අප කාර්යාලයේ සේවය කරන හිතවතකු දිනක් වඩාත් ඉක්මණින් ධනය උපයාගත හැකි ක්‍රමයකට තමන් සම්බන්ධ වී සිටින බවත්, එය නියමාකාර ලෙස කරගතහොත් වෙනත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින් කතාවකට මුල පිරුවේය.
“මේකෙන් සල්ලි ලැබෙන විදිහ ගැන ඔයාට හිතාගන්නත් බැහැ. අපි එන්න කලින් ආපු හුඟ දෙනෙක් දැන් හොඳටම දියුණු වෙලා. එක් කෙනෙක් කාර් එකකුත් ගත්තා. අපිත් දැන් මේ ටික ටික නැගිටගෙනයි එන්නේ.”
ඔහු එසේ ද පැවසූයේය. මෙයට යම් ගාස්තුවක් ගෙවා සාමාජිකයෙක් වශයෙන් බැඳිය යුතු බවත් ඒ සඳහා ඉරිදා දිනයක සවස 2.00ට ගම්පහ නගරයේ එක්තරා ගොඩනැගිල්ලක් අසලට පැමිණෙන ලෙසත් ඔහු පැවසූයේය.
මේ මා පෞද්ගලිකව මුහුණ දුන් අත්දැකීමකි. සැබැවින්ම මේ වේගයෙන් මුදල් ඉපැයීමක් ලෙස ඔහු විස්තර කරන ලද්දේ ‛පිරමිඩ’ ගනුදෙනුවක් මිස අන් කිසිවක් නොවේ. මෙය සැබැවින්ම හොර ජාවාරමක් වන අතර මෙවැනි කිසිදු වංචනික ක්‍රියාවකට හසුනොවන්න යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත්වල දැන්වීම් පවා පළකොට ඇති මුත් වර්තමානයේ මෙම ව්‍යාපාරය විවිධ මුහුණුවර ඔස්සේ නැවත ක්‍රිියාත්මක වෙමින් පවතී. යම් යම් අය
“මේකත් අර පිරමිඩ බිස්නස් එකක්ද?”
කියා කවුරුන් හෝ ඇසූ විට,
“පිස්සුද මේක එහෙම එකක් නොවයි. එහෙම නම් මම මේකට කාහොමටවත් සම්බන්ධ වෙන්නේ නෑ. අනෙක මේකට මහ බැංකුවේ අනුමැතියත් තියෙනවා”
යැයි මෙයට බැඳී සිටින්නන් නව සාමාජිකයන් බඳවා ගැනීමේදී පවසයි.
කෙසේ මුත් අප අතර සිටින්නන් සැළකිය යුතු පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ම මෙයට සම්බධ වී සිටිති.
පිරමිඩ ක්‍රමය යනු කුමක්ද?
ඔබ පිරමිඩයක් පින්තූර ඕනෑ තරම් දැක තිබෙනවාට සැකයක් නැත. පිරමිඩයක් සාමාන්‍යයෙන් ඉහළ සිට පහළට කෙමෙන් විශාල වෙයි. පිරමිඩ ගනුදෙනුවල ද ඇත්තේ එවැනි ස්වභාවයකි. අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිදුකොරන මෙම පිරමිඩ ක්‍රමයේ ව්‍යාපාරවලට හසුවන්නෝ නම් කොතෙකුත් සිටිති.
