පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, June 9, 2015

වේදනා නාශක කියන්නේ මොනවාද? What are Painkillers


උණක්, ඇඟ පත අමාරුවක් දැනෙන කොට බොහෝ දෙනෙක් පැරසිටමෝල් වර්ගයේ පෙත්තක් ගන්නට පුරුදුව සිටිනවා. ඒක දැන් හුස්ම ගන්නා තරමටම අපට හුරුවෙලා තියෙන දෙයක්. කාලයකට පෙර මේ වගේ අවස්ථාවකදි ගත්තේ ඇස්පිරින් වර්ගයේ පෙති. මේ වගේ ඖෂධ පොදුවේ හඳුන්වන්නේ වේදනා නාශකනමින්. මේ සඳහන් කළ ජනප්‍රිය වේදනා නාශක හැරුණාම තවත් බොහෝ වර්ග තියෙනවා. ගැටලුව වන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ හිතු මනාපයට මේවා ලබා ගැනීමයි. එවිට ඇතැම් විට මේ නිසා නොසිතන ආකාරයේ අතුරුපලවලට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා ද තිබෙනවා. ඒ නිසා මේවා පිළිබඳ වඩාත් හොඳ දැනුවත්වීමක් තිබෙනවා නම් ඇතිවිය හැකි ගැටලු බොහොමයක් වළක්වාගලන්නට පුළුවන්. වේදනා නාශක ගැන කතා බහ කරන්නට සිතුවේ ඒ නිසයි. 

වේදනා නාශක යනු මොනවාද

වේදනා නාශක යනුවෙන් හැඳින්වෙන්නේ වේදනාව නිවාරණය කිරීම සඳහා භාවිත කෙරෙන ඖෂධ වර්ගයක්. වෙළෙඳ පොළේ වේදනා නාශක වර්ග බොහෝ ගණනක් පවතින අතර ඒවා විවිධ වෙළෙඳ නාමයන්ගෙන් පවතිනවා. මේවා දියර, පෙති හෝ කරල් වශයෙන් මුඛ මාර්ගයෙන්ද, එන්නත් මාර්ගයෙන් ද, ගුද මාර්ගයෙන් ඇතුළු කිරීම මගින් ද භාවිත කළ හැකියි. ඇතැම් වේදනා නාශක ක්‍රීම් හෝ ආලේපන වර්ගයක් ලෙස ද ලබාගත හැකියි. වේදනා නාශක වර්ග බොහොමයක් තිබුණත් ඒවා පහත සඳහන් පරිදි ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්වෙනවා. 

වේදනා නාශක ප්‍රධාන වශයෙන් වර්ග තුන 

1. විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ (non-steroidal anti-inflammatory drugs -  NSAIDS). උදාහරණ ඉබුප්‍රොෆෙන් (ibuprofen), ඩික්ලොෆෙනැක් (diclofenac) සහ නැප්රොක්සන් (naproxen). මෙම වේදනා නාශක අඩු මාත්‍රාවකින් ගැනීමෙන් රුධිරය කැටිගැසීම වළක්වන බව පැවසෙනවා.  හෘදයාබාධ වැළඳී තිබුණු පුද්ගලයන්ට මේවා නිර්දේශ කෙරෙනවා. 

2. පැරසිටමෝල් 

3. ඔපොයිඩ් 

මේවා ක්‍රියාකරන්නේ එකිනෙකට වෙනස් ආකාරයෙන්. ඇතැම් රෝගී තත්වයන් සඳහා වේදනා නාශක ගැනීමට සිදුවන්නේ දින කිහිපයක් දක්වා පමණක් වුවත් ඇතැම් අවස්ථාවලදී දීර්ඝ කාලයක් දක්වා මේවා ලබාගන්නට සිදුවනවා. අපට ඖෂධ හලකින් කිසිම ගැටලුවකින් තොරව ඉහත දැක්වූ වර්ගවලට අයත් වේදනා නාශක ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් කොඩෙයින් (codeine ) හෝ ඩයිහයිඩ්‍රෝකොඩෙයින් (dihydrocodeine ) වැනි දුර්වල කරන ලද ඔපොයිඩ් වර්ගයේ වේදනා නාශක දින තුනකට වඩා ලබාගන්නේ නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා. ඇතැම් අවස්ථාවලදී රෝහල්ගතව සිටින රෝගීන්ට ප්‍රබල ඔපොයිඩ් වර්ග ලබාදෙන අවස්ථා තිබෙනවා.

