පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, September 23, 2024

ජාතික ජන බලවේගය, අනුර කුමාර සහ ජාත්‍යන්තර මාධ්‍ය - NPP, Anura Kumara and International Media

 


ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස සමගි බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුුර කුමාර දිසානායක පත් වී තිබේ. ජාතඨන්තර මාධ්‍ය මේ පිළිබඳ හඳුන්වා දී තිබුණේ මෙය දූෂිත දේශපාලන සංස්කෘතිය අභිබවා ලබා ගත් ‘ජනතා ජයග්‍රහණයක්’ ලෙසිනි. ආර්ථික අවභාවිතාව, ඥාති සංග්‍රහය සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනාවලින් ධූරකාලය විනාශ වූ සම්ප්‍රදායික පාලක පවුල්, විශේෂයෙන් රාජපක්ෂවරුන් කෙරෙහි ජනතා කලකිරීම, ජාතික ජන බලවේගයේ නායකයා ජනපති තනතුර දක්වා ගමන් කිරීම සඳහා යොදා ගත් ආකාරය බොහෝ මාධ්‍යයන් ඉස්මතු කර තිබිණි. බොහෝ පුවත්වල පොදු කාරණයක් ලෙස දක්වා තිබුණේ මෙය ශ්‍රී ලංකාව තුළ නායකත්වයේ සිදු වූ දැවැන්ත වෙනසක්ය යන කාරණයයි. විශේෂයෙන් දශක ගණනාවක් තිස්සේ රාජපක්ෂ පාලනයට නතුව තිබුණු ‘ජනපති’ යන තනතුර මෙවර වෙනසකට ලක් වූ බව විශේෂයෙන් සඳහන් කොට තිබිණි.

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ අනාගතය පිළිබඳව මිශ්‍ර ඉදිරිදර්ශන දරයි. ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ශුභවාදී සහ ප්‍රවේශම් සහගත බව පිළිබිඹු කරයි.

වසර ගණනාවක ආර්ථික අවභාවිතයෙන් පසු ඡන්දදායකයින් නැවුම් නායකත්වයක් අපේක්ෂා කළ බැවින් දිසානායකගේ ජයග්‍රහණය තුළින් පිළිබිඹු වන්නේ සාම්ප්‍රදායික ජනතා ආරක්ෂකයා (දියසෙන් කුමාරයා, අප්පච්චි, රජුු වැනි) යන සංකල්පය ප්‍රතික්ෂේප වීමකි. ජනතා කැමැත්තෙන් පත් වූ අවසන් ජනපතිවරයා වූ ගෝටාභය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මුල් වූ ජන අරගලවලින් ආරම්භ වූ රැල්ල දිසානායකගේ ජයග්‍රහණය දක්වා මග විවර කළ බව පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් දිසානායකගේ මාක්ස්වාදී පසුබිම සහ එය ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථිකය කෙරෙහි කෙසේ බලපානු ඇති ද යන්න පිළිබඳ කනස්සල්ලෙන් පසුවන බව පෙනෙන්නට තිබේ. ජෙහාන් පෙරේරා වැනි විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ඔහුගේ විප්ලවීය පරමාදර්ශයන් ව්‍යාපාරික අංශ සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර, විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම සම්බන්ධයෙන් කනස්සල්ලක් ඇති කළ හැකි බවයි. 

මෙය බොහෝවිට සාම්ප්‍රදායිික වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය දැකීම නිසා ඇති වූ වැරදි චිත්‍රයක් විය හැකිය. ජාතික ජන බලවේගයේ දැක්ම හුදෙක් සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයක් ඉක්මවා යාමක් බව ඔප්පු කර පෙන්වීම අවශ්‍ය බව පෙනේ. ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැක්කේ එවැනි ප්‍රවේශයකින් පමණි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වන බව දිසානායක යම් අදහසක් පළ කර තිබේ. ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ දිසානායක පාලනය කෙරෙහි විශ්වාසයක් ඇති වන තුරු එයින් අරමුදල් නිකුත් කිරීම ප්‍රමාද කිරීමක් සිදු විය හැකි බව නමුත්, නව ජනපතිවරයා ඒ සම්බන්ධව ගන්නා ප්‍රවේශය මත මෙය වෙනස් විය හැකි බවය.

අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තුළින් ජාත්‍යන්තර ප්‍රජාවට ලැබෙන්නේ කුමනකාර පණිවිඩයක් ද යන්න පිළිබඳ බීබීසී පුවත් සේවය සිය අවධානය යොමු කරන බව පෙනේ. ඔවුන් සඳහන් කරන්නේ මෙය දකුණු ආසියානු දේශපාලනය තුළ සිදු වූ කැපී පෙනෙන වාමාංශික බල විතැන්වීමක් බවය. ඔවුන් සඳහන් කරන්නේ දිසානායකගේ ජයග්‍රහණය වූ කලී ජනප්‍රියවාදී, වාමාංශික නායකයන් කෙරෙහි ලෝකයේ විවිධ රටවල් තුළ වර්ධනය වෙමින් පවතින ආකර්ෂණීය ප්‍රවණතාවක් බවය. බීබීසී පුවත් සේවය සිය විශ්ලේෂණය තුළින් දිසානායකගේ ඉස්මතු වීම ලතින් ඇමරිකාවේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රගතිශීලී නායකයින්ගේ නැගීම සමඟ සංසන්දනය කිරීමක් දක්නට හැකිය. මෙය විෂම ආර්ථික තත්ත්වයන්ට ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ නව ලිබරල් ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර වශයෙන් වාමාංශික ව්‍යාපාරවල ගෝලීය නැගී සිටීමක් ලෙස සනිටුහන් කළ හැකි බව ද දක්වා තිබේ.

දිසානායක සිදු කරන්නට බලාපොරොත්තු වන දේශපාලන ප්‍රතිසංස්කරණ දෙස ද ජාත්‍යන්තර මාධ්‍ය සිය අවධානය දැඩිව යොමු කරගෙන සිටින බව පෙනෙන්නට තිබේ. දූෂණයට එරෙහිව කටයුතු කිරීම, ආර්ථිකය යළි ගොඩනැගීම සහ දුක් විඳින ජනතාවට සහන සැලසීම පිළිබඳ ඔහුගේ පොරොන්දු පිළිබඳ ද විශේෂ අවධානයකින් පසුවන බව පෙනේ. ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් ඔහුගේ ජයග්‍රහණය දකින්නේ තරුණ ඡන්දදායකයින් බොහොමයක් අනුර කුමාර දිසානායක වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන්නට හේතුව තමන් අපේක්ෂා කරන ලෝකය ඔහු විසින් ගොඩනගනු ඇති බවට විශ්වාසයක් පැවති නිසා බවය. ඔහු විසින් සෑමවිටම සඳහන් කරන ලද සමාජ සාධාරණත්වය සහිත පාලනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වනු ඇති ද යන්න පිළිබඳවත් ජාත්‍යන්තර මාධ්‍ය සිය ඇස යොමු කරගෙන සිටියි. 

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය ද අවධාරණය කරන්නේ දිසානායක බලයට පත්වීමත් සමඟ ඇති වන අවිනිශ්චිතතාවයයි. ඔහුට පාලන අත්දැකීම් නොමැතිකම, බංකොලොත් ආර්ථිකයක් සමඟ ගනුදෙනු කිරීමේ අභියෝග සහ සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා කළමනාකාරයේ දී ඇති පීඩනය ඔහු ජයගත යුතු බාධක බව සඳහන් කරයි. ජනතාවාදී විපක්ෂ නායකයෙකුගේ සිට ප්‍රායෝගික සහ දක්ෂ රාජ්‍ය නායකයෙකු දක්වා ඔහු කෙතරම් ඵලදායි ලෙස සංක්‍රමණය විය හැකිද යන්න මත ඔහුගේ ජනාධිපති ධූරය අර්ථදැක්වෙනු ඇති බව අපේක්ෂා කෙරේ.

