පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 7, 2017

ත්‍රස්තයන්ට කිරි පෙවීම නිසා මිතුරන් අහිමි කර ගත් කටාරය - Qatar who lost friends for terrorists

Source - https://en.wikipedia.org/wiki/Qatar#/media/File:Emblem_of_Qatar.svg

මේ දිනවල ලෝකයේ වැඩි වශයෙන්ම කතාබහට ලක් වන පවතී නම් ඒ අන් කිසිවක් නොව මැද පෙරදිග කලාපයේ පිහිටි ඉස්ලාම් රටක් වන කටාර්රාජ්‍යයයි. ඔවුන් ලෝකයේ ඇති විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට විවිධාකාරයෙන් උදව් උපකාර කරමින් මැදපෙරදිග කලාපයේත්, ලෝකයේ සෙසු රටවලත් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා උදව් උපකාර කරන්නේ ය යන චෝදනාව පිට පසුගිය දා එහි තදාසන්න රටවල් වන සවුදි අරාබිය, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව කටාර් රාජ්‍යය සමග පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අතහැර දැමුවේය. මෙයින් පසු කටාර් යනු කුමනාකාර රාජ්‍යයක්ද, එය පිහිටා ඇත්තේ කොහිද වැනි කරුණු පිළිබඳ බොහෝ දෙනෙකු කතා කරන්නට විය. එබැවින් කටාර් රාජ්‍යය පිළිබඳ යමක් සැකෙවින් කතා බහ කිරීමට මේ හොඳම කාලය යැයි සිතේ.

දෝහා නුවර
Source - https://en.wikipedia.org/wiki/File:Doha_City,_UNCTAD_XIII_(7115124733).jpg

කටාර් රාජ්‍යය යනු බටහිර ආසියාවේ, අරාබි අර්ධද්වීපයේ ඊසාන දිගට වන්නට කුඩා උප අර්ධද්වීපයක් ලෙස පිහිටා ඇති වර්ග කිලෝමීටර 11,586ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ගිය ස්වාධීන රාජ්‍යයකි. කටාර් අර්ධද්වීපය ගල්ෆ් මුහුද දෙස කිලෝමීටර 160 ක් විහිදී තිබේ. වැඩි භූමි ප්‍රදේශයක පවතින්නේ නිසරු සහ වැලි සහිත භූමියකි. එහි දකුණ දිග සීමාව සවුදි අරාබියෙන් මායිම් වන අතර භූමියේ අන් සියලු කොටස් පර්සියානු මුහුදු බොක්කෙන් වට වී තිබේ. මෙහි අගනගරය දෝහා වේ. මුදල් ඒකකය වන්නේ කටාර් රියාල් ය. දෙසැම්බර් 18 එහි ජාතික දිනය වේ. 

19 වැනි සියවසේ මුල් භාගයේ සිටම කටාරය පාලනය කරන ලද්දේ තානිරාජ වංශයයි. කටාර් රාජ්‍යය බිහි කිරීමේ ගෞරවය හිමි වනුයේ ෂීක් ජසිම් බින් මොහොමඩ් අල් තානි හට ය. මෙහි පාලන බලය පරම්පරාවෙන් හිමි වන්නක් වන අතර එහි පාලකයා වන්නේ ෂීක් තමිම් බින් අල් තානි නම් එමීර් වරයා ය. කටාරය තුළ පැවතිය යුත්තේ රාජ්‍ය පාලනයක් ද, එසේත් නැත්නම් ව්‍යාවස්ථානුකූල පාලනයක් ද යන මතය පැන නැගුනෙන් 2003 වසරේ දී ජනමත විචාරණයක් පවත්වන ලද අතර එහිදී 98%ක් ම ව්‍යවස්ථාවක් සඳහා සිය කැමැත්ත පළකොට තිබිණි.