ඇතැම් අවස්ථාවලදී එකිනෙකට වෙනස් වේදනා නාශක වර්ග මිශ්‍රකොට තනි පෙත්තක් ලෙස නිෂ්පාදනය කරන අවස්ථා ද තිබෙනවා. උදාහරණයක් ලෙස කොඩෙයින් මුසු පැරසිටමෝල් හෙවත් කො - කොඩමොල්’ (co-codamol) සඳහන් කළ හැකියි.


සාමාන්‍යයෙන් නිර්දේශ කෙරෙන වේදනා නාශක මොනවාද

ඔබගේ වේදනාවේ ස්වභාවය, ඔබගේ වෙනත් සෞඛ්‍ය ගැටලු, වේදනාවේ තියුණු බව, ඖෂධයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ යන යන කරුණු මත පදනම්ව වේදනා නාශක නියම කෙරෙනවා. ඔබේ වේදනාව එතරම් උග්‍ර නොවන්නේ නම් සහ සිරුරේ ඉදිමීම් තත්වයක් (ප්‍රදාහ) නොපවතින්නේ නම් පැරසිටමෝල් වර්ගයක් සාමාන්‍යයෙන් නියම කෙරෙනවා. ඔබට වේදනාව සහ ප්‍රදාහ තත්වයක් ඇත්නම් නියම කෙරෙන්නේ විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධයි. උදාහරණයක් ලෙස කොන්දේ අමාරුව සහ ආතරයිටිස් නිසා ඇතිවන හන්දිවල වේදනා තත්වය සඳහන් කළ හැකියි.   විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ ආමාශයේ තුවාල තිබෙන හෝ පැවති අයට සුදුසු නැහැ. එවැනි අවස්ථාවකදී ඔබේ වෛද්‍යවරයා  පැරසිටමෝල් වැනි වඩාත් ආරක්ෂිත ඖෂධයක් නියම කරනු නිසැකයි. නමුත් උග්‍ර වේදනාවට එයින් සැළකිය යුතු සුවයක් ලැබෙන්නේ නම් නැහැ. විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ හෝ පැරසිටමෝල්වලට සමනය කළ නොහැකි වේදනාවන් සඳහා දුර්වල කරන ලද ඔපොයිඩ් වර්ග ලබාදෙනවා. ප්‍රබල වර්ගයේ ඔපොයිඩ ලබාදෙන්නේ පිළිකා තත්වයක්, සැත්කමකින් පසු අවස්ථාවක් හෝ දරුණු තුවාල තත්වයකදී පමණයි. 

වේදනා නාශක ලබාගත යුත්තේ කෙසේද

ශාරීරික වේදනාවන්ගේ නිතර පෙළෙන පුද්ගලයන්ට වේදනා නාශක නිතරම පාහේ ලබාදෙනවා. උදාහරණයක් ලෙස පැරසිටමෝල් සඳහන් කළ හැකියි. එය වේදනාව පහව යන තුරුම සාමාන්‍යයෙන් දිනකට සිව් වතාවක් පමණ දිනපතාම ලබාදෙනවා. එසේ නොමැති අවස්ථාවක වේදනා නාශක ගත යුත්තේ ඔබට එය අවශ්‍ය වූ විට පමණයි.  විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ ලබාගත යුත්තේ ආහාර ගැනීමෙන් පසු පමණයි. එයට හේතුව මෙම ඖෂධය මගින් ආමාශ බිත්තියේ තුවාල ඇති වන්නට ඉඩ ඇති නිසයි. 