 

Saturday, September 14, 2024

කෘෘර ලෙස ඝාතනය වූ සුනඛයකු වෙනුවෙන් මොස්කව්හි ඉදි කළ ස්මාරකය - The Malchik Monument in Moscow Metro



ඇල්ල පාර (රාජධානි පිවිසුම් මාර්ගය) ඔස්සේ ගල්ගමුව පසු කොට අනුරාධපුරය දෙසට යන ඔබට එහි පූලංචිය වැවට මායිම් ව පිහිටි ගිමන් හල පරිසර උද්‍යානය තුළ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය දැක ගත හැක. මේ නගරය හරහා ගමන් කරන බොහෝ පිරිසක ගේ එක් සංචාරක ස්ථානයක් බවට ද මෙය පත් වෙමින් පවතී. මේ ස්මාරකයෙන් ප්‍රධාන වශයෙන් ම සංකේතවත් වන්නේ 2010 වසරේ නො මනා මානව ක්‍රියාකාරකම් නිසා මරණයට පත් වූ ‘සියඹලංගමුවේ ඇතා’ සහ 2018 වසරේ ඝාතනයට ලක් වූ ‘දළ පූට්ටුවා’ නම් හස්තීන් දෙදෙනාගේ සජීවී රූපකායන් ය. මේ දෙදෙනා ම ගල්ගමුව ආශ්‍රිතව ජීවත් වූ හස්තීන් ය. මේ ආකාරයට මිනිසුන් අතින් කෲර ලෙස ඝාතනයට ලත් වූ සතුන් වෙනුවෙන් ස්මාරක තැනීමේ ඇති ප්‍රයෝජනය කුමක් දැයි ඇතැම් විට යම් කෙනෙකුට සිතෙන්නට හැකි ය. කෙසේ නමුත්, දැන් අප පවසන්නට සැරසෙන ‘මැල්චික්’ නම් සුනඛයාගේ කතාව ඇසූ පසු මිනිසුන් අතින් සැහැසි ලෙස මරණයට පත් ව ස්මාරක තැනුණු ලොව ප්‍රථම හා එකම අවස්ථාව මෙය නොවන බව ඔබ තේරුම් ගනු ඇත.


ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය


රුසියානු බසින් ‘කුඩා කොලුවා’ යන අරුතැති ‘මැල්චික්’ කිසිදු හිමිිකරුවෙක් නොමැති අයාලේ යමින් ජීවත් වූ වීදි සුනඛයෙක් විය. වසර තුනක පමණ කාලයක් තිස්සේ ඌ ජීවත් වූයේ රුසියාවේ අගනුවර වූ මොස්කව් හි උප දුම්රිය පොලක් වූ මෙන්ඩෙලෙයෙව්ස්කායා ආශ්‍රිත ප්‍රදේශයේ ය. මැල්චික් දුම්රිය සේවකයන්ගේ, දුම්රිය පොළට නිතර පැමිණෙන්නන්ගේ සහ අවට වූ මල්, දුම්කොල වෙළෙඳ සැල්වල හිමිකරුවන්ගේ සුරතලයට ලක් වෙමින් ඇති දැඩි විය. ඔවුන්ගේ කරුණාවෙන් ලද කෑම බීමවලින් මැල්චික් සුවසේ ජීවත් වූයේ ය. දුම්රිය පොළට පැමිණෙන සුරාසොඬුන්ට සහ පිටස්තර සුනඛයන්ට මැල්චික් කැමැත්තක් දැක්වූයේ නැත.

