පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, July 12, 2019

භූමිකම්පා අත්දැකීමක් පරිගණකයෙන් විඳිමු - Earth quick with computer screen



භූමිකම්පාවක දී සිදුවන කම්පනය පරිගණක තිරය තුළින් විඳීමේ හැකියාව ලබා ගන්නා අන්දම ගැනයි මේ කියන්න යන්නේ. මේක html file එකක්. මේක මට ලැබුණේ අපේ රට සුනාමි ව්‍යසනයට මුහුණ දුන් අවුරුද්දේ දී කුමක් හෝ වෙබ් අඩවියකින්. මේක කරන්නේ මෙහෙමයි. මේ පහළ තියෙන සබැඳිය ඔස්සේ ගිහින් මේ html file එක ලබා ගන්න. 


මෙය ස්මාර්ට් දුරකතනයකින් නම් විඳින්න පුළුවන් වෙයි ද කියලා දන්නේ නැහැ. පරිගණකයට ලබා ගෙන ඉන් පසුව Internet Explorer කියන වෙබ් බ්‍රවුසර් එකෙන් විවෘත කරගන්න. 



එවිට මෙහෙම තිරයක් අපට ලැබෙනවා. 



දැන් තියෙන්නේ රික්ටර් පරිමාපක අංක තෝරා Experience මත ක්ලික් කිරීමයි. එවිට තිරය කම්පනය වන ආකාරයෙන් අපට එම රික්ටර් පරිමාණයට අදාළව පොළොව කොයි තරම් වේගයකින් ගැස්සේනවාද කියා සරල අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

මතක තියා ගන්න මෙය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ Internet Explorer සමග පමණයි.


Tuesday, July 9, 2019

සිංහලයාට උරුම අස්න සාහිත්‍යය



තිසර, සැලළිහිණි, කොවුල් ආදී පක්ෂීන් අත යැවූ සංදේශ ඇතුළත් සංදේශ කාව්‍ය හැරුණු විට අස්නසාහිත්‍යයක් ද සිංහල බසෙහි පවතිනවා. විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න, දඹදෙණි අස්න, මහා අස්න, කුවේණි අස්න, සිංහබා අස්න, ආදිය එයට ඇතුළත්. මේ අතරින් විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න සාහිත්‍ය කෘතිවලට වඩා ආගමික උත්සවවලට අදාළ කෘති ලෙස පිළිගැනෙනවා.

විහාර අස්න

නම් පොත නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විහාර අස්නයි.  මෙය අතීතයේ කුඩා දරුවනට අකුරු කියවන පාඩම් පොත් පෙළේ දෙවැන්නයි. හෝඩිය කියැවූ පසු අකුරු කිහිපයක් එක් කොට තැනූ වචන කියැවීම හුරු කරනු පිණිස මෙය පැරැණි පන්සල් පාසල් හි භාවිත වුණා. මෙය මුලදී රචිතව ඇත්තේ සති පිරිත් අවසානයේ ආටානාටිය දේශනාවට මුලින් කියන විහාර අස්න ලෙසිනුයි. මෙය හයවන පැරකුම්බා රජ දවස රචිත වූවෙකැයි සැලකෙනවා. ඒ අතර ම ලක්දිව එවකට පැවැති ප්‍රධාන විහාරස්‍ථාන නාම මාලාව බෞද්‍ධයකු විසින් දැන සිටිය යුතු බැවින් ද මෙහි එන පරිදි යොදා ඇති වචන කියැවීම පහසු බැවින් ද හෝඩිය ළඟට ම මෙය කියවන ‍දෙවෙනි පොත වශයෙන් භාවිත වූ බව පෙනෙන්ට තිබෙනවා.  කතුවරයා කවරෙක්දැයි සඳහන් නැතත් මේ පොත නරෙන්‍ද්‍රසිංහ රාජ සමයට අයත් යැ යි සිතිය හැකියි.

