පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 19, 2017

'පඩයක්' තරම්වත් ගණන් නොගන්නා පඩ ගෙඩි සහ පඩ වැල් (දැල් බටු)- Pada gedi alias Passiflora foetida

පඩ ගෙඩි


ප්‍රසිද්ධියේ කියන්න ටිකක් මොකක්ද වගේ වුනත් පඩ ගෙඩි සහ පඩ වැල් කියන්නේ කැලෑ බදට වෙන්න වැවෙන වැල් වර්ගයක්. කොහොම වුනත් මේ පින්තූර ටික නම් මම ගත්තේ අපේ ගෙවල් ළඟ වත්තක වැවුණු පඩ වැලකින්. මෙහි උද්භිද විද්‍යාත්මක නම Passiflora foetida. ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Wild water melon නමින්. කැලෑවල්වලදී පිපාසය නිවන පලතුරක් බව ඒ නමින්ම හඳුනා ගන්නට පුළුවන්. මේ ප්‍රසිද්ධ නමට අමතරව wild maracuja, bush passion fruit, marya-marya,  stinking passionflower, love-in-a-mist සහ running pop කියන නම්වලිනුත් මෙය හඳුන්වන බව සඳහන් කළේ නැත්නම් ඒක අඩුවක්. මේවාට 'දැල් බටු' කියා කියන බවත් මේ බ්ලොග් එකට කොමෙන්ටුවක් දාපු jay-c z කියලා තිබුණා. හොයලා බැලුවාම ඒක ඇත්ත. ඒ නිසා මම ඒ නමත් මෙතනට එකතු කරලා පෝස්ටුව යාවත්කාලීන කළා.


පඩ වැල්

මෙය අප කවුරුත් දන්න හඳුනන පැෂන් පවුලට අයිති වැල් වර්ගයක්. ඒක පැහැදිලි වෙන්නේ පඩ ගෙඩි සහ පැෂන් ෆෘට්වල කුලය නිසයි. මේ දෙකේම කුලය වෙන්නේ Passifloraceae. එවැනි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොකළත් මේ පඩ ගෙඩියක් කපා බැලූ විට පැෂන් ෆෘට් සහ පඩ ගෙඩි එකම කුලයේ බව හොඳින් පැහැදිලි වෙනවා. නමුත් ප්‍රමාණයෙන් නම් අසමානයි. පඩ ගෙඩියක් සාමාන්‍යයෙන් පිංපොං බෝලයක ප්‍රමාණයකින් යුක්තයි. නමුත් පැෂන් එයට වඩා  විශාලයි. ඒ වගේම පඩ මල් සහ පැෂන් ෆෘට් මල් පෙනුමින් එක සමානයි. 




පඩ ගෙඩි වැලේ පවතින්නේ දැලක් වැනි අපූරු ස්වාභාවික වියමනකට මැදි වෙලා. කොහොම වුනත් වැඩි දෙනෙක් නොදන්නා නිසාත් පඩ ගෙඩි ගැන වැඩි විස්තරයක් වැඩි දෙනෙක් කතා කරලා තියෙනවා දැකලා නැති නිසාත් මේ ගැන ටිකක කතා කරන එක හොඳයි කියලා හිතුවා.



කැලෑ බදට වෙන්න වැවෙන නිසාත්, අද කාලේ කෑමට අප විසින්ම නියම කර ගත් වෙනත් පලතුරු වර්ග බොහෝ තිබෙන නිසාත් ඉදුණු පඩ ගෙඩි කියන්නේ රසවත් වගේම ගුණවත් පලතුරක් කියන එක බොහෝ දෙනෙක් අමතක කරලා. ඉදිරි පරම්පරාවන්ට මේ වැලක් තබා නමක් හෝ අමතක වී යන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩියි. නිවාස ගොඩනැගීම සඳහා ගෙවතු සකස් කිරීමේ දී මෙවැනි 'වල් පැලෑටි' කපා දමා විනාශ කරන්නේ මෙහි ඇති ගුණාත්මක බව පිළිබඳ කිසිදු වැටහීමක් නැති නිසයි.

Ayurvedic Medicinal Plants of Sri Lanka  කියන ආයතනයේ වෙබ් අඩවියට අනුව මෙය අප රටට ආවේණික ශාකයක් වුනත් විකිපිඩීයාවේ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනත් දෙයක්. එහි සඳහන් වන අන්දමට මෙය නිරිත දිග ඇමරිකාව (දකුණු ටෙක්සාස් සහ ඇරිසෝනා), මෙක්සිකෝව, කැරිබියන් දූපත්, මධ්‍යම ඇමරිකාව, සහ දකුණු ඇමරිකාව කියන ප්‍රදේශවලට ආවේණික ශාකයක්. පසුකාලීනව මෙය දකුණු ආසියාවට සහ හවායි වැනි ප්‍රදේශ ඇතුළුව ලොව පුරා බොහෝ රටවලට ව්‍යාප්ත කොට තිබෙනවා.