කාලය මෙසේ ගෙවී ගියේය. 2001 දෙසැම්බර් මාසයේ මැල්චික්ගේ ජීවිතයට එක් අඳූරු දවසක් උදා කළේ ය. එදින 22 හැවිරිදි තරුණියක වූ යුලියානා රොමනෝවා සිය ස්ටැෆඩ්ෂයර් බුල් ටෙරියර් වර්ගයට අයත් සුරතල් සුනඛයා ද කැටිව මේ දුම්රිය පොළ අසලින් ගමන් කරමින් සිටියා ය. මේ අවස්ථාවේ දී රොමනෝවා තම සුනඛයා, නිදා සිටි මැල්චික් දෙසට උසිගැන්වූවා ය. උසිගැන්වූවාට පසු මැල්චික් කරා දිව ආ රොමනෝවා තම අත් බෑගයේ දමා ගෙන සිටි පිහියක් අතට ගෙන මැල්චික්ගේ කොන්දට, පපුවට සහ බඩට සය වතාවක් ඇන්නා ය.

මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය ‍පොළ

මේ අවස්ථාවේ දී අසල වෙළෙඳ සැලක හිමිකරුවෙක් මේ අමානුෂික සිදුවීම දැන එය නතර කරන්නට දිව ආවත් ඒ වන විටත් සියල්ල සිදු වී අවසන් ව තිබිණි. මැල්චික්ගේ අවසන් හුස්ම පොද මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය පළ පසු කොට හිස් අවකාශයට එක් ව තිබිණි. පොලිසිය සහ ගිලන් රථයක් පැමිණිය ද එයින් පලක් වූයේ නැත. අනෙක පොලිසිය මේ කෲර ඝාතනය කළ තරුණියට විරුද්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. ඇය නිරුපද්‍රිත ව එතැනින් නික්ම ගොස් තිබිණි. කිසිවකුට හෝ කරදරයක් හිරිහැරයක් නොමැතිව, සියලු දෙනාගේ ආදරය කරුණාව මැද ජීවත් වූ මැල්චික් මෙසේ කෲර ලෙස ඝාතනයට ලක් වූයේ මන්දැයි සොයා බැලීම සඳහා විධිමත් පොලිස් පරීක්ෂණයක් හෝ සිදු කෙරුණේ නැත.

කාත් කවුරුත් නොමැති අසරණ මැල්චික්ගේ මේ අවාසනාවන්ත ඉරණම බොහෝ දෙනෙකුගේ මතකයෙන් සෙමින් වියැකී ගියත්, මොස්කව් හි ප්‍රකට පුවත්පතක් වූ ‘ඉස්වෙස්ටියා’ හි ගවේෂණාත්මක් වාර්තාකාරිනියක වූ ඉරිනා ඔසියොර්නායා මෙය සිය මතකයෙන් බැහැර කරන්නට කැමැති වූයේ නැත. මැල්චික් මෙතරම් කෲර ලෙස ඝාතනයට ලක් වූයේ මන්දැයි සොයන්නට ඇගේ සිත ඇයට බල කර සිටියේ ය. ඇය මැල්චික් පිළිබඳ සිය පුවත්පතට ලිපි මාලාවක් සම්පාදනය කරන්නට පටන් ගත්තා ය. ඒ අතරේ මැල්චික්ව ඝාතනය කළ රොමනෝවා යනු තරුණ මෝස්තර නිරූපණ ශිල්පිනියක බව ද සොයා ගත්තා ය.

මැල්චික් සුනඛ ස්මාරකය

ඔසියොර්නායා කෙසේ හෝ රොමනෝවා සම්බන්ධ කරගන්නට ද සමත් වූවා ය. රොමනෝවා ඒ අවස්ථාවේ පැවසූ දෙය ඔසියොර්නායා මෙසේ වාර්තා කොට තිබිණි.

දැන් මේ කිසි දෙයකින් වැඩක් නැහැ. මට කියන්න තියෙන එකම දේ දැන් මම මේ ගැන පසුතැවෙනවා කියන එක විතරයි. කොහොම වුනත් තව සතියකින් මම රැකියාවකට ස්පාඤ්ඤයට යනවා. මම හිතන්නේ මට මේ හැමදෙයක්ම අමතක කරන්න පුළුවන් වෙයි. අඩුම තරමේ ඔහේ මගෙ පස්සෙන් පන්නන එකවත් නතරවෙයිනේ එතකොට.”