අනුශාසනා අස්න
අතීතයේ සති පිරිත් දේශනා කිරීම බහුල වශයෙන් සිදු වුණා. මේ ආකාරයට සත් දවසක් මුළුල්ලෙහි දායකකාරකාදීන් මහ සංඝයා විෂයෙහි සිදු කළ දාන මානාදියෙහි පින් අනුමෝදන් කරවීම ද, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරවීම ද, සියලු දායක සමූහයාට සකල ආකාරයෙන් වන්නා වූ සියලු උවදුරු දුරුකොට අභිවෘද්ධිය සැලසිය යුතුය යන නියමයක් දෙවියන්ට විධාන කිරීමක් ද ඇතුළුව පින් අනුමෝදන් කරවීමේ හා ආශිර්වාද කිරීමේ කාර්යය මෙම අනුශාසනා අස්න කීම තුළින් සිදු කෙරෙනවා.

දඹදෙණි අස්න
දඹදෙණි අස්නේ නිමිත්ත වී ඇත්තේ දළාදා පූජාව විස්තර කොට ඉදිරි කාලයේ දී ද එබඳු පින්කම්වලට ජනතාව සහභාගී කරවා ගැනීමයි. මේ අස්න ලියා ඇත්තේ දඹදෙනි රාජධානියේ පාලකයා වූ පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි දළදා උත්සවය දුටු අයෙක් විසින් බව කියැවෙනවා. ඒ ප්‍රාතිහාර්යය දුටු සූර්ය දිව්‍ය පුත්‍රයා ද තමා යන ගමන නවත්වා සාධුකාර දුන් බවත්, බොහෝ දෙනෙක් සෝවාන් ඵලය ලබා ගත් බවත් දඹදෙණි අස්නේ දැක්වෙනවා.

කුවේණි අස්න
කුවේණි අස්න කෝට්ටේ පරාක්‍රමබාහු රජුට ආශීර්වාද කිරීම සඳහා ලියන ලද්දක් බව සැළකෙනවා. එකම වාක්‍යයකින් ලියා ඇති මෙය ඇත්තේ අනුප්‍රාස බහුල වෘත්ත ගන්ධි රචනා ශෛලියයි. මදහසින් නුවනගින් බලා කපු කටින්නිය, රුසිරු ලොව වටින්නිය, කුවේණිය යකින්නිය, ළඟට ගොස් දකින්නිය, සුසුම්ලා යකින්නී මෙලෙස සිට කියන්නී . . . ආදී වශයෙන් ලියැවී තිබෙනවා.

සිංහබා අස්න
සිංහබා අස්න ලියා ඇත්තේ සිංහල රාජ වංශයෙහි අවසාන රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වෙනුවෙනුයි. කුවේණි අස්න ලියා ඇති ශෛලියෙන්ම ලියා ඇති මෙහි සිංහබාහු කතාවට ද විශේෂ තැනක් හිමි වී තිබෙනවා. දීවාකර කුලග පත් මෙ අප හිමිතුමන් සහ මෙයින් පසු මෙලක්දිව සැපත් වන රජුන්ටත් අසිරිමත් සව්සිරි සැප සලත්වා. නොයෙක් වික්මෙන් දිමුත් නුමුත් මැතිදුන් සමග මෙලක වැසි දනන් සැම මෙපස්වා දහස් කල් රකිත්වා රකිත්වායන ආකාරයෙන් සිංහබා අස්න අවසන් වෙනවා.

Thursday, July 4, 2019

අපූරු දඬුවම් දුන් ඉලනාග රජු



අපේ ඉතිහාසයේ ඉලනාග රජතුමා සම්බන්ධව සිදුවීම් කිහිපයක්ම හමුවෙනවා. ඉලනාග රජකමට පත්වෙන්නේ සීවලී රැජින සිහසුනෙන් පළවා හැරීමෙන් පසුවයි. රාජාභිෂේකයෙන් පසු ඉලනාග රජතුමා සිරිත් පරිදි තිසා වැවේ දිය නෑමට යනවා. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩලය ද රජු සමග මේ අවස්ථාවට සහභාගී විය යුතුයි. එය රාජ ගෞරවය වෙනුවෙන් සිදු කරන දෙයක්. රජතුමා දිය නා ආපසු යාමට සූදානම් වෙද්දී දුටුවේ ලම්භකර්ණ වංශයට අයත් රාජ නිලධාරීන් පිරිස රජතුමාටත් කලින් පිටත්ව ගොස් ඇති බවයි.

