මේ දිනවල
බොලිවුඩ් සිනමාවේ සේම ලෝක සිනමාවේ ද වඩාත් ආන්දෝලනාත්මක තත්වයකට පත්ව ඇත්තේ ‛පද්මාවත්’ චිත්‍රපටයයි. මේ කියවන ඔබ ඇතැම් විට දැනටමත් මේ කරුණ ගැන
දන්නවා විය හැකියි. නමුත් නොදන්නා අය ද බොහෝ සිටින බවට සැකයක් නැහැ. කලින් ‛පද්මාවති’ ලෙස නම් කොට තිබුණත්
පසුව ‛පද්මාවත්’
බවට පත් වූ මේ චිත්‍රපටය
සුප්‍රකට ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරයකු වන සංජේ ලීලා බන්සාලිගේ අධ්‍යක්ෂණයක්.
නිෂ්පාදන වියදම පමණක් ඉන්දියානු රුපියල් කෝටි 90 ක් වන මෙය දැනට ඉන්දියාවේ නිෂ්පාදනය කොට
ඇති වියදම් අධිකතම සිනමා නිර්මාණවලින් එකක් බවට ද පත්ව තිබෙනවා. දීපිකා පදුකොන්,
සහිඩ් කපූර්, රන්වීර් සිං ආදී සුප්‍රකට
බොලිවුඩ් සිනමා ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වී තිබෙන මෙය මුලින්ම 2017 දෙසැම්බර් 1 වැනිදා තිරගත කරන්නට
නියමිතව පැවතියත්, මෙයට එරෙහිව
නැගුණු දැවැන්ත උද්ඝෝෂණ නිසා 2018 ජනවාරි 25 වැනිදා දක්වා තිරගත කිරීම් කල් දැමීමට සිදු වුණා.
අවසානයේ ඉන්දීය මධ්‍යම සිනමා මණ්ඩලය මෙය තිරගත කිරීම සඳහා අවසර ලබාදුන්නේ වෙනස්කම්
පහක් ද සහිතවයි. එම වෙනස්කම්වලට මෙහි නම වෙනස් කිරීම සහ වගකීමෙන් බැහැරවීමේ ප්‍රකාශ
රැසක් ද අන්තර්ගත වුණා.
චිත්‍රපටයේ
කතාව මේ ආකාරයෙන් කෙටියෙන් සඳහන් කළ හැකියි.
13 වැනි සියවසේ
ඇෆ්ගනිස්ථානයේ ඛිල්ජි රජ පරපුරට අයත් ජලාල්උද්දින් ඛිල්ජි, දිල්ලියේ බලය අල්ලා
ගැනීම සඳහා සැලසුම් කරනවා. මේ සඳහා කරන උදව්වක් ලෙස ජලාල්උද්දින්ගේ බෑණා වන
අලාඋද්දින් ඛිල්ජි, ජලාල්උද්දින්ගේ
දියණිය වූ මෙහ්රුනිෂා විවාහ කොට දෙන මෙන් ඉල්ලා සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස
අලාඋද්දින්ගේ විවාහය සූදානම් කරනවා. මේ මංගල රාත්‍රිය දිනයේ දීම අලාඋද්දින් වෙනත්
ගැහැනියක් සමග කාම සේවනයේ යෙදී සිටිනු ජලාල්උද්දින්ගේ සේවකයකුගේ අතටම අසු වෙනවා.
මෙහිදී අලාඋද්දින් ඔහුව එතැනම මරා දමනවා. මෙයින් අලාඋද්දින්ගේ අලුත් බිරිද ඉමහත්
බියකට පත් වෙනවා.
මේ අතරේ දිල්ලියේ පාලනය ගෙන යන රාජ්පුත් වංශයට අයත් මහරාවල්
රතන්සිං සිය ප්‍රථම බිරිඳ වූ නග්මති වෙනුවෙන් දුර්ලභ ගනයේ මුතු ඇට යුවලක් සොයා සිංහල දීපය හෙවත් වර්තමාන ශ්‍රී ලංකාවට
පැමිණෙනවා. ඔහු සිංහල දීපයේ සැරිසරද්දී
සිංහල කුමරියක වූ පද්මාවතී, මුවකු දඩයම්
කරන්නට ගොස් ඉලක්කය වැරදීමෙන් ඇදී යන ඊතලය වැදී රතන්සිංට තුවාල සිදු වෙනවා. මෙහිදී
ඔවුන් එකිනෙක හමුව කතාබහ කිරීමෙන් පසුව ආදරයක් හට ගන්නවා. එය කෙළවර වන්නේ
විවාහයකින්.
