පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, June 29, 2015

ලෙඩ හැදුණු ගොඩනැගිලි නිසා හැදෙන ලෙඩ - Sick Building Syndrome


අපට රෝග වැළඳෙන විවිධ ක්‍රම තිබෙනවා. ජලයෙන්, වාතයෙන්, ආහාරපානවලින්, ස්පර්ශයෙන්, වෛරස් හා බැක්ටීරියා ආසාදනවලින් ආදී වශයෙන් දිග ලැයිස්තුවක් සකස් කරන්නට පුළුවන්. මේ කාරණා අතරට අප නොදන්න තවත් බොහෝ ඒවා එකතු විය හැතියි. නමුත් වැඩිපුර කතා නොකළත් අප බොහෝ දෙනෙක් රෝගී තත්වයන්ට පත්වන තවත් එක් කාරණයක් තියෙනවා. මේ රෝගය හඳුන්වනු ලබන්නේ ‛රෝගී ගොඩනැගිලි සහලක්ෂණය’ (Sick building syndrome) කියන නමින්. මෙය අප රට ඇතුළුව මුළු ලෝකය පුරාම පැතිර ගොස් හමාරයි. මේ අමුතු නමක් තියෙන රෝගය ඇත්තටම මොකක්ද? 

යම්කිසි ගොඩනැගිල්ලක ජීවත්වන හෝ සේවය කරන පුද්ගලයන් තුළ ඇතිවන තදබල සුවිශේෂී රෝග තත්වයන් හැඳින්වීම සඳහා මේ නම යොදාගන්නවා. බොහෝ වෙලාවට කාර්යාලයක් නම් අදාළ පුද්ගලයන්ට මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සේවා කාලය ඇතුළත පමණයි. 1984 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළි වූයේ ඒ කාලයේ ඉදිකරන ලද සහ නවීකරණය කරන ලද ගොඩනැගිලිවල සේවය කරන්නන්ගෙන් 30% කටත් වඩා මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවයි. ගොඩනැගිලි අභ්‍යන්තරයේ ක්‍රමවත් වාතාශ්‍රයක් නොමැති වීම මෙම රෝගයට ප්‍රධාන හේතුවක් වෙනවා. 

අප අවට ඇති වාතයේ විවිධ අංශූන් විසිර පවතිනවා. ‛ජෛව එරොසොල්’ ( bio aerosols ) යනුවෙන් හඳුන්වනු ලබන මේවා මිනිසාගේ සෞඛ්‍යට තදබල ගැටලු ඇති කරනවා. ඇස්, නාසය, උගුර ආදියෙහි ඇතිවන දැවිල්ල, ස්නායු රෝග, සමෙහි ඇතිවන කැසීම්, හිසේ බරගතිය, ඇදුම, හතිය ආදී ස්වසන රෝග, ගඳ සුවඳ සහ රස දැනීම පිළිබඳ ගැටලු, අසාත්මිකතාවයන් ආදිය මෙහි රෝග ලක්ෂණ අතර විශේෂයෙන් දක්නට ලැබෙනවා. 

යහපත් හා ක්‍රමවත් වාතාශ්‍රයක් නොමැති නිවෙස් හා ගොඩනැලිලිවල විවිධ දිලීර වර්ග වර්ධණය විශේෂයෙන් දකින්නට ඇති දෙයක්. එවිට ඒවා නිරායාසයෙන්ම අපගේ ස්වසන පද්ධතියට ඇතුළු වෙනවා. විශේෂයෙන් විශාල ගොඩනැගිලිවල පිහිටි ඇතැම් කාර්යාල සඳහා ස්වභාවික ආලෝකය හෝ වාතාශ්‍රය ඇතුළු වන්නට ඉඩක් නැහැ. ඒවාට ආලෝකය ලැබෙන්නේ විදුලි බුබුලුවලින්. වාතාශ්‍රය ගළා එන්නේ වායුසමීකරණ යන්ත්‍රවලින්. ස්වභාවිකත්වයෙන් ඈත්ව සිටීමේ මෙම පුරුදු නිසා මිනිසා නොදැනුවත්වම මේ ආකාරයෙන් විවිධ රෝගවලගට මුහුණ දෙනවා. 

අවට පවතින ස්වභාවික ආලෝකය නිතර නොදැකීම නිසා ඇතිවන මානසික පීඩනය, ඒ නිසා ඇතිවන දුර්වල අන්තර් පුද්ගල සම්බන්ධතා ආදිය ද ඇතැම් පුද්ලයන් තුළ මෙම රෝග ලක්ෂණ ඇති කරන්නට හේතුවක් වෙනවා. 

ගොඩනැගිලි නිසා වැළඳෙන මෙම රෝග තත්වයට  පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වන බව ද සොයාගෙන තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් සේවයේ නියුතු කාන්තාවන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම නුවණට හුරුයි. මෙයට හේතුව වශයෙන් මෙතෙක් කරන ලද පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිරිමින්ට වඩා ප්‍රබලව ප්‍රතිචාර දක්වන සුළුවීම හා  නාස්වල ඇති ශ්ලේෂමල වියළී යාම ඔවුනට දැඩි ලෙස බලපෑම් කිරීමයි. අනෙක කාන්තාවන් අතුරින් බහුතරයක් කාර්යාල තුළ සිදු කළ යුතු රැකියාවන්ගේ නිරත වීම ද මෙවැනි රෝගවලට ගොදුරුවන්නට හේතු වී තිබෙනවා. 

වාතාශ්‍රය අඩු කාර්යාල ගොඩනැගිලි පිරිසිදුකිරීම සඳහා පරිසර හිතකාමී ද්‍රව්‍යයන් යොදාගැනීම, ජලය රැඳෙන සීලිම් ෂීට් සහ කාපට් භාවිතයෙන් ඉවත්කිරීම ආදිය මෙය අවම කරන්නට හේතුවන වන සොයාගෙන තිබෙනවා. 

එමෙන්ම කාර්යාලවල තීන්ත ආලේපය, පලිබෝධ නාශක භාවිතය ආදිය වැඩකරන දිනවල සිදුනොකිරීම ද මෙම රෝගය වැළැක්වීම සඳහා ගත හැකි තවත් එක් ක්‍රියාමාර්ගයක් ලෙස සැළකෙනවා. හැකි තාක් ස්වභාවික ආලෝකය කාර්යාල තුළට ගළා ඒමට කටයුතු කිරීම, කාර්යක්ෂම රික්තක උපකරණ (vacuum) මගින් ගොඩනැගිලි තුළ ඇති දුවිලි ආදිය ඉවත්කිරීම  මේ සඳහා ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් ලෙස සඳහන් කළ හැකියි. අතුගෑමෙන් දූවිලි ඉවත්කිරීම මෙහිදී කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. 