මේ පිළිබඳ තවදුරටත් කළ විමර්ශනවලින් සොයාගන්නට ලැබුණේ රොමනෝවා  සය හැවිරිදි වියේ සිට ‘භින්නෝන්මාදය’ (schizophrenia) නම් මානසික රෝගී තත්ත්වයෙන් පීඩා විඳීමින් සිටි බව ය. ඇයට හෝ ඇගේ පවුලට අයත් ව සිටි සුනඛයන් බොහෝ දෙනෙකුට ඇය හිංසා පීඩා හෝ ඝාතන හෝ සිදු කොට ඇති බවත් සොයා ගන්නට හැකි විය.

ඔසියොර්නායා මේ කෲර ඝාතනයේ සියලු තොරතුරු සිය පුවත්පත ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර මෙයට වෙනත් පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවලින් ද පුළුල් ප්‍රචාරයක් ලැබීම විශේෂත්වයක් විය. මෙය දැන ගත් මොස්කව් නගර වැසියෝ මැල්චික් පිළිබඳ මහත් සංවේගයට පත් වූවා පමණක් නොව කෝපයට ද පත් වූහ. මේ පිළිබඳ නගර වැසියන් සමග වසරක පමණ කාලයක් තිස්සේ උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කළ ඔසියොර්නායා, මේ ඝාතනය සිදු කළ රොමනෝවා අධිකරණය දක්වා රැගෙන එන්නට සමත් වූවා ය. රොමනෝවා අධිකරණය ඉදිරියේ වරදකාරියක බව තහවුරු වූ අතර ඇය වසරක කාලයක් මනෝචිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු කරන්නට අධිකරණය නියෝග කළේය. එයින් පසුව රොමනෝවාට කුමක් සිදු වූයේ දැයි කිසිවකු දන්නේ නැත.

 මැල්චික් සුනඛ ස්මාරකය

මැල්චික්ට ගෞරවයක් පිණිසත්, මොස්කව් හි සිටින දහස් ගණනක් වූ අයාලේ යන වීදි සුනඛයන්ගේ ඉරණම සිහිපත් කරනු පිණිසත් ස්මාරකයක් ගොඩනැගීමේ සැලැස්මක් මෙයින් පසුව ක්‍රියාත්මක විය.  මේ සඳහා අරමුදලක් පිහිටුවූ අතර එයට රුසියාව තුළින් මෙන්ම වෙනත් රටවලින් ද පරිත්‍යාග ගලා එන්නට විය. රුසියාවේ ප්‍රකට කලාකරුවෝ ද මේ සඳහා නො මසුරු දායකත්වයක් ලබා දුන්හ. රුසියානු මූර්ති ශිල්පීන් කණ්ඩායමක් මැල්චික් වෙනුවෙන් ස්මාරකය ගොඩනගන්නට පටන් ගත්හ.

මේ ලෝකඩ ස්මාරකය ‘දයාව’ (Compassion) ලෙස නම් තැබුණු අතර මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය ‍පොළ ආශ්‍රිතව මැල්චික් ඝාතනයට ලක් වූ ස්ථානයේ ම එය ඉදි කරනු ලැබිණි. එය 2007 පෙබරවාරි 17 වැනිදා නිරාවරණය කරනු ලැබිණි. මේ උත්සවය සඳහා රුසියාවේ ප්‍රකට කලාකරුවන් රැසක් සහභාගී වූහ. ස්මාරකය පාමුල රුසියානු බසින් මෙවැනි වැකියක් සටහන් කොට තිබිණි.

මේ දයාවේ ස්මාරකය නිවෙස් අහිමි සුනඛයන් සහ මිනිසුන් අතර වූ සබැඳියාවට උපහාරයක් වේවා.”