මේ අතරේ ජලාල්උද්දින්
දිල්ලිය අල්ලා ගන්නවා. කෙසේ නමුත් බලයට තණ්හාවෙන් සිටින අලාඋද්දින් අවසානයේ ජලාල්උද්දින්
ඝාතනය කොට සුල්තාන්වරයෙකු බවට පත් වෙනවා.
පද්මාවතී සහ
රතන් සිං රාජස්ථානයට පැමිණෙනවා. ඔවුන් ආදරයෙන් වෙලී සිටිනු දකින රතන් සිංගේ
පූජකයාට රතන් සිං ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. ඔහුගෙන් පලිගන්නට සිතන පූජකයා
පද්මාවතී කුමරිය ගැන අලාඋද්දින්ට පවසනවා. ඔහු පද්මාවතීව ලබාගන්නට සැලසුම් කරනවා.
මෙන්න මේ
ආකාරයටයි කතාව ගලාගෙන යන්නේ. සත්‍ය කතාවේ හැටියට අලාඋද්දින්ගේ පිරිස සහ
රාජ්පුත්වරුන් අතර ඇති වන අවසන් සටනෙන් රාජ්පුත්වරුන් පරාජයට පත් වෙනවා. මේ අවස්ථාවේ
දී අලාඋද්දින් ඇතුළු පිරිසගේ අඹුවන් බවට පත්වීමෙන් වැළකෙන්නට පද්මාවතී තවත්
රාජස්ථාන් කාන්තාවන් රැසක් සමග ‛ජවුහාර්’
නමින් හඳුන්වන සියදිවි
නසා ගැනීම සිදුකරනවා. මේ නිසා අලාඋද්දින්ට පද්මාවතීව අයිති කර ගැනීමට ලැබෙන්නේ
නැහැ. මෙයින් පසුව රාජ්පුත් වැසියන් අතර පද්මාවතී දේවත්වයට පත් වෙනවා. අදටත් ඔවුන්
පද්මාවතී දෙවඟනට වැඳුම් පිදුම් කරනවා. ‛පද්මාවත්’ චිත්‍රපටය සඳහා රාජ්පුත් වැසියන් මෙතරම් විරුද්ධත්වයක්
දක්වන්නේ මේ නිසයි.
පද්මාවත් කාව්‍යය |
සංජේ ලීලා
බන්සාලි මේ සිනමා නිර්මාණය සඳහා පාදක කොට ගෙන ඇත්තේ සුෆි කිවියකු වූ මලික්
මුහම්මද් ජයාසි විසින් 1540 දී රචිත ‛පද්මාවත්’ නම් වීර කාව්‍යයි. මේ
කාව්‍යයේ කියැවෙන්නේ සිංහල රාධානියක ඉපිද, සටන් ශිල්පය මැනවින් හැදැරූ දුටුවන් වශීකරවන
රූ සපුවකින් යුක්ත කුමරියක පිළිබඳවයි. පද්මාවතී නම් වන ඇය ‛පද්මිනී’ සහ ‛රාණි පද්මිනී’ ලෙසත් ප්‍රකටයි. නමුත්
මේ පිළිබඳ පැහැදිලි ඓතිහාසික තහවුරු කිරීමක් සොයාගන්නට නැහැ. මේ වීර කාව්‍යයත්,
ඒ හා වර්ධනය වුණු
හින්දු ජනප්‍රවාදත් ආදිය තුළින් රාජ්පුත් වැසියන් අතර පද්මාවතිය පිළිබඳ ඇති
ගෞරවනීය බව මේ චිත්‍රපටය නිසා කෙලෙසෙනු ඇතැයි හින්දුන් අතර සැකයක් පහළ වී තිබෙනවා.