ෂීක් තමිම් බින් අල් තානි
Source - https://insidesyriamcen.files.wordpress.com/2017/05/tamim.png?w=287&h=374

2017 වසරේ මුල් සමය වන විට කටාරයේ මුළු ජනගහනය මිලියන 2.6ක් විය. මෙයින් 313,000 ක් කටාර් පුරවැසියන් වන අතර සෙසු මිලියන 2.3 සමන්විත වන්නේ විදෙස් සංක්‍රමණිකයන්ගෙනි. සමස්ත ජනගහනයෙන් ඉන්දියානුවන් 25% ක් ද, කටාර් වැසියන් 12.1% ක් ද, බංග්ලාදේශ වැසියන් 10.7% ක් ද, ශ්‍රී ලාංකිකයන් 5.6%  ක් ද, පාකිස්ථානුවන් 4.8% ක් ද ආදී වශයෙන් සමන්විත වේ.

කටාරයේ පවතින තෙල් නිධි නිසා එය ලෝකයේ පවතින ඉහළ ආදායමක් ඇති රාජ්‍යයක් බවට පත් ව තිබේ. ලෝකයේ පවතින ඉහළතම ඒක ශීර්ෂ ආදායමක් ඇති රටවල් අතරින් එකක් වන්නේ ද කටාරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට ලෝකයේ වැඩිම දියුණුවක් ඇති මානව සම්පත ඇත්තේ කටාරයේ ය. සැලකිය යුතු බලයක් ද හිමි රාජ්‍යයක් වන කටාරය පසුගිය සමයේ පැවති අරාබි වසන්තයනම් කැරලිකාර සමයේ දී, ලෝකයේ කැරලිකාර සංවිධාන ගණනාවකට ධනයෙන් හා බලයේ උදව් උපකාර කළේය. එමෙන්ම අල් ජසීරා මාධ්‍ය ජාලය ලෝකය පුරා බලවත්ව ව්‍යාප්ත කරන්නට මූල්‍ය ශක්තිය ලබා දුන්නේ ද කටාර් රාජ්‍යයමය. කෙසේ නමුත් ඔවුන් සහය ලබා පෝෂණය කළ කැරලිකාර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයම අද ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අහිමි කරවන තත්වයකට වැඩි දියුණු වී තිබෙන බැව් පෙනේ. ඔවුන් පවසන්නේ තමා කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමකට සහය පළ නොකරන බවය. කෙසේ නමුත් ත්‍රස්තවාදයේ මුහුණුවර වසා ගනිමින් ලෝකය පුරා ව්‍යාප්තවාදයක් පවත්වාගෙන යාමට කටාරය මූල්‍ය ශක්තිය සපයන බව නම් පසුගිය කාලය පුරාම ලෝකයේ මාධ්‍යවල නිතර කතා බහට ලත් විය. අප රටේ ද බොහෝ ව්‍යාප්තවාදයන් සඳහා ඔවුන්ගේ මූල්‍ය ශක්තිය ලැබෙන බැව් අසන්නට ලැබිණි.

ජාතික ධජය
Source - https://en.wikipedia.org/wiki/File:Flag_of_Qatar.svg

ක්‍රි.ව. 23 වසරේ ඉපිද ක්‍රි.ව. 79 දී මිය ගිය  රෝම ලේඛකයකු සහ ස්වභාවික විද්‍යාඥයකු වූ වූ ප්ලිනි  කටාර් දේශය සහ එහි වැසියන් පිළිබඳ සිය ඉතිහාස තොරතුරුවල සඳහන් කොට තිබේ. ඔහු ඔවුන්ව හඳුන්වා දී ඇත්තේ කත්තාරෙයිනමිනි. ටොලමි සිය සිතියම්වල මෙම දේශය කටාරාවශයෙන් සඳහන් කොට තිබේ. එම සිතියමට අනුව මෙම අර්ධද්වීපයේ නැගෙනහිරට වන්නට කඩාරානමින් පැවති නගරයක් ද ඔහු සිය සිතියමේ සටහන් කොට තිබේ. කටාර්යන්න බිඳීවිත් ඇත්තේ මේ ආකාරයෙන් බැව් පෙනේ.

කටාරයේ මිනිස් වාසභූමි අදින් වසර පනස් දහසක් පමණ අතීතයකට දිවෙන අතර ගල් යුගයට අයත් ජනාවාස කොටස් සහ විවිධ මෙවලම් මෙම අර්ධද්වීපයෙන් හමු වී තිබේ.