කෙතරම් කාලයක් ලබාගත යුතුද

සියලුම ඖෂධ වර්ග සේම වේදනා නාශක ද ගත යුත්තේ ඔබේ වේදනාව සමනය කළ හැකි තරමේ ඉතා අඩු මාත්‍රාවකින්, හැකිතාක් අඩු කාල සීමාවක් දක්වා පමණයි. මෙයින් අතුරු ආබාධ බොහොමයක් වළක්වා ගත හැකියි. ඇතැම් රෝගීන්ට වේදනා නාශක නියම කරනුයේ දින කිහිපයක් දක්වා පමණයි. ඇතැම් අයට සති කිහිපයක් දක්වාත්, එයටත් වැඩි කාලයක් දක්වාත් නියම කරන අවස්ථාවන් ද තිබෙනවා. එය රෝගී තත්වයේ හැටියට වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන්නක්. රූමැටික් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස් හෝ ප්‍රවේණිගත කොන්ද කැක්කුම ආදියේදී ඉතා දීර්ඝ කාලයක් සඳහා වේදනා නාශක නියම කරනු ලබනවා. 

අතුරු ආබාධ

වේදනා නාශකවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ සියල්ල මේ කෙටි ලිපියට සම්පිණ්ඩනය කළ නොහැකියි. නමුත් සාමාන්‍යයෙන් පොදුවේ මේ සියලු ඖෂධවලට අදාළ අතුරු ආබාධ පවතිනවා. වැඩි විස්තර දැනගැනීම සඳහා සෑම ඖෂධයක් සමගම එන ඇසුරුමෙහි ඇති පත්‍රිකාව කියැවීමෙන් දැනගත හැකියි. බොහෝ දෙනෙක් විටමින් හා හෝමෝන නොවන ප්‍රති - ප්‍රදාහ ඖෂධ කිසිදු අතුරු ආබාධයකට ලක් නොවී භාවිත කරන බව පෙනෙනවා. නමුත් අජීර්ණ තත්වයන්, ආමාශයේ තුවාල හෝ රුධිර පීඩනය ඉහළ යාම වැනි දේ මෙම වේදනා නාශකය නිසා ඇතිවිය හැකියි. නියමාකාරයෙන් ලබාගන්නේ නම් එයින් ලැබෙන ප්‍රයෝජනය එහි අතුරු ආබාධවලට වඩා ඉතා වැඩියි.  පැරසිටමෝල් ද නිර්දේශ කළ මාත්‍රාව ඉක්මවා නොයන්නේ නම් එහි අතුරු ආබාධ ඇතිවන්නේ ඉතාම කලාතුරකින්. නමුත් අධි මාත්‍රාවන් ගැනීමෙන් තත්වය බරපතල විය හැකියි. ඇතැම් විට ඔබගේ අක්මාවට හානි සිදුවී එය මරණයකින් කෙළවර වන්නටත් පුළුවන්. ඔපොයිඩ්වල පොදු අතුරු ආබාධ වන්නේ ඔක්කාරය, මළ බද්ධය හා මුඛය වියලීම යන ඒවායි. ඒවාගේම හිසේ බර ගතියක් ඇතිවන්නටත් පුළුවන්. ඔබට මෙහි අධි මාත්‍රාවක් ගැනීමට සිදුවන්නේ නම් වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනීම වඩාත් හොඳයි. ඇතැම් වේදනා නාශක වෙනත් ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කරන අවස්ථා තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතික්‍රියාවන් ඇතිවිය හැකි අතර අනෙක් ඖෂධයේ හෝ ප්‍රතිකාරයේ ඵලදායිතාවය අඩුවන්නට පුළුවන්. මේ නිසා වෛද්‍යවරයකු විසින් ඔබට වේදනා නාශකයක් නියම කරනු ලැබුවහොත්, ඔබ වෙනත් ඖෂධ ඒ වන විට ගනිමින් සිටින්නේ නම්, ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. 