එදා සිට අද දක්වා මේ දයාවේ ස්මාරකය දුම්රිය සේවකයන්, දුම්රිය පොළට පැමිණෙන්නන්, සුනඛයන්ට ආදරය කරන්නන් ආදී සියලු දෙනාගේ ගෞරවය සහ ආදරය දිනා ගත් ස්ථානයක් බවට පත්ව තිබේ. මොස්කව් නගරය කරා පැමිණෙන බොහෝ සංචාරකයෝ මෙය නරඹන්නට අමතක නො කරති. බොහෝ දෙනෙක් ස්මාරකය පාමුල මල් තබා යනු දකින්නට ලැබේ. ලෝකඩ ස්මාරකයක් බවට පත් වූ මැල්චික්ගේ හිස අත ගා යන්නට බොහෝ දෙනෙක් අමතක කරන්නේ නැත. මැල්චික්ගේ නැහැය ස්පර්ශ කිරීම වාසනාව ගෙන දෙන්නක් බවට විශ්වාසයක් ද පැතිර තිබේ. 2019 වසරේ රුසියානු තැපැල් දෙපාර්තමේන්තුව මැල්චික්ට උපහාර පිණිස මේ ලෝකඩ ස්මාරකයේ ඡායාරූපයක් ඇතුළත් කොට මුද්දරයක් ද නිකුත් කරනු ලැබිණි.

1.       මැල්චික් සුනඛයාට උපහාර පිණිස නිකුත් කළ මුද්දරය

සතුන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම පිළිබඳ සෙසු ලෝකයා දරන ආකල්පය එසේය. මීට අමතරව වෙනත් බොහෝ කාරණා හේතු කොට ගෙන සතුන් වෙනුවෙන් ලෝකයේ තවත් බොහෝ ස්ථානවල ස්මාරක ඉදි වී තිබේ. කෙසේ නමුත් සතුන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම සම්බන්ධව ඇතැමුන් තුළ කුකුසක් පහළ වන්නේ අප රට තුළ සතුන් කෙරෙහි සැබෑ දයානුකම්පාවක් දකින්නට නො ලැබීම නිසා ද යන ගැටලුව මතු වේ. කෙසේ නමුත් දියුණු මානවීය ලක්ෂණ සහිත සමාජයක මෙවැනි ක්‍රියාකාරකම් ඉස්මතු වීම නිරායාසයෙන් ම සිදු වේ. බුදු දහම වැනි අවිහිංසාව, දයාව, කරුණාව පෙරදැරි කරගත් දර්ශනයක් සහිත ශ්‍රී ලාංකේය ජනසමාජයේ එවැනි දියුණු මානවීය ලක්ෂණ මතුනොවීම අවාසනාවන්ත තත්ත්වයකි. කිව හැකි එකම දෙය වන්නේ පැය විසිහතර මුළුල්ලේ ම බුදු බණ ඇසුව ද තවමත් අප ජනසමාජය බුදු දහමේ හරයාත්මක මගට පිවිස නැති බවය.

Wednesday, September 4, 2024

කෘත්‍රිම බුද්ධිය, මැතිවරණ සහ කොම්පියුටර් ජිල්මාට් - Artificial Intelligence and Elections



කෘත්‍රිම බුද්ධියත්, 2022 වසර අවසානයේ ලෝකයට එක් වූ, කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියාත්මක වන ChatGPT වේදිකාවත් නිසා මැතිවරණයකට පෙනී සිටින අපේක්ෂකයන්ට බොහෝ වාසි සහගත තත්ත්වයක් උදා වී තිබෙන බැව් මේ වන විටත් මේ සම්බන්ධව සිදුවන විවිධ කතාබහ තුළින් පැහැදිලි වෙමින් පවතී. එය යහපතක් සේම අයහපතක් බවට ද පත් වෙයි.

