පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, April 25, 2016

ජංගම දුරකතනයක් තෝරාගන්නේ කෙසේද? - How Select a Mobile Phone?


හොඳ ජංගම දුරකතනයක් තෝරාගන්නේ කොහොමද කියන එක කාගෙන් හරි ඇහුවොත් අපට නොයෙක් විදියේ උපදෙස් ලැබෙනවා. සමහර විට ඒ කියන කරුණු ඒ ඒ පුද්ගලයාට පෞද්ගලිකව ගැළපෙන්න පුළුවන්. දුරකතන සාප්පුවකට ගිහින් බැලුවොත්, ඒවායෙන් මොන වර්ගයේ එකක් තෝරා ගන්නද කියලා, එතැන වැඩ කරන අය දෙන උපදෙස් තමයි අපට අහන්න වෙන්නේ. ඔවුන් කුමක් හෝ දෙයක් විකුණාගන්න උත්සාහ කරනවා මිසක් සමහර විට අපට ඕන කරන විදිහේ ජගංම දුරකතනයක් හොයා දෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අපි කල්පනා කළා ජංගම දුරකතනයක් මිලදී ගන්නවා නම් ඔබට හරියටම ගැළපෙන එකක් තෝරාගන්නේ කොහොමද කියන දෙය සම්බන්ධ පොදු උපදෙස් ටිකක් දෙන්න.

දැරිය හැකි මිල

සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක් ගැන හිතුවොත් වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අඩු මිලට හොඳ කැමරාවක්, වේගයක්, මතකයක් හෙවත් රැම් එකක් සහ ගබඩාකිරීමේ ධාරිතාවයක් (Storage Capacity), වැඩි බැටරි කාලයක්, සැළකිය යුතු තරමේ ඩිස්ප්ලේ එකක් වැනි අංග තියෙන එකක් තමයි. ගැටලුව තියෙන්නේ මේ හැම දෙයකින්ම හොඳම දේ තෝරාගන්න කොට වැඩි මිලක් ගෙවන්න සිදුවෙන එක තමයි. කොහොම වුණත් ඔබට දැරිය හැකි මිලට අනුව ඉහත සඳහන් කළ අත්‍යවශ්‍ය කරුණු වැඩි ප්‍රමාණයක් ඇති දුරකතනයක් කරා යන එක තමයි හොඳම දේ. අනෙක දැරිය හැකි මිලක් ගැන කතා කරද්දී හොඳ වෙළෙඳ නාමයක් තෝරාගැනීමත් වැදගත්.

ඔබට මොනවද ඕන?
අද කාලේ තියෙන ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන ගැන කතා කළොත් ඒවායේ නැති දෙයක් නැති තරම්. නමුත් හැමෝටම මේ හැම දෙයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ජංගම දුරකතනයෙන් නිතර අන්තර්ජාලයේ  සැරිසරන, චිත්‍රපටි නරඹන අය ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් හොයනවා. නමුත් ඔබට එවැනි අවශ්‍යතාවයක් නැත්නම්, ඒ කරුණ ඔබේ අවශ්‍යතා ලැයිස්තුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඔබ එය හරහා වැඩිපුර අන්තර්ජාලයේ සරන්නේ නැත්නම් 4G අතහැර 3G කියන පහසුකම පමණක් තියෙන එකක් තෝරා ගන්න පුළුවන්. කොහොම නමුත් ඉදිරියේදී එන සෑම දුරකතනයකම 4G පහසුකම තියෙන්නත් පුළුවන්. ජංගම දුරකතනයේ චිත්‍රපට, ගීත වැනි දේ ගබඩා කොට තබාගන්නේ නැත්නම් වැඩි මතක ධාරිතාව කියන කරුණ ඉවත් කරගන්නත් පුළුවන්. එවිට ඔබට අඩු මිලට වඩාත් හොඳ වර්ගයේ දුරකතනයක් මිලට ගන්න පුළුවන් වෙයි.

පෙනුම

ඇතැම් අය ජංගම දුරකතනයේ පෙනුම, හැඩය ආදිය ගැනත් සැලකිලිමත් වෙනවා. ඇතැම් ඒවායේ කොන් රවුම් වෙලා තියෙනවා. ඇතැම් ඒවායේ කොන් හතරැස්. කොන් රවුම් ඒවාට ඇතැම් අය කැමති නැහැ. ඇතැම් අය විශාල ජංගම දුරකතනවලට කැමතියි. ඇතැම් අය කැමති නැහැ. ඇතැම් ප්‍රකට ජංගම දුරකතන වර්ග, උදාහරණයක් විදිහට ගත්තොත් ඇපල්විශාලත්වය අනුව සළකා බැලුවොත්, එක්තරා සීමාවකින් එහාට ඒවායේ විශාලත්වය වැඩි කරන්නේ නැහැ. ඇතැම් ඒවාට එසේ සීමාවක් නැහැ. සැම්සුන්ග් කියන්නේ ඒ වගේ වර්ගයක්.  මේ අනුව ඔබ කැමති පෙනුම අනුව ජංගම දුරකතන වර්ගයක් තෝරා ගත යුතු වෙනවා.