වේදනා නාශක නොගත යුතු අය කවුද?
 
වේදනා නාශක ගැනීමට නොහැකි අවස්ථාවක් ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින්. යම් හෙයකින් කුමක් හෝ වේදනා නාශකයක් නිසා මෙයට පෙර අසාත්මිකතාවයක් හෝ වෙනත් අතුරු ඵලයකට මුහුණ දුන්නේ නම් එවැනි අවස්ථාවක එම වේදනා නාශකය ඔබට නුසුදුසු විය හැකියි. එවැන්නක් සිදුවුවත්, ඔබට වෙනත් වර්ගයක වේදනා නාශකයක් නියම කරන්නට වෛද්‍යවරයාට හැකියාව තිබෙනවා. අවුරුදු 16ට අඩු දරුවන්ට ඇස්පිරින් දීම නුසුදුසුයි. එයට හේතුව ඇස්පිරින් නිසා ඉතාමත් කලාතුරකින් හෝ රේයේගේ සහලක්ෂණය (Reye's syndrome) වැළඳෙන්නට ඉඩකඩ ඇති නිසයි. 

වේදනා නාශක පිළිබඳ තව බොහෝ කරුණු ඇතත් මේ තොරතුරු ඔබේ දැනුමට ප්‍රමාණවත් වනු ඇතැයි සිතනවා. ඔබගේ වෛද්‍යවරයාගෙන් ද මේ පිළිබඳව තොරතුරු අසා දැනගන්නට පුළුවන්. කෙසේ වුවත් සාමාන්‍ය වේදනා නාශක පවා පමණ ඉක්මවා නොගැනීමටත්, ඔබ නොදන්නා වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව ගැනීමෙන් වැළකී සිටීමත් වඩාත් සුදුසු සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස සඳහන් කළ හැකියි.

7 comments:

  1. හොඳ දැනුවත් කිරීමක් නිරන්ජන්,

    අපිත් ඉස්සර ඔය ආමරුකම් වලට බිව්වේ ඩිස්ප්‍රින්.හැබැයි දැන් ගන්නේ පැරසිටමෝල්. ඩිස්ප්‍රින් දෙකක් වතුර පොඩ්ඩක දිය කරලා බිව්ව අපි පැනඩෝල් වලට සංක්‍රමණය වුනේ කොහොමද කියන්න මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඇස්පිරින් වර්ගයක් විදිහට ආපු ඩිස්පිරින්වල තිබුණු බඩේ දැවිල්ල ගතිය නිසාත් පැරසිටමෝල් වර්ගයක් විදිහට ආපු පැනඩෝල්වල තිබුණු ප්‍රචාරණ බලය නිසාත් බොහෝ දෙනෙක් ඇසිපිරින්වල සිට පැරසිටමෝල්වලට ටික ටික මාරු වුණා. වෙනත් නම්වලින් ආපු පැරසිටමෝල් වර්ගවලට වඩා ඉදිරියෙන් තවමත් පැනඩෝල් ඉන්නේ ඔවුන්ගේ ප්‍රචාරණ බලය නිසා බවයි මට හිතෙන්නේ.

      Delete
  2. ප්‍රයෝජනවත් ලිපියක්..
    මංනං ඉතිං මතක ඇති කාලෙක ඉඳන් ඕන කැක්කුමකට ගන්නෙ පැනඩෝල් තමා. :P

    ReplyDelete
    Replies
    1. මම නම් පුලුවන් තරම් උත්සාහ කරන්නේ කිසිම වේදනා නාශකයක් නොගෙන ඉන්නයි.

      Delete
  3. බොහොම වටින ලිපියක් ....

    ReplyDelete
  4. ඇත්තට ම හොඳ අදහස් ටිකක් තවත් කරුණු අන්තර්ගත වුණා නම් හොඳයි .

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න