ඔබ අන්තර්ජාලය නිතර භාවිත කරන්නකු නම් ගූග්ල් සෙවුම් යන්ත්‍රයට මෑතක සිට කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් ද සෙවුම් ප්‍රතිඵල ලබා දෙන බව දැක තිබෙනවා විය හැකිය. මෙයට පෙර ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් යම් සෙවීමක් කළ විට අදාළ මාතෘකාවට අදාළ ව ලොව පුරා සම්පාදනය වුණු සියලු දෙයම තත්පර කිහිපයක් ඇතුළත තිරයේ දිස්වනවා මිස එම මාතෘකාව යම්කිසි විශ්ලේෂණයකට ලක් කළ තොරතුරක් ලබා දීම සිදු වන්නේ නැත. නමුත් මෑතක සිට පෙර පරිදි ලැබෙන ප්‍රතිඵලවලට අමතරව, එම කාරණය කෘත්‍රිම බුද්ධිය මගින් විශ්ලේෂණයකට ලක් කොට ලබා දෙන ප්‍රතිඵලයක් ද පරිශීලකයාට වෙතට ලබා දෙයි. එහිදී කෙරෙන්නේ ලොව පුරා මේ සම්බන්ධව ඇති සියලු කරුණු කෘත්‍රිම බුද්ධිය මගින් ක්ෂණිකව විශ්ලේෂණය කොට කොට ප්‍රතිඵලයක් ලබා දීමය. මෙය මැතිවරණ කටයුතුවලට බෙහෙවින් වැදගත් වන බවත්, එය පවතින ජනමතයට ඉතා පහසුවෙන් අවබෝධ කරගන්නට ඡන්ද අපේක්ෂකයන්ට මහඟු අවස්ථාවක් ලබා දෙන බවත් පැහැදිලි වෙමින් පවතින බව ලොව පුරා විවිධ දේශපාලන විශ්ලේෂකයන් විසින් අදහස් දක්වා තිබේ.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව සලකා බැලුවහොත් ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් දැනට අප රටේ ජනතා මතය පිළිබඳ සෙවුමක් කළ හොත් සාමාන්‍ය ප්‍රතිඵලවලට අමතරව කෘත්‍රිම බුද්ධියේ විශ්ලේෂණය ද දැක ගත හැකිය. පරිගණක විශේෂඥයන්ට සිය දැනුම භාවිත කරමින් මෙය තවදුරටත් විශ්ලේෂණය කළ හැකිය. මෙයට පෙර මෙවැනි ක්ෂණික විශ්ලේෂණයක් ලබාගන්නට හැකියාවක් තිබුණේ නැත. නමුත් දැන් ලැබී තිබෙන වාසි සහගත තත්ත්වය නිසා ඕනෑම අපේක්ෂකයකුට ජනතාව සිතන පතන ආකාරය පිළිබඳ පෙරට වඩා පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකියාව තිබේ. එය මත සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්නට හැකියාව තිබේ. අදාළ අපේක්ෂකයාගේ මතවාදය වන්නේ සැබෑ ජනමතය ජයග්‍රහණය කරවීම නොවීම විය හැකි වන නමුත්, ඔහු එය ක්‍රියාත්මක කරවන්නේ එය ජයග්‍රහණය කරවනවා යැයි පෙනෙන පරිදිය. මේ අතරේ සැබෑ ජනමතය වෙනුවෙන් අවංකවම වැඩකටයුතු කරන අපේක්ෂකයකු ද සිටිය හැකිය. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ ද ඒ වෙනුවෙනි. මෙහිදී පරිගණක තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කළ හැකි අපේක්ෂකයාට වාසි සහගත තත්ත්වක් හිමි වෙයි.