ඔබේ වෘත්තිය

වෘත්තිය අනුවත් ඇතැම් විට ජංගම දුරකතනයේ වර්ගය වෙනස් විය හැකියි. ඇතැමුන්ට කොයි තරම් මිලක් මේ වෙනුවෙන් වෙන් කරන්නට පුළුවන්කම තිබුණත් ඔවුන්ගේ වෘත්තිය මේ සඳහා හරස් වෙනවා. ඇතැම් විට ඔබ යන්ත්‍ර සූත්‍ර සමග වැඩ කටයුතු කරන කාර්මිකයෙන් වෙන්න පුළුවන්. මා දන්නා හිතවතකු පැවසූයේ ඔහු නිතර යන්ත්‍ර සූත්‍ර සමඟ වැඩකටයඅතු කරන නිසා ටච් වර්ගයේ දුරකතනයක් භාවිත කරන්නට නොහැකි බවයි. හේතුව ඔහුගේ අතේ නිතරම තෙල්, මජං ආදිය තැවරෙන්නට ඇති ඉඩකඩ නිසයා. ඒ හැරුණු විට ඔහුගේ ආදායම් තත්වය සළකා බැලුවහොත් ඔහුට සෑහෙන මුදලක් වැය කොට ස්මාර්ට් වර්ගයේ දුරකතනයක් මිලදී ගන්නට හැකියාවක් නැත්තේ නැහැ. ඇතැමුන්ගේ රැකියාවේ හැටියට ඔවුන්ට විශාල වර්ගයේ දුරකතන භාවිත කරන්නට හැකියාවක් නැහැ. මෙසේ වෘත්තිය හරස් නොවන අය පවා ඇතැම් විට ඇමතුම් ගැනීම, පණිවිඩ යැවීම වැනි අවශ්‍යතා සපුරාගන්නට කුඩා වර්ගයේ දුරකතනයක් ද, අන්ත්ර්ජාලය, චිත්‍රපටි ආදිය නරඹන්නට ස්මාර්ට් වර්ගයේ දුරකතනයක් භාවිත කරනු දැකිය හැකියි.

තිරයේ ප්‍රමාණය


මෙය අපි ඉහත අවස්ථා කිහිපයකදීත් යම් යම් තරමින් කතා කළා. සාමාන්‍යයෙන් විශාල, මධ්‍යම හා කුඩා යනුවෙන් තිර වර්ග 3 කට බෙදන්න පුළුවන්. අඟල් 5.5 හෝ එයට වඩා වැඩි කියන්නේ විශාල තිරයක් කියන එකයි. අඟල් 5 - 5.4 කියන්නේ මධ්‍යම ප්‍රමාණය. අඟල් 4 - 4.9 කියන්නේ කුඩා ප්‍රමාණය. මෙය තීරණය වෙන්නේ ද ඔබේ අවශ්‍යතාවයේ හැටියටයි. ඔබ නිතර ක්ෂේත්‍රයේ සිටින කෙනෙක් නම් ඇතැම් විට විශාල තිරයක් සහිත  දුරකතනයක් සාක්කුවේ දමාගෙන යන්නට අපහසු වෙන්න පුළුවන්. එවිට ඒ අවශ්‍යතාවයේ හැටියට එකක් තෝරාගන්නට වෙනවා.

සකසනය හෙවත් ප්‍රොසෙසරය

සෑම ජංගම දුරකතනයක සකසනයක් (Processor/CPU) තිබුණත් වැඩි දෙනෙක් ඒ ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ. මෙය වේගවත් නම් දුරකතනය ද වේගවත්. එහි වේගය මනින්නේ ගිගා හර්ට්ස් (Giga Hertz -GHz) වලින්. ඔබේ ජංගම දුරකනයේ වේගය ගැන ඔබට අදහසක් නැත්නම් http://www.gsmarena.com නම් සුප්‍රකට වෙබ් අඩවියෙන් ඒ බව දැනගන්නට පුළුවන්. එහි ඇතැම් විට සඳන්ව ඇත්තේ Processor නමින් නොව CPU නමින් විය හැකියි.

කැමරාව


හොඳ කැමරාවක් සහිත ජංගම දුරකතනයක් හිමි කරගන්නට හැමෝම සිහින මවනවා. අද කාලේ සෙල්ෆි රැල්ලක් පවතින නිසා මේ අවශ්‍යතාවය වැඩියි. මේ නිසා දුරකතනයේ පසුපස මෙන්ම ඉදිරිපස කැමරාව ගැනත් සැළකිල්ලක් දක්වන්නට වෙනවා. සාමාන්‍යයෙන් කැමරාවක ගුණත්වය බොහෝ දෙනෙක් මනින්නේ මෙගා පික්සල්වලින්. නමුත් එහි ඒ තරම් නිවැරදිතාවයක් නැහැ. මෙගා පික්සල් 20 සහිත ජංගම දුරකතන කැමරාවකට වඩා හොඳ ඡායාරූප මෙගා පික්සල් 13 වැනි ඒවායෙන් ගත් අවස්ථා ඕනෑ තරම්. ඔබට අවශ්‍ය ගුණත්වයෙන් ඉහළ කැමරා දුරකතනයක් නම් කැමරාවේ සංවේදකය සහ කාචය ගැනත් හොයන්න ඕන. මේවා බාල නම් මෙගා පික්සල් සංඛ්‍යාව වැඩි වූවා කියා හොඳ කැමරාවක් වන්නේ නැහැ.