වර්තමානයේ පිරමිඩ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
කලකට පෙර විවිධ ක්‍රම ඔස්සේ මෙය ක්‍රියාත්මක වූ අතර වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ එකවර සොයාගත නොහැකි ආකාරයටය. මෙය හඳුන්වා දෙන ආයතනය මෙහි මුල් ගනුදෙනුකරුවාට හෝ කරුවන්ට යම්කිසි භාණ්ඩයක් අළෙවි කරයි. ඔවුන් මේ ආකාරයට ගනුදෙනුකරුවන්ට අළෙවිකරනුයේ බොහෝ ප්‍රයෝජනවත් යැයි පැවසෙන භාණ්ඩයකි. කෙසේ නමුත් මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන්නේ එය සාමාන්‍ය වෙළෙඳ පළෙන් ඉතා අඩු මිලට ගත හැකි චීනයේ නිෂ්පාදිත භාණ්ඩයක් බවය. කෙසේ මුත් මෙම ව්‍යාපාරයට බැඳී මුදල් ඉපැයීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුහු මෙම භාණ්ඩය මිලදී ගනිති. මෙවැනි සංවිධානයකට සාමාජිකයන් බඳවාගැනීම සඳහා මුදල් ද අයකරන බැවින් ඔවුන්ට වැඩි මිලක් දී අඩු වටිනාකමක් ඇති භාණ්ඩයක් මිලට ගන්නට සිදුවේ. ඉන්පසු ඔහු විසින් මෙම ආයතනය වෙත තවත් අලුත් සාමාජිකයන් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඉන්පසු එම මිලටම ඔවුන් දෙනොට ද එම භාණ්ඩය විකිණිය යුතු වේ. මෙසේ විකුණද්දී ඔවුන්ට යම් කිසි ප්‍රතිශතයකින් වට්ටමක් ද හිමි වේ. මේ ආකාරයට පිරමිඩයේ පහළට කෙමෙන් ගමන් කරද්දී වැඩි වැඩියෙන් නව සාමාජිකයන් බදවා ගැනීම සිදු කළ යුතුය. මෙහිදී එක් ස්ථරයක සිටිය යුතු සාමාජිකයන් ගණන කොතෙක්දැයි ගණන් බලන අතර එක් ස්ථරයකින් ඊළඟ ස්ථරයට යද්දී යම්කිසි ලකුණු ප්‍රමාණයක් ද හිමි වේ. ලකුණු සමග මුදල් ද හිමි වේ. තමන් හඳුන්වා දුන් සාමාජිකයන් මෙසේ පහලට ගමන් කරන විට ද මේ ආකාරයට ලකුණු සහ මුදල් හිමි වේ. යම් සාමාජිකයෙක් සියලු උත්සාහ දරා තවත් පහළට ගමන් කළහොත්, ඒ වන විට ආයතන ඔහු නිසා බොහෝ ගනූදෙනුකරුවන් පිරිසක් මේ සඳහා බඳවාගෙන ඇති බැවින් ඔහුට වඩාත් වටිනාකමක් ඇති භාණ්ඩයක් තිළිණ කරයි. මේ පිළිබඳව මා සමග කතා කළ හිතවතා පැවසූයේ ඔවුනව මෙම ආයතනය වෙත හඳුන්වා දුන් පුද්ගලයාට මෑතකදී මෝටර් රථයක් ද හිමි වූ බවය. මෙවැනි දේ දකිත්ම බොාේ දෙනෙක් මෙයට නව සාමාජිකයන් බඳවාගැනීමට හැකි සියලු උත්සාහයන් යොදා වැඩ කටයුතු කරති. නමුත් ගැටලුව වන්නේ මුළින්ම මෙයට බැඳෙන සාමාජිකයන් හට මෙම පිරමිඩයේ පහල ස්ථර කරා පහසුවෙන් ඇදී ගිය හැකි මුත් පසුව බැඳෙන සාමාජිකයන්ට ඒ සඳහා ඇති අවස්ථාව වඩාත් අවම වීමය.
බොහෝ විට මෙම පිරමිඩ ක්‍රමය සිදුවන්නේ දෙකේ ගුණාකාරවලටය. මෙයට සම්බන්ධ වන සෑම පුද්ගලයකුම නව සාමාජිකයන් දෙදෙනෙකු මේ සඳහා බඳවා ගත යුතු වේ. එවිට 2, 4, 8, 16, 32 ආදී වශයෙන් දෙකේ ගුණාකාරවලින් වැඩිවෙයි. මෙම සඳහන් රූපසටහන දෙස බැලීමෙන් මෙය වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙම පිරමීඩයේ ස්තර ඉහළ සිට පහලට රේඛාවලින් වෙන් කොට තිබේ. මෙහි වම් පැත්තේ දිස්වන්නේ එක් එක් ස්තරයට පැමිණෙද්දී එකතු වී සිටිය යුතු සාමාජිකයන් සංඛ්‍යාවය. එක් එක් ස්ථරයේ සිටිය යුතු සාමාජික සංඛ්‍යාව මැද ඇති ඉළක්කම්වලින් දැක්වෙන අතර දකුණු පැත්තේ ඉළක්කම්වලින් දැක්වෙන්නේ ස්තර සංඛ්‍යාවය. මෙය දෙකේ ගුණාකාරවලින් වැඩි වෙමින් පහළට ගමන් කරන බව ඔබට පෙනෙනවා ඇත. මෙහි පහලට ගමන් කරද්දී සාමාජිකයන් බඳවා ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න ඔබට පෙනෙනවා ඇත. 25 වැනි ස්තරය බලන්න. ඒ වන විට එකතු වී සිටිය යුතු සාමාජික සංඛ්‍යාව තුන්කෝටියකටත් වඩා වැඩිය. නමුත් අප රටේ ජනගහනය දෙකෝටි විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණි.