මෙයට එරෙහිව උද්ඝෝෂණ මතුව ඇත්තේ විශේෂයෙන් මේ නිසයි. චිත්‍රගාරවලට පැන පහරදීම්,
රූ ගත කරන ස්ථානවලට
පහරදීම් ආදිය පමණක් නොව එක් අවස්ථාවක දී අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිගේ කම්මුලකට ද
එක් උද්ඝෝෂණකරුවකු පහරදීමක් සිදු වුණා. එමෙන්ම දේවත්වයෙහි ලා සැලකෙන පද්මාවතීගේ
චරිතය දීපිකා පදුකොන් විසින් නිරූපණය කිරීම නිසා පද්මාවතියට අගෞරවයක් සිදුවන බව ද
මෙයට විරුද්ධවන්නන් පවසනවා. පද්මාවතියගේ ගෞරවනීය කතාව දීපිකා විසින් සැබෑ ලෙස
නිරූපණය කොට නොමැති බවයි ඔවුන්ගේ අදහස. ඇය සිදුකොට ඇති මේ අගෞරවය නිසා ඇයගේ හිස
ගසා දැමිය යුතු බවට පිරිසක් පවසනවා. එසේත් නොමැති නම් අඩුම තරමේ ඇයගේ නාසය හෝ කපා
දැමිය යුතු බව ඔවුන් පවසනවා. මෙවැනි දඬුවමක් පංචතන්ත්‍රයේ ද සඳහන් වනවා. එහි මේ
දඬුවම ලබා දෙන්නේ පරපුරුෂයක් ඇසුරු කළ කාන්තාවන්ට බව සඳහන්.
මෙයට විරුද්ධව
හඬ නගන එක් රාජ්පුත් වැසියකු වන මහේන්ද්‍ර සිං පවසන්නේ මෙම චිත්‍රපටය තුළින්
ඉතිහාස කතාව ද විකෘති කොට ඇති බවයි. ඔහු පවසන පරිදි මෙහි එක් තැනක අලාඋද්දින්
ඛිල්ජි සහ පද්මාවතී ආලයෙන් වෙලී සිටින දර්ශනයක් ඇතුළත්ව ඇති බවයි. ඉතිහාස කතාවේ
එවැන්නක් ඇත්තේ නැහැ. නමුත් අධ්‍යක්ෂ සහ
මෙහි නිෂ්පාදකයන් මේ අදහස සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. මෙහි අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි පවසන්නේ මෙයට එරෙහි වන්නන්
කිසිවකු තවමත් මේ චිත්‍රපටය නරඹා නොමැති බවයි. මෙය නැරඹූ පසු සියලු දෙනා මේ අදහස්
වෙනස් කරගනු ඇති බවයි ඔහු පවසන්නේ.
මේ කතා
වෘතාන්තයට අනුව පද්මාවතිය ඉන්දියාවට යන්නේ සිංහල දීපය හෙවත් ශ්‍රී ලංකාවෙන්. නමුත්
අප රටේ ඉතිහාසයේ එවැන්නියක ගැන පැහැදිලි සඳහනක් සොයා ගන්නට ලැබෙන්නේ නැහැ.
එවැන්නියක ගැන අපට ඇසෙන්නේ චාල්ස් ඩයස් සූරින්ගේ ‛පද්මාවතී’ නූර්තියෙන්. එහි ඇති ‛දැක්කොත් පද්මාවතී’
ගීතය අද ද ජනප්‍රිය
තැනක පවතිනවා. ඉන්දියාවේ ‛පද්මාවත්’
චිත්‍රපටය නිසා අපේ
රටේ මේ ගීතය සොයා අසන්නට සිතන පිරිස ද ඉදිරියේ දී වර්ධනය වන්නට ද පුළුවන්. කෙසේ
නමුත් මේ පද්මාවතියත්, චිත්‍රපටයේ එන
පද්මාවතියත් අතර සම්බන්ධතාවක් නැති බව සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් ‛පද්මාවත්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පද්මාවතියගේ ඇඳුම් නිර්මාණය කොට
ඇත්තේ මෙම ඉතිහාස කතාවට අදාළ කාල වකවානුවේ අප රටේ පැවැති කාන්තා ඇඳුම් ආභාෂයට
ගනිමින් බව ද දැනගන්නට ලැබෙනවා.
‛පද්මාවත්’
චිත්‍රපටයට එරෙහිව
මෙසේ උද්ඝෝෂණ ඇතිවීම එක් අතකින් මෙහි නිෂ්පාදකයන්ට වාසි සහගත තත්වයක් උදා කරනවා.
එයට හේතුව මේ චිත්‍රපටය නරඹන්නට අපේක්ෂා කරන ප්‍රේක්ෂකයන්ගේ සංඛ්‍යාව මේ නිසා
වර්ධනය වන බව පෙනී යාමයි. බොහෝ දෙනෙකු පවසන්නේ මෙය අධික වියදමක් දරා නිපදවා ඇති
චිත්‍රපට අතරින් එකක් බවට පත්වනවා පමණක් නොව මේ වසරේ ඉහළතම ආදායම් වාර්තාවක් තබන
චිත්‍රපටය බවට ද පත්වන්නට බොහෝ ඉඩක් පවතින බවයි.