයා සහ කුකුළු පැටවා’ ලෙසිනි. ඒ වන විට මා 19 වැනි වියෙහි පසූ වූව ද මගෙන් දිස් වූයේ අවුරුදු 12ක පමණ පෙනුමකි. මගේ දැලි රැවුල වැවී තිබුණේ ද නැත. මගේ වයස තහවුරු කරන්නට මැරීන් බලකාය විසින් මගේ මව ලවා ලියවිල්ලක් අත්සන් කර ගෙන එන්නට සිදුවූ බවට කවට කතාවක් ද පැතිර ගියේ මේ නිසාය.
සුනඛයන්ගේ නාස් අපගේ ඒවාට වඩා ඉතා බලසම්පන්නය. අපට කිසිදා නොදැනෙන සුවඳ ඔවුන්ට හොඳින් දැනේ. සීනා ද එසේ ය. එකිනෙකට වෙනස් පුපුරන ද්‍රව්‍ය තුන්සියයකට වැඩි ප්‍රමාණයක් හොඳින් ඉවකර හඳුනා ගන්නට සීනාට පුහුණුව තබා දී තිබිණි. යම් පුපුරන ද්‍රව්‍යයක ඉව වැටුණු සැනින් සීනා කරන්නේ බිම වැතිරී ඒ බව මට දන්වා සිටීම ය. එවිට මම කරන්නේ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයකු එතැනට කැඳවීමය.
අප දෙදෙනාට දෙදෙනා ඉතා දැඩි විශ්වාසයකිනි පසු වීමු. අප පසුපසින් මැරීන් සෙබළුන් විසි හතර දෙනෙකු පමණ පැමිණි අතර සුළු හෝ වැරදීමකින් මහත් විනාශයක් වන්නට ඉඩ තිබිණි. සියලු පුපුරන ද්‍රව්‍යවලින් මා ආරක්ෂා කර දෙන්නට මුල් වූයේ සීනා ය.
මර්ජා සටන මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. හිරු උදාවට පෙර අපි නගරයට ළඟා වීමු. කිසිවකු කිසිවක් කතා කළේ නැත. සියලු දෙනා සිටියේ ඉමහත් විමසිල්ලකිනි. අප හිසට ඉහළින් වෙඩි වරුසා ඇදී යනු ඇසුණේ නළා හඬක් මෙනි. මා සීනාගේ ජීවිතය ආරක්ෂා කළ යුතු විය. ඇතැම් අවස්ථාවල දී වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීමට මගේ සිරුරෙන් සීනාගේ සිරුර යට වන සේ වසාගෙන සිටියෙමි. තවත් අවස්ථාවක දී අයිස් මිදෙන තරම් සීතල දියෙන් පිරි ගඟක් හරහා සීනාව කර තබා ගෙන ගියෙමි. එක් අවස්ථාවක සීතල ඉතා අධික විය. සීනාට සීතල ඉවසා ගත නොහැකි බැව් පෙනුණි. ගිනි මැළයක් අවුළන්නට කිසිවක් තිබුණේ නැත. කඩදාසි ලෙස මගේ පසුම්බියේ තිබුණේ ඩොලර් සියයක් පමණි. එය දවා හෝ ගිනි මැලයක් ගසන්නට සිතමින් සිටිය දී එතැනට පැමිණි ඇෆ්ගන් සෙබළකුට එම මුදල් දී පොරවන ඇතිරිල්ල මිලට ගෙන සීනාට පෙරවූවෙමි. ඒ ඇතිරිල්ල තවමත් මා සතුව තිබේ.
මර්ජා හි සිටි පලමු සතියේ දී මගේ හොඳම මිතුරන් දෙදෙනෙකු මට අහිමි විය. දෙවැනි මිතුරා ද මිය ගිය පසු මට ඇති වූ වේදනාව දරා ගත නොහැකිව සීනා බදාගෙන හැඬුවෙමි. මාගේ ආරක්ෂක හිස්වැස්ම තුළ ඇමරිකානු කොඩියක් තිබිණි. මාගේ යම් මිතුරකු අහිමි වූ විට එහි තීරු මත ඔවුන්ගේ නම් ලියා තැබීමි. මා සමග සිටි මිතුරන් සත් දෙනෙකුම මට අහිමි විය.
මට මෙය තව දුරටත් දරාගත නොහැකි විය. මම හිත හදාගෙන රයිෆලය අතට ගත්තෙමි. එවිටම සීනා මා දෙස බලා කාටූන් චිත්‍රපටයක සුනඛයකු සේ සිය දෙකන් ඔසවා ගත්තේය. සිනාවෙන්නාක් මෙන් මුව ද විවර කරගත්තේය. සීනාගේ වලිගය කෙතරම් වේයෙන් වැනුනේ ද කියතොත් උගේ මුළු සිරුරම දෙපසට පැද්දිණි. මට එය දැක සිනා නැගුණි. සිනහව නවතාගන්නට බැරි තැන අවසානයේ දෑසින් කඳුළු පැන්නේ ය. මට සීනා තනිකර යන්නට නොහැකි බැව් එවෙලෙහි සිතිණි. සීනාගේ මීළඟ හාම්පුතා මා තරම් ආදරයෙන් ඌ රැකබලා නොගනු ඇතැයි මට හැගුණි. එම කාලයේ මෙතරම් සමීප වූ කිසිවකු මාගේ ජීවිතයේ සිටියේ නැත. මම රයිෆලය ඉවතට ගෙන සිත වෙනස් කර ගතිමි.