මුල් ස්තරවලදී කෙසේ හෝ සාමාජිකයන් බඳවා ගත්ත ද පහළට යත්ම එය ඉතා දුෂ්කර වේ. මේ අනුව මුල් අවස්ථාවේදී මෙයට එක් වන සාමාජිකයන් හට යම් යම් මට්ටම්වලින් ප්‍රතිලාභ ලබාගන්නට හැකියාව ලැබුණත් පසුව එක්වන සාමාජිකයන්ට එය එක්කෝ ඉතා දුෂ්කර වේ. එක්කෝ ලැබෙන්නේම නැත. මෙම ව්‍යාපාරයට අප රටේ සියලුම ජනතාව එක් වූවා කියා මඳකට සිතුව ද පහළට යත්ම මෙයට සිටිය යුතු සාමාජික සංඛ්‍යාව ජනගහනය ද ඉක්මවන නිසා අලුතින් එකතු කරගැනීමට කිසිවකු ඉතිරි වන්නේ නැත. එවිට ඔවුනට සිදුවන්නේ පාඩුව විඳ දරාගන්නටය. අනෙක මෙයට සාමාජිකයන් බඳවාගැනීම සඳහා අධික කාලයවක් ද මිඩංගු කරන්නට සිදු වේ. ඒ සඳහා වියදම් දරන්නට ද සිදු වේ. මෙවැනි ව්‍යාපාර සඳහා සිය දේපළ පවා උගස් කොට මුදල් ආයෝජනය කළ ඇතැමුන්ට අවසානයේ බඳවා ගැනීමට සාමාජිකයන් නොසිටි නිසා සිදුවූයේ පාඩුව විඳ දරාගත නොහැකිව සිය දිවි නසාගන්නටය. එවැනි අවස්ථාවන් ද පසුගිය කාලයේ වාර්තා විය.
ප්‍රායෝගික ලෙස සළකා බැලුවහොත් මෙවැනි ව්‍යාපාරයක් සඳහා එකතුවන්නට සියලු දෙනාම කැමති වන්නේ නැත. මේ පිරමීඩ ක්‍රමය වංචාවක් බැව් අවබෝධ කරගෙන සිටින කිසිවෙකු මෙයට සම්බන්ධ වන්නේ නැත. අප රටේ ජනගහනයෙන් බාල වයස්කරුවන් හේ වයෝවෘද්ධ ජනතාවද මෙයට එකතු වන්නේ නැත. යම් වෘත්තීය මට්ටමවල සිටින කිසිවකු ද එකතුවන්නට කැමැත්තක් දක්වන්නේ නැත. මේ නිසා මෙවැනි ව්‍යාපාර සඳහා එක්කරගත හැකි පිරිස වර්තමානය වන විට සිටින්නේ සාපේක්ෂව සුළු ප්‍රතිශතයකි. එසේ හෙයින් වර්තමානයේ මෙම ව්‍යාපාරයකින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ මුල් ස්තර කිහිපයේ පසුවන්නන් කිහිප දෙනෙකුට පමණි. සෙසු සියලු දෙනාට සිදුවන්නේ පාඩුව විඳදරාගැනීමටය.
මේ නිසා සියලු දෙනා සිදුකළ යුත්තේ මෙවැනි ව්‍යාපාරවලට සම්බන්ධ වී ඇති පුද්ගලයන් පැමිණ ඔබ ඉදිරියේ මවන සුරංගනා ලෝකය පිළිබඳව බුද්ධිමත්ව බලා මෙම වංචාවන්ට හසු නොවී ජීවත්වීමය.