බැටරිය


මේක තමයි බොහෝ දෙනෙකුට තියෙන ලොකුම ගැටලුව. බොහෝ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනවල බැටරි කාලය අඩු බවට හැමෝම මැසිවිලි නගනවා. මේවායෙන් කළ හැකි වැඩ බොහෝ නිසා මේ සියල්ල කරගන්නට යාමේදී බැටරි ඉක්මණින් බැස යාම සාමාන්‍ය දෙයක්. නමුත් විවිධ දුරකතනවල බැටරි ධාරිතාවය වෙනස්. සෑම බැටරියකම මිලි ඇම්පියර් (mAh) අගයක් සඳහන් කොට තිබෙනවා. එයින් කියැවෙන්නේ එහි ගබඩා කොට ඇති ධාරාවේ ප්‍රමාණයයි. මෙය වැඩිවන තරමට බැටරිය පැවතීමේ කාලය ද වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 1700 සිට 4000 පමණ දක්වා බැටරි ඇති ජංගම දුරකතන පවතිනවා. ඔබේ අවශ්‍යතාවය අනුව  මෙය ගැන ද සොයා බැලිය හැකියි.

තිරය නිමවා ඇති ද්‍රව්‍යය


සාමාන්‍යයෙන් හොඳ නමක් සහිත ජංගම දුරකතනවල තිර නිමවා ඇත්තේ LED වලින්. ඇතැම් ඒවා LCDවලින්. LCDවලට වඩා LEDවල බැටරි කාලය වැඩියි. විශේෂයෙන් ඇතැම් ජංගම දුරකතනවල AMOLED යනුවෙන් සඳහන් වෙනවා. (gsmarena වෙබ් අඩවියෙන් ඔබේ දුරකතකයේ තිරය නිපදවා ඇති ද්‍රව්‍යය සොයා ගන්නට පුළුවන්). මේ ඇමෝ එල්ඊඩී තිර වල බැටරි බැස යාම ඉතාමත් අඩුයි. එයට හේතුව සහ එහි ක්‍රියාකාරීත්වය දීර්ඝව විස්තර කළ යුතු නිසා පසු  අවස්ථාවක ඒ ගැන කතා කරමු.




මෙහෙයුම් පද්ධතිය




සාමාන්‍යයෙන් ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ප්‍රධාන මෙහෙයුම් පද්ධති 3ක් තිබෙනවා. ඒ ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් සහ වින්ඩෝස් නමින්. මේ අතරින් වැඩි වශයෙන් ජනප්‍රිය වී ඇත්තේ අන්ඩ්‍රොයිඩ්. ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිපදවී ඇති යෙදුම් සංඛ්‍යාව ද අති විශාලයි. අනෙක් මෙහෙයුම් පද්ධති දෙකේ ඇන්ඩ්‍රොයිඩ්වලට සාපේක්ෂව එතරම් යෙදුම් සංඛ්‍යාවක් නැහැ. මේ පද්ධති තුනම සිංහල භාෂාවට හොඳින් සහය දක්වනවා. ඇන්ඩ්‍රොයිඩ් සඳහා බොහෝ සිංහල යෙදුම් නිර්මාණය වී ඇති බව ද සඳහන් කළ යුතුයි. මිත්‍රශීලිත්වය අතින් ඇන්ඩ්‍රොයිඩ් ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. නමුත් මෙය ද එකිනෙකාට සාපේක්ෂ දෙයක්. ඕනෑම පද්ධතියක් සමග ටික කාලයක් වැඩ කටයුතු කරද්දී එය අදාළ තැනැත්තාට මිත්‍රශීලී වෙනවා. ඇපල් පද්ධතිය සහිත දුරකතන මිලෙන් තරමක් ඉහළයි.

භාවිත කරන්නන්ගේ අදහස්
විශේෂයෙන් gsmarena වෙබ් අඩවියේ යටතේ ඔබ විස්තර සෙවූ දුරකතනය භාවිත කළ අයගේ අදහස් (user opinions and reviews) දැකගන්නට පුළුවන්. ජංගම දුරකතනයක් මිලට ගන්නට පෙර මේවා කියවා බැලූ විට එහි ඇති ගුණාංග, අඩුපාඩු ආදිය ගැන වැටහීමක් ලබාගන්න පුළුවන්.


මේ කරුණු ගැන සැළකිලිමත්වීමෙන් සහ වැඩි විස්තර සොයා බැලීමෙන් ඔබට ඔබේ අවශ්‍යතාවයට අනුව හොඳ ජංගම දුරකතනයක් තෝරාගන්නට පුළුවන් වේවි.

1 comment:

  1. ඉතා ප්‍රයෝජනවත්.
    ස්තූතියි
    👍👍

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න