ක්‍රි.ව. 224 දී මෙම ප්‍රදේශය සසානියන් අධිරාජ්‍යයට නතු වූ අතර එම සමයේ දී කටාරය වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ඔවුහු භාවිත කළහ. මෙම සමයේ කිතුනු ආගම මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබූ බැව් පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත් ක්‍රි.ව. 628 දී මුන්සිර් ඉබ්න් සාවා අල් තමීමි මෙම ප්‍රදේශය අත්පත් කර ගත් අතර එහි යටත් වැසියන්ට ඉස්ලාම් ආගම ඇදහිය යුතු යැයි ඔහු පැවසූවේය. මේ අනුව මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉස්ලාම් ආගම වැළඳ ගත්හ. ක්‍රි.ව. 661 - 1783 ත් අතර සමයේ මේ ආකාරයට මූලික ඉස්ලාම් පාලන තන්ත්‍රයක් පැවති අතර පසුව ක්‍රි.ව. 1783 - 1868 ත් අතර බහරේන් සහ සවුදි පාලනයක් පැවැතිණි. ක්‍රි.ව. 1871 - 1915 අතර සමයේ ඔටෝමාන් පාලනයක් පැවැති අතර ක්‍රි.ව. 1916 දී මෙය බ්‍රිතාන්‍යයේ යටත් ප්‍රදේශයක් බවට පත් විය. කටාරය බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූයේ 1971 වසරේ දී ය.

කටාරයේ ඉස්ලාම් භක්තිකයන් 67.7% ක් සිටින අතර ඉස්ලාමය එහි නිල ආගම වේ. එයට අමතරව 13.8% ක් කිතුනුවන් ද, 13.8% ක් හින්දු භක්තිකයන් ද, 3.1% ක් බෞද්ධයන් ද ජීවත් වෙති.

කටාරය යනු ව්‍යවස්ථාවක් සහිත රජ පරම්පරාවක පාලනයක් පවතින රාජ්‍යයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය. දැනට පාලනය පවතින අල් තානි රාජ වංශය මෙහි ස්ථාපිත වූයේ වර්ෂ 1825 දී ය. දැනට සිටින තමීම් බින් හමාඩ් අල් තානි යනු එරට සිටින අල් තානි රාජ වංශයේ අට වැනි එමීර්වරයා වේ.

මෙහි නීති පද්ධතිය මුළුමනින් පදනම් වී ඇත්තේ ෂාරියා නීතිය මතය. නමුත් ප්‍රයෝගිකව මෙහි සිවිල් සහ ෂාරියා යන නීති මිශ්‍රණයක් දක්නට ලැබේ. ආගම අතහැර දැමීම සහ සමලිංගිකත්වය මරණය දඬුවම ලැබිය හැකි වරදක් වේ. සෙසු ඉස්ලාම් රටවල මෙන්ම මෙහි ද ඉස්ලාම් ජාතිකයන්ට මත්පැන් පානය තහනම් ය. ඉස්ලාම් නොවන පුද්ගලයන් වෙනුවෙන් තරු පහේ හෝටල සහ වෙනත් අවසර ලත් ස්ථානවලදී මත්පැන් මිලට ගත හැකි ය. ඉස්ලාම් නොවන්නන් සඳහා පමණක් ඌරු මස් ආනයනට ද අවසර ලබා දී තිබේ.


කටාරයේ යුද, ගුවන් සහ නාවික වශයෙන් 11,000 කින් සමන්විත හමුදාවක් පවත්වාගෙන යනු ලබයි. ඔවුහු සිය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.2% ක් ආරක්ෂාව වෙනුවෙන් වැය කරති.

2 comments:

  1. ලංකාවේ සැහෙන පිරිසක් එහේ ඉන්නවා නේද

    ReplyDelete
    Replies
    1. ඔව් එක් ඇත්ත. බොහෝ ස්ථානවල, විශේෂයෙන් ගුවන් තොටුපලේ දී සිංහලෙන් කතා කරන ආකාරය නිතරම වාගේ ඇසෙන බව පැවසෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න