ඒ කාලයේ පැවති චාරිත්‍රවලට අනුව මෙවැනි ක්‍රියාවකින් පෙනෙන්නේ රජුව නොසලකා හැරීමක්. ඒ වගේම එය තවත් අතකින් රාජද්‍රෝහී ක්‍රියාවක් ද වෙනවා. මෙයින් කෝපයට පත් රජතුමා රුවන්වැලි මහා සෑය කරා යාමට තනමින් සිටි පාරක වැඩ කරන්නට ඔවුන්ව යොදවනවා. ලම්භකර්ණ වංශිකයන් උපතින්ම පුහු මාන්නයෙන් සිටි පිරිසක්. එවැනි පිරිසක් පාරේ වැඩ කරනු දැකීම සාමාන්‍ය ජනතාවගේ සතුටට කාරණයක් වුණා. රජතුමා එතැනින් නැවතුණේ නැහැ. ඔහු කළේ සමාජයේ පහත් යැයි සැලකෙන චණ්ඩාල වංශිකයන් පිරිසක් වැඩ පරීක්ෂා කිරීම සඳහා යෙදවීමයි.

මේ සිදුවීම නිසා ලම්භකර්ණ වංශිකයන්ගේ සිත තදින්ම පෑරෙනවා. ඔවුන් පසුව කුමන්ත්‍රණයක් කොට රජුව සිර ගතකොට රාජ්‍ය පාලනය ඔවුන් අතට ගන්නවා.

කෙසේ වෙතත් රජු මේ සිරබත් කෑමෙන් නිදහස් වෙනවා. ඒ ගැන මහාවංශයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

තම සැමියාත් බිළිඳු දරුවාත් මරා දමතැයි ඉලනාග බිසව බියෙන් බලා සිටියාය. දරුවා දාමරිකයන් අතින් මිය යනවාට වඩා මඟුල් ඇතාගේ පයට පෑගී මිය යාම හොඳ යැයි සිතූ ඈ දරුවාව ඇඳුම් පැළඳුම්වලින් සරසා ඇතා ඉදිරිපිට තැබුවාය. යමක් තේරුම් ගත්තා මෙන් ඇතා බිළිඳා හොඬයෙන් ගෙන පිටේ තබා ඉලනාග රජු සිරකර ගෙන සිටි කුටිය කරා දිව ගොස් එහි බිත්ති බිඳ රජු බේරාගෙන කිසි උවදුරක් වන්නට ඉඩ නොදී මහාතිත්ථ නැව් තොටට ගෙන ගියේය. රජු එහි නැවැත්වූ ඇතා ඉක්බිතිව හුදකලාව කඳුකර වනාන්තරයට ගියේය.

මහාතිත්ථ නැව් තොටින් නැව් නැග ඉන්දියාවට ගිය ඉලනාග රජු අවුරුදු තුනක් එහි වාසය කොට එරට සෙබළුන්ගේ ආධාර ඇතිව ලංකාවට පැමිණ නැවත රාජ්‍යය අල්ලා රජ බවට පත් වෙනවා. තමාට සතුරුකම් කළ ලම්භකර්ණ වංශිකයන්ගේ හිස ගසා දැමීමට රජු තීරණය කළත් බිසවගේ බලවත් ඇවටිල්ල හමුවේ ඔවුනට අභය දානය ලබා දෙනවා. නමුත් ඔවුන් විසින් අදින ලද රථයකින් නගරය පුරා සංචාරය කරන රජු එය අවසන් වූ වහාම ඔවුන්ගේ නාසා සහ පා ඇඟිලි කපා දැමූ බව ඉතිහාස කතාවලින් දැනගන්නට ලැබෙනවා.