පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, June 17, 2017

සමාජ වෛරය නිසා බිහි වන විකෘති ජීවීන්


අපි සියලු දෙනා එකම ආකාරයකින් මේ ලොවට බිහි වුව ද සමාජයත් සමග ගැටෙද්දී විවිධාකාර පුද්ගල චරිත බවට පත් වන්නෙමු. දෙමාපියන්ගෙන් අපට ලැබෙන ආදර්ශයන්ට වඩා බොහෝ දේවල් අප ලබාගන්නේ සමාජයෙනි. මෙසේ සමාජානුගත වන ජීවියා ඇතැම් අවස්ථාවල දී කුමක් හෝ හේතුවක් නිසා සමාජය සමග යම්කිසි නොමනාපයක් ඇති කර ගනියි. මෙය සුළු සිද්ධියක් හෝ විශාල සිද්ධියක් විය හැකිය. කෙසේ නමුත් මෙයට මුහුණ දෙන ආකාරය ඒ ඒ  පුද්ගලයාගේ පෞරුෂය අනුව වෙනස් වේ.

ශක්තිමත් පෞරුෂයකින් යුක්ත පුද්ගලයා ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිය සමාජ සාරධර්ම රැක ගනිමින් සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වෙයි. නමුත් පෞරුෂයේ යම්කිසි අසාමාන්‍යතාවක් ඇත්නම්, ඔහු තමා මුහුණ දුන් සිදුවීම පිළිබඳ සලකා බලන්නේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස නොවේ. ඔහු එය වෙනත් ඇසකින් දකින්නට උත්සාහ කරයි. මේ පුද්ගලයා සිය අදහස් සමාජය වෙතට යොමු කිරීමේ දක්ෂයකු නම් එවිට තත්වය බරපතළ වේ. තත්වය බරපතළ වනවා යන්නේ අදහස් කරන්නේ තමාට සමාජයෙන් සිදු වූ වරද, අසාධාරණය නිසා ඔහු සිය අදහස් සමාජ සාරධර්ම, සිරිත් විරිත් ආදිය බිඳ දැමෙන සේ කටයුතු කිරීමය. එවැනි පුද්ගලයන් සතුටු වන්නේ ඒ ආකාරයෙනි. සමාජය රැඳී පවතින කුමන හෝ සාරධර්මයකට පහර වදිනු බලා මොවුහු බොහෝ සතුටක් ලබති. එයින් නො නැවතෙන ඔවුහු මෙවැනි අදහස් ඇති පිරිස් එක් කර ගනිමින් යම්කිසි කණ්ඩායමක් ගොඩ නගා ගනිති. මෙවැන්නන් හැඳින්වීමට ඉංග්‍රීසි භාෂාවේ අපූරු වචනයක් ද පවතී. ඒ misanthrope යන්නය. එහි අදහස ‘විශ්වද්වේෂියා’ යන්නය.


දැන් ඔවුන් ශක්තිමත්ය. ඔවුන් අතර ලේඛකයන්, මාධ්‍යවේදීන්, සිනමාකරුවන්, කවි ගී ලියන්නන් බොහෝ සිටිය හැක. ඔවුන් සිය නිර්මාණ ඔස්සේ සමාජයට මුදා හරින්නේ සිය සිත්හි කැකෑරෙමින් පවතින සමාජ වෛරයයි. නමුත් එය බොහෝ විට පැමිණෙන්නේ වෛරී සහගත ස්වභාවයකින් නොවන්නට පුළුවන. අද මෙවැන්නෝ සමාජය පුරා බොහෝ විසිරී සිටිති. වුන්ගේ ඒකායන අරමුණ සමාජ සාරධර්මවලට සියුම් ලෙස පහර දීමය.

මොවුන් ඇතැම් අවස්ථාවාදී දේශපාලන පක්ෂවලට කඩේ යාමක් ද සිදු කරනු දක්නට ලැබේ. ඔවුන් එයින් සමාජයට දීමට අදහස් කරන පණිවිඩය නම් සිය අදහස් ඔස්සේ සමාජය යහමගට ගැනීමට උත්සාහ ගැනීම බවය. වමුත් සැබවින්ම ඔවුන්ගේ සැබෑ අරමුණ වන්නේ සිය විකෘති අදහස් සමාජගත කිරීම සඳහා දේශපාලන බලය ගොඩනගා ගැනීමය. මේ ඔස්සේ ඔවුන්ට රාජ්‍ය මාධ්‍ය නාලිකා ඔස්සේම සිය විකෘති අදහස් සමාජයට මුදාහැරීමට අවස්ථාව ලැබේ.