යුද බිමෙන් සමුගෙන නැවත පැමිණි පසු සිතෙහි පවතින මානසික තත්වය විස්තර කිරීම බොහෝ දුෂ්කරය. මා සාමාන්‍ය ජීවිතයෙන් බොහෝ දුරස් වී ඇතැයි සිතුණි. යුද බිමට සමු දී පැමිණි තෙවැනි දවසේ දී මම විවාහ වූවෙමි. කෙසේ නමුත් මගේ සිතට සැනසීමක් දැනුණේ නැත. සීනාගෙන් වෙන්වන්නට සිදුවීම මගේ සිතට තදින් බලපෑම් කරන බැව් මට දැනුණි. සීනා මගේ ජීවිතයට මෙතරම් බලපෑමක් කරනු ඇතැයි මා කිසි විටෙක සිතුවේ නැත.
යුද බිමට සමු දී සිව් වසරක් ගෙවී ගියේ ය. ඒ සියලු කාලය තුළ මට සීනා මෙනෙහි වූ වර ගණන අනන්ත ය. මෙසේ සිටින අතරවාරයේ දිනක් මට දුරකතන ඇමතුමක් ලැබිණි.
“මේ ඩි යංග් මහත්තයද? මේ ගොඩ්ෆ්‍රි මහත්මිය කතා කරන්නේ. ඔබේ බෝම්බ හොයන බල්ලාව හදා වඩා ගන්න එහෙම කැමැත්තක් තියෙනවද කියල දැනගන්නයි මම මේ කතා කළේ.”
මම දෙවරක් නොසිතා “කැමතියි” යනුවෙන් පැවසීමි. ඒ 2014 අප්‍රේල් 24 වැනිදාවකි. සීනා සහ මා වෙන් වී එදිනට සිව් වසරක් සපිරෙන්නට අඩුව තිබුණේ එක් දිනකි.
සීනා රැගෙන එන්නට ගිය දිනය මට ජීවිතයේ අමතක නොවන දිනකි. සීනා මා දැක දිවැවිත් මගේ ඇඟේ දැවටුනේය. මගේ මුහුණ ලෙව කෑවේය. මගේ දරුවන් උපත ලද දිනයන් සහ මා විවාහ වූ දිනය හැරුණු විට මා වඩාත්ම සතුටු වූයේ එදා ය. මා ගත කළ සියලු නත්තල් උත්සවයන් එකක් බවට පත් වී යළි මා ඉදිරියේ මැවුනා සේ හැඟීමක් මට දැනුණි.
ඇෆ්ගනිස්ථානයේ යුද ගිනි මැද සිටි මගේ මනසේ ඇති ව තිබූ යම් යම් ව්‍යාකූලතාවන් හේතු කොට ගෙන මටත් බිරිඳටත් වෙන වන්නට සිදු විය. මට දියණියන් තිදෙනෙකු සිටී. සීනා ඔවුන් සමග ඉතා ඉක්මණින් කුලුපග වූවේය. යුද්ධය නිසා අවුල් වූ මනස යළි ගොඩ නගා ගන්නට මට හැකි වූයේ සීනා නැවත පැමිණීමත් සමගිනි.
සේවා කාලයේ සිටි සුනඛයා සහ හාම්පුතා කිසි විටෙක වෙන් නොකළ යුතු බව දැනුවත් කරමින් මම දැන් හමුදා නියෝජිතයකු ලෙස රට පුරා ඇවිදිමි. යුද අත්දැකීම් නිසා ව්‍යාකුළ වූ මනස යළි ගොඩනගා ගැනීම සඳහා ඔවුනට කෙතරම් සහය වන්නට හැකි දැයි මිනිසුන්ව දැනුවත් කරමි. බිහිසුණු පිපිරීමකින් ඇති වූ කම්පනය නිසා මට ටැකිකාර්ඩියා නම් හෘදරෝගය වැළඳී ඇතැයි මෑත දිනක දී වෛද්‍යවරයා මා හා පැවසූයේ ය. සීනා ද යුද සේවයෙන් විශ්‍රාමිකය. ඌ ද සිහිනෙන් බිය වන මම දැක ඇත්තෙමි. කෙසේ නමුත් මා අතහැර යන්නේ නැත. මා යන සියලු තැනකම සීනාව ද රැගෙන යන්නමෙි.
සීනා දැන් නව හැවිරිදිය. සාමාන්‍යයෙන් සුනඛයන් වසර 11 - 12ක පමණ ජීවත් වේ. සීනා නොබෝ දිනකින් ජීවිතයෙන් මෙන්ම මගෙන් ද සමුගනු ඇතැයි යන යථාර්ථය මම සන්සුන්ව අවබෝධ කොට ගෙන එයට මුහුණ දෙන්නට බලා සිටිමි.