කොම්පියුටර් ජිල්මාට් පිළිබඳ කතාව කරළියට පැමිණි 2010 වසර මෙන් නොව මේ වන විට බහුතරයක් සමාජ ජාල භාවිත කරන්නන් බවට පත්ව තිබේ. යම්කිසි මැතිවරණයක ප්‍රතිඵලය මත බලපෑම් කරනුයේ අලුතින්ම ඡන්දය භාවිත කරන්නට පැමිණෙන තරුණ ඡන්ද දායකයන් සහ පාවෙන ඡන්ද දායකයන්ය. මේ අතරින් බහුතරයක් සමාජ ජාල භාවිත කරති. එබැවින් ඔවුන් කරා සිය මතය පතුරවන්නට ඡන්ද අපේක්ෂකයන්ට අවස්ථාව තිබේ. මූල්‍ය ශක්තිය වැඩියෙන් ඇති අපේක්ෂකයන්ට පරිගණක කණ්ඩායම් යොදවා ඡන්ද දායකයන්ගේ සමාජ ජාල පිටු විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ මතය පිළිබඳ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ක්ෂණික, පහසු විශ්ලේෂණයන් සිදු කළ හැකිය. ඉන්පසුව සිදුවන්නේ තමාට එරෙහිව මතයක් දරණ ඡන්ද දායකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අදහස වෙනස් වන ආකාරයේ මත පතුරුවා හැරීමය. මෙවැනි විශ්ලේෂණාත්මක අදහස් පමණක් නොව, තමාට ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අවාසි සහගත වන අන්දමේ ඡායාරූප, වීඩියෝ ආදිය පවා නිර්මාණය කර ගත හැකි තරමට කෘත්‍රිම බුද්ධිය මේ වන විට දියුණු තත්ත්වයක පවතින බව අමතක නොකළ යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලියේ දී මෙම තත්ත්වය වඩාත් හොඳින් දැක ගත හැකි වනු ඇති බව එරට පරිගණක විශේෂඥයන් මේ වන විටත් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය ඇමරිකා එක්සත් ජනපදයේ තරම් දියුණු මට්ටමක නොමැති වුව ද, දැනට පවතින තාක්ෂණය සමග කෘත්‍රිම බුද්ධිය එක්කොට ජනතා මතය වෙනතකට හැරවීම සඳහා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරවීම දුෂ්කර කාර්යයක් නොවේ. එය 2010 වසරේ එල්ල වූ කොම්පියුටර් ජිල්මාට් චෝදනාව වඩා ඉදිරි පියවරක් වන අතර එයට එරෙහිව නඩු පැවරීම වැනි කටයුතු පවා කළ නොහැකි දෙයක් වනු ඇත. මන්ද කොම්පියුටර් ජිල්මාට් චෝදනාවෙන් සිදුවූයේ ජනමතය අනුව ඡන්ද ලැබුණු පසු, එය පාලක පක්ෂයට අවාසි සහගත වෙමින් පවතින්නේ යැයි පෙනෙන්නට පටන් ගත් අවස්ථාවේ සිට,  පරිගණක ඇසුරෙන් ප්‍රතිඵල වෙනස් කළේය යන කාරණයයි. ඇතැම් විට නිවැරදි විමර්ශනයක් කළේ නම් එය ඔප්පු කරගන්නට වුව හැකියාව තිබෙන්නට පුළුවන නමුත් වර්තමානයේ පරිගණක තාක්ෂණයත්, කෘත්‍රිම බුද්ධියත් එකතුව සිදුකරන්නේ ඡන්දය භාවිතයෙන් පසුව එම ප්‍රතිඵලය වෙනස් කිරීමකට වඩා ඡන්දය භාවිත කරන්නට පෙර සිටම ඡන්ද දායකයන්ගේ ජනමතය වෙනස් කිරීමය. ඒ අතරේ කෘත්‍රිම බුද්ධිය මගින් කිසිවකුට නොදැනෙන අයුරින් ලැබී ඇති ප්‍රතිඵල පවා වෙනස් කරන්නට හැකියාවක් නැතැයි පැවසිය නොහැකිය. එබැවින් එලැඹෙන මැතිවරණයක දී අප දැනුම්වත්ව හෝ එසේ නොමැතිව හෝ අප කෘත්‍රිම බුද්ධියේ බලපෑමට හසුවනු ඇත. එය එසේ නොවේ යැයි පවසන්නට හැකියාවක් නැත.