මෙහි ගෙඩි මෙන්ම ලපටි කොලත් ආහාරයට ගනු ලබනවා. කෙසේ නමුත් ඊසාන දිග බ්‍රසීලයේ ගොවීන් කළ පර්යේෂණයකින් පසුව නිවේදනය කළේ මෙහි පත්‍ර විෂ සහිත බවයි. විශේෂයෙන් වියලි කාලවලදී මෙහි පත්‍ර ආහාරයට ගැනීමෙන් ශරීරයට අධික ලෙස සයිනයිඩ් එකතුවන බව ඔවුන් සඳහන් කොට තිබෙනවා. කෙසේ නමුත් ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගැනීමේ කිසිදු අහිතකර තත්වයක් නැහැ. නින්ද නොයාමේ රෝගයට පිළියමක් ලෙස වියට්නාමයේ මෙහි කොල වියලා ඖෂධයක් ලෙස භාවිත කරනවා.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙහි පත්‍ර සහ මුල් ඖෂධීය වටිනාකමකින් යුක්තයි. පෙණහැල්ලේ රෝගාබාධ, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, උදර රෝග, ඉදිමුම්, රක්තවාතය, ඔසප්වීමේ අක්‍රමවත්භාවයන්, අපස්මාරය, වලිප්පුව, පක්ෂාඝාතය යන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස මෙය භාවිත කෙරෙනවා. එමෙන්ම ස්වාභාවික ගබ්සාවන්ට මුහුණ දෙන කාන්තාවන්ගේ එම තත්වය සමනය කිරීම, වේදනාව සමනය තිරීම, උණ ස්වභාවය පහත දැමීම ආදිය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසත් මෙය ප්‍රකටයි.


නම දුටු පමණින් පඩයක් තරම්වත් ගණන් නොගත්තත්, අප බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවී පවතින මේ පලතුර මෙන්ම ඖෂධය ඉදිරියේ දී අපගෙන් තව තවත් ඈත්ව යනවා නිසැකයි. ඔබ දැනුවත් නම් අප අවට ඇති, අප විසින් 'පඩයක්' තරමින් වත් ගණන් නොගන්නා තවත් ඖෂධීය පැළෑටි බොහෝ සොයා ගන්නට පුළුවන්. අනාගත ලෝකයට නිරෝගී මිනිසකු ලෙස පිවිසෙන්නට නම් සොබා දහම හඳුනා ගෙන එය ආරක්ෂා කරමින් එහි ජීව ගුණය අප තුළ තැන්පත් කර ගත යුතුයි. නමුත් සිදු වන්නේ එයමද?  

මේ ලිපියත් කියවන්න

වනේ වන පල වැල ගැන දන්නවාද?

22 comments:

  1. මෙම ගෙඩි වර්ගයට අප කියන්නේ දැල් බටු කියාය...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මම ඒ නම නම් අහලාම තිබුණේ නෑ. ඒත් ඔබ කිව්වාට පස්සේ මම ඒ නමින් ගූගල් සර්ච් එකක් දැම්මා. මෙන්න දැල් බටුවල පින්තූර එනවා. ඒ කියන්නේ මා නොදැන හිටියාට ඒ නම බහුලව භාවිත වන බවයි. ඇත්තටම ඔබට ස්තූතියි ඒ වෙනුවෙන් භාවිත කරන තවත් නමක් ගැන දැනුම්වත් කළාට. මම මේ නම ගැනත් බ්ලොග් සටහනේ සඳහන් කරන්නම්. ඒක අනෙක් අයට ප්‍රයෝජනයක් වේවි.

      Delete
  2. මේ නම අහලා තිබුනට සැබෑ ලෙසම ගෙඩි සහ කොළ දැක්කේ මේ පින්තූරවලිනි. ලිපියට ස්තූතියි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  3. නම අහල තිබ්බට මාත් මේ ලඟදි තමයි වැලක් සහ ගෙඩි දැක්කේ.. කොල්ලුපිටියේ අපේ සයිට් එක පිටිපස්සේ ලොකු ගාලක් වගේ හැදිලා තිබුනා.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් පඩ ගෙඩි කොල්ලුපිටියෙත් හැදිලා නේද ඒ කියන්නේ?

      Delete
  4. මම fb shere කලා. කමක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. කිසි ගැටලුවක් නෑ. මේවා ගැන කවුරුත් දැනගන්න එක වටිනවා. බෙදාහදාගැනීම ගැන ඔබට ස්තූතියි.

      Delete
  5. Yaaluwe... me kola thambala biuwama ගැස්ට්‍රයිටිස් රෝගයට diuya ඔසුවක් .... ape amma nam owa කොළ kada වලටත් දානවා .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැනගත්ත එක හොඳයි. මමත් දැනගෙන හිටියේ නෑ.

      Delete
  6. ඉහ කියන්නේත් මෙ වැල් වලටද?.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මමත් දන්නේ නෑ. මම හොයලා බැලුවා. හොයා ගන්න බැරි වුණා.

      Delete
  7. පඩ වැල් මුත්‍රා අමාරුවට ඉතාමත් හොඳ දෙයක් . පඩ වැල තම්බලා බිව්වම ඉක්මනින් සනීප වෙනවා . මම බීලා තියෙනවා ඉක්මනින් සනීප වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳ ආරංචියක්. මමත් දැනගෙන හිටියේ නෑ. ස්තූතියි කිව්වට.

      Delete
  8. මම මේවා කොළ කැඳ වලට පාවිච්චි කරනවා. හරිම රසවත්. නමුත් බ්‍රසීලයේ පරීක්ෂණයකින් මෙහි පත්‍ර වල සයනයිඩ් තියෙන බව දැනගත්තම ටිකක් බය හිතුණා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ කොල විතරක් වැඩි පුමාණයක් කෑවොත් මිසක කවලමට දැම්මොත් ගැටලුවක් නොවෙන්නත් පුළුවන්. විකිපීඩියාවේ තමයි මේ කතාව තිබුණේ.

      Passiflora foetida has been mentioned as a toxic plant by farmers from northeastern Brazil. An experiment done with goats led to the discovery that high levels of cyanide in P. foetida cause poisoning after the ingestion of fresh leaves, mostly during the dry season.

      ඉතින් හොයලා බලලම ගන්න එ වඩා හොඳයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න