මෙම රෝගය පිළිබඳ මුළින්ම කරුණු වාර්තාවන්නට වූයේ 1970 දශකයේ සිටයි. යම් යම් ගොඩනැගිලිවල සේවය කිරීමේදී සේවකයන් රෝගී තත්වයට පත්වීමත් සමඟ එම ගොඩනැගිලි ‛රෝගී ගොඩනැගිලි’ වශයෙන් නම් කරන්නට පටන් ගැනුණා. මෙහිදී ගොඩනැගිලි ඉදිකරන්නන් ‛නිරෝගී ගොඩනැගිලි’ ඉදිකිරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය පවා හඳුන්වා දෙන්නට පටන් ගැනුණා. නමුත් ක්‍රමවත් පර්යේෂණ සිදුකෙරෙන තුරු මෙයට නිවැරදි හේතුව සොයාගන්නට හැකියාක් ලැබුණේ නැහැ. 

මේ වන විට අප රටේ ද නිවාස සහ විශේෂයෙන් විශාල කාර්යාල ගොඩනැිලි ඉදිකිරීමේදී මෙම ‛රෝගී ගොඩනැගිලි සහලක්ෂණය’ පිළිබඳ දැඩි අවධානය යොමුකරන බව පෙනෙනවා. එයට හේතුව මෙම රෝග ලක්ෂණ ශ්‍රී ලංකාව වැනි නිවර්තන දේශගුණයක්  පවතින රටවල වැඩි වශයෙන් දක්නට ලැබීම නිසයි. 

කෙසේ වෙතත් කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි ඉඩක් පවතින නිසා ඔබ ද කාර්යාලයක සේවය කරන්නියක නම් මෙහි සඳහන් කළ රෝග ලක්ෂණ අනුව ඔබට වැළඳෙන යම් යම් රෝගවලින්  වැළකීම සඳහා ක්‍රියා මාර්ග ගත හැකියි. සේවා ස්ථාන දැනුවත් කළ හැකියි. එයට හේතුව ගෘහනිර්මාණ ශීල්පීන්  අලුතින් ඉදිකරන  ගොඩනැගිලි මෙම රෝගයට ලක් නොවීම සඳහා යම් ක්‍රිමා මාර්ග ගෙන තිබුණත් පැරණි ගොඩනැගිලිවල තත්වය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි වීමයි. එමෙන්ම අප රටේ බොහෝ අය මේ පිළිබඳ දැනුවත්වී නැති බව ද පෙනෙනවා. එසේ හෙයින් මේ පිළිබඳ දැනුවත් වී එය වළක්වා ගැනීමට කටයුතු කිරීම සියලු දෙනාගේම යුතුකම හා වගකීමක් ද වනවා. 

Friday, June 26, 2015

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වීර ක්‍රියා


අනුරාධපුරේ තිරප්පනේ අලිස්ථානයේ පුරාණ විහාරයක ගරාවැටුණු ස්ථූපයක් ප්‍රතිසංස්කරණය කළ බැව් පැවසුණු විහාරාධිපති හිමියන් සහ දායක සභාවේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුවතක් දක්නට ලැබිණි. ඔවුන් සිදු කොට තිබූ වරද වූයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළක් අනවසරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමය. පුරා විද්‍යා නීතයේ හැටියට මෙය නීති විරෝධී කියාවකි. සැබැවින්ම නීති ගරුක පුරවැසියන් හැටියට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම පියවරට අප කිසිවකුට හෝ එරෙහිවන්නට හැකියාවක් නැත. විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස සිදු කොට ඇත්තේ පුරා විද්‍යා නීතියට පිටුපෑමය. අපට ගැටලුව ඇත්තේ එතැන නොවේ. පුරා විද්‍යාවේ මෙම නීතියට පිටුපාන සියල්ලන්ම මෙසේ අත්අඩංගුවට ගන්නේ ද යන්නය. 

අප උදාහරණයක් ලෙස ගත හොත් බෞද්ධ ආරාමයක් යැයි පුරා විද්‍යාවෙන් සඳහන් කරමින්, එම පරිශ්‍රයට ඇතුළුවීම පවා තහනම් කොට ඇති කුරගල ජනාවාස පිහිටුවීමට මුල් වූ කිසිවකු මෙසේ අත්අඩංගුවට ගෙන නැත. එහි ඉපැරණි බ්‍රාහ්මී අක්ෂර ඇති ලෙන් පවා ඉස්ලාම් අංග සහිතව නවීකරණ කොට තිබේ. නමුත් භික්ෂූණ් වහන්සේ ඉදිරියේ සිංහයන් වන මෙම පුරා විද්‍යා නිලධාරීන් සහ පොලීසිය කුරගලදී නගුට අධෝමුඛයේ රුවාගත් සුනඛයන්ටත් අන්ත ලෙස පහතට වැටී ඇත. 

නැගෙනහිර පළාතේ පොතුවිල් නගරයට ආසන්නේ පිහිටි මඟුල් මහා විහාරයට අත්වී ඇති ඉරණම ද මෙයමය. 

බෝධීන් වහන්සේලා ඉවත් කරන්නට සිංහයන් මෙන් පැමිණෙන බලධාරීහු අනවසර ඉස්ලාම් මස්ජිද ඉදිරියේ බලු තත්වයට වැටේ. 

අවසානයේ අයුක්තිය සිදුව ඇත්තේ සිංහලයාටම නොවේද? 

Thursday, June 25, 2015

කෝප්පයෙන් අනාවැකි කියමු - Predictions by Cup



යම් යම් දේ සිදුවෙන්නට කලින් දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක හැම අතින්ම ප්‍රයෝජනවත් දෙයක්. ඇත්ත නැත්ත කොහොම වුණත් අපි කේන්දරය බලවගන්නේත් ඒ වගේ ඉදිරියේදී ජීවිතයට වෙන්න තියෙන්නේ මොනවද කියලා දැනගන්නයි. එවිට ඒ දේවල්වලට යම් සූදානමක් ඇතිකරගන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයකට නම් ජ්‍යොතිෂය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. කොහොම වුණත් ජීවිතය ගැන වගේම වෙනත් දේවල් ගැනත් අනාවැකි පළ කළ හැකි ලේසි පහසු ක්‍රම තිබෙනවා. බොහෝ දෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. ඒ නිසා එවැනි ක්‍රමයක් දෙකක් ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. 

අපි මුළින්ම කරන්නේ තේ කෝප්පයෙන් අනාගත ජීවිතය ගැන අනාවැකි පළකරන විදිහ ගැන කතා කරන්නයි. ඇත්තටම තේ කෝප්පයෙන් අනාවැකි කියන එක අදක ඊයෙක හොයාගත්ත දෙයක් නෙවෙයි. එය වසර දහස් ගණනක් පැරණි අනාවැකි ක්‍රමයක්. මේ ක්‍රමය උපත ලබා ඇත්තේ මැදපෙරදිග සහ පෙරදිග බව පැවසෙනවා. මෙය ඉංග්‍රීසි බසින් හඳන්වනු ලබන්නේ tasseography නමින්. මේ සඳහා අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. 

තේ කොල ටිකක්, උණු වතුර, තේ කෝප්පයක් සහ පීරිසියක් අවශ්‍යයි. 

දැන් තේ කොල තේ හැන්දක් විතර අරගෙන කෝප්පයට දමන්න. දැන් උණු වතුර ටික කෝප්පයට වත්කරලා පීරිසියෙන් වහලා මිනිත්තු දෙකක් පමණ තියන්න. මේ සඳහා ඔබ යොදාගත්තේ කලු තේ නම් මිනිත්තු දෙකක් විතර ඇති. කොල තේ නම් ඊට වඩා ටිකක් වැඩි කාලයක් තියන්න. උණු වතුර කෝප්පයට වත්කරන විට හැන්දකින් සෙමින් කරකවන්නත් මතක තියාගන්න ඕන. 

දැන් තේ තේ කෝප්පයෙන් තුන් කාලක් විතර බොන්න. එවිට කෝප්පයේ ඉතිරිවන්නේ කාලක් පමණයි. ඉන් පසුව හැන්දක් අරගෙන ඉතිරි තේ ටික කවලම් කරලා කෝප්පය උඩ පීරිසිය තියලා එක්වරම අනෙක් පැත්ත හරවන්න. එවිට තේ පීරිසිය මතට ගළාගෙන යන හැටි ඔබට පෙනෙනවා. දැන් තේ කෝප්පය පීරිසිය මත තිබෙද්දීම ඔරලෝසුව කරකැවෙන අතට තුන් වතාවක් කෝප්පය කරකවන්න. තේ පීරිසියට ගළාගෙන යද්දී කෝප්පයේ ඇලී ඉතිරිවුණු තේ කොලවලින් ආසන්න වශයෙන් ඉදිරි සති දෙක ඇතුළත් ඔබට මුහුණපාන්නට සිදුවන දේවල් ගැන කියැවෙනවා. යටට වන්නට ඇති තේ කොළවලින් ඉදිරි සති හතරේ සිදුවිය හැකි දේවල් ගැනත් කියැවෙනවා. 

දැන් බලමු මේ තේ කොලවලින් හැදුණු රටාවලින් කියැවෙන්නේ මොනවද කියලා. 

වැලි තුලාව - පරෙස්සම් විය යුතු බව 
වළාකුළු - මානසික ගැටලු 
චන්ද්‍රවංකය (කුඩා සඳ පලුවක්) - අලුත් ආරම්භයක් 
මාළුවා - ධනය, සුබ ආරංචි, ආශාවන් 
මුද්ද - වගකීම්, පොරොන්දු 
සිප්පි කටුව - මූල්‍ය කටයුතු 
තරුව - වාසනාව 
ඍජු රේඛාව - විනෝදාස්වාදය ලැබෙන ගමන් බිමන්, දීර්ඝායුෂ, සාමය 
රැළි ගැසුණු රේඛාව - අහිමිවීම්, පාඩු, ඔබේ සිතට වද දෙන යමක් 
මල - වර්ධණය, සාර්ථකත්වය 
ත්‍රිකෝණය - කොනක් උඩට සිටින සේ ඇත්නම් වාසනාව, කොනක් පහළට සිටින සේ ඇත්නම් අවාසනාව 

මීට අමතරව ඔබට පෞද්ගලිකව විවිධ අර්ථ ඇති සංකේත ද මෙහි තිබේදැයි බැලිය හැකියි. 

හොඳයි අපි ඒ අනාවැකි කිව්වේ තේ කෝප්පයෙන්. ඔබේම ජීවිතය ගැනයි ඒ හැම දෙයකින්ම කියැවෙන්නේ. දැන් අපි අනාවැකි පළකරන්න යන්නේ කෝපිවලින්. නමුත් මේ කියන්නේ ජීවිතය ගැන නෙවෙයි. කාලගුණය ගැන. සාමාන්‍යයෙන් කාලගුණ අනාවැකි කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වුණත් ඔබේ සාමාන්‍ය ජීවිතයට මෙයින් කිව හැකි අනාවැකි වැදගත් වෙන බව නිසැකයි. 

මුළින්ම කෝපි එකක් පිළියෙල කරගන්න. කිරි ටිකක් දාන්න පුළුවන් නම් වැඩේ තවත් පහසුයි. එවිට කෝපිවල බුබුලු නැගෙනවා.  එම බුබුලු කාලගුණ අනාවැකි කියන්න ප්‍රයෝජනවත් වෙනවා. 

දැන් කෝපි ටික කෝප්පයකට දාන්න. එවිට නැගෙන බුබුලු දිහා විමසිලිමත්ව බලා ඉන්න. 


මේ බුබුලු ඉතා ඉක්මණින් කෝප්පයේ අයිනට ගමන් කරනවා නම් එයින් කියැවෙන්නේ ඊළඟ පැය 12 තුළ පැහැපත් කාලගුණයක් පවතින බවයි. 
මේ බුබුලු කෝප්පයේ මධ්‍යයේම පවතිනවා නම් එයින් කියැවෙන්නේ ඊළඟ පැය 12 ඇතුළත වැසි වසින බවයි. 



මේ බුබුලු සෙමින් සෙමින් කෝප්පයේ අද්දරට ගමන් කරනවා නම් එයින් කියැවෙන්නේ අඳුරු කාලගුණයක් පැවතිය හැකි නමුත් පැය කිහිපයකින් එය පැහැපත් තත්වයට හැරෙන බවයි. 

කෝප්පයේ බුබුලු නැගුනේ නැත්නම් අනාවැකි පළකරන්න බැහැ. එවිට හැන්දක් ගෙන කළවම් කොට බුබුලු නංවන්නට උත්සාහ ගන්න. 

මේ අනාවැකි ක්‍රමයට නම් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. වායුගෝලයේ පීඩනය අධික නම් බුබුලු කෝප්පයේ අද්දරට ගමන් කරනවා. අධික වායු පීඩනයෙන් කියැවෙන්නේ සන්සුන්, පැහැපත් කාලගුණයක් පවතින බවයි. අඩු වායුපීඩනයක් පවතිනවා නම් එවිට බුබුලු තල්ලු කරන්නට හැකියාවක් නැහැ. අඩු පීඩන තත්වයකදී බොහෝ විට වැසි බලාපොරොත්තු විය හැකියි. 

මේ අනාවැකි ක්‍රමය අත්හදා බලා සාර්ථක වූවක් බවත් සඳහන් කළ යුතුයි. 

Monday, June 22, 2015

කජු කන එක ලේසි වැඩක්ද?


කොහොමද අද ගණන් ප්‍රශ්න පත්තරේ?” 

ඉස්සර අපේ අම්මලා තාත්තලා එහෙම ඇහුවාම කියන්නේ, 

අයියෝ කජු කනවා වගේ. ගණන් ඔක්කොම හැදුවා” 

එහෙම කිව්වත් රිපෝට් කාඩ් එක දෙන දවසේ තමයි කජු කෑම කොහොමද කියලා ඇත්තටම පෙනෙන්නේ. 

කොහොම වුණත් මේ කජු කන කතාව ගැන මට සෑහෙන කාලෙක ඉඳන් ලොකු අවුලක් නම් තිබුණා. මොකද අපි හරිම ලේසි වැඩකට තමයි ‛කජු කනවා’ කියලා කියන්නේ. ඒත් මට නම් පොඩි කාලේ ඉඳින්ම කජු කනව කියන එක ලේසි වැඩක් වුණේ නෑ. 

මුළින්ම කජු කඩන එක ගැන හිතමු. 

අපේ වත්තේ කජු නැති නිසා කඩන්න වෙන්නේ වෙන කොහෙන් හරි. නැත්නම් අහුලගෙන එන්න ඕන. අනුන්ගේ වතුවලින් කජු කඩන එක හරි අහුලන එක හරි හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. කොහොම හරි කජු ගෙදර ගෙනාවා කියමුකෝ. 

ඊට පස්සේ කජු ලෙලි අරින්න ගියාම ඔක්කෝටම වඩා එපා වෙනවා. කොටයක් උඩින් තියලා, කජු ගෙඩිය පලලා මදේ එළියට ගන්න ඕන. කජු කිරි ගෑවුනාම සමහර වෙලාවට වන වෙනවා. ඒ විතරක්ද? කජු කිරි ගඳ එනවා. 

කජු මද ටික වෙන් කරගත්තා කියලා හිතමුකෝ. 

ඊට පස්සේ වතුරේ දාලා පොතු ටික අයින් කර ගන්න ඕන. මොකද කජු කිරි කටේ ගෑවුනොත් කටත් වන වෙනවා. 

ඔන්න දැන් කජු මද ටික ලෑස්තියි. 

දැන් කාට හරි මේ මද ටික දුන්නොත් කටට දෙකට ගිල දාන්න පුළුවන්. 
අන්න ඒ පියවරේ ඉඳන් බලන කෙනෙක් නම් කියයි, 

අයියෝ කජු කනවා වගේ ලේසියිනේ” කියලා. 

ඒත් ඇත්තටම මට නම් මේ වැඩේ හරි අමාරුයි. 

ඉතිං මම එක් දෙයක් පුරුදු වුණා. 

අමාරු වැඩක් කරන්න ආවාහම, 

අම්මෝ මේක කජු කනවා වගේ අමාරු දෙයක් නේ” 
කියලා කියන්න. 


Thursday, June 18, 2015

මේ වෑයම සිංහලයා නපුංශක කිරීමද?



ගැරඬියකුට භූමිතෙල් ඉස්ස විට ඇතිවන කලබලය ගැන දන්නේ එය දුටු පුද්ගලයන් පමණි. ඇතැම් විට නගරබදව ගැරඬින් සොයාගන්නට නොහැකි නිසා එවැන්නක් දැකගන්නට ඉඩක් ද නැත. නමුත් එවැනි හැසිරීමක් මෑතක දිනකදි මිනිසකුගෙන් දක්නට ලැබිණි. ඒ ජාතික රූපවාහිනියේ ‛සුසර ගී දැහැන’ ට පැමිණි ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගෙනි. චන්ද්‍රිකා සිරිවර්ධනගේ ‛රණ බිම මැරුණේ සිංහලයෙක් නම්’ ගීතය ගැන අදහස් ප්‍රකාශ කරන්නට යාමේදී එහි ‛සිංහල’ යන වචනය තිබීම ගැන උරණ වූ ඔහු හැසිරුණේ භූමිතෙල්වලින් පහර කෑ ගැරඬියකු මෙනි. 

ඔහු පමණක් නොව අද අප රටේ ඇතැමුන් ‛සිංහල’ යන වචනය ඇසෙද්දී හැසිරෙන්නේ මේ ආකාරයෙන්මය. මේ සියලු නපුංශකයන් සිතන්නේ ‛සිංහල’ යනු ජාතිවාදයට ඇති පර්යාය පදයක් ලෙසය. ඇතැම් නපුංශකයන්ට ජාතියක් නැත. ඔවුන් දේශසීමා මායිම් උත්ක්‍රමණය කළ පුරවැසියෝ වෙති. එබැවින් ඔවුහු ජාතිය යන්න ගණනකට ගන්නේ නැත. එය එක් අතකින් යහපත් යැයි ද සිතෙන්නේ සියලු දෙනාම එවැනි මානසිකත්වයක පසුවන්නේ  නම් ජාති භේද, ආගම් භේද හෝ ජනවාර්ගික අර්බුද හෝ යම් රටක ඇති නොවන බැවිනි. නමුත් ගැටලුව වන්නේ සියලු දෙනා එසේ නොසිතීමය. නපුංශක වෙමින් පවතින සිංහලයන් කිහිප දෙනෙකු එසේ සිතමින්, අනෙකුන්ට ද එසේ සිතන්න යැයි ගමින් ගමින් යමින් ප්‍රචාරණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ ද දෙමළා හෝ මුස්ලිමා එසේ සිතන්නට ‛සිතන්නේ වත්’ නැත. ඔවුන්ට සිය ජාතිය අභිමානයකි. “මම දෙමළ” හෝ “මම මුස්ලිම්” යැයි ඔවුහු අභිමානයෙන් පවසති. නමුත් අපේ ඇතැම් නපුංශක සිංහලයන් තමන් සිංහල යැයි කියන්නට අකැමතිය. බයය. ඔවුන්ගේ නපුංශක සිත්වලට දැනෙන්නේ එසේ පැවසීමෙන් ජාතිවාදය ඇවිස්සෙන බවය. අනෙක් ජාතියේ සිත රිදෙන බවය. ගිහියන් පමණක් නොව චීවරධාරීහුද මේ අතර සිටිති. අප අපගේ ජාතියේ අනන්‍යතාවය අමතක කළ හොත් සිදුවන්නේ අද දවසේ මේ ජාතිය උරුම කොටගෙන ඉපදෙන දරුවන්ට හෙට දවසේ මෙරට නිදහසේ හුස්ම ගැනීමට ඇති වටපිටාව අහිමිව යාමය. 

මෙවැනි නපුංශකයන්ට නොපෙනුනත් ලොව පුරා මුස්ලිම් ව්‍යාප්තවාදයක් පවතින බැව් රහසක් නොවේ. අප රටේ විල්පත්තුව, මඩු වනාන්තරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන්නේ එයය. ලෝකයේ වෙනත් රටවල ද සිදු වූයේ එයමය. දෙමළා ද කුමක් කරන්නට අරඅඳිනවාදැයි දන්නේ නැත. නමුත් අපේ බොහෝ  දෙනෙක් ‛සහෝදරත්වයක්’ ගැන කතා කරමින් මේවා නොදැක්කා සේ සිටිති. ජාතියක් වශයෙන් තමන් නපුංශක වී සිටිනවාට අමතරව අනෙක් පිරිස ද නපුංශක කිරීමට මොවුනට ඇත්තේ ඉමහත් ‛රුදාවකි’. ඒ එවැනි ‛ලිංග විපර්යාස’ කිරීමෙන් ඔවුනට යම් යම් ප්‍රතිලාභ ලැබෙන බැවින් විය හැකිය. 

අපගේ දේශාභිමාන ගී බොහොමයක ‛සිංහල’ යන වචනය ඇති බැවින් දැන් ඒවා ප්‍රසිද්ධ මාධ්‍යන්ගෙන් ප්‍රචාරය නොවන තරම්ය. ඒවා ප්‍රචාරය වන්නට නම් ‛සුසර ගි දැහැනේ’දී සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් පැවසූ පරිදි ජාතිවාදය ඇවිස්සෙන ‛සිංහල’ යන වචනය වෙනුවට වෙනත් වචන ආදේශ කළ යුතුය. ඇතැම් සිංහලයන් කෙතරම් නපුංශක වී ඇතිදැයි මේවා දකින විට සිතේ. මේ තත්වය නිසා අපට ඉදිරියේදී බොහෝ දේශාභිමාන ගීත අසන්නට නොලැබෙනු නිසැකය. එසේ අසන්නට ඉඩක් නොලැබිය හැකි ගීත අතර, 

මේ සිංහල අපගේ රටයි 

රණ බිම මැරුණේ සිංහලයකු නම් 

සිංහල ජය ගිීත හඬට 

ඇසෙනවාද හඬ ඔබටත් (මෙහි ‛සිංහ පැටව්’ යනුවෙන් තිබේ) 

ඉරක් පායනා දේශය (මෙහි ‛සිංහලේ අපේ’ යනුවෙන් තිබේ) 

රත්නදීප ජන්ම භූමි (මෙහි ‛ආදි සිංහලේ’ යනුවෙන් තිබේ) 

ප්‍රමුඛස්ථානයේ පවතිනු ඇත. තවත් බොහෝ ගීත තිබේ. මෙය තවත් ඉදිරියට වර්ධණය වූ පසු අපට මේ ගීත අසන්නට සිදුවනු ඇත්තේ 88/89 සමයේ නන්දා මාලිනියගේ ‛පවන’ කැසට් පටයේ ගීතවලට සවන් දුන් ආකාරයට මෙන් සොරෙනි. ඒ කාලයේ මේ ගීත අසා අසුවහොත් බොහෝ විට ටයර් සෑයක සැතපෙන්නට අවස්ථාව උදාකරගන්නට තිබිණි. 

එමෙන්ම ‛සිංහල’ යන වචන සහිත ‛බුලත්සිංහල’ වැනි වාසගම් හා ග්‍රාම නාම ද වෙනස් කළ යුතු වනු ඇත. මන්ද අන් ජාතීන්ගේ සිත සනහාලිය යුතු බැවිනි. 

අප අනෙකාගේ ජාතිය හා ආගම කෙරෙහි සමානාත්මතාවයකින් බැලිය යුතුය. නමුත් ‛සිංහල’ යැයි පැවසීම පාපයක් යැයි සිතෙන නපුංශක අදහස් සමාජයේ වැපිරිය නොයුතුය. යමෙකු තමන් සිංහල යැයි සිතන්නට අකමැති නම් එය තමාගේ සිතෙහි පමණක් තබා ගනු විනා නපුංශකයෙකු සේ එම අදහස් අන්‍යයන්ට පෙවීම නොකළ යුතුය. 

කෙසේ වුවත් අනෙකුත් ජාතීන්ට සිය ජාතිය සම්බන්ධව ඇති අභිමානය සිංහලයාගෙන් තුරන් කොට යම් දිනෙක අපේ අනාගත පරපුර අපට සාප කරත් නම් ඒ සාප වැදිය යුත්තේ සමස්ත සිංහලයන්ට නොව සිංහල ජාතිකත්වය අපගෙන් උදුරා දමන්නට කැසකවන මේ ජාතීද්‍රෝහී නපුංශක රැළටමය. 

Tuesday, June 9, 2015

වේදනා නාශක කියන්නේ මොනවාද? What are Painkillers


උණක්, ඇඟ පත අමාරුවක් දැනෙන කොට බොහෝ දෙනෙක් පැරසිටමෝල් වර්ගයේ පෙත්තක් ගන්නට පුරුදුව සිටිනවා. ඒක දැන් හුස්ම ගන්නා තරමටම අපට හුරුවෙලා තියෙන දෙයක්. කාලයකට පෙර මේ වගේ අවස්ථාවකදි ගත්තේ ඇස්පිරින් වර්ගයේ පෙති. මේ වගේ ඖෂධ පොදුවේ හඳුන්වන්නේ වේදනා නාශකනමින්. මේ සඳහන් කළ ජනප්‍රිය වේදනා නාශක හැරුණාම තවත් බොහෝ වර්ග තියෙනවා. ගැටලුව වන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ හිතු මනාපයට මේවා ලබා ගැනීමයි. එවිට ඇතැම් විට මේ නිසා නොසිතන ආකාරයේ අතුරුපලවලට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා ද තිබෙනවා. ඒ නිසා මේවා පිළිබඳ වඩාත් හොඳ දැනුවත්වීමක් තිබෙනවා නම් ඇතිවිය හැකි ගැටලු බොහොමයක් වළක්වාගලන්නට පුළුවන්. වේදනා නාශක ගැන කතා බහ කරන්නට සිතුවේ ඒ නිසයි. 

වේදනා නාශක යනු මොනවාද

වේදනා නාශක යනුවෙන් හැඳින්වෙන්නේ වේදනාව නිවාරණය කිරීම සඳහා භාවිත කෙරෙන ඖෂධ වර්ගයක්. වෙළෙඳ පොළේ වේදනා නාශක වර්ග බොහෝ ගණනක් පවතින අතර ඒවා විවිධ වෙළෙඳ නාමයන්ගෙන් පවතිනවා. මේවා දියර, පෙති හෝ කරල් වශයෙන් මුඛ මාර්ගයෙන්ද, එන්නත් මාර්ගයෙන් ද, ගුද මාර්ගයෙන් ඇතුළු කිරීම මගින් ද භාවිත කළ හැකියි. ඇතැම් වේදනා නාශක ක්‍රීම් හෝ ආලේපන වර්ගයක් ලෙස ද ලබාගත හැකියි. වේදනා නාශක වර්ග බොහොමයක් තිබුණත් ඒවා පහත සඳහන් පරිදි ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්වෙනවා. 

වේදනා නාශක ප්‍රධාන වශයෙන් වර්ග තුන 

1. විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ (non-steroidal anti-inflammatory drugs -  NSAIDS). උදාහරණ ඉබුප්‍රොෆෙන් (ibuprofen), ඩික්ලොෆෙනැක් (diclofenac) සහ නැප්රොක්සන් (naproxen). මෙම වේදනා නාශක අඩු මාත්‍රාවකින් ගැනීමෙන් රුධිරය කැටිගැසීම වළක්වන බව පැවසෙනවා.  හෘදයාබාධ වැළඳී තිබුණු පුද්ගලයන්ට මේවා නිර්දේශ කෙරෙනවා. 

2. පැරසිටමෝල් 

3. ඔපොයිඩ් 

මේවා ක්‍රියාකරන්නේ එකිනෙකට වෙනස් ආකාරයෙන්. ඇතැම් රෝගී තත්වයන් සඳහා වේදනා නාශක ගැනීමට සිදුවන්නේ දින කිහිපයක් දක්වා පමණක් වුවත් ඇතැම් අවස්ථාවලදී දීර්ඝ කාලයක් දක්වා මේවා ලබාගන්නට සිදුවනවා. අපට ඖෂධ හලකින් කිසිම ගැටලුවකින් තොරව ඉහත දැක්වූ වර්ගවලට අයත් වේදනා නාශක ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් කොඩෙයින් (codeine ) හෝ ඩයිහයිඩ්‍රෝකොඩෙයින් (dihydrocodeine ) වැනි දුර්වල කරන ලද ඔපොයිඩ් වර්ගයේ වේදනා නාශක දින තුනකට වඩා ලබාගන්නේ නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා. ඇතැම් අවස්ථාවලදී රෝහල්ගතව සිටින රෝගීන්ට ප්‍රබල ඔපොයිඩ් වර්ග ලබාදෙන අවස්ථා තිබෙනවා.

ඇතැම් අවස්ථාවලදී එකිනෙකට වෙනස් වේදනා නාශක වර්ග මිශ්‍රකොට තනි පෙත්තක් ලෙස නිෂ්පාදනය කරන අවස්ථා ද තිබෙනවා. උදාහරණයක් ලෙස කොඩෙයින් මුසු පැරසිටමෝල් හෙවත් කො - කොඩමොල්’ (co-codamol) සඳහන් කළ හැකියි.


සාමාන්‍යයෙන් නිර්දේශ කෙරෙන වේදනා නාශක මොනවාද

ඔබගේ වේදනාවේ ස්වභාවය, ඔබගේ වෙනත් සෞඛ්‍ය ගැටලු, වේදනාවේ තියුණු බව, ඖෂධයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ යන යන කරුණු මත පදනම්ව වේදනා නාශක නියම කෙරෙනවා. ඔබේ වේදනාව එතරම් උග්‍ර නොවන්නේ නම් සහ සිරුරේ ඉදිමීම් තත්වයක් (ප්‍රදාහ) නොපවතින්නේ නම් පැරසිටමෝල් වර්ගයක් සාමාන්‍යයෙන් නියම කෙරෙනවා. ඔබට වේදනාව සහ ප්‍රදාහ තත්වයක් ඇත්නම් නියම කෙරෙන්නේ විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධයි. උදාහරණයක් ලෙස කොන්දේ අමාරුව සහ ආතරයිටිස් නිසා ඇතිවන හන්දිවල වේදනා තත්වය සඳහන් කළ හැකියි.   විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ ආමාශයේ තුවාල තිබෙන හෝ පැවති අයට සුදුසු නැහැ. එවැනි අවස්ථාවකදී ඔබේ වෛද්‍යවරයා  පැරසිටමෝල් වැනි වඩාත් ආරක්ෂිත ඖෂධයක් නියම කරනු නිසැකයි. නමුත් උග්‍ර වේදනාවට එයින් සැළකිය යුතු සුවයක් ලැබෙන්නේ නම් නැහැ. විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ හෝ පැරසිටමෝල්වලට සමනය කළ නොහැකි වේදනාවන් සඳහා දුර්වල කරන ලද ඔපොයිඩ් වර්ග ලබාදෙනවා. ප්‍රබල වර්ගයේ ඔපොයිඩ ලබාදෙන්නේ පිළිකා තත්වයක්, සැත්කමකින් පසු අවස්ථාවක් හෝ දරුණු තුවාල තත්වයකදී පමණයි. 

වේදනා නාශක ලබාගත යුත්තේ කෙසේද

ශාරීරික වේදනාවන්ගේ නිතර පෙළෙන පුද්ගලයන්ට වේදනා නාශක නිතරම පාහේ ලබාදෙනවා. උදාහරණයක් ලෙස පැරසිටමෝල් සඳහන් කළ හැකියි. එය වේදනාව පහව යන තුරුම සාමාන්‍යයෙන් දිනකට සිව් වතාවක් පමණ දිනපතාම ලබාදෙනවා. එසේ නොමැති අවස්ථාවක වේදනා නාශක ගත යුත්තේ ඔබට එය අවශ්‍ය වූ විට පමණයි.  විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ ලබාගත යුත්තේ ආහාර ගැනීමෙන් පසු පමණයි. එයට හේතුව මෙම ඖෂධය මගින් ආමාශ බිත්තියේ තුවාල ඇති වන්නට ඉඩ ඇති නිසයි. 

කෙතරම් කාලයක් ලබාගත යුතුද

සියලුම ඖෂධ වර්ග සේම වේදනා නාශක ද ගත යුත්තේ ඔබේ වේදනාව සමනය කළ හැකි තරමේ ඉතා අඩු මාත්‍රාවකින්, හැකිතාක් අඩු කාල සීමාවක් දක්වා පමණයි. මෙයින් අතුරු ආබාධ බොහොමයක් වළක්වා ගත හැකියි. ඇතැම් රෝගීන්ට වේදනා නාශක නියම කරනුයේ දින කිහිපයක් දක්වා පමණයි. ඇතැම් අයට සති කිහිපයක් දක්වාත්, එයටත් වැඩි කාලයක් දක්වාත් නියම කරන අවස්ථාවන් ද තිබෙනවා. එය රෝගී තත්වයේ හැටියට වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන්නක්. රූමැටික් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස් හෝ ප්‍රවේණිගත කොන්ද කැක්කුම ආදියේදී ඉතා දීර්ඝ කාලයක් සඳහා වේදනා නාශක නියම කරනු ලබනවා. 

අතුරු ආබාධ

වේදනා නාශකවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ සියල්ල මේ කෙටි ලිපියට සම්පිණ්ඩනය කළ නොහැකියි. නමුත් සාමාන්‍යයෙන් පොදුවේ මේ සියලු ඖෂධවලට අදාළ අතුරු ආබාධ පවතිනවා. වැඩි විස්තර දැනගැනීම සඳහා සෑම ඖෂධයක් සමගම එන ඇසුරුමෙහි ඇති පත්‍රිකාව කියැවීමෙන් දැනගත හැකියි. බොහෝ දෙනෙක් විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ කිසිදු අතුරු ආබාධයකට ලක් නොවී භාවිත කරන බව පෙනෙනවා. නමුත් අජීර්ණ තත්වයන්, ආමාශයේ තුවාල හෝ රුධිර පීඩනය ඉහළ යාම වැනි දේ මෙම වේදනා නාශකය නිසා ඇතිවිය හැකියි. නියමාකාරයෙන් ලබාගන්නේ නම් එයින් ලැබෙන ප්‍රයෝජනය එහි අතුරු ආබාධවලට වඩා ඉතා වැඩියි.  පැරසිටමෝල් ද නිර්දේශ කළ මාත්‍රාව ඉක්මවා නොයන්නේ නම් එහි අතුරු ආබාධ ඇතිවන්නේ ඉතාම කලාතුරකින්. නමුත් අධි මාත්‍රාවන් ගැනීමෙන් තත්වය බරපතල විය හැකියි. ඇතැම් විට ඔබගේ අක්මාවට හානි සිදුවී එය මරණයකින් කෙළවර වන්නටත් පුළුවන්. ඔපොයිඩ්වල පොදු අතුරු ආබාධ වන්නේ ඔක්කාරය, මළ බද්ධය හා මුඛය වියලීම යන ඒවායි. ඒවාගේම හිසේ බර ගතියක් ඇතිවන්නටත් පුළුවන්. ඔබට මෙහි අධි මාත්‍රාවක් ගැනීමට සිදුවන්නේ නම් වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනීම වඩාත් හොඳයි. ඇතැම් වේදනා නාශක වෙනත් ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කරන අවස්ථා තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතික්‍රියාවන් ඇතිවිය හැකි අතර අනෙක් ඖෂධයේ හෝ ප්‍රතිකාරයේ ඵලදායිතාවය අඩුවන්නට පුළුවන්. මේ නිසා වෛද්‍යවරයකු විසින් ඔබට වේදනා නාශකයක් නියම කරනු ලැබුවහොත්, ඔබ වෙනත් ඖෂධ ඒ වන විට ගනිමින් සිටින්නේ නම්, ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. 

වේදනා නාශක නොගත යුතු අය කවුද?
 
වේදනා නාශක ගැනීමට නොහැකි අවස්ථාවක් ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින්. යම් හෙයකින් කුමක් හෝ වේදනා නාශකයක් නිසා මෙයට පෙර අසාත්මිකතාවයක් හෝ වෙනත් අතුරු ඵලයකට මුහුණ දුන්නේ නම් එවැනි අවස්ථාවක එම වේදනා නාශකය ඔබට නුසුදුසු විය හැකියි. එවැන්නක් සිදුවුවත්, ඔබට වෙනත් වර්ගයක වේදනා නාශකයක් නියම කරන්නට වෛද්‍යවරයාට හැකියාව තිබෙනවා. අවුරුදු 16ට අඩු දරුවන්ට ඇස්පිරින් දීම නුසුදුසුයි. එයට හේතුව ඇස්පිරින් නිසා ඉතාමත් කලාතුරකින් හෝ රේයේගේ සහලක්ෂණය (Reye's syndrome) වැළඳෙන්නට ඉඩකඩ ඇති නිසයි. 

වේදනා නාශක පිළිබඳ තව බොහෝ කරුණු ඇතත් මේ තොරතුරු ඔබේ දැනුමට ප්‍රමාණවත් වනු ඇතැයි සිතනවා. ඔබගේ වෛද්‍යවරයාගෙන් ද මේ පිළිබඳව තොරතුරු අසා දැනගන්නට පුළුවන්. කෙසේ වුවත් සාමාන්‍ය වේදනා නාශක පවා පමණ ඉක්මවා නොගැනීමටත්, ඔබ නොදන්නා වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව ගැනීමෙන් වැළකී සිටීමත් වඩාත් සුදුසු සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස සඳහන් කළ හැකියි.

Monday, June 1, 2015

හෙනා ගැන බොරු කතා - Untruth about Henna


ඉන්දියාව තරම් අපේ රටේ සංස්කෘතියට බලපෑම් කළ වෙනත් රටක් නැති තරම්. අපටම කියා විශේෂ වූ සංස්කෘතියක් තිබුණත්, එය තුළ බොහෝ ඉන්දියානු ලක්ෂණ තිබෙනවා. විශේෂයෙන් ඉන්දියානු සිනමාව මෙන්ම ඉන්දියානු ටෙලිනාට්‍ය අපේ රටේ ජනප්‍රියවීමත් එක්ක මේ තත්වය තවත් වැඩි වුණා. රූපලාවන්‍ය කටයුතුවලදී මේ තත්වය වඩාත් හොඳින් කැපී පෙනෙනවා. ඉන්දියානු රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පොදුවේ ලෝකය පුරාම ව්‍යාප්ත වුණත්, අපේ රටේ ඒ තත්වය වැඩිපුර තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. මේ විදිහට අපේ රටට ආපු එක් රූපලාවන්‍ය ක්‍රමයක් තමයි ‛හෙනා’ භාවිතය. දැනට කලකට පෙර තිබුණු තත්වයට වඩා වැඩි නැඹුරුතාවයකින් දැන් හෙනා භාවිත කරනවා. 

හෙනා අපට ඉන්දියාවෙන් ආවත් දැනට වසර 9000 කට පමණ පෙර ඊජිප්තුවේ මේවා භාවිත වෙලා තියෙනවා. මෙයින් පෙනෙන්නේ වසර දහස් ගණනක් තිස්සේ එකම තරම් ජනප්‍රියතාවයක් ලබාගන්නට හෙනා සමත්ව තිබෙනව බවයි. ඒ වගේම ඉන්දියානුවන් හෙනාවලින් සිරුරේ මවන රටා ද ලෝකයේ අතිශය ජනප්‍රියත්වයකට පත්ව තිබෙනවා. ලෝකයේ වෙනත් සංස්කෘතීන්වල ජනතාව ද මෙම රටා සිරුරේ මවාගන්නට ඇති කැමැත්තත් හෙනා තව තවත් ප්‍රචලිත වෙන්නට හේතු වී තිබෙනවා. ඉන්දියාවේ මෙය භාවිතය සුබ කටයුත්තක් සේම පිවිතුරු බව, වාසනාව ආදී ගුණාංග ඇති කරන බව ද විශ්වාස කෙරෙනවා. 

ඉන්දියාවේ උණුසුම් පළාත්වල ජීවත්වන මිනිසුන් හෙනා කොල පොඩිකර තැනූ තලපයක් වැනි මිශ්‍රණයක දෑත් සහ දෙපා ඔබාගෙන් සිටීමට පුරුදුව සිටිනවා. එවිට පරිසරයේ ඇති අධික උණුසම් බව සෑහෙන දුරට අඩුවෙන බව පැවසෙනවා. මේ තලපය පිසදා දැමුවත්, එහි වර්ණය සම මත ඇති තාක් උණුසම දැනෙන්නේ අඩුවෙන් බව ද පැවසනෙවා. ඔවුන් හෙනාවලින් සිරුරේ රටා මවන්නට හුරුවන්නට ඇත්තේ මේ නිසා විය හැකියි. 

වර්තමානයේ බොහෝ දෙනා අතර හෙනා ප්‍රචලිතව ඇත්තේ හිසකේ වර්ණ කරවන, නැත්නම් ‛ඩයි’ කරවන වර්ණ කාරකයක් ලෙසයි. හෙනාවල ‛ලෝසොනියා ඉනර්මිස්’ ( Lawsonia Inermis) කියන වර්ණ අණුවක් තිබෙනවා. එහි ඇති එකම වර්ණ අණුවත් මෙයයි. එය රතු - තැඹිලි පැහැයට හුරුයි. ඒ හැර මෙයින් ස්වභාවිකව නිපදවිය හැකි වෙනත් වර්ණයක් නැහැ. නමුත් ඇතැම් සමාගම් පවසන්නේ ඔවුන් හෙනා මුල්, කඳ හෝ හෙනා ශාකයේ වෙනත් කොටස්වලින්  වර්ණ ගණනාවක් නිපදවන බවයි. නමුත් ඇත්තටම එම කියමනෙහි ඇත්තක් නැහැ. හිසකේ වර්ණ ගැන්වීම සඳහා යොදාගත හැකි එකම දෙය වන්නේ හෙනා පත්‍ර පමණයි. මෙම ශාකයේ අනෙක් කිසිදු කොටසක වර්ණ ඇතිකිරීමේ හැකියාව නැහැ. රතු හැරුණු විට වෙනත් වර්ණයක් හෙනාවලින් නිපදවනවා නම් ඒ සඳහා රසායනික ද්‍රව්‍ය, ‛මෙටලික් සෝල්ට්’ (metallic salts) නමින් හඳුන්වන වර්ණ නිපදවන රසායනික ද්‍රව්‍ය සහ වෙනත් ශාකවල කොටස් යොදාගන්නට සිදුවෙනවා. 

හෙනාවලින් විවිධ වර්ණ නිපදවා අළෙවි කරන සමාගම් සිය ඇසුරුම්වල සඳහන් කොට ඇති විශේෂ යෙදුමක් වන්නේ Compound Henna Dye  යන්නයි. මේ ආකාරයෙන් වර්ණ නිපදවීමේදී ඉහත කී වෙනත් සංයෝග යොදා ගැනෙනවා. නමුත් කිව හැක්කේ මේ නමින් ඇති හෙනාවලින් ඔබගේ හිසකේවලට හානි ඇතිවිය හැකි බවයි. නමුත් ස්වභාවික හෙනාවලින් සිරුරට හෝ හිසකේවලට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. 

විවිධ නිෂ්පාදකයන් blonde henna, brown henna  හෝ black henna  ආදී දේ සිය නිෂ්පාදන ඇසුරුම්වල සඳහන් කොට ඇති බව ඔබ දැක ඇති. නමුත් සැබවින්ම එවැනි ස්වභාවික වර්ණ සහිත හෙනා වර්ග ලෝකයේ කිසිම තැනක ඇත්තේ නැහැ. එහි ඇති එකම වර්ණ අණුව වන්නේ කලින් මෙහි සඳහන් කළ ‛ලෝසෝනියා ඉන්ර්මිස්’ පමණයි. එය රතු - තැඹිලි වර්ණ අණුවක්. 

මේ ආකාරයේ විවිධ වර්ණ සහිත හෙනා නිපදවන්නේ ඉහත තැනක සඳහන් කළා සේ රසායනික ද්‍රව්‍ය සහ වෙනත් ශාක කොටස් මිශ්‍රකිරීමෙන්. Compound Henna  යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසයි. 

මෙම Compound Henna  නිෂ්පාදයේදී භාවිත වන ‛මෙටලික් සෝල්ට්’ සඳහා ‛ලෙඩ් ඇසිටේට’ ( lead acetate) නම් වර්ණ කාරකය බහුලව භාවිත වන අතර ඊට අමතරව  සිල්වර් නයිට්‍රේට්, තඹ, නිකල්, කෝබෝල්ඩ්,  බිස්මත් සහ යකඩ මිශ්‍ර ලවණ වර්ග ද  යොදා ගැනෙනවා. ඒවා ද ලෙඩ් ඇසිටේට් ගණයට අයත් රසායනික ද්‍රව්‍ය. හිසකේ සඳහා මේවා මිශ්‍ර කළ හෙනා  නිතර භාවිත කිරීමෙන් ඒවා හිසකේ පාමුළ තැන්පත් වෙනවා. මෙය හිසකේවලට හිතකර තත්වයක් නොවෙයි. හිසකේවල වර්ණය වෙනස් වනවා පමණක් නොව හිසකේ කැඩෙන තත්වයට පත්වන්නටත් පුළුවන්. වෙළෙඳපළේ අළෙවියට ඇති බොහෝ හෙනා නිෂ්පාදනවල සැබවින්ම ඇත්තේ ඉතා ස්වල්ප හෙනා ප්‍රමාණයක් බවත් සඳහන් කළ යුතුයි. ඒවායේ බහුල වශයෙන් ඇත්තේ විවිධ රසායනික ද්‍රව්‍යයයි. 

ඇතැම් හෙනා වර්ගවල ඒවායේ අඩංගු ද්‍රව්‍ය සඳහන් නැති අතර එවිට ඒවායේ අහිතකර රසායනික ද්‍රව්‍ය තිබේදැයි සොයාගන්නට ඉඩක් නැහැ. යම් නිෂ්පාදනයක අඩංගු ද්‍රව්‍ය සඳහන් කළ යුතු යැයි නීති පනවා නොමැති රටවල නිෂ්පාදකයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඇතුළත් කරන්නට පුළුවන්. මේ නිසයි ඇතැම් සමාගම් විවිධ වර්ණයෙන් යුක්ත හෙනා වර්ග නිපදවන්නේ. යම් නිෂ්පාදනයක රතු හෙනා හැරුණු විට වෙනත් වර්ණයක හෙනා යැයි සඳහන්ව ඇත්නම් එය සැබවින්ම සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් නොවේ. ‛හර්බල් හෙනා’ යනුවෙන් සඳහන්ව ඇති බොහෝ නිෂ්පාදනවල අඩුංගව පවතින්නේ ‛පැරා - ෆෙනිලෙනිඩියමයින්’ (para-phenylenediamine) කියන රසායනික ද්‍රව්‍යයයි. මෙහි අසාත්මිකතා ලක්ෂණ තිබෙන බව සඳහන් කළ යුතුයි. යම් නිෂ්පාදනයක ඇමෝනියා, පෙරොක්සයිඩ් අඩංගු නැති බවට හෝ ‛සම්පූර්ණයෙන්ම ස්වභාවික’ යන අරුත ඇති වාක්‍ය සඳහන් වූ පමණින් ද එය සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක බව කියැවෙන්නේ නැහැ. 

එබැවින් හෙනා නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබ බොහෝ සැළකිලිමත් විය යුතු බවයි කිවයුතු වන්නේ. වඩාත් හොඳම දේ වන්නේ සිරුරේ ආලේප කරන්නට ඇති හෙනා වර්ගවලින් ඔබ නිවසේදීම හිසකේ වර්ණ කිරීම සඳහා මිශ්‍රණ පිළියෙල කරගත යුතු බවයි. මේ සඳහා වට්ටෝරු අන්තර්ජාලයේද ඕනෑ තරම් සොයාගන්නට පුළුවන්. සිරුරේ ආලේප කරන්නට ඇති හෙනා වර්ග වල කිසිදු රසායනික් ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඔබට විශ්වාසයෙන් යුක්තව ඒවා භාවිත කළ හැකියි.