සමාජයේ බහුතරයක ගේ ගෞරවයට පාත්‍රවන යම් යම් දෑ. යම් යම් පුද්ගලයන් මොවුන්ගේ ඉලක්කයන් වේ. බහුතර සමාජයට පූජනීය වන පුද්ගලයන් මොවුනට පෙනෙන්නේ නිස්සාර පුද්ගලයන් ලෙසය. පූජනීය වන ස්ථාන මොවුනට පෙනෙන්නේ පව් හෝ කුණු කඳු ලෙසය. එවැනි අදහස් සිත්හි දරා සිටීමෙන් නොනැවෙතෙන ඔවුහු ඒවා සමාජයට මුදු හැරීම ද සිදු කරති. එවිට විභාගය සමත් වන්නට පමණක් අකුරු උගත්, සමාජ ජාල හෝ මුදලින් එපිට සමාජ වගකීමක් නැතැයි සිතන බහුතරය මෙවැනි ඇදහස් රස මසවුළු සේ භුක්ති විඳිති. ‘යකෝ මූ නියම කතාවක් නේ කියවලා තියෙන්නේ. ඇත්ත නේන්නම්’ යැයි පවසති.  එසෙත් නැත්නම් ‘ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා නේන්නනම්’ කියා පවසති. අද සමාජය පුරා මෙවැනි විකෘති ජීවීන් විසිරී සිටිති. ඔවුන් පවසන්නේ තමන් ‘අවුට් ඔෆ් බොක්ස්’ සිතන බවය. එයට හේතුව එවුන් ඒ වන විටත් සිය ‘බොක්ස්’ එක කඩා ගෙන ඇති බැවිනි. ඔවුන්ට අවශ්‍ය අන් අයගේ ‘බොක්ස්’ එක ද කඩා දැමීමටය. මෙය පැරණි කතාවකට ආදේශ කරන්නේ නම් උගුලකට හසුව වලිගය කඩා ගත් නරියාගේ කතාව සඳහන් කළ හැකිය.


මේ කුලකයෙන් බිහි වන සිනමා ‘නිර්මාණකරුවන්’ ද බොහෝ ය. වෙනත් රටක් සිනමා නිර්මාණ සලකා බැලුවහොත් සැබවින්ම වුන් ‘අවුට් ඔෆ් බොක්ස්’ සිතන බව පෙනේ. නමුත් ඉහත කී සමාජ විරෝධී කුලකයෙන් බිහිවන සිනමා නිර්මාණකරුවන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ ‘අවුට් ඔෆ් බොක්ස්’ සෙසු රටවල් සිනමා නිර්මාණකරුවන්ගේ චින්තනයට වඩා වෙනස්ය. මොවුන් ‘අවුට් ඔෆ් බොක්ස්’ යැයි සිතන්නේ සිය සමාජයේ කුණු විකුණාගෙන කෑමය. විකිණිය හැකි කුණු ගොඩක් ඇත්නම් ඔවුහු ය අවුස්සා විකුණති. නමුත් කුණු ගොඩ විකුණන්නේ ‘නිර්මාණය’ නම් දවටනය එතීමෙනි. ඔවුන්ගේ ‘තියරිය’ වන්නේ සේදූ යට ඇඳුම් පිළිකන්නේ තබා අව්වේ වේලා ගැනීම නොව ගේ දොරකඩ වැලක් ගැට ගසා වේලා ගැනීමය.

අද සමාජ ජාල මෙවැනි පුද්ගලයන්ගේ අදහස්වලින් පිරී ඇත. ෆේස්බුක්වලින් එපිට ජීවිතයක් හෝ ජීවිත වගකීමක් නැතියි සිතමින් උදේ හවා එහිම ජීවත් වන්නන්ට මොවුන් සුපිරි වීරයන්ය. පාලකයන්ට ද මෙවැන්නන් සිටීම වාසිදායකය. විට ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මොවුන්ගේ සහාය ද වක්‍රව හිමිකරගත හැකිය.


කෙසේ වුවත් සමාජගත මිනිසා විචාරාත්මක වන තාක් මෙවැනි විකෘති ජීවීන්ගේ සමාජය මුදවා ගත නොහැකි වන බව නම් පැවසිය යුතුය. වර්තමාන අධ්‍යාපනය ඔස්සේ කිසිදාක විවාර බුද්ධියකින් යුතු පුද්ගලයන් බිහි නොවන සක්සුදක් සේ පැහැදිලිය. එවිට බිහිවන අවිචාරවත් සමාජ මෙවැනි විකෘති ජීවින්ගේ පිරී අනාගතයේ දී විකෘති සමාජයක් බිහිවන බව නම් ඉඳුරාම පැහැදිලිය.

Wednesday, June 7, 2017

ත්‍රස්තයන්ට කිරි පෙවීම නිසා මිතුරන් අහිමි කර ගත් කටාරය - Qatar who lost friends for terrorists

Source - https://en.wikipedia.org/wiki/Qatar#/media/File:Emblem_of_Qatar.svg

මේ දිනවල ලෝකයේ වැඩි වශයෙන්ම කතාබහට ලක් වන පවතී නම් ඒ අන් කිසිවක් නොව මැද පෙරදිග කලාපයේ පිහිටි ඉස්ලාම් රටක් වන කටාර්රාජ්‍යයයි. ඔවුන් ලෝකයේ ඇති විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට විවිධාකාරයෙන් උදව් උපකාර කරමින් මැදපෙරදිග කලාපයේත්, ලෝකයේ සෙසු රටවලත් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා උදව් උපකාර කරන්නේ ය යන චෝදනාව පිට පසුගිය දා එහි තදාසන්න රටවල් වන සවුදි අරාබිය, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව කටාර් රාජ්‍යය සමග පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අතහැර දැමුවේය. මෙයින් පසු කටාර් යනු කුමනාකාර රාජ්‍යයක්ද, එය පිහිටා ඇත්තේ කොහිද වැනි කරුණු පිළිබඳ බොහෝ දෙනෙකු කතා කරන්නට විය. එබැවින් කටාර් රාජ්‍යය පිළිබඳ යමක් සැකෙවින් කතා බහ කිරීමට මේ හොඳම කාලය යැයි සිතේ.

දෝහා නුවර
Source - https://en.wikipedia.org/wiki/File:Doha_City,_UNCTAD_XIII_(7115124733).jpg

කටාර් රාජ්‍යය යනු බටහිර ආසියාවේ, අරාබි අර්ධද්වීපයේ ඊසාන දිගට වන්නට කුඩා උප අර්ධද්වීපයක් ලෙස පිහිටා ඇති වර්ග කිලෝමීටර 11,586ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ගිය ස්වාධීන රාජ්‍යයකි. කටාර් අර්ධද්වීපය ගල්ෆ් මුහුද දෙස කිලෝමීටර 160 ක් විහිදී තිබේ. වැඩි භූමි ප්‍රදේශයක පවතින්නේ නිසරු සහ වැලි සහිත භූමියකි. එහි දකුණ දිග සීමාව සවුදි අරාබියෙන් මායිම් වන අතර භූමියේ අන් සියලු කොටස් පර්සියානු මුහුදු බොක්කෙන් වට වී තිබේ. මෙහි අගනගරය දෝහා වේ. මුදල් ඒකකය වන්නේ කටාර් රියාල් ය. දෙසැම්බර් 18 එහි ජාතික දිනය වේ. 

19 වැනි සියවසේ මුල් භාගයේ සිටම කටාරය පාලනය කරන ලද්දේ තානිරාජ වංශයයි. කටාර් රාජ්‍යය බිහි කිරීමේ ගෞරවය හිමි වනුයේ ෂීක් ජසිම් බින් මොහොමඩ් අල් තානි හට ය. මෙහි පාලන බලය පරම්පරාවෙන් හිමි වන්නක් වන අතර එහි පාලකයා වන්නේ ෂීක් තමිම් බින් අල් තානි නම් එමීර් වරයා ය. කටාරය තුළ පැවතිය යුත්තේ රාජ්‍ය පාලනයක් ද, එසේත් නැත්නම් ව්‍යාවස්ථානුකූල පාලනයක් ද යන මතය පැන නැගුනෙන් 2003 වසරේ දී ජනමත විචාරණයක් පවත්වන ලද අතර එහිදී 98%ක් ම ව්‍යවස්ථාවක් සඳහා සිය කැමැත්ත පළකොට තිබිණි.

ෂීක් තමිම් බින් අල් තානි
Source - https://insidesyriamcen.files.wordpress.com/2017/05/tamim.png?w=287&h=374

2017 වසරේ මුල් සමය වන විට කටාරයේ මුළු ජනගහනය මිලියන 2.6ක් විය. මෙයින් 313,000 ක් කටාර් පුරවැසියන් වන අතර සෙසු මිලියන 2.3 සමන්විත වන්නේ විදෙස් සංක්‍රමණිකයන්ගෙනි. සමස්ත ජනගහනයෙන් ඉන්දියානුවන් 25% ක් ද, කටාර් වැසියන් 12.1% ක් ද, බංග්ලාදේශ වැසියන් 10.7% ක් ද, ශ්‍රී ලාංකිකයන් 5.6%  ක් ද, පාකිස්ථානුවන් 4.8% ක් ද ආදී වශයෙන් සමන්විත වේ.

කටාරයේ පවතින තෙල් නිධි නිසා එය ලෝකයේ පවතින ඉහළ ආදායමක් ඇති රාජ්‍යයක් බවට පත් ව තිබේ. ලෝකයේ පවතින ඉහළතම ඒක ශීර්ෂ ආදායමක් ඇති රටවල් අතරින් එකක් වන්නේ ද කටාරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට ලෝකයේ වැඩිම දියුණුවක් ඇති මානව සම්පත ඇත්තේ කටාරයේ ය. සැලකිය යුතු බලයක් ද හිමි රාජ්‍යයක් වන කටාරය පසුගිය සමයේ පැවති අරාබි වසන්තයනම් කැරලිකාර සමයේ දී, ලෝකයේ කැරලිකාර සංවිධාන ගණනාවකට ධනයෙන් හා බලයේ උදව් උපකාර කළේය. එමෙන්ම අල් ජසීරා මාධ්‍ය ජාලය ලෝකය පුරා බලවත්ව ව්‍යාප්ත කරන්නට මූල්‍ය ශක්තිය ලබා දුන්නේ ද කටාර් රාජ්‍යයමය. කෙසේ නමුත් ඔවුන් සහය ලබා පෝෂණය කළ කැරලිකාර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයම අද ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අහිමි කරවන තත්වයකට වැඩි දියුණු වී තිබෙන බැව් පෙනේ. ඔවුන් පවසන්නේ තමා කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමකට සහය පළ නොකරන බවය. කෙසේ නමුත් ත්‍රස්තවාදයේ මුහුණුවර වසා ගනිමින් ලෝකය පුරා ව්‍යාප්තවාදයක් පවත්වාගෙන යාමට කටාරය මූල්‍ය ශක්තිය සපයන බව නම් පසුගිය කාලය පුරාම ලෝකයේ මාධ්‍යවල නිතර කතා බහට ලත් විය. අප රටේ ද බොහෝ ව්‍යාප්තවාදයන් සඳහා ඔවුන්ගේ මූල්‍ය ශක්තිය ලැබෙන බැව් අසන්නට ලැබිණි.

ජාතික ධජය
Source - https://en.wikipedia.org/wiki/File:Flag_of_Qatar.svg

ක්‍රි.ව. 23 වසරේ ඉපිද ක්‍රි.ව. 79 දී මිය ගිය  රෝම ලේඛකයකු සහ ස්වභාවික විද්‍යාඥයකු වූ වූ ප්ලිනි  කටාර් දේශය සහ එහි වැසියන් පිළිබඳ සිය ඉතිහාස තොරතුරුවල සඳහන් කොට තිබේ. ඔහු ඔවුන්ව හඳුන්වා දී ඇත්තේ කත්තාරෙයිනමිනි. ටොලමි සිය සිතියම්වල මෙම දේශය කටාරාවශයෙන් සඳහන් කොට තිබේ. එම සිතියමට අනුව මෙම අර්ධද්වීපයේ නැගෙනහිරට වන්නට කඩාරානමින් පැවති නගරයක් ද ඔහු සිය සිතියමේ සටහන් කොට තිබේ. කටාර්යන්න බිඳීවිත් ඇත්තේ මේ ආකාරයෙන් බැව් පෙනේ.

කටාරයේ මිනිස් වාසභූමි අදින් වසර පනස් දහසක් පමණ අතීතයකට දිවෙන අතර ගල් යුගයට අයත් ජනාවාස කොටස් සහ විවිධ මෙවලම් මෙම අර්ධද්වීපයෙන් හමු වී තිබේ.

ක්‍රි.ව. 224 දී මෙම ප්‍රදේශය සසානියන් අධිරාජ්‍යයට නතු වූ අතර එම සමයේ දී කටාරය වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ඔවුහු භාවිත කළහ. මෙම සමයේ කිතුනු ආගම මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබූ බැව් පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත් ක්‍රි.ව. 628 දී මුන්සිර් ඉබ්න් සාවා අල් තමීමි මෙම ප්‍රදේශය අත්පත් කර ගත් අතර එහි යටත් වැසියන්ට ඉස්ලාම් ආගම ඇදහිය යුතු යැයි ඔහු පැවසූවේය. මේ අනුව මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉස්ලාම් ආගම වැළඳ ගත්හ. ක්‍රි.ව. 661 - 1783 ත් අතර සමයේ මේ ආකාරයට මූලික ඉස්ලාම් පාලන තන්ත්‍රයක් පැවති අතර පසුව ක්‍රි.ව. 1783 - 1868 ත් අතර බහරේන් සහ සවුදි පාලනයක් පැවැතිණි. ක්‍රි.ව. 1871 - 1915 අතර සමයේ ඔටෝමාන් පාලනයක් පැවැති අතර ක්‍රි.ව. 1916 දී මෙය බ්‍රිතාන්‍යයේ යටත් ප්‍රදේශයක් බවට පත් විය. කටාරය බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූයේ 1971 වසරේ දී ය.

කටාරයේ ඉස්ලාම් භක්තිකයන් 67.7% ක් සිටින අතර ඉස්ලාමය එහි නිල ආගම වේ. එයට අමතරව 13.8% ක් කිතුනුවන් ද, 13.8% ක් හින්දු භක්තිකයන් ද, 3.1% ක් බෞද්ධයන් ද ජීවත් වෙති.

කටාරය යනු ව්‍යවස්ථාවක් සහිත රජ පරම්පරාවක පාලනයක් පවතින රාජ්‍යයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය. දැනට පාලනය පවතින අල් තානි රාජ වංශය මෙහි ස්ථාපිත වූයේ වර්ෂ 1825 දී ය. දැනට සිටින තමීම් බින් හමාඩ් අල් තානි යනු එරට සිටින අල් තානි රාජ වංශයේ අට වැනි එමීර්වරයා වේ.

මෙහි නීති පද්ධතිය මුළුමනින් පදනම් වී ඇත්තේ ෂාරියා නීතිය මතය. නමුත් ප්‍රයෝගිකව මෙහි සිවිල් සහ ෂාරියා යන නීති මිශ්‍රණයක් දක්නට ලැබේ. ආගම අතහැර දැමීම සහ සමලිංගිකත්වය මරණය දඬුවම ලැබිය හැකි වරදක් වේ. සෙසු ඉස්ලාම් රටවල මෙන්ම මෙහි ද ඉස්ලාම් ජාතිකයන්ට මත්පැන් පානය තහනම් ය. ඉස්ලාම් නොවන පුද්ගලයන් වෙනුවෙන් තරු පහේ හෝටල සහ වෙනත් අවසර ලත් ස්ථානවලදී මත්පැන් මිලට ගත හැකි ය. ඉස්ලාම් නොවන්නන් සඳහා පමණක් ඌරු මස් ආනයනට ද අවසර ලබා දී තිබේ.


කටාරයේ යුද, ගුවන් සහ නාවික වශයෙන් 11,000 කින් සමන්විත හමුදාවක් පවත්වාගෙන යනු ලබයි. ඔවුහු සිය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.2% ක් ආරක්ෂාව වෙනුවෙන